අමෙරිකානු හමුදාවට Star Wars චිත්‍රපටවල දැක්වෙන ආකාරයේ Hoverbike නිර්මාණය කිරීමේ උත්සහයක්

ස්ටාර්-වෝස් චිත්‍රපට මාළාවේ "Return of Jedi" චිත්‍රපටයේ හොවර්බයික් එකක් පැදයන Imperial Storm Trooper සෙබළෙක්
හොවර්බයික්, නැතිනම් ස්පීඩර්බයික් සංකල්පය ලොවට ඉදිරිපත් කෙරුනේ ජෝර්ජ් ලූකස්ගේ ස්ටාර්වෝස් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාළාවෙන්. එම චිත්‍රපට මාළාවේ "රිටර්න් ඔෆ් ජෙඩායි" චිත්‍රපටයෙන් තමයි ලෝකයා මුලින්ම හොවර්බයික් කියන්නේ මොනවාද කියලා දැනගත්තේ. පාසැල් ශිෂ්‍යයෙකු ලෙස ඒ චිත්‍රපටය බැලූ අපට නෙත් අදහාගත නොහැකි අන්දමේ තාත්වික ත්‍රාසජනක හොවර්බයික් ලුහුබැඳීමක් දකින්නට ලැබුණා.

අද තරම් දෘශ්‍ය ප්‍රයෝග හා සජීවීකරණ බහුල චිත්‍රපට ඉතා අල්පවූ නිසා අපි සැවෝයි සිනමාහලේ පුළුල් තිරයේ දර්ගණය වුනු ඒ හොවර්බයික් රේස් එක බලාගෙන සිටියේ හුස්මගැනීමටත් අමතකවෙලා. ස්ටාර්වෝස් චිත්‍රපටයේ තාක්ශණයන් විස්තර කරන වෙබ් අඩවිවලට අනුව එම ඉම්පීරියල් හොවර් බයික් වලට පැයට කිලෝමීටර් 500ක පමණ වේගයෙන් ගමන්කල හැකියි.

මෙවැනි හොවර්බයික් නිර්මානය කිරීමේ උත්සහයන් රාශියක් එම චිත්‍රපටයෙන් පසුව විවිධ නවෝත්පාදකයින් හා ස්ටාර්වෝස් චිත්‍රපට රසිකයින් සිදුකලත් එම වෑයම එතරම් සාර්ථක නොවුනේ තාක්ශණික ගැටළු නිසා.

එහෙත් දැන් නවසීලන්තයෙන් වාර්තාවන අන්දමට නවසීලන්ත සමාගමක් විශාල අවරපෙති දෙකකින් යුතු ප්‍රායෝගික හොවර්බයික් එකක් නිර්මාණය කිරීමට සමත්වෙලා තියෙනවා. මෙම නිර්මාණය අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුවට ඉදිරිප්ත්කල බවත් ඒම නිර්මාණය ගැන පැහැදුනු අමෙරිකානු හමුදා සැළසුම් කරුවන් එම සමාගම සමග තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගික හොවර්බයික් එකක් අමෙරිකානු පාබල හමුදාවට නිර්මාණය කිරීමට ගිවිසුමකට එළබුණු බවත් වාර්තා වනවා.

Tactical Reconnaissance Vehicle (TRV) ලෙස හඳුන්වන මෙම හොවර්බයික් එක ඈත යුධබිමවලදී නිරීක්ශණ හා ඕත්තුබැලීමේ, පණිවුඩ හුවමාරු හා තුවාලකරුවන් ඉක්මණින් යුධබිමෙන් පිටකිරීමේ කටයුතු සඳහා යොදාගැනීමට සැලසුම් කෙරෙනවා.

දැනට පර්යේෂණ හා සංවර්ධන මට්ටමේ පවතින මෙම හොවර්බයික් එක ඕනෑම ආකාරයක භූමි ප්‍රදේශයක ඉතා පහසුවෙන් හා වේගයන් ගමන්කිරීමට, කුඩා ආයුධ හා ආම්පන්න ප්‍රවාහණය කිරීමට මෙන්ම තුවාල කරුවන් ඉක්මණින් යුධ පෙරමුණට පිටුපසින් ඇති යුධ රෝහල් (field hospitals) කරා ගෙනයාමද කල හැකියි. ගිරිදුර්ග, මඩවගුරු, ජලාශ, ගංගා යනාදී කිසිදු භූවිශමතාවයකින් සිදුවන බාධාවකින් තොරව වේගයෙන් ගමන්කිරීමට හැකිවීම යුධ සැලසුම් කරුවන් මෙම හොවර්බයික් සංකල්පයට බොහෝසෙයින් කැමතිවීමට එක් හේතුවක්.

කිලෝග්‍රෑම් 270ක් බර මෙම වාහනයට එක් ඉන්ධන ටැංකියකින් කිලෝමීටර් 90ක පමණ දුරක් ගමන්කල හැකියි. ඒ අනුව හොවර්බයික් එකක් හෙලිකොප්ටරයකට වඩා ලාබදායි, ආරක්ශාකාරී මෙන්ම ඉක්මණින් සේවයේ යොදවාගැනීමට හැකියි.




Comments