ඇමරිකන් ඩ්‍රෝන යානාවලින් හැංගෙන්නේ මෙහෙමයි! අල්ඛයිඩාව සිය සටන්කාමීන්ට උපදෙස් පත්‍රිකාවක් බෙදා හරියි!

අල්ඛයිඩා වෙබ් අඩවි මගින් බෙදාහරින අයිතම 22කින් සමන්විත ඩ්‍රෝනයානාවලින් සැඟවීමේ උපදෙස් සහිත පත්‍රිකාව.
වසර 2000 සිටම අමෙරිකන් හමුදා ඉස්ලාමීය සටන්කාමීන් විනාශකිරීමට සන්නද්ධ ඩ්‍රෝනයානා යොදාගන්නා ලදී. ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගිය පලමු අල් ඛයිඩා නායකයා වනුයේ යේමනයේ අල් ඛයිඩා නායක ක්වඊඩ් සලීම් සිනාන් අල් හාති නැමැත්තාය . ඒ 2002 වසරේදීය. එතැන් පටන් අමෙරිකානු ඩ්‍රෝන යුද්ධය නොකඩවා සිදු කෙරුනු අතර 2009 වසරේ සිට ඇෆ්ඝන් යුද්ධයේ වැඩි බර ඩ්‍රෝන යානාවලින් ගෙනයනු ලැබීය.

අල්ඛයිඩා සටන්කාමීන්ට හා ඔවුන්ගේ අනුබද්ධ සංවිධානවල නායකයින් සියගණනක් අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරවලට ගොදුරුවී ඇති අතර මෙම ප්‍රහාරවලින් හෙම්බත්වී සිටින අල්ඛයිඩා-තලේබාන්-මුජහිඩීන් සටන්කාමීන් හට යම් ඉස්පාසුවක් ලබාගත හැකි යමක් මේ දිනවල අල්ඛයිඩා වෙබ් අඩවි හරහා බෙදා හරිමින් තිබේ. යේමනෙයේ අල්ඛයිඩා නායකයකු විසින් රචිත බවට ප්‍රචලිත මෙය, අල්ඛයිඩා-තලේබාන්-මුජහිඩීන් සටන්කාමීන් හට අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ශාවන අන්දම හා ඩ්‍රෝන යානාවල සංවේදක රවටන උපක්‍රම වල විස්තර ඇතුලත් උපදෙස් මාලාවකි.
2012 අගෝස්තු 31 ගන්නා ලද මෙම ඡායාරූපය අල්ඛයිඩා සටන්කාමීන් මාලීහි ටිම්බුක්ටු නගරයේ අණසක පතුරුවන ආකාරය පෙන්වනවා.
අයිතම 22කට ගොනුකොට ඇති මේ උපදෙස් මාලාව 2011 වසරේ රචිත බව පැවසුනත් මුල් වරට එහි පිටපතක් බටහිර මාධ්‍යවලට ලැබී ඇත්තේ මේ නොබොදා මාලී දේශයෙනි. මාලී දේශය මේ වන විට අඛයිඩා අන්තවාදී සටන්කාමී කණ්ඩායම් ආක්‍රමණය කරමින් පවතින අතර ප්‍රංශ ගුවන්හමුදාව හා විශේෂ බළකා සේනාංක මාලී දේශයෙන් අල්ඛයිඩා සටන්කාමීන් පලවා හැරීම සඳහා මාලී නිළ යුධ හමුදාවේ සහයට පැමිණ  තිබෙනවා. මුලින් විශාල ජයග්‍රහණ අත්පත් කරගනිමින් වේගයෙන් ඉදිරියට ගිය අල්ඛයිඩා සටන්කාමීන් මේ වනවිට ප්‍රංශ ගුවන් ප්‍රහාර හා විශේෂ බලකා ප්‍රහාර හමුවේ පසුබසිමින් සිටිනවා. මෙම උපදෙස් මාලාව මාලීහි අල්ඛයිඩා සටන්කාමීන් අතහැර පලාගිය ටිම්බුක්ටු නගරයේ ඔවුන් මූලස්ථානය ලෙස භාවිත කර තිබුණු ගොඩනැගිල්ලක තිබී ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාවේ වාර්තාකරුවෙකුට හමුවූ බව පැවසෙනවා.
