Related Posts Plugin for WordPress, Blogger...

Friday, 26 January 2018

SCIENCE FICTION : විකෘත වනාන්තරය | Mutant Forest





















ජූනි, 2019

කලබින්න වනාන්තරය තුල යමක් සිදුවන බවට ආරංචි ලැබෙන්නට පටන් ගෙන මාස ගණනාවක් වෙනවා. සිංහල අවුරුද්දටත් කලින් ලැබෙන්නට ගත් මේ වාර්තා ගැන වනජීවී නිළධාරීන්, වන සංරක්ෂණ බළධාරීන් මෙන්ම පොලීසිය දැනුවත් කලද කිසිවෙක් කිසිදු පියවරක් ගත්තේ නෑ. වනය තුල සිදුවන දැව ජාවාරම් හා දඩමස් ජාවාරම්වල නියුතු පිරිස්, පිටස්තර පුද්ගලයින් හා ගම් වාසීන් වනයට ඇතුලුවීම වැලැක්වීම සඳහා මෙවැනි කතා ප්‍රචාරය කරන බව ඔවුන්ගේ අදහස වුනා. මේ ජාවාරම්කරුවන්ට ප්‍රභල දේශපාලන සබඳතා තිබෙන නිසා මේවා පිලිබඳව සොයා නොබලමින් යට ගසන බවට පරිසර සංවිධාන චෝදනා කලා.

කැලෑවට දර කපන්නට ගිය ගැමියන් කිහිප දෙනෙකු වනය මැද අමුතු ගස් වර්ගයක් වැවී ඇති බවත් තද කොළ පාටට හුරු දම්පාටක් ඇති දිගැටි පත්‍රවලින් යුතු ඒ ගස් අසලට ගිය විට ඒවා පණ ඇවිත් මෙන් පත්‍ර දිගුකොට තමන්ව ඇදගන්නට උත්සහ ගත් බව පැවැසූ බව වාර්තාවූ අතර ඔවුන් දැඩි ලෙස බියපත්වී සිටි බවක් පෙනුනා.

එම තොරතුරු ඇසූ අඩවි වන නිළධාරීන් මෙන්ම මෙන්ම පොලීසියද එම වාර්තා හාස්‍යයෙන් බැහැර කලා.

"මුං ගංජා ගහලද කොහෙද කැලෑවට ගිහින් තියෙන්නේ..."

“මුනුත් ඔය ජාවාරම්කාරයෝ එක්ක සම්බන්ධ ඇති. ඔය කතා පැතිරුනාම මිනිස්සු කැලෑවට යන්නේ නෑනෙ...ඒකයි ඔය බොරු ඇදබාන්නේ…”

කෙසේ වෙතත් වනාන්තරය තුල බියකරු අවතාර ඇති බවට පවසමින් වසර ගණනාවක් මුවන්ට, ගෝණුන්ට, වල් ඌරන්ට තුවක්කු බඳිමින් දඩමස් ජාවාරම් කල මස් වැද්දන් පවා කැලයට යන්නට බියවී සිටින බවට පුවත් පත් වාර්තාකර සිටියා.

"මේ පව් කාරයන්ගෙ වැඩ ගැන දෙයියෝ කෝප වෙලා........ඔය වනය මැද්දේ මහා පුරාණ දේවාලයක් තියෙනවා. ඉස්සර ඔය පැත්තේ නිට්ටෑවෝ කියලා වානර මිනිස්සු ඉඳලා තියෙනවා. උන් වන්දනාකරපු දෙවියන්ට හදපු දේවාලයක් ඕක....ඔය පැත්තේ ඒ දෙවියන්ගේ අවතාර තියෙනවා...." ගමේ පන්සලේ වයස්ගත ස්වාමීන් වහන්සේ බියටවී පත් ගම්වැසියන් සනසමින් කියා සිටියා.

"වනාන්තරේ ඇතුලේ දේවතා එලිත් තියෙනවා...මං ඇස් දෙකෙන්ම දැක්කා..." වනාන්තරේ මායිමෙන් එහාට නොගිය, එහි මායිමේ හේන් කොටාගෙන ජීවත් වන ගැමියන් වනය ඇතුලේ සිදුවන අත්භූත දේවල් ගැන ඉව අල්ලමින් ආ පත්තර කාරයන්ට කියා තිබුණා.

“කලබින්න වනාන්තරේ දේවතා එළි සොයා මාබිම ගිය ගමන...!!” ඉරිදා පත්තර අතිරේකයක හෙඩිමක් මොරදුන්නේය.

“කලබින්න කැලේ නිට්ටෑ රජදහනේ රාවණා රජ්ජුරුවෝ හදපු වල්බිහිවූ අබිරහස් දේවාලය......!!” තවත් බැනර් හෙඩිමක් පාඨකයින් හොල්මන් කලේ මෙලෙසින්.

"දෙයියෝ කෝපවෙලා දඩයක්කාරයින් පන්නා ගත් කලබින්න වනාන්තරේ පීරලා ලංකදීපරේ සොයාගත් ඇත්ත....!!" වනාන්තරය ඇතුලට අඩියක් වත් නොතියා වට පිටේ ගැමියන්ගෙන්, පන්සලේ හාමුදුරුවන්ගෙන් අසාගත් විස්තරවලට ලුණු ඇඹුල් අතින් දමා ලියූ තවත් “ගවේෂණාත්මක” ලිපියක හෙඩිම මෙසේ විය.

වනාන්තරය තුල සිදුවන්නේ සිදුවන්නේ කුමක්දැයි සොයාබලමින් සත්ව සංගණනයක් කරන්නට කොළඹින් මහාචාර්ය වරයෙක් හා විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු පැමිණියේ ඔය අතරේය. වන ජීවියෙන්, වන සංරක්ෂණයෙන් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද පර්යේෂණ අවසරපත් ලබාගෙන තිබූ නිසා බාධාවකින් තොරව වැඩට බසින්නට ඔවුන්ට හැකියාව ලැබුණි. කැලේ ගැන දන්නා කෙනෙක් මග පෙන්වන්නෙක් ලෙස සොයා ගැනීම බොහෝ අමාරුවූයේ කවුරුත් කැලේ ඇතුලට යන්නට අකමැති වූ නිසාය. අන්තිමට දඩමස් ජාවාරමට තිත වැටීම නිසා හොඳටම අහේනියෙන් පෙලුනු දඩයක්කාරයෙක් කැමතිකරවා ගන්නට මහාචාර්යතුමාට හැකිවුනා.

කෙසේ වෙතත් මහාචාර්යවරයා මෙන්ම ගෝල පිරිසද කැලෑවට කෝඩුකාරයින් නොවීය. මහා වනාන්තර තුල සතිගණන් කඳවුරු බැඳගෙන පර්යේෂණවල නිරතවී පලපුරුද්ද ඇති ඔවුන් වනගත ජීවිතය පිලිබඳව හොඳ පුහුණුවක් හා අත්දැකීම් ඇති කණ්ඩායමක් විය. එමෙන්ම සතියක් වුව කැලෑවේ ගතකිරීමට ඇති තරම් ආහාර, හදිසි ආපදාවකදී පණිවුඩ හුවමාරුවට චන්ද්‍රිකා දුරකථනයක් මෙන්ම, මග සොයාගැනීමට ජී.පී.එස් යන්ත්‍රද ඔවුන්ගේ උපකරණ ගොන්න අතර වුනා.

දවස් දෙකකින් ආපහු එනවා යයි කියමින් පිටත් ගිය ඔවුන් දින හතරකට පසුවත් කැලයෙන් එලියට නොපැමිණීම නිසා ගැමියන් කළබල වුනා. එකල මෙකලව සිටි පොලීසිය ලඟම ඇති විශේෂ කාර්ය බළකායේ කඳවුරෙන් සහය අයැද සිටියා. "කැලේ ඇතුලේ සන්නද්ධ කල්ලියක් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. ඇතුලට ගිය කොළඹින් ආපු කට්ටියක් දැන් අතුරුදහන්...." පොලිස් මූලස්ථානයට ඔවුන් දුන් වාර්තාවක් අනුව කොළඹින් අණලැබී සන්නද්ධ විශේෂකාර්ය බළකා සෙබලුන් 20ක් සමග පොලිස් නිළධාරීන් 10ක් වනය තුලට වැදුනේ මහාචාර්යවරයා ඇතුලු කණ්ඩායම වනාන්තර ගතවී දින හයකට පසුවයි.

