POLITICS : යෝජිත ඇමරිකා-ලංකා SOFA ගිවිසුම් කෙටුම්පතේ සිංහල පරිවර්තනය

SOFA - Status of Forces Agreement (DRAFT)
යෝජිත ඇමරිකා-ලංකා SOFA ගිවිසුම් කෙටුම්පතේ සිංහල පරිවර්තනය


Disclaimer :


This translation is based on the draft copy published in The Sunday Times 30/06/2019.
All efforts have been taken to ensure an accurate translation.
The translation is the work of this writer and all errors, omissions, and erroneous interpretations are unintended.
The author is an academic and is neither a lawyer nor an expert on international affairs.
This translation is made and published in the public interest under Creative Commons licence.

Translation by; විද්‍යා ගවේෂණ

(1)
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට සුබපැතුම් ගෙන එන අතර, අප දෙරට නියෝජිතයින් අතර ඇමරිකානු හමුදා සාමාජිකයින් හා ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් සාමාජිකයින් (මින් ඉදිරියට එක්සත් ජනපද සේවක මණ්ඩල ලෙස හඳුන්වනු ලබයි) හා ඇමරිකානු කොන්ත්‍රාත් සමාගම් පිලිබඳව සිදුවූ සාකච්ඡා හා බැඳේ.

එක්සත් ජනපද කොන්ත්‍රාත් සමාගම් ලෙස හඳුන්වන්නේ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමෙන්තුවට විවිධ භාණ්ඩ හා සේවා සැපයිම සඳහා ගිවිසුම්ගතව සිටින ශ්‍රී ලාංකික නොවන සමාගම් හා ඒවායේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නොවන සේවක-සේවිකාවන්ය. එක්සත් ජනපද කාර්ය මණ්ඩල හා කොන්ත්‍රාත් සමාගම් වල සේවක සේවිකාවන් යම් යම් අවස්ථාවලදී තාවකාලිකව ශ්‍රී ලංකාව තුල ස්ථානගත වනු ඇති අතර එම ස්ථානගත වීම්, ගුවන් හා නෞකා ගමන්, පුහුණුවීම්, අභ්‍යාස, මානුෂීය මෙහෙයුම් හා වෙනත් අන්‍යෝන්‍ය එකඟතාවයෙන් සිදුවන ක්‍රියාකාරකම් සඳහා වනු ඇත. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග ගිවිසුම් ගතව නොමැති සමාගම්, එම සමාගම්වල සේවක සේවිකාවන් සඳහා මෙම ගිවිසුමේ සඳහන් කිසිදු වරප්‍රසාදයක් හෝ නිදහස් කිරීමක් අදාල නොවේ.

(2)
මේ සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, එක්සත් ජනපද තානාපති කාර්යාලය පහත යෝජනා ඉදිරිපත් කරනු ලැබේ. එක්සත් ජනපද කාර්යමණ්ඩල හා කොන්ත්‍රාත් සමාගම් හා එම සමාගම්වල සේවක මණ්ඩල වලට, තානාපති සබඳතා පිලිබඳ වියෙනා සම්මුතියට අනුව තානාපති සේවාවල පරිපාලන හා තාක්ෂණික කාර්යමණ්ඩල වලට හිමිවන සියලුම වරප්‍රසාද, නිදහස් කිරීම්, මුක්තීන් (immunity) හිමිවිය යුතු බවට මෙයින් යෝජනා කෙරේ. එක්සත් ජනපද කාර්ය මණ්ඩල හා කොන්ත්‍රාත් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට (එනම් හමුදා හා සිවිල් යන දෙපාර්ශවයටම අදාලවන පරිදි) එක්සත් ජනපද රජය නිකුත්කල හැඳුනුම් පතක් පෙන්වා රට තුලට ඇතුලුවීම හා රටින් පිටවීමට අවසර ලැබීම. තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් රටට ඇතුලුවීමට හා පිටවීමට අවසර ලබාදීම.

අමරිකානු එක්සත් ජනපද රජය, එහි දෙපාර්තමේන්තු හා වෙනත් පරිපාලනමය අංශ මගින් වෘත්තියමය කාර්යයන් වල යෙදීම සඳහා නිකුත්කල සියලුම බලපත්‍ර ශ්‍රී ලංකාව තුල ඔවුන්ගේ සේවා සැපයීම හා කාර්ය සාධන කටයුතු සඳහා වලංගු බව පිලිගැනීම. වාහන ධාවනය සඳහා රියැදුරු බලපත්‍ර හා වෙනත් යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා එක්සත් ජනපද බලාධිකාරියක් විසින් නිකුත්කල බලපත්‍ර හා වෙනත් බලපත්‍ර, කොන්දේසි හා ගාස්තු විරහිතව ලංකාව තුල බලාත්මක බව පිලිගැනීම යෝජනා කෙරේ. 

එක්සත් ජනපද කාර්ය මණ්ඩලවලට (හමුදා හා සිවිල් යන දෙපාර්ශවයටම අදාලවන පරිදි) සිය රාජකාරි සිදුකිරීමේදී සිය නිළ ඇඳුම් ඇඳීමට අවසර ලබාදීම හා නියෝග ලැබී ඇති විට ඒ අනුව අවි අත දරා සිය රාජකාරි කිරීමට අවසරය ලබාදීම යෝජනා කෙරේ..

(3)
ලංකාව තුල ස්ථානගත කොට සිටින එක්සත් ජනපද හමුදා සාමාජිකයින්, එක්සත් ජනපද හමුදාවන්ට අදාල විනය නීති හා  එක්සත් ජනපදයේ අපරාධ අධිකරණපාත්‍රතාවට (criminal jurisdiction) යටත් බව පිලිගැනීම යෝජනා කෙරේ..

(4)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්සත් ජනපද කාර්ය මණ්ඩළ (හමුදා හා සිවිල් යන දෙපාර්ශවයටම අදාලවන පරිදි) සියලු බදු හා ගාස්තුවලින් නිදහස් කලයුතු බවට යෝජනා කරනු ලැබේ. එමෙන්ම එක්සත් ජනපද රජය හා ශ්‍රී ලාංකා රජය, එක්සත් ජනපද සේවක මණ්ඩල, උපකරණ, යන්ත්‍රසූත්‍ර, ලියකියවිලි හා වාර්තා, නිළ තොරතුරු වල ආරක්ෂාව සඳහා සහයෝගයෙන් ක්‍රියාකරනු ඇත.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ලංකාව තුලට ගෙන එන හෝ ඉන් පිටතට ගෙනයන වාහන, උපකරණ, යන්ත්‍රසූත්‍ර යනාදිය කිසිදු පරීක්ෂාවකට, රේගු කාර්ය පටිපාටියකට, වෙනත් පරිසීමාවකට, රේගු හෝ වෙනත් බදු හෝ ගාස්තු අයකිරීම් කිසිවකට යටත් නොවන අතර ඒ සියල්ලෙන්ම නිදහස් වියයුතු බවටද යෝජනා කෙරේ.

(5)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුවන හෝ එය සඳහා පූර්ණකාලීනව යොදවා ඇති යාත්‍රා, යානා හා වාහන (ස්ව-ප්‍රචාලන හෝ ඇදගෙන යන ලබන වාහන) කිසිදු බාධා කිරීමකින් තොරව ලංකාවට ඇතුලුවීම, රටතුල සැරිසැරීම හා රටින් පිටවීමට අවසර ලැබෙන බවට යෝජනා කෙරේ. එමෙන්ම එවැනි වාහන රටතුල සැරිසරන විට යම් මාර්ග භාවිතා කිරීමේදි ගෙවිය යුතු ගාස්තුවලින්ද නිදහස් කලයුතු බවට යෝජනා කෙරේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුවන හෝ එය සඳහා පූර්ණකාලීනව යොදවා ඇති ගුවන්යානා ගොඩබැසීම්, නවතා තැබීම් හා ගුවන්ගත කිරීම් ගාස්තු, නෞකා හා යාත්‍රා වරායන් භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු, වරායන් තුලට ඇතුලුවීමේ ගාස්තු, පහසුකම් භාවිතා කිරීමේදී ගෙවිය යුතු ගාස්තු යනාදී සියලු ගෙවීම් හා ගාස්තුවලින් නිදහස් කලයුතු බවට යෝජනා කෙරේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුවන හෝ එය සඳහා පූර්ණකාලීනව යොදවා ඇති ගුවන්යානා ලංකා ගුවන් සීමා ඉහලින් ගමන් කිරීමේදී ගෙවිය යුතු මගපෙන්වීම් හා යාත්‍රණ ගාස්තු වලින් නිදහස් වේ. එමෙන්ම ශ්‍රී ලංකාවට ගොඩබසින හෝ වරායන්ට ඇතුලුවන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුවන හෝ එය සඳහා පූර්ණකාලීනව යොදවා ඇති ගුවන්යානා, නෞකා හා යාත්‍රා, ඒවා තුලට ඇතුලුවී සිදුකරන කිසිදු පරීක්ෂාවකට (boarding & inspection) බඳුන් කිරීමේ අවශ්‍යතා වලින් නිදහස් විය යුතු බවට යෝජනා කෙරේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලංකා රජය විසින් සපයන සේවා සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා  එවැනි සේවා සඳහා ලංකා රජයට ගෙවන ගාස්තු වලට නොවැඩි ගාස්තු ගෙවීමට සූදානමින් සිටී.