ප්‍රංශ මිරාජ් ප්‍රහාරක යානා මාලී අගනුවර බමාකෝ ගුවන් තොටුපලින් මෙහෙයුමක් සඳහා පිටත්වන්නට සූදානම් වෙමින්
අල්ඛයිඩාව හා සම්බන්ධ වෙබ් අඩවියකින් බාගත කරගෙන ඡායාපිටපත් කොට තිබූ මෙම උපදෙස්මාලාව අරාබි භාශාවෙන් ලියැවී ඇති අතර ප්‍රංශ හමුදාවේ ඔත්තු බලන ඩ්‍රෝනයානා වලින් ආරක්ශාවීම සඳහා මෙම උපදෙස් මාලාව මාලී හි සටන්කාමීන් අතර බෙදා හරින්නට ඇතැයි පැවසෙනවා.

මෙම උපදෙස්මාලාව පිලිබඳව අදහස් පලකරන අමෙරිකානු ගුවන්හමුදාවේ කර්නල් සෙඩ්‍රික් ලෙයිටන්, මෙම උපදෙස් මාලාව ඉතා ප්‍රායෝගික, සමහර අවස්ථාවලදී ඉතා සාර්ථක ප්‍රථිපල ලබාදිය හැකි සරල උපදෙස් මාලාවක් බව පවසන අතර ඩ්‍රෝනය යානා මගින් ඇති කර තිබෙන තර්ජනය පිලිබඳව අල්ඛයිඩා බුද්ධිමතුන් 2010-2011 කාළවකවානුවේ දී පවා ඉතා ගැඹුරින් අධ්‍යයනය කොට තිබෙන බව මෙම උපදෙස්මාලාවෙන් තහවුරුවන බව පවසනවා.

ඇමරිකාව ඩ්‍රෝන යුද්ධයකට අවතීර්ණවීම පිලිබඳව ඉතා විචක්ශණ පසුබිම් විස්තරයක්ද සමන්විත මෙම උපදෙස් මාළාවේ ඉංග්‍රීසී පරිවර්තනයේ සම්පූර්ණ සිංහල අනුවාදයක් පහත පලකොට තිබෙනවා.


පසුබිම
--------
ඇමරිකාව යේමනයේ මුජහිඩීන් හමුදාවලට විරුද්ධ ප්‍රහාර මින් ඉදිරියට ඩ්‍රෝන යානා මගින් කරනු ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් මෑතකදී කරන ලද හෙළිදරව්වකින් මෙය තහවුරු වී ඇති අතර මින් ඉදිරියට සී.අයි.ඒ සංවිධානය විසින් යේමනයේ අමෙරිකන් ඩ්‍රෝන යුද්ධය මෙහෙයවන අතර ඒ සඳහා ආසන්න රටක රහසිගත කඳවුරක් ඔවුන් විසින් පිහිටුවාගෙන ඇත. මෙබැවින් මෙම උපායමාර්ගය පිලිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීම මුජහිඩීන් සටන්කාමීන් හට ඉතා වැදගත් අතර එම උපායමාර්ගය පැරැදවීමේ උපක්‍රම පිලිබඳවද දැනුවත්ව සිටීම ඉතා වැදගතය.
මුලින්ම අමෙරිකාවේ මේ ඩ්‍රෝන යුද්ධයට අවතිර්ණවීමට හේතුව අවබෝධ කරගත යුතුය. ඔවුන් එසේ කර ඇත්තේ මේ අවස්ථාවේ මුජහිඩීන් වරුන්ට විරුද්ධව සටන මෙහෙයවීමට හොඳම උපායමාර්ගය ඩ්‍රෝන යානා වීමය. එසේත් නොමැතිව අමෙරිකාව සතුව ප්‍රහාරක ජෙට් යානාවල හිඟයක් හෝ පාබල හමුදාවල හිඟයක් ඇතැයි වරදවා වටහාගත යුතු නැත.අමරිකානුවන්  මුජහිඩීන්/අල්ඛයිඩා සටන්කාමීන්ට විරුද්ධ යුද්ධයට අවතීර්ණව දැන් වසර 10ක් ගතවී ඇති අතර මේ අනුව ඔවුනට තවදුරටත් මෙම යුද්ධය සඳහා විශාල ලෙස මුදල් පොම්ප කිරීමේ හැකියාවක් නැත. එපමණක් නොව අමෙරිකානු භටයින් විශාල සංඛ‍යාවක් මියයාමද අමෙරිකානු යුධ සැළසුම්කරුවනට විශාල ගැටළුවක් වී ඇත. අමෙරිකානු ජනතාව සිය සෙබළුන් විශාල වශයෙන් මිය යන විට එයට දැඩි ප්‍රතිරෝධයක් දක්වන අතර ඒ අනුව හා කොන්ග්‍රස් මණ්ඩලය මෙම යුද්ධයෙන් අමෙරිකාව නම්බුකාර අන්දමින් ඉවත්කර ගැනීමේ සැලැස්මක් යෙදවීම සඳහා යුධ සැළසුම්කරුවනට බලකරමින් සිටී. 
එහෙත් එයින් අදහස් කරන්නේ අමෙරිකානුවන් සටන අතහැර ඇති බවක් නොවේ. අමෙරිකානුවන් අති විශාල මුදල් සම්භාරයක් වියදම් නොකොට, අමෙරිකානු ජීවිත අණතුරේ නොදමා සටන ගෙනයාමේ හැකියාවක් සොයාබලමින් සිටියා පමණකි. අප සටන්කාමීන්ට විරුද්ධව ඩ්‍රෝන යුද්ධයක් මෙහෙයවීමේ තීරණයට අමෙරිකානුවන් එලඹෙන්නේ මේ පසුබිම තුලයි.ඩ්‍රෝන යානා නියමුවන් රහිතව ක්‍රියාත්මක වන අතර ඒවායේ මෙහෙයුම් සඳහා යන වියදම ප්‍රහාරක ජෙට්යානාවක් මෙවැනි මෙහෙයුමකට යොදවන්නට යන වියදමින් අල්පයක් පමණකි.එමෙන්ම එම යානා කඩාවැටුන විට නියමුවන් අපගේ ග්‍රහණයට නතුවීමේ අවදානමක් නැති අතර ඒ අනුව අමෙරිකානු සැළසුම් කරුවන්ට අමෙරිකානු යුධ සිරකරුවන් නිසා ඇතිවන මහජන පීඩනයෙන් ගැළවී සිටීමේ මගක් පෑදී ඇත. අතීතයේදී අමෙරිකාව බොහෝ යුද්ධවලින් ඉවත්වන්නට හේතුව අමෙරිකානු සෙබලුන් මිය යනවිට අමෙරිකානු ජනතාව වීදි බැස සිය පුතුන් ආපසු ගෙන්වාගන්නා ලෙස අමෙරිකානු රජයට බලකිරීමයි. 
ඩ්‍රෝන යානා යෙදවීමේදී මේ ගැටලු කිසිවක් ඇති නොවේ.වියදම අතින් බලන කල එක් අමෙරිකානු F15 ඊගල් ප්‍රහාරක යානයකට යන වියදමින් ඩ්‍රෝන යානා 1000ක් නිපදවාගත හැකිය. (*** සැ:යු: මෙය එතරම් නිවැරදි ගණන් බැලීමක් නොවේ). මෙහෙයුම් වියදම් සලකන විට එක් අමෙරිකානු ජෙට් යානාවක් සඳහා යන ඉන්ධන වියදමෙන් ඩ්‍රෝන යානා පියාසැරි 200ක් සිදුකල හැකිය. අමෙරිකානු ගුවන් හමුදා පුහුණුවීම් වියදම් හා කාළය දෙස බලන විට එක් ජෙට් නියමුවෙකු පුහුණු කිරීමට වසර කිහිපයක් ගතවන අතර ඩොලර් මිලියනයකට අධික බරපැනක් දැරිය යුතුය. ඩ්‍රෝන යානයක් පැදවීමට පුහුණු කිරීමට යන්නේ ඉතා සුලු මුදලක් වන අතර මාස තුනක කාලයකින් නියමුවෙකු පුහුණු කල හැකිය. මේ අනුව ඩ්‍රෝනයානා ආධාරකොට ගෙන අමෙරිකානුවන් දීර්ඝකාලීන යුද්ධයකට සූදානම් වී සිටී.පාකිස්ථානයේ වසිරිස්ථානයේදී ඩ්‍රෝන යානා යොදවා අමෙරිකානුවන් සාර්ථක ප්‍රථිපල නෙලාගෙන ඇති අතර දැන් ඔවුන් ඩ්‍රෝන යුද්ධය යේමනය වෙත ගෙනවිත් ඇත. මේ අනුව මෙම ඩ්‍රෝන යානාවලින් සැඟවෙන උපක්‍රමත් ඒවායේ සංවේදක රවටන ආකාරයත් හැදෑරීම වැදගත් වේ. ඒ සඳහා යොදාගත හැකි උපක්‍රම ලයිස්තුවක් පහතින් දක්වා ඇත.
1) ඩ්‍රෝන යානයක මෙහෙයුම් ඉලක්ක පිලිබඳව දැනුවත්වීම සඳහා එම යානයෙන් විකාශණය කරන වීඩියෝ සංඥා පරික්ශා කිරීම සිදුකල යුතුය. මේ සඳහා රුසියානු මෘදුකාංගයක් වන "ස්කයි ග්‍රැබර්" මෘදුකාංගය භාවිතාකල හැක. ඩොලර් 2500ක පමණ සුළු මුදලකට ලබාගත හැකි මෙම මෘදුකාංගය මගින් ප්‍රිඩේටර් වැනි ඩ්‍රෝනය යානාවලින් විකාශණය කරන අසංකූල (unscrambled) වීඩියෝ සංඥා පහසුවෙන් ග්‍රහණය කරගත හැකිය. (*** සටහන: ඉරාකයේ හා ඇෆ්ඝනිස්ථානයේ අල්ඛයිඩා සටන්කාමීන් 2009 තරම් ඈත කාලයේ සිට මෙලෙස ඩ්‍රෝන යානාවල වීඩියෝ සංඥා බාගතකිරීම සිදුකොට ඇත. ඩ්‍රෝන යානාවල වීඩියෝ සංඥා අසංකූලිත ආකාරයට විකාශය කරන්නේ සජීවී වීඩියෝ විකාශයන් සජීවීව විකාශණය කරමින්ම සංකූලිත කිරීම සඳහා අවශ්‍ය බලසම්පන්න පරිගණක යානය තුල ගෙනයා නොහැකි බැවිනි )
2) රේඩියෝ සංඥා නිකුත්කරන සම්ප්‍රේශණ යන්ත්‍ර මගින් ඩ්‍රෝන යානාවල පාලන සංඥා අවුල්කොට දැමිය හැකිය. මේ සඳහා රුසියාවේ නිශ්පාදිත රේඩියෝ ට්‍රාන්ස්මීටර් උපයෝගීකර ගනිමින් සාර්ථක ප්‍රථිපල නෙලාගෙන ඇත. පැරණි රේඩියෝ සම්ප්‍රේශණ උපකරණ අධි බලයෙන් පැය 24 පුරාවටම ක්‍රියාත්මක කිරීමෙන්ද ඩ්‍රෝන රේඩියෝ පණිවුඩ ව්‍යාකූල කල හැකිය.
3) වාහන මත හා ගොඩනැගිලි මත ආලෝකය පරාවර්තනය කරන ෆොයිල් ඇතිරීමෙන් ඩ්‍රෝන කැමරා රැවටිය හැකි බව සොයාගෙන තිබේ.
4) පහතින් පියාසර කරන ඔත්තුබලන ඩ්‍රෝන යානා ස්නයිපර් රයිෆල මගින් වෙඩිතබා බිම්හෙලිය හැකිය. මේ සඳහා දක්ශ වෙඩික්කරුවෙකුගේ සේවය අවශ්‍යය.
5) සාමාන්‍ය ජෙනරේටරයකට අඩි 30ක් පමණ දිග තඹ බටයක් සවිකොට කෙලින් සිටුවා විදුලිය යෙදීමෙන් ඩ්‍රෝනවල රේඩියෝ සංඥා ව්‍යාකූල කල හැකිය.
6) බෝලකන් යුද්ධයේදී සර්බියන් හමුදා නේටෝ රේඩියෝ තරංග හඹායන මිසයිල නොමග යැවීම සඳහා මයික්‍රෝවේව් උදුන් උඩු විශාල ප්‍රමාණයක් උඩු අතට තබා දොරවල් විවර කොට ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගෙන ඇත. මුජාහිඩීන් වරුන්හටද මෙවැනි සරල උපක්‍රම අත්හදාබැලිය හැකිය. (**** සටහන: රේඩියෝ තරංග මූලාශ්‍ර හඹා යන මිසයිල, රේඩාර් පද්ධති විනාශ කිරීම සඳහා යොදා ගැනේ. රේඩාර් වලින් නිකුත්වන මයික්‍රෝවේව් තරංග මයික්‍රෝවේව් උදුන් වලින් ආහාර පිසීමේදී නිකුත් කරන මයික්‍රෝවේව් තරංග වලට සමාන අතර සර්බියානුවන් මෙම දැනුම නේටෝ මිසයිල රැවටීම සඳහා යොදාගන්නා ලදී..)
7) කිසිවිටකත් මූලස්ථානයක් වැනි සටන්කාමීන් එක් රැස් වන ස්ථාන පවත්වාගත නොයුතුය. හැකි සෑම විටම විසිරී සිටීම වැදගත්ය.
8) ඩ්‍රෝන යානා හඳුනා ගැනීම සඳහා අහස නිරීක්ශණය කරන කණ්ඩායම් යෙදැවිය යුතු අතර, ඩ්‍රෝන යානා දර්ශණය වන ප්‍රදේශවල සියලු ක්‍රියාකාරකම් නැවැත්විය යුතුය.
9) හැකි සෑම විටම සැඟවී ක්‍රියාත්මක විය යුතුය. විශේෂයෙන් රාත්‍රී කාලයේ ප්‍රවේශම් විය යුත්තේ ඩ්‍රෝන යානාවලට රාත්‍රී කාලයේ පෙනීම ලැබෙන කැමරා හා සංවේදක ඇති බැවිනි.
10) ඩ්‍රෝන යානාවලින් සැඟවීමේ පහසුම මග විශාල ගස් සෙවනේ සිටීමයි. (**** සටහන: මාලී දේශයේ අල්ඛයිඩා සටන්කාමීන් පසුබැස ගිය ප්‍රදේශවල ජනයා පවසන අන්දමට අල්ඛයිඩා සටන්කාමීන් සෑම විටම සිය වාහන විශාල ගස් යට නවත්වා ඇති බව වාර්තාවේ. එමෙන්ම සටන්කාමීන්ගේ එක් රැස්වීම් සඳහාද විශාල ගස් වලින් ආවරණය වූ නිවාස යොදාගෙන ඇත. ඒ අනුව මාලී අල්ඛයිඩා සාමාජිකයින් මෙම උපදෙස් මාලාව අකුරටම ක්‍රියාත්මක කොට ඇති බව පෙනේ යයි ප්‍රංශ හමුදා පවසයි )
11) ගොඩනැගිලිවල සෙවන වැටී ඇති අඳුරු ස්ථානවල සිටීමෙන්ද ඩ්‍රෝන කැමරාවලින් සැඟවී සිටිය හැකිය.
12) ඩ්‍රෝන යානාවලට රේඩියෝ පණිවුඩ හුවමාරුවලට සවන්දිය හැකි බැවින් සෑම විටම රේඩියෝ පණිවුඩ භාවිතා නොකොට සිටිය යුතුය.
13) සටන් පවතින අවස්ථාවලදී හා ඩ්‍රෝන යානා හඹා එන අවස්ථාවලදී වාහන වලින් ඉවත්වී සිටිය යුතුය. වාහන ඩ්‍රෝන යානාවල ප්‍රධාන ඉලක්කයකි.
14) ඩ්‍රෝන යානාවලින් ලැබෙන වීඩියෝ රූප නිරීක්ශණය කරන අමෙරිකානුවන් රැවටීම සඳහා දොරටු කිහිපයක් සහිත ගොඩනැගිලි භාවිතා කල යුතුය. කිසිවිටකත් සියලුදෙනා එකම දොරටුවකින් ඇතුලු නොවිය යුතුය.
15) ඩ්‍රෝන සංවේදක වලින් සැඟව සිටීමට භූගත බංකර භාවිතා කලයුතුය.
16) කිසිවිටකත් එලිමහනේ රැස්ව නොසිටිය යුතුය.
17) සෑම විටම අමෙරිකානුවන් හට ඔත්තු දෙන්නන් හා ඩ්‍රෝන යානාවලට ඉලක්ක දක්වන උපක්‍රම ක්‍රියාකරුවන් පිලිබඳව සෙවිල්ලෙන් සිටිය යුතුය. (***** වැඩි විස්තර සඳහා අපගේ "  සී.අයි.ඒ ඩ්‍රෝන යානා වලට ඇෆ්ඝනිස්ථානයේ හා පාකිස්ථානයේ අල් ඛයිඩා ඉලක්ක පෙන්නවන අධෝරක්ත සංවේදක"   ලිපිය කියවන්න )
18) අමරිකන් නිරීක්ශකයින් රැවටීම සඳහා එලිමහනේ පඹයින් සිටුවා තැබිය හැකිය. (**** සටහන: මෙය හාස්‍යජනක උපදෙසක් ලෙස නොසළකන්න. සැතපුමක් පමණ ඉහල අහසේ තිබෙන ඩ්‍රෝන කැමරාවලින් ලැබෙන රූප නිරීක්ශණය කරන ඩ්‍රෝන මෙහෙයුම්කරුවන් හට තමන් දකින්නේ සැබෑ ඇෆ්ඝන් සටන්කාමියෙකුද නැතහොත් තලප්පාවක් හිස තබාගත් පඹයෙකුදැයි තේරුම් ගැනීමට එක්වරම නොහැකිය. ඩ්‍රෝන කැමරාවලට කෙලින්ම පහත පමණක් පෙනන බවත්, පැත්තකින් බැලීමේ හැකියාවක් නොමැති බවත් තේරුම් ගත යුතුය. සටන්කාමීන් යයි වරදවා වටහාගෙන සාමාන්‍ය ජනයාට ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමට ප්‍රධාන හේතුවද මෙයයි.සෑහෙන වේලාවක් නිරීක්ශණය කොට හැළහොල්මනක් නොමැති බව වටහාගත් විට එය පඹයෙකු යයි වටහා ගත හැකි වුනත්, ඒ වනවිට සැබෑ සටන්කාමීන් හට සැඟවෙන්නට හෝ ප්‍රහාරයක් එල්ලකොට පලායන්නට හොඳ ඉස්පාසුවක් ලැබේ..)
19) ඩ්‍රෝන යානාවක් දර්ශණය වූ විට සෑම අතටම විසිරී යාම ඉතා වැදගත්ය. සියලු දෙන එක් අතකට යාම නොකල යුතුය.
20) විශාල ප්‍රදේශයක් පුරා ටයර පිලිස්සීමෙන් ඇතිවන දුමාරයෙන් ඩ්‍රෝන සංවේදක හා කැමරා අවහිර කල හැකිය.
21) නායකයින් මෙන්ම අමෙරිකානුවන්ගේ ඉලක්ක ලයිස්තු වල සිටින්නන් කිසිවිටකත් ජංගම දුරකථන භාවිතා නොකල යුත්තේ ඩ්‍රෝන යානාවලට එම සංඥාවලට සවන්දිය හැකියාව ඇති නිසා මෙන්ම කටහඬ මගින් ස්වයංක්‍රීය පුද්ගලයින් හඳුනාගැනීමේ පරිගණක අමෙරිකානුවන් සතු නිසාය.
-අබ්දුල්ලා බින් මොහොමද්, 2011 ජූලි 17


Comments

  1. මරු උපදෙස් ටික...
    දැං අරුං ඒකට හරියන්නත් හදයි සමහරක්විට..

    ReplyDelete
  2. අදයි සැට් වුනේ. ජය පතමි !

    ReplyDelete

Post a Comment