Related Posts Plugin for WordPress, Blogger...

Monday, 17 July 2017

POLITICS : ඔක්කොම කරන්නේ මහින්දද?

යහපාලන ආණ්ඩුවේ අනාගැනීම් හමුවේ මහින්ද මහත්තයා නැවතත් සිරා පොරක් බවට පත්වෙමින් තිබේ. වර්තමානයේ පවතින ආණ්ඩු විරෝධී රැල්ලේ තිරය පිටුපස ආකිටෙක්ට් මහින්ද මහත්තයා බව කියවන්නට, අසන්නට ලැබේ. මා හිතවත් මාතලන් ඔහුගේ අලුත්ම බ්ලොග් ලිපියෙන් පවසා සිටින්නේ අද ජනතා අයිතියට පැවරෙන "නෙවිල් ප්‍රනාන්දු රෝහල" ඒ තත්වයට ගෙනෙ ඒම පිටුපස සිටින්නේද මහින්ද රාජපක්ෂ සාධකය බවයි.

මහින්ද මහත්තයාගේ කෙරුවාවන් පිලිබඳව සොයා බලන විට ඇත්තටම සිදුවන්නේත්, සිදුවී ඇත්තේත් මහින්දගේ ශූර, සටකපට නූල් සූත්තර නිසා ඔහු සැළසුම් සහගතව ඉදිරියට යාමට වඩා, පවතින ආණ්ඩුවට අවාසි සහගත ඕනෑම දෙයක එල්ලී එහි තමන්ද කොටස් කරුවෙකු බව පෙන්වීමත්, එය ගෝලයන් ලවා නහුතයට මාකට් කරවීමත් යන ලැජ්ජා සහගත, අවස්ථාවාදී ප්‍රතිපත්තිය ඇතිවන කෘත්‍රිම පිම්බීමකි. දැන් සිදුවන්නේද එයමය.

සයිටම් හා නෙවිල් ප්‍රනාන්දු රෝහල ගත්විට, එය තනිකරම මහින්ද-නෙවිල් ව්‍යාපෘතියක් බව නොරහසකි. සයිටම් එකට මිලියන ගණන් ලෝන් දුන්නේත්, ඔවුනට සියලු අවසරයන් දුන්නේත් මහින්දගේ ආණ්ඩුවේ හයියෙනි. මේ වනවිට තිබෙන්නේ මහින්දගේ ආණ්ඩුවක් නම් සයිටම් උපාධිධාරීන් දැන් රජයේ රෝහල්වල සිය සීමාවාසිකය අවසන් කොට පත්වීම්ද ලබා අවසන්වන අතර නෙවිල් ප්‍රනාන්දු රෝහල ලංකාවේ පලමු පෞද්ගලික ශික්ෂණ රෝහලද වනවාට කිසිදු සැකයක් නැත.

එහෙත් දැන් මහින්ද සයිටම් විරෝධියෙකි. සයිටම් අහෝසිකල යුතු බව ලැජ්ජා නැතුව කියන්නෙකි. නෙවිල් ප්‍රනාන්දු පබ්ලික් රෝහල වීමේ ක්‍රෙඩිට් එකේ කෑල්ලක් අයිතිකර ගන්නට දත කන්නෙකි. සයිටම්-නෙවිල් ප්‍රනාන්දු රෝහල් ජනසතුවේ ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනෑ දොස්තර සංගමයට, පෙරෙට්ටන්ට හා ජවිපෙටයි. කොහෙවත් ඉන්නා මහින්ද කෙනෙකුට නොවේ.  එහෙත් මහින්ද කෙසේ හෝ එහි ක්‍රෙඩිට් එකේ කොටස් කාරයෙකු වී පොරක් වෙනවා පමණක් නොව 2020 බලය ලැබුණු වහාම, පරණ කතා යලි අමතක කොට සයිටම් එක පූර්ණ බලතල හා පූර්ණ SLMC අවසරයද ඇති පෞද්ගලික වෛද්‍යවිද්‍යාලයක් කිරීම සිදුකරනු ඇත.

හො.රා (හොඳම රාජ්‍යනායකයා) මහින්දට සංඝරුවණෙන් නියත විවරණ ලැබීම - හොරකම් කරන එක පවක් කියලා පන්සිල් දෙන්නේ කොහොමද මෙයලා?
2004මහමැතිවරණ සමයේදී මහින්ද බලයට ගේන්න දැවැන්ත මෙහෙයක් කල අතුරලියේ රතන හාමුදුරුවන් ප්‍රසිද්ධියේ කියා සිටියේ අපිට රනිල් මහත්තයාගේ ස්ථාවර ඉතා පැහැදිලි වුනත් මහින්ද මහත්තයාගේ ස්ථාවරයේ කිසිම පැහැදිලි බවක් නෑ කියාය. එහෙම කියන්නට හේතුව විපක්ෂයේ ඉන්න මහින්ද ඕනෑම ප්‍රශ්ණයකදී සිය මතය ප්‍රකාශ කරන්නේ වැඩි වාසි පැත්ත මොකක්දැයි හරියටම පැහැදිලි වුනු විට පමණක් වීමයි.

වාසි බව දැනුනු විට ඕනෑම හොටු ගොඩක් සමග ගිවිසුමක් අත්සන් කරන මහින්ද ඔවුන් වේදිකාවට නංවාගනී. 2004/2005 මැතිවරණ සමයේ මහින්ද පාර්ශව කීයක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කලාදැයි මහින්ද පවා දන්නේ නැත. අදටත් ඉන්නේ ඒ මහින්දම බව ඉදිරියේදී දැක ගත හැකිය. සිංහ-ලේ කාරයන් සමග පමණක් නොව තව්ෆීක්-ජමාඩ් (ලෝකල් ISIS) සමගද, සම්බන්ධන් හෝ විග්නේෂ්වරන් සමගද මහින්ද කිසිදු හිරිකිතක් නැතුව ගිවිසුම් ගත වනු ඇත. මහින්දගේ ගෝල හාමුදුරුවරුන්ද තව්ෆීක්ලා හා විගී/සම්බන්ධන් සමග එකෙම පෙරමුණක සිටිනු ඇත. ඒ පෙරමුණේම ගොමා දොස්තරලා මෙන්ම ඔවුන්ගේ සතුරු නර්ස්-ඇටෙන්ඩන්-සම සෞඛ්‍ය නඩයද සිටීමේ හාස්‍යජනක නාටකයද රඟදැක්වෙනු ඇත.

එපණක් නොව මේ සියල්ලම සාධාරණීකරණය කරන්නට මහින්ද අනුගාමික හාමුදුරුවරුන්ද ඉදිරිපත්වනු ඇත. උදාහරණයක් ලෙස මහින්ද LTTE එකත් එක්ක 2004/2005 මැතිවරණවලදී හොරෙන් සාකච්ඡා පැවැත්වීම,ගිවිසුම් ගතවීම හා ඒ අනුව යාපනයේ මැතිවරණ වර්ජනය මෙහෙයවා LTTEය රනිල් නූලෙන් පැරැද්ද වීම අතුරලියේ රතන හිමි අර්ථකථනය කලේ "ඉතාමත් සූක්ෂම, අති විශිෂ්ඨ දේශපාලන මෙහෙයුමක් ලෙසටය" 

2004/2005 වනවිට එජාපය සිටියේ මීටත් වඩා නරාවලකය. ඒවනවිටද ජාතික සම්පත් විකිණීම, මිළෙනියම් සිටි පවාදීම හා පාවාදීමේ සාම ගිවිසුම හරහා එජාපය මහා ප්‍රපාතයකට වැටී සිටිය බව පෙනුනද චන්ද වැටුන හැටි බලන්න. උතුරු නැගෙනහිර එල්ටීටීරී බලය ඇති සියලු ප්‍රදේශවල (අනිව මහින්ද විරෝධී) චන්දය පාවිච්චි නොවුනද කෙල කෝටියක් ගිවිසුම් ගසා මහා බෞද්ධ නායකයා ලෙස පිම්බී සිටි මහින්ද රනිල්ට වඩා ගත්තේ චන්ද කීයද?

