Palaeolithic and Mesolithic era of Sri Lanka | ශ්‍රී ලංකාවේ පූර්ව ශිලා හා මධ්‍යම ශිලා යුගයන්

ඉබ්බන්කට්ටුව පූර්ව ඓතිහාසික සුසාන සංකීර්ණය
පුරාවිද්‍යාඥ සිරාන් දැරණියගල මහතාට අනුව ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසය ඉන්දියාවේ මානව ඉතිහාසයට සමගාමීව යන අතර  මීට වසර මිලියනයකට පෙර සිටම ඉන්දියාවේ පෞරාණික මානව ක්‍රියාකාරකම් ගැන සාධක ලැබී ඇති නිසා (මිස්රා, 1995), මෙම මානවයින් ඉන්දියාව හා ලංකාව යාකරන පටු සමුද්‍ර සංධිය හරහා එම කාලයේදීම ලංකාව ජනාවාස කරන්නට ඇතැයි සිතිය හැකි බව පවසනවා (S U Deraniyagala, IUPPS - XIII Congress Proceedings, PRE & PROTOHISTROIC SETTLEMENTS IN SRI LANKA, 1996)  

වසර මිලියනයක කාල පරාසය තුල මානව ක්‍රියාකාරකම් පිලිබඳ සාධක ශ්‍රී ලංකාව තුලින් හමුවී නැතත්, ඉන්දියාව එම කාලවකවානුවේ ජනාවාස වී තිබූ බව තහවුරුවන බැවින් ශ්‍රී ලංකාව එකල ජනශූන්‍යව තිබුණා යනුවෙන් උපකල්පණය කිරීම අපහසුයි.


ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාස වංශකතාව සැමරීම සඳහා 2005දී නිකුත්කල සමරු මුද්දර.
කෙසේ වෙතත්, පුරාශිලා යුගයේ විසූ හෝමෝ ඉරෙක්ටස් මානවයා වසර 500,000 - 300,000 අතර කාළයේ ඉතිරි කොට ගිය යම් යම් සාධක ලංකාවෙන් හමුවී ඇති අතර වසර 125,000 පමණ (පූර්ව ශිලා යුගයේ මැද කාළයේ) කාළයේ සාධක විශාල ලෙස හමුවෙනවා. 

මීට අවුරුදු 125,000 ඉහත දී මෙරට ආදිතම මානව ජනාවාස පැවැති බවට සාධක බුන්දලම හා යාල සිට ඉරනමඩු හරහා විල්පත්තුව දක්වා වැටී ඇති වෙරළබඩ වැලි කඳු ආශ‍්‍රිතව කළ පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා. බූන්දල අසල පුරාවිද්‍යා බිමෙහි කල කැණීම් වලින් තිරුවාණ (quartz) ගල් ආයුධ හමුවී තිබෙනවා. මේවා නිර්මාණය කරන ලද්දේ හෝමෝ ඉරෙක්ටස් වරුන් නොව, ඊටවඩා දියුණු නූතන මානවයා විසින් බව සැළකිය හැකි නමුත් ඔවුන්ගේ හැඩරුව හා ජීවන රටා පිලිබඳව අදහසක් ගැනීමට තරම් සාධක ඉතිරිව නෑ. කෙසේවෙතත් මොවුන් වෙනත් දකුණු ආසියානු දඩයක්කාර ගෝත්‍රවලින් විශාල ලෙස වෙනස්වූවා යැයි සිතන්නට බැහැ.

දකුණු ආසියානු ඓතිහාසික යුග: විකිපීඩියා
මෙසෝලිතික (මධ්‍ය ශිලා යුගයේ) ලංකාව

මෙසෝලිතික යුගයේ දිනවකවානු ප්‍රදේශ අනුව වෙනස්වන අතර දකුණු ආසියානු මෙසෝලිතික යුගය වසර 35,000-12,000 අතර යුගය ලෙස ගෙන ඇති බව විවිධ පුරාවිද්‍යා පර්යේෂණ පත්‍රිකා පරිශීලණය කිරීමේදී පෙනේ.

American Journal of Physical Anthropology පර්යේෂණ සඟරාවට "Upper pleistocene fossil hominids from Sri Lanka" නම් පර්යේෂණ පත්‍රිකාවක් සම්පාදනය කරන ආචාර්ය සිරාන් දැරණියගල හා පර්යේෂකයින් පිරිසක් දකුණු ආසියාවෙන් හමුවූ පැරණිතම හෝමෝ සැපියන් ෆොසිල ෆාහියන් ලෙන, බටඳොඹ ලෙන හා හා බෙලි ලෙනෙන් හමුවූ ඇතිබව ප්‍රකාශ කරනවා. 


මෙයින් ෆාහියන් ලෙනෙහි ෆොසිල සාධක වසර 34,000ක් පැරණි අතර බලංගොඩ සංස්කෘතිය ලෙස හැඳින්වෙන ලංකාවට අනන්‍ය ජීවන රටාවක් ගොඩනගාගත්, බලංගොඩ මානවයා හෙවත් හෝමෝසැපියන් බලන්ගොඩන්සීස් මානවයාගේ ෆොසිල බවට තහවුරුවී තිබෙනවා. බටඳොඹ ලෙනින් වසර 28,000ක් පැරණි ෆොසිල හා බෙලි ලෙනෙන් වසර 13,000ක් පැරණි සාධකද හමුවී තිබෙනවා.

ශ‍්‍රි ලංකාෙවි අවමඟුල් චාරිත‍්‍ර ඉටුකිරිම පිළිබද පුරාවිද්‍යාත්මකව පැරණිම සාධක හමුවන්නේ මධ්‍යශිලා යුගයට අයත් බලංගොඩ මානවයන් (Homo sapians Balangodensis) ජිවත් වු බෙල්ලන්බැඳිපැලැස්ස, කුරුවිට බටදොඔලෙන, කිතුල්ගල බෙලිලෙන, රාවණාඇල්ල ගුහාව යන ස්ථානයන්ගෙන් ය. 

මළසිරුර ගුහාවෙන් ඉවතට ගෙන ගොස්, ඵහි මාංශ කොටස් දියවී යාමෙන් අනතුරුව සම්පූර්ණ සැකිල්ල හෝ තෝරාගත් විශේෂ අස්ථි කීපයක් ආපසු එම තැනැත්තා ජිවත්ව සිටි ස්ථානයට ගෙනවිත් වළක් කපා නැමුණු ඉරියවුවකින් තැන්පත් කරනු ලැබේ. 

බෙල්ලන්බැදිපැලැස්සෙන් හමුවි ඇති අවුරුදු 6,000 පැරණි මිනිවලක් පරික්ෂා කිරිමෙන් මේ බව තහවුරුවී තිබෙනවා. මීට අමතරව ගුරුගල් පාට ආලේප කරන ලද මිනිස් හිස් කබලක් රාවනා ඇල්ල ගුහාවෙන් හමුවිමෙන් පෙනියන්නේ අස්ථිවල  වර්ණ තැවරිම කිසියම් ප‍්‍රාථමික චාරිත‍්‍ර විධි ක‍්‍රමයක් වශයෙන් කරන්නට ඇති බවයි.

එපමණක් නොව බටඳොඹ ලෙන (වසර 16,000) බෙලිලෙන (වසර 13,000) බෙල්ලන් බැඳි පැලැස්ස (වසර 6500) යන ස්ථානවලින් හමුවූ අස්ථි හා ලංකාවේ වැදි ජන ප්‍රජාවේ භෞතික ලක්ෂණ  සමාන බවත් පර්යේෂණාත්මකව මේවා සන්සන්දනය කිරීමේදී හෙලිවී තිබෙන බව ආචාර්ය සිරාන් දැරණියගල සිය පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කොට තිබෙනවා. (S U Deraniyagala, IUPPS - XIII Congress Proceedings, PRE & PROTOHISTROIC SETTLEMENTS IN SRI LANKA, 1996)  

මෙසෝලිතික බලංගොඩ මානවයාගේ උත්තුංග දේහය

2012 වසරේදී Ranasinghe, Priyanga; Jayawardana, M.A. Naveen A.A.D.; Constantine, Godwin R.; Sheriff, M.H. Rezvi; Matthews, David R.; Katulanda, Prasad  යන පර්යේෂකයින් Economics and Human Biology පර්යේෂණ සඟරාවට ඉදිරිපත්කල Patterns and correlates of adult height in Sri Lanka නම් පර්යේෂණ පත්‍රිකාවේ ශ්‍රී ලාංකික පිරිමියෙකුගේ සාමාන්‍ය උස (2005) සෙන්ටිමීටර් 165.6 කුත් කාන්තාවකගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 154ක් බව පෙන්වාදී තිබෙනවා.

ආචාර්ය සිරාන් දැරණියගල 1992දී බලංගොඩ මානවයාගේ අස්ථි සම්බන්ධව සිදුකල ගණනය කිරීම් වලදී පුරුෂ  බලංගොඩ මානවයෙකුගේ සාමාන්‍ය උස සෙන්ටිමීටර් 174ක් බවත් ස්ත්‍රියකගේ උස සෙන්ටිමීටර් 166ක් බවත් පෙනීගොස් තිබෙනවා. මේ අනුව බලංගොඩ මානවයින් අද ලාංකිකයෙකු හා සසඳන විට සෙන්ටිමීටර් 9ක් වැනි විශාල පරාසයකින්  උසින් වැඩි උත්තුංග දේහධාරී ශක්තිමත් මිනිසුන් පිරිසක් වූ බව පැහැදිලියි. ඔවුන්ගේ අස්ථිද බරින් වැඩි, ඉතා ශක්තිමත් ඒවා බව පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වනවා. ඔවුන් ජීවත්වූ පරිසරය (biotic environment) පෝෂ්‍යදායි ආහාර සුළභවූ, උණුසුමෙන් අඩු, සුවදායි පරිසරයක් වීම මෙයට එක් හේතුවක් විය හැකියි. ශක්තිමත් සිරුරක් ඇවසිවූ රළු දිවිපෙවෙත තවත් හේතුවක් වන්නට පුලුවන්.

මූලාශ්‍ර

Deraniyagala, S. U. (1996), Pre and Protohistoric Settlement in Sri Lanka, In XIII International Congress of Prehistoric and Protohistoric Sciences – Forli -Italia, September 1996 – vol.5/by. International Union of Prehistoric and Protohistoric Sciences (277-285)

Unravelling an ancient secret
http://www.sundaytimes.lk/120624/plus/unravelling-an-ancient-secret-4068.html

ඉබ්බන්කට්ටුව සුසාන සංකීර්ණයෙන් හෙලිවන පූර්ව ඓතිහාසික යුගයේ ශ‍්‍රී ලංකාවේ සුසානකරණය
https://www.archaeology.lk/si/article.php?articleID=1171

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ හා සිරාන් දැරණියගල
https://www.archaeology.lk/si/article.php?articleID=123

Prehistory of Sri Lanka
https://en.wikipedia.org/wiki/Prehistory_of_Sri_Lanka

මෙගලිතික යුගයට අයත් ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමියෙන් වසර 2600 ක් පැරණි සොහොනක් හමුවෙයි
http://vidya-gaweshana.blogspot.com/2015/10/2600.html

List of average human height worldwide
https://en.wikipedia.org/wiki/List_of_average_human_height_worldwide#cite_note-srilanka-119

__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments