ගුවන් යානයකින් අභ්‍යවකාශයට ගිය අමෙරිකානුවා! : The America who flew into space on a plane !

ගුවන් යානයකින් අභ්‍යවකාශයට යන්න පුලුවන්ද? ඔබ අසාවි.

ඔවු පුළුවන්, ඒත් එසේ මෙසේ ගුවන් යානයකින් නෙමෙයි. මේවගේ හපන්කමක් කරන්න පුලුවන් ගුවන් යානාත්, ඒවා පදවන්න පුලුවන් අති දක්ශ, නිර්භීත නියමුවන් ඉන්නෙත් අමෙරිකාවටත් රුසියාවටත් විතරයි.

මේ කියන්න යන්නේ ගුවන් යානයකින් අභ්‍යවකාශයට ගිය අමෙරිකන් නාසා ආයතනයේ ගුවන් නියමුවෙක් ගැන. මේ නියමුවාගේ නම ජෝසෆ් ඇල්බර්ට් වෝකර්.


1921 වසරේ පෙන්සිල්වේනියා වලදී උපන් වෝකර් පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුලුවී භෞතික විද්‍යාව පිලිබඳ උපාධියක් දිනාගත්තා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්වෙනවාත් සමගම දෙවන ලෝක යුද්ධය ආරම්භවුනු නිසා වෝකර්, ඔහුගේ සම වයසේ සිටි තරුණයන් අනුගමනය කරමින් හමුදාසේවයට බඳුනා.

යුද්ධය කාලයේදී ඔත්තු බැලීමේ හා මුරසංචාරක ගමන් වල යෙදෙන ගුවන්යානා නියමුවෙකු ලෙස ක්‍රියා කල වෝකර් යුද්ධය අවසානයේදී භෞතික විද්‍යාඥයෙකු ලෙස නාසා ආයතනයේ පුරෝගාමික පර්යේශණ ආයතනයක සේවයට එක්වුනා. ඒ අතරවාරයේ පියාසර කිරීමට ඇති දැඩි ආශාව නිසාම පර්යේශණ ගුවන් නියමුවෙකු ලෙස පුහුණුවී නාසා ආයතනයේ පර්යේශණාගාර රැසක ගගනවිද්‍යා පර්යේශණ වලට සහය වුනා.

නාසා ආයතනයේ ගගනවිද්‍යා පර්යේශණ සඳහා විවිධ වර්ගයේ පර්යේශණ යානා විශාල සංඛ්‍යාවක් පදවා අත්දැකීම් වලින් පරිපූර්ණ වී සිටි වෝකර් හට ගගනගාමියෙකු වීමේ අහඹු අවස්ථාව උදාවුනේ නාසා ආයතනය ඔවුන්ගේ එක්ස් 15 පර්යේශණ ගුවන්යානා ව්‍යාපෘතියට ගුවන් නියමුවෙකු ලෙස ඔහුව තෝරා ගැනීමෙනුයි.


X-Plane Project (X-Series Experimental Aircraft Project)හෙවත් එක්ස් කාණ්ඩයේ ගුවන්යානා ව්‍යාපෘතිය 1940ගණන්වල සිට අමෙරිකානු ගුවන් හමුදාව මගින් ක්‍රියාත්මක කල පර්යේශණ ව්‍යාපෘතියක් වුනු අතර පසුකලෙක නාසා ආයතනය පිහිටුවීමෙන් අනතුරුව මේ ව්‍යාපෘතියේ වැඩිබර නාසා ආයතනයට ලැබුණා.


අතිශයින්ම පර්යේශණ මට්ටමේ පැවති ගුවන්යානා පියාසර කෙරුණු මේ ව්‍යාපෘතියේ අරමුණ වුනේ ගුවන් යානා තාක්ශණයේ නිම්වලලු පුලුල් කිරීමයි. 1944දී එක්ස් කාණ්ඩයේ ගුවන් යානාවල පලමුවනි කාණ්ඩයේ යානාවක් වුනු බෙල් එක්ස්-1 ගුවන්යානාව ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කල ලොව ප්‍රථම ගුවන් යානය බවට පත්වුනා.


වෝකර් නියමුවා ලෙස තෝරාගත් එක්ස්-15 යානය, එක්ස් ගුවන්යානා කාණ්ඩයේ 15වැනි පරම්පරාවේ ඉතා දියුණු යානයක් වුනා. 1959දී ආරම්භවුනු එක්ස්-15 යානයේ පියාසැරි මාලාවේ අරමුණ වුනේ අභ්‍යවකාශ ගතකල හැකි ගුවන්යානා නිර්මාණය සඳහා දත්ත ලබාගැනීමයි.




වෝකර්ට අමතරව තවත් නියමුවන් එකොලොස් දෙනෙකු එක්ස්-15 යානා පියාසර කිරීම සඳහා තෝරාගැනුනු අතර මින් එක් අයෙකු වුනේ සඳමත පියසටහන් තැබූ පලමුවැන්නා වීමේ වාසනාව ලද "නීල් ආම්ස්ට්‍රෝං" නම් වූ තරුණ ජෙට් නියමුවායි.

ගුවන් තාක්ශණයේ නිම්වලලු පුලුල් කරමින් වාර්තා පිට වාර්තා තැබූ එක්ස්-15 යානා, ගුවන්යානයක් විසින් සිදුකල කල වේගවත්ම ගුවන් ගමන එනම් පැයට කිලෝමීටර් 6585ක ගුවන් ගමන වාර්තාකලා. ඒ 1961 වසරේ නොවැම්බර් 9වැනිදා, එක්ස්-15 යානාවක් සිදුකල 45වැනි පියාසැරියේදී.


ජෝසෆ් වෝකර් හට ගගනගාමියෙකු ලෙස ඉතිහාසගතවීමට වාසනාව උදාවුනේ එක්ස්-15 යානා විසින් තැබූ අනෙක් ලෝක වාර්තාව මගිනුයි. එනම් වඩාත්ම උසින් පියාසර කරනු ලැබූ ගුවන්යානාව ලෙස වාර්තාව තමන් සතු කරගැනීමෙනුයි. 1963 වසරේ ජූනි 19වැනිදා ජෝසෆ් වෝකර් විසින් පියාසර කරවනු ලැබූ එක්ස්-15 යානාවක් පොලවට කිලෝමීටර් 105.9 ඉහලින් පියාසර කොට වාර්තාවක් තැබුවා.


අන්තර්ජාතික සම්මතයට අනුව අභ්‍යවකාශය ලෙස සැලකෙන්නේ පොලොවේ සිට කිලෝමීටර් 100 සීමාවට ඔබ්බෙනුයි. ඒ අනුව පොලොවට කිලෝමීටර් 105.9 ඉහලින් තම ගුවන් යානය පියාසර කරවූ ජෝසෆ් වොකර් හට අන්තර්ජාතික සම්මතයට අනුව ගගනගාමියෙකු ලෙස පිලිගැනීම ලැබුණු අතර ගගාරින්ගේ සිට අද දක්වාම අභ්‍යවකාශ ගතවුනු ගගනගාමීන්ගේ නම් ඇතුලත් නාමාවලියට ජෝ වෝකර්ගේ නාමය ඇතුලත්කර ගත්තා. ඒ අනුව ගුවන් යානයකින් අභ්‍යවකාශයට ඇතුලුවුනු පලමුවැන්නා වීමේ අවස්ථාව ජෝසෆ් වෝකර් විසින් උදාකරගත්තා.
 

X-15 යානාව පිලිබඳ කුඩා වාර්තා චිත්‍රපටියක් නරඹන්න


Comments