ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට



ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප‍්‍රකාශයට පත් කළේය.
ලෝකයේ සියළුම ස්ථාන ආරක්ෂා කිරීමේ හැකියාවක් නොලැබෙන බැවින් ජෛව විවිධත්වය ඉතාමත්ම ඉහළ අගයක් ගන්නා එමෙන්ම විනාශවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ස්ථාන කිහිපයක් තෝරාගෙන ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට සුරැකීමට තීරණය කර තිබිණි.

එලෙස තෝරාගනු ලබන ස්ථාන ජෛව විවිධත්ව උණුසුම් කලාප ලෙස නම් කර ඇත. මෙලෙස තෝරාගත් කලාප අතරින් ශී‍්‍ර ලංකාවට හිමිවූයේ ප‍්‍රමුඛ ස්ථානයකි. ලංකාව ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් බවට පත්වීමේ එක් සුදුසුකමක් වන සියයට 70කට වඩා ස්වභාවික පරිසරය විනාශවී යාම යන සාධකය සපුරා තිබුණි.

වර්ග කිලෝ මීටර 65610ක් තරම් වූ භූමිභාගයක් සතු ශී‍්‍ර ලංකවේ භූ විෂමතාවය සහ දේශගුණික වෙනස්කම් මෙරට ජෛව විවිධත්වය වැඩිවීමට දැඩි සේ බලපා තිබේ.

මෙහි වැදගත්ම සාධකය වන්නේ මෙරට සෑම වර්ග කිලෝ මීටරයක්ම සැලකූවිට හෙක්ටයාර තුනක පමණ තෙත් බිමක් පිහිටා තිබේ. මේ තෙත්බිම් තුළ ජීවත්වන මිරිදිය මසුන් විශේෂ සංඛ්‍යාව 87කි. මෙයින් විශේෂ 27ක් පමණ ශී‍්‍ර ලංකාවට ආවේණිකය.

ශී‍්‍ර ලංකාවේ ස්වභාව විද්‍යා පර්යේෂණ ආරම්භ වී ගතවූ වසර 150ක පමණ කාලයේදී මෙරටින් සොයාගත් ශාක විශේෂ 1100ක් අතරින් විශේෂ 72ක් මේ වනවිට වඳවූ විශේෂ ලෙස සැලකේ. දැනට මෙරටින් වාර්තාව න මල් හටගන්නා හෙවත් සපුෂ්ක ශාක අතරින් විශේෂ 673ක් හෙවත් සමස්ථ ශාක ප‍්‍රමාණයෙන් සියයට 61ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත.

මෙහි වඩාත් හානිකර තත්ත්වය වන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින ශාක විශේෂ අතරින් 412ක්ම ලංකාවට ආවේණික විශේෂ වීමයි. ඒවායින් සියයට 37ක් දැඩි අන්තරායකාරී තත්ත්වයේ තිබීම මෙරට පරිසරයට සිදුවී ඇති හානියට හොඳ සාක්ෂියකි. මේ ශාක විශේෂ 412 අතරින් එක් විශේෂයක් හෝ මෙරටින් සමුගතහොත් එය ලෝකයේ ශාකාගාර වල සංරක්ෂිත දර්ශක වලට පමණක් සීමා වූ ශාක බවට පත්වනු ඇත.
සත්ත්ව විද්‍යා පර්යේෂකයන් පවසන්නේ පසුගිය වසර 100ක කාලයේදී ශී‍්‍ර ලංකාවේ උභය ජීවී විශේෂ 21ක් වඳවී ගොස් ඇති බවයි.

මේ වනවිට මෙරටින් හමුවන පෘෂ්ඨවංශී සත්ව විශේෂ 223ක් අතරින් 138ක් හෙවත් සියයට 62ක් ශී‍්‍ර ලංකාවට ආවේණික විශේෂ වෙයි. සත්ත්ව විශේෂ අතරින් සියයට 33ක් හෙවත් විශේෂ 57ක් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇත. ලෝක සංරක්ෂණ සංගමය ශී‍්‍ර ලංකාව පිළිබඳ රතු දත්ත වාර්තාව ඉදිරිපත් කරමින් පවසන්නේ සෑම පෘෂ්ඨවංශී විශේෂ 12ක් අතරින් එක් විශේෂයක් අනාගතයේ වඳවීයාමට ඉඩ තිබෙන බවයි.
විනාශවී යාමේ තර්ජනයට ලක්වූ සත්ව කාණ්ඩ අතරින් වැඩිම බලපෑමට හසුව ඇත්තේ උරගයන් වන අතර එහි දෙවැනි තැන උභය ජීවීන්ට හිමිව ඇත.

පක්ෂීන්, ක්ෂීරපායීන් සහ මත්ස්‍යයන් මේ තර්ජනාත්මක ලේඛණයේ අනුපිළිවෙලට පසුවෙති. ක්ෂීරපායී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උභය ජීවී විශේෂ දෙකක් අතරින් එක් විශේෂයක් ද, උරග විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද මත්ස්‍ය විශේෂ තුනක් අතරින් එක් විශේෂයක් ද, පක්ෂි විශේෂ හයක් අතරින් එක් විශේෂයක් ද නුදුරු අනාගතයේදීම මේ රටින් තුරන්ව යාමේ අවදානමට ලක්ව ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවා ඇත.

කොදු ඇටපෙළක් නොමැති හෙවත් අපෘෂ්ඨවංශී සතුන් ද දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. ඒ අතරින් ශී‍්‍ර ලංකාවේ හමුවන බත්කූරන් විශේෂ 120ක් අතරින් විශේෂ 57ක් ලංකාවට ආවේණික වන අතර ලංකාවට ආවේණික විශේෂ 20ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත.

මෙරට විශේෂිතම සත්ත්ව කාණ්ඩයක් වන්නේ මිරිදිය කකුළුවන්ය. මෙතෙක් වාර්තා වී ඇති මිරිදිය කකුළුවන් විශේෂ 51 ම ශී‍්‍ර ලංකාවට ආවේණික වන අතර ඉන් විශේෂ 37ක් වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ.
දිවිමකුළුවන් විශේෂ හතක් අතරින් පහක් ලංකාවට ආවේණික අතර ඉන් එක් විශේෂයක්ද වඳවීයාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙරටින් වාර්තාවන භෞමික ගොළුබෙල්ලන් 246කින් 204ක්ම ලංකාවට ආවේණික වෙයි.

කොඳු ඇටපෙළක් රහිත සතුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ සමනළයින්ය. ලංකාවේ හමුවන සමනළ විශේෂ 243කින් විශේෂ 20ක් ලංකාවට ආවේණික වන අතර එම විශේෂ සියල්ල මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්වූ විශේෂවේ.

දැනට වාර්තාවී ඇති තොරතුරු අනුව සත්ව විශේෂ වැඩිම ප‍්‍රමාණයක් තර්ජනයට ලක්වූ දිස්ති‍්‍රක්කය රත්නපුර දිස්ති‍්‍රක්කය වන අතර වැඩිම ශාක ප‍්‍රමාණයක් තර්ජනයට ලක්ව ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේය

Source: http://www.sinhala.srilankamirror.com/news/item/8099-346-species-in-sl-face-extinction-threat


COMMENTS

ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ විතරක් නෙවෙයි. සිංහල ජාතියත් වදවී යාමේ තර්ජනයට ලක්වෙලා. ඉතින් සත්තු ගැන හිතනවට වැඩිය මිනිස්සු ගැන හිතන්න වෙලා. ඉන්න මිනිස්සු අතරත් ආදරය, කරුනාව​, මිනිස්කම වගේ දේවල් වදවී යාමේ තර්ජනයට ලක්වෙලා. on ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ 346ක් වදවී යාමේ තර්ජනයට

Comments

  1. ශී‍්‍ර ලංකාවේ සත්ත්ව විශේෂ විතරක් නෙවෙයි. සිංහල ජාතියත් වදවී යාමේ තර්ජනයට ලක්වෙලා. ඉතින් සත්තු ගැන හිතනවට වැඩිය මිනිස්සු ගැන හිතන්න වෙලා. ඉන්න මිනිස්සු අතරත් ආදරය, කරුනාව​, මිනිස්කම වගේ දේවල් වදවී යාමේ තර්ජනයට ලක්වෙලා.

    ReplyDelete

Post a Comment