ECONOMICS: 1996-1998 Asian Financial Crisis | තායිලන්තයේ ලක්ෂ ගණන් ජනතාව යාචකයින් කල 1996-1998 ආසියානු මහා ආර්ථික අර්බුධය

 


මෙම ලිපියේ සාරාංශය

ලංකාවේ අපිට එතරම් අවබෝධයක් නොතිබුණාට, මහා ආර්ථික කඩාවැටීම් ලෝකයේ බොහෝ රටවල්වල සිදුවී තිබෙනවා. 1996-1999දී ආසියාවේ දියුණුම රටවල්වලත් එවැනි ආර්ථික කඩාවැටීමක් හෙවත් ඉකොනොමික් ක්‍රයිසිස් එකක් සිදුවුනා. මේ එයින් දරුණුවටම බැටකාපු තායිලන්තයට සිදුවුනු දේ ගැන විස්තරයක්.

1996-97 තායි ආර්ථිකය දරුණු කඩාවැටීමකට බඳුන්වුනා

> තායි භාට් මුදල් ඒකකය ඩොලරට සාපේක්ෂව 50%කින් කඩා වැටුන අතර තායි මහ බැංකුව භාට් මුදල පාවෙන්නට හැරියා

> තායිලන්තය දරුණු ඩොලර් හා වෙනත් විදෙස් මුදල් හිඟයකට මුහුණ පාන්නට පටන් ගත්තා. විදෙස් ආයෝජකයින් සිය ආයෝජන ඉවත්කර ගත් අතර, තායි භාට් මුදල කඩා වැටීම නිසා අපනයනකරුවන් සිය ඩොලර් තායිලන්තයට නොයවා වෙනත් රටවල රඳවා තැබුවා

> ලක්ෂ ගණනකට රැකියා අහිමිවූ අතර තායිලන්තයේ සේවය කල විදෙස් ශ්‍රමිකයින් 600,000කටද රැකියා අහිමිවුනා

> තායි සමාගම් විශාල ලෙස වැසී ගිය අතර ජාතික විරැකියාව 20%කට අධික වුනා

> කෙසේ වෙතත් IMF ආධාර හා ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම් නිසා 2001 වනවිට තායි ආර්ථිකය යලිත් වර්ධනය වන්නට පටන් ගත්තා.

1996දී ලංකාව - Sri Lanka was in final stages of Eelam War IV

අවසන් ඊලාම් යුද්ධයේ දරුණු සටන් ආරම්භවීම, රට පුරා බෝම්බ පිපිරීම් සිදුවීම, කොටි සංවිධානයේ ගුවන් යානා කොළඹ ආක්‍රමණය කිරීම ආදී සිදුවීම් නිසා ලංකාව තුල දැඩි ආර්ථික පීඩනයක් මෙන්ම සමාජය වෙළාගත් අවිනිශ්චිත බවක් තිබූ අතර ඒ නිසාම මෙම මූල්‍ය අර්බුධයේ බලපෑම ලංකාවට එතරම් දැනුනේ නෑ. ඒ වනවිටත් ලංකාවේ උද්ධමනය ඉතාමත් ඉහල ගොස් ආර්ථිකය දැඩි පසුබෑමකට බඳුන්වී තිබුණා. ඒ අනුව අලුතෙන් කඩාවැටෙන්නට යමක් ලංකා ආර්ථිකයේ එවකට නොතිබුණා යයි තර්ක කරන්නට පුලුවන්.

Asian Tiger Economies Crash

එහෙත් අග්නිදිග ආසියාවේ අධික වේගයෙන් සංවර්ධනය වෙමින් තිබූ ආසියාතික ව්‍යාග්‍ර ආර්ථිකයන්ට (Asian Tiger Economies) 1996-1998 මහා ආර්ථික ව්‍යසනයක් ගෙන ආවා. එය අද ලංකාවේ අප අත්විඳින ලක් ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුධයට වඩා දරුණු ලෙස එම රටවල්වල සමාජයන් තුලට කාවැදුනු බව මූලාශ්‍රවලින් හෙලිවෙනවා.

එහෙත් 1996දී තායිලන්තයේ ජාතික මුදල් වර්ගය වූ භාට් (Thai Bhat) ඩොලරයට සාපේක්ෂව දරුණු ලෙස කඩාවැටීමෙන් ඇරඹුනු ආසියානු මූල්‍ය අර්බුධය එම කලාපයේ දකුණු කොරියාව, ඉන්දුනීසියාව, ෆිලිපීනය ඇතුලු රටවල් වල වේගයෙන් වයාප්ත වුනා. 

දැන් අපි එක් එක් අග්නිදිග ආසියාතික රටවල්වල අර්බුධය ව්‍යාප්තවූ හැටි සොයා බලමු

Asian Tiger Thailand

1985 සිට තායිලන්ත ආර්ථිකය ලොව වේගවත්ම වර්ධනය වාර්තා කලා. වසර 10ක සාමාන්‍යය 9%ක් වූ මේ වර්ධනයට සමානවුනේ චීනයේ ආර්ථික වර්ධන වේගය පමණයි. ඒ අනුව තායිලන්තය ආසියාවේ ආස්චර්යමත් ව්‍යාග්‍ර ආර්ථිකයක් ලෙස ආර්ථික විද්‍යාඥයින් හඳුන්වන්නට පටන්ගත්තා.


ආර්ථික වර්ධනය ඉහලම අගයකින් රඳවා ගන්නා අතරම, ආර්ථික වර්ධනය ඉහල යනවිට දකින්නට ලැබෙන ඉහල උද්ධමනය පාලනය කර ගන්නටද තායි රජයට හැකිවී තිබුනා. 1985-1996 කාලයේ උද්ධමනය 3.4% – 5.7% වැනි ප්‍රශස්ත මට්ටමක පවත්වාගෙන යාමට තායි මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය සමත්වීම එරට මූල්‍ය කළමණාකරණය ඉතාමත් හොඳින් සිදුවන බවට ලැබෙන නිශ්චිත ඉඟියක් බව IMF, World Bank වැනි ගෝලීය මූල්‍ය ආයතන පවා විශ්වාස කලා.

එමෙන්ම තායි මහ බැංකුව තායි භාට් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට 1:25 අනුපාතයට (1 USD = 25 Bhat) බැඳ තබා (pegged) තිබුණා. ඒ අනුව අනවශ්‍ය ලෙස භාට් මුදල අවප්‍රමාණවී ආනයන වියදම් ඉහල යාම හා උද්ධමනය ඉහල යාම පාලනය කර ගත හැකි වුනා. අපනයන වේගයෙන් ඉහල යාම නිසා භාට් හා ඩොලරය අතර මෙම 1:25 බැඳීම පවත්වාගෙන යාමට අවශ්‍ය ඩොලර් සංචිත තායිලන්තය සතුව තිබුණා.

කෙසේ වෙතත් 1996 වනවිට තායිලන්තයේ මූල්‍ය ස්ථාවරත්වය පිලිබඳව ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවට සැක මතුවෙමින් තිබුණා. තායි වාණිජ බැංකු ඉතාමත් ලිහිල් කොන්දේසි යටතේ, නිසි වටිනාකම් සහිත ඇපකර නොමැතිව කෝටිපති තායි ව්‍යාපාරිකයින්ට අතිවිශාල ණය මුදල් ලබාදී ඇති බවට වාර්තා ලැබෙමින් පැවතුනා. මෙම ණය අයකරගැනීමේදී විශාල ගැටලු ඇතිවිය හැකි බවටත්, ඒ අනුව තායි බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පිලිබඳව සැක මතුවෙන බවටත් විදෙස් මූල්‍ය විශ්ලේෂකයින් අණතුරු අඟවමින් සිටියා.

1997 වනවිට තායි බැංකු පද්ධතියේ අස්ථාවර භාවයේ සළකුණු වැඩිවෙමින් තිබූ අතර තායි භාට් මුදල් ඒකකය ඉතා නුදුරේදී කඩාවැටෙන බවට ලොව විදෙස් මුදල් ගණුදෙනුකරුවන් (global currency traders) අනුමාන කලා. ඒ අනුව විදෙස් ආයෝජකයින් තායිලන්තයේ බැංකු පද්ධතියේ රඳවාගෙන තිබූ සිය ඩොලර් හා වෙනත් විදෙස් සංචිත ඉක්මණින් ඉවත්කර ගනිමින් සිටියා. එමෙන්ම ඔවුන් තායි භාට් මුදල කඩාවැටේවිය යන අනුමානයෙන් සිය මුදල් හුවමාරු සැලසුම් කරමින් සිටියා.

මේ අතර ජෝජ් සෝරෝස් වැනි ප්‍රකෝටිපති ජාත්‍යන්තර විදෙස් මුදල් ගණුදෙනු කරුවන් තායි භාට් මුදල් ඒකකය කඩා වට්ටවා අනිසි ලාභ ලැබීමට විවිධ කුමණ්ත්‍රණ සිදුකල බවට තායි රජය චෝදනා කලා.

Crash of Thai Bhat

1997 ජූනි 30 වැනිදා තායි අගමැතිවරයා ජෝජ් සෝරෝස් වැනි ජාවාරම් කරුවන් කුමක් සිදුකලද තමන් තායි භාට් හා ඩොලරය අතර 1:25 විනිමය අනුපාතය වෙනස් නොකරන බවටත්, භාට් මුදල් ඒකකය පාවෙන්නට නොදෙන බවටත් ප්‍රතිඥා දුන්නා. කෙසේ වෙතත් ඩොලරය හා භාට් අතර 1:25 විනිමය අනුපාතය ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය ඩොලර් ඒ වනවිට තායි මහබැංකුව සතුවුනේ නෑ. 1996 සිටම තායි භාට් මුදල හා තායි බැංකු කඩාවැටේය යනු අනුමානයෙන් ආයෝජකයින් විශාල ලෙස සිය ඩොලර් තායිලන්තයෙන් ඉවත් කරගනිමින් සිටි අතර තායි අපනයන කරුවන් සිය ඩොලර් වෙනත් රටවල තැම්පත් කලා මිස ඒවා තායිලන්තයට ගෙන ආවේ නෑ.

1997 ජූලි 2වැනිදා වනවිට තායි භාට් මුදල තවදුරටත් ආරක්ෂාකල නොහැකි බව නිළ වශයෙන් පිලිගැනීමට තායිලන්ත මහ බැංකුවට සිදුවුනා. ඒ අනුව තායි භාට් මුදල් ඒකකය ඩොලරයට හා වෙනත් විදෙස් මුදල්වලට සාපේක්ෂව බරපතල ලෙස කඩාවැටෙන්නට පටන් ගත්තා.

තායි භාට් මුදල් ඒකක 50%ක් වැනි අතිවිශාල ප්‍රමාණයකින් කඩා වැටන්නට දින කිහිපයකට වඩා ගත නොවූ අතර අධික වේගයෙන් වර්ධනය් වෙමින් තිබූ තායි ආර්ථිකයේ කඩා වැටීම ඇරඹුනා.

Massive job losses as Thai economy imploded

ගම්මාන වලින් තායි අගනුවර වූ බැංකොක් හා වෙනත් කාර්මික නගරවලට පැමිණ සේවය කල ලක්ෂ ගණන් තායි ජාතිකයින්ට සිය රැකියා අහිමිවී ආපසු නිවෙස් බලා යන්නට සිදුවුනා. 

ඉතා බියකරු ලෙස විරැකියාව හා දුගී බව තායිලන්තය තුල හිස ඔසවන්නට පටන් ගත්තා. තායිලන්තයේ දුප්පත්ම කලාපය වූ ඊසානදිග තායිලන්තයේ ග්‍රාමීය පෙදෙස්වල විරැකියාව 46% තරම් ඉහලට ගිය අතර ජාතික විරැකියාව 21% තරම් ඉහලට වර්ධනය වුනා.

එමෙන්ම වේගයෙන් දියුණු වන තායි ආර්ථිකයට පණ පොවන්නට විදෙස් රටවලින් පැමිණ සිටි 600,000ක් පමණ විදෙස් ශ්‍රමිකයින්ටද රැකියා අහිමිවී තායිලන්තයෙන් පිටවන්නට සිදුවුනා.

Thai Stock Market Crash

තායිලන්තයේ කොටස් වෙළඳපොල 75% කින් කඩා වැටුනු අතර තායිලන්තයේ විශාලම මූල්‍ය සමාගමවූ Finance One කඩාවැටුනා.

Recovery

1997 අගෝස්තුවේ IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තායිලන්තයට ඩොලර් බිලියන 17ක හදිසි ආධාර ලබාදුන් අතරම වේගවත් ලෙස ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරණයට ගිවිසගත්තා.

2001 වන විට අර්බුධය බොහෝ ලෙස නිමාවී තිබූ අතර තායිලන්ත ආර්ථිකය යලිත් ප්‍රසාරණය වෙන්නට පටන් ගත්තා.



Comments