Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 14 December 2017

SCIENCE FICTION : "Mission in Afghanistan | ඇෆ්ඝන් මෙහෙයුම" - විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය ලඟදීම

2016 නෙළුම් යාය බ්ලොග් සම්මාන උළලේ හොඳම විද්‍යා ප්‍රබන්ධයට හිමි සම්මානය විද්‍යා ගවේෂණට ලැබුණුදා....
මගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය වන "Mission in Afghanistan | ඇෆ්ඝන් මෙහෙයුම" ලඟදීම බ්ලොග් අවකාශයට මුදා හරින්නයි බලාපොරොත්තුව. මේ ඒ ප්‍රබන්ධයේ තෝරාගත් කොටස් කිහිපයක්.



8.10AM, 45 minutes to Chaghcharan Airbase, Ghore Province, Central Afghanistan | චාඝ්චරන් ගුවන් කඳවුරට විනාඩි 45ක් දුරින්, ඝෝර් පලාත, මධ්‍යම ඇෆ්ඝනිස්ථානය

ඔවුන් තව විනාඩි 45කින් පමණ චාඝ්චරන් ගුවන් කඳවුරට ගොඩබසින බව නියමුවන් දැනුම් දුන්නා. ස්ටාෆ් සාර්ජන්ට් බ්‍රැඩ්ලි ඇතුලු 75වැනි රේන්ජර් විශේෂ බළකායත්, ඔවුන් හා බද්ධව මෙහෙයුම් කල ශ්‍රී ලංකා විශේෂ බළකායේ තුන්වන රෙජිමේන්තුවත් චාඝ්චරන් ගුවන් කඳවුරේ සිට ක්‍රියාත්මකවූවා.

එකිනෙකට සමීපව උපරිම වේගයෙන් පියාසර කරමින් සිටි බ්ලැක් හෝක් යානා දෙකෙහි, නියමුවන් සතර දෙනා හා ප්‍රථමාධාර දෙන මෙඩික් නිළධාරීන් දෙදෙනාද ඇතුලුව ඇතුලුව විසි හතර දෙනෙකු ගමන්කරමින් සිටියා. ප්‍රහාරක කණ්ඩායමේ මුලින්ම මිය ගිය වෙඩික්කරුවන් දෙදෙනා හැරෙන්නට ඉතුරු දහ අට දෙනාට එතරම් හානි සිදුවී තිබුණේ නෑ. තුවාල ලැබූවන්ට යානවල සිටි මෙඩික් නිළධාරීන් ප්‍රතිකාර කල අතර ඔවුන්ගේ තත්වය බරපතල වුනේ නෑ. ප්‍රහාරයට සහභාගීවූ ශ්‍රී ලංකා විශේෂ බළකායේ තිදෙනෙකුට සුළු තුවාල සිදුවී තිබුණා.

බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....බීප්.....බීප්....

එක්වරම යානයේ ප්‍රධාන අණතුරු ඇඟවීමේ නලාව ශබ්ද වන්නට පටන් ගත් අතර යානය තුල ප්‍රධාන ලාම්පු රතුපැහැයෙන් නිවි නිවී දැල්වෙන්නට වුනා.

“Missile alert!!........Missile alert!!........take evasive action…..”

යානයේ උප නියමුවා හඬනැගූ අතර ප්‍රධාන නියමුවා එක්වරම යානයේ දකුණට හැරවූවා. අනෙක් යානය වේගයෙන් වමට හරවන බව ප්‍රධාන දොරටුව අසලම සිටි විශේෂ බළකා මේජර් කැලුම් විතානගේ දුටුවා. ආරක්ෂිත පටි පැළඳ සිටි නිසා යානයෙන් ඉවතට විසිනොවූවත් ආරක්ෂිත නොතබා තිබූ දෑ ඒ මේ අත විසිවෙන්නට ගත්තා. නියමුවා වේගයෙන් යානය යලිත් හැරවූ අතර මිසයිලය තවමත් හඹා එන බව දිගටම නාදවූ අණතුරු ඇඟවීමෙන් තහවුරු වුනා. නියමුවන්, යානා ඒ මේ අතර හරවමින්, හැකිතාක් පහලට පියාසර කරමින් තමන් පසුපස ලුහුබඳින මිසයිල වලින් ගැලවීමට උත්සහ කලත් පලක්වූයේ නෑ. මේජර් කැලුම් ගමන්කල යානයේ වැදුනු මිසයිලය හෙන හඬ නගමින් පුපුරාගියා.


6.19pm, 48 Km to Bagram Airbase -  බැග්‍රැම් කඳවුරට කිලෝමීටර් 48ක් දුරින්.


කළු රෙදි උරයකින් හිසවසාගත් තරබාරු අලුගෝසුවා සිය අසිපත කැලුම්ගේ බෙල්ලට තබා "අල්ලා හූ අක්බර්...සුභනා රබියල් අදීම්..." යාඥාව හඬනගා කියවූවා.

මිත්‍රත්වය, පරෝපකාරය, යහපත් හැසිරීම, අල්පේඡ්චතාවය, නිතර යාඥා කිරීම, තමන් දිවිගෙවන දේශයට ඇල්මෙන් ක්‍රියාකිරීම ආදී යහපත් දෑ දෙසන දහමක් අදහනවා, එය පෝෂණය කරනවා, එය දෙසූ ශ්‍රාස්තෲන්ගේ ගෞරවය රකිනවා යයි  කියමින් බෙලිකපන්නට යන මේ මිනිස් කැනහිලුන් ඒ පව් සියල්ලම දෙවියන්වහන්සේගේ කරපිටින් යවන්නට පාවිච්චි කරන්නේ "අල්ලාහ් හූ අක්බර්! - දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි...." යන ඉස්ලාම් යාඥා පාඨයයි.

දෑස් තදින් පියාගෙන දත්මිටි තදකරගත් කැලුම් අවසන් මොහොතට සූදානම් වුනා.

"ඇත්තටම මේ වෙන්ඩ යන්නේ හොඳක්...." කැලුම් හිතහදා ගත්තා.

 "තඩ්!!!" 

බොල් ශබ්දයක් ඇසුනු අතර උණුසුම් යමක් ඇඟ මත ඉහිරෙනු කැලුම්ට දැනුනා. ඒ උණුසුමට ඉහිරුනේ තමන්ගේම රුහිරු වියයුතු යයි කැලුම්ට හිතුනා. එහෙත් වේදනාවක් තිබුනේ නෑ.

වේදනාව එන්නේ ටිකක් පහුවෙලා....

Starbucks Cafe, Bragram Airbase, Afghanistan 1.38pm | ස්ටාබක්ස් අවන්හල, බැග්‍රැම් ගුවන් කඳවුර, ඇෆ්ඝනිස්තානය

“හිතාගන්නත් බෑ...අවුරුදු අසූවක් වයස භික්ෂූන්වහන්සේ කෙනෙකුට ඔයවගේ බලයක් තියෙනවා කියලා. එතුමා රහතන්වහන්සේ කෙනෙක්ද?”

"මම ඇහුවා...නෑ කිව්වා.....භාවනායෝගීව අවුරුදු ගාණක් ඉන්න ඇති...."

"ඒත්....." කියනකොට කැලුම් හදිසියේම දෑස් පියාගත් නිසා යසිත් කළබල වුනා.

"ඇයි අයියේ? අමාරුවක්ද?"

"ඔයාගෙ ෆෝන් එක ගන්න...ඒකට ෆේස්බුක් මැසේජ් එකක් ආවා.....Hiruni likes your new profile pic…"

නළල රැළි කරගත් යසිත් ඔහුගේ ෆෝන් එක එලියට අරගෙන දෙතුන් පාරක් ස්වයිප් කරා...ඔහුගේ දෑස් පොල්ගෙඩි තරම් විශාල වුනා....

“How the f**k did you do that??? …. මම දැන් මැසේජ් එකක් යවනවා...පුලුවන් නම් කියන්න මොකක්ද කියලා….” යසිත් අභියෝගකලා


 Storage Facility 17, Bagram Airbase Afghanistan

“නිදිමත, ව්‍යාකූලත්වය හා සැලී පෙනීයාම නිසා ක්ෂණික කෝපයට පත් කැලුම් සැලීගේ දෑත් ගසා දමා ඇයව තල්ලු කලා. ඇණතියාගෙන සිටි ඇය අනපෙක්ෂිත තල්ලුකිරීම නිසා සමබරතාවය ගිලිහී වැටෙන්නට ගියා.

“BLOODY HELL…. WE HAVE TO GO NOW!!!” තල්ලු කිරීමෙන් කෝපයට පත් සැලී කැලුම් වෙත බුරා හැලුනා. ඇය යලිත් කැලුම්ගේ අතින් ඇද්දා

“What the hell are u doing? Are you trying to get me killed?………You arrested me…….. Now you are trying to help me escape………..what the fuck Sally?”

[මොනවද තමුසේ මේ කරන්න හදන්නේ?....මට වෙඩිකාලා මැරෙන්න සෙට් කරන්නද යන්නේ?...ඉස්සෙල්ලා අපිව අල්ල ගත්ත....කූඩුවේ දැම්මා...දැන් පැනලා යන්න කතාකරනවා?....මොන මගුලක්ද සැලී මේ?]

ඒසමගම කැලුම් විවරවී තිබූ දොර අබියස වැටී සිටි සෙබලුන් දෙදෙනා දුටුවා.

"තමුසේ මේ දෙන්නව මැරුවද?"

"පිස්සුද? මම මිනීමරුවෙක් නෙමෙයි.....මෙයාලගේ කෝපි වලට වැලියම් ඩ්‍රොප්ස් දැම්මා නින්ද යන්න.....යසිත් දැම්මෙත් ඒවා නේද? තවත් කාලෙ කන්නේ නැතුව යමු කැලුම්..."

සැලී කැලුම්ගේ බාහුවෙන් ඇද්දා. මෙවර ඔහු විරුද්ධ වුනේ නෑ.

"කෝ යසිත්?"

"එයාව ගන්න තමයි මේ යන්නේ...."

සැලී දොර විවර කරද්දී නිදි කිරා වැටෙමින් සිටි යසිත් දොර ඇරෙන සද්දෙට ඇහැරුනා.

“Ayya what is this? What is this CIA bitch doing?” යසිත් ඉංග්‍රීසියෙන් ඇසුවේ සැලීට තේරෙන්නත් එක්ක වෙන්න ඇති.

“Yasith please………..”  කැලුම් යසිත්ගේ නපුරු කට වහන්න හැදුවා.

“This CIA bitch is the only person who can help you…….. So come with me or rot in hell….” [ඔයාලට දැන් උදව් කරන්න පුලුවන් එකම එක කෙනා මේ සී.අයි.ඒ බැල්ලි විතරයි. එනිසා එනව නම් එන්න...නැත්තම් ඔතන කුණුවෙන්න....] සැලී ආපසු හැරුනා.

“Do you trust her now?” යසිත් යලිත් ඇසුවා. ඔහු සැලීට තේරුම් යන්න ඉංග්‍රීසියෙන් කතා කිරීම කැලුම්ට වදයක් වුනා.

“Do we have a choice Yasith?” [අපිට වෙන විකල්පයක් තියෙනවද යසිත්?] කැලුම් කේන්තියෙන් ඇසුවා.

ගමන නැවැත්වූ සැලී ආපසු හැරුනා. කෝපාවිෂ්ටවී සිටි ඇයගේ දෑස් දිළිසුණා






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...