BUSINESS / TECHNOLOGY : ඇමරිකා-චීන ඩිජිටල් සීතල යුද්ධය! [ඊයේ ZTE අද Huawei හෙට HikVision?]


2018 අප්‍රේල්

ඉරානයට හා උතුරු කොරියාවට අධිතාක්ෂණික සන්නිවේදන තාක්ෂණය ලබාදුන්නේ යයි යන චෝදනාව මත චීනයේ විශාලතම ඉලෙක්ට්‍රොණික උපාංග සමාගමක් වන ZTE සමාගම වෙත සත් අවුරුදු තහනම් නියෝගයෙක් පනවන්නට ඇමරිකාව ක්‍රියාකලා.

සාකඡ්චාවලින් පසුව මේ තහනම, ඩොලර් වලින් ගෙවිය යුතු වන්දියක් හා දඩයක් බවට හරවන්නට ඇමරිකාව එකඟවූ අතර ZTE සමාගම 2018 ජූලියේදී ඩොලර් බිලියන 1.2ක විශාල වන්දිමුදල සම්පූර්ණයෙන්ම ගෙවා දමා මේ තහනමෙන් මිදුනා. මීට අමතරව සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩළයේ සියලුම දෙනා ඉවත්කරනට සමාගම ක්‍රියාකල අතර මාස ගණනක් තිබූ අවිනිෂ්චිතභාවය නිසා සමාගමට ඩොලර් බිලියන 3ක පාඩුවක් දරන්නට සිදුවුනා.

2018 දෙසැම්බර් / 2019 මැයි

සී.ටී.ඊ සමාගමට දඬුවම්කොට වසරක් ගතවෙන විට ඇමරිකාව අලුත් චීන ගොදුරක් සොයා ගත්තා. ඒ චීනයේ ලොකුම ඉලෙක්ට්‍රොණික සමාගම වන හුවාවී සමාගමයි. ලෝකයේම තුන්වෙනියට විශාලම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයා මෙන්ම ලොකයේ ලොකුම සෙලියුලර් හා පරිගණක ජාල උපාංග නිපදවන සමාගම වන හුවාවී, අති නවීන 5G සෙලියුලර් තාක්ෂණයේ ඉහලම පුරාගාමියෙක්. හුවාවී සතු 5G තාක්ෂණය බටහිර රටවලට පවා නොමැති බවයි සන්නිවේදන තාක්ෂණ විශේෂඥයින් පවසන්නේ.

හුවාවී දඩයමට පලවැනි වෙඩිමුරය තැබුවේ 2018 දෙසැම්බර් 1වැනිදායි. හුවාවි සමාගමේ නිර්මාතෲ හා සභාපති රෙන් සෙන්ග්ෆෙයි මහතාගේ වැඩිමහල් දියණිය හා හුවාවී සමාගමේ ප්‍රධාන මූළ්‍ය නිළධාරීනී හා උපසභාපතිනිය වූ මෙන්ග් වැන්ෂූ කැනඩාවේ වැන්කුවර් නුවරදී කැනේඩියානු බළධාරීන් අත් අඩංගුවට ගත්තා. මූළ්‍ය අපරාධ රැසක් සිදුකලාය යන චෝදනාවට ඇයව අත් අඩංගුවට ගත්තත් එය ඇමරිකාවේ බළපෑම මත සිදුවූ බව පසුව ලොවට හෙලිවුනා. අදටත් ඇය වැන්කුවර් නුවර නිවාස අඩස්සියේ රඳවාගෙන සිටින අතර ඇමරිකාවට පිටුවහල් කිරීමට සූදානමින් සිටිනවා.

2019 මැයි 21වැනිදා හුවාවී සමාගමට එරෙහිව දැවැන්ත පහරක් එල්ලකල ඇමරිකාව, හුවාවී සමාගමේ ජංගම දුරකථන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩාවැටෙන අන්දමේ තහනම් නියෝගයක් නිකුත්කලා. ඒ අනුව ඇමරිකානු අධිතාක්ෂණික ඉලෙක්ට්‍රොණික සමාගම්වලට හා මෘදුකාංග සමාගම්වලට හුවාවී සමාගමට සිය දුරකථන නිෂ්පාදනයට අවශ්‍ය මයික්‍රෝප්‍රොසෙසර් හා මෘදුකාංග  විකිණීම තහනම් කලා.

ඒ අනුව ගූගල් සමාගම හුවාවී සමාගමට නිකුත්කොට තිබූ ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග බලපත්‍රය අත්හිටවූවා. ඒ සමගම මින් ඉදිරියට හුවාවී සමාගම අලෙවිකරණ අලුත් මාදිලි සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයේ අලුත්ම හා ජනප්‍රිය සංස්කරණ භාවිතාකල නොහැකිවනවා. එමෙන්ම ගූගල් ප්ලේ ඇප් මධ්‍යස්ථානයට ඇතුලුවීමටද හුවාවි ජංගම දුරකථන හිමියන්ට නොහැකිවනවා.

අලුත්ම ඇමරිකන් ඉලක්ක - HikVision, Dahua Technology හා තවත් සමාගම් තුනක්

හික්විෂන් හා ඩැහුවා ලෝකයේ විශාලම ආරක්ෂක CCTV කැමරා පද්ධති හා ඉලෙක්ට්‍රොණික ආරක්ෂණ උපක්‍රම නිර්මාණය කරන සමාගම්. මෙම සමාගම් ඉතා දියුණු ෆේෂල් රෙකග්නිෂන්, බයෝ මෙට්‍රික්ස් වැනි තාක්ෂණ යොදවාගෙන ඔවුන්ගේ නවීනතම ආරක්ෂක කැමරා හා නිවෙස්/කාර්යාල ආරක්ෂණ පද්ධති නිමවා තිබෙනවා. 2017දී ඩොලර් බිලියන 5ක ආදයමක් ඉපැදවූ හික්විෂන් සමාගම සේවක සේවකාවන් 26,000ක් සේවය කරන, ලෝකයේ රටවල් 155ක සිය නිෂ්පාදන අලෙවි කරන විශාල සමාගමක්. ඩැහුවා ටෙක්නොලොජි සමාගම චීනයේ දෙවන විශාලම ආරක්ෂක කැමරා පද්ධති නිෂ්පාදකයා වන අතර ඩොලර් බිලියන 2ක ආදායමක් හා සේවක සේවිකාවන් 11,000ක සේවක මඩුල්ලක් සතු සමාගමක්.

ඇමරිකාව මේ සමාගම් වලටද හුවාවී සමාගමට මෙන්ම ඇමරිකානු තාක්ෂණ තහනමක් දමන්නට සූදානම් වන අතර මේ සමාගම් වලට ඇති චෝදනාව නම් එම සමාගම්වලින් නිෂපාදනය කරන අධිතාක්ෂණික ආරක්ෂක කැමරා, චීන රජය සිය පුරවැසියන්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමට, හා ඔවුන්ව නිරන්තරයෙන් නිරීක්ෂණයට බඳුන්කිරීමට භාවිතා කරනවා යන්නයි. විශේෂයෙන්ම චීනයේ සුළුජාතියක්වන උයිගර් ජාතිකයින් මර්දනය කිරීමට මේ කැමරා පද්ධති උපයෝගීකරගන්නා බවට ඇමරිකාව චෝදනාවක් ගොතමින් සිටිනවා.

ඇමරිකාව චීනයේ විශාලතම අධිතාක්ෂණික සමාගම් වට්ටන්න හදන්නේ චීනයේ වේගවත් නැග්ම නවත්වන්නටයි.

සුපිරි පරිගණක, අධි සංගෘහිත ඩිජිටල් පරිපථ, 5ජී සන්නිවේදන, කෘත්‍රිම බුද්ධි, මයික්‍රෝප්‍රොසෙසර්, ජෛව තාක්ෂණය, රොකට් හා චන්ද්‍රිකා තාක්ෂණය, ඉලෙක්ට්‍රික් කාර් තාක්ෂණය ආදී දියුණු ලෝකයේ ඉහලම තාක්ෂණයන් සියල්ලෙහිම හිනිපෙත්තට නගින්නට චීනයට හැකියාව ඇතිබව ඔප්පුවෙමින් පවතින මේ යුගයේ ඇමරිකාව මේ වෙර දරන්නේ චීනය වට්ටා, තාක්ෂණය සඳහා ඇමරිකාව මත යැපෙන, ඇමරිකන් පේටන්ට් බළපත්‍ර නොමැතිව කිසිවක් කරගත නොහැකි රටක් බවට පත්කිරීමට බවයි මධ්‍යස්ථ විචාරකයින් පවසන්නේ.

චීනයේ බයිඩු ඉලෙක්ට්‍රික් කාර් සමාගම, ඇමරිකාවේ ටෙස්ලා වැනි ඉලෙක්ට්‍රික් කාර් සමාගම් තරමටම සිය බැටරි තාක්ෂණය දියුණු කරගෙන ඇති අතර රියදුරන් නැති කෘත්‍රිම බුද්ධියෙන් පාලනය වන මෝටර් රථ නිපදවීමේ තරඟයේද ඉදිරියෙන්ම සිටිනවා. දැනටමත් 5ජී තාක්ෂණයෙන් බටහිර සමාගම් වලව වඩා හොඳ මෙන්ම මිලෙන් අඩු තාක්ෂණයක් හුවාවී සමාගම සතුව පවතිනවා.
\
මේ අතර 2030වනවිට ලෝකයේ දියුණුම කෘත්‍රිම බුද්ධි තාක්ෂණ මෘදුකාංග නිපදවීම සඳහා චීන රජය මේවනවිටත් ඩොලර් බිලියන ගණනක් වෙන්කොට තිබෙනවා. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය දියුණු කරන සමාගම්වලට මේ අරමුදල් ලබාදෙන අතර එම තාක්ෂණ වාණිජකරණය කිරීමෙන් චීනය ඩිජිටර් කාර්මික විප්ලවයක් කරාගෙනයාම චීන රජයේ අරමුණ වෙනවා.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් චීනය ලබමින් සිටින ජයග්‍රහණ පෙන්ටගනය හා ඇමරිකානු ආර්ක්ෂක අංශ බියපත් කොට ඇත්තේ එම තාක්ෂණය ඉතා පහසුවෙන් බිහිසුණු යුධ අවි සඳහා අනුවර්තනය කරගත හැකි නිසා මෙන්ම දියුණු කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආධාරකරගෙන සුවිශේෂී නව නිර්මාණ බිහිකරගැනීමට හැකිවෙන බවට විද්‍යාඥයින් අණාවැකි පලකොට තිබීමත් නිසාය.



https://www.bloomberg.com/news/articles/2018-07-13/u-s-lifts-ban-on-china-s-zte-after-it-pays-1-4-billion-penalty
https://www.bloomberg.com/quicktake/how-u-s-china-tech-rivalry-looks-like-a-digital-cold-war
https://www.bloomberg.com/news/articles/2019-05-22/trump-weighs-blacklisting-two-chinese-surveillance-companies
https://www.bloomberg.com/news/articles/2019-05-22/after-huawei-trump-s-blacklist-may-lead-to-a-global-tech-schism?utm_campaign=socialflow-organic&utm_source=twitter&utm_content=business&cmpid=socialflow-twitter-business&utm_medium=social






Comments

  1. චීනය මේ තහනම් සියල්ල නිසි පරිදි කළමනාකරණය කළහොත්, එය දීර්ඝකාලීනව ඇමරිකාවට එල්ලවෙන විශාල පහරක් වෙන්නත් පුළුවන්. ඇමරිකානු නොවන තාක්ෂණයක් දියුණුකිරීමට වෙනත් රටවල් පවා උත්සුක වීමක් මේ හරහා සිදුවන අතර එය අනාගත තාක්ෂණික දියණුවට ඉමහත් පිටිවහලක්.

    ReplyDelete

Post a Comment