"කපුස්ටින් යාර්"...සෝවියට් රුසියාවේ Area 51

Kapustin Yar Missile Test Complex

අමෙරිකාවේ ඒරියා 51 නම් ප්‍රදේශය පිලිබඳවත්, එහි සිදුවෙනවා යයි පැවසෙන රහසිගත ගගනවිද්‍යා හා පිටසක්වලයින් පිලිබඳව කෙරෙන පර්යේෂණ පිලිබඳවත් ඒ ගැන උනන්දුවක් දක්වන බොහෝදෙනා දන්නවා. එහෙත් දැනටත් බොහෝ දෙන නොදන්නා කරුණක් නම් සෝවියට් රුසියාවේද, අමෙරිකාවේ ඒරියා 51 වැනිම රහසිගත ගගනවිද්‍යා පර්යේශණ කටයුතු මෙන්ම පිටසක්වල ජීවීන් හා යානා පිලිබඳව පර්යේශණ සිදුකෙරුණා/සිදුකෙරෙමින් පවතිනවා යයි පැවසෙන කපුස්ටින් යාර් (Kapustin Yar) නමින් හඳුන්වන අතිශයින්ම රහසිගත පර්යේශණ මධ්‍යස්ථානයක් පවතින බවයි.

Add caption
රුසියාවේ සුප්‍රකට වොල්ගා නදිය අසබඩ, වොල්ගොග්‍රැඩ් නගරය (කලින් ස්ටැලින්ග්‍රැඩ්) නගරයට සැතපුම් 75ක් නැගෙනහිරින්, කසකස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති කපුස්ටින් යාර් පර්යේශණ පෙදෙස සෝවියට් රජය විසින් නිළවශයෙන් හඳුන්වනු ලැබූයේ 4වැනි රාජ්‍ය පර්යේශණ පෙදෙස (4th State Central Test Range) වශෙයෙනි. එහෙත් විදෙස් මාධ්‍ය මෙම ප්‍රදේශය හඳුන්වනු ලබන්නේ කපුස්ටින් යාර් මිසයිල අත්හදා බැලීමේ මධ්‍යස්ථානය ලෙසයි (Kapustin Yar Missile Test Complex).

කපුස්ටින් යාර් පර්යේශණ මධ්‍යස්ථානයේ ආරම්භය දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයත් සමගම, එනම් 1946 වසරේ සිදුවනවා. ඒ එවක රුසියානු නායක ජෝසෆ් ස්ටැලින්ගේ නියෝගයකට අනුවයි. මෙහි අත්හදා බැලුනු මුල්ම රොකට්ටුව නට්සි ජර්මානුවන්ගෙන් අල්ලාගත් V2 රොකට්ටුවක් වුනු අතර එය සිදුවුනේ සෝවියට් රුසියාවේ අභ්‍යවකාශ වැඩසටහනේ පුරෝගාමියා හා සෝවියට් දේශය බිහිකල විශිෂ්ඨතම රොකට් ඉන්ජිනේරුවා වන සර්ගෙයි කොරොලෙෆ් (Sergei Korolev) ගේ මූලිකත්වයෙන්. කපුස්ටින් යාර් මධ්‍යස්ථානය බිහිකිරීමේ ප්‍රධාන අරමුණ වූයේ සෝවියට් දේශයට බැලිස්ටික් මිසයිල තාක්ශණය බිහිකිරීමත්, ඉන් අනතුරුව අභ්‍යවකාශ තරඟය ආරම්භවූවුට අමරිකානුවන්ට පෙර රුසියානුවෙකු අභ්‍යවකාශයට යැවීම සඳහායි.

1966වසරේදී තවත් වැඩිදියුණුවට බඳුන්කරන ලද කපුස්ටින් යාර් මිසයිල අත්හදාබැලීමේ මධ්‍යස්ථානය කපුස්ටින් යාර් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (Kapustin Yar Cosmodrome) ලෙස හඳුන්වන්නට පටන්ගත් අතර සෝවියට අභ්‍යවකාශ වැඩසටහනේ වැදගත් අභ්‍යවකාශගතකිරීම් රාශියක් සිදුකරනු ලැබුවා. එපමනක් නොව, සෝවියට් රුසියාව විසින් අමෙරිකානු අභ්‍යවකාශ ශටල් වැඩසටහනට පිලිතුරක් ලෙස නිර්මාණය කල බූරාන් ශටල් යානය ගුවන්ගතකිරීමේ මධ්‍යස්ථානය ලෙස තෝරාගැනුනේත් කපුස්ටින් යාර් මධ්‍යස්ථානයයි. පලමු අභ්‍යවකාශ ගමනින් පසු බූරාන් වැඩසටහන අතරමග නතරවූ නිසා මෙම මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වූයේ පලමුවැනි බූරාන් ශටලය පමණයි. එය නියමුවන් රහිත පර්යේශණ යානයක් වූවා.

Kapustin Yar UFO crash

1948වසරේදී කපුස්ටින් යාර් මධ්‍යස්ථානයෙන් ගුවන්ගත වුනු මිග් ජෙට් නියමුවෙකු, තමන්ට රිදී පැහැති සුරුට්ටුවක හැඩයක් ගත් හඳුනාගත නොහැකි පියාසර වස්තුවක් දර්ශණය වන බව කපුස්ටින් යාර් ගුවන් මධ්‍යස්ථානයට වාර්තාකලා. ඒ වනවිටත් කපුස්ටින් යාර් ගුවන් ආරක්ශක රේඩාර්වලටද මෙම අත්භූත යානය හසුවී තිබුණු අතර, මොහොතකට පසු එම අත්භූත යානාවෙන් එල්ල කරන යම් කිරණයක් තම යානයට එල්ලවී ඇති බවත් යානයේ ඉලෙක්ට්‍රොනික හා රේඩාර් උපකරණ ක්‍රියා විරහිත වෙමින් ඇති බවත් නියමුවා දැනුම් දුන්නා. එම අත්භූත යානයට පහරදෙන ලෙස රුසියානු නියමුවාට අණ ලැබුණු අතර විනාඩි තුනක ගුවන් සටනකින් පසු යානයෙන් එල්ලවුනු මිසයිලයක් වැදීමෙන් අත්භූත යානය කඩාවැටුනු බව පැවසෙනවා. ඒ වන විට කිරණ ප්‍රහාරයෙන් අබලන් ව තිබූ මිග් යානයද කඩා වැටී තිබෙනවා.

කඩාවැටුනු අත්භූත යානය පරීක්ශාවට සෝවියට් දේශයේ ප්‍රමුඛතම විද්‍යාඥයින්, තාක්ශණවේදීන් හා හමුදා නිළධාරීන් කැඳවුනු බව පැවසෙනවා. දිගින් අඩි 20කුත්, උසින් අඩි 10ක් පමණවූත් යානය කඩා වැටීමේදී මුලුමනින්ම විනාශවී ගොස් නොතිබුණු අතර පොලොව සමග ඝට්ටනය වුනු ස්ථානය සිදුරුවී ගොස් තිබුණු බව පැවසෙනවා. ආරක්ශක ඇඳුම් ඇඟලා ගත් පර්යේශකයින් කණ්ඩායමක් මෙම සිදුර තුලින් යානය ඇතුලු වූ බව පැවසෙන අතර යානය තුල පිටසක්වල ජීවීන් තිදෙනෙකු හමුවී ඇති අතර ඉන් දෙදෙනෙකු ඒවන විටත් මියගොස් තිබුණු අතර අනෙක් පිටසක්වලයා බලපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

ජීවතුන් අතර සිටි පිටසක්වලයා ගේ දිවි බේරාගැනීමට වෛද්‍යවරු කණ්ඩායමක් විශාල උත්සාහයක් ලබා ඇතත් ඔහුද මියගොස් තිබෙනවා. මෙම පිටසක්වලයින් අඩි 3.5 පමණ උස් වූ බව පැවසෙන අතර ඔවුන් අලු පැහැති පියාසර ඇඟලුමක් (flight suit) හැඳතිබෙනවා. එම ඇඟලුමට යටින් වූ ඔවුන්ගේ සම නිල්/කොල පැහැවූ උරග සමකට සමාන වූ බව පැවසෙන අතර විශාල ඇස් තිබී ඇති අතර සිහින් අත් කෙලවර ගෙම්බෙකුගේ මෙන් සමින් හා වුනු (webbed) දිගු ඇඟිලි තිබුණු බව පැවසෙනවා. කඩා වැටුනු යානය හා මියගිය පිටසක්වලයින් නිරීක්ශණය කල සෝවියට් නායක ස්ටැලින් පවා කම්පණයට පත්වුනු බව පැවසෙනවා.

Zhitkur underground research facility

පිටසක්වලයින් දැකීමෙන් හා ඔවුන්ගේ තාක්ශණය පිලිබඳව තොරතුරු දැනගැනීමේන් පසු පිටසක්වලයින්ගෙන් එල්ලවිය හැකි තර්ජනය මෙන්ම ඔවුන්ගේ තාක්ශණය සෝවියට් දේශයට ලබාදිය හැකි ජයග්‍රහණ පිලිබඳව අවධානය යොමුකල ස්ටැලින් පිටසක්වල තාක්ශණය පිලිබඳව පර්යේශණ කල හැකි විශාල භූගත පර්යේශණ මධ්‍යස්ථානයක් කපුස්ටින් යාර් සංකීර්ණය තුල බිහිකල බව පැවසෙනවා. කඩාවැටුනු පිටසක්වල යානයේ සුන්බුන් එහි තැන්පත්කොට පර්යේශණ ආරම්භ කල බව පැවසෙනවා. මීට අමතරව 1968/1969දී කඩාවැටුනු වෘත්තාකාර පියාඹන පීරිසියක කොටස්ද සිට්කර් පර්යේශණ මධ්‍යස්ථානයට ගෙන ආ බව පැවසෙනවා.

අති විශාල භූමිභාගයක් වසා පවතින කපුස්ටින් යාර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කුමන ස්ථානයක සිට්කර් භූගත පර්යේශණ මධ්‍යස්ථානය පිහිටා ඇතිදැයි පැහැදිලි නැතත් එය ව්ලැඩ්මිරොෆ්කා ගුවන් පථය (සිතියම බලන්න) ආසන්නයේ ඇති බවට අනුමාන කරනවා.

රුසියානු කේ.ජී.බී ආරංචිමාර්ග පවසන ආකාරයට සිට්කර් භූගත මධ්‍යස්ථානය තුල පිටසක්වල යානාවල තාක්ශනය පර්යේශණයට බඳුන්කොට ප්‍රති-ඉන්ජිනේරුකරණය සඳහා සියලු පහසුකම් තිබෙනවා. මෙම මධ්‍යස්ථානය වෙත, එවක ලොව භූමි ප්‍රමාණයෙන් විශාලම රාජ්‍යය වුනු සෝවියට් දේශය හා ඔවුන්ගේ අනුගාමික නැගෙනහිර යුරෝපීය රටවලට කඩාවැටුනු සියලුම හඳුනා නොගත් පියාසර වස්තූන්ගේ සුන්බුන් පර්යේශණ සඳහා ගෙනවිත් තිබෙනවා.




Comments

  1. වටිනා ලිපියක්....ස්තුතියි..

    ReplyDelete

Post a Comment