BUSINESS / TRADE WAR : චීන / ඇමරිකන් වෙළඳ යුද්ධය මූළධර්මවාදී අරගලයක් වෙතට?


"Trade war has not made America great again" ; චීන-ඇමරිකන් වෙළඳ අර්බුධය පිලිබඳ චීන රජයේ ධවල පත්‍රිකාව

චීන-ඇමරිකන් වෙළඳ යුද්ධය, හුදෙක් වෙළඳ ගණුදෙනු තමන්ට වාසිදායක ආකාරයට සකසා ගැනීම සඳහා කරන සටනකින් ඔබ්බට ගොස් ඇමරිකන්-චීන ආර්ථික, දේශපාලන, යුධ හා සමාජ සංස්ථාවල සැකැස්ම පිලිබඳව විශාල ඝට්ඨනයක් සිදුවන මූළධර්මවාදී අරගලයක් බවට හැරෙන සළකුණු මතුවෙමින් තිබෙනවා.

මේ අරගලයේ පෙරනිමිති ලෙස අද උදෑසන චීනය, ඇමරිකාව සමග ඇති වෙළඳ අර්බුදය පිලිබඳව තමන්ගේ නිළ දැක්ම හා මූලික ප්‍රතිපත්ති මාළාව හෙලිකරන "China’s Position on the China-US Economic and Trade Consultations" ධවල පත්‍රිකාව එලිදැක්වූවා.

එහි මූලික හරය සළකා බැලූවිට, චිනය ඇමරිකාව විසින් සිදුකරන

1] ඔත්තු බැලීමේ හා ජාතික ආරක්ෂක චෝදනා

2] බුද්ධිමය දේපොල සොරකම හා බලහත්කාරයෙන් තාක්ෂණය පවරාගැනීමේ චෝදනා

3] චීන-ඇමරිකන් වෙළඳාම ඇමරිකාවට දැඩි අවාසි, චීනයට පමණක් වාසිවේ යන චෝදනාවද තරයේ ප්‍රතික්ෂේප කරනවා.

චීනයට සම්බාධක දැමීමේ ප්‍රතිපත්තියෙන් ඇමරිකාවට සිදුවන වාසියක් නොමැති බවද "Trade war has not made America great again" මේ ධවල පත්‍රිකාවේ පුණපුණා කියෙනවෙන අතර චීනය කිසිවිටෙකත් සිය ආර්ථික හා විද්‍යා-තාක්ෂණ දියුණුවට හානිවෙන ක්‍රියාමාර්ග ගැනීමට වෙනත් රටකට ඉඩ නොදෙන බවටද ශපත කරනවා.

එමෙන්ම මේ අර්බුධයේදී චීනය ඇමරිකාව මෙන් ළාමක හැසිරීම් නොපෙන්වා, ඉතාමත් ඉවසීමෙන් හා ගෞරවාන්විතව හැසිරෙන බවත්, දෙපාර්ශවයටම වාසි සහගත වෙන ලෙස සාකච්ඡාවෙන් මෙය විසඳාගැනීමට හැමවිටම සූදානම්ව සිටින බවත් දැඩි ලෙස අවධාරණය කරනවා.

චීනය ඇමරිකාවට ආර්ථික, යුධමය හා තාක්ෂණික අභියෝගයක් වෙමින් පැවතීම ඇමරිකාවේ දැඩි භීතියට හේතුවෙලා බව පැහැදියි!

චීනය කොතරම් ආර්ථික ලෙස බලසම්පන්න වුවද, ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය මෙන්ම ලෝක කාර්මික නිෂ්පාදනයේ හා කාර්මික සැපයුම්දාමවල කේන්ද්‍රස්ථානය බවට චීනය පත්වී ඇතත්, එය පිලිගැනීමට ඇමරිකාව කිසිසේත්ම සූදානම් නැති බව දැන් පැහැදිලි වෙමින් යනවා.

කිසිම විටෙක චීනය හෝ වෙනත් රටක් (ජපානය මීට පෙර අත්දැක ඇති පරිද්දෙන්) ඇමරිකානු ආර්ථික, යුධ හා තාක්ෂණික නායකත්වයට අභියෝග කරන තැනකට පැමිණෙන්නට ඇමරිකාව ඉඩදෙන්නේ නැති බවත්, එවැනි රටවල් වැට්ටවීම සඳහා කල හැකි හැමදේම කිරීමට ඇමරිකාව කිසි විටෙකත් පසුබට නොවන බවත්, ඒ සඳහා තවත් ක්‍රියාමාර්ග රැසක් ගැනීමට ඇමරිකාව සූදානම් වෙමින් සිටින බවත් ඇමරිකන් රජයේ අභ්‍යතර ආර්ංචිමාර්ග හෙලිකරනවා.

චීනය අතිශය වැදගත් (critical technology) තාක්ෂණයන්ගෙන් සන්නද්ධ වීම වැලැක්වීමේ ඇමරිකානු නෛතික රාමු පිඹුරුපත් මෙන්න

චීනය හෝ වෙනත් විදෙස් රටක් ඇමරිකාවේ අනාගත ආර්ථික සමෘධිමත්භාවයට, යුධමය හැකියාවන් අතින් අනෙක් සියලුම රටවල් වලට ඉදිරියෙන් සිටිමට හා කාර්මික නිෂ්පාදන තාක්ෂණයන්ගෙන් ඇමරිකාව අභිබවා යාම වැලැක්වීම සඳහා නීතිමය රාමුවක් ඇමරිකාව විසින් මේ වෙනකොටත් සකසා අවසන්.

1] Export Control Reform Act - ඇමරිකානු සමාගම් නිර්මාණය කල හෝ ඇමරිකන් තාක්ෂණයෙන් වෙනත් සංවර්ධිත රටක නිර්මාණයවූ තාක්ෂණයන් ඇමරිකාවට අභියෝග කරන රටවල්වලට අපනයවීම වැලැක්වීමේ අපනයන සීමා නවීකරණ පනත.

2] National Defense Authorization Act - නවීන යුධ උපකරණ, ප්‍රහාරක හෝ ආරක්ෂක අවි නිපැදවීම සඳහා යම් ආකාරයකින් කෙලින්ම යොදාගත තාක්ෂණය, උපකරණ, උපාංග හෝ අමුද්‍රව්‍ය දැඩි පාලනයන්ට යටත් කිරීම සඳහා නිර්මාණය කල පනත

3] Foreign Investment Risk Review Modernization Act - සංවේදී තාක්ෂණයන් නිර්මාණය කරන, උපකරණ නිෂ්පාදනය කරන හෝ ඇමරිකානු රජයේ ආරක්ෂක හෝ වෙනත් සංවේදී අංශයන් සමග ගණුදෙනු කරන සමාගම් වෙත සිදුකෙරෙන විදෙස් ආයෝජනයන් මගින් ඇතිවිය හැකි අවදානම තක්සේරුකරන නීතිමය රාමුව නවීකරණය කොට යාවත්කාලීන කිරීමේ පණත

චීනයට දියුණුකරගැනීමට ඉඩ නොදිය යුතු සංවේදී තාක්ෂණයන් 14ක්!

ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුව ඉතා සංවේදී තාක්ෂණ අංශ 14ක් හඳුනාගෙන තිබෙනවා. එම තාක්ෂණයන්ගෙන් චීනය ඉදිරියට ඒම වැලැක්වීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතයි.

“Foundational and emerging technology for critical technology leadership" යනුවෙන් හඳුනාගෙන ඇති මෙම තාක්ෂණයන් සංෂිප්ත තොරතුරු මෙසේයි. සැ:යු - මෙම තාක්ෂණන් බොහොමයක් සඳහා සිංහල පාරිභාශික වදන නොමැති අතර මෙහි යොදාගෙන ඇති සිංහල යෙදුම් කතෲගේ නිර්මාණයන් වේ.

ජෛව තාක්ෂණ අංශය - Biotechnology sector

නැනෝ-ජීව විද්‍යා තාක්ෂණයන් (nano biology)

කෘත්‍රිම ජෛව තාක්ෂණයන් (synthetic biology)

ස්නායුතාක්ෂණය (neurotechnology)

උසස් ජෛව ඉන්ජිනේරු තාක්ෂණය (advanced genetic engineering)

කෘත්‍රිම බුද්ධි හා යාන්ත්‍රික ඉගෙනුම් අංශය - AI and Machine Learning sector

ස්නායුක පරිගණක ජාල හා උසස් යන්ත්‍රික ඉගෙනුම් තාක්ෂණය (neural network technology and advanced machine learning/deep learning)

ජාන-ඇල්ගොරිතම් තාක්ෂණය හා ජාන-ක්‍රමලේඛණ තාක්ෂණය (genetic algorithms and genetic programming)

ප්‍රතිස්ථම්භන යන්ත්‍රික ඉගැනුම් තාක්ෂණය (reinforcement machine learning)

යාන්ත්‍රික පෙනීම හා රූප අවබෝධනය (computer vision and image understanding)

විශේෂඥ දැනුම උකහාගන්නා පරිගණක පද්ධති (expert systems)

භාශා අවබෝධය, වාචික පරිගණක සන්නිවේදන තාක්ෂණයන් (natural language processing and synthesis)

කථනය හා වීඩියෝ රූප ක්ලෝනීයකරනය හා විකෘති කිරීමේ තාක්ෂණයන් (audio and video cloning and deep-fake technologies)

කෘත්‍රිම බුද්ධි ක්ෂුද්‍ර පරිපථ (AI chipsets)

උසස් ජී.පී.එස් තාක්ෂණය හා මයික්‍රෝප්‍රොසෙසර් තාක්ෂණය - Advanced GPS and Microprocessor sector

ස්ථානගතකිරීම, යාත්‍රනය හා කාළගණන තාක්ෂණයන් (Position, Navigation, and Timing (PNT) technology)

තනි චිපයේ පරිගණක පද්ධති (system on chip technology)

අධි-ධාරිතා පරිගණක මතක තාක්ෂණයන් (stacked memory technology)

ගණක හා තර්කණ හැකියා ඇති පරිගණක මතක තාක්ෂණය (memory-centric logic technology / bootable memory)

උසස් දත්ත සැකසුම් තාක්ෂණ - Advanced Data Processing Technology sector

දත්ත රූපණ තාක්ෂණය (data visualization technology)

ස්වයංක්‍රීය දත්ත විශ්ලේෂණ ඇල්ගොරිතම් තාක්ෂණය (automated analysis algorithms)

සන්දර්භ-අවබෝධනය ඇති පරිගණක වැඩසටහන් (contextually aware computer software)

කවන්ටම් පරිගණක හා ආශ්‍රිත තාක්ෂණයන් - Quantum Computing and related technology sector

කවන්ටම් පරිගණක තාක්ෂණය (quantum computing technology)

ක්වන්ටම් කේතකරණ තාක්ෂණය (quantum encryption)

ක්වන්ටම් සංවේදන තාක්ෂණය (quantum sensing)

සැපයුම් කළමණාකරණ තාක්ෂණයන් - Logistics Management Technology sector

උසස් ජංගම බළාගාර තාක්ෂණය (advanced mobile power plant)

ආදෘශ්‍යනය හා ආභාසනය පිලිබඳ තාක්ෂණයන් (modelling and simulation technology)

අවශ්‍ය මොහොතට ලැබෙන සැපයුම් දාම නිර්මාණ තාක්ෂණය (just in time logistics technology)

ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණය (3D printing technology)

උසස් රොබෝ තාක්ෂණය - Advanced Robotics Technology sector

මයික්‍රෝ ඩ්‍රෝන හා මයික්‍රෝ රොබෝ තාක්ෂණය (micro drone and micro robotics)

රොබෝ රොදබැඳීම් පාලන තාක්ෂණය (robotic swarming technology)

ස්ව-සංගති රොබෝ තාක්ෂණය (self-assembling robots)

අණුක රොබෝ තාක්ෂණය (molecular robotics)

රැහැන් රහිත ක්ෂුද්‍ර-විද්‍යුත්-යාන්ත්‍රික සංවේදක තාක්ෂණය (wireless microelectromechanical sensors)

මස්තිෂ්ක-පරිගණක අතුරුමුහුණත් තාක්ෂණය - Brain Computer Interfaces Technology sector

ස්නායුක පාලන අතුරුමුහුණත් තාක්ෂණය (neural control interface technology)

මනස්-යාන්ත්‍ර අතුරුමුහුණත් තාක්ෂණය (mind machine interface technology)

ස්නායුමත රෝපණය කල හැකි අතුරුමුහුණත් තාක්ෂණය (neural implanted interface technology)

හයිපර් සොනික් පියාසැරි තාක්ෂණය - Hypersonic flight technology sector

හයිපර් සොනික් යානා පියාසැරි පාලන ඇල්ගොරිතම් තාක්ෂණය (hypersonic flight control technology)

හයිපර් සොනික් ප්‍රචාලන තාක්ෂණය (hypersonic propulsion)

උසස් තාප බාධක තාක්ෂණය (advanced thermal protection systems)

උසස් ද්‍රව‍ය තාක්ෂණ - Advanced Materials Technology sector

හයිපර් සොනික් හ අභ්‍යවකාශ යානා සඳහා යොදාගන්නා උසස් තාක්ෂණයේ ද්‍රව්‍ය (hypersonic and space vehicle construction technology)

පරිසරය අනුව වර්ණය වෙනස්වන රෙදි (adaptive camouflage fabrics)

ජෛව - ද්‍රව්‍ය තාක්ෂණය (bio materials technology)

Comments

  1. ඇමරිකාව චීනයෙ හුවාවි තමන්ගෙ රට ඇතුලෙ තහනම් කලා චීනට ඊට කලින් ඇමරිකානු සමාගමන් 100 වැඩිය චීනය ඇතුලෙ තහනම් කරලා තියෙනවා එතකොට ඔයාල කිසිම කතවක් නැ ලගකදි wikipedia තහනම් කලා එක ගැනවත් කතවක් නැ චීනට හොද ඇමරිකවට නරක තහනම

    ReplyDelete
  2. චීනය හා ඇමරිකාවේ වෙළඳ ගැටුම් කෙසේ වෙතත් වටිනා තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තූතියි.

    ReplyDelete

Post a Comment