අපේ 'අසල්වාසියා' නිපැදවූ බිහිසුනු BRAHMOS 'සුපර්සොනික්‌' කෲස් මිසයිලය [ඉරිදා දිවයින]

Air launch version of BRAHMOS - ගුවන් යානයකින් විදිය හැකි BRAHMOS මිසයිලය
ශබ්දය තප්පරයකට මීටර් 343.2 ක වේගයෙන් ගමන් කරයි. එනම් පැයට කිලෝමීටර් 1235 ක වේගයෙනි. මේ අනුව විනාඩියකට ශබ්දය යන වේගය දළ වශයෙන් කිලෝ මීටර් 20 කි. තත්ත්වය මෙය නම් ශබ්දයේ වේගයෙන් ගමන් කරන වාහනයක්‌ හදා ගැනීමට ඔබට හැකියාව ඇතොත් ඒ වාහනයේ නැගී අධිවේගී මාර්ගය දිගේ විනාඩි 5 කින් ගාල්ලට යැමට ඔබට පුළුවන. ශබ්දය පරදවන වේගය සුපර්සොනික්‌ වේගය ලෙස හඳුන්වනු ලැබේ.

සුපර්සොනික්‌ වේගයෙන් ගමන් කළ හැකි ගුවන් යානයක්‌ සෑදීමට 1944 දී පර්යේෂණ පටන් ගත් ඇමරිකන් රජය 1948 දී පැයට කිලෝමීටර් 1600 ක වේගයෙන් යන ගුවන් යානයක්‌ නිපදවීය. 1969 දී  ප්‍රංශය හා එන්ගලන්තය එක්‌ව පැයට කිලෝමීටර් 2180 ක වේගයෙන් යන මඟී ගුවන් යානයක්‌ නිපදවා එයට කොන්කෝර්ඩ් යන නම තැබුවේය. එහි ගමන් කළ හැකි වූ මඟීන් ගණන 128 කි. 1976 දී මෙවැනි යානා 62 ක්‌ සාදන ලද අතර, ඒවා මඟීන් ගෙනයාම සඳහා යොදවන ලදී. එහෙත් මේ යානාවලින් පරිසරයට කරන විශාල හානියක්‌ විය. එනම් මේ යානය ගමන් කරන විට වාතය සමඟ හටගන්නා අධික ඝර්ෂණය නිසා විශාල ගිගිරුමක්‌ ඇති විය. එමෙන්ම ඕසෝන් නාශක නයිට්‍රස් ඔක්සයිඩ් වැනි දුම් විශාල ලෙස පිටකල නිසා පෘථිවිය වටා තිබෙන ඔසෝන් ස්‌ථරයේ හිල් හැදෙන්නට විය. ඒ බැවින් 2003 නොවැම්බර් 26 වැනිදා කොන්කෝඩ් යානා පැන්ෂන් ගන්වන ලදී.

ඉහත සඳහන් කතන්දරය අපට සිහිපත් වූයේ ඉන්දියාව විසින් ඉන්දියාවේ ම ස්‌වදේශික සමාගමකින් සුපර්සොනික්‌ වර්ගයේ මිසයිල 200 ක්‌ ඩොලර් බිලියන 13 ක මිලට ගැනීමට ඇනවුම් කර ඇති බව අන්තර්ජාලයේ පළවීමත් සමඟම ය. මේ මිසයිල නිපදවන්නේ ඉන්දු - රුසියන් පෞද්ගලික සමාගමක්‌ වන කේරළයේ BRAHMOS Pvt Ltd ආයතනය මගිනි. මේ සමාගමෙන් 50.5% ක්‌ ඉන්දියාවට අයත් අතර 49.5% ක්‌ රුසියාවට අයත් ය. 1998 දී මේ සමාගම පටන් ගැනීම සඳහා මූලික ගිවිසුම් අත්සන් කරන ලදී. ආරම්භක ආයෝජනය වශයෙන් රුසියාව ඩොලර් මිලියන 123.75 ක්‌ ද ඉන්දියාව ඩොලර් මිලියන 126.25 ක්‌ ද යොදවන ලද්දේය. ඔවුන් සිය ආරම්භක කම්හල පටන් ගත්තේ කේරළයේ තිරුවානන්දපුරම් නගරයේ ය. BRAHMOS නම එම කොම්පැනියට තබන ලද්දේ ඉන්දියාවේ  ගංගාවක්‌ වන Brahmaputhra සහ රුසියාවේ Moscow නගරය යන නම් දෙකේ මුල් කොටස්‌ එකතු කරය. 

