පංති කාමරයේ අයිපෑඩ් විප්ලයවය ආපසු හැරවේ?

අයිපෑඩ් වැනි භාවිතාවට පහසු ටැබ්ලට් පරිගණක ජනප්‍රියවීමෙන් පසු, එය පංතිකාමරයේ නව විප්ලවයක් ලෙස සැලකීමට බටහිර රටවල බොහෝ අධ්‍යාපනඥයින් පටන් ගත්තා. භාවිතයට ඉතා පහසු මෙවැනි නව තාක්ශණික උපාංග මගින් සිසු-සිසුවියන්ගේ ඉගෙනීමට ඇති උනන්දුව වැඩි කෙරෙන බවටත් අදහස් පලවුනා.

කෙලින්ම ගුරුවරයා මූලික (teacher centered) අධ්‍යාපන ක්‍රමයකට වඩා සිසුන් මූලික කරගත් (student centered) අධ්‍යාපන ක්‍රමයකට යොමුවීමේ වැදගත්කම බොහෝ කාලයක සිට අධ්‍යාපනඥයින් පෙන්වාදෙමින් සිටි අතර අයිපෑඩ් වැනි ටැබ්ලට් පරිගණක, භාවිතයට පහසුවීමත්, ඉතා බල සම්පන්නවීමත්, පහසුවෙන් විවිධ අධ්‍යාපණික වැඩසටහන් (educational apps) නිර්මාණය කොට ස්ථාපනය කරගැනීමට හැකිවීමත් නිසා අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ, කැනඩාවේ හා ඔස්ට්‍රේලියාවේ පාසැල් මෙම අයිපෑඩ් උපාංග පංතිකාමරයට හඳුන්වාදීමේ මූලිකව ක්‍රියාකලේ, ඒ අනුව ගුරු මූලික ඉගැන්වීමේ ක්‍රමවේදයෙන්, සිසු මූලික අධ්‍යාපන ක්‍රමයකට අඩිතාලම දැමේයයි යන පහන් චේතනාවෙන්.

මේ සඳහා ගුරුවරුන්ගේ කෙසේවෙතත් දෙමව්පියන්ගේ නොමද අනුග්‍රහය හා බලපෑම එක්වුනු අතර ඒ අනුව පසුගිය වසර කිහිපය පුරාවට බටහිර රටවල පාසැල් ඩොලර් බිලියන ගනණින් මහජන බදු මුදල් වැයකරමින් සිසුනට අයිපෑඩ් ලබාදෙන්නට කටයුතු කලා.


එහෙත් නොබෝදා ලන්ඩනයේ සන්ඩේ ටයිම්ස් හා ටෙලිග්‍රාෆ් පුවත්පත්, එරට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකල පරීක්ශණයක තොරතුරු හෙලිකලා. එමගින් වාර්තාවූයේ අයිපෑඩ් හා ස්මාර්ට්ෆෝන් පංතිකාමරයට පැමිණීම ඉගැන්වීමට හා ඉගෙනුමට (teaching and learning) සහයක් වනවාට වඩා බාධාවක් වී ඇති බව බ්‍රිතාන්‍ය ගුරුවරුන් බොහෝ පිරිසක් ප්‍රකාශකර සිටින බවයි.

මෙම ගැටලුව කොතරම් බරපතලද යත්, නොබෝ දිනකින්ම පංතිකාමරවලට අයිපෑඩ් හා ස්මාර්ට්ෆෝන් ගෙන එඊම තහනම් කරන්නට බ්‍රිතාන්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු අකරමින් සිටින බව වාර්තාවනවා. බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගේ බදු මුදල් පවුම් මිලියන ගණනක් වියදක් කරමින් සිසු සිසුවියන්ට අයිපෑඩ් හා වෙනත් ටැබ්ලට් පරිගණක ලබාදීමෙන් පසුව සිදු කරන්නට යන මෙම තහනම එරට ජනතාවගේ විවේචනයට හේතුවී තිබෙනවා.

නිසි සැලසුමක් හා ගුරුවරුන්ට මෙන්ම සිසුන්ටද නිසි පුහුණුවක් ලබා නොදෙමින්, නව තාක්ශණය සියලුම් දොස්වලට පිලියමක් ලෙස අධ්‍යාපණ බළධාරීන් සැළකීම මෙම ධන නාස්තියට හේතුව ලෙස විචාරකයින් පවසනවා.

අයිපෑඩ්, ටැබ්ලට්, ස්මාර්ට්ෆෝන් පංතිකාමරයේ භාවිතාකරන්නේ කෙසේද? - අපේ අත්දැකීම්

විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකු වන මා මෙන්ම මාගේ වෘත්තියමය සහෘදයින් ගණනාවක්ම, මේවනවිට අපගේ විශ්වවිද්‍යාල දේශණශාලා තුල, ස්මාර්ෆෝන් හා අයිපෑඩ් භාවිතා කරමින් ඉගැන්වීමේ කටයුතුවල යෙදෙනවා. මෙහිදී අවධාරණය කලයුතු ප්‍රධාන කාරණය නම්, අයිපෑඩය හෝ ස්මාර්ෆෝනය, ඉගැන්වීම පහසුකරවීම, සිසු-සිසුවියන්ට ඉගෙනගැනීමේ කාර්යය තෘප්තිමත් මෙන්ම යම් ආකාරයකට තමන් සතුකරගැනීමේ උපක්‍රමයක් ලෙස පමණක් භාවිතා කලයුතු බවයි.

උදාහරණයක් ලෙස , අප සැළසුම් සහගතව, යම් යම් දේශණතුලදී සිසුනට තොරතුරු සෙවීම, ඒවා විශ්ලේශ්ණය, නව දැණුම ලබාගැනීමේ උපක්‍රයක් ලෙස ස්මාර්ට්-ෆෝන් හා ටැබ්ලට් භාවිතා කරනවා. අප දේශණය අතරතුරේදී නව සංකර්ල්පයක් හඳුන්වා දෙනවිට, කෙලින්ම එම සංකල්පයේ අර්ථය (definition) හෝ විස්තර ලබාදීමට පෙර, එම සංකල්පය කළුලෑල්ලේ හෝ ප්‍රොජෙක්ටරයේ ප්‍රදර්ශණය කොට, ඒ සඳහා අන්තර්ජාලයේ ඇති අර්ථදැක්වීම් හා විස්තර සොයන ලෙස සිසුනට අණකරනවා. එවිට සිසුන් සිය පෞද්ගලික ස්මාර්ට්ෆෝන හෝ ටැබ්ලට් ආධාරයෙන් ගූගල් සෙවුම් හරහා විතර සොයන අතර ඒවා සිය සටහන් පොත්වල සටහන් කරගන්නවා.

මෙය කණ්ඩායම් ක්‍රියාකාරකමක් ලෙස කිරීමෙන් ස්මාර්ට්ෆෝන හෝ ටැබ්ලට් නැති සිසුසිසුවියන් ඇති සිසුසිසුවියන්ගේ කණ්ඩායම් වලට අනුගත කිරීමෙන් පංතිකාමරයේ ඇති නැති ගැටලුව මගහරවාගත හැකි අතර, සිසුනට කණ්ඩායමක් ලෙස සාමූහිකව ඉගෙනීමද හුරු කරනවා.

අවශ්‍ය තොරතුරු ලබාගැනීමෙන් පසුව, කණ්ඩායමක් ලෙස එම තොරතුරු සාකච්ඡාකොට, තමන් සොයාගත් දේ පංතියේ අන් අයටද ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදෙන අතර, එම සංකල්පයට අදාල රූපසටහන් වැනිදෑද අන්තර්ජාලයෙන් සොයාගැනීමේ වගකීමද සිසුනටම පැවරෙනවා.  කෙසේවෙතත්, මේ උපක්‍රම ඉගැනීම පහසුකිරීමේ හා වඩාත් ප්‍රියජනක කිරීමේ උපක්‍රම මිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය අයිපෑඩයට හා අන්තර්ජාලයට භාරදීමක් කිසිසේත්ම නොවන බව ආචාර්යවරුන්, දෙමව්පියන් මෙන්ම වෙනත් පාර්ශවකරුන්ද අවබෝධකර ගත යුතුයි.

COMMENTS


ඔබ යම්කිස් ජයග්‍රාහී ක්‍රියාදාමයකට ප්‍රෙව්ශ වී ඇතත් මෙවැනි උපකරණ පිළිබඳ නිසි හැඳිනීමක් හො පුහුණවක් නොලද ගුරු පරපුර විශාල ගැටළුවකට මුහුණ දෙමින් අසාර්ථක වන ආකාරය අපේ රටේ පන්තිකාමර වලදී (පාසල් අධ්‍යාපනය) දැකගන්න පුළුවන් වෙලා තියෙන්නෙ අයිපෑඩ් ස්මාර්ට් පෝන් තහනම්ව ඇති තත්ත්වයක් යටතේ. ගරුවරයා අසාර්ථක වෙද්දී සිසුපරපුර අසරණව වල් වැදෙමින් සිටින බව මා හිතන්නේ ලොව පුරාම අත්දකිමින් සිටිනවා විය හැකියි. ප්‍රධාන හේතුව දැනුම වෙනස්වන වේගයෙන් ගුරුවරයා යාවත් කාලීන නොවීම විය හැකියි නේද ? ඔබතුමා ඉදිරිපත් කළේ මහත් සැලකිල්ලේන් සාමාන්‍ය අය අතර පවා ඇතිවිය යුතු සංවාදයකට යොමු කිරිමක් on පංති කාමරයේ අයිපෑඩ් විප්ලයවය ආපසු හැරවේ?



Comments

  1. ඔබ යම්කිස් ජයග්‍රාහී ක්‍රියාදාමයකට ප්‍රෙව්ශ වී ඇතත් මෙවැනි උපකරණ පිළිබඳ නිසි හැඳිනීමක් හො පුහුණවක් නොලද ගුරු පරපුර විශාල ගැටළුවකට මුහුණ දෙමින් අසාර්ථක වන ආකාරය අපේ රටේ පන්තිකාමර වලදී (පාසල් අධ්‍යාපනය) දැකගන්න පුළුවන් වෙලා තියෙන්නෙ අයිපෑඩ් ස්මාර්ට් පෝන් තහනම්ව ඇති තත්ත්වයක් යටතේ. ගරුවරයා අසාර්ථක වෙද්දී සිසුපරපුර අසරණව වල් වැදෙමින් සිටින බව මා හිතන්නේ ලොව පුරාම අත්දකිමින් සිටිනවා විය හැකියි. ප්‍රධාන හේතුව දැනුම වෙනස්වන වේගයෙන් ගුරුවරයා යාවත් කාලීන නොවීම විය හැකියි නේද ? ඔබතුමා ඉදිරිපත් කළේ මහත් සැලකිල්ලේන් සාමාන්‍ය අය අතර පවා ඇතිවිය යුතු සංවාදයකට යොමු කිරිමක්

    ReplyDelete

Post a Comment