වසර මිලියන 20ක් අයිස් තට්ටු යට සැඟවී තිබුණු ඇන්ටාක්ටිකාවේ වොස්ටොක් විලෙහි ජලය පරීක්ශාවට රුසියානු විද්‍යාඥයින් සැරසෙයි.

වසර ගණනාවක් මහත් පරිශ්‍රමයක් දරමින් සැතපුම් දෙකක් පමණ ඝණකම් වූ අයිස්තට්ටුව සිදුරු කරමින් සෙමින් සෙමින් සිය ඉලක්කය වෙත ලඟාවෙමින් සිටි රුසියානු විද්‍යාඥයින් තව නොබෝ දිනකින් (2012 ඝ්‍රීස්ම සෘතුව අවසන් වීමට පෙර - එනම් 2012 පෙබරවාරි මස අවසනට පෙර) වොස්ටොක් විලෙහි ජලය කරා ලඟාවනු ඇත.

මෙම කාර්‍යයට මෙතරම් කාලයක් ගතවී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ  ක්ශේස්ත්‍ර පර්යේශණ සිදුකල හැක්කේ එහි ග්‍රීස්ම සෘතුව පවතින ඔක්තෝම්බර් හා පෙබරවාරි අතර මාස හතරක පමණ සුලු කාලයක වන නිසාය. අනෙක් කාලවලදී උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් සෘණ 100ක් දක්වා බසින අතර කුණාටු වැනි අධික වේගයෙන් හමන සුලං පවතී. මේ නිසා ඉතිරි මාස අටක කාලයේදී වොස්ටොක් වැනි පර්යේශණාගාර වල පර්යේශකයින් බොහෝ දෙනෙකු සිය මව් රටවල් බලා ගමන් කරයි.

වසර මිලියන 20ක් පමණ, එනම් ඔස්ට්‍රේලියා මහාද්විපයත්, ඇන්ටාක්ටිකා මහද්වීපයත් එකට යාව තිබුණු කාලයට පසු මෙම වොස්ටොක් විලෙහි ජලය මතට හිරු එලිය වැටී නැත. සැතපුම් දෙකක් පමණ ඝණකම අයිස් තට්ටුවකින් වැසී තිබුණත් මෙම විලෙහි ජලය නොමිදී පවතින්නේ පෘථිවිය මධ්‍යයේ සිට එන භූ උශ්ණත්වය (geothermal heat) හේතුවෙනි.


වොස්ටොක් විලහි ජල සාම්පල ලබා ගැනීම, දැනට හඳුනාගෙන ඇති අයිස් තට්ටු යට සැඟවුනු විල් 200ක පමණ පද්ධතියක විද්‍යාත්මක ගවේශණ වල ආරම්භය වනු ඇත.මේ ජල සාම්පල පරික්ශාවෙන් ලැබෙන දත්ත මගින් පෘථිවිය පිලිබඳව පමණක් නොව අයිස්තට්ටු යට සැඟවුනු ද්‍රව ජලය හෝ ද්‍රව මීතේන් පිරුණු විල් ඇතැයි සැලකෙන බ්‍රහස්පතී ග්‍රහයාගේ චන්ද්‍රයින් වන යුරෝපා හා ගැනීමීඩ් ගවේශණය සඳහාද උපකාරවන දත්ත ලැබෙනු ඇතැයි සැළකේ.



Comments