(6)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ලංකාව තුලින් ලබාගන්නා උපකරණ, සැපයුම්, සේවා හා ඉදිකිරීම් සඳහා කිසිදු කොන්දීසියකට හෝ පාලනයකට යටත් නොවී එහි කැමත්ත පරිදි සමාගම්, කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් හා සේවක සේවිකාවන් තෝරා ගැනීමට හා ඔවුන්ගෙන් භාණ්ඩ/සේවා  ලබාගැනීමට අවසර ලැබෙනු ඇත. එවැනි කොන්ත්‍රාත්තුවලට ආරාධනා කිරීම, ගිවිසුම් 

ගතවීම හා ඒවා පරිපාලනය එක්සත් ජනපද රජයේ නීති රෙකුලාසි වලට යටත්ව සිදුවනු ඇත. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව කෙලින්ම හෝ සිය නියෝජිතයින් හරහා ලංකාවෙන් ලබාගන්නා භාණ්ඩ, සේවා හා ඉදිකිරීම්, බදු හා සියලුම රජයේ ගාස්තුවලින් නිදහස් විය යුතු බවට යෝජනා කෙරේ.

(7)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් විවිධ භාණ්ඩ හා සේවාවන් සපයන කොන්ත්‍රාත් සමාගම් විසින්, එම භාණ්ඩ හා සේවා සැපයිම සඳහා ලංකාවට ආනයනය කරන, ලංකාවෙන් අපනයනය කරන, රටතුල නිෂ්පාදනය කරන හෝ රටතුලින් ලබාගන්නා භාණ්ඩ, සේවා, තාක්ෂණය, පුහුණුව, අමතර කොටස් හා සැපයුම් ආදී සියල්ලම, මෙම ගිවිසුම් ප්‍රකාරව සියලු බදු, ගාස්තු, තක්සේරුවලින් නිදහස් විය යුතු බවට යෝජනා කෙරේ. 

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ගිවිසුම්ගත පාර්ශවයන් විසින් සිදුකෙරෙන ආනයන, අපනයන සඳහා ගෙවිය යුතු බදු, රේගු ගාස්තු, වරාය ගාස්තු, තක්සේරු වටිනාකම් අනුව සිදුකල යුතු ගෙවීම්, බලපත්‍ර ලබාගැනීම් හා සීමා හා පාලනයන් ගෙන සම්පූර්ණයෙන්ම නිදහස් විය යුතුබවට යෝජනා කෙරේ.

(8)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් සමාගම් වල සේවක සේවිකාවන්ටද, එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා මණ්ඩලවල සාමාජිකයින්ට ලැබෙන රියැදුරු බලපත්‍ර හා වෘත්තීයමය කටයුතු සඳහා අදාලවන බලපත්‍ර වලට ලැබෙන සහනයම ලැබිය යුතුයයි යෝජනා කෙරේ.

