"LOOPER" කාළතරණය වටා ගෙතුනු ත්‍රාසජනක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය


වසර 2044 වන විට ලොව සුපිරිබලවතා වුනු අමෙරිකා එක්සත් ජනපදය පරිපූර්ණ ලෙසම ආර්ථිකමය හා දේශපාලනික වශයෙන් ගරාවැටීමක ආරම්භයට මුළපුරා ඇත. තවත් වසර 30ක ඇවෑමෙන් කාළතරණ තාක්ශණයක් නිර්මාණය කෙරෙන අතර දේශපාළන අධිකාරිය විසින් එය තහනම් කරයි. එහෙත් ආර්ථිකයමය හා දේශපාලනමය වශයෙන් ගරාවැටී ඇති ඇමරිකානු රජයට  මෙම තාක්ශණය වලළා දැමීමට නොහැකිවන අතර එය එරට පාතාලයේ ධනකුවේරයින් අතට පත්වේ.

ඔවුන් මෙම තාක්ශණය විවිධ නීතිවිරෝධී කටයුතු සඳහා භාවිතාකරන අතර මින් එක් කටයුත්තක් වන්නේ තම සතුරන් ඝාතනය කිරීමට පෙර අතුරුදහන් කිරීම සඳහායි. 2074 වනවිට ප්‍රවීක්ෂණ තාක්ශණය ඉතා ඉහල අඩියකට දියුණුවී ඇති අතර සෑම මිනිසෙකුගේ සිරුර තුලට උපතේදීම ඇතුලුකරන ක්ෂුද්‍ර පරිපථයක් (micro circuit) මගින් ජීවිතකාලයම ඔවුන්ව අධික්ශණය කරන අතර ජීවිත හානියකදී හෝ විශාල හදිසි අණතුරකදී වහාම මෙම පරිපථය මගින් බළධාරීන්ව දැනුවත්කරනු ලබනවා පමණක් නොව GPS තාක්ශණය මගින් සිරුර තිබෙන ස්ථානය පවා පෙන්වාදෙයි. මෙබැවින් පාතාල ධනකුවේරයින්ට සිය සතුරන් මරාද මා නීතියෙන් ගැලවී සිටීමේ අවස්ථාව අහෝසීවී ඇතර මෙයින් ගැලවීමේ මාර්ගයක් ලෙස ඔවුන් නීතිවිරෝධීව අතපත් කරගන්නාලද කාළතරණ තාක්ශණය යොදාගනී.

මරාදැමිය යුතු සතුරන් කාළතරණ තාක්ශණය ආධාරයෙන් වසර තිහක්, එනම් 2044 වසරට ආපසු යැවෙන අතර එහිදී ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනා, 2074වසරෙන් එවන ලද ඝාතකයෙකු ඔවුන්ව මරාදමයි.

Loopers ලෙස හැඳින්වෙන මොවුන් 2074වසරේ සිට වසර 30ක් අතීතයට (එනම් 2044ට) යවන අතර 2074 කාළවකවානුවේ නීතියෙන් ගැලවී වසර 30ක් අතීතයේ සැඟවී සිය මිනීමැරුම් සිදුකරයි. එහෙත් ලූපර්වරුන් නොදන්නා දෙයක්නම් ඔවුන්ගේ පාතාල සේවායෝජකයින් ඔවුනට ජීවත්විය හැකි කාළය සීමා කොට ඇති බවයි. වසර කිහිපයක් එක් ලූපර්වරයෙකුගෙන් සේවය ගන්නා පාතාලය ඔහු නැවතත් වර්තමානයට (එනම් 2074ට) පැමිණ මිනීමැරුම් හෙලිකරනු ඇතැයි යන සැකය මත ඔවුන්වද ඝාතනය කරවයි. මේ ඝාතනය සඳහා භාවිතාකරන්නේද එම ලූපර්වරයාගේම අනාගත ප්‍රතිමූර්තිය, එනම් අනාගතයෙන් එවන ඔහු විසින්මය...

ජෝ නම් ලූපර් චරිතයට පණපොවන බෲස් විලිස්, සිය ඝාතකයාවන, අනාගතයෙන් පැමිණි තමාගේම තරුණ රූපකාය අවන්හලකදී මුන ගැසෙයි.
පැටලිලි සහිතයි නේද? :)

X යනු පාතාලයට සේවය කරන ලූපර් ඝාතකයෙකු යයි සිතන්න. X ඉපදුනේ 2050වසරේදීය. 2074දී ඔහුගේ වයස 24ක් වන අතර ඔහු ලූපර් වරයෙකු ලෙස 2044ට, එනම් ඔහු ඉපදීමට වසර 6කට පෙර අතීතයට යයි. එහිදී සිය සේවායෝජකයා වෙනුවෙන් ඝාතනවල යෙදෙන ඔහු 2050 වසරේදී, එනම් ඔහු ඉපදෙන වසරේදී වර්තමාන X ලෙස වසර 30ක් ජීවත්ව ඇත (2074දී වයස 24යි +2044 සිට 2050 දක්වා වසර 6)

එමන්ම 2050වසරේදි Xගේ දෙමව්පියන්ට දාව X බිළිඳාද උපදී. ඒ අනුව කාළතරණයෙන් සිදුකෙරුනු විරෝධාහාසය (paradox) හේතුකොට ගෙන 2050 වසරේදී X වරුන් දෙදෙනෙකු ජීවත්වේ. අනාගතයෙන් පැමිනි 30හැවිරිදි X හා වර්තමානයේ X බිලිඳායි. මේ X බිලිඳාට වසර 20ක් වනවටදී මොහු ගැන සෙවිල්ලෙන් සිටින පාතාලය ඔහුව ඝාතකයෙකු ලෙස බඳවාගත්තා යයි සිතන්න.

එවිට X නමින් ලූපරුන් දෙදෙනෙකු සිටී. එනම් ඒවනවිට 50 හැවිරිදි X හා 20 හැවිරිදි X යන දෙදෙනායි.

20 හැවිරිදි X සිය අනාගත රූපකාය එනම් 50 හැවිරිදි X ගැන නොදන්නා අතර මෙම 20 හැවිරිදි X පාතාලය මගින් 50 හැවිරිදි X මරාදැමීමට යොදවාගනී.

මෙවැන්නක් සිදුවීමේදී ඇති තවත් විකාර රූපී ස්වභාවකයක් නම් මෙය මිනීමැරුමක් ලෙස අර්ථ දැක්වීමට නීතියට නොහැකිවීමයි.

Y විසින් X මරාදැමුනේනම් ‍Y මිනීමරුවෙකු ලෙස අර්ථදැක්විය හැකිය. එහෙත් X විසින් X මරාදැමූ විට එය සියදිවි හානිකරගැනීමක්ද? මිනීමැරුමක්ද?

ජීවත්වන X (තරුණ X) හා මියගිය X (50 හැවිරිදි X) දෙදෙනාම එක් අයෙකු. රූප දෙකක් වුව, කාළ දෙකකින් පැමිණියාවුවද ඔවුන් එකම පුද්ගලයාය. එහෙත් මළමිනියක් ඇති තැන, මළමිනිය ඇතිකල පුද්ගලයා (මිනීමරුවා) ජීවත්වනවිට ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල නොකර සිටිය හැකිද? එහෙත් චෝදනා ගොනුකරන්නේ කුමන පදනමකින්ද?

Paradoxes of time travel කාළතරණයෙන් බිහිවිය හැකි විරෝධාහාස ලෙස මෙම උභතෝකෝටිකයන් හඳුන්වයි.




මෙවැනි උභතෝකෝටිකයන් මෙන්ම දරුණු අපරාධකරුවන්ට, ජන ඝාතකයින්ට කාළතරණ තාක්ශණය ආධාරයෙන් මහා අපරාධ සිදුකොට වෙනත් කාළයකට පැනගොස් සැඟවිය හැකි නිසා කාළතරණ තාක්ශණයක් නිර්මාණය කල විගසම එය තහනම් තාක්ශණයක් ලෙස නම්කොට සදහටම වළලාදැමීමට දේශපාලන බළධාරීන් තීන්දුකරනු ඇතැයි විද්‍යා ප්‍රබන්ධ කරුවන් මෙන්ම බොහෝ විද්‍යාඥයින්ද විශ්වාස කරයි. විශේෂයෙන්ම අතීතයට ගොස් යම් යම් සිද්ධීන් වෙනස් කිරීමට උත්සහ කිරීමෙන්, අපගේ වර්තමානය මහත් ව්‍යසනයකට බඳුන්වේයයි විද්‍යාඥයින් තුල බියක් පවතී.

උදාහරණයක් ලෙස කාළතරණය උපයෝගීකරගෙන නට්සි මතවාදය දරන්නන් අතීතයට ගොස් හිට්ලර් හට දෙවන ලෝක යුද්ධය ජය ගැනීමට සහය දුන හොත් වසර 50ක අතීතය වෙනස් කිරීම තුලින් අප වර්තමානය කුමක් බවට පෙරලේද? අප කශණිකව නට්සීන් පාලනය කරන, ජර්මන් බස කතාකරන මහා නට්සි ජර්මන් අධිරාජ්‍යයේ වහලුන් බවට පත්වේද?

එපමණක් නොව, අතීතයට යන ජාතිවාදී වර්ගවාදී විකෘති මානසිකයෙකු බුදුන්වහන්සේ හෝ ජේසුස්වාමිදරුවන් හෝ මහම්මත්තුමා සිය ධර්ම ප්‍රචාර අරඹන්නට පෙර මරාදැමුවහොත් කුමක් සිදුවේද? එසේත් නැතිනම් සිදුහත් කුමරු කුස දරාගෙන සිටිනා මහාමායා දේවියට හෝ ජේසු බිළිඳුන් කුස දරාගෙන සිටින මරියමවුන් හට යම් අණතුරක් කල නොහැකිද? එවැන්නක් වලක්වන්නේ කෙසේද?



අපට හොරා අතීතයට ගොස් අපගේ වර්තමානය හා අනාගතය හිතූ හිතූ ආකාරයට වෙනස් කරන්නට කිසිවෙකුටත් ඉඩ දිය යුතුද? අපගේ වර්තමානය හා අනාගතය වෙනුවෙන් කාළත්‍රස්තවාදීන් සමග දිවි නොතකා සටන්කරන්නට යම් දිනක අපට සිදුවේවිද?

බුදුන්වහන්සේ, ජේසු මුණිතුමන්, මහම්මත් තුමන් ආරක්ශාකර ගැනීමට අනාගතයේ සිට ආරක්ශක බල ඇණි අතීතයට යවන්නට අපට සිදුවේවිද? අතීතයේ එවැනිදෑ සිදුවී ඇද්ද?

බුදුන්වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධකර ගැනීමට වීරිය වඩද්දී උන්වහන්සේට උදවු කල, දෙව් හා බඹුන් ලෙස බණපොතේ හඳුන්වන්නන් අතර උන්වහන්සේ බැහැ දැක දහම් ඇසීමට ආශාවෙන් අනාගතයට ගිය කාළ යාත්‍රිකයන් සිටියාද? තමන්ගේ සැබෑ තත්වය ඔවුන් බුදුන්වහන්සේට සැළකොට නොසිටින්නට ඇත්ද?

Comments

  1. මගේ ආසම විෂයෙන් (විද්‍යා ප්‍රභන්ධ) තවත් එක චිත්‍රපටයක්.