Mahinda Rajapaksa United People's Freedom Alliance 4,887,152
Ranil Wickremesinghe United National Party 4,706,366

දේශ ද්‍රෝහී, රට පාවාදුන්, අබෞද්ධ, කොන්ද පණනැති, රට විකුණූ රනිල් වික්‍රමසිංහට වඩා වැඩි චන්ද 180,786

මාගේ අනාවැකිය වන්නේ 2020 දිග හැරෙන්නේත් ඔය ආකාරයටම බවයි. හොට්ටන්, කබ්බන්, රා-කාරයින් ආදී සියල්ලන් සමග මහා සංඝරත්නයද පෙරටුකර ගත් මහින්ද, පෙරෙට්ටන් හා ජෙප්පන් සමගද, විගී හෝ සම්බන්ධන සමගද රවුෆ් හකීම් හා ජමාඩ් තව්ෆීක් සමගද ගිවිසුම් ගතවී, ගොමා සංගමයේ, නර්ස් නෝනලාගේ, ඇටෙන්ඩන්ට් ලාගේ හා සම-සෞඛ්‍ය නඩයේද ආශීර්වාදයෙන් චන්දට ඉදිරිපත්ව සුළු චන්ද සංඛ්‍යාවකින් යූ.ඇන්.පිය පරද්දා දිනනු ඇත.

2020 මහින්ද/බැසිල්/ගෝඨා ටීම් එක ඉතා අපහසු ජයක් වාර්තාකරන අතර ඊට පස්සේ අන්තරේට, පෙරෙට්ටන්ට, ජෙප්පන්ට, තව්ෆීක්ලාට වගේම අනාගතයේ රාජපක්ෂ හිතවතුන් පටන් ගන්නට ඉන්නා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට තර්ජනයක් විය හැකි ගොමා සංගමයටද බඩුම තමාය.

නිවටයා දුටුවිට එළුවාද රැවුල පානවා මෙන් දැන් සඟ සමුළු කැඳවනවායයි ලොකු අභියෝග දාන නායක ස්වාමීන්වහන්සේලා "අපි අනුසාසනා ගණන් ගන්නේ නෑ...." කියා පැත්තකට වෙනු ඇත. එයලා එසේ කියා කට-පුක වසාගෙන, සියල්ල නොදැක්කා මෙන් සිටි කාළය අවුරුදු තුනක අතීතය පමණකි. මහින්දානුගාමික හාමුදුරුවන්ට වෙන්නේ මහින්දගේ බේබිලාට මාළිගාව වටේ රේස් පදින්නට, රක්ෂිතවල-පංසල් ඉඩම්වල හෝටල් හදන්නට අවශ්‍ය මල්වතු-අස්ගිරි-සියම් ශේප්මන්ට්/හෝ ත්‍රෙට් ලබාදී කළමණාකරණය කරගෙන සිටීමයි. ඒ සඳහා මහින්ද මහත්තයාගෙන් ඉතා හොඳ සැලකුම් ලැබෙනු ඇත.

2020 බලයට එන රාජපක්ෂලා තවත් අවුරුදු 30කට බලය තහවුරු කරගෙන පැවත්වා ගැනීමේ මෙහෙයුම අප්‍රමාදව අරඹනු ඇත. දැන් වැඩිම බලයක් පෙන්වන දොස්තර සංගමය දෙකඩ-තුන්කඩ වනු ඇති අතර අන්තරේ වීරයන්ට එක ගෙදරක සති-දෙකතුනකට වඩා සිටිය නොහැකි තත්වයටම ආරක්ෂාව සහතික වනු ඇත. එපමණක් නොව ලංකාවේ හිටියොත් අනිවාර්යයෙන් දහම් බේබී දඟගෙයි වැටෙනු ඇති අතර මෝඩ මෛත්‍රී මහත්තයාට මොනවා වෙයිදැයි කියන්නට බැරිය. රනිල් නම් සුපුරුදු ලෙස පර්මනන්ට් ලීඩර් ඔෆ් ද ඔපසිශන් වී ජීවිතේ ඉතිරි කාලයද රටේ තුන්වැනි පුරවැසියා ලෙස ගෙවනු ඇත.

එදාට අපිත් පොලිටික්ස් නොලියා සයන්ස්ම පමණක් ලියා පැත්තකට වී අපේ ජොබ් එක කරගෙන සිටිනු ඇත.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...