එබෝලා ::: මොකක්ද මේ අලුත් ලෙඩේ???

එබෝලා වෛරසය ඉලෙක්ට්‍රෝණ අණ්වීක්ශයකින් පෙනෙන ආකාරය
Ebola virus disease (EVD) නැතිනම් Ebola hemorrhagic fever (EHF) යනු වෛරස් මගින් හටගන්නා මාරාන්තික රක්තපාත උණකි. එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් 4ක් මේ වනවිට හඳුනාගෙන ඇත. Bundibugyo virus (BDBV), Sudan virus (SUDV), Taï Forest virus (TAFV), Zaire Ebola virus (ZEV) යනු එබෝලා රක්තපාත උණ ඇති කරන වෛරස් වර්ග 4යි. එබෝලා රක්තපාත උණ බෝවීම සඳහා එම වෛරසය ආසාදිත වූයෙකුගේ ශාරීරික තරල (ලේ, කෙළ, සෙම්/සොටු, ශුක්‍රාණු/යෝනි තරල ) ස්පර්ශවී ශරීරයට වෛරසය ඇතුළුවීම මගිනි. වෛරසය ආසාදිතයෙකු භාවිතකල එන්නත් කටු මගින්, ආසාදිත රුධිරය පාරවිලයනය මගින්ද මෙය බෝ විය හැක.


කොන්ගෝව, උගැන්ඩාව, ගැබෝන්, ලයිබීරියාව, අයිවරි කෝස්ට් වැනි අප්‍රිකාවේ දුගී රටවල්වල කලින් කලට වසංගතයක් මෙන් පැතිරෙන එබෝලා රෝගයේ ප්‍රධාන වෛරස ගබඩාව (virus reservoir) වවුළන් බවට විද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත. වවුලන් රෝගවාහකයන් ලෙස සිටින මෙම වෛරසය මිනිසාට පැතිරෙන්නේ බොහෝවිට අප්‍රිකානු රටවල වවුල් මස් හා වෙනත් වන සතුන් ආහාරයට ගැනීම මගිනි. වවුල් මස්වලින් මෙම වෛරසය කෙලින්ම මිනිස් සිරුරට ඇතුලුවිය හැකි අතර ඊට අමතරව වවුලන් විසින් බාගෙට කා අතහරින පලතුරු ආහාරයට අගන්නා වඳුරන්, ගෝරිල්ලන් වැනි සතුන්ටද මෙම වෛරසය ඇතුලුවෙයි. අප්‍රිකාවේ වඳුරු මස් ප්‍රණීත දඩමසක් ලෙස සැළකෙන අතර ආසාදිත වඳුරන් මස් කරද්දී හා හොඳින් නොපිසූ ආසාදිත මස් ආහාරයේදී එබෝලා වෛරසය ශරීරගත විය හැකිය.


එබෝලා රෝග ලක්ශණ

වෛරසය ශරීරගත වී දින 7-9 ගතවන විට
උණ, හිසරදය, දැඩි මස්පිඩු වේදනාව

වෛරසය ශරීරගත වී දින 10 ගතවන විට
තදින් උණ ගැනීම, ලේ වමනය, තෝන්තු ගතිය

වෛරසය ශරීරගත වී දින 11 ගතවන විට
මොළයේ අභ්‍යන්තර ලේ ගැලීම්, නාසයෙන්, ඇස්වලින්, කටින් ලේ පිටවීම, සමේ ලේ ගෙඩි හටගැනීම

වෛරසය ශරීරගත වී දින 12 ගතවන විට
සිහිසුන් වීම, දැඩි අභ්‍යන්තර ලේ වහනය, මරණය



2014 බටහිර අප්‍රිකානු එබෝලා වසංගත තත්වය

මෙම වසංගතය ආරම්භ වී ඇත්තේ බටහිර අප්‍රිකානු රටක් වන ගිනී රාජ්‍යයේය. 2013 දෙසැම්බරයේ ව්‍යාපතිය ඇරඹී ඇති මෙය පිලිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුවත් වන්නේ 2014 මාර්තුවේදීය. ඒ වනවිට වසංගතය ලයිබීරියාව, සියෙරා ලියෝන් හා නයිජීරියාව දක්වා පැතිර ගොස් තිබුණි. 1976දී එබෝලා වෛරස් රෝගය හඳුනාගැනීමෙන් පසු ඇතිවී විශාලතම එබෝලා වසංගතය මෙයයි. 2014 අගෝස්තුව වන විට මෙම වසංගතයෙන් 1229 මියගොස් ඇති බව වාර්තා විය.




Comments