BUSINESS : ජැක් ඩැනියෙල්ස් විෂ්කි වලට වඩා මිල අපේ හොඳම අරක්කු!


අඩුකුලේ මත් පාණය

අරක්කු යන වචනය ඇසූ පමණින් සිතන නැගෙන්නේ පහල මධ්‍යම පංතියේ නිර්ධනයින් සිය විඩාව නිවාගන්නට, සතුටු අවස්ථා සමරන්නට පාණය කරන අඩුකුලේ පාණයක් යන්නයි.

විෂ්කි, බ්‍රැන්ඩි හා වෙනත් විදේශීය මත්පැන් වඩාත් ඉහලින් සැලකීමට ශ්‍රීලාංකිකයා පුරුදුවී ඇති අතර, සාදවලදී අරක්කු බොන්නටදීමට බොහෝ දෙනා අකමැති වන්නේ තමන්ගේ තත්වයට එතරම් හොඳ නැති බව සිතමිනි. අධික මිළගණන්දී විදෙස් ලේබල්වල මත්පැන් කෙසේ හෝ සපයා ගැනීමට ඔවුන් පෙළබෙන්නේ ඒ බැවිනි.

එමෙන්ම ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේ අරක්කු පානය කරන්නන් බේබද්දන් ලෙස සැලකීම පුරුද්දක් කරගෙන් ඇති නමුත් විශ්කි බ්‍රැන්ඩි පාණය කරන්නන් ඉහල පංතියේ සැදැහැවතුන් ලෙස සැලකීටත්, ඔවුන්ගේ මත්පැන් පානය එතරම් වරදක් ලෙස නොසැලකීමටත් ක්‍රියාකරනවා.

අරක්කුවල ඉතිහාසය

අරක්කු යන වචනයේ  ශබ්දනිෂ්පත්තිය (etymology) කෙසේ ඇතිවුනිදැයි සැක හැර දැන ගැනීමට නොහැකි වන්නේ එය එතරම්ම පැරණි පානයක් බැවින්යයි කීම වරදක් නොවේ. ආසියාවේ විවිධ රටවල අරක්කු යන වචනයට සමාන ශබ්ධයන් ඇති වචනයන් ගෙන් හැඳින්වෙන විවිධ මත් පානයන් ඇති අතර ඒවා පළතුරු, උක් හෝ ධාන්‍ය වලින් පෙරාගනී.

ඉන්දියානු වාග්විද්‍යාඥයින්ට අනුව අරක්කු ඉන්දියාව නිජබිම වන ඇරිකානට් හෙවත් පුවක් ආධාරයෙන් පෙරාගන්නා බීමක් ලෙස ඇතිවූ නිසා අරක්කු හෙවත් ඇරැක් යන වචනය ඇතිවී තිබේ. අරාබි පඬිවරුන්ට අනුව araq යන අරාබි වචනයෙන් අරක්කු යන පදය බිහිවී ඇත. Araq යන අරාබි වචනය නිස්සාරනය නැතිනම් ආසවනය යන තේරුම දෙනවා.

කෙසේ වෙතත් අරක්කු යන්න දැන් සිංහල වචනයක් වී ඇති අතර එය පොල් මලෙන් වැගිරෙන යුෂ මගින් පෙරා ගන්නා ඉහල මත් ගතියකින් යුතු මත්පැන් වර්ගයක් ලෙස ලොව පුරා පිලිගැනීමකට ලක්වී තිබෙනවා.

යටත් විජිත සමයේ බිහිවන සංවිධානාත්මක අරක්කු කර්මාණ්තය

අතීතයේදී සිංහල රජවරුන් හා වංශාධිපතියන් සිය පොල්වගාවලින් තමන්ගේ පාවිච්චිය සඳහා අරක්කු හා රා පෙරාගත් බව පැවසෙතත්, ලංකාවේ අරක්කු හා මත්පැන් කර්මාණ්තය රජයේ අනුග්‍රහය යටතේ හා පාලනය යටතේ පවතින කර්මාණ්තයක් ලෙස බිහිවන්නට පටන් ගත්තේ යටත් විජිත සමයේ සිටයි. අරක්කු කර්මාණ්තය විශාල බදු ආදායමක් ලබාගත හැකි කර්මාණතයක් බව තේරුම්ගත් යටත් විජිත පාලකයින් මත්පැන් බලපත් හෙවත් අරක්කු රේන්ද ක්‍රමයක් නිර්මාණය කොට රා හා අරක්කු පෙරීම හා විකිණීම රජයේ ඒකාධිකාරයට පවරාගන්නට ක්‍රියාකලා.

1650 ගණන්වලදී ඕලන්ද පාලකයින් ලංකාවේ අරක්කු රේන්ද ක්‍රමය ඇතිකල අතර බ්‍රිතාන්‍යයන් එය මහාපරිමාණ කර්මාණ්තයක් බවට පත්කොට අපනයන නිෂ්පාදනයක් ලෙසද හඳුනාගත්තා. 1900 පමණ වනතෙක් ලංකාවේ අරක්කු ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවලට අපනයනය කලත් එම රටවල්ද සිය මත්පැන් කර්මාණ්ත විධිමත් කොට ආනයනික මත්පැන් වලට විශාල බදුපැනවීම නිසා ලංකාවේ අරක්කු අපනයන කර්මාණ්තය කඩාවැටුනු බවයි පැවසෙන්නේ.

1834දී සම්මතවූ  Excise Ordinance of Ceylon හෙවත් සුරාබදු පනත ලංකාවේ මත්පැන් වෙළඳාම රජය යටතගෙන දැඩි නීති හා බදු ක්‍රමයක් යටතේ පවත්වාගෙන යන්නට සැලසුම්කල අතර 1912දී  බ්‍රිතාන්‍ය පාලකයින් සුරාබදු දෙපාර්තමේන්තුව බිහිකොට අරක්කු හා මත්පැන් නිෂ්පාදනය හා විකිණීම වඩාත් විධිමත් කරන්නට උත්සහ කලේය. 1974දී සිරිමා බණ්ඩාරනායක රජය විසින් රාජ්‍ය ස්කාගාර සංස්ථාව (Distilleries Corporation of Sri Lanka) බිහිකරන ලද අතර 1992දී ප්‍රේමදාස රජය විසින් එය පෞද්ගලික කරණය කොට අද පවතින දැවැන්ත DCSL සමාගම බිහිකරන්නට අඩිතාලම දැමුවේය.

නූතන සිංහල ධනපති පෙලැන්තිය බිහිකල අරක්කු රේන්දය

අරක්කු රේන්දය යනු, අරක්කු පෙරීම, බෙදාහැරීම හා විකිණීම සඳහා බළපත්‍ර වෙන්දේසියයි. මෙය වාර්ශික වෙන්දේසියක් ලෙස පැවැත්වෙනවා.මෙම අරක්කු රේන්ද මිළදීගෙන ව්‍යාපාරයක් ලෙස අරක්කු පෙරීම, බෙදාහැරීම හා විකිණීමෙන් යටත්විජිත සමයේ ලංකාවේ දේශීය ධනවතුන් බිහිවූ බවත්, ඔවුන් බොහෝ දෙනෙක් පසුකලක අරක්කු ව්‍යාපාරය අතහැර (අමද්‍යප ව්‍යාපාරයේ බලපෑම නිසා හා අරක්කු මගින් සිදුවන සමාජීය ගැටලු ගැන ඇති අවබෝධනය් නිසා විය යුතුය ) සිය ධනය යුරෝපීයයන් විකුණාදමන තේ රබර් පොල් හා කුරුඳු වතු හා වෙනත් අපනයනය බෝග වතු මිළදීගැනීමට, ආනයන හා අපනයන ව්‍යාපාර ඇරඹීමට ආයෝජනය කල බවයි පැවසෙන්නේ.

යටත් විජිත සමයේ වාර්තාවලට අනුව අරක්කු ගැලුමක් පෙරීම සඳහා රා ගැලුම් 7ක් අවශ්‍ය වන අතර, යටත් විජිත රජයේ අරක්කු රේන්ද රෙකුලාසිවලට අනුව අරක්කු ස්කාගාරයක් සඳහා අවසරය ලබාගැනීමට අවම වශයෙන් ගැලුම් 150ක අරක්කු නිෂ්පාදන ධාරිතාවයක් තිබිය යුතුය. ගැලුම් 150ක ධාරිතාව ඇති කුඩා ස්කාගාරයක අරක්කු රේන්ද බලපත්‍රය එකල රුපියල් සියයක් වූ බවත්, දේශීය අරක්කු වෙළඳාමේ ප්‍රමුඛයින් වූයේ පානදුර හා මොරටු පලාත්වල කරාව පෙලපතේ අයවලුන් බවත් යටත් විජිතසමයේ අරක්කු කර්මාණ්තය පිලිබඳ වාර්තා සඳහන් කරනවා.

එකල අරක්කු ගැලුමක තොග මිල රුපියල් සියයක් වූ බව පැවසෙනවා. 

නූතන අරක්කු කර්මාණ්තය

නූතන අරක්කු කර්මාණ්තයේ නියැලෙන සමාගම් කිහිපයක ඉතිහාසය යටත් විජිත සමය දක්වා දිවයනවා. 

IDL හෙවත් ඉන්ටර්නැෂනල් ඩිස්ටිලරීස් සමාගම1980දී ලන්ඩනයේ ගිල්බීස් සමාගමේ ශාඛාවක් ලෙස ඇරඹුනු අතර යටත් විජිත සමයේ යුරෝපීය ව්‍යවසායකයින් දෙදෙනෙකු ඇරඹූ අරක්කු ව්‍යාපාරයක වට්ටෝර, සන්නාම හා දේපල අත්පත්කොට ගත්තා. 

තෝමස් මේසන් හා ඇල්ෆ්‍රඩ් අයිබෲක් යන යුරෝපීයයන් දෙදෙනාගේ සුසංයෝගයෙන් ඇරඹුණු අරක්කු නිෂ්පාදන කර්මාණ්තය ලංකාවේ පැරණිම සංවිධානාත්මක ලෙස හා ඉහල තත්වයෙන් අරක්කු නිෂ්පාදනය ඇරඹූ ව්‍යාපාරයක්. ඔල්ඩ් රිසර්ව් හා ඕල්ඩ් ඇරැක් මෙම සමාගමේ ප්‍රමුඛතම නිෂපාදන වනවා. 1868දී ඇරඹුනු මෙම ව්‍යාපාරය දැන් විශාල සමාගමක් බවට පත්වෙලා. එහෙත් අදටත් අයි.ඩී.එල් සමාගම නිෂ්පාදනය කරන ඕල්ඩ් රිසර්ව් හා ඔල්ඩ් ඇරැක් බෝතල් ලේබලයේ, සමාගමේ සමාරම්භකයින් හා එම අරක්කු වට්ටෝරුවේ නිර්මාතෲවරුන් වන අයිබෲක් හා මේසන්ගේ නම් සඳහන් වෙනවා.

Distilleries Company of Sri Lanka PLC ලංකාවේ විශාලතම අරක්කු හා ස්ප්‍රීතු නිෂ්පාදකයා වන අතර එහි ඉතිහාසය 1913 දක්වා දිව යනවා. 1913දී බ්‍රිතාන්‍ය යටත් විජිත රජයේ සුරාබදු දෙපාර්තමේන්තුව, අරක්කු නිෂ්පාදනයට පිවිසුනු අතර 1974 වනතෙක්ම සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ අරක්කු නිෂ්පාදනය සිදුකලා. 1974දී සිරිමා බණ්ඩාරනායක රජය, සුරාබදු දෙපාර්තමේන්තුවේ අරක්කු නිෂපාදන කටයුතු සඳහා ස්කාගාර සංස්ථාව ස්ථාපනය කල අතර ඔවුන් නිෂ්පාදනය කල අරක්කු සංස්ථා අරක්කු ලෙස ප්‍රකට වුනා.

1992දී මෙම සමාගම පුද්ගලික සමාගමක් ලෙස පරිවර්තනය කොට එය පෞද්ගලික අංශයට පැවරුන අතර ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධනයන් සතු සමාගමක් මගින් එහි අයිතිය හිමිකරගත්තා.

රොක්ලන්ඩ් ඩිස්ටිලරීස් ලංකාවේ අරක්කු නිෂ්පාදනයේ නමක් රැන්දූ සමාගමක්. ලංකා අරක්කු ලන්ඩනයේ, සිංගප්පූරුවේ හා ප්‍රංශයේ ජේත්තුකාර සමාජශාලා හා අවන්හල්වල අධික මිළකට විකිණෙන, සුපිරි පානයක් බවට පත්කරන්නට බොහෝ වෙහෙස මහන්සිවන සමාගමක්.

ඉතා ආකර්ෂණීස සන්නාම හා නිර්මාණශීලී ලේබල් යටතේ එලිදකින රොක්ලන්ඩ් සමාගමේ අරක්කුවල ඉතිහාසය 1924 දක්වා දිවයනවා. එම වසරේදී ජේ.බී.එම් පෙරේරා, බ්‍රිතාන්‍ය රජයෙන් අරක්කු පෙරීම සඳහා රේන්දයක් ලබාගත් අතර ඉහලම තත්වයේ අරක්කු නිෂ්පාදනය සඳහා ප්‍රංශයෙන් ස්කාගාර උපකරණ ආනයනය කිරීමට පෙරේරා හා ඔහුගේ හවුල්කරුවන් ක්‍රියාකලා.


රොක්ලන්ඩ් සමාගම දේශීය හා විදේශීය වෙළඳපොලට නිකුත්කොට ඇති 100%ක් පිරිසිදු පොල් රාවලින් නිෂ්පාදිත සිලෝන් ඇරැක් ලොව පුරා රටවල් කිහිපයකට අපණයනය කෙරෙන අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවයි සමාගම පවසන්නේ. ලංකාවේ සිල්ලර මිල රු.10,000ක් 11,000ත් අතර මිලකට 700ml සිලෝක් ඇරක් බෝතලයක් මිළකොට ඇති අතර බ්‍රිතාන්‍යයේ ප්‍රකට වයින් වෙළඳ ජාලයක එය මිළකොට ඇත්තේ ස්ටර්ලින් පවුම් £28.75 ලෙසයි. එම වයින් සාප්පුවේම සුප්‍රකට ඇමරිකානු විෂ්කි සන්නාමයක් වන ජැක් ඩැනියෙල්ස් සමාගමේ Jack Daniel's Tennesee Fire හා Jack Daniel's Honey Whikey  විෂ්කි වර්ග දෙකම පවුම් 25කට මිළකොට තිබෙනවා. කෙසේ වෙතත් මීට වඩා විශාල මිලකට අලෙවිවන ඉහලම තත්වයේ ජැක් ඩැනියෙල් විෂ්කි වර්ගද තිබෙනවා. Jack Daniel's Monogram (750ml) විශ්කි බෝතලයක් ස්ටර්ලින් පවුම් 800 වැනි අධික මිළකට අලෙවි වනවා.



Comments

  1. ඉතාම වටිනා තොරතුරු ටිකක්.

    ReplyDelete
  2. වචනය ලංකාවේ -

    අරක්කු යන වචනය ශ්‍රී ලංකාවේ සිංහල වචන තුල ශේෂ වුණු වචනයක් බව මතක් කර දෙන්නට කැමති.
    "අරක්කු" යන වචනයේ ලංකාවේ ඉතිහාසය රාවණා රජුගේ යුගය තෙක් විය හැකි යැයි පවසන්නට පුළුවන්. ඊට හේතුව එකල විවිධ ශක්තීන් අත්හදා බැලූ යුගයක් ලෙස හැදින්විය හැකි නිසාවෙන්. "රා" යන්නෙන් අදහස් වන්නේ ශක්තියයි. "රා - වණ"යනු විශ්ව ශක්තියයි.
    ඒ අනුව ආයුර්වේදයේ ඔෞෂදයක් ලෙස තෙලිජ්ජ හා රා භාවිතා කරනු ලබනවා. එසේම ඊට හාත්පසින් වෙනස් වූද නමුත් වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන්නා වූද "කංසා" ශාකයද මේ හා කතා කල හැකි කරුණකි. එනම් මේ සෑම ඔෞෂද යකම කෙලවර පවතින්නේ, අඹරා, කොටා, මිරිකා, හිදුවා, වේලා ගත් විට අරිෂ්ඨය නොහොත් හෙළ වෙද වචනයෙන් කිවහොත් "අරක්ක" යන්නයි.

    සුදු හම ඇත්තෝ සිංහල ජාතිය වද කරනු වස්, අප ඔෞෂද ලෙස ගත් අරිෂ්ඨ නොහොත් අරක්ක වෙනුවට, ඔවුන්ගේ පානයක් වන ප්‍රතිශතයෙන් ඇල්කොහොල් මට්ටම අධික වූ පානයක් හුරුකරන ලදි. අරිෂ්ඨ නොහොත් අරක්ක වලට සමාන කමක් දක්වන මෙම පානය අරක්ක යන්න අරක්කු වන්නේ එහි ප්‍රතිපලයක් වශයෙනි.

    එදා ඉංග්‍රීසි ජාතිකයන් පවා මධ්‍යසාර භාවිතය පිළිකුල් කර ඇති බවට හොඳම සාදකය ලෙස ගෙනහැර දැක්විය හැක්කේ, රොබට් නොක්ස් හට ඔහුගේ පියා මරණාසන්නයේ සිටි අවස්ථාවේදී දුන් ඔවදන්ය. පසුව නොක්ස් ලංකාවෙන් පලා ගොස්, කංසා පැලය ගැන එහිදී වර්ණණා කරන්නේද ඉන් අත් වන දිව්‍ය ගුණය විස්තර කරමින්ය. ඊට පසු ක්‍රමයෙන් ආක්‍රමණය වන ලංකාවේ කංසා තහනමට ලක්වන අතර අරක්කු සදහා කෙටුම්පත් සකස්කරන ලදි. මෙහි ඇති කූඨ උපක්‍රමය ලක් වැසියන්ට තවමත් වැටහී නැත. එසේ වැටහුණි නම් අන්තරායකර ඔෞෂද දෙපාර්තමේන්තුවට සහ ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඇස් ඇරී මේ වන විටත්, රට අරක්කු හා ස්කාගාර තහනම් කර දේශීය අරිෂ්ඨ නොහොත් අරක්ක සහ කංසා ජනගත කරනු ඇත.

    සටහන
    තිලාන් වර්ණජිත් විජේසිංහ
    2019/ 12/ 04
    වේලාව - 12.25Pm

    ReplyDelete
  3. වචනය ලංකාවේ -

    අරක්කු යන වචනය ශ්‍රී ලංකාවේ සිංහල වචන තුල ශේෂ වුණු වචනයක් බව මතක් කර දෙන්නට කැමති.
    "අරක්කු" යන වචනයේ ලංකාවේ ඉතිහාසය රාවණා රජුගේ යුගය තෙක් විය හැකි යැයි පවසන්නට පුළුවන්. ඊට හේතුව එකල විවිධ ශක්තීන් අත්හදා බැලූ යුගයක් ලෙස හැදින්විය හැකි නිසාවෙන්. "රා" යන්නෙන් අදහස් වන්නේ ශක්තියයි. "රා - වණ"යනු විශ්ව ශක්තියයි.
    ඒ අනුව ආයුර්වේදයේ ඔෞෂදයක් ලෙස තෙලිජ්ජ හා රා භාවිතා කරනු ලබනවා. එසේම ඊට හාත්පසින් වෙනස් වූද නමුත් වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන්නා වූද "කංසා" ශාකයද මේ හා කතා කල හැකි කරුණකි. එනම් මේ සෑම ඔෞෂද යකම කෙලවර පවතින්නේ, අඹරා, කොටා, මිරිකා, හිදුවා, වේලා ගත් විට අරිෂ්ඨය නොහොත් හෙළ වෙද වචනයෙන් කිවහොත් "අරක්ක" යන්නයි.

    සුදු හම ඇත්තෝ සිංහල ජාතිය වද කරනු වස්, අප ඔෞෂද ලෙස ගත් අරිෂ්ඨ නොහොත් අරක්ක වෙනුවට, ඔවුන්ගේ පානයක් වන ප්‍රතිශතයෙන් ඇල්කොහොල් මට්ටම අධික වූ පානයක් හුරුකරන ලදි. අරිෂ්ඨ නොහොත් අරක්ක වලට සමාන කමක් දක්වන මෙම පානය අරක්ක යන්න අරක්කු වන්නේ එහි ප්‍රතිපලයක් වශයෙනි.

    එදා ඉංග්‍රීසි ජාතිකයන් පවා මධ්‍යසාර භාවිතය පිළිකුල් කර ඇති බවට හොඳම සාදකය ලෙස ගෙනහැර දැක්විය හැක්කේ, රොබට් නොක්ස් හට ඔහුගේ පියා මරණාසන්නයේ සිටි අවස්ථාවේදී දුන් ඔවදන්ය. පසුව නොක්ස් ලංකාවෙන් පලා ගොස්, කංසා පැලය ගැන එහිදී වර්ණණා කරන්නේද ඉන් අත් වන දිව්‍ය ගුණය විස්තර කරමින්ය. ඊට පසු ක්‍රමයෙන් ආක්‍රමණය වන ලංකාවේ කංසා තහනමට ලක්වන අතර අරක්කු සදහා කෙටුම්පත් සකස්කරන ලදි. මෙහි ඇති කූඨ උපක්‍රමය ලක් වැසියන්ට තවමත් වැටහී නැත. එසේ වැටහුණි නම් අන්තරායකර ඔෞෂද දෙපාර්තමේන්තුවට සහ ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඇස් ඇරී මේ වන විටත්, රට අරක්කු හා ස්කාගාර තහනම් කර දේශීය අරිෂ්ඨ නොහොත් අරක්ක සහ කංසා ජනගත කරනු ඇත.

    සටහන
    තිලාන් වර්ණජිත් විජේසිංහ
    2019/ 12/ 04
    වේලාව - 12.25Pm

    ReplyDelete

Post a Comment