    ඔයාගෙ මතය අදාල වෙන්නෙ නැත්තෙ කාලය ඔස්සේ භෞතික දෙයක් කාලය මතින් යවන එක ප්‍රභලම අභියෝගයක්. චිත්‍රපට මගින් එලිකරන විවිධ රූපී අදහස්, යතාර්ථ බවට පත් කරන්නට වර්තමානයේදී බොහෝ විද්‍යාඥ්ඥයන් උත්සාහ ගනිමින් සිටිනවා. සමහර දේ සාර්තක වෙනවා.

    කාලයාත්‍රය ඔස්සේ වසර 1000කට, 2000කට හෝ 10,000කට පසුව හෝ විශිෂ්ඨ කාලයාත්‍රිකයන් බිහිවුවහොත් ඔවුන් දැනටත් මේ වන විටටත් අපි ජීවත් වන වර්තමානයටත් අතීතයටත් බලපෑම් කර ඇති?

    ReplyDelete
  2. කාලය කියන්නේ මනසින් නිර්මාණය කරගන්න දෙයක් විතරයි. ඇත්තටම පවතින දෙයක් නෙමෙයි. ඒත් බටහිර විද්‍යාවෙදි මනසින් ස්වායක්තව පවතින මූලික භෞතික මානයක් ලෙස කාලය සලකනවා. ඒතෙන තමයි වැරැද්ද. වෙනස්වීම සහ මතකය හින්දා අපි එහෙම ප්‍රපංචයක් නිර්මාණය කරගෙන තියෙනවා. කාල තරණය කරන්න තාක්ෂණයක් අනාගතේ හොයාගෙන නම්, ඔය අන්තිමට කියපු බොහෝ දේ මෙලහකටත් සිදු වෙලා. වර්තමානෙට කාලයාත්‍රිකයො ඇවිල්ලා අපෙන් සැගවිලා ඉන්නවා වෙන්න පුලුවන්. නැත්නම් කාල තරණය තහනම් කරලා. ඒත් ඒ විදියට හැමදාම තියන්න බෑනේ. ඒත් ඔයා කාලය කියන සංලක්පෙන් බැහැර වෙලා වෙනත් විදියකට හිතුවොත් මට හිතෙන්නේ තව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්.

    ReplyDelete
  3. කාල තරණ සංකල්පය මගේ අදහසට අනුවනම් වෙන්න බැරි දෙයක්. පොඩ්ඩක් හිතන්න මේ ෆිල්ම් එකේ වගේම අනාගතයෙන් කෙනෙක් අතීතයට ගිහින් තමන්ගේම සීයාව මරුවා කියලා. එතකොට එයා නැවත අනාගතේට එනකොට එයාගේ තාත්තවත් එයාවත් ඉන්න විදිහක් නැහැ. සියා නැතිව තාත්ත උපදින්නේ නැහැනේ! කාල තරණ සංකල්පය හරි කියලා හිතන අය ඕකටත් විසඳුමක් දෙනවා. ඔවුන් ඒකට ගේන්නේ මාන ගැන කතාවක්. ඒ කියන්නේ අපි අතීතයේ වෙනස්කමක් කලොත් එතන ඉඳං කාලය මාන දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ අතු දෙකකට කැඩෙනවා. උදාහරනේ විදිහට සියා මැරුණ සහ නොමරුන අනාගතය විදිහට. ඒත් මගේ අදහස ඒක සාර්ථකම පිළිතුරක් නෙමෙයි. මම පුළුවන් තරම් සරලව කිව්වේ. අදහස් කල දේ කියවුනාද මන්දා... මාත් හරි ආස විෂයක් මේක. source code film 1 ත් මේ ගැනම නොවුනාට මේ වගේ තමයි.

    ReplyDelete
  4. නියමයි සිතන්නට දෙයක් තිබෙනවා

    ReplyDelete

Post a Comment