මෙහිදී අපි ඉන්දියාවේ අදීන චින්තනයට හිස නමමු. අපි අහස්කූරක් හැදුවත් එයට තබන්නට උත්සාහ කරන්නේ සංකර නමකි. එහෙත් ස්‌වදේශික චින්තනයක්‌ ඇති ඉන්දියානුවා පසුගිය කාලයේදී තම රටේ සාදන ලද මිසයිල හතරකට ස්‌වදේශික සංස්‌කෘත නම් තැබීය. එයින් පළමුවන මිසයිලය අග්නිය. දෙවැන්න පෘථිවිය. තුන්වැන්න ආකාශ්ය. සිවුවැන්න නාග් ය. බ්‍රහ්මොස්‌ යනු කෙටි දුර මිසයිලයකි. එය ගමන් කරන උපරිම දුර කි. මී. 290 කි. විනාඩි 15 කට අඩු කාලයක්‌ තුළ එයට සිය ගමනාන්තයට ළඟා විය හැකිය. අසල්වාසි පාකිස්‌තානය, බංග්ලාදේශය සහ චීනය යන රටවල ඉලක්‌කයකට මේ මිසයිලය යෑවීමට නම් විනාඩි 4 - 5 කට වඩා ගත වන්නේ නැත. අඩි 28 ක්‌ උස අඩි 2 ක විෂ්කම්භයක්‌ ඇති මෙයට 200KG බර බෝම්බයක් සවි කළ හැකිය.

මිසයිලයකට සවි කරනු ලබන පිපුරුම් අවිය (war head) තීරණය කරනු ලබන්නේ සතුරාගේ ස්‌වභාවය අනුවය. සතුරා මැඬපැවැත්වීමට බැරි තරම් නපුරු නම්, විශාලත්වයෙන් ඉතා වැඩි නම් සහ තවදුරටත් වර්ධනය වන්නේ නම් මිසයිලයට සවි කරන්නේ පරමාණු පිපුරුම් අවියකි. පරමාණුක පිපිරුමක්‌ යනු ලෝකයේ භයානකම පිපිරුමය. බ්‍රහ්මොස්‌ සමාගම ඉන්දියන් ආණ්‌ඩුවට මේ මිසයිල විකුණන්නේ එකක්‌ ඩොලර් විසිහත් ලක්‍ෂ තිස්‌දාහ බැගිනි. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 40 කට සමානය. මේ මිසයිලයේ තවත් වැදගත් ලක්‍ෂණයක්‌ තිබේ. එයට පොළවට අඩි 46000 ක්‌ උඩින් ගමන් කර නිවැගදි ඉලක්‌කයට ළඟා වීමට පුළුවන. එසේම පොළවට සමාන්තරව අඩි 12 ක්‌ උඩින් ගමන් කිරීමට ද හැකිය.

කෲස් මිසයිල ගණයට අයත් බ්‍රහ්මොස් මිසයිලය අහල පහල තිබෙන උස්‌ ගස්‌වල, කලුගල්වල හෝ උස්‌ ගොඩනැඟිලිවල නොගැටෙයි. එය ගැටෙන්නේ අභිමත ඉලක්‌කය මත පමණි. මේ මිසයිලය ඉලක්‌කය බලා ගුවන් ගත කළ පසු එය ගමන් කරන මාර්ගය පාලන මැදිරියක සිට නැරඹීමට පුළුවන.

ඉන්දියාව විසින් සුපර්සොනික්‌ මිසයිල 200 ක්‌ ඇනවුම් කරනු ලැබ ඇත්තේ පිස්‌සුවට නොවේ. වටේට තිබෙන රටවලින් ඔවුනට තර්ජන ඇත. අසල්වාසී බංගලාදේශයේ සහ පාකිස්‌තානයේ සිටින ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායම් ඉන්දියාවට විරුද්ධව කුමන්ත්‍රණ කරති. එසේම කාශ්මීර බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් හැම විටම ඉන්දියාවට ප්‍රහාර එල්ල කරති. මේ නිසා ඔවුන්ට මිසයිල අත්‍යවශ්‍යය. මෙතැනදී ලංකාව ගැන ඉන්දියාවට කිසිදු ප්‍රශ්නයක්‌ නැත. එයට හේතුව බ්‍රහ්මොස්‌ මිසයිල පුච්චන්නේ නැතිව එක ටැලිෆෝන් කෝල් එකෙන් ලංකාව කළමනාකරණය කර ගැනීමට ඉන්දියාවට හැකි වීමය.

අනුර සොලමන්ස්, දිවයින ඉරිදා 14/02/2016


වෙබ් ලින්කුව -  http://www.divaina.com/2016/02/14/feature20.html


****** කතෘ සටහන ********

මේ ලිපිය ලියන ලද දිවයින අනුර පුවත්පතේ අනුර සොලමන්ස් උගත් මහතා එසේ ටෙලිෆෝන් ඇමතුමකින් ලංකාව කළමණාකරණය කරගැනීමට ඉන්දියාවට හැකි බව කීවද ලංකාව නිසා ඉන්දියාවට රජීව් ගාන්ධිද, ඉන්දියානු යුධ භටයින් සියගණනක්ද අහිමිවිය. අදටත් ලංකාවට චීනය ලංවීම ගැන ඉන්දියව මහත් කැළබීමෙන් සිටී.  

එමෙන්ම ලංකාවද ඉන්දියාවට නොමනා ලෙස සැලකීමේ ආදීනවද අපි අත්වින්දෙමු. හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන සිය මෝඩ කම නිසා වරක් ඉන්දියානු අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි මැතිනියට "ශුද්ධවූ එළදෙන - holy cow" ලෙස හැඟෙන පරිදි අපහාසාත්මක කතාවක් කලේය. 

ඉන් කුපිත වූ ඉන්දියාව දෙමල ත්‍රස්තවාදී සංවිධාන - පිරපාහරන්ද ඇතුලුව - ඉන්දියාවේ අවි පුහුණුව ලබාදී මේ රට තිස් අවුරුදු යුද්ධයක් ලබාදුන්නේය. දේශානුරාගයෙන් කයිවාරු ගැසීමට ඔනෑ කෙනෙකුට පුලුවන් වුවද රටේ පාලකයින් කල්පණාවෙන් වැඩකල යුතුය. රටේ ප්‍රමාණය, ජනගහණය හා ආර්තික ශක්තිය ගැන අවබෝධයකින් නොගැලපෙන ලොකු අය සමග හැප්පෙන්නට නොයා යුතුය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොකු කුඩා සෑම රටක්ම එක සමාන වුවත් එක චන්දයක් හිමිවුනත් ලොකු රටවල් කරන දේවල් පාලනය කරන්නට එජා සංවිධානයට බැරිය. රුසියාව ක්‍රිමියාව අල්ලාගෙන යුක්‍රේනයට පහරදෙනවිට එජා සංවිධානය ප්‍රකාශ නිකුත් කරමින් යෝජනා සම්මත කරගනිමින් ඉන්නවා විනා වෙන මුකුත් කරන්නේ නැත.

රජීව් ගාන්ධි මැරෙන තුරුම ඉන්දියාව දෙමල බෙදුම්වාදීන්ට සියලු රැකවරණ දුන්නේය. ඔවුන්ගේ ආරක්ශකයා ලෙස ක්‍රියාකලේය. ජෙනරාල් කොබ්බෑකඩුව ඇතුලු රණවිරුවන් යාපනය අල්ලන්නට යන ගමන ඉන්දියාව ලංකාවට තරවටුකොට නැවැත්තුවේය. ගුවනින් පරිප්පු දැම්මේය. පරිප්පු දාන යානාවලින් ඕනෑනම් කොළඹට බෝම්බ දමන්නටද පුලුවන් බව නොකියා කීවේය. බලෙන් ගිවිසුම් ගසා සාම සාධක හමුදාවක් ලෙස ආක්‍රමණ හමුදාවක් එව්වේය.

පරිප්පු දැමූවිට මුකුත් නොකල එජා සංවිධානය බෝම්බ දැමූවද මුකුත් නොකරන බව ඇත්තකි. එදා පරිප්පු දමන විට කට පියාගෙන සිටි එජා සංවිධානය අද යුධ අපරාධ සොයන්නට එයි. එදා ඉන්දියාවට බයේ නිකන් සිටි එජා සංවිධානය අද අමෙරිකාවට හා යුරෝපායට ඕනෑ නිසා යුධ අපරාද යෝජනා සම්මත කර ගනී. කතා සාප්පුවක්වූ එජා සංවිධානය පාලනය කරන්නේ ලොකු රටවල් මිස සොක්කන්ගේ රටවල් නොවේ.


ලෝකයේ හැටි එහෙමය. මේ බව බුදු බණෙහිද සඳහන්ය. නොගැලපෙන බලවතුන් හා යුද්ධයට යනන්ට එපා යයි බුදුන් වහන්සේ රජවරුන්ට අවවාදදී ඇත. ඒ මිනිස්සු මැරෙයි කියා නොව දිනන්නට බැරි නිසාය.

Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments