• Strategic Rocket Forces : රුසියානු ෆෙඩරේෂණයේ උපායමාර්ගික රොකට් බලකාය

    රුසියානු උපායමාර්ගික රොකට් බලකාය රුසියානු ෆෙඩරේශණයට අයත් න්‍යශ්ඨික බෝම්බ ගෙනයා හැකි අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිල (Inter Continental Ballistic Missile - ICBM) මෙහෙයවීම භාරව තිබෙන බලකායයි. සෝවියට් දේශය රොකට්ටු බලකාය ආරම්භ වුනේ රොකට් ප්‍රචාලනය පිලිබඳව අධ්‍යයනය කිරීමටත්, එය අවියක් ලෙස යොදාගැනීමේ හැකියාව සොයාබැලීම සඳහාත් රෙජිමේන්තුවක් අනුයුක්ත කිරීමෙනි. ඒ 1946 වසරේ ජූලි මාසයේදීයි. මේ බලකාය 92වැනි විශේෂ බ්‍රිගේඩය ලෙස නම් කෙරුණා.Read more
  • McDonnell Douglas/Boeing F 15 Strike Eagle: ගුවනේ බළපරාක්‍රමය රඳවාගත හැකි, 4වැනි පරම්පරාවේ බහුකාර්ය ජෙට් ප්‍රහාරක යානාව

    මැක්ඩොනෙල් ඩග්ලස් F15 ස්ට්‍රයික් ඊගල් යානය සියලු කාළගුණ තත්වයන් යටතේ බහුකාර්ය මෙහෙයුම්වල යෙදැවිය හැකි යානයකි. සහයක යානා හෝ පරිවාර යානා නොමැතිව දිගුදුර මෙහෙයුම්වල යෙදීම සඳහා නිර්මාණය කොට ඇති මෙම යානය අධිවේගී යානා ගණයට අයත්ය. 1976 වසරේ අමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වාදුන් මැක්ඩොනෙල් ඩග්ලස් F15 ඊගල් ප්‍රහාරක යානයේ වැඩිදියුණු කිරීමක් වන ස්ට්‍රයික් ඊගල් යානය හැම අතින්ම විශිෂ්ඨ යානයක් බව අවිවාදයෙන් පිලිගැනේ. 1989දී සක්‍රිය සේවයට එක්වුනු ස්ට්‍රයික් ඊගල් යානය වසර 2025 ඉක්මවා සක්‍රිය සේවයේ තබාගැනීමට අමෙරිකන් ගුවන් හමුදාව බලාපොරොත්තුවේ.Read more
  • ඉලෙක්ට්‍රොනික උපකරණ පමණක් විනාශකරන මයික්‍රෝවේව් මිසයිලයක් බෝයිං සමාගම සාර්ථකව අත්හදා බලයි!

    Counter-electronics High-powered Advanced Missile Project හෙවත් CHAMP ලෙස හඳුන්වා ඇති මෙම මිසයිලයේ ක්‍රියාකාරිත්වය සරලය. සාම්ප්‍රදායික මිසයිල මෙන් ඉලක්කය මත ගැටී පුපුරා යනු වෙනුවට මෙය සිදුකරන්නේ ඉලක්කය ඉහලින් පියාසර කරමින් ඉලක්කය වෙත ප්‍රභල මයික්‍රෝවේව් තරංග ස්පන්ධ මුදාහැරීමයි.Read more

Toyota Mirai - 2014 දෙසැම්බරයේදී වෙළඳපොලට එන ටොයොටා හයිඩ්‍රජන් කාරය

ටොයෝටා සමාගම විසින් පුළුල් වෙළඳපොළ වෙත නිකුත් කෙරෙන ලොව පළමු හයිඩ‍්‍රජන් ඉන්ධන මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ. දොර හතරේ මෝටර් රථයක් වන මෙය ජපන් බසින් අනාගතය යන අරුත දෙන මිරායි ලෙස නම් කර තිබේ. 2013 වසරේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශණයේදී මෙහි concept model එලි දැක්වුනු අතර 2015 දී එය අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ විකිණීම ආරම්භ වනු ඇති.

ඩොලර් 57000ක් වැනි ඉහළ මිලකට වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති මිරායි 400ක් ලබන වසරේදී අලෙවි කිරීම ටොයෝටා සමාගමේ ඉලක්කයයි. 2017 වන විට මේවා 3000ක් ඇමරිකාව තුළ අලෙවි කිරීමටත් වසරකට මෝටර් රථ 100ක් යුරෝපය තුළ අලෙවි කිරීමටත් සමාගම සූදානමින් සිටී.

එක් වරක් ඉන්ධන පිරවීමෙන් පසු කිලෝමීටර් 480ක් අඛණ්ඩව ධාවනය කළ හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. හයිඩ්‍රජන් ෆියුල් සෙල් තාක්ශණය (hydrogen fuel cell) මගින් මෙහි බලය නිපැදවේ. ඉන්ධන ටැංකියේ ඇති හයිඩ්‍රජන්, වාතයේ ඇති ඔක්සිජන් හා සම්බන්ධ කරමින් විද්‍යුත් ගාමක බලයක් නිර්මාණය කිරීම, එනම් බැටරියක් මෙන් ක්‍රියාකරීම ෆියුල් සෙල් එකක් මගින් සිදුවේ. එයින් නිපැදවෙන විදුලි බලයෙන් කාරයේ විදුලි මෝටරය ක්‍රියාත්මක වේ.

මෙය සාම්ප‍්‍රදායික ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයක පරාසය මෙන් තුන්ගුණයක්වන අතර පෙට‍්‍රල්, ඞීසල් ඉන්ධන හා සමාන ලෙසින් මිනිත්තු කිහිපයකින් යළි ඉන්ධන පිරවිය හැකි වීම ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථයට සාපේක්‍ෂ තවත් වාසියක් ලෙස සැලකේ. හයිඩ‍්‍රජන් ඉන්ධන නිෂ්පාදනය සහ සම්පීඩනය කිරීම සඳහා ෆොසිල ඉන්ධන භාවිතා කෙරුණද මෝටර් රථය තුළ දහනය මගින් වායුගෝලයට නිකුත් කෙරෙන්නේ ජල වාෂ්ප පමණක් වීම පරිසර හිතකාමී පියවරක්ද වනු ඇත.


ටොයෝටා සමාගමේ උප සභාපති මිට්සුෂිසා කාටෝ පවසා ඇත්තේ මිරායි මගින් ගෝලීය පරිසර හා බලශක්ති අභියෝග සඳහා සාර්ථක විසඳුමක් මෙන්ම හයිඩ‍්‍රජන් පදනම් කරගත් සමාජයක් සඳහා මුල් පියවරක් තැබීම ටොයෝටාහි ජයග‍්‍රහණයක් බවයි.


Virgin Galactic සංචාරකයින් ගෙනයන අභ්‍යවකාශ යානය කඩාවැටුනේ ඇයි?

Virgin Galactic සමාගමේ Space Ship 2 අභ්‍යවකාශ යානය සිය තුන්වන රොකට්-බල [rocket powered] පරීක්ෂණ පියාසැරියේ යෙදෙමින්..
දිනය : 2014 ඔක්තෝම්බර් 31 සිකුරාදා

වේලාව : එක්සත් ජනපද පැසිෆික් සම්මත වෙලාවෙන් පැය 10:09 

ස්ථානය : කැලිෆෝනියාවේ මොහාවි කාන්තාරයේ සැතපුම් 8ක් ඉහල අහසේ


වර්ජින් ගැලැක්ටික් සමාගම, බ්‍රිතාන්‍යයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික රිචර්ඩ් බ්‍රැන්සන් ගේ මහේච්ඡ (ambitious) ව්‍යාපෘතියකි. එම ව්‍යාපෘතියේ අරමුණ ඉතා ඉක්මණින් අභ්‍යවකාශයේ අද්දර වෙත සංචාරකයින් ගෙනයා හැකි පිරිවැය අඩු අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීමයි. 

මේ අරමුණ පෙරදැරි කරගෙන අමෙරිකාවේ නම්දැරූ අභ්‍යවකාශ හා ගගන විද්‍යා ඉන්ජිනේරුවෙකු වන බර්ට් රූටන්ගේ ස්කේල්ඩ් කොම්පොසයිට් සමාගම හා අත්වැල් බැඳගත් වර්ජින් ගැලැක්ටික් සමාගම නිර්මාණය කල SpaceShipTwo යානාවේ සතරවැනි රොකට්බල පරීක්ශණ පියාසැරිය (rocket powered test flight)සඳහා සියලු කටයුතු සූදානම් වෙමින් තිබුණි.


මෙම පරීක්ශණ පියාසැරියේ අරමුණ වූයේ ස්පේස් ෂිප් 2 අභ්‍යවකාශ යානයේ රොකට් එන්ජිම බලගැන්විය හැකි අලුත්ම ඉන්ධන වර්ගයක් අත්හදා බැලීමයි. මීට පෙර පරීක්ශණ පියාසැරි තුනක් පවත්වන ලද අතර එම පරික්ශණ පියාසැරි වලදී තහවුරුවූ එක් කරුණක් නම්, එන්ජිමට යොදන රොකට් ඉන්ධන වර්ගය මගින් යානය අභ්‍යවකාශයේ අද්දර, එනම් පොලොවේ සිට කිලෝමීටර් 110ක් පමණ ඉහලට ගෙනයාමට ලබාගත යුතු වේගය වන පැයට කිලෝමීටර් 4200ක වේගයෙන් (ශබ්දයේ වේගය මෙන් 3.5ක්) යානය ගෙනයාමට අවශ්‍ය ජවය ලබාදීමට අසමත් බවයි. ඒ අනුව ඉන්ධන වර්ගය වෙනස් කොට දහණයේදී වැඩි තෙරපුමක් ලබාදෙන ඉන්ධන වර්ගයක් ආදේශ කෙරුණු අතර එම ඉන්ධන වර්ගය යොදාගෙන සිදු කරන ප්‍රථම පරීක්ශණ පියාසැරිය ආරම්භවීමට ඇත්තේ විනාඩියකටත් අඩු කාලයකි.

White Knight Two මව් යානය හා සම්බන්ධවී ගුවන්ගත වන Space Ship Two උප යානය
මේ අවස්ථාව වන විට ස්පේස් ෂිප් 2 යානය, සිය මව්යානය වන WhiteKnightTwo ආධාරක ගුවන්යානයේ රඳවා තිබූ අතර වයිට්නයිට් 2 යානය,  ස්පේස් ෂිප් 2  උප යානයද සමග මොහාවී කාන්තාරයේ සැතපුම් 8ක් ඉහල අහසේ පියාසර කරමින් තිබුණි.  SpaceShip 2  නියමුකුටියේ පලපුරුදු පරීක්ශණ පියාසැරි නියමුවන් (test pilots) දෙදෙනෙකු වන පීටර් සීබෝල්ඩ් හා මයිකල් ඇල්ස්බරි,  මව් යානයෙන් නිදහස්වී රොකට් එන්ජිම දැල්වීම සඳහා සූදානම් වෙමින් සිටියහ.පීටර් සීබෝල්ඩ් හා මයිකල් අල්ස්බරි යන දෙදෙනාම කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්වවිද්‍යයාලයේ ගගන විද්‍යා ඉන්ජිනේරු ශිල්පය පිලිබඳ උපාධි ලබාගත් ගගනවිද්‍යා ඉන්ජිනේරුවන් විය. පීටර් සීබෝල්ඩ් හට විවිධ ගුවන්යානා වල පියාසර පැය 2000කට වැඩි කාලයක් අත්දැකීම් තිබූ අතර මයිකල් ඇල්ස්බරිහට පියාසර පැය 1900ක අත්දැකීම් තිබුණි.


ස්පේස් ෂිප් 2 යානයේ තුන්වන රොකට්බල පරීක්ශණ පියාසැරිය 2014 ජනවාරියේ සිදුවූ අතර රොකට් එන්ජිම තත්පර 20 දැල්වීම මගින් යානය පොලොවේ සිට කිලෝමීටර් 22ක් ඉහල නැගීමට සමත්වූ අතර ශබ්දයේ වේගය මෙන් 1.4ක වේගයකින් ගමන්කලේය. ඊට අමතරව යානය රොකට් එන්ජිම රහිතව ග්ලයිඩරයක් ආකාරයෙන් ගොඩබැස්සවීමේ පරීක්ශණ පියාසැරි 54ක් සාර්තකව අවසන් කොට තිබුණි. ස්පේස්ෂිප්2 යානයේ තාක්ශණික දත්ත වලට අනුව එහි රොකට් එන්ජිම දල්වා තත්පර 8කින් ශබදයේ වේගය ඉක්මවා යන අතර කිලෝමීටර් 110ක උසකට ගමන් කිරීම සඳහා තත්පර 70ක් එන්ජිම ක්‍රියාත්මක විය යුතුය. මෙතෙක් සිදුකෙරුණු පරීක්ශණ පියාසැරිවලදී රොකට් එන්ජිම තත්පර 70ක් දක්වා ක්‍රියාත්මක නොකල අතර යානයේ සංකීර්ණ පද්ධති නිසි පරිදි කියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා තත්පර 20ක් වැනි කෙටි වේලාවක් එන්ජිම දල්වමින්, ක්‍රමාණුකූලව පියාසැරියේ කාලය දිගුකරමින් අත්හදාබැලීම් ඉදිරියට ගෙනයාමට වර්ජින් ගැලැක්ටික් සමාගමත්, යානය නිර්මාණය කල ස්කේල්ඩ් කොම්පොසයිට් සමාගමත් සැළසුම් කොට තිබුණි.

ස්පේස් ෂිප් 2 යානයේ පියාසර සැලැස්මට අනුව එහි රොකට් මෝටරය නිවාදැමීමෙන් පසුව තවදුරටත් යානය ඉහලට යාමට සලස්වන අතර පියාසැරියේ උපරිම උස වන කිලෝමීටර් 110ක උසට ලඟාවන්නේ මෙහිදීය. මේ අවස්ථාවේදී යානයේ ගමන්කරන මගීන් සයදෙනාට අභ්‍යවකාශගාමීන් හට අත්දැකීමට ලැබෙන අපූර්ව ස්ංසිද්ධියක් වන ශුන්‍ය ගුරුත්වය (zero gravity) අත්දැකීමට ලැබේ. එම ශුන්‍ය ගුරුත්ව අවස්ථාව විනාඩි 5ක් පමණ පවතී.

උපරිම උසට ලඟාවූ පසු යානයේ නියමුවන් එහි අත්තටු වල සවිකොට ඇති කුඩා ත්‍රස්ටර් රොකට්ටු ආධාරයෙන් එය ආපසු හරවන අතර එහි විශාල අත්තටු ඉහලට එසවී පවතින ලෙස සකස් කරනු ලැබේ. මෙසේ අත්තටු ඉහලට එසවීම feathering  ලෙස හඳුන්වන අතර යානය නිර්මාණය කල ඉන්ජිනේරුවන් මෙම  උපක්‍රමය නිර්මාණය කලේ ඉතා අඩු වායු ඝණත්වයක් ඇති කිලෝමීටර් 110ක් ඉහල අහසේදී යානයේ ස්ථායිතාවය රඳවා ගැනීමේ ගැටලුවට විසඳුමක් ලෙසයි. ශුන්‍ය ගුරුත්වය ඇතිවන ඉහල වායුගෝලයේ ක්‍රියාත්මක වන අභ්‍යවකාශ යානාවලට ගුවන් අත්තටුවලින් හා ඒවායේ ඇති පාලණ පෘශ්ඨ (control surfaces) මගින් යානය හසුරුවාගත නොහැකි වන්නේ ඉතා අඩු වායු ඝණත්වයක් ඇති නිසාය. මේ අවස්ථාවේදී අභ්‍යවකාශ යානය හැරවීම වැනි හැසිරවීම් සඳහා රියැක්ශන් ත්‍රස්ටර් (reaction thrusters) ලෙස හැඳින්වෙන කුඩා රොකට්ටු භාවිතා කරයි.

Feathering ආකාරයට අත්තටු සකසා ගැනීමෙන් පසු කිලෝ මීටර් 110ක් ඉහල අහසේ සිට යානය නැවතත් පෘථිවිය වෙත වැටෙන්නට පටන් ගනී. මෙලෙස පොලොවේ සිට කිලෝමීටර් 22ක් ඉහල අහස දක්වාම යානය වැටෙන්නට ඉඩ හරින අතර කිලෝමීටර් 22 පසු කරත්ම වායුගෝලයේ ඝණත්වය වැඩිවී ඇති බැවින් නැවතත් යානයේ අත්තටු තිරස් ආකාරයට සකස් කොට (de-feathering) ගන්නා අතර ඒ මොහොතේ සිට යානය ග්ලයිඩරයක් ලෙස පාවෙමින් ධාවන පථයට ලඟාවේ.

පහත ඇති infographic රූපසටහන් මෙම ක්‍රියාකාරිත්වය හොඳින් පෙන්වාදෙයි.

SpaceShipTwo will carry six passengers up past 328,000 feet altitude (100 kilometers), the point where astronaut wings are awarded.

ගොඩ බැස්සවීමට මොහොතකට පෙර ග්ලයිඩරයක් ලෙස පියාසර කරන ස්පේස් ෂිප් 2 යානය - මෙහි රොකට් එන්ජිම වසා ඇති බව පෙනෙන්නේ මෙම පියාසැරිය එන්ජින් නොදල්වා සිදුකල un-powered test flight පියාසැරියක් බැවිනි.



පැසිෆික් සම්මත වෙලාවෙන් පැය 10:10  - මොහාවී කාන්තරය ඉහල අහස

ස්කේල්ඩ් කොම්පොසයිට් සමාගම හා වර්ජින් සමාගම එක්ව මෙම ව්‍යාපෘතිය සඳහාම "Mojave  Spaceport" ලෙසින් හැඳින්වෙන අභ්‍යවකාශ තොටුපොලක් නිර්මාණය කොට ඇත. සියලුම අත්හදාබැලීම්, ගුවන්ගත කිරීම් හා පර්යේෂණ කටයුතු මෙම ස්ථානයේ සිදුකෙරෙන අතර සියළුම පරීක්ශණ පියාසැරි මෙහෙයවන පාලන මැදිරිය පිහිටා ඇත්තේද මෙහිය.

ස්පේස් ෂිප් 2 යානයේ නියමු පීටර් සීබෝල්ඩ්, මව් යානයෙන් නිදහස්වීමට සියල්ල සූදානම් බවත් යානාවේ සියලුම පද්ධති නිවැරදිව ක්‍රියාත්මක වෙන බවත් පාලන මැදිරියට දැනුම් දෙන ලද අතර ඒ අනුව පාළන මැදිරිය මහින් වයිට් නයිට් 2 මව් යානයට, උප යානය නිදහස් කරන ලෙස දැනුම් දෙන ලදී. තත්පර කිහිපයකින් මව් යානය හා උප යානය සාර්ථකව වෙන් වෙන අතර, මොහොතකින් ස්පේස් ෂිප් 2 යානයේ නියමුවන් යානය මව් යානයේ ගමන් මාර්ගයෙන් මදක් වෙනස් ගමන් මාර්ගයකට යොමුකොට රොකට් එන්ජිම දල්වන ලදී. මේ සියල්ලම ඉතා සාර්ථකව සිදුවූ බව යානයෙන් පාළණ මැදිරිය වෙත ස්වයංක්‍රීයව එවන ලද telemetry දත්ත පැහැදිලිව පෙන්නුම් කරයි.

පාලන මධ්‍යස්ථානයේ ඇති අධිබල දුරේක්ශ මගින්ද මේ සියල්ල නිරීක්ශණය කෙරෙමින් හා ඡායාරූප ගතකරමින් පැවති අතර තත්පර කිහිපයක් ඇතුලට ස්පේස් ෂිප් 2 යානය රොකට් එන්ජිම දල්වාගෙන මව් යානය පසුකරමින් වේගයෙන් ඉදිරියට යන ආකාරය සටහන් වී තිබුණි. මේ වනවිට රොකට් එන්ජිම දල්වා තත්පර 8ක් ගෙවීගොස් තිබුණු අතර,සියලුම පද්ධති නිවැරදිව ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබුණි. ඒ වනවිට යානය ශබ්දයේ වේගය ඉක්මවූවා පමණකි.


එහෙත් නිමේෂයකින් සියල්ල වෙනස් විය. අවසන් ඡායාරූපයේ ස්පේස් ෂිප් 2 යානය අහසේදීම කැබලිවලට කුඩුවී යන ආකාරය සටහන්වී තිබුණි. ගිණිබෝලයක්ද සටහන්වී තිබූ බැවින් බොහෝ නිරීක්ශකයින් මෙන්ම අණතුර පිලිබඳ විමර්ශණය සිදුකරන අමෙරිකානු රජයට අයත් National Transportation Safety Board (NTSB) ඒජන්සියේ විමර්ශකයින්ගේද සැකය වී තිබුණේ අලුත් ඉන්ධන වර්ගයක් යොදමින් ක්‍රියාත්මක වූ රොකට් එන්ජිම පුපුරාගොස් මෙම ව්‍යසනය සිදුවන්නට ඇති බවයි. රේඩාර් දත්තවලට අනුව යානය පොලොවට අඩි 50,000ක් ඉහල අහසේදී විනාශවී ගියේය.

රොකට් මෝටරය හා ඉන්ධන ටැංකිය සොයා ගැනේ - පිපුරමක් සිදුවූ බවට කිසිදු සළකුණක් නැතැයි විමර්ශකයින් පවසති!



යානයේ ඉන්ධන ටැංකියේ හා රොකට් මෝටරයේ කොටස් ඉහත ඡායාරූපවල දැක්වේ.
යානයේ විනාශවීම පිලිබඳව විමර්ශණය ආරම්භකල NTSB විමර්ශකයින්, යානයේ සුන්බුන් අතර එහි රොකට් එන්ජිමේ දහනය සීග්‍ර කරන ද්‍රව ඔක්සිඩයිසර් ටැංකිය, ඝණ ඉන්ධන ටැංකිය හා රොකට් මෝටරය සොයාගත් අතර ඒවා සියුම්ව නිරීක්ශණයට බඳුන්කල ඔවුන් ඉන්ධන ටැංකි හා රොකට් මෝටරයේ දහන කුටීරිය කිසිශු ආකාරයක පිපුරුමකට හෝ වෙනයම් ආකාරයක අණතුරකට බඳුන්වී නැතිබව තහවුරු කරගන්නා ලදී. ඒ අනුව අලුත් ඉන්ධන වර්ගය නිසා එන්ජිම පුපුරා ගිය බවට වූ තර්කය මුලුමනින්ම බැහැර කිරීම සිදුවිය. 

එසේ නම් සිදුවූයේ කුමක්ද?


සහයක නියමු මයිකල් ඇල්ස්බරි අතින් සිදුවූ බරපතල අත්වැරැද්දක් හෙලිවෙයි!

යානයෙන් ලැබුනු ටෙලිමෙට්‍රි දත්ත, යානයේ නියමු කුටියේ පටිගතවූ වීඩියෝ දර්ශණ හා අධිබල දුරේක්ශ මගින් යානයේ අවසන් තත්පර කිහිපය ඇතුලත් වීඩියෝ පට නැවත නැවතත් විශ්ලේෂණය කල NTSB විමර්ශණ කණ්ඩායම, යානයේ උප නියමු මයිකල් ඇල්ස්බරි අතින් සිදුවූ බරපතල අත්වැරැද්දක් හෙලි කර ගත්තා. 

එම අත්වැරැද්ද නම් ඔහු, යානයේ පිටුපස වලිග කොටස, සැළසුම් කල වෙලාවට කලින් සිරස් අතට, එනම් feathering ආකාරයට ස්ථානගත කිරීම සඳහා ක්‍රියාත්මක කලයුතු ලීවර දෙකෙන් එකක් ක්‍රියාත්මක කිරීමයි. යානයේ පියාසර සැළස්මට අනුව එය ක්‍රියාත්මක කල යුතුව තිබුනේ එහි වේගය ශබ්දයේ වේගය මෙන් 1.4ක් ඉක්මවා අඩි 65,000ක් ඉහල නැගීමෙන් පසුවයි. එහෙත් ඇල්ස්බරි යම් කිසි හේතුවක් නිසා යානය ශබ්දයේ වේගය ඉක්මවා යන මොහොතේ, අඩි 50,000ක් ඉහල ඝණ වායුගෝලයේ යමින් සිටියදී ලීවරය ක්‍රියාත්මක කරනවා. ඇලිස්බරි මෙම ලීවරය ක්‍රියාත්මක කල බව තමන් නොදත් බව අණතුරෙන් දිවිගලවාගත් යානයේ නියමු පීටර් සීබෝල්ඩ් පවසනවා.

Feathering ආකාරයට යානයේ වලිගයේ අත්තටු සකස්කල විට දිස්වෙන අයුරු...
Feathering ආකාරයට වලිගය ස්ථානගත කිරීමේ උපක්‍රමය ක්‍රියාත්මක කල යුත්තේ වායුගෝලීය ඝණත්වය ඉතා අඩු අවස්ථාවලදීයි. ඝණත්වය වැඩි වායුගෝලයේදී එය ක්‍රියාත්මක කලහොත් එය මත යෙදෙන අධික පීඩනය හා ආතතිය (stress) නිසා එය කැඩී යන්නට පුලුවන්. විමර්ශකයින් දැන් අනුමාන කරන්නේ සහයක නියමුවා මෙම ලීවරය ක්‍රියාත්මක කිරීමෙන් ඝණ වායුගෝලයේ අධික වේගයෙන් ගමන්කරන අවස්ථාවේ වලිග කොටස සිරස්වීම නිසා ඇතිවුනු වායුගතික පීඩනය  (aerodynamic pressure) හේතුකොට ගෙන යානය කැඩී බිඳී විනාශවූ බවයි.
අණතුරින් පුදුමාකාර ලෙස දිවි ගලවාගත් නියමු පීටර් සීබෝල්ඩ් [වම් පස] හා අණතුරින් මියගිය සහයක නියමු මයික් ඇල්ස්බරි [ දකුණු පස]

මයිකල් ඇලිස්බරි වැනි ඉතා පලපුරුදු පරීක්ශණ ගුවන් නියමුවෙකු මෙවැනි ප්‍රාථමික ගණයේ අත්වැරැද්දක් සිදුකලේ ඇයි?

NTSB විමර්ශකයින් හට මෙන්ම වර්ජින් ගැලැක්ටික් හා ස්කේල්ඩ් කොම්පොසයිට් සමාගම් වලටද දැන් විසඳීමට ඇති ප්‍රධාන ගැටලුව මෙයයි. ස්පෙස් ෂිප් 2 යානයේ පරීක්ශණ පියාසැරි වල නිරතවූ නියමුවන් සතර දෙනෙකු සිටින අතර ඔවුන් විමර්ශකයින්ට ලබාදී ඇති තොරතුරු වලට අනුව යානයේ රොකට් එන්ජින් ක්‍රියාත්මක කොට පියාසර කිරීමේදී ඉතා අධික කම්පණයන්ට හා ස්පන්ධනයන්ට මුලු යානයම බඳුන්වනවා. ඔවුන් පවසන අන්දමට මෙම ස්පන්ධනයන් කොතරම් තීව්‍රද යත්, යානයේ වීඩියෝ තිර හා මීටර් වලින් ලබාදෙන කියවීම් හා තොරතුරු පැහැදිලිව දැක ගැනීම ඉතා අපහසුයි. මයිකල් ඇලිස්බරි නියමිත කාලයට පෙර ලීවරය ක්‍රියාත්මක කලේ ඔහුට යානයෙන් ලබාදුන් දත්ත නිසි පරිදි දැකගත නොහැකිවීමෙන්ද?

NSTB විමර්ශකයින් පවසන අන්දමට නිශ්චිත නිගමනයකට එළඹීමට ඔවුන් හට වසරක කාලයක් පමණ ගතවනි ඇති...

ගැලැක්ටික් සිහිනය...

අඟහරු ලෝකයට ගිය ඉන්දියාවේ අරපිරිමැස්ම



මාසයකට පමණ ඉහතදී ඉන්දියාව අඟහරු ලෝකයට ‘‘මංගල්යාන්’ නැමැති අභ්‍යාවකාශ යානාවක් සාර්ථකව ගොඩබැස්සුවේය. එය වසර ගණනක් තිස්සේ එරට විද්‍යාඥයන් දැරූ යෝධ පරිශ‍්‍රමයක සාර්ථක ප‍්‍රතිඵලයකි. අප ජීවත් වන පෘථුවියේ සිට අඟහරු ලෝකය දක්වා ගිය එම ගමනට ඉන්දියාව වැය කළ මුදල, කිලෝ මීටරයකට ඉන්දියානු රුපියල් 14 ක් යැයි ගණන් බලා තිබේ. සාපේක්ෂ වශයෙන් සළකන විට එය, එරටේ මහ පාරක ත‍්‍රී වීලරයකියන් කිලෝ මීටරයක් යෑමට වැය වන මුදලට වැඩි වෙනසක් නැති වියදමකි.


පෘථුවිය සහ අඟහරු ලෝකය අතර පවතින දුර ස්ථායී නැත. පෘථුවිය මෙන්ම අඟහරු ග‍්‍රහයා ද සූර්යා වටේ කැරකෙන්නේ සරළ වෘත්තාකාරව නොවන නිසා, මේ වස්තූන් දෙක අතර එක මොහොතක පවතින දුර, තව මොහොතක පවතින දුරින් වෙනස් විය හැකිය. එබැවින් අභ්‍යාවකාශ ගමන ඉන්දියාව සැලසුම් කෙළේ, පෘථුවිය සහ අඟහරු ලෝකය අතර අවම දුරක් පවතින අවස්ථාවකයි. මේ ග‍්‍රහ ලෝක දෙක ආසන්නම දුරකින් පිහිටන අවස්ථාවකදී පවා ඒ ලෝක දෙක අතර දුර කිලෝ මීටර් මිලියන 50 කටත් වැඩියි.

පෘථුවියේ මහ පාරක් හැදීමට වැය වන මුදල සහ අභ්‍යාවකාශ ගමන් පථයක යාමට වැය වන මුදල අතර සෘජු සංසන්දනයක් කිරීම තාර්කික නැති බව ඇත්ත. එසේම ගුවනේ ගමන් කිරීම සහ පොළොවේ ගමන් කිරීම සඳහා දැරිය යුතු වියදම අතරත් වෙනසක් තිබේ. උදාහරණයක් වශයෙන්, කොළඹ සිට පැරිසිය අතර ගුවනින් යාමට/ඒමට වැය වන මුදල කිලෝ මීටරයකට රුපියල් 4.41 කි. එහෙත් බස් රියකින් ලංකාවේ  ඕනෑම තැනක කිලෝ මීටරයක් යාමට රුපියල් 9 ක් වැය වෙයි. ඒ අනුව ලංකාවේ බස් එකක ගියාට වඩා අඩු මුදලකින් ඉන්දියානු රොකට් එකකින් අඟහරු ලොවට යා හැකිය.

ලිංමැඩියාව - නාලක ගුණවර්ධන

රාවය - සිවුමංසළ කොළුගැටයා: නාලක ගුණවර්ධන


සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.
එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.
පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”
මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.
Dr Udan Fernando
Dr Udan Fernando
උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”
ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ.තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින්  ගැන උදම් අනනවාලෝකය ගැන වඩාත්දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.
මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.
ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.
දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.
උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.
මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.
සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.
සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.
“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”
“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”
ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.
From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera
ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.
තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)
දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරකකේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.
ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.
වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!
අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

දියලූම උපදින හැටි බලන්නට කොස්‌ලන්දටගිය ගමනක්‌

දිවයින On Line Edition විශේෂාංග - Source  



යම් දිනක මෙම ස්‌ථානය නැරඹීමට අදහස්‌ කරන්නේ නම් අඩුම වශයෙන් මෙම ස්‌ථානයේ ඔබ උදය 10.00 වන විටවත් සිටියොත් එය හොඳම වෙලාව වන අතර ඒ සඳහා ඔබ කොස්‌ලන්දේ පිහිටි එකම හෝටලයේ නැවතීමෙන් හෝ හපුතලේ නවාතැන් ගෙන උදෑසනින්ම බෙරගල හරහා කොස්‌ලන්දට පැමිණි විට ඔබේම වාහනයකින් හෝ කොස්‌ලන්ද සිට බණ්‌ඩාරවෙල බළා යන ලංගම බසයේ නැග හෝ කි. මීටර 41/2 ක්‌ වැනි කෙටි දුර ප්‍රමාණයක්‌ ගෙවා මෙම ස්‌ථානයට පහසුවෙන්ම ළඟා විය හැක.

බුත්තල ඔස්‌සේ වැල්ලවායට පැමිණි අපේ අරමුණ වූයේ දියලුම ඇල්ල නැරඹීමයි. සිත්සේ ඇල්ල නැරඹූ අප සිත් තුළ පැමිණි අදහස වූයේ දියලුම ඇල්ල මුදුනත කවරාකාරවේදැයි දැක ගැනීමේ ආශාවයි. ඇල්ල මුදුනත පිහිටීම දැක ගැනීමේ අරමුනින් සවස 2.00 ට පමණ අපි ගමන් ඇරඹීමු.

ඒ සඳහා පළමුව යා යුත්තේ කොස්‌ලන්දටය. දියලුම මුදුනත පිහිටා ඇත්තේ කොස්‌ලන්ද සිට පූනාගල හරහා බණ්‌ඩාරවෙල දක්‌වා වැටී ඇති පටු හා දුෂ්කර මාර්ගයක්‌ ඔස්‌සේය. කොස්‌ලන්ද තැපැල් ස්‌ථානාධිපතිතුමා කීවේ අප යැමට බලාපොරොත්තු වන ස්‌ථානය සවස 5.00 පසුවන විට වල් අලි රජ දහනක්‌ වන බවය. ඒ නිසා මුදුනත නරඹා ඉතා ඉක්‌මණින් පහළට ආ යුතු බව අපි දැන සිටියෙමු.

මෙය කියවන ඔබද මතු යම් දිනක මෙහි ඒමට අදහස්‌ කරන්නේ නම් වන අලි පිළිබඳ මනා කල්පනාවෙන් යුතුව ඔබගේ ගමන සැළසුම් කළ යුතු බව හොඳින් සිහි තබාගත යුතුය. එසේම මෙම ස්‌ථානයට පැමිණෙන වන අලි තිදෙනකුගෙන් යුතු කණ්‌ඩායමේ එක්‌ අලියෙක්‌ නිතරම කළහකාරීහු ලෙස හැසිරෙන නිසා ඔබ ප්‍රවේශමෙන් උන් මගහැර මෙහි ඒමට

වේලාව සකස්‌කර ගත යුතු බව මතක තබා ගන්න. විශේෂයෙන් දැන ගතයුතුම දෙයක්‌ වන්නේ වාහන නවතා තබන තැන සවස 5.00 න් පසු ඉතාම අවදානම් සහිත ස්‌ථානයක්‌ බවයි.

කෙසේ හෝ සවස 2.30 ට පමණ වන විට අපට කොස්‌ලන්දට පැමිණිය හැකි විය. බණ්‌ඩාරවෙල පාරට අප වාහනය හරවනවාත් සමගම වාගේ වාසනාවකට මෙන් පූනාගල හරහා බණ්‌ඩාරවෙල යන ලංගම බසය ගමන් ඇරඹීම අපට මහත් සතුටක්‌ වූයේ පටු මාවතේදී ඉදිරියෙන් යන බසය අපට මග පාදා දෙන බැවිනි. ඒ සමගම අපද ගමන පිටත් වීමු. කොස්‌ලන්ද සිට කි. මී. 41/2 පමණ යන විට දියලුම ආරම්භ වන පුනා ඔය අප යන මාවත හරහා යන ස්‌ථානයේ පටු පාලම හමු විය. ඉදිරියට තවත් මී. 250 පමණ යන විට අප සොයමින් පැමිණි මග සලකුණ වූ ප්‍රධාන පාරෙන් දකුණට හැරෙන මාවත හමුවිය. ඒ අසලම කඩපිළක සිටි තරුණයන් දෙදෙනකු දුටු අප යා යුතු තැන ගැන ඔවුන්ගෙන් විමසුවෙමි. ඒ සමගම වාගේ එහි පැමිණි පුද්ගලයකු පෙන්වූ ඔවුන් මෙයා පාර පෙන්වයි. එයත් සමග යන්නැයි තරුණයකු පෙන්වීය.

ඔහු පූනාගල වතුයායට අයත් එම ස්‌ථානය ආසන්නයේ පිහිටි ස්‌වභාවික නාන තටාකයේ මුරකරු බව පැවසූ අතර අපට අවශ්‍ය ස්‌ථානය කරා යැමට මග පෙන්වීමට එකඟවීම සතුටට හේතු විය. ඔහුගේ මග පෙන්වීමට අනුව වාහනය එහි නවතා කඳු බෑවුම්, සමෝච්චව මාර්ගයක්‌ ඔස්‌සේ ගමන පිටත්වීමු.පිටත්වීමට පෙර අප ගේ මග පෙන්වන්නාගෙන් ලද දැඩි අවවාදය වූයේ සවස 5.00 ට පෙර ආපසු පැමිණ මෙම ස්‌ථානයෙන් ඉවත්වීමට අමතක නොකළ යුතු බවයි. ඔහුට අනුව ගමනට ගතවන කාලය විනාඩි 20 ක්‌ පමණ වන බව පැවසුනි. අප ගමන්ගත් කඳු බෑවුමට පහතින් පිහිටි වන රොද අලින් සිටින ප්‍රදේශය නිසා කුමන හේතුවක්‌ නිසාවත් පහළින් පිහිටි ප්‍රදේශයට නොයන ලෙසටද අවවාදයක්‌ ලැබිණි.

අප පිටත් වූයේ කන්දේ වම්පස බෑවුමකින් වූ අතර එම ගමනේ සෑහෙන දුරක්‌ ගමන් කළ පසු තරමක තැනිතලා බිමකට පැමිණියෙමු. එය කෙලවරදී පාර දෙකට බෙදුණි. එක මාවතක්‌ මේ වන විට අප ඉදිරියේ පහළින් පෙනෙන දිය ඇල්ලේ මුදුන කරා විහිදී ඇති බව පෙනුන අතර, අනෙක අප පැමිණි කන්දේ අනෙක්‌ පස බෑවුම් කරා යොමුවී තිබිණි.

මේ වන විට අප ඉදිරියේ දිස්‌වන දර්ශනය වචනයෙන් විස්‌තර කළ නොහැකි සුන්දර දසුනක්‌ බව පමණක්‌ මම පවසමි. මේ ස්‌ථානයට දිය ඇල්ලේ මුදුන පෙනෙනුයේ අඩුම වශයෙන් අඩි 100 ක්‌ වත් පහළින් බව නම් කිව හැක. බැස යන හිරුගේ රැස්‌ දහර පහතින් පිහිටි මිටියාවතේ හරිත පැහැ ගත් තුරු මුදුන් මත වැටී මවන චමත්කාර දසුන අප වශීකරගත් ආකාරය නම් කිසිවිකුටත් විස්‌තර කළ නොහැකි තරම් රමණීය දසුනකි.

වේලාව ඉතිරි කරගෙන කටයුතු කරගත යුතු නිසා අප නැවතත් කන්දේ අනෙක්‌ පසට යොමුවූ මාවත ඔස්‌සේ ක්‍රමයෙන් පහළට බැසීම ඇරඹුවෙමු. ඒ සමගම අප ඉදිරියේ පහතින් පෙනෙන ෙද්‍රdaණිය මත වැටෙන සැඳෑ හිරු රැස්‌ දහරින් මැවෙන සොඳුරු චමත්කාරය දැසීන්ම දකිනු විනා විස්‌තර කිරීම කළ නොහැකිවීම ගැන ඔබෙන් කමාව පතනු හැර වෙන කළහැකි යමක්‌ නැත. ඒ දසුන එතරම්ම සුන්දරය, නෙත්කළුය. සොබාදම් මව වෙතින් අප ලද මහඟු දායාදයන්ට අප කෙසේ නම් තුති පුදන්නද? අනේ· ඔබ කිසිදිනක මෙහි සුන්දරත්වය යන්තම්වත් වනසන කිසිවක්‌ නොකරන්න. ඔබ මෙහි විත් මේ ගෙනෙන සියලු දේ නැවත රැගෙන යන්න. ඔබේ පියසටහන් පමණක්‌ ඉතිරි කර යන්න.

අප ඉදිරියේ ඇති ෙද්‍රdaණියේ දකුණු කෙළවර ඔබට ඉහත ඡායාරූපයේ පෙනෙන දියලුම ඇල්ලේ මුදුනයි. ඊළඟට ඇත්තේ එම ස්‌ථානය දක්‌වා දිය ගෙනයන ඉහළ දියලුම ඇල්ල පාමුලින් ඇරඹෙන වී අකුරේ හැඩය ගත් ස්‌වාභාවික දිය අගලයි. පහත ඡායාරුපය - දිය අගල ඇරඹෙන්නේ පුනා ඔය දියලුම ඇල්ලට අඩි 30 ක්‌ පමණ ඉහළදී ඉහළ දියලුම ඇල්ල ලෙසින් පහතට ඇදහැලෙන ස්‌ථානය පාමුලිනි. (පහත දෙවන ඡායාරූපය)

දැන් අප නැවතත් ගමන ඇරඹුවෙමු. කන්දේ අනෙක්‌ පස බෑවුම ඔස්‌සේ පහළට බසින අපට පහතින් අප ඉදිරියෙන් ඈත සිට ගලාඑන පූනා ඔය වරෙක සුන්දර දිය පොකුණක්‌ තවත් විටෙක නිවී සැනසිල්ලේ ගලායන සුන්දර ජල දහරක්‌ තවත් විටෙක නොගැඹුරු වක්‌කලම් පසු කරමින් ලතාවකට ඇදී යන දිය පාරක්‌ ආදි වශයෙන් විවිධ මුහුණුවරින් ඉහළ දියලුම ඇල්ල කරා පිවිසෙන සැටි එකම සිතුවමක්‌ ලෙස පෙනන අයුරු අප බලා සිටියේ දෙනෙත් ඇදහිය නොහැකි විය. අප කන්ද පාමුල කරා ගමන් කරන මාර්ගයේ සිට අවට බැලූ විට විවිධ වර්ණ රටා මවන පරිසරයේ චමත්කාරය මොහොතකට අපව මංමුලා කරවයි. එහෙත් පහතට ඇදී යන පටු මාවත අවහිර බාධක වළවල් ගහන එකක්‌ වූ නිසා අඩිය ඔසවා තබන සෑම විටකම එය හොඳ සිහි කල්පනාවකින් කළ යුතු බව සිත තබාගෙත යුතුවේ.

පූනා ඔයේ ඉහළින්ම පිහිටි පොකුණ වෙත ගිය අප සිත්සේ නා ගතිමු. ගොඩට පැමිණ බලන විට වේලාව සවස 4.45 ට පමණ වන බව දැනගත් අපට මුරකරුගේ අවවාදය සිහිවී ආ පසු ගමනට පය ඉක්‌මන් කළ යුතු බව දැනුණි. එහෙත් වන අලින් පිළිබඳ හැඟීම පරදවමින් අවට චමත්කාරයෙන් අප වශීවී සිටියෙමු.

මඳ අඳුරක්‌ සමඟින් සිහින් දිය පොදක්‌ ද ගත දැවටුන විට ආපසු යැමට වේලාව පැමිණ ඇති බව දැනුන බැවින් කවුරුත් පය ඉක්‌මන් කළ යුතු බව නිහඬවම පිළිගන්නට අපට සිදු විය. ගමන ඇරඹූ තැනට පැමිණෙනවාත් සමගම අප පසුකර ගිය ත්‍රිරෝද රියක සිටි තරුණයෙක්‌ ඉක්‌මනින් මෙතිනන් ඉවත්වන ලෙසට කළ අනතර=e ඇඟවීමත් සමග කළමනා සියල්ල ලහිලහියෝ වෑන්රථයට පටවා ගත් අප තවත් දුෂ්කර මගක්‌ ඔස්‌සේ බණ්‌ඩාරවෙල එදින අපගේ නවාතැන කරා පිටත් වූයෙමු.

ඔබ යම් දිනක මෙම ස්‌ථානය නැරඹීමට අදහස්‌ කරන්නේ නම් අඩුම වශයෙන් මෙම ස්‌ථානයේ ඔබ උදය 10.00 වන විටවත් සිටියොත් එය හොඳම වෙලාව වන අතර ඒ සඳහා ඔබ කොස්‌ලන්දේ පිහිටි එකම හෝටලයේ නැවතීමෙන් හෝ හපුතලේ නවාතැන් ගෙන උදෑසනින්ම බෙරගල හරහා කොස්‌ලන්දට පැමිණි විට ඔබේම වාහනයකින් හෝ කොස්‌ලන්ද සිට බණ්‌ඩාරවෙල බළා යන ලංගම බසයේ නැග හෝ කි. මීටර 41/2 ක්‌ වැනි කෙටි දුර ප්‍රමාණයක්‌ ගෙවා මෙම ස්‌ථානයට පහසුවෙන්ම ළඟා විය හැක. ඔබ බණ්‌ඩාරවෙල නවාතැන් ගන්නේ නම් සැතපුම් 16 ක්‌ පමණ දුර ගෙවමින් ඉතා දුෂ්කර මගක්‌ ඔස්‌සේ මෙම ස්‌ථානයට පැමිණිය යුතු බවද මතක තබා ගැනීම වැදගත්ය.


ප්‍රීති සපරමාදු - උපුටාගැනීම: දිවයින විශේෂාංග

ජේසුතුමන් මරියා මග්දලේනා සමග විවාහ දිවියක් ගතකළ බවට නවතම පර්යේෂණ කල්පිතයක්! - මූලාශ්‍රය ඉපැරණි ලියවිල්ලක්!


ජේසුතුමන් හා මරියා මග්දලේනා අඹුසැමියන් ලෙස ජීවත්වූ බවත් ඔවුන්ට දාව දරුවන් දෙදෙනෙකුද සිට ඇති බවත් පුරාණ ලේඛනයක් පදනම් කර ලියවුණු නව ඉතිහාස ග්‍රන්ථයක් විසින් අනාවරණය කර තිබේ.

වසර 1500ක් පමණ පැරණි මෙම ලේඛනය තුළ කුරුසයේ ඇණ ගැසීමට පෙර ජේසුතුමන්ගේ අප්‍රකට වසර 13ක ජීවිතය පිළිබඳ කරුණු දක්වා ඇතැයි පැවසේ. "Lost Gospel" හෙවත් සැඟවීගිය ශුභාරංචිය ලෙසින් හඳුන්වන මෙම ඉපැරණි අත්පිටපතට (ancient manuscript) අනුව මරිය මග්දලේනා සම ගැලවුම්කරුවා (co-messiah) ලෙස ක්‍රිස්තුස්වහන්සේ හා සම තත්වයේ තබා ඇත.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ජීවමානව වැඩවිසූ අවධියේ, උන්වහන්සේ ජීවත්වුනු ඉහල මෙසපොටේමියාව හා නැගෙනහිර අරාබිකරය පුරා පැතිරී තිබූ භාශාවක් වන සිරියක් භාශාවෙන් (Syriac Language) ලියා ඇති මෙම ලියවිලි පරිවර්තනය කොට ඇත්තේ ඉතා මෑතකදීය. පරිච්ඡේද 29කින් යුතු මෙම ලියැවිල්ල ක්‍රි.ව.570දී පමණ ලියැවුනු බවට සැළකෙන අතර 1840 වසරේදී ඊජිප්තු ක්‍රිස්තියානි ආරාමයක තිබී සොයාගැනුනා. දැන් එය ඇත්තේ මහා බ්‍රිතාන්‍ය ජාතික පුස්තකාලය සතුවයි.

මෙම අනාවරණය සිදුකර ඇත්තේ ටොරොන්ටෝහි යෝක් විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යනයන් පිළිබඳ මහාචාර්ය බැරී විල්සන් හා ඊශ්‍රායල-කැනේඩියානු ඉතිහාස රචකයෙකු සහ  සිනමාකරුවකු වන සිම්චා ජාකොබොවිචි විසිනි. පුරාණ ලේඛනය තුළ ජේසුතුමන් හා මරියා මග්දලේනා දෙදෙනාගේ දරු දෙදෙනාගේ නම් පවා සඳහන් ව ඇතැයි පැවසේ.

මෙම ලියවිලිවලට අනුව දැනට මරිය මග්දලේනා පිලිබඳව ඇති පුරාවෘත්ත ප්‍රතික්ෂේප වන බව පැවසෙනවා. දැනට ඇති පිලිගැනීම නම් මරිය මග්දලේනා කලක් ගණිකාවක් ලෙස පහත් ජීවිතයක් ගතකොට තිබෙනවා. එහෙත් මෙම ලියැවිලි අනුව මරිය මග්දලේනා ගණිකාවක් වැනි පහත් යයි සම්මත තැනැත්තියක් නොව උසස් කුළවන්තියක් බවත්, එකල දෙවඟනක් ලෙස සැළකුම් ලැබූ ඇත්තියක් බවත් මෙම ලියැවිලි පරිවර්තනය කල පර්යේෂකයින් පවසනවා.

නව අනාවරණයන් වංචාවක් යයි බැහැර කරන ලැන්කැස්ටර් දේවධර්ම සෙමනේරියේ නව තෙස්තමේන්තුව පිළිබඳ මහාචාර්ය ග්‍රෙග් කේරි පවසා ඇත්තේ මෙම ලේඛනය යළි හෙළිදරව් කිරීමේ අවශ්‍යතාවයක් නොවූ බවයි.

චීනය ඇන්ටාක්ටිකාවේ ගවේෂණ පුලුල් කරයි...

ආර්ථික වශයෙන් ඉතා වේගයෙන් ඉදිරියට යමින් සිටින චීනය සිය ධනය භාවිතා කරමින් මෙතෙක් ධනවත් රටවල් වලට පමණක් සීමාව තිබූ බොහෝ ගවේෂණ, පර්යේෂණ හා ක්‍රියාකාරකම් වලින් විශාල ප්‍රගතියක් අතපත් කරගනිමින් සිටී.  ලොව වේගවත්ම සුපිරි පරිගණක නිර්මාණය කිරීමේ තරඟයෙන් චීනය ඉදිරියෙන් සිටින අතර, අමෙරිකාව, ජපානය, ජර්මනිය වැනි රටවල් වලට බලවත් අභියෝගයක්ව සිටී.

අභ්‍යවකාශයට මිනිසුන් යවා ගෙන්වාගත හැකි තුන්වැනි රට බවටද පත්වී සිටින චීනය දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරමින් සිටී. අමෙරිකාවේ F-22 හා රුසියාවේ සුක්හොයි T-50 ස්ටෙල්ත් යානා වලට සමකල හැකි ස්ටෙල්ත් ප්‍රහාරක යානා නිර්මාණය කරමින් සිටිනා චීනය සිය නවතම ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන චෙන්ග්ඩු J-20 යානයේ පරීක්ශණ පියාසැරි ආරම්භ කලේ 2011 වසරේදීය. 2017 වනවිට එම යානය චීන ගුවන් හමුදාවට අනුයුක්ත කරගනු ඇත.

බටහිර රටවල් හා රුසියාවට පමණක් සීමාව තිබූ තවත් අංශයක වේගවත් දියුණුවක් චීනය අත්පත් කරගනිමින් සිටී. ඒ ධ්‍රැවාශ්‍රිත ප්‍රදේශවල ගවේෂණයයි. චීන ධැවාශ්‍රිත ප්‍රදේශ ගවේශණායතය (Polar Research Institute of China) 1989 වසරේදී පිහිටුවන ලද අතර මේ වනවිට ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධස්ථාන සතරක්ද, ආක්ටික් ප්‍රදේශයේ එක් පර්යේෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවා ඇති අතර ශූ-ලොන්ග් (Xue Long) හෙවත් හිම මකරා නම් විශාල අයිස් කඩන නෞකාවකින්ද සන්නද්ධය.


අපේ‍්‍රල් මසදී හිම මකරා නෞකාව චීනය විසින් ඇන්ටාක්ටිකාවේ සිදුකළ 30වන ගවේෂණය සම්පූර්ණ කලේය. 1994දී යුක්‍රේනයෙන් ලබාගත් මෙම නෞකාවට අඩි 4ක් ඝණ හිම තට්ටුවක් කඩාගෙන ඉදිරියට යා හැකියි. කාර්යමණ්ඩලයට අමතරව පර්යේෂකයින් 128 දෙනෙකුට මාස ගණනාවක් ජීවත්වෙමින් පර්යේෂණ සිදුකිරීමේ පහසුකම් මෙම නෞකාවේ ඇති අතර වර්ග අඩි 1100ක් විශාල පර්යේෂණගාර හා විද්‍යාගාර මෙහි තිබේ.

බටහිර ඇන්ටාක්ටිකාවේ කින්ග් ජෝර්ජ් අයිලන්ඩ් හි "ග්‍රේට් වෝල්' පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ලාස්මාන් කඳුවැටිය අසල ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත. මීට අමතරව නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ඩෝම් ආර්ගස් ප්‍රදේශයේ කුන්ලුන් පර්යේෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මකවේ. සතරවන මධ්‍යස්ථානය වන ටායිශාන් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ ප්‍රින්සස් එලිසබෙත් ලෑන්ඩ් නම් ප්‍රදේශයේයි.


චීනයේ ඇන්ටාක්ටික් ගවේෂණ කටයුතු හා ඒවායේ කඩිනම් ව්‍යාප්තිය පිලිබඳ අධයනයක් සිදුකල ඔස්ට්‍රේලියානු රජයට අයත් උපායමාර්ගික ප්‍රතිපත්ති සැකසුම් ආයතනය පවසන ආකාරයට චීනයට ඇන්ටාක්ටිකාවේ ඇති පර්යේෂණ මධ්‍යස්ථාන පහසුවෙන් යුධමය කටයුතු සඳහා අනුවර්තනය කරගත හැකියි. උදාහරණයක් ලෙස නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ශොන්ග්ෂෑන් පර්යේෂණ මධ්‍යස්ථානය ධැවීය කක්ෂ වල කක්ශගතකොට තිබෙන ඔත්තු බලන චන්ද්‍රිකා (polar orbit spy satellites) සමග පණිවුඩ හුවමාරු කරගැනීම සඳහා සුදුසුම ස්ථානයක් බව ඔවුන් පවසනවා.

අයිස් දියවී ගිය ග්‍රීෂ්ම  සෘතුවේදී ශොන්ග් ෂෑන් ඇන්ටාක්ටික් මධ්‍යස්ථානය දිස්වෙන අයුරු.
ඔස්ට්‍රේලියාව ඇන්ටාක්ටිකාවට ආසන්නයේම ඇති විශාලතම සංවර්ධිත රාජ්‍යය වන අතර ඇන්ටාක්ටිකාවේ මුහුදු ප්‍රදේශ හා එහි ඇති ස්වභාවික සම්පත් රැසකට අයිතිවාසිකම් කියනවා. දැනට ඇන්ටාක්ටිකාවේ සිදුවන ගවේෂණ හා සංචාරක ව්‍යාපෘති විශාල ප්‍රමාණයකට පහසුකම් සපයන්නේ ඔස්ට්‍රේලියාවට අයත් ටැස්මේනියා දූපතේ ඇති හෝබාර්ට් වරාය හා ගුවන් තොටුපොල මගිනුයි. මෙමගින් වාර්ශිකව විශාල ආදායමක් ඔස්ට්‍රේලියානු රජය උපයා ගන්නවා. චීනයේ ඇන්ටාක්ටිකා ක්‍රියාකාරකම් ගැන ඔස්ට්‍රේලියාව මෙතරම් උනන්දුවක් දක්වන්නට හේතුව එයයි.

මේ අතර ඔස්ට්‍රේලියාව තවත් තිගැස්මට භාජනය කල හැකි පුවතක් වාර්තාවනවා. චීනය ඇන්ටාක්ටිකාවේ ගුවන් පථයක් ඉදිකිරීමට සැසෙන බව එම වාර්තාවයි.  බෙයිජිං ඊවිනින් නිවුස් පවසන අන්දමට මෙම ගුවන් පථය නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ ප‍්‍රිඞ්ස් ලාර්ස්මන් කඳුවැටි ප‍්‍රදේශයේ පිහිටා ඇති ඇන්ටාක්ටික් සොන්ග්ෂෑන් මධ්‍යස්ථානය අසල ඉදිකරනු ඇති.

යෝජිත ගුවන් පථය චීනය සතුව ඇන්ටාක්ටිකාවේ ඇති මධ්‍යස්ථාන 4 සඳහා සහයදීමට නියමිතව තිබේ. ඇන්ටාක්ටිකාවේ ගවේෂකයන්ට මුහුදු මාර්ගයෙන් ගමනාගමනය කරන්නට සිදුවී තිබීම විද්‍යාත්මක පර්යේෂණයන් සීමාවීමට ප‍්‍රධාන හේතුවක් බව චීනය පවසන අතර මෙම ගුවන් පථය මගින් එම අපහසුව අවම කරගැනීමට බලපොරොත්තු වෙනෙවා.

ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ මධ්‍යස්ථාන පිහිටුවාගෙන සිටින රටවල් හා ඒවායේ පිහිටුම


එබෝලා වෛරසය ඇමරිකානු ජෛව අවියක්???

බටහිර අප‍්‍රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව අවියක් (Bio Weapon) බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.

ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ෆ‍්‍රැන්සිස් ඒ. බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අප‍්‍රිකාව තුළ පැතිර ගියේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් බවයි.

එය බටහිර අප‍්‍රිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් පිහිටුවා ඇති ජෛව අවි පර්යේෂණාගාර වල පිහිටීම වසංගතය පැතිරගිය ප‍්‍රදේශය හා සබැඳියාවක් දක්වන බවත් ඔහුගේ අදහසයි.

මෙවර පැතිර යන එබෝලා වෛරසය මෙතෙක් හඳුනාගෙන ඇති එබෝලා කාණ්ඩ 5න් වඩා මාරාන්තික සයරේ-එබෝලා වන අතර එය 1976දී මුලින්ම වසංගතයක් ලෙස පැතිරගිය පසු ඇමරිකානු පර්යේෂණාගාර විසින් ලබාගන්නට ඇතැයි මහාචාර්ය බොයිල් පවසා තිබේ.

ලයිබීරියානු විශ්වවිද්‍යාලයේ හා ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිරිල් බ්‍රොඩරික් පවසා ඇත්තේ එබෝලා වෛරසය පැතිරයාම පිළිබඳ සැබෑ තොරතුරු පෙන්ටගනය හා වසංගත පාලන මධ්‍යස්ථානය දන්නා හෙයින් ඔවුන් ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බවයි.

එය ජෛව අවි අත්හදා බැලීමක් හෝ පර්යේෂණාගාරයකින් කාන්දු වීමක් හෝ විය හැකි බවද ඔහු පවසා තිබේ.


ටර්බෝ චාජර් තුනක්ම ඇති එන්ජිමක් වොල්වෝ සමාගම නිර්මාණය කරයි!!!

ටර්බෝචාජරයක කොම්ප්‍රෙසරයේ ඇති අවරපෙත්ත
ටර්බෝචාජර් තාක්ශණය සරලව.....

ටර්බෝ යනු අලුත් තාක්ශණයක් නොව පැරණි තාක්ශණයකි. ටර්බෝ චාජරයේ ඇති සම්පීඩකය මගින් වාතය සම්පීඩනය කොට සිලින්ඩරවලට ඇතුලු කරනු ලැබේ. එවිට සිලින්ඩර තුලට වැඩි වායු ප්‍රමාණයක් ඇතුලුවන අතර එවිට සිලින්ඩරය තුල නොදැවී ඉතිරිවන ඉන්ධන අවම වන අතර කුඩා එන්ජිමකින් වැඩි බලයක් ලබාදෙයි. ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරයේ ඇති අවර පෙත්ත (compressor fan) කරකැවෙන්නේ එන්ජිමෙන් පිටවන අධික උණුසුමෙන් යුතු විමෝචක වායු (exhaust gasses) ටර්බයින් ෆෑනයක් හරහා යැවීමෙනි. ඒ අනුව ටර්බෝ චාජරය ක්‍රියාත්මක වීමට අමතර බලයක් අවශ්‍ය නොවේ.

ටර්බෝ චාජර්වල ඇති ප්‍රධාන දුබලතා දෙකකි. එකක් නම් ටර්බෝ චාජරයේ කොම්ප්‍රෙසරය මගින් සම්පීඩිත වාතය සිලින්ඩර වෙත ඇතුලු කිරීමට මද වෙලාවක් ගතවීමයි. විශේෂයෙන්ම එන්ජිම අඩු වේගවලි න් ගමන්කිරීමේදී කොම්ප්‍රෙසරය අඩුවේගයෙන් කරකැවීමෙන් මෙම ගැටලුව ඇතිවේ. Turbo Lag ලෙස මෙය හඳුන්වයි. ටර්බෝ චාජරයක් ඇති වාහනයක ඇක්සලරේටරය පාගන මොහොතේම එන්ජිම බලය ලබාදෙන්නට අපොහොසත් වන්නේ මේ නිසාවෙනි. ඇක්සලරේටරය වේගයෙන් පාගා ස්වල්ප මොහොතකින් එන්ජිමේ වේගය වැඩිවෙන බව රියැදුරාට දැනෙයි.

අනෙක් ගැටලුව නම් එන්ජිම වේගයෙන් ක්‍රියාතමක වීමේදී කොම්ප්‍රෙසරය අධික ලෙස රත්වීම නිසා ඉන් සිලින්ඩර් තුලට ලබාදෙන වාතයද අධික ලෙස රත්වී ඇතුලුවීමයි. මෙය ගැටළුවක් වන්නේ මෙලෙස වාතය අධික ලෙස රත්වීම නිසා ප්‍රසාරණය වීම හේතුවෙනි. අධික ලෙස රත්වී ප්‍රසාරණය වන වාතය වැඩි පරිමාවක් ගනී එබැවින් ටර්බෝචාජරය හරහා සිලින්ඩර තුලට ඇතුළුකරන වාතයේ පරිමාව ටර්බෝ චාජරය රත්වන්නට රත්වන්නට අඩුවේ. එවිට ටර්බෝචාජරය මගින් ලාබාදෙන අමතර බලය ක්‍රමයෙන් අඩුවේ. 

මෙම රත්වීම මගහැරීම සඳහා "Inter-Cooler" නම් තාක්ශණයක් යොදාගනී. මෙය සරල තාක්ශණයක් වන අතර ලංකාවේ මෙම තාක්ශණය පොදු ජනවහරට එක්වූයේ "Montero Intercooler" වැනි ජීප් රථවල නිශ්පාදකයා එය වාහනයේ අලුත් තාක්ශණයක් ලෙස උලුප්පා දැක්වූ බැවින් වුවත් ඉන්ටර්කූලර් තාක්ශණයේ මූලික සංකල්ප 1910 තරම් පැරණිය. 1910දී ඉන්ජර්සොල් රෑන්ඩ් (Ingersoll Rand) සමාගම සිය air compressor වල මෙම තාක්ශණයේ පැරණි සැකසුමක් ඉදිරිපත්කොට තිබුණි.

ඉන්ටර්කූලරයක් යනු සැබවින්ම heat exchanger එකකි. ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරයෙන් පිටවන සම්පීඩිත හා අධිකලෙස රත්වූ වාතය සිලින්ඩර වෙතට ඇතුළු කිරීමට පෙර සිසිල්කිරීම ඉන්ටර්කූලරයක් මගින් සිදුවේ. මෙලෙස සිසිල්වීම නිසා සම්පීඩිත වාතයේ ඝණත්වය වැඩිවී පරිමාව අඩුවීමෙන් වැඩි වාතය ප්‍රමාණයක් සිලින්ඩර තුලට නොකඩවා ඇතුලුකල හැකිය.

Volvo Three Turbocharger Concept Engine
l
ටර්බෝ චාජර් දෙකක් ඇති "Twin-Turbo" වර්ගයේ වාහන දැනටමත් වෙළඳපොලේ ඇත. වොල්වෝ සමාගම මින් තවත් ඔබ්බට ගොස් ටර්බෝ චාජර් තුනක් සම්බන්ධකොට එන්ජිමක් නිර්මාණය කොට ඇත්තේ ටර්බෝචාජර් එන්ජින්වල සහජ දුර්වලතාවය වන "turbo lag" නැතිකර දැමීමේ අරමුණින් බව පැවසේ. මෙහිදී ටර්බෝචාජර් දෙකක් එන්ජිමට වාතය ගෙන යන අතර තුන්වන ටර්බෝචාජරය මගින් එන්ජිමට සම්බන්ධ ටර්බෝචාජර දෙකට වාතය ලබාදෙයි. මේ අනුව එන්ජිම අඩු RPM වලින් ක්‍රියාත්මකවීමේදී ඇති "turbo lag" දුර්වලතාවය නැතිවී යයි. 

එමෙන්ම මෙම තුන්වන ටර්බෝචාජරයේ කොම්ප්‍රෙසරය ක්‍රියාත්මක වන්නේ විදුලි මෝටරයක් මගිනි. එන්ජිම RPM 3300 වනතෙක් මෙම තුන්වන ටර්බෝචාජරය ක්‍රියාත්මක වන අතර ඉන්පසු එය ක්‍රියාවිරහිතවේ. ලීටර් 2ක ධාරිතාවයකින් යුතු මෙම එන්ජිම අශ්වබල 450ක සුපිරි ජවයක් ලබාදීමට සමත්වී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ජවයක් ලබාගැනීමට ලීටර් 5ක, V8 වර්ගයේ විශාල එන්ජිමක් ඇවැසිය.




අපේ වායුගෝලය - උඩ සිට පහලට

Oap-atmosphere2-100707-02
Source: OurAmazingPlanet.com: Infographic: Earth's Atmosphere Top to Bottom

පෘථිවියේ උතුර දකුණ මාරුවෙයි


වසර 800,000කට පෙර පෘථිවියේ උත්තර් ධ්‍රැවය පිහිටියේ ඇන්ටාක්ටිකාවේය. දක්ශිණ ධ්‍රැවය ආක්ටික් සාගරයේ විය. පසුව එය නැවතත් අද ආකාරයට මාරුවිය. මෙම මාරුවීම කලින් කලට සිදුවෙන බව විද්‍යාඥයින් කාළයක සිටම දැන සිටියහ. පෘථිවියේ චුම්භක ධ‍්‍රැව මාරු වීම මෙතෙක් සිටියාට වඩා වේගයෙන් සිදුවිය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කාලයක් පෘථිවි භූ චුම්භක ක්‍ෂේත‍්‍රය සමාන ප‍්‍රබලතාවයකින් යුක්තව ක‍්‍රියාත්මක වන අතර පසුව එය දුර්වල වී ගොස් ධ‍්‍රැව මාරුවීම සිදුවන බව පැවසේ.  මින් පෙර විද්‍යාඥයින් සිතා සිටියේ ඒ සඳහා වසර 1000ක පමණ කාලයක් ගතවිය හැකි බවයි.

කෙසේවෙතත් එය වසර 100ක් පමණ කාලයක් තුළ සිදුවිය හැකි බව කැලිෆෝනියා බර්ක්ලි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් පවසා තිබේ.

මේ සඳහා ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම ඉතාලියේ සල්මෝනා ද්‍රෝණි ප‍්‍රදේශයේ ඇති ඉපැරණි විලක අවසාදිත කොටස් පිරික්සා ඇත.  එහි චුම්භක සංවේදී ඛනිජ වර්ග ඇති අතර පෘථිවියේ චුම්භක ක්‍ෂේත‍්‍ර බල රේඛා එම අවසාදිත තුළ සටහන් ව ඇතැයි වාර්තා වේ.

චුම්භක ධ‍්‍රැව වෙනස් වීමට අදාළ රේඛා සටහන් මින් වසර 786000ට පෙර සටහන්ව ඇතැයි විද්‍යාඥයින් විසින් අනාවරණය කර ඇති අතර ඒ අසල වෙනත් රේඛා සටහන් නොමැති වීම විසින් මෙය ඉතා වේගවත්ව සිදුවන්නට ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ වන විට පෘථිවි චුම්භක ක්‍ෂේත‍්‍රය දශකයක් තුළ 5%ක පමණ වේගයකින් දුර්වල වෙමින් ඇති අතර යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අනුව තවත් වසර 2000කින් පමණ මීළග ධ‍්‍රැව මාරුව සිදුවනු ඇත.

මෙම සංසිද්ධිය මිනිස් වර්ගයාට බලපානු ඇති ආකාරය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කළ යුතුව ඇති බව භූ කාලනිර්ණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක පෝල් රෙනේ පවසා තිබේ.

ඇමරිකන් GPS වෙනුවට ඉන්දියාවෙන් IRNSS

 

ඉන්දියාව විසින් GPS පද්ධතියට විකල්පයක් ලෙස IRNSS (Indian Regional Navigation Satellite System) නම් වූ දේශීයව නිෂ්පාදනය කළ නව ස්ථානීය පිහිටුම් සොයා ගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබේ. චන්ද්‍රිකා 7ක් සහ භූමියේ පිහිටි මධ්‍යස්ථාන දෙකකින් සමන්විත වන නව පද්ධතියෙන් ඉන්දියාව ආශ්‍රිත කලාපය සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි බව ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කර තිබේ.
සේවාව සිවිල් ජනතාව සඳහා සාමාන්‍ය සේවාවක්ද, යුධමය භාවිතයන් සඳහා රහස්‍යමය "මිලිටරි සේවාවක්ද" සපයනු ඇත. බැංගලෝරයේ පිහිටි ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ ISRO Deep Space Network මධ්‍යස්ථානයේ මෙම චන්ද්‍රිකා පද්ධතියේ මෙහෙයුම් කේන්ද්‍රය ස්ථාපනය කොට තිබේ. ඉන්දියානු අර්ධද්වීපය පුරා පැතිරුණු පාලන මධ්‍යස්ථාන 21ක් මගින් මෙම චන්ද්‍රිකාවල කක්ශයන් ගණනය කරමින් ඒවා එම කක්ශයන්වල රඳවාගැනීම සඳහා අවශ්‍ය ගණනය නිරීක්ශණය හා ගණනය කිරීම් (tracking and orbit calculation) සිදුකරයි.

මෙම සේවාව මගින් ඉන්දියානු භූමි ප්‍රදේශය තුල මීටර් 10කට අඩු නිරවද්‍යතාවයකින් (absolute position accuracy of better than 10 meters) යුතුව ස්ථානගත කිරීම් සිදුකල හැකි අතර, ඉන්දියානු අර්ධද්වීපය අවට කිලෝමීටර් 1500 කලාපය තුල මීටර් 20ක නිරවද්‍යතාවයකින් යුතුවද ස්ථානගත කිරීම් සිදුකල හැක.

මෙම සේවාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය චන්ද්‍රිකා, පාලන මධ්‍යස්ථාන, අධිතාක්ශණික උපකරණ යනාදී සියල්ලම මෙන්ම චන්ද්‍රිකා උඩුගුවනට යවන රොකට්ටුද පූර්ණ වශයෙන් ඉන්දියාවේ නිර්මාණය කොට නිශ්පාදනය කිරීමට තීරණය කොට ඇත.

 මේ වන විට පද්ධතියට අවශ්‍ය චන්ද්‍රිකා 7න් 3ක් කක්ෂගත කර ඇති අතර 2015 වන විට ඉතිරි සියළු යටිතල පහසුකම්ද සම්පූර්ණ කිරීමෙන් පසුව IRNSS පද්ධතිය පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වේ. ඇමරිකාව හමුදා විසින් පාලනය කරනු ලබන GPS පද්ධතියේ තොරතුරු හා නිරවද්‍යතාවය ඇමරිකාවට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම නිසා ඉන්දියාව මෙන්ම රුසියාව චීනය හා යුරෝපා සංගමයද GPSපද්ධතියට විකල්ප වෙනත් පද්ධති කිහිපයක් ස්ථාපිත කර ඇත.

වින්ඩෝස් 10 (ස්ටාර්ට් මෙනුව යලි පැමිණෙයි!)


පසුගිය අඟහරුවාදා මයික්‍රෝසොෆ්ට් සමාගම සිය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණයේ තාක්ශණික පූර්වාදර්ශණයක් (technical preview) ලොවට එලිදැක්වූවා. වින්ඩෝස් 10 ලෙස හඳුන්වාදුන් මෙය දැනට භාවිතාකරන්නන්ගේ නොසතුටට හේතුවී ඇති වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතියේ ඇති දුර්වලතා මගහරවමින්, එහි ඇති හොඳ ගතිලක්ශණ වැඩිදියුණු කරමින් මෙහෙයුම් පද්ධති ලෝකයේ මයික්‍රෝසොෆ්ට් ආධිපත්‍යය තවදුරටත් රඳවාගන්නට කෙරුණු උත්සහයක් බවට විචාරකයින් පෙන්වා දෙනවා.

වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්නන්ගේ නොමද උදහසට බඳුන්කරවූ එක් වෙනස්කමක් වූයේ වින්ඩෝස් 95 මෙහෙයුම් පද්ධතිය මෙගින් හඳුන්වාදී වින්ඩෝස් භාවිතාකරන්නන් හට නැතුවම බැරිවුනු ස්ටාර්ට් බොත්තම යලි කැඳවීමයි. එමෙන්ම භාවිතාකරන්නන් ව්‍යාකූල කරවූ මෙට්‍රෝ ටයිල් ආකාරයේ ඇප් විවෘත වන ආකාරය හා ක්‍රියාකරන ආකාරයද වෙනස් කොට තිබෙනවා.

වින්ඩෝස් 10 ස්ටාර්ට් බොත්තම එබූ විට ඔබට හුරුපුරුදු ස්ටාර්ට් මෙනුව දිස්වෙන අතර ඊට දකුණු පසින් මෙට්‍රෝ ටයිල් ආකාරයේ කුඩා ඇප්ස් කිහිපයක් දැකගත හැකියි. ප්‍රවෘත්ති, ඊමේල්, සමාජ-ජාල සබඳතා හා ඔබගේ ප්‍රියතම ඇප්ස් මෙම කොටසට එකතුකරගත හැකිවනවා.
වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ තවත් වැදගත් නවාංගයක් වන්නේ "virtual desktop" ගණනාවක් නිර්මාණය කරගැනීමේ හැකියාවයි. ඇපල් මැකින්ටොෂ් හා ලීනක්ස් වැනි මෙහෙයුම් පද්ධතිවල ඇති මෙම පහසුකම වින්ඩෝස් 10 සංස්කරණයත් සමග වින්ඩෝස් භාවිතාකරන්නන් හටද ලැබෙනවා. වර්චුවල් ඩෙස්ක්ටොප් යනු ඔබට හුරුපුරුදු වින්ඩෝස් ඩෙස්ක්ටොප් එක මෙන් කිහිපයක් නිර්මාණය කරගැනීමේ හැකියාවයි. උදාහරණයක් ලෙස ඔබගේ ලැප්ටොප් එක රැකියාවේදී හා නිවසේදී භාවිතා කරන්නේ නම් රැකියාවේ භාවිතාකරන ඇප්ලිකේෂන්ස්, ඇප්ස් හා ලිපිගොනු සඳහා වෙනම  ඩෙස්ක්ටොප් එකකුත්, නිවසේදී භාවිතාකරන ඔබගේ ගේම්ස්, මියුසික් ඇප්ස්, වීඩියෝ හා මියුසික් ගොනු තබාගත හැකි වෙනම ඩෙස්ක්ටොප් එකකුත් ලෙස ඩෙස්ක්ටොප් දෙකක් පහසුවෙන් සකසාගත හැකියි. ඔබ භාවිතා කරන වින්ඩෝස් 7, විස්ටා හෝ XP සංස්කරණවල මෙය සිදුකිරීමටනම් ඔබ මේ සඳහා හා වෙනම් යූසර් ලොග්-ඉන් (user log-in) දෙකක් සකසා ගෙන රැකියාවේ හා නිවසේ කටයුතු එම ලොග්-ඉන් තුල තබාගත යුතු වෙනවා. මෙය කරදර කාරී වන්නේ එක් ලොග්-ඉන් එකක සිට තවත් ලොග්-ඉන් එකක් කරා මාරුවීමේදී ගතවන කාලය හා අපහසුතායි. එහෙත් වර්චුවල් ඩෙස්ක්ටොප් තාක්ශණයේදී ක්ශණයකින් එක් ඩෙස්ක්ටොප් එකක සිට තව ඩෙස්ක්ටොප් එකකට මාරුවිය හැකියි.


ජාත්‍යන්තර පොත් මැනිං මාර්කට් එක


මැනිං මාර්කට් කිව්වම දන්නවනේ, සූ ගාලා සෙනග, හරිම අපිලිවෙලයි, පාරිභෝගිකයෝ හූරගෙන කන, කිසිම පහසුකමක් නැති තැනක් ඒක......

2014 පොත් ප්‍රදර්ශණයට ගියේ හුඟක් කාලෙකින්. අවුරුද්ද ගානේ එතැන වන්දනා කරන අය බ්ලොග් අවකාශයේ ගොඩක් හිටියත් මම ගියේ අවුරුදු 5කට විතර පස්සේ. අවුරුදු පහකින් වෙනස් වෙලා තියෙන්නේ මොනවද? පොත් වැඩියි, සෙනග වැඩියි, වාහන වැඩියි, තද බදය වැඩියි, පෝලිම් දිගයි, පොත්වල මිලත් වැඩියි.... ඔන්න වසර පහක ප්‍රගතිය.

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණය සංවිධානය කරන කට්ටියගේ සංගමයට පොත් ලියන, බ්ලොග් ලියන, පත්තරව වලට, වෙබ් වලට ලියන අය කියන්නේ, පොත් මුදලාලිලාගේ සංගමය කියලා. තවත් සමහර අය කියන්නේ පොත් මුදලාලි මාෆියාව කියලා. එයාලගෙ කියුම් කෙරුම් ගැන මම හරියටම නොදන්නේ මම පොත් ලියන ලේඛකයෙක් නොවෙන හින්දා හා පොත් කර්මාණ්තයට ආගන්තුකයෙක් හින්දා. ඒත් දන්නා අය ලියන කියන දේවල් ඇත්තද නැත්තද කියලා හිතාගන්න පුලුවන් පොත් සංගමයේ කට්ටියගේ ඇනුවල් බුක් එක්සිබිශන් එකේ සංවිධානය දිහා බැලුවහම.

මේ පොත් ප්‍රදර්ශණය හෙවත් පොත් මැනිං මාර්කට් එක, නැතිනම් පොත් මාළු මාර්කට් එක පොත් ලියන මිනිස්සුන්ටවත්, පොත් කියවන, පොත් ගන්න මිනිස්සුන්ටවත් සත පහක ගෞරවයක් තියෙන එවුන් සංවිධානය කරන එකක් නෙමෙයි.

සංවිධායක බබාලාගේ ඔලමොට්ටලකම් කොච්චරද කියන එක 13වැනි සෙනසුරාද හවස ප්‍රවෘත්ති අහනකොට දැන ගන්න ලැබුණා. පොත් ප්‍රදර්ශණයේ සංවිධායකලා ප්‍රවෘත්ති නිවේදනයක් දානවා BMICH එකට එන වාහන ගාල්කරන්ඩ තැන් මදි නිසා වාහන වල එන්නෙ නැතුව, ඒ ගොල්ලෝ දාලා තියන බස්වල එන්ඩ කියලා. වාහන ගාල් කරන්නේ කොයි තැන්වලද?, කොච්චර වෙලාවකට සැරයක් එතනට බස් එනවද?, ආපහු ගිහින් දානවද? මේ කිසිම විස්තරයක් නැතුව, පූර්ව ඉල්ලීමක්, ප්‍රචාරයක් නැතුව හරියට පොත් ගන්න එන මිනිස්සු වාහන වල ඇවිල්ලා ලොකු වැරද්දක් කරනවා වගේ පුවත් පත් නිවේදන දානවා කාර්වල එන්ඩ එපා, එයාලගෙ බස් සර්විස් එකේ එන්ඩ කියලා.

අවුරුදු ගානක් ප්‍රදර්ශණේ කරලත් මුන් තාම දන්නෙ නැද්ද දැයට කිරුළටත් වඩා සෙනගක් ලංකාවේ හතර දිබ්බාගෙන්ම මේ ප්‍රදර්ශනේ බලන්ඩ එනබව? ඒ මිනිස්සු එන වාහන නවත්ත ගන්ඩ ඉඩ ගිය අවුරුදු වල තිබුනද? නෑ...

එහෙනම් මේ අවුරුද්දෙ හරි තිබුණෙ නැද්ද ඔය බස් සර්විස් එක හරියට සැලසුම් කරලා, පූර්ව ප්‍රචාර සිදුකරලා, වාහන නවත්තලා එන්ඩ පුලුවන් තැන් පැහැදිලිව පත්තර වල, ටීවී වල දාලා මිනිස්සු දැනුවත් කරන්ඩ? එහෙම කරානම් මිනිස්සු ඔය විධියට පව්ගෙවන්නේ නෑනෙ...

ඔය ජනගඟ දෝරෙ ගලන්න තව හේතුවක් තමයි ප්‍රදර්ශනේ තියන දවස් ගණනේ අඩු බව. දහය හවස පටන්ගත්තා, දහසය හවස ඉවර කලා. එතකොට ඇත්තටම දවස් හයයි. ලක්ශ ගණනක් පොත් තියෙන, ඒවා ගන්ඩ ලක්ශ ගණනක් එන ප්‍රදර්ශනේ තියෙන්නේ දවස් 6යි!!

ඉතින් පොතක් අතින් අරගෙන පිටුවක් දෙකක් පෙරලන්ඩ ලැබෙන්නේ උදේ 9ට ඇතුලට පැන ගත්තොත් විතරයි ඒත් ඉතින් ප්‍රදර්ශණ කුටි දෙක තුනක කාලෙ අරගෙන පොත් පෙරලනකොට 10.30 පැනලා. ඊට පස්සෙ ජන ගඟ...

පොතක් ගන්නවා කියන්නේ අඩුම ගණනේ පොතේ පිටකවරෙ විස්තරයේ හරි කියවලා, හැඳින්වීම, පෙරවදන බලලා, ඇතුලෙන් පිටුවක් දෙකක් කියවලා ගතයුතු තීරණයක්නේ (තමුන්ට ඕනෑ මොන පොතද කියලා හරියටම දන්නේ නැතිනම්). මේ ප්‍රදර්ශනේට ආපු අයට බලන්න ලැබෙන්නේ පිට කවරෙ පින්තූරෙයි, ගාණයි විතරයි. සමහර කුටිවල ඒකත් බෑ, ඈතින් බලාගෙන යනවා විතරයි.

BMICH ගොඩක් ගණන් බව අපි දන්නවා. පැය දෙකතුනකට ඒයාර් කන්ඩිශන් දානවනම් ලක්ශයක් ඉල්ලනවා. ඉතින් කව්ද කිව්වෙ එකේ තියන්ඩ කියලා?

ඕක තියන්න බැරිද කොළම විශ්වවිද්‍යාලය වගේ තැනක? අඩුම ගණනේ කොළම නගර සභාවයි, ගෝඨා මහත්තයාගේ UDA එකයි එක්ක එකතුවෙල ගාලු මුවදොර පිටියේ තාවකාලික කූඩාරම් ගහල ඕක කරන්න පුලුවන්නේ? නිදහස් උත්සවේට රාජ්‍ය නායකයන්ට ඉන්ඩ කූඩාරම් ගහන්න පුලුවන් තැනක පොත් ප්‍රදර්ශණයකට ඒවගේ තාවකාලික ඉදිකිරීමක් කරලා සති දෙකක්, තුනක් ඔය ප්‍රදර්ශණේ ගෙනිච්චනම් මිනිස්සු හෙමින් සීරුවෙ ඇවිල්ලා, කාලෙ ගත කරලා, වැඩිපුර පොත් ගන්නවනේ.

සේවක පඩි නඩි ගැනත් කතාකරනවා, මොකද ප්‍රදර්ශයේ කාලෙට අමතර ගෙවීමක් කරන්න වෙනවනේ. ඒකාලෙට මුදලාලිලාගේ පොත් සාප්පු වහලා, නැතිනම් බාගෙට වහලා, මොකද සේවක සේවිකාවෝ පොත් ප්‍රදර්ශණයේ වහල් සේවයට යොදවලා. ඔයිට වඩා හොඳ නැද්ද කොළඹ, ජපුර වගේ විශ්වවිද්‍යාවල ළමයි තාවකාලිකව ප්‍රදර්ශනේ වැඩ වලට අරගෙන ඒ ළමයින්ට කීයක් හරි ගෙව්වානම්? ප්‍රදර්ශනේක පොත් විකුණන එක විශ්වවිද්‍යාල ළමයෙකුට නොගැලපෙන දෙයක් නෙමෙයිනේ?

පොත් මුදලාලිලාට ඕවා ගැන හිතන්න වෙලාවකුත්, කරදර වෙන්න ඕනෑ කමකුත් නැති බව අපි දන්නවා. එයාලා පිටරට පොත් ප්‍රදර්ශණවලටත් යනවා. මේ ළඟදී කොරියාවේ ප්‍රදර්ශණේකටත් ගිහිල්ලා එයාලගෙ වෙබ්සයිට් එකේ ෆෝටෝ දාලාත් තිබුණා. කොරියාවේ පොත් ප්‍රදර්ශණෙත් මෙයාල ඕර්ගනයිස් කරපු මාළු මාර්කට් එක වගේද දන්නේ නෑ??

පොත් සංගමේ ලොකු කට්ටිය කොරියාවේ පොත් ප්‍රදර්ශනේකට ගිහින්... (C) http://www.bookpublishers.lk/
පැය දෙකතුනක් යනකොට දෝරෙ ගලන වැසිකිලි තියෙන, නහය හකුලගෙන වත් ඇතුලට යන්න බැරි තරමට චූ කක්කා පෝලිම දික්වෙන, BMICH ඒකේම ලබන අවුරුද්දෙත් පොත් ප්‍රොදර්සනේ තියයි ජනාදිපත්තුමාටම එන්ඩ කියලා. ඒයා පෝලිමේ ඉන්නේ නෑනෙ...

තව කියන්න ගොඩක් දේවල් තියෙනවා...ඒත් මොකටද? හෙට අනිද්දට තව පුවත්පත් නිවේදනයක් දායි "හරිම සක්සෙස්ෆුල් බුක් ෆෙයාර් එකක් පැවැත්තුවා....අච්චර ලක්ශ ගාණක සෙනග ආවා....මෙච්චර ගාණක් පොත් වික්කා..2014 වෙරි සක්සෙස්ෆුල්, අපි 2015දිත් මේ විදියටම පොත් කියවන ජනතාව රස්තියාදුකරනවා..." කියල

COMMENTS

මේ යන විදිහට ඉස්සරහට ඔය ප්‍රදර්ශනෙත් බහින කලාවට යයි වගේ. මොකද මේ පාර ඕකට බී.එම්.අයි.සී .එච් එක ස්පොන්සර් නොකල නිසා කඩ වල ගාන ප්‍රදර්ෂකයොන්ගෙන් අය කරාලු. ඉස්සර සුළු ගානකටලු දුන්නෙ. දැන් මේ පාර ගත්තු මහ ගාන ලබන අවුරුද්දෙ පොත් වලට එකතු වෙනවලු. අනික ඒ ගාන වැඩි වෙච්චි නිසාලු මේ පාර දවස් දහය අහයට අඩු උනේ. මේ අරාබි රටවල තියෙනව විසාල කූඩාරම්. එකක් ඔය බීඑමයිසීඑච් එක විතර. අන්න එයින් එකක් දෙකක් ඔය උන්ට දෙන කෝටියෙ ගාස්තුවෙන් ගෙනත්, අවුරුදු පතා කොළ්ඹ පිට්ටනියක ගහල ප්‍රදර්ශනේ තිබ්බනං, අව්වත් නෑ, වැස්සත් නෑ, වැඩෙත් වෙලා ගානත් ඉතුරු වෙනව. 



පාසැල් යන කාළයේ අපි සිහින මැවූ ගැජට් එක...

අපි, ඒ කිව්වේ අපේ පරම්පරාවේ කට්ටිය ඉස්කෝලේ ගියේ දැන් කාලෙකට ඉස්සරින්. හරියටම කියනවනම් 1977 ඉඳන් 1990 වෙනකම් තමයි අපේ පරම්පරාවේ අය ඉස්කෝලේ ගියේ. අපිට සුන්දරම පාසැල් කාළය වුනේ අටේ පංතියේ විතර ඉඳන් ඒ.ලෙවල් වෙනකන් කාලේ. ඒ කාලේ තමයි අපි ගෑණු ළමයි ගැනත් උනන්දුවෙන්න පටන් ගත්තේ. දන්නේ නැති අයට දැනගන්නත් එක්ක කියන්න ඕනේ අපි ඉකෝලේ ගියේ පාසැල් බස් රථයේ, ඒ කියන්නේ ස්කූල් බස් එකේ. දැන් වගේ ස්කූල් වෑන් වැහි වැහැලා තිබුණේ නෑ ඒ කාලේ. බිග් මැච් කාළෙට බස් එක වැහෙන්න කොඩි විතරක් නෙමෙයි කොළ අතුත් එල්ලගෙන බස් එක තොරණක් කරගෙන පුදුම සතුටකින් තමයි ඒකාලේ පාසැල් ගියේ. දැන් වගේ බස් වල යන්න සල්ලි දුන්නෙත් නෑ අපේ තාත්තලා. අරගෙන දුන්නේ මාසෙටම යන්න පුලුවන් සීසන් ටිකට් එකක්. ඒ කිව්වෙ මාසික වාර ප්‍රවේශ පත්‍රයක්. දැන් ඉතින් ඒවා නෑනෙ.

දැන් කාලේ ඉස්කෝලෙ යන ළමයි සිහින මවන්නේ අලුත්ම අයිෆෝන් එකක් ගන්න, අයි පෑඩ් එකක් නැතිනම් අලුත්ම ගැලක්සි ටැබ් එකක් ගන්න. සමහර අය ලැප්ටොප් එකක් ගන්නත් සිහින මවනවා ඇති. අද අයිපෑඩ් එකක් සමග පෙනීසිටීම කොතරම් උන්මාදයක් වෙලාද කිව්වොත් සමහර ඉස්කෝලෙ යන වයසේ ළමයි කඩේට පාන් ගන්න එන්නේ, නැතිනම් දෙමව්පියන් එක්ක මැක්ඩොනල්ඩ්ස් එකට එන්නෙත්, දානෙ ගෙදරකට මළගෙදරකට යන්නෙත් අයිපෑඩ් එක අරගෙන. ඒක පාවිච්චි කරනවාට වඩා වටේට කරකවමින් පෙන්වන එක තමයි බොහෝවිට සිදුවන්නේ.

අපේ කාලේ, ඒ කියන්නේ 1980 ගණන්වල ඉස්කෝලේ යන කොල්ලෙකුට තියෙන්න පුළුවන් සිරාම ගැජට් එක තමයි.. "සෝනි වොක්මන්" කියන ජංගම කැසට් ප්ලේයර් එක. ඒව එකක් තියෙන එකා ඉස්කෝලේ ගැජට් කිං.


ජපානයේ සෝනි සමාගම ඔවුන්ගේ ඉතිහාසයේ ඉදිරිපත් කරපු හොඳම නිර්මාණයක් විදියට සෝනි වෝක්මන් ජංගම කැසට් ප්ලේයරය හඳුන්වන්න පුලුවන්. 1979 ජූලි 1වැනිදා ජපානයේ වෙලඳපොලට ඉදිරිපත් කරපු වෝක්මන් එක අමෙරිකන් වෙළඳපොලට එන්නේ 1980 ජූනි 1වැනිදා. ස්ටීරියෝ ක්‍රමයට හෙඩ් ෆෝන් ආධාරයෙන් සංගීතයට සවන්දෙන්න පුලුවන් විධියට නිර්මාණය කර තිබුනු වෝක්මන් එකේ තවත් විශේෂත්වයක් නම් හෙඩ් ෆෝන් දෙකක් සම්බන්ධ කරන්න පුලුවන් විධියට නිර්මාණය කොට තිබීම. තරුණ තරුණියන් ඉලක්ක කරගෙන නිර්මාණය කරලා තිබුණු නිසා යාළුවන් දෙදෙනෙකුට නැත්නම් පෙම්වතාට හා පෙම්වතියට එකට ඉඳගෙන සිංදු අහන්න පුලුවන් වෙන්නයි ඒ විධියට හෙඩ්ෆෝන් දෙකක් සම්බන්ධ කරන්න පහසුකම් සපයලා තිබුණේ.


AA ප්‍රමාණයේ බැටරි දෙකකින් බල ගැන්වුනු වෝක්මන් ස්ටීරියෝ ප්ලේරය ඒ කාලයේ හැටියට ඉතා හොඳ තත්වයේ සංගීත නාදයක් ලබා දුන්නා. ඩොල්බි ස්ටීරියෝ නොයිස් රිඩක්ෂන් තාක්ශණය හා බේස් බූස්ට් තාක්ශණය අඩංගු කරලා තිබුණ නිසා අධික මිළගණන් වලට විකුණුනු ලොකු කැසට් ප්ලේයර් වලින් ලැබුණු ප්‍රතිවාදන තත්වයට සමාන ප්‍රතිවාදන තත්වයක් වෝක්මන් එකෙන් ලබා දුන්නා.

වෝක්මන් ජංගම ප්ලේයරය මගින් ලොව පුරා සංගීත කර්මාණ්තයට ලබාදුන්නේ ඉමහත් රුකුලක්. ව්‍යායාමය සඳහා දුවන ගමන්, ඇවිදින ගමන්, බස් එකේ/කෝච්චියේ වැඩට යන ගමන්, පාසැල් යන ගමන් සිංදු අහන්න අවස්ථාව වෝක්මන් එක මගින් ලබා දුන්නා. අමෙරිකාව, බ්‍රිතාන්‍යය, ජපානය වගේ රටවල වෝක්මන් එකකින් සිංදු අහන ගමන් ජොගින් යන එක තරුණ තරුණියන් අතර ඉතා ජනප්‍රිය වුනා. හොලිවුඩ් චිත්‍රපටවල ඒකාලෙ බොහෝ තරුණ චරිත වෝක්මන් භාවිතා කරමින් සිංදු අහන චරිත නිසා වෝක්මන් උන්මාදය ලොව පුරා පැතුරුනා.


මේ උන්මාදයට "Walkman Effect "  කියලා නමකුත් පට බැඳුනා. වොක්මන් ජංගම සංගීත කැසට් ධාවකයෙන් තරුණ පරපුරට ඇතිවුන බලපෑම් ගැන පර්යේෂණ පවා සිදුවුනා. ඔවුන්ගේ එක් සොයාගැනීමක් වන්නේ වෝක්මන් වැනි ජංගම සංගීත යන්ත්‍රයකින් සංගීතයට සවන්දීමෙන් ඉතාම නීරස රැකියා හා ක්‍රියාකාරකම් වල නීරස හා ඒකාකාරි බව අඩු කරන්නට හේතු වන බව. උදාහරණයක් විධියට උදය කාලයේ ව්‍යායාම සඳහා දිවීම වැනි ක්‍රියාකාරකම් වල යෙදීම උනන්දුකරවීමට මේම යන්ත්‍ර හේතුවුන බව සොයා ගැනුනා. ඉන්ධන පිරවුම් හල්, කුඩා හෝටල් හා නවාතැන් පොලවල්, වෙනත් රාත්‍රියට පවා සේවා සපයන ස්ථානවල රාත්‍රී වැඩමුරයේ කම්මැලිබව හා නිදිමත නැතිකර ගන්නට වෝක්මන් එක බොහෝ පිහිට වුනා.

හොඳ වගේම වෝක්මන් එෆෙක්ට් එකේ නරකත් තිබෙන බව සොයා ගැනුනා. ප්‍රධාන වශයෙන්ම තරුණ තