අමෙරිකානු සුපිරි F-22 යානය ගුවන් සටන් වලදී යුරෝපීය යානාවලට පරදී? - 2012 රෙඩ් ෆ්ලෑග් ගුවන් සටන් අභ්‍යාසවලදී F-22 යානා Eurofighter Typhoon යානාවලට පරාජය වෙයි!


බරපතල දෝශ තත්වයක් නිසා F-22 යානා බිම්ගත කිරීම

අමෙරිකානු සුපිරි ප්‍රහාරක යානය වන F-22 යානයට ලබා ඇත්තේ ඉතා අසුබ කාළයකි. මාස ගණනාවක් F-22 යානා බිම්ගන්වා තිබුණේ එම යානා පියාසර කරන නියමුවන් යානාව ගුවනේ තිබෙනවිට ඔක්සිජන් අඩුවීම නිසා හයිපොක්සියා නම් ආබාධයට ලක්වීම නිසාය. මේ හේතුවෙන් F-22 යානා කිහිපයක් කඩා වැටුනු අතර නියමුවන් දෙදෙනෙක් මරණයට පත්විය.

යානා නිශ්පාදකයාත්, අමෙරිකානු ගුවන්හමුදාවත් මෙම බරපතල දෝෂ තත්වය යටගසමින් දිගින් දිගටම F-22 යානා පියාසර කරවීම සඳහා නියමුවන්ට බලකිරීම හේතුවෙන් F-22 නියමුවන් කණ්ඩායමක් හමුදා නීති උල්ළංඝනය කරමින් F-22 යානා පියාසර කිරීම ප්‍රතික්ශේප කිරීමෙන් තත්වය තවත් බරපතල විය. එම විරෝධය මාධ්‍යමගින් වාර්තාවූ අතර එක්සත් ජනපද ගුවන්හමුදාව ගුවන් නියමුවන්ගේ මෙම ක්‍රියාවෙන් බලවත් අපහසුතාවයට පත්විය.

අවසානයේ අමෙරිකානු ආරක්ශක ලේකම් ලියෝන් පැනේටාගේ මැදිහත්වීම මත F-22 යානා පූර්ණ පරීක්ශාවකට බඳුන්කොට දෝශ නිවැරදි කරනතෙක්  2011 මැයි මාසයේ සිට බිම් ගන්වා තිබුණු අතර නැවතත් එම යානා පියාසර කරවීම සඳහා ගුවන්හමුදාවට අවසර ලැබුණේ මේ මෑතකදීය.

Red Flag 2012 ගුවන් සටන් අභ්‍යාසවලදී F-22 යානාවල සුපිරි හැකියාවන් එතරම් සුපිරි නොවන බව හෙලිවේ!

නෙලී ගුවන්හමුදා පුහුණු ප්‍රදේශයේ  ක්‍රියාත්මක වුනු රෙඩ් ෆ්ලෑග් 2012 සටන් පුහුණු මෙහෙයුමේ ගුවන්යානා ස්ථානගත කොට තිබුණු ආකාරය
F-22 යානා ගුවන්ගත කිරීම සඳහා අවසර ලැබෙනවාත් සමගම අමෙරිකානු ගුවන් හමුදාවට F-22 යානා පිලිබඳව තවත් නරක ප්‍රවෘත්තියක් ලැබුණා. ඒ රෙඩ් ෆ්ලෑග් නමින් හඳුන්වන රටවල් ගණනාවක ගුවන් හමුදා සහභාගීවන ගුවන් සටන් අභ්‍යාස මාලාවේ පැවැත්වුනු ආසන්නව සිදුකෙරෙන ගුවන් සටන් අභ්‍යාස වලදී (close air combat) අමෙරිකානු F-22 යානා පහසුවෙන් කොටු කරගැනීමට ජර්මන් ගුවන් හමුදාවේ යුරෝෆයිටර් ටයිෆූන් නියමුවන් හට හැකිවීමයි.  සැබෑ ගුවන් සටනකදීනම් F-22 යානා සියල්ලම වෙඩිතබා බිම හෙලීමට යුරෝෆයිටර් පියාසරකල ජර්මන් ගුවන් නියමුවන් හට හැකියාව තිබුණු බව පැවසෙනවා.

මේ බව මුලින්ම වාර්තාකලේ බ්‍රිතාන්‍ය ගගනවිද්‍යා සඟරාවක් වන "Combat Aircraft Monthly" සඟරාවේ 2012 අගෝස්තු කළාපයයි. රෙඩ් ෆ්ලෑග් ගුවන් සටන් අභ්‍යාස පිලිබඳවය විශේෂාංග ලිපියක් පලකරන එම කළාපය මෙම තොරතුර මුලින්ම ලොව හමුවේ තැබුවා.

රෙඩ් ෆ්ලෑග් ගුවන් සටන් අභ්‍යාසමාලාව සෑම වසරකම නෙවාඩා ප්‍රාන්තයේ නෙලී ගුවන් අභ්‍යාස ප්‍රදේශයේ හා ඇලස්කා ප්‍රාන්තයේ පැවැත්වෙනවා. මෙම අභ්‍යාස සඳහා නේටෝ සංවිධානයේ රටවල ගුවන් හමුදාවන්ට හා අමෙරිකාවට බොහෝ හිතවත් රටවල්වල ගුවන් හමුදාවන්හට ආරාධනා ලැබෙනවා. බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, නෝර්වේ වැනි යුරෝපීය රටවල් මෙන්ම ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය, කොරියාව, තුර්කිය, සිංගප්පූරුව වැනි අමෙරිකාවට හිතවත් රවලට මෙම පුහුණුව සඳහා  ආරාධනා ලැබෙනවා.

මෙහිදී එම රටවල් කාණ්ඩ වශයෙන් බෙදී එකිනෙකා අතර ගුවන්සටන් පුහුණු සැසි පවත්වන්නේ නියමුවන්ගේ සටන් හැකියාවන් දියුණු කිරීමට හා යුධමය අවස්ථාවලදී එක් එක් රටවල් වල ගුවන් හමුදාවලට එකට එකතුව එක් බළකායක් මෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සංවිධානමය හැකියාව ලබාගැනීමටයි.

F-22 යානා සතුව ඇතැයි ඇමරිකානු ගුවන් හමුදාව පවසන ගුවනේ බලපරාක්‍රය රඳවාගැනීමේ හැකියාව අභියෝගයට ලක්වීම.

F-22 යානාවට සටන් දුර්වලතාවයන් පිලිබඳව තොරතුරු පැමිණ තිබෙන්නේ අමෙරිකාව විසින්ම සංවිධානය කල අභ්‍යාසමාලාවකදී, ලොව ඉහලම මට්ටමේ ගුවන් හමුදාවක් ලෙස සැළකෙන ජර්මන් ගුවන්හමුදාවේ අත්දැකීම් අතරින් වීම F-22යානයේ කීර්තිනාමයට විශාල හානියක් විය හැකි බව පැවසෙනවා. අමෙරිකානු ගුවන් හමුදාව F-22 යානයේ සුපිරි හැකියාවන් පිලිබඳව අධි තක්සේරුවක සිටිනා බව, Combat Aircraft Monthly සඟරාවේ වාර්තාව පිලිබඳව ඌණපූරණයක් කරන අමෙරිකාවේ සුප්‍රකට තාක්ශණික සඟරාවක් වන "Popular Mechanics" සඟරාවේ අන්තර්ජාල සංස්කරණයේ පලවූ ලිපියක් හෙලිදරව් කරණවා.

ඕනෑම යුධ ගුවන්යානයක් බිමහෙළිය හැකියි, එය F-22ටත් පොදුයි

ජර්මානු ගුවන්හමුදාවේ යුධගුවන්යානා විශේෂඥයින් හා අමෙරිකානු ගුවන්හමුදාවේ නිළධාරීන් පවසන්නේ F-22 යානයේ මෙම දුර්වලතා තමන් හොඳින් දැන සිටි බවත්, අලුතින් යමක් සොයාගෙන නොමැති බවත්ය.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් මාර්ක් ගෘවෙනි Combat Aircraft Monthly පැහැදිලිකල අන්දමට;
"ඕනෑම යුධගුවන් යානයක් බිම හෙලිය හැකියි, එය F-22ටත් පොදුයි. ඒවගේම කිසිම ප්‍රහාරක යානයක් තනිවම සටනට යන්නේ නෑ, විවිධ හැකියාවන් ඇති යානා වර්ග ගණනාවක් එක්සත් ජනපද ගුවන්හමුදාවට ඇත්තේ එක් එක් යානාව අවශ්‍ය පරිදි යොදා ගැන්මටයි....F-22 අමෙරිකන් ගුවන්හමුදාවට කෝකටත් තෛලයක් කියලා හිතන එක වැරදියි...F-22 යානය නිර්මාණය කොට තිබෙන්නේ ආසන්න ගුවන් සටන් සඳහා නෙමෙයි, සතුරු යානා ලංවෙන්නට පෙර, ක්සිතිජයටත් ඔබ්බෙන් පියාසරකරමින් තිබෙනවිට ඒවා බිම හෙලීමට අවශ්‍ය තාක්ශණයෙනුයි F-22 සන්නද්ධ කොට තිබෙන්නේ. ගුවන් සටන් සඳහා අපට F-15 ස්ට්‍රයික් ඊගල් යානා, F/A-18 හෝනට් යානා වගේම F-16 ෆෝල්කන් යානාද තිබෙනවා."  
එලෙසම රෙඩ් ෆ්ලෑග් පුහුණු සැසියට සහභාගීවුනු ජර්මන් ගුවන්හමුදාවේ නිළධාරීන්ද ලුතිනන් කර්නල් ගෘවෙනිගේ පැහැදිලිකිරීමට එකඟවුනු බව සඟරාව පවසනවා.
"F-22 යානාව සතු ක්සිතිජයට ඔබ්බෙන් ඇති යානා වලට පහරදීමේ හැකියාව (beyond visual range combat) විශිෂ්ඨයි. යුරෝෆයිටර් ටයිෆූන් යානයට එම හැකියාව නෑ....ඒවගේම close air combat සටන් යුධ ගුවන්යානාවකට මුහුණ දෙන්නට සිදුවන අභියෝගවලින් එකක් පමණයි...." 
Red Flag - Nellie's Air Force Base


F-15C ස්ට්‍රයික් ඊගල් යානයක් රෙඩ් ෆ්ලෑග් ගුවන් සටනක් සඳහා ගුවන්ගත වෙයි.
බ්‍රිතාන්‍ය රාජකීය ගුවන්හමුදාවේ ටෝර්නේඩෝ ප්‍රහාරක යානයක් නෙලී කඳවුරෙන් ගුවන්ගත වෙයි.
දකුණු කොරියානු ගුවන්හමුදාවේ F-15 ස්ට්‍රයික් ඊගල් යානයක් පුහුණුවට සහභාගී වෙමින්
එක්සත් ජනපද ගුවන් හමුදාවේ සිකෝර්ස්කි  HH -60G පේව්-හෝක් හෙලිකොප්ටරයක් සූදානම් කරමින් සිටින තාක්ශණික නිළධාරීන්
රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ C-130 හර්කියුලීස් භාණ්ඩ ප්‍රවාහන යානයක්   රෙඩ් ෆ්ලෑග් මෙහෙයුමකට එක්වෙමින්
B-1B ලාන්සර් බෝම්බ හෙලන යානයක් නෙලී කඳවුරෙන් ගුවන්ගත වෙමින්
ඉන්දියානු ගුවන්හමුදාවේ සුක්හොයි SU-30 ප්‍රහාරක යානයක් රෙඩ් ෆ්ලෑග් පුහුණු සැසියේ රාත්‍රී මෙහෙයුමකට සූදානම් වෙමින්
B-52 Stratofortress බෝම්බ හෙලන යානයක් නෙලී කඳවුරෙන් ගුවන්ගත වෙමින්
AC-10 තන්ඩර්බෝල්ට් යානා නෙලී කඳවුරෙන් ගුවන්ගත වෙමින්
ඔස්ට්‍රේලියානු ගුවන්හමුදා තාක්ශණ නිළධාරීන් ලේසර් මගින් මගපෙන්වන මිසයිලයික් යානාවකට සවිකරන්නට ගෙනයමින්







Comments

  1. හුගක් වටිනා ලිපියක්, තව මේ වගේ ඒවා ලියන්න.
    ඔන්න බ්ලොග් එකත් බුක්මාර්ක් කරගත්තා..

    ReplyDelete
  2. මේ බ්ලොග් එක තාක්ෂණික බ්ලොග් අතින් ඉහලින්ම තියෙනවා කියන එක මම කියන්න කැමතියි.

    ReplyDelete

Post a Comment