මෙච්චර ට්‍රැෆික්‌ පොලිසිය නිසාද? [දිවයින ඉරිදා සංග්‍රහය]

පොලිසිය නිසා ට්‍රැෆික්‌ නම් මට කියන්න
- රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති (0112 433333)
මහමගට බසින අප කාටත්අ කිසිදු ගමනකට කොතරම් කාලයක්‌ ගතවේදැයි නොකිය හැකි තරමට කොළඹ හා තදාසන්න නගරවල වාහන තදබදය උග්‍රවී තිබේ. මුළු කොළඹ නගරයම දිනපතා දැවැන්ත රථවාහන තදබදයකට ගොදුරු වෙයි. මෙම තදබදය කොළඹ පමණක්‌ නොව කොළඹට තදාසන්න ප්‍රධාන නගර කරා දිවෙන තරමට සුවිශාලය. කොළඹ නගරයේ එක තැනක සිට තවත් තැනකට යාමට ගතවන කාලය ඇතැම් විට පැයක්‌, එකහමාරක්‌ දෙකක්‌ වන තරමට වාහන තදබදය උග්‍රවී තිබේ.

බොහෝදෙනා පවසන්නේ මේ රථවාහන තදබදයට ප්‍රධාන හේතුව පොලිසිය බවය. 

එසේත් නැතිනම් පොලිසිය ඊට වගකිවයුතු බවය. මහාමාර්ගවල තදබදයට විශාල හේතුවක්‌ වී ඇත්තේ ස්‌වයංක්‍රීය මාර්ග සංඥා විසන්ධිකර පොලිස්‌ නිලධාරීන්ගේ හිතුමතයට මහා මාර්ග පාලනය සිදු කිරීම බව බොහෝදෙනා පවසති.

ඇතැම් පොලිස්‌ නිලධාරීන් අත්තනෝමතික ලෙස රිමෝට්‌ කන්ට්‍රොඅල් උපකරණ භාවිත කරමින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අතුරු මාර්ග වලට වැඩි වේලාවක්‌ ලබාදෙමින් කටයුතු කිරීම මේ මහා තද බදයට ප්‍රධාන හේතුවයි.

රුපියල් කෝටි ගණන් වැය කර මහාමාර්ගවල සවිකර ඇති මාර්ග සංඥා නිවා දමා පොලිස්‌ නිලධාරීහු අතින් රථවාහන පාලනය වීම බොහෝ ස්‌ථානවල දක්‌නට ලැබේ. තවත් තැන්වල පොලිසියේ නිලධාරීන්ට රිමෝට්‌ කන්ට්‍රොඅල් ලබා දී තිබේ. එය බොහෝවිට වඳුරන්ට දැලි පිහිය දුන්නා හා සමානය. එක්‌ පැත්තකට විශාල වෙලාවක්‌ ලබා දෙන මොවුහු රථවාහන තදබදය දෙගුණ තෙගුණ කරති.

සෑම මාර්ගයකින්ම එන වාහන කොටසින් කොටස යෑවෙන්නේ නම් එක තැනක දැඩි තදබදයක්‌ ඇතිවන්නේ නැත. එහෙත් එක පැත්තකට විනාඩි හත අටක්‌ යවා අනිත් මාර්ගය යවන්නට පටන්ගන්නා විට සිදුවන්නේ සියලු මාර්ග අවහිර වීමය. 

රථවාහන තදබදය අවම කරන්නට නම් පොලිස්‌ නිලධාරීන්ට ලබා දී ඇති රිමෝට්‌ කන්ට්‍රොඅල් ක්‍රමය සහ මාර්ග සංඥා නිවාදැමීමේ කටයුතු වහාම නවතා දැමිය යුතුය.

මෑතක සිට පොලිසිය විසින් මංතීරු නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලබයි. යහපත් ෙච්තනාවෙන් එය සිදුකළද එම නිසා සිදුව ඇත්තේ මාර්ග තදබදය තවත් වැඩි වීමය. ඊට හේතුව මහා මාර්ගය මැදට ගන්නා වාහන හෙමින් හෙමින් මංතීරු මාරු නොකර ධාවනය කිරීමය. එම නිසා මේ සඳහා සුදුසු විකල්පයක්‌ පොලිසිය විසින් ගත යුතුව තිබේ.


ලොව අලුතින්ම වෙළෙඳපොළට එන නවීනතම වාහන රැසක්‌ දින කීපයක්‌ තුළ මෙරට මාර්ගවල දක්‌නට ලැබෙන්නට තරම් ශ්‍රී ලංකාව අද දියුණුය. එහෙත් අපේ රටේ මාර්ගවල වේග සීමා තවමත් පවතින්නේ වසර ගණනාවකට පෙර නියම කරන ලද වේග සීමාවන්ය. මෝටර් රථ සඳහා හෝ ඉහළ වේග සීමා ලබාදීම කාලීන අවශ්‍යතාවකි. ගම්බද මාර්ගවලට, රාත්‍රි කාලයට ආදී ලෙස වෙනස්‌ වේග සීමා ලබාදීම කාලෝචිතය.

මෙතෙක්‌ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සාමාන්‍ය පරිදි රථවාහන ධාවනය වූ මාර්ගවල මෙතෙක්‌ පැවති කඩ ඉර වෙනුවට තනි ඉර හෝ ඩබල් ඉර මේ වනවිට ඇඳ තිබේ. ඒ මාර්ගවල අඩියෙන් අඩියට පොලිසිය යොදා ඉර කැපුවා යෑයි පවසමින් දඩකොළ ලබාදීම සිදුකරයි. 

රාජගිරියේ සිට නාවල, නුගේගොඩ මාර්ගය දිගටම තනි ඉර තිබූ බොහෝ ප්‍රදේශවල අලුතින් ඇඳ තිබේ. කොළඹ නුවර මාර්ගයේද තැනින් තැන එලෙසය. කුඩා මාර්ගවල වාහන ධාවනය කරද්දී තවත් වාහනයකට ඉඩ දෙන්න යන විට මැද ඉර කැපේ. ඇතැම්විට පාරේ වහනයක්‌ අයිනේ නවතා තිබියදී මැද ඉර කැපීමෙන් තොරව වාහන ඉස්‌සර කළ නොහැක. බස්‌රථ, බස්‌නැවතුම්පොළවල නවතද්දී ඒවා ඉස්‌සර කරන විට ඉර කැපෙන වාහනවලට පොලිසිය දඩ නියම කරයි. අනතුරක්‌ වළක්‌වාගන්නට ඉර කැපූ විට දඩ නියම කරන අවස්‌ථා බොහෝය. බොහෝවිට රියෑදුරන් පොලිස්‌ නිලධාරීන්ගෙන් මෙසේ කරන්නට හේතු විමසූ විට ඔවුන් පවසන්නේ අහවල් නිලධාරියා මෙච්චර දඩ කොළ හෝ නඩු ගන්නට තමන්ට නියෝග කළ බවයි. ඒ කියන්නේ රියෑදුරන්ට නොකළ වැරදිවලට බලහත්කාරයෙන් හෝ දඩ කොළ ලබාදීමද එසේත් නැතිනම් රජයේ ආදායම් මාර්ගයක්‌ ලෙස දඩ කොළ ලබාදීම දැයි අපට නොතේරේ.

අදවනවිට බොහෝ මාර්ග අනතුරුවලට හේතුව ත්‍රීවීල්ය. ත්‍රීවීල් සඳහා උපරිම වේගය පැයට කිලෝමීටර් හතළිහක්‌ වුවත් 4 ස්‌ට්‍රොක්‌ ත්‍රීවීල් අද වනවිට බොහෝ මාර්ගවල ගමන් කරන්නේ පැයට කිලෝමීටර් හැටට හෝ අසූවටය. මේවා පාලනයට වහාම පියවර ගත යුතුය. ත්‍රීවීල්වල ගමන් කරන සංඛ්‍යාව පාලනයට වඩා ඒවා ගමන් කරන වේගය පාලනය කිරීම තුළින් බොහෝ අනතුරු වළක්‌වා ගත හැකිය. 

සෑම මාර්ගයක්‌ම වන්වේ කිරීම රථවාහන තදබදයට පිළියමක්‌ නොවේ. එවැන්නක්‌ කළ යුත්තේ දීර්ඝකාලීන මනා සැලැස්‌මක්‌ තුළිනි. මනා සැලැස්‌මක්‌ ඇතිව මහාමාර්ග ඉදි කළ රටක නම් මෙය ගැටලුවක්‌ නොවේ. එහෙත් අපේ රටේ ඇත්තේ අතිශය අවිධිමත් මාර්ග පද්ධතියකි. එවැන්නක වෙනස්‌වීම් කළ යුත්තේ බොහෝ සිතා බලාය. සමීක්‌ෂණවලින් පසුවය. යුද්ධය පැවැති සමයේ ආරක්‌ෂාව ගැන සලකා යම් යම් මාර්ග වෙනස්‌ කරන්නට තීරණ ගන්නට සිදුවේ. එහෙත් දැන් යුද්ධය අවසන්ව වසර හයකට අධික කාලයක්‌ ගතවී ඇත. එහෙත් යුද්ධයට වැසූ කොළඹ ඇතැම් මාර්ග තවම එලෙසමය.

අපේ රටේ රථවාහන පාලනය ගැන මාර්ග වසා දැමීම ගැන තීන්දු තීරණ ගන්නා කිසිවෙකුත් බස්‌රථවල ගමන් ගන්නා හෝ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන රටේ 80%ක පමණ ජනතාවක්‌ ගැන නොසිතති. කොළඹ ඩුප්ලිකේෂන් පාරේ බස්‌ රථයක ගමන් ගන්නා කෙනකුට බම්බලපිටිය දුම්රියපළට හෝ කොල්ලුපිටිය දුම්රියපළට යන්නට කිලෝමීටර් දෙකකට ආසන්න දුරක්‌ පයින් යැමට සිදුවේ. ලොව අන් සියලු රටවල පොදු ප්‍රවාහන සේවා සඳහා සියලු මාර්ගවල ප්‍රමුඛතාව හිමි වේ. එහෙත් අපේ රටේ ප්‍රමුඛතාව ලැබෙන්නේ වරප්‍රසාද ලත් රථවාහන හිමි පන්තියට පමණි. රජය මීට වඩා පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පොදු ජනයාගේ පහසුව ගැන මෙන්ම ඔවුන් විඳින අපහසුතා ගැන සිතා බැලිය යුතුය. රටේ වැඩි පිරිසකට සංවර්ධනය භුක්‌ති විඳීමට නොහැකි නම් එයින් සාමාන්‍ය ජනයාට වැඩක්‌ නැත.

රාජගිරිය, කින්සි පාර, බොරැල්ල, සේනානායක හන්දිය, කනත්ත වටරවුම ආදී ස්‌ථානවල පොලිසිය විසින් ක්‍රියාත්මක කරන රථවාහන සැලැස්‌ම කොළඹ ප්‍රදේශ රැසක මාර්ග තදබදයට හේතු වී තිබේ. මරදාන, පංචිකාවත්ත, ටෙක්‌නිකල් හන්දිය, සංඝරාජ මාවත කොටසේ එක්‌ පැත්තකට පමණක්‌ වාහන ධාවනය හැසිරවීමද මාර්ග ගණනාවක රථවාහන තදබදය වැඩිකර තිබේ. ඒ ක්‍රමයෙන් එක්‌ පැත්තක පමණක්‌ වේගයෙන් රථවාහන ධාවනය වුවද එසේ වේගයෙන් යන වාහන සියල්ල නැවත අනිත් තැන්වලදී තදබදයට ලක්‌වන්නේ එම ස්‌ථාන සාමාන්‍ය ආකාරයටම පවතින හෙයිනි.

කොළඹ බෞද්ධාලෝක මාවතේ ජාවත්ත හන්දියේ සිට තුන්මුල්ල හන්දිය දක්‌වා කොටස බස්‌රථ ධාවනයට වසර ගණනාවක්‌ තිස්‌සේ වසා දමා තිබේ. මේ නිසා 154, 104 ආදී මාර්ගවල ගමන් ගන්නා දහස්‌ ගණනක්‌ බස්‌ මඟීන්, පාසල් සිසුවියන්, රජයේ සේවක සේවිකාවන් බොහෝ ප්‍රමාදයන්ට මුහුණ දෙති. මේ කිලෝමීටර් භාගයක පමණ කොටස විවෘත කළේ නම් එය විශාල පිරිසකට සහනයකි. දිනකට ඉන්ධන ලීටර් දහස්‌ ගණනක ඉතුරුවකි. ත්‍රස්‌තවාදය නැති රටක බෝම්බ පුපුරන්නේ නැති රටක මේ මාර්ග විවෘත කළ යුතුය. අනෙක්‌ අතට ලොව ඕනෑම රටක මාර්ගවල ප්‍රමුඛතාව හිමිවන්නේ පොදු ප්‍රවාහන සේවාවලටය.එහෙත් අපේ රටේ ප්‍රමුඛතාව හිමිවන්නේ පුද්ගලික වාහනවලටය. මෙය බරපතළ ප්‍රශ්නයකි.

අද වන විට පොලිසිය රථවාහන තදබදය පාලනය කරන්නට උත්සාහ දරන්නේ මාර්ග වසා දමමිනි. කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය අසල සිට බේස්‌ලයින් මාර්ගයට පිවිසෙන මාර්ගය වසා දමා තිබේ. මේ නිසා විශාල පිරිසක්‌ විවිධ අපහසුතාවලට මුහුණ දුන්නත් පොලිසිය පවසන්නේ එම මාර්ගය භාවිත කරන ඇතැමුන් නිසා බේස්‌ලයින් මාර්ගය අවහිර වන බැවින් එය වසා දැමුණු බවය. ඊට පිළියම් යොදනු වෙනුවට පාර වසා දැමීම කොතරම් අනුවණ ක්‍රියාවක්‌ වුවද එය පොලිස්‌ නිලධාරීන්ට තේරෙන්නේ නැත. මේ පොලිස්‌ නිලධාරීන් හෙට දවසේ තවත් මාර්ග වසා දමා තවත් විවිධ දේ අත්හදා බලනු ඇත.

ඔරුගොඩවත්ත සහ පෑලියගොඩ කන්ටේනර් අංගණ කොළඹ නගරයේ රථවාහන තදබදය සඳහා ප්‍රධානතම හේතුවකි. යුද්ධය අවසන්වී වසර හයක්‌ ගතවී ඇතත් තවමත් කන්ටේනර් පරීක්‌ෂාව සිදුකරන්නේ කොළඹ වරායෙන් පිටතය. කන්ටේනර් පරීක්‌ෂාව වරාය තුළම සිදුකළ හැකි නම් මාර්ග තදබදය බොහෝදුරට අඩුවනු ඇත. කන්ටේනර් රථවල බර කිරීම සඳහා ඔරුගොඩවත්ත හෝ පෑලියගොඩ අංගණයට ගොස්‌ හෝ නැවත වරායට පැමිණ කන්ටේනර් පටවා ගෙන ඒවා පරීක්‌ෂා කරන්නට නැවත ඔරුගොවත්තට හෝ පෑලියගොඩට යා යුතුය. මේ නිසා පැය ගණන් වාහන තදබදයක්‌ ඇතිවේ. මේ ක්‍රමය වෙනස්‌ කළහොත් කොළඹ නගරයේ වාහන තදබදය අඩුකරන්නට එය බොහෝඅ ඉවහල් වනු ඇත. කන්ටේනර්, වැලි ලොරි ආදී බරවාහන මාර්ගවල ධාවනය දහවල් කාලයට සීමා කළ යුතුය. වැලි ප්‍රවාහනය නීතියෙන් රාත්‍රියට තහනම්ය. මේ නීති කවුරු පැනවුවත් මාර්ග තදබදයට අද ප්‍රධාන හේතුවක්‌ වන්නේ ටිපර් රථය. මේවා රාත්‍රියට ධාවනය වන්නේ නම් ජනතාවට කරදරයක්‌ නැත. මේ සඳහා ඇති නීතිරීති වෙනස්‌ කළ යුතුය.

අධික රථවාහන තදබදයක්‌ ඇති අවස්‌ථාවල පවා ඇතැම් පොලිස්‌ නිලධාරීන් කරන්නේ එය අඩුකරනවා වෙනුවට රියෑදුරන් වැරදි කරන තුරු සැඟවී බලා සිටීමය. මහාමාර්ගවල පැය ගණන් මාර්ග තදබදය තිබියදී බොහෝ පොලිස්‌ නිලධාරීන් ඒ මඟහරවා ගන්නවා වෙනුවට පාරේ පැත්තකට වී ඉර කපන රියෑදුරුන් අල්ල ගන්නට බලා සිටී. 

එසේත් නැතිනම් සතුටු සාමීචියේ යෙදී සිටී. එසේත් නැතිනම් ජංගම දුරකතනයේ සුවබර කතාබහකය. රථ වාහන පොලිස්‌ නිලධාරීන්ගේ මූලික කාර්ය භාරය ඔවුන්ට කියාදීමට පොලිස්‌ දෙපාර්තමේන්තුව පියවර ගත යුතුය.

පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරිය අනතුරු අඩුකිරීම නම් ඔවුන් සිටිය යුත්තේ කාටත් පෙනෙන පරිදිය. එවිට රියෑදුරන් පරිස්‌සමින් රිය පදවනු ඇත. සැඟව සිටීමෙන් දඩකොළ ලබාදීම හැර රිය අනතුරු අඩු කරන්නට අවස්‌ථාවක්‌ නොලැබෙයි.

අද වන විට බොහෝ  පොලිස්‌ නිලධාරීන් වාහන නවතා කුමන හෝ වරදක්‌ සොයා දඩකොළ ලිවීමද සිදුකරයි. විශේෂයෙන්ම කාන්තාවන් ධාවනය කරන මෝටර් රථ නවත්වන ඇතැම් පොලිස්‌ නිලධාරීහු බොහෝ වෙලාවක්‌ ඔවුන් රස්‌තියාදු කරමින් කාළකණ්නි සතුටක්‌ ලබති.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ සියලුම පොලිස්‌ නිලධාරීන් මහා මාර්ග වල රථ වාහන පාලනය සඳහා යෙදවීමට පොලිසිය භාර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව සඳහන්ය. එය මහා විහිළුවකි.

පොලිසියේ ප්‍රධාන කාර්යභාරය විය යුත්තේ නීතිය හා සාමය ආරක්‌ෂා කරමින් අපරාධ අවම කිරීමය. පොලිසියේ විවිධ අංශවල ඒ ඒ අංශය සඳහා විශේෂඥ පුහුණුව ලැබූ නිලධාරීහු සිටිති. රටේ අපරාධ වැඩිවීම සීග්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති අවස්‌ථාවක එම නිලධාරීන්ද මහාමාර්ගවල රථවාහන පාලනය සඳහා යෙදවීම මගින් රටේ අපරාධ රැල්ල තවත් ඉහළයැම වැළක්‌විය නොහැක. එම නිසා මෙය ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි. ලොව ඇතැම් රටවල රථවාහන පාලනය පොලිසියෙන් පරිබාහිර කාර්යයකි.ඒ සඳහා වෙනම රාජ්‍ය ආයතන තිබේ. අපේ රටේ ද කළ යුත්තේ මාර්ගවල රථවාහන පරිපාලන කටයුතු සඳහා වෙනමම දෙපාර්තමේන්තුවක්‌ පිහිටුවීමය. රටේ නීතිය හා සාමය ආරක්‌ෂා කිරීම එවිට පොලිසියට හොඳින් කළ හැක. රටකට මාර්ග නීති අවශ්‍යය. ඒවා ක්‍රියාත්මක කරන්නට පොලිස්‌ නිලධාරීන් ද අවශ්‍යය. එහෙත් පොලිසිය කටයුතු කළ යුත්තේ මහජනතාව ආරක්‌ෂා කරන අතරම ජනතා හිතවාදීවය. පොලිස්‌ නිලධාරීන් කීපදෙනෙකු කරන වැරදි නිසා මහජන විරෝධය එල්ල වන්නේ සමස්‌ත පොලිස්‌ නිලධාරීන්ටය. මහජනතාව ආරක්‌ෂා කරන සැබෑ මානව හිතවාදී පොලිස්‌ නිලධාරීහු ඕනෑ තරම් සිටිති. මේ සියල්ලන්ගේම අවසන් අභිප්‍රාය විය යුත්තේ මහජනතාව ආරක්‌ෂා කිරීමය.


වාහන තදබදය සම්බන්ධයෙන් රථවාහන නියෝජ්‍ය පොලිස්‌පති අමරසිරි සේනාරත්න මහතාගෙන් විමසූ විට කොළඹ නගරයේ මාර්ග පවතින්නේ දිනපතා වාහන ලක්‌ෂයක්‌ පමණ ගමන් කිරීමට අවශ්‍ය වන ආකාරයට. එත් දිනකට කොළඹ නගරයට වාහන ලක්‌ෂ දෙකහමාරක්‌ එනවා. මෙය වාර්ෂිකව විසිපන්දහසකින් පමණ වැඩිවෙනවා. මේක බරපතළ තත්ත්අවයක්‌.

පොලිසිය විදිහට අපට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්‌ම රථවාහන තදබදය අවම කරන්නට ගෙන තිබෙනවා. 

රිය අනතුරක්‌ නිසා මාර්ග අවහිර වූ අවස්‌ථාවක හැර සාමාන්‍ය මාර්ග සංඥා ක්‍රමය විසන්ධිකර රිමෝට්‌වලින් ඒවා පාලනය කිරීම මම තහනම් කර තිබෙනවා. ඒ නිසා ඕනෑම පොලිස්‌ නිලධාරියෙක්‌ රිමෝට්‌ භාවිතයෙන් රථවාහන පාලනය කරනවා නම් 0112433333 දුරකථනයෙන් වහාම කතාකර අප දැනුවත් කරන්න. 

මම වහාම පියවර ගන්නවා. හැකිනම් ජංගම දුරකතනයෙන් හෝ ඡායාරූපයක්‌ ගෙන අප වෙත ලබාදෙන්න. මාර්ග අනතුරු ගැන මා දැඩි ලෙස කම්පා වෙනවා. මේ වසරේ මේ දක්‌වා කාලය තුළ වාහන අනතුරුවලින් මියගොස්‌ ඇති ප්‍රමාණය 1216 කට අධිකයි. මේ හැමදේකටම පොලිසිය ලෙස අපත් වගකිවයුතු පාර්ශ්වයක්‌.

දඩ කොළ දෙන්න කියල අපි පොලිස්‌ නිලධාරීන්ට නියෝග කර නැහැ. ඒ වගේම අල්ලලා මොනවහරි වැරදි හොයලා දඩ ගහන්න කියලා අපි නියෝග කරලා නැහැ. අනිත් අතට දඩ කොළ හෝ නඩුවලින් රථවාහන පොලිස්‌ නිලධාරීන්ට කිසිම ආර්ථික ප්‍රතිලාභ ලැබීමක්‌ නැහැ අපි කරන්නේ මහජන සේවාවක්‌.

මහාමාර්ග භාවිත කරන අපි කවුරුත් අනිත් අයගේ ජීවිතවලට ආදරය කරන්න ඕන. බීලා වාහන එළවනවා නම්, අධික වේගයෙන් වාහන එළවනවා නම් එයින් වන හානිය එයින් නැතිවන ජීවිත නිසා කොතරම් සමාජයේ අහිංසකයන් පිරිසක්‌ දුක්‌ විඳිනවද කියලා අපි හිතන්න ඕන. ඒ වගේම රටේ වගකිවයුතු රජයේ නිලධාරීන් ඒ ඒ අයගේ පාර්ශ්වයෙන් මේ ප්‍රශ්න ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කරනවා නම් මේ ගොඩක්‌ ප්‍රශ්න විසඳන්න පුළුවන්.

ජනිත සෙනෙවිරත්න















Comments