පාර ජලයන් යටවී ඇතිවිටදී වාහනයක් පදවන ඔබ කලයුත්තේ කුමක්ද?


ආයෙත් වහිනවා... පාරවල් ආයෙත් යටවෙලා. ඊයේ තුන්මුල්ල හන්දිය වතුරෙන් යටවෙලා වාහන නැවතිලා තිබුණා. ගමන් කරන පාරේ තැනක් ජලයෙන් යටවෙලා තියෙනකොට කරන්න ඕනේ මොකක්ද?

මේ උපදෙස් අරගත්තේ මහා බ්‍රිතාන්‍යයේ ඔටෝමොබයිල් ඇසෝසියේෂන් (AA) වෙබ් අඩවියෙන් හා තවත් වෙබ් අඩවි කිහිපයකින්.

වැදගත්ම උපදෙස - වාහනේ වතුරට නොදා ඉන්න

ජලයෙන් යටවුන පාරක් දැක්කම කරන්න ඕනෑ පලමුවෙනි දේ තමයි කොහොම හරි යන්ඩ පුලුවන්ද කියලා බලන්නේ නැතුව, තමන්ගෙත්, තම වාහනයෙත් ආරක්ශාව ගැන හිතලා විකල්ප මාර්ගයක් සොයා ගන්න එක.

අනෙක් වාහන යනවා කියලා තමුන්ගේ වාහනය වතුරට දාලා අමාරුවේ වැටෙන්න එපා. වෙන විකල්ප පාරක් නැතිවුනත් වතුරට වාහනේ දාන්න ඉස්සෙල්ලා හොඳින් සැළකිලිමත් වියයුතු දේවල් තියෙනවා.


ඔබගේ වාහනය කාර් එකක් හෝ කුඩා වෑන් රථයක් නම් සාමාන්‍යයෙන් අඟල් 6කට වැඩි නිසල ජලයට බැස්සුවොත් වාහනය පාවෙන්න පුලුවන්! 

වාහනය බර නිසා රෝද පොලව තදින් බදාගෙන ඉඳියි කියලා හිතන්න එපා. ගලාගෙන යන ජලය නම් තවත් භයානකයි. මේක බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. වාහනය විශාලයි, බරයි කියලා වතුරට බැස්සුවොත් උඩුකුරු තෙරපුම කියන විද්‍යාත්මක සංසිද්ධිය නිසා වාහනය පාවෙන්න බලනවා. එතකොට රෝද පොලවට බැදීම (ට්‍රැක්ෂන්) නැතිවෙලා වාහනය පාලනයෙන් ගිලිහෙනවා. අඩිය 2ක් ගැඹුර ජලය පික්-අප්, ජීප් වගේ වාහනයක් වුනත් ජලයේ පාකරවන්න සමත්.

ගැඹුර අඩුවුනත් වේගයෙන් ගලන ජලය භයානකයි. 

වේගයෙන් ගලන ජලයෙන් වාහනය මත හරස් අතට යෙදෙන බලය, එහි වේගය වගේ හතර ගුණයක් බව මතක තබා ගන්න.

ජලයේ ගමන් කරනකොට වේගයෙන් යන්න එපා. 

මේක අපේ රටේ අය කරන ලොකු වැරැද්දක්. වේගයෙන් වතුරට දාලා මෙලෝ සිහියක් නැතුව වේගයෙන් යනවා. වාහනයක් වතුරට දාන්න ඕනෑ හෙමින්. මැනුවල් නම් 1 වැනි ගියරයේ, ඔටෝමැටික් නම් කන්දක වගේ යනකොට භාවිතා කරන අඩු-වේග-වැඩි-ජවය දෙන ගියරයක් (e.g. L ) තෝරාගන්න.

වාහනයේ එන්ජිම රේස් කරගෙන යන්න. එතකොට දුම් බටයෙන් ජලය ඇතුලට යන එක වලකිනවා. හැබැයි වේගයෙන් යනකොට ඇතිවෙන විශාල ජල රැල්ලෙන් එන්ජිමට වතුර යන්න පුලුවන්. ඒ නිසා රැළි නොනැගෙන්න හෙමින් - එහෙත් එන්ජිම රේස් කරමින් සැර දමමින් ගමන් කරන්න.

එක වේගයකින් යන්න. වතුර මැදට ආවහම බයවෙලා වාහනය නවත්තන්න හදන්න එපා. වතුරට දැම්මා නම් නොනවත්වා අනෙක් කෙලවරට යන්න. හැබැයි මතක තබා ගන්න - අඟල් 6කට වැඩි ගැඹුරු ජලය කාර් එකක හෝ වෑන් එකක වායු අවශෝෂකය (air intake) තුලට ගමන් කිරීමේ හැකියාව වැඩියි.

වාහනය පාවෙලා යන්න හදනවා වගේ තේරෙනවා නම්...

කළබල වෙලා වේගය වැඩි කරන්න එපා. වාහනයේ දොර ඇරලා ඇතුලට වතුර එන්න දෙන්න. එතකොට අර කලින් කිව්ව, වාහනය වතුරේ පා කරවන උඩුකුරු තෙරපුම අඩුවෙනවා. මේකෙන් වාහනේ ඇතුලත විනාශ වෙයි. ඒත් වාහනයත් එක්කම ගහගෙන යනවාට වඩා ඒක හොඳයි නෙ.

වතුරෙන් ගොඩ් ආපු ගමන් වාහනයේ වේගය වැඩි කරලා යන්න එපා. ඒ වෙනකොට ඔබගේ වාහනයේ බ්‍රේක් පෑඩ් තෙමිලා බ්‍රේක් වදින්නේ නෑ. 

හෙමින් යන ගමන් හෙමින් හෙමින් බ්‍රේක් පැඩලය පාගමින්, එහි තෙත ගතිය අඩුකරගන්න උත්සහ කරන්න. ඔබ සාමාන්‍ය වේගයෙන් යා යුත්තේ නැවතත් නියමාකාරයට තිරිංග ක්‍රියාත්මක වන්නට ගත්විට පමණයි.

ඉතා වැදගත් - පාරේ ඇති විදුලි කම්බි ජලයෙන් යටවෙලා තියෙන හරියෙන් බිමට වැටිලා තියෙනවා නම් වාහනය වතුරට දාන්න එපා. ජලය විදුලිය සන්නයනය කරනවා. 

ඔබගේ වාහනයට විදුලි සැර වැදිලා එහි ඉලෙක්ට්‍රොණික උපාංග විනාශවෙන්න පුලුවන්. එමෙන්ම ඔබටත්, වාහනයේ යන අනෙක් අයටත් විදුලි සැර වැදෙන්න පුලුවන්.




__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________


Comments