පැය ගණනාවක් වෙහෙසී කිලෝ මීටර් 20ක් පමණ වනය තුලට ගිය ඔවුන් මහාචාර්යවරයාගේ හා සිසුන්ගේ සිරුරු සොයාගන්නා විට ඒවා ජෙලි මෙන් දියවී ඛාදනය වී තිබුණා. ඒවායේන් ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමන බවත්, එම දුගඳ සාමාන්‍ය මිනී කුණුවන විට හමන දුර්ගන්ධයට වඩා බොහෝ වෙනස් බවත් පොලිස් නිළධාරීන් වාර්තාවල සටහන් කොට තිබුණා. මග පෙන්වන්නට ගිය දඩයක්කාරයාට කුමක් සිදුවුනිදැයි තොරතුරක් සොයාගත නොහැකිවුනා.

"මේ මිනිස්සුන්ව කැලේ අතරමන් කරලා ඌ පණින්න ඇති...." කැලය තුලට ගිය විශේෂකාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයා අනුමාන කලා.

"සිරුරු හමුවුනේ කැලෑව ඇතුලේ තියෙනවා කියල ගරා වැටුනු දේවාලේට හැතැප්මක් විතර ඈතින්. දේවාලෙ ලඟට යන්න බෑ, ඝණ කැලෑව. සිරුරු සොයාගත් නිසා අපි රෑවෙන්න කලින් ආපසු හැරුනා...." පොලිස් වාර්තාවේ තවදුරටත් සඳහන් විය.

"කලබින්න වනාන්තරය තහනම් ප්‍රදේශයක් බවට නම් කරයි!" - දිවමිණ දිනපතා පුවත්පත

“ඉකුත්දා කලබින්න වනාන්තරයට පර්යේෂණයක් සඳහා ගිය මහාචාර්යවරයාගේ හා සිසුන් සිවුදෙනාගේ අභිරහස් මරණ නිසා එම වනාන්තර ප්‍රදේශය තහනම් ප්‍රදේශයක් බවට නම් කිරීමට රජය තීරණය කරලා. එහි සිදුවන්නේ කුමක් දැයි සොයා බැලීම සඳහා යුධ හමුදාව හා විශේෂ කාර්ය බළකාය එක්ව මෙහෙයුමක් සූදානම් කෙරෙමින් පවතින අතර එම මෙහෙයුම අවසන් වන තෙක් වනාන්තරය තුලට ගමන් කිරීමට කිසිවෙකුටත් අවසර නැතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කොට සිටිනවා.”

“මහාචාර්යවරයාගේ හා සිසුන්ගේ මරණ පරීක්ෂණ වාර්තා නිකුත්වී ඇති අතර එම මරණ වලට හේතුව අවිනිෂ්චිත බවයි සඳහන් වෙන්නේ. යම් විෂක් ශරීරගතවීම නිසා ඔවුන් සිහිසුන් වන්නට ඇති බව නිගමනය වී ඇති අතර, එම විෂ වර්ගය කුමක්දැයි පැහැදිලිවී නෑ. එමෙන්ම අස්වාභාවික ලෙස එම සිරුරු නරක් වීමට හේතුවද පැහැදිලි වී නෑ. කෙසේ වෙතත් එම සිරුරු ජීර්ණය වී ඇති ආකාරය අනුව යම් ජීර්ණ යුෂ වර්ගයක් ඒවා මතට වෑස්සී එමගින් සිරුරු ජීර්ණය වී ඇති බවයි පැවසෙන්නේ.."

" මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුදත් සිරිවර්ධන මහතා පැවසූවේ මේ සිරුරු ජීර්ණයවී ඇති ආකාරය අනුව ඒවා මතට බාඳුරා වැනි මාංෂ භක්ෂක ශාඛ තමන් අල්ලා ගන්න කෘමිසතුන් ජීර්ණය කිරීමට ශ්‍රාවය කරන ජීර්ණ යුෂ වලට සමාන ද්‍රාවණයකට නිරාවරණය වී ඇතැයි අනුමාන කරනවා. එහෙත් මිනිස් සිරුරු කිහිපයක් ජීර්ණය කිරීමට තරම් විශාල ලෙස එම ජීර්ණ යුෂ ශ්‍රාවයකල හැකි ශාඛ මිහිපිට නැති බවයි ඔහු පවසා සිටින්නේ. වසර ලක්ෂ ගණනකට පෙර එවැනි විශාල මාංෂ භක්ෂක ශාක තිබෙන්න ඇතැයි ඔහු අනුමාන කරනවා. එහෙත් ඒ සඳහාද නිෂ්චිත ෆොසිල සාධක ලැබී නෑ..."

වසර 100කට කලින් කලබින්න කැලෑවේදී අතුරුදහන්වූ බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමක් ගැන තොරතුරු හෙලිවේ!! - BBCSinhala.Com

“1916 මාර්තු 20 වැනිදා කලබින්න කැලෑවේ පෞරාණික දේවාල භූමිය ගවේෂණය කිරීම සඳහා පිටත්ව ගිය බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ රොබර්ට් ඩේවිස්, ඔහුගේ බිරිඳ හා පර්යේෂණ සහයිකාව වූ මැටිල්ඩා ඩේවිස්, විනෝදයට සතුන් දඩයමේ යෙදුනු බ්‍රිතාන්‍ය ජාතික තේ වැවිලිකරුවෙකු වූ ස්ටීවන් ෆ්ලෙමින්ග් හා එම කණ්ඩායමේ කුලීකරුවන් ලෙස ගමනට සභාගීවූ ද්‍රවිඩ හා සිංහල ජාතිකයින් දොලොස් දෙනෙකු ආගිය අතක් නොමැතිව අතුරුදහන්වූ බව ජාතික ලේඛණාගාරයේ සුරක්ෂිතව ඇති පැරණි පුවත් පත් වාර්තා පරීක්ෂාකල කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය චන්ද්‍රසෝම සෙනෙවිරත්න මහතා පවසනවා.."

"පර්යේෂණ කෘතියක් සඳහා පැරණි පුවත්පත් වාර්තා පරීක්ෂාකරමින් සිටි ඒ මහතාට මෙම පුවත් පත් වාර්තා හමුවී ඇති අතර දැනට කලබින්න වනයේ උද්ගත වී ඇති තත්වය නිසා වහාම මේ පුවත් පත් වාර්තාවල පිටපත් ලබාගෙන බලධාරීන් වෙත යැවූ බව සෙනෙවිරත්න මහතා පවසනවා..."

"1916දී ඉංග්‍රීසි බසින් පලවූ පුවත් පත් කිහිපයකම මේ වාර්තා පලවී ඇති අතර එවක ලක්දිව පාලනය කල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයින්ට එම පිරිස සෙවීම සඳහා භට පිරිස් යවන්නට නොහැකිවී ඇත්තේ එවකට යුරෝපය පුරා පැතිරී තිබූ පලමුවන ලෝක යුද්ධයට ලංකාවේ ස්ථානගත කොට තිබූ හමුදාවන් විශාල ප්‍රමාණයක් යවන්නට සිදුවූ නිසා බව ඒ වාර්තාවල සඳහන් කොට තිබුණා. එමෙන්ම කොළඹ , ගාල්ල, ත්‍රිකුණාමළය වැනි වැදගත් නගර වල ආරක්ෂාවටද විශාල භටපිරිස් යොමු කොට තිබූ නිසා ඉතා දුෂ්කර පෙදෙසක ඇති ඝණ කැලෑවක අතුරුදහන් වූ පිරිස සෙවීමට යෙදවිය හැකි පිරිස් බලයක් නොතිබූ බවයි අග්‍රාණ්ඩුකාරවරයාගේ නියෝජිතයෙකු පුවත්පත් වාර්තාකරුවන්ට පවසා තිබෙන්නේ. එවක ලංකාවේ අග්‍රාණ්ඩුකාරවරයා වූයේ රෙජිනෝල්ඩ් එඩ්වර්ඩ් ස්ටබ්ස් මහතායි.."




කැලේ මැද්දේ හිටපු වන සතුන් දැන් ඒ පැත්ත මග අරිනවා…! - ලංකානිව්ස්.කොම්

“කොටියන්, වළසුන්, ගෝනුන් ආදී සතුන් බහුලව ගැවසුනු කලබින්න වනාන්තරයේ මැද ප්‍රදේශයෙන් ඒ සතුන් ඉවත්ව ඇති බවක් පෙනෙන බව පරිසරවේදීන් පවසනවා. ඝණ වනාන්තරයේ පෞරාණික දේවාලය ඇති පෙදෙස වනය මැද පිහිටා ඇති අතර එය වන සතුන්ගේ පාරාදීසයක්වී තිබුණා. වසර පනහකට පමණ පෙර මෙහි ඇත් රංචුවක්ද ගැවැසී ඇතත් දැන් උන් දකින්නට නෑ. මෙහි ගැවසුනු වන සතුන් යම් හේතුවක් නිසා එම ප්‍රදේශයෙන් ඉවත්ව වනයේ පිරිවැටිය පෙදෙසට පැමිණ ඇති බවත් මේ නිසා වනය අවට ගම්මාන වලට විශාල තරජනයක් ඇතිවී ඇති බවත් පරිසර වේදීන් පවසනවා.”

“සේනානායක සමුද්‍රය වටා පිහිටි ගල්ඔය ජාතික වනෝද්‍යානයේ, සේනානායක සමුද්‍රයට වයඹින් පිහිටි කලබින්න වනාන්තරය දැඩි රක්ෂිතයක් ලෙස නම් කෙරුනේ 1954දී ගල්ඔය වේල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියත් සමගමයි..”

කලබින්න වනයට ගිය හමුදා අණුඛණ්ඩය අතුරුදහන්!!! - ලංකා පුවත්

“පසුගිය දා කලබින්න වනය තුල සිදුවූ අභිරහස් සිදුවීම් ගැන සොයාබැලීම සඳහා වනය තුලට පිවිසි අනූදෙනෙකුගෙන් සමන්විත හමුදා අණුඛණ්ඩයෙන් ලැබෙමින් තිබූ රේඩියෝ පණිවිඩ ඊයේ රාත්‍රියේ සිට ඇණහිට ඇති බව හමුදා මූලස්ථානය වාර්තා කරනවා. මෙම භට පිරිස සමග වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි නිළධාරීන් සිවුදෙනෙකු හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිළධාරීන් දෙදෙනෙකු පිටත්ව ගියේ පෙරේදායි. පාන්දර හයට ඔවුන් වනය තුලට පිවිසි බවත්, එදින සවස් වනවිට ඔවුන් පැරණි දේවාලය අසලට පිවිසීම සඳහා වනය එලි පෙහෙලි කරමින් ගමන් කරමින් සිටි බවත් වාර්තා වුනා..."

"පෙරේදා රාත්‍රී නවයට පමණ අවසන් වරට ලැබුණු රේඩියෝ ඇමතුමේ ආකාරයට භට පිරිසෙන් විසිදෙනෙකු පමණ හදිසියේ රෝගාතුර වී ඇති බවත්, සෙබලුන් ගරා වැටුනු දේවාලය අසල කඳවුරු බැඳගෙන සිටින බවත් කියැවුනා. රෝගාතුර වූ භටයන් හෙලිකොප්ටර් මගින් ගෙන ඒම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් දෙකක් සූදානම් කරමින් සිටින බවයි ගුවන් හමුදාව පවසා සිටියේ...."

"කෙසේ වෙතත් යම් කාර්මික දෝෂයක් නිසා රේඩියෝ පණිවුඩ යන්ත්‍ර ක්‍රියාවිරහිත වී ඇති බවට අනුමාන කෙරෙන අතර එවැනි අවස්ථාවලදී ක්‍රියාකල යුතු ආකාරය පිලිබඳව හොඳ පුහුණුවක් යුධ හමුදා භටයින්ට ලබාදී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ..."

Breaking News (LIVE!) - SLRC/ITN

"ආරක්ෂක අමාත්‍යංශය විසින් හදිසියේ කැඳවන ලද පුවත්පත් සාකච්ඡාවක් තව සුලු මොහොතකින් ආරම්භවීමට නියමිත වන අතර එය සජීවීව වාර්තාකිරීම සඳහා එහි ගොස් සිටින අපගේ මාණ්ඩලික වාර්තාකරු පාඨලී වෙඩිසිංහ වෙත දැන් අපි යොමුවෙනවා..."

“ස්තූතියි නයෝමී.......

“තව සුලු මොහොතකින් මේ පුවත්පත් සාකච්ඡාවට සහභාගීවීම සඳහා ආරක්ෂක ලේකම්තුමාත්, යුධ හමුදාපතිතුමා හා ගුවන් හමුදාපතිතුමාත්, වනජීවී දෙපාර්තමේන්තුවේ ලේකම්තුමාත් මෙතනට පැමිණීමට නියමිතයි. මීට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ හා රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශවල ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරුන් දෙදෙනෙකුත් මේ සාකච්ඡාවට සහභාගීවීම සඳහා දැනටමත් මේ ස්ථානයට පැමිණී සිටිනවා..”

“අද උදෑසන සිටම ජනාධිපතිවරයාත්, අග්‍රාමාත්‍යවරයාත් ආරක්ෂක අංශ ප්‍රධානීනුත් කලබින්න වනාන්තරයේ උද්ගතවී ඇති තත්වය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා සාක්ච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා..”

“කලබින්න වනයට ඇතුලුවී දැන් අතුරුදහන්වී සිටින හමුදා නිළධාරීන් අනූදෙනා හා වනජීවී හා වනසංරක්ෂණ නිළධාරීන්ගේ පවුල්වල ඥාතීන් අද උදෑසන ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට වහාම සිය ඥාතීන් සොයාදෙන ලෙස පැවැත්වූ උද්ගෝෂණය අතරතුර උණුසුම් තත්වයක් හටගත් බව අප කලින් වාර්තාකලා. දැනට මේ භටපිරිස අතුරු දහන්වී දින හයක් ගතවී ඇතත්, ඔවුන් සොයා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හෝ රජය කිසිදු පියවරක් ගෙන නොමැති බවට චෝදනා කරමිනුයි මේ උද්ගෝෂණය සංවිධානය කොට තිබුණේ….”

“ඔව් දැන් පුවත්පත් සාකච්ඡාව ඇරඹුනා…”

"කෙටි දැනුම්දීමකින් මෙතනට පැමිණීම ගැන මා මෙහි සිටින දෙස් විදෙස් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට ආරක්ෂක ලේකම්වරයා ලෙස මා පලමුවෙන්ම ස්තූතිවන්ත වෙනවා. කලබින්නේ දැන් උද්ගත්වී ඇති තත්වයත්, ඒ පිලිබඳව ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා සමග පැවති සාකච්ඡාවලදී ගනු ලැබූ තීරණත් ඔබට දැනුම් දෙන්නට මා බලාපොරොත්තු වෙනවා. ඉන්පසු ප්‍රශ්ණ ඇසීම සඳහා අවස්ථාව ලබාදෙන්නම්..."

“මුලින්ම කලබින්නට යැවූ සෙබලුන්ගෙන් වැඩි පිරිසක් නිසි පලපුරුද්දක් නැති ආධුනික සෙබලුන් බවට චෝදනාවක් තිබෙනවා. මෙහි සත්‍යතාවයක් නෑ. එම අනූදෙනා අතර ක්‍රියාන්විත රාජකාරිවල නිරතවූ කපිතාන්වරයෙක් හා ලුතිනන්වරුන් දෙදෙනෙක් ඇතුලත් වුනා. ඔවුන්ගෙන් 78දෙනෙක්ම හමුදාවේ වසර පහකට වඩා සේවය කොට ඇති අය. ඉතුරු දොලොස් දෙනා පමණයි ආධුනික සෙබලුන් වූයේ..."

“ඊයේ උදෑසන සිටම ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතුවල යෙදුනා. එම යානා ඉතා පහතින් පියාසර කරමින් එම හමුදා ඛණ්ඩය පිලිබඳ හෝඩුවාවන් සොයමින් ගතකලා. කවුරුන් හෝ සිටිනවානම් ඔවුන්ට අනිවාර්යයෙන්ම මෙම හෙලිකොප්ටර් හඬ ඇසී ඔවුන් සිටින තැන දැනුම් දීමට ෆ්ලෙයාර් නිකුත් කරන්නට පුලුවන් කම තිබුණා. එම කණ්ඩායම සතුව ෆ්ලෙයාර් උණ්ඩ දොලහක් හා ෆ්ලෙයාර් විදින තුවක්කු දෙකක් තිබිලා තියෙනවා. ”

"ඒවා පාවිච්චි කරලා ඉන්න තැන දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියන එක අපිට ලොකු ගැටලුවක්. මොකද සෙබලුන් අනූවක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. උතුරේ ක්‍රියාන්විතවල නිරතවුනු කපිතාන්වරයෙක් හා ලුතිනන්වරුන් දෙදෙනෙක් ඒ අතර සිටිනවා. ඔවුන් මීට වඩා භයානක මෙහෙයුම්වල යෙදිලා පලපුරුද්ද ඇති අය..."

