FILM / ENDGAME / TIME TRAVEL : එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණය ගැන


එන්ඩ්ගේම් චිත්‍රපටයේ කතා වස්තුව මුලුමනින්ම පාහේ කාළතරණ සංකල්පය වටා ගෙතී පවතිනවා. එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණ සංකල්ප ගැන කතාකරන්න ඉස්සෙල්ලා, විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ විවිධ චිත්‍රපට හා නවකතාවල භාවිතාකෙරෙන කාලතරණ කල්පිත ටිකක් මතක් කරගෙන සිටිමු.

රේඛීය කාළතරණය / සරළ කාළතරණය - එනම් Back to the future මාදිලියේ කාළතරණය

මේ කල්පිතයේදී කාළය සරල රේඛීයව ගමන්කරණ අතර යම් ආකාරයකින් කාලයේ ආපස්සට ගමන්කොට යම් වෙනසක් ඇතිකලහොත්, ඒ අනුව අනාගතය සම්පූර්ණයෙන්ම වෙනස්වේ. උදාහරණයක් ලෙස කාළයේ ආපස්සට ගමන්කොට හිට්ලර් ජර්මනියේ ආඥාදායකයා වන්නට පෙර මරාදැමුව හොත් දෙවන ලෝක යුද්ධය ඇතිනොවී තිබිය හැකිය.

අනන්ත කාළ-රේඛා කල්පිතය - Infinite time-line concept

අනන්ත කාළ-රේඛා කල්පිතයට අනුව ඔබ අතීතයට ගොස් යම් වෙනස්කමක් සිදුකලහොත් එයට අනුරූප කාළරේඛාවක් මැවෙන අතර එම කාළරේඛාව ඔබ සිදුකල වෙනසට අනුරූපව අනාගතයක් සමග ඉදිරියට යයි. එහෙත් ඔබ අනාගතයට ගිය කාළරේඛාවද වෙනසක් නොවී ඉදිරියට යයි. ඒ අනුව වෙනස් අනාගතයන් දෙකක් එකිනෙකට සමාන්තරව, සමාන්තර-යථාර්ත (parallel realities) දෙකක බිහිවෙයි. මෙලෙස සමාන්තර යථාර්ථ අනන්ත සංඛ්‍යාවක් තිබිය හැකිය. (infinite parallel realities with infinite timelines each different to the other)

ස්ථාවර අනාගත කල්පිතය - Fixed future concept

ඔබ අතීතයට ගියහොත්, ඒ මොහොතේ සිට, එය ඔබගේ වර්තමානය වන අතර ඉන් ඉදිරියට ඔබ කරන කියන දෑ, එතැන් පටන් ඔබගේ අනාගතයට බලපානවා මිස, ඔබ නික්මුණු අනාගතයේ කිසිදු වෙනසක් සිදුනොකරයි. 

සමහරවිට ඔබ කරන කියන දෑ, ඔබ වලක්වන්නට හදන අනාගතය ඇති කරන්නට දායක වන්නටද පුලුවන. 

උදාහරණයක් ලෙස ඔබ හිට්ලර්ව මරාදමන්නට උත්සහ කිරීමම ඔහු දරුණු ආඥාදායකයෙක් බවට පත්කිරීමට හේතුවිය හැකිය. නැතහොත් ඔහුගේ මරණය නිසා ඊටත් වඩා දරුණු ආඥාදායකයෙක් බිහිකිරීමට හේතුවිය හැකිය. අවසනයේ මහා විනාශකාරී දෙවන ලෝක යුද්ධය හා යුදෙව්වන් සමූළඝාතනය එලෙසම සිදුවේ.

ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්ස් - Grandfather paradox

ඔබට ඔබගේ සීයා මරාදැමීමට අතීතයට යා නොහැක්කේ ඔබ, අතීතයට ගොස් ඔබගේ සීයා මරාදැමුව හොත් අතීතයට ගොස් සීයා මරාදැමීමට ඔබ පැවතිය නොහැකි බැවිනි.

Butterfly Effect / Chaos Effect - අව්‍යාකෘත අනාගත කල්පිතය

අතීතයට ගොස් යම් සුළුවෙනසක් සිදුකලට හොත් එයින් අනාගතයට සිදුවිය හැකි වෙනස අතිවිශාල හා ව්‍යාකූල විය හැකිය. ඒ අනුව අතීතයට යාම මහත් ව්‍යසන ඇතිකල හැකි සංසිද්ධියකි.

එන්ඩ් ගේම් කාළතරණය

එන්ඩ් ගේම් චිත්‍රපටයේ සුපිරි වීරයන් කාළතරණය වෙත යොමු කරන්නේ ඈන්ට් මෑන් චරිතයයි. ඈන්ට් මෑන් චිත්‍රපටය අවසානයේ ඔහු ක්වන්ටම් රෙල්ම් නම් කාළය, ස්කන්ධය හා අවකාෂය නොපවතින ස්ථානයකට ගමන්කරයි. ඔහුගේ පෙම්වතිය, නිෂ්චිත කාලසීමාවකදී ඔහුව ඉවතට ගත යුතුව තිබුණත්, තේනෝස්ගේ එක්ස්ටින්ෂන් අසුරුගැසීම නිසා ඇය අතුරුදහන්වෙයි. 

ඒ අනුව ඈන්ට් මෑන් ක්වන්ටම් රෙල්ම් තුල සිරවී සිටියි. එම ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය ඇති කරන යන්ත්‍රය හා ඔහුගේ වෑන් රථය අතහැරදැමූ ගබඩාවක තිබෙන අතර එම ගබඩාවේ කෑම සොයාගන මීයෙකු දැඟලීම නිසා ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය තුල  සිරවී තිබෙන යන්ත්‍රය ක්‍රියා විරහිතවී නැවත් ඔහු සිය වෑන් රථය තුල මතුවෙයි.

ක්වන්ටම් රෙල්ම් සංසිද්ධිය යම් ආකාරයකින් උපයෝගීකරගෙන කාළතරණය සිදුකල හැකිදැයි සොයාබලන ලෙස බෲස් බැනර් (හල්ක්) හා ටෝනි ස්ටාර්ක්ට (අයන් මෑන්) යෝජනා කරන්නේ ඈන්ට් මෑන් විසිනි.

ටෝනි ස්ටාර්ක් විසින් නිර්මාණය කරන ලද ක්වන්ටම් ජී.පී.එස් යන්ත්‍ර හා ඈන්ට් මෑන් නිර්මාණයකල ක්වන්ටම් රෙල්ම් තාක්ෂණය ආධාරයෙන් අතීතයේ නිෂ්චිත ස්ථානවලට ගමන් කොට, එම ස්ථානවල අතිතයේ යම් දිනක තිබූ ඉන්ෆිනිටි මාණික්‍ය ලබාගෙන තේනෝස්ගේ එක්ස්ටින්ෂන් අසුරුගැසීම ආපසු හැරවීම ඔවුන්ගේ සැලැස්ම වෙනවා. එමෙන්ම එම ඉන්ෆිනිටි මාණික්‍ය තිබෙන කාළ-රේඛාවෙන් ඉවත්කරගැනීම නිසා එම කාළරේඛාවේ සිදුවිය හැකි විකෘතිවීම් නැවැත්වීම සඳහා එක්ස්ටින්ෂන් සංසිද්ධිය ආපසු හැරවීමෙන් පසු, යලිත් එම මාණික්‍ය ඒ ඒ කාළරේඛාවල, එය ලබාගත් මොතටම ආපසු ගොස් ඒවා යලිත් ලබාදීමටද සැළසුම් කරන අතර ඒ අනුව, සියලුම කාළරේඛාවල විකෘතිවීම් මගහරවා ගැනීමටයි සූදානම් වන්නේ.

ඒ අනුව එන්ඩ්ගේම් කාළතරණ උපා මන්ත්‍රණය දෙස බැලීමේ එය "අනන්ත කාළ-රේඛා කල්පිතය", "ස්ථාවර අනාගත කල්පිතය" හා "අව්‍යාකෘත අනාගත කල්පිතය" යන කල්පිත සියුම්ව මුහුකොට තිබෙන බව පෙනෙනවා.

ඔවුන් අතීතයේ යම් යම් කාලවලට ගොස්, ඉන්ෆිනිටි මාණික්‍ය ලබාගෙන ඒවා යලිත් එම ස්ථානයේ, එම කාළයේ එම තත්පරයටම ආපසු ගෙනයන්නේ, එසේ නොකලොත් එම කාළ-රේඛය සදහටම විකෘතවිය හැකි නිසා. එනම් අනන්ත කාළ-රේඛා කල්පිතය මෙහිදී භාවිතා කොට තිබෙනවා.

එමෙන්ම ස්ථාවර අනාගත කල්පිතය, එනම් ඔබ අතීතයට ගොස් කුමක් සිදුකලද, එය අනාගතයේ සිදුවිය හැකිදෑ වැලැක්වීමට වඩා, ඒවා ඇති කිරීමට හෝ වඩා බිහිසුණු කිරීමට හේතුවිය හැකි බවට වන කල්පිතයද මෙහිදී භාවිතා වෙනවා. තේනෝස්, අනාගතයෙන් එන සිය දෙවන දියණිය වන නෙබියුලාගේ මනස ඔහූගේ එවක වර්තමානයේ නෙබියුලා දියණියගේ මනස හා සම්බන්ධව ඇති බව සොයාගෙන ඒ අනුව වර්තමානයට පැමිණ වඩාත් බිහිසුණු එක්ස්ටින්ෂන් අසුරුසැණයක් ඇතිකිරීමට මෙන්ම පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශකිරීමට සිතාගැනීම මේ කල්පිතයේ භාවිතය වනවා.

එමෙන්ම එන්ඩ්ගේම්හි අව්‍යාකෘත අනාගත කල්පිතයද භාවිතා වෙනවා. ඒ අනුව කාළතරණ කරමින් වර්තමානය වෙනස් කිරීමට අතීතයට යාමේ විපාක ලෙස විකෘතිතා ඇති වර්තමානයන් බිහිවීමේ කල්පිතයද භාවිතා වෙනවා. එන්ඩ්ගේම් අවසන්වන විට පෘථිවිය මෙන්ම ඇවෙන්ජර්ස් කණ්ඩායමද මහත්සේ විකෘතිවී සිටිනවා. මියගිය ගැමෝරා ආපසු පැමිණ ඇති අතර මිත්‍රශීලී නෙබියුලා වෙනුවට, තේනෝස්ට පක්ෂපාත නෙබියුලා පැමිණ සිටිනවා. එමෙන්ම ඇවෙන්ජර්ස් පලමු චිත්‍රපටයෙන් පසු තෝර්ගේ අත් අඩංගුවට පත්වන ලෝකී හා ටෙසරක්ට් මාණික්‍යය ආපසු ගෙනයාමට නොහැකිවී එය සමග ලෝකී අතුරුදහන් වෙනවා. ඒ අනුව ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටය අවසානයේ මියගිය ලෝකි නැවතත් ජීවත් වීමේ සම්භාවිතාවයක් තිබෙනවා.



Comments