(9)
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා මණ්ඩලවල සාමාජිකයින්ට රට තුල නිදහසේ සැරිසැරීමේ, කටයුතු කිරීමේ අවසරය, ප්‍රවාහන, ගබඩා, පුහුණු පහසුකම් හා වෙනත් යටිතල පහසුකම් භාවිතා කිරීමේ අවසරය අන්‍යෝන්‍ය එකඟතාවය මත ලැබිය යුතු යයි යෝජනා කෙරේ.

(10)
එක්සත් ජනපද හමුදාවලට ලංකාවේ විදුලි සංදේශ සංඛ්‍යාත භාවිතා කිරීමේ අවසරය ලබාදිය යුතුබවට ලංකා රජයට යෝජනා කෙරේ. එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලංකාව තුල ඔවුන්ගේ විදුලි සංදේශ උපකරණ ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදීම යොජනා කෙරේ. මේ අවසරය, රටතුල ක්‍රියාත්මක කරවන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සතු විදුලි සංදේශ පද්ධති පූර්ණ සක්‍රියතාවයෙන් ක්‍රියාත්මක කිරීමේ අවසරයක් විය යුතු බවටද යෝජනා කෙරේ.

(11)
මෙම ගිවිසුමෙන් ආවරණය වන නිළ රාජකාරිවලට අදාල ක්‍රියාකාරකම් සිදුකිරීමේදී දෙපාර්ශවයටම (ලංකා රජය හා ඇමරිකානු රජය) සිදුවිය හැකි දේපොල හානි, අස්ථානගත වීම්, විනාශවීම්, තුවාල ලැබීම් හා දෙපාර්ශවයේම හමුදාමය හා සිවිල් සේවකයින් මරණයට පත්වීම් වලදී ඒ සඳහා වන්දි ඉල්ලීමේ අවස්ථාවන් ශුන්‍ය කලයුතු බවට යෝජනා කෙරේ. එක්සත් ජනපද පුරවැසියන් (සිවිල් හා හමුදා) සිදුකරන ක්‍රියාකාරකම් වලදී තෙවැනි පාර්ශවල වලට සිදුවන හානි සඳහා වන්දි ගෙවීම් එක්සත් ජනපද රජය විසින්, එක්සත් ජනපදයේ නීතිමය ප්‍රතිපාදන වලට අනුකූලව සිදුකල යුතු බවටද යෝජනා කෙරේ.

(12)
මෙම ගිවිසුම බලාත්මක වීමෙන් පසු, 1995 මැයි 16 වැනිදා බලාත්මකවූ එක්සත් ජනපද හමුදා හා සිවිල් සේවක මණ්ඩලවල නිල කටයුතු ආවරණය කරන ගිවිසුම අහෝසීවී යනු ඇති අතර දැනට නිල රාජකාරි හා පුහුණු කටයුතු සඳහා ලංකාව තුල රැඳී සිටින එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පිලිබඳ කටයුතු මෙම ගිවිසුමෙන් ආරවණය වනු ඇති බවට යෝජනා කෙරේ.

(13)
අප දෙරට රජයන්ට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට මෙම ගිවිසුමේ වගන්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී එකඟතාවයන්ට එළබීමේ හැකියාව ලබාදිය යුතු බවට යෝජනා කෙරේ.

(14)
මෙම ගිවිසුමේ යෝජනා ශ්‍රී ලංකා රජය පිලිගන්නේ නම්, ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබඳව ඔවුන්ගේ පිලිතුරු හා නිරීක්ෂණයන් ඇතුලු ප්‍රතිචාරය හා මේ ගිවිසුම් යෝජනාවලිය එක්ව ගෙන, අප රජයන් දෙක අතර ඇති කරගත් නිළ ගිවිසුමක් ලෙස පිලිගන්නා බවට ඉල්ලීමක් සිදුකරයි. ගිවිසුම් ගත දිනය ලෙස අමාත්‍යාංශයෙන් පිලිතුරු ලැබුණු දිනය සළකනු ලැබේ.

(15)
මෙම ගිවිසුම් යොජනාවලිය සඳහා ඉහලම ප්‍රමුඛත්වය දෙනු ඇතයිද ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විශ්වාසය  පලකරයි.
  • End - 

Link to Sunday Times SOFA Draft Agreement : 


Comments

Post a Comment