"ආරක්ෂක ලේකම්තුමනි, මේ හමුදා නිළධාරීන්ගේ ඥාතීන්ගේ ලොකුම චෝදනාව තමයි හෙලිකොප්ටර් ගොඩබාලා කණ්ඩායමක් ඇතුලට යවලා හෙව්වේ නැත්තේ ඇයි කියන එක.... කොමාණ්ඩෝ බලකාය තියෙනවා, ක්ෂණික විහිදුම් බළකාය තියෙනවා, විශේෂ බළකාය තියෙනවා....ඇයි යුධ හමුදාවට තවම බැරිවුනේ මේ විශේෂ පුහුණුවක් ඇති සෙබලුන් කැලේ ඇතුලට යවන්න..ඇයි හෙලිකොප්ටර් ගොඩ බාලා හෙව්වෙ නැත්තෙ....?"

“ගුවන් හමුදාපතිවරයා විධියට මා ඒ ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නම්. හෙලිකොප්ටර් බස්සවන්න පුලුවන් තැනක් ඒ අවට තිබුනේ නෑ. හෙලිකොප්ටර් ගොඩබාන්න සෑහෙන ඉඩක් තියෙන්න ඕනෑ. ඒවගේම දැනට තියෙන තත්වෙ අනුව හෙලිකොප්ටර් මගින් කඹදිගේ පහලට බහින්න පුහුණුව තියන ගුවන්හමුදා කොමාන්ඩෝ භටයින් ගොඩබස්වන්න පුලුවන්කමක් නෑ මොකද ඒ කැලෑ ප්‍රදේශයේ ගස් අතර සම්පූර්ණයෙන්ම මීදුමක් වගේ යම් දුමක් පැතිරිලා තියෙනවා. ඒ මීදුම නොවන බව අපට තහවුරුයි. ඒක යම් ආකරයක විෂ දුමක් විය හැකි බවට සැකයක් තියෙනවා. ඉතින් තවත් සෙබලුන් ගොඩබැස්සුවොත් ඔවුන්ටත් අර කණ්ඩායමට අත්වුනු ඉරණම අත්වෙයි කියලා බියක් අපට තියෙනවා.

"ගුවන් හමුදාපතිතුමනි, ආරංචි විධියට හමුදා සෙබලුන් කඳවුරුලාගෙන ඉඳලා තියෙන්නේ පෞරාණික දේවාලය අසල. ගුවනින් බැලූවිට මොනවාද නිරීක්ෂණය වෙන්නේ?"

"ගුවනින් අපි සෑහෙන කාලයක් නිරීක්ෂණය කලා, ඒත් ඔය කියන දේවාලය තියෙන තැන වත් අපිට හොයාගන්න පුලුවන් වුනේ නෑ. ඒ ප්‍රදේශයම සම්පූර්ණයෙන්ම ඝණව වැඩුනු ගස්වලින් ආවරණය වෙලා. ඒ ගස් අතර දැඩි දුමාරයක් තියෙනවා. කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නෑ. වර්ගකිලෝමීටර් 5 විතර ප්‍රදේශයක මේ දුමාරය තියෙනවා...අපට තවම පැහැදිලි නෑ මොකක්ද සිදුවෙන්නේ කියලා…..ඒ අවිනිෂ්චිත බව නිසා තවත් හමුදාව ඒ පෙදෙසට ගොඩබස්වන්න හෝ කැලෑව තුලින් යවන්න හැකියාවක් නෑ..."

“දර කපන්න ඔය පැත්තට ගිය ගැමියන් කිහිපදෙනෙක් අත්භූත ගස් වර්ගයක් දැකලා තියෙනවා. ඔවුන් කියනවා ඒ ගස්වලට පණ ඇවිල්ලා ඔවුන්ව ඇදලා ගන්න හැදුවා කියලා. මේ ගැන හොයලා බැලුවද?”

"ඔව් බුද්ධි අංශ නිළධාරීන් වගේම කොළඹ හා රුහුණු විශ්වවිද්‍යාලවල උද්භිදවිද්‍යා විශේෂඥයින් මේ ගම්වාසීන් හැම දෙනෙකුගෙන්ම ප්‍රශ්ණ කලා, තොරතුරු ගත්තා. පලමුවෙනිම කාරණේ තමයි මේ ගම්වාසීන් බොරුවක් කරන්නේ නැති බව තහවුරු වෙලා තියෙනවා. කුමක් හෝ අත්භූත යමක් ඔවුන් දැක තියෙනවා කියන එක ආරක්ෂක අංශවලට තහවුරු වෙලා තියෙනවා.....ඒ ගස් ගැන වැඩි විස්තර ප්‍රකාශ කරන්නට කොළඹ හා රුහුණ ආචාර්යවරුන්ට පුලුවන් වෙයි....ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජයන්ත සිරිසේන මහත්මා, ඔබතුමාට පුලුවන් උද්භිද විද්‍යාත්මක පැත්ත ගැන පැහැදිලි කරන්න..."

"ඔව් දැන් මේ ගම්වාසීන් කියන විධියට සෑහෙන කාලයක් තිස්සේ ඔය පැත්තේ විවිධ අත්භූත දේවල් සිදුවෙලා තියෙනවා. ඔවුන් කිසිම කෙනෙක් දන්න කාලෙක ඉඳන් ඒ පැත්තට යන්නෙවත් නෑ. මේ කට්ටිය ඒ පැත්තට ගිහින් තියෙන්නේ පාර වැරදිලා කියලයි ඔවුන් කියන්නේ.

ඔවුන් විස්තර කරන ගස් වර්ගය උද්භිද විද්‍යාත්මකව පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඔවුන් කියනවා මිනිසෙකුගේ අල්ලක් තරම් පලල, ඉතාදිග දිග කොළ තියෙන අමුතු ගස් වර්ගයක් ඒ පාලාත පුරාම වැවිලා තියෙනවලු. ඒවා මොන ගස්ද කියලා කියන්න ඔවුන් දන්නේ නෑ. හැබැයි ඒවාවල පත්‍ර පණ ඇවිල්ල වගේ දිගුවෙලා ඔවුන් ඇදලා ගන්න හැදුවා කියල තමයි කියන්නේ...එහෙම කොළ අතුවලින් වැඩුනු මිනිසෙකු ඇදාලා ගන්න පුලුව ශාක ලෝකෙ කොහෙන්වත් වාර්තාවෙන්නේ නෑ... මාංෂ භක්ෂක ශාක තියෙනවා. ඒත් ඒවා විවිධ උපක්‍රම යොදලා කෘමි සතුන් වගේ පොඩි සතුන් ආකර්ෂණය කරගෙන, කොටුකරගෙන ඔවුන්ගේ යුෂ උරාගන්නා බාඳුරා වැනි ශාක ..."

“ඒ නිසා දැනට තියෙන විද්‍යාත්මක දත්ත අනුව අපට මේක පැහැදිලි කරන්න අමාරුයි. ඒත් ගුවන් හමුදා හෙලිකොප්ටර්වලින් මාත් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මිල්ටන් විමලසිරි මහත්මාත් ඔය කැලය ගුවනින් නිරීක්ෂණය කලා. ඒ පැත්තේ ගස් අතර තියෙන මීදුම වගේ දුමාරය ගැන සොයාබැලීම වැදගත්.”

“මේ දුමාරය කුමක්ද කියන එකත් අපට තේරුම් ගන්න බෑ. හමුදා සෙබලුන් මෙවැනි දුමාරයක් ගැන වාර්තාකරලා තිබුණේ නෑ. ඒ නිසා මෙය අලුත් තත්වයක් විය යුතුයි. සමහරවිට මේ ගස්වලින් පිටවන යම් රසායණික වාෂ්පයක් මේ විධියට දුමාරය වගේ පේනවද දන්නේ නෑ. ඒවගේම ඒ රසායණික වාෂ්පය, එය ශරීරගත වන්නන් ඩිලීරියස් නැතිනම් සිහිවිකල් ගතියට පත්කරනවද දන්නේ නෑ. එවැනි රසායණික ද්‍රව්‍ය හතුවර්ග වල හා පොපි මල් , කන්සා වගේ වෙනත් ගස් වල ස්වභාවිකව හැදෙනවා.”

“එවැනි සිහිමද ගතියකදී ගස්වලට පණ එනවා වගේ දේවල් පෙන්න පුලුවන්. සමහරවිට ඒවා වැඩිපුර ආග්‍රාණය වුනාම සිහිමුර්ජාවෙන්න පුලුවන්.... කලින් මියගිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම මිය යන්න ඇත්තේත්, හමුදා කණ්ඩායමේ අය අසනීප වෙන්න ඇත්තේත්, දැන් කිසිම තොරතුරුක් නැත්තේත් ඔවුන් සිහිමූර්ජාවෙලා නිසා වෙන්න පුලුවන්...රාත්‍රියේදී මේ වාෂ්පය ඝණව පැතිරිලා සියලුම හමුදා සෙබලුන් සිහිමූර්ජා වුනා කියලා අනුමානයක් කරන්න පුලුවන්..."

"මියගිය විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායමේ සිරුරු විදෙස් රටකට යවලා පරීක්ෂණකරණ බවට ප්‍රකාශයක් කරලා තිබුණා...ඒ ගැන යම් තොරතුරක් දෙන්න පුලුවන්ද?"

"ඔව්, ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය හරහා අපි ඒවාවල කොටස් බ්‍රිතාන්‍යයටත් සිංගප්පූරුවටත් යවලා තියෙනවා. දැනට මූලික වාර්තාවක් ලැබිලා තියෙනවා. ඒ අනුව මේ සිරුරුවලට යම් ටොක්සිනයක්, නැතිනම් විෂ ද්‍රව්‍යයක් ඇතුලුවෙලා තියෙනවා කියල වාර්තාවෙනවා. තවම ඒ පිලිබඳව පරීක්ෂණ අවසන් නෑ. එතකොට සිරුරු අස්වාභාවික ලෙස නරක්වීම වෙලා තියෙන්නේ හඳුනා නොගත් ජීර්ණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් විධියට කියන එකත් මූලික වාර්තාවේ තියෙනවා..."


අප්‍රිකාවේ මිනී කන ගස් කලබින්න වනයේ? - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය,  උද්භිද විද්‍යාඥ චන්න පෙරේරා සමග ඉරිදා ජනජය කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි

19වැනි සියවසේ අප්‍රිකාව හැඳින්වූයේ අඳුරු මහද්වීපය ලෙසයි. මේ අඳූරු අප්‍රිකාව ගවේෂණය සඳහා එහි ඝණ වනාන්තරවලට වැදුනු යුරෝපීය ගවේෂකයින් බොහෝ දෙනෙකුට ස්වදේශික අප්‍රිකානුවන් විසින් "මිනී කන ගස්" ලෙස හැඳින්වූ අත්භූත ගස් විශේෂයක් ගැන අසන්නට ලැබී තිබෙනවා. ජේ. ඩබ්ලිව් බුවෙල් නම් බ්‍රිතාන්‍ය ජාතික ගවේෂකයා මේ ගස් දෑසින් දුටු පලමු යුරෝපීයයා බව පැවසෙනවා.

1881දී ජර්මන් දේශ ගවේෂක කාර්ල් ලිච් අප්‍රිකාවේ මැගස්කර් දූපතේදී මිනීකන ගසක් දුටුබවට වාර්තා වෙනවා. කාර්ල් ලිච් පවසන අන්දමට මඩෝකෝ නැමති මැඩගස්කර් ස්වදේශික ගෝත්‍රයක් මෙවැනි ගස්වලට බිලිපූජා ලෙස මිනිසුන් ලබාදී තිබෙනවා. බිලිපූජාවක් ලෙස මේ ගස වෙත යොවුන් ගැහැණු දරුවෙක් යවන ආකාරය ඔහු සිය සටහන් වල ලියා තිබෙනවා. ගැහැණු දරුවාට ගසට නගින ලෙස බල කෙරුණු අතර ඇය ගසට නැගි විගස ගසේ දිගු පත්‍ර කොළපැහැ නාගයින් මෙන් ඇයව වෙලාගත් බව ඔහු ලියා තිබෙනවා. ගසට මෙසේ බිලිපූජා ලබාදෙන්නේ යක්ෂයාගේ ගස (Devil’s Tree) ලෙස හැඳින්වෙන එම් අත්භූත ගසෙන් සිදුවිය හැකි අපල උපද්‍රව වලක්වා ගැනීමට බවයි ගෝත්‍රිකයින් ප්‍රකාශකොට තිබෙන්නේ.


1878දී ජේ. ඩබ්ලිව් බුවෙල් ලියූ සටහන් වලට අනුව මේ ගස් මධ්‍යම අප්‍රිකාවේ හා මැඩගස්කරයේ දකින්නට පුලුවන්. තද කොළපැහැති ඝණ, හොඳින් වැඩුනු උක් ගසක පත්‍ර මෙන් පෙනෙන එහෙත් ඊට වඩා දිගින් හා ඝණකමින් වැඩි, බූව හෝ සියුම් කටු ඇති මේ ගසේ පත්‍ර යමෙක් හෝ යම් සත්වයෙක් ගස අසලට පැමිණි වහාම කොළ දිගුකොට වෙලාගන්නවා.

හමුදා සෙබලුන් අනූවක් අතුරුදහන්වූ, මීට පෙර පර්යේෂණ කණ්ඩායමක් අභිරහස් ලෙස මියගොස් තිබූ හා වසර සීයකට පෙර බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමක්ද අතුරුදහන්වූ කලබින්න වනයේත් අප්‍රිකාවේ ඩෙවිල්ස් ට්‍රී වැනි මිනීකන ගස් ඇති බව දැන් බොහෝ දෙනෙකු විශ්වාස කරනවා.

දරකඩන්නට ගිය ගම්වාසීන් පත්‍රදිගු කොට අල්ලාගන්න උත්සහ කලේත්, විශ්වවිද්‍යාල පර්යේෂණ කණ්ඩායම මරණයට පත්කලේත් මේ ගස් බවයි දැන් රටේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ. එමෙන්ම අප්‍රිකානු ගස් වර්ගයට වඩා මේ ගස් ඉතාමත් වේගයෙන් පැතිරන බවයි පෙනී යන්නේ.

19වැනි ශතවර්ශයේ අප්‍රිකාවෙන් ලැබුණු වාර්තාවලට අනුව මේ ගස් එක ගොන්නට වැවී නොතිබුණත්, කලබින්නෙන් ලැබෙන වාර්තා අනුව මේවා එක ගොන්නට ඇති බවත්, මේ ගස් යම් හේතුවක් නිසා හදිසියේම ඉතා වේගයෙන් වර්ධනය වන්නට පටන් ගෙන තිබෙන බවත් විශ්වාස කෙරෙනවා.

වසර කිහිපයකට පෙර ගත් චන්ද්‍රිකා ඡායාරූපවල කලබින්නේ ඇති ගරාවැටුනු පෞරාණික දේවාලයේ නටබුන් පැහැදිලිව දකින්නට තිබුණත් අලුත් ගුවන් ඡායාරූපවල එම නටබුන් දකින්නට නෑ. මුලු ප්‍රදේශය පුරාම ඉතා ඝණව වැඩී ඇති වනාන්තරයකුයි පෙනෙන්නේ.

ඒ අනුව යම් හේතුවකින් මේ අත්භූත ගස්වර්ගයේ වර්ධනය වේගවත්වී තිබෙනවා.

සමහර පරිසරවේදීන් පවසන්නේ ගෝලීය උණුසුම්කරණයෙන් පෘථිවිය උණුසුම්වීම නිසා හා වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා මේ ගස්වල වර්ධනය වේගවත්වී තිබෙන අතර ඒවා වඩාත් ආක්‍රමණශීලී වී තිබෙනවා. එහෙත් තවමත් මේ ගස් උද්භිද විද්‍යාත්මකව විශ්ලේෂණය කොට නැහැ.

තවත් සමහරුන් පවසන්නේ මේ මාංෂ භක්ෂක ගස්වර්ගය කාලාන්තරයක් නිද්‍රාශීලීව, අක්‍රියව තිබී දැන් යලිත් ප්‍රාණවත්වී ඇති බවයි.

1916දී බ්‍රිතාන්‍ය ගවේෂණ කණ්ඩායමේ අතුරුදහන්වීමෙන් පසු ඒ පිලිබඳව තොරතුරු කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ඇති අතර 1936දී, එකල බ්‍රිතාන්‍ය යටත්විජිත රජයේ පුරාවිද්‍යා කොමසාරිස් ඒ. එච් ලොන්ග්හර්ස්ට් මහතාගේ මගපෙන්වීමෙන් කලබින්න පුරාණ දේවාලය හා ඒ අවට පුරාවිද්‍යා ගවේෂණයක් සිදුකොට තිබෙනවා. එම ගවේෂණ කණ්ඩායම සතියකටත් වැඩි කාළයක් මේ ප්‍රදේශයේ ගවේෂණ කටයුතු කර ඇති අතර කිසිදු ආපදාවකින් තොරව ආපසු පැමිණ තිබෙනවා. ලොන්ග්හර්ස්ට් මහතාගෙන් පසුව පුරාවිද්‍යා කොමසාරිස් පදවියට පත්වූ එස් පරණවිතාන ශූරීන්ද 1942දී මේ දේවාලය ඇති පෙදෙසේ නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබෙනවා. ඔහුගේ කණ්ඩායමටද කිසිදු උපද්‍රවයකින් තොරව මේ පෙදෙස ගවේෂණය කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අනුව මේ ගස් වසර ගණනාවක් (අනුමාන ලෙස වසර 100ක් පමණ) නිද්‍රාශීලීව තිබී අවදිවෙන බවයි විශේෂඥ මතය.


වසර 12 කට පෙර කලබින්න කැලේට කඩා වැටුනු අභිරහස් ආකාෂ වස්තුව කුමක්ද? එය සොයා සේනානායක සමුද්‍රය හරහා කැලයට ඇතුලුවුනු විදේශිකයින් කවුද? 
- FreedomofSpeechLanka.Org විශේෂ වාර්තාව

ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහලම නිළධාරීන් අතර සාකච්ඡාවට බඳුන්වූ රහසිගත වාර්තාවක පිටපතක් ෆ්‍රීඩම්-ඔෆ්-ස්පීච්-ලංකා වෙත ලැබී තිබෙනවා. ජාතික ව්‍යසනයක් බවට පත්වෙමින් ඇති කලබින්න සිද්ධියට අදාල බැවින් මහජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා මේ තොරතුරු අන්තර්ජාලය වෙත නිකුත් කිරීමට අප කටයුතු කරනවා. විකිලීක්ස් හරහා නිකුත්වූ, කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් 2009 දී යවන ලද රාජ්‍ය තාන්ත්‍රික කේබලයක් උපුටා දක්වමින් රාජ්‍ය බුද්ධි තොරතුරු සේවය (State Intelligence Service) හා ආරක්ෂක අමාත්‍යාංශ බුද්ධි අංශය (Directorate of Military Intelligence) ඒකාබද්ධව මේ වාර්තාව සකසා තිබෙනවා.

විකිලීක්ස් මගින් මුදාහැර තිබූ ඇමරිකන් රාජ්‍යතාන්ත්‍රික ඊමේල් පණිවිඩයේ කොටසක්

අපට ලැබුණු රහස් වාර්තාවේ පිටපතට අනුව 2009 වසරේ පෙබරවාරියේදී රුසියානු ජාතික අභ්‍යවකාශ ආයතනය වන රොස්කොස්මොස් ආයතනය විසින් 2008දී කක්ෂගත කරන ලද සැල්යුට් මාදිලියේ අභ්‍යවකාශ යානයක කොටස් ගල්ඔය ජාතික වනෝද්‍යානයේ කලබින්න වනාන්තර පෙදෙසට කඩා වැටී තිබෙනවා. මෙම අභ්‍යවකාශ යානය ගගනගාමීන් නොමැතිව ස්වයංක්‍රීයව පර්යේෂණ කටයුතු සිදුකරන, රහසිගත රුසියානු පර්යේෂණ විද්‍යාගාරයක් බවට ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික කේබලය විස්තර කොට තිබෙනවා. මෙම යානයේ විශාල කොටසක් කලබින්නට කඩාවැටී ඇති අතර එම කොටස් රැගෙන යාම සඳහා එවක ලංකා රජය, රුසියානු රජයෙන් එවන ලද කණ්ඩායමකට අවසර දී තිබෙනවා. රුසියානු රජයේ ඉල්ලීමකට අනුව ලංකා රජය මේ පිලිබඳව සියලුම තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂාකොට තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හා නාවික හමුදාවේ සහය ඔවුන්ට ලැබී ඇති අතර නාවික හමුදා බෝට්ටුවලින් මෙම රුසියානු කණ්ඩායම සේනානායක සමුද්‍රය හරහා කලබින්න දෙසට පැමිණ ගොඩබැස වනයට ඇතුලුවී තිබෙනවා. මේ ක්‍රියාන්විතය සඳහා රුසියානුවන් 30 දෙනෙකු පමණ සහභාගීවී ඇති අතර ඇමරිකානු වාර්තාවට අනුව මෙලෙස පැමිණි රුසියානුවන් විශේෂ මෙහෙයුම් සඳහා පුහුණු කල, රුසියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත OMON නම් පැරාමිලිටරි ඒකකයක සාමාජිකයින් වනවා.

බුද්ධි අංශ විසින් සකස්කර ඇති එම වාර්තාවේ උපුටා දක්වා ඇති, විකිලීක්ස් මගින් ප්‍රසිද්ධ කරන ලද ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික රහස් ඊමේල් පණිවුඩ වලට අනුව මෙම රුසියානු සැල්යුට් යානය ස්වයංක්‍රීය විද්‍යාගාරයක් වන අතර එය අභ්‍යවකාශයේදී රහසිගත යුධමය පර්යේෂණ සිදුකොට තිබෙනවා. එම පර්යේෂණවල ප්‍රතිපලද සමග යානය නැවත රුසියානු භුමියට ගොඩබස්වා ගැනීමට සූදානම් වෙද්දි යානයේ යම් යාන්ත්‍රික දෝෂයක් නිසා එහි ගමන්මාර්ගය වෙනස් වී ලංකාවට පතිත වී තිබෙනවා.

රුසියානු යානය අභ්‍යවකාශයේ ශුන්‍ය ගුරුත්ව තත්ව යටතේදී "gene editing nanite (nanobot) experiment" නැමති නැනෝ තාක්ෂණ පර්යේෂණයක් සිදුකොට තිබෙනවා. වාර්තාවේ හැටියට නැනයිට් යනුවෙන් හැඳින්වෙන්නේ නැනෝ තාක්ෂණයෙන් නිර්මිත ක්ෂුද්‍ර යන්ත්‍ර විශේෂයක්. ඇසට නොපෙනෙන තරමේ ඉතා කුඩා වන මෙම නැනයිට් යන්ත්‍ර යොදාගෙන ජීවී ශාඛවල ජාන සංස්කරණය කොට විකෘති කිරීමට හැකිදැයි සොයා බැලීමට සකස්කල පර්යේෂණයක් බවයි වාර්තාවන්නේ.

ඇමරිකානු වාර්තා අනුව රුසියානුවන් මේ නැනයිට් ජාන සංස්කරණ තාක්ෂණය යොදාගෙන සතුරු රටවල බෝගවගා හා වනාන්තර විනාශකල හැකි ජෛව අවියක් (biological weapon) නිර්මාණය කරමින් සිටිනවා. මෙම නැනයිට අඩංගු කුඩා කැප්සූල ඉතා පහසුවෙන් කක්ෂගත චන්ද්‍රිකා හෝ අභ්‍යවකාශ යානාවල සිට තෝරාගත් සතුරු ඉලක්ක වලට විදිය හැකි අතර කුඩා නිසා අහසින් වැටෙන එම කැප්සූල ඇමරිකානු හා වෙනත් රටවල මිසයිල ආරක්ෂණ පද්ධතිවල සටහන් නොවනු ඇතැයි රුසියානුවන් බලාපොරොත්තු වෙනවා.

එම කැප්සූල බිමට පතිතවීමෙන් පසු නිදහස්වන ජාන සංස්කරණ නැනයිට, අවට පරිසරයේ පැතිරෙමින් එහි වැවී තිබෙන පැලෑටි හා ගස්වලට ඇතුලුවී ඒවායේ ජාන විකෘති කරමින්, පරිකල්පනය කල නොහැකි පරිසර විනාශයක් සිදුකරනු ඇති බවයි ඇමරිකානු වාර්තා පෙන්වා දෙන්නේ.

කොළඹ, රුහුණ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලවල උද්භිද විද්‍යාඥයින්, ජාන ඉන්ජිනේරු විද්‍යාඥයින් හා ආගන්තුක, ආක්‍රමණශීලී ශාක විශේෂඥයින් සමග මේ ඇමරිකානු වාර්තා පිලිබඳ ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර ඇති ජාතික බුද්ධි තොරතුරු සේවාවේ විශ්ලේෂකයින් අනුමාන කරන්නේ 2009දී කලබින්නට කඩාවැටුනු රුසියානු යානාවෙන් කලබින්නේ පරිසරයට නිකුත්වුනු මේ ජාන විකෘති කරන නැනයිට එහි කාලාන්තරයක් තිස්සේ නිද්‍රාශීලීව තිබූ ඩෙවිල්ස් ට්‍රී නම් මාංෂ භක්ෂක ශාකවල (සමහර විට එකම එක ශාකයක් හෝ මියගිය එවන් ශාකවල බීජ විය හැකියි) අතිවිශාල ජාන වෙනසක් සිදුකොට ඒවා ඉතාමත් ආක්‍රමණශීලී, වේගයෙන් පැතිරෙන පිලිලයක් බවට පත්කර තිබෙනවා. මේ සිදුවීම ලංකා ඉතිහාසයේ නොවූවිරූ මහා පරිසර විනාශයක ආරම්භය විය හැකි බවට විද්‍යාඥයින් බිය පලකරනවා.

බුද්ධි සේවා වාර්තාවට අනුව මෙලෙස ජාන විකෘතිවී භයානක ආක්‍රමණශීලී ශාකයක් බවට පත්වී ඇති මිනීකන ඩෙවිල්ස් ට්‍රී ශාකය රටපුරා පැතිරීමේ මහත්වූ අවදානමක් දැන් හටගෙන තිබෙනවා. කලබින්න වනාන්තරය සේනානායක සමුද්‍රයේ පෝෂක ප්‍රදේශයක් වන අතර වර්ෂා කාළයේදී කලබින්න වනයෙන් ගලා එන ජලය මගින් මේ මාරක ශාකයේ බීජ (හෝ වෙනත් අභිජනන ද්‍රව්‍ය) සේනානායක සමුද්‍රයේ ජලයට මුසු වුවහොත් මුලු නැගෙනහිර ශ්‍රී ලංකාවම වසර කිහිපයකදී මිනිසුන්ට වාසය කල නොහැකි බිමක් වනු ඇතැයි දැඩි බියක් රජයේ ජ්‍යේෂ්ඨ නායකයින් තුල ඇතිවී තිබෙනවා.


කලබින්න කැලේට හෙලිකොප්ටරෙන් පහත්කල රොබෝ යන්ත්‍රයෙන් ලැබුණු දසුන් දැක විදෙස් විශේෂඥයින් පවා කම්පණයට! - BBCSinhala.com

පසුගිය දින දෙක තුලදී ශ්‍රී ලංකා යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය ඒකකයට අයත් කුඩා බෝම්බ නිෂ්ක්‍රිය රොබෝ යන්ත්‍ර දෙකක් හෙලිකොප්ටර් මගින් කලබින්න වනයේ යුධ හමුදා කණ්ඩායම අවසන් වරට වාඩිලා සිටියා යයි සැක කෙරෙන පෙදෙසට පහත් කොට තිබෙනවා. ඕනෑම මතුපිටක ගමන් කල හැකි, ඉතා ශක්තිමත් ලෙස තනා තිබෙන මෙම කුඩා බෝම්බ නිෂ්ක්‍රිය රොබෝ යන්ත්‍ර වල ඇති කැමරා ආධාරයෙන් මෙම භූමිය නිරීක්ෂණය කිරීමට හැකිවී තිබෙනවා. දුරස්ථපාලක මගින් ක්‍රියාත්මක වෙන මෙම රොබෝ යන්ත්‍ර දෙක කලබින්න කැලේ පුරාණ දේවාලය ආසන්න පෙදෙසේ ගමන් කරමින් එවූ සජීවී වීඩියෝ දර්ෂණ දැකීමෙන්, මේ ව්‍යසනය නිරීක්ෂණය කිරීමට රටවල් කිහිපයකින් පැමිණ සිටි විදෙස් විශේෂඥයින් පවා කම්පණයට පත්වී ඇතැයි වාර්තා වනවා.

එම ප්‍රදේශය පුරාම විසිරුණු අර්ධව ජීර්ණවූ හමුදා සෙබල මළසිරුරු විශාල ප්‍රමාණයක් දකින්නට ලැබී තිබෙනවා. උදෑසන සිට රාත්‍රිය දක්වා දින දෙකක් තිස්සේ ප්‍රදේශයේ වැවී ඇති ඩෙවිල්ස් ට්‍රී ගස් අතරින් ගමන් කරමින් එවූ දර්ශණවලට අනුව මෙම ශාක ක්‍රියාකාරී වීමට පටන් ගන්නේ සවස් කාළය වනවිටයි. දහවල සූර්යාලෝකය උරාගැනීමට මෙන් පත්‍ර විදහාගෙන නිසලව සිටින මෙම ගස් සවස් වනවිට තැන තැන් විසිරී තිබෙන මළසිරුරු යලිත් සිය දිගැටි පත්‍රවල ඔතාගෙන ගසේ කඳ වෙත ලංකර ගන්නා ආකාරය ලොමු දැහැගන්වන බව නිරීක්ෂකයින් පවසා සිටිනවා.

දිවා හා රාත්‍රියේ ඩෙවිල්ස් ට්‍රී ගස් අතරින් ගමන්කලත් රොබෝ යන්ත්‍ර වලට මේ ගස් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූයේ කාබනික හා අකාබනික ද්‍රව්‍ය හඳුනාගැනීමේ විශේෂ සංවේදන ක්‍රමයක් මේ අපූර්ව ගස්වර්ගයට ඇති නිසා බවයි විශේෂඥ මතය වී ඇත්තේ.

මේ ගස්, චලනයන් පෙන්වන ජීව-කාබනික ද්‍රව්‍ය ග්‍රහණය කරගැනීම සඳහා අනුවර්තනයවී ඇති බව පෙනෙන බවත්, රාත්‍රියේ මළසිරුරු ග්‍රහණය කරගෙන ඒවායේ සාරය උරාබොන මේ ගස් උදෑසන වනවිට යලිත් එම මළසිරුරු අතහැර දමනවා. රාත්‍රියේදී නැවතත් ඒ මළසිරුරු ග්‍රහණය කරගෙන සාරය උරා බොන්නට පටන් ගන්නවා. මෙලෙස සිරුර සම්පූර්ණයෙන්ම ජීර්ණයවී සාරය උරාගෙන අවසන්වන තෙක්ම මේ ක්‍රියාවලිය සිදුකරනවා. අතුරුදහන්වූ විශ්වවිද්‍යාල කණ්ඩායම සොයමින් වනයට ඇතුලුවූ විශේෂ කාර්ය බළකාය හා පොලීසිය එම මළසිරුරු රැගෙන ඇඳිරි වැටීමට පෙර ඒ පෙදෙසෙන් ඉවත්වූ නිසා ඔවුනට හානියක් සිදුවූයේ නෑ. රාත්‍රියේදී සාරය උරාගෙන තිබූ නිසා අර්ධලෙස ජීරණය වූ එම සිරුරු උදෑසන වනවිට ඒ ගස් මගින් අතහැර දමන නිසා ඒවා සොයා ගැනීමට පොලිස්/විශේෂකාර්ය කණ්ඩායමට හැකිවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

චලනයන් පෙන්වන සතුන් (මිනිසුන් පමණක් නොවේ) අඩපණ කිරීම සඳහා යම් ආකාරයක විෂ ටොක්සිනයක් සහිත වායුවක් රාත්‍රියේදී මෙම ගස් මගින් අවට පරිසරයට මුදාහරින අතර ගස් අතර මීදුමක් මෙන් පැතිර තිබුණේ මේ විෂ ටොක්සිනය සහිත වායුව බවටයි අනුමාන කෙරෙන්නේ. එමෙන්ම මේ ටොක්සිනය සහිත වායුව මුදා හරින්නේ ගස් අවට සතෙකු හෝ මිනිසෙක් ඇති බවට ගසේ සංවේදක වලට දැනුනු පසුව බවටත් විශ්වාස කෙරෙනවා. විෂ වායුවෙන් අඩපණවන සතුන් පහසුවෙන් අල්ලා ගැනීමට මේ ශාකවලට හැකියාව ලැබෙනවා. සවස් කාළය වනවිට හමුද කණ්ඩායමේ විසිදෙනෙකු පමණ රෝගාතුර වන්නට ඇත්තේ ගස් මගින් ඉර බැස යද්දී මේ විෂවායුව මුදාහරින්නට පටන් ගැනීම සමග විය යුතුයි.

ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් දින කිහිපයක් තිස්සේ ගන්නා ලද අධිවිබේධන ඡායාරූපවලට අනුව කලබින්න වනයේ වර්ගකිලෝමීටර් 10ක පමණ විශාල වපරිසයක මේ ඩෙවිල්ස් ට්‍රී ගස් පැතිරී තිබෙනවා.



ගල්ඔය ජාතික වනෝද්‍යානය දැඩි-තහනම් කළාපයක් වෙයි! කලබින්න වනයට ගිණිබෝම්බ දමා සම්පූර්ණයෙන්ම පුලුස්සා විනාශ කිරීමේ තීරණයට පාර්ලිමේන්තුවේ එකමතික අනුමැතිය!

කලබින්න වනය මධ්‍ය‍යේ අතිවිශාල වපරිසයක  ඉතාමත් ආක්‍රමණශීලී ගති පෙන්වන මිනීකන ඩෙවිල්ස් ට්‍රී ශාක පැතිරී ඇති බව දෙස් විදෙස් විශේෂඥයින් සනාත කිරීමෙන් පසු, මේ උද්ගත්ව ඇති භයානක තත්වය පිලිබඳව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වුනු අතර තත්වය පාලනය කිරීම සඳහා රජය විසින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබුවා. ඉතාමත් දරුණු ජාතික අර්බුධයක් මතුවී ඇති බැවින් සියලු පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් මේ යෝජනා සියල්ලම චන්ද විමසීමකින් තොරව අනුමත කරන්නට තීරණය වුනා.
  • කලබින්න වනයේ වර්ග කිලෝමීටර් 25ක පෙදෙසක් අධිබල ගිණි බෝම්බ ගුවනින් දමා විනාශ කිරීමට සැලසුම්!
මේ මාරක ගස්වර්ගය සහමුලින්ම විනාශ නොකලහොත් ඒවායේ අභිජනන ද්‍රව්‍ය (බීජ, අතු, මුල්) ආදිය කෙසේ හෝ රටේ වෙනත් පලාත්වලට පැතිරයාමේ දැඩි අවදානමක් ඇති නිසා එම ප්‍රදේශයට ගුවනින් අධිබල ගිණිබෝම්බ යොදා සම්පූර්ණයෙන්ම දවා හළු කිරීමේ තීරණයකට අනුමැතිය ලැබී ඇත. ඩෙවිල්ස් ට්‍රී ශාක වර්ග කිලෝමීටර් 10ක පමණ පැතිරී ඇතිබව තහවුරුවී ඇතත් වැඩි ආරක්ෂාව සඳහා වර්ග කිලෝමීටර් 25ක ප්‍රදේශයක් සම්පූණයෙන්ම විනාශ කෙරෙනු ඇති.

ගිණි බෝම්බ දැමීමෙන් පසු, එම ප්‍රදේශය වෙත යුධ හමුදාව යවා නිරීක්ෂණය කිරීමටත්, පසුව එම වර්ග කිලෝමීටර් 25ක ප්‍රදේශයේම පස් ඩෝසර් යන්ත්‍ර දමා හොඳින් පෙරලා, අධි සාන්ද්‍රණ වල්නාශක යොදා නැවතත් එම ගස් ඇතිවීම කෙසේ හෝ වැලැක්වීමට විශේෂඥ උපදෙස් ලැබී තිබෙනවා.
  • ගම්මාන 88ක සියලු ජනයා ඉවතට. පවුල් 18,522කට ඌවෙන් ඉඩම්.
සේනානායක සමුද්‍රය, ඉඟිනියාගල, නාමල් ඔය, පල්ලන් ඔය ආදී ප්‍රදේශවල ඇති සියලුම ජනාවාස සම්පූර්ණයෙන්ම ඉවත්කොට එම ජනයාට ඌව-වෙල්ලස්ස ප්‍රදේශයෙන් අලුත් ගොවිබිම් ලබාදීමට තීරණය කර ඇත. මෙලෙස ඉවත් කෙරෙන ගණන ගම්මාන 88ක් වන අතර ඉවත් කෙරෙන පවුල් සංඛයාව 18,522ක් වේ.
  • සේනානායක සමුද්‍රය හා එහි පරිවාර ජලාශ වන නාමල් ඔය ජලාශය, ජයන්ති වැව ජලාශය, ඉඟිණියාගල වේල්ල ඇතුලු වාරිමාර්ග සියල්ල නාවික හමුදාවේ පාලනයට.
ඉහත සියලුම ජලමාර්ග හා එම ජලමාර්ග දෙපස මීටර් 250ක් ඈතට යන තෙක් නාවික හමුදාවේ පාලනයට යටත් කොට ඇති කලබින්නෙන් සේනානායක සමුද්‍රයේ ජලයට එකතුවුනු ඩ්‍රෙවිල්ස් ට්‍රී ශාකයේ යම් අභිජනන ද්‍රව්‍යයක් මේ ජලාශ්‍රිත ප්‍රදේශවල තැම්පත්වී රෝපණය වීම වැලැක්වීම සඳහා මේ තීරණය ගෙන ඇත.
  • ඉඟිනියාගල පාර, නාමල් ඔය පාර හා පල්ලන් ඔය පාර යන මහාමාර්ග සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, මුලු ප්‍රදේශයම දැඩි-තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ජලමාර්ග නොවන සියලුම ප්‍රදේශ යුධ හමුදා පාලනයට යටත්වන අතර මේ ප්‍රදේශවලට ඇතුලුවීම සපුරා තහනම් වේ.

~/~

අගෝස්තු, 2022

"නංගී..... නංගී!!..... කෝ මෙයා??? නංගී....!!!"

"අක්කේ?   මං මෙහේ....!!!"

"ඔය මොනවද ඔතන කරන්නෙ, කළුවරත් වැටිලා.........විජහට මෙහෙ ඇවිල්ලා මේ ඕලු ටික මිටි බැඳගන්න උදව්වෙන්න .......... හෙට පෝය........ උදෙන්ම ශ්‍රී මහ බෝධිය ලඟට මේවා ගෙනියන්න ඕනෑ.........."

"එනවා එනවා......."

"මොනවද ඔයා බඩවැටිය අස්සේ කලේ?, ලිස්සලා වැටුන නම් වැවේ නේද?......චුට්ටකට මම ඇහැ අහකට ගත්තා විතරයි!.....!"

"පොඩි සතෙක් කෑ ගහන සද්දක් ඇහිලා බලන්න ගියේ..."

"ආ?? සර්පයෙක්ද දන්නේ නෑ....? ඔයා මොන එහෙකට ඔය අස්සෙ රිංගුවද? ලබන සතියෙ ශිෂ්‍යත්ව විභාගෙ, අම්මා මටත් හොඳටම තලයි ඔයාට මොනවා හරි උනානම්...."

"නයෙක් නෙමෙයි අක්කෙ ...... චූටි මී පැටියෙක් පැලයක කොළයක එතිලා.............. ඌ දඟලනවා..........ඌ කොහොම කොලේ ඔතා ගත්තද දන්නේ නෑ...."

"ආ??............මී පැටියෙක් කොලයක එතිලා.......???"

"ඔව් අතන.... ඌ කෑ ගගහ හිටියේ දැන්නම් සද්දයක් නෑ............."

"යං බලන්ට?"

"අර බඩවැටිය අස්සේ...වැඩිය ඇතුලෙ නෙමෙයි......"

"මේ!!!!...........හානේ!!!! .......   පැලේ කොළ ඔක්කොම ඌව ඔතාගෙන...............අයියෝ!!!  මී පැටියා මැරිලා...................!!!"

"හප්පේ.......අනේ දෙයියනේ.........අනේ පැටියෝ...........යං යං යං..... ගෙදර දුවමු!!"

"ඇයි අක්කේ!!! ඔයා මේ බයවෙලා මාවත් ඇදගෙන දුවන්නේ........???"

"යං පැටියෝ ගෙදර ...............අනුරාධපුරෙත් ඉවරයි.....!!!"

"අර මල් ටික???"

"මල් ටික තිබිච්චාවේ පැටියෝ.........මගෙ අත අතාරින්න එපා........මාත් එක්කම දුවන්න වස්තුව......වැටෙන්න නම් එපා.......!!!"

"ඇයි අක්කේ?......ඇයි මේ අපි දුවන්නේ?........කියන්නකෝ....??"

"කෑ නොගහ වරෙන් බං.......!!!!"

"අක්කේ ඇයි අඬන්නේ???...................අමමා දර කඩන්න කැලේට ගියා......ගෙදර ඇවිල්ලා ඇති නේද?"

"අක්කේ?............. අම්මා ඇවිල්ල ඇති නේද????................කියන්නකෝ???"












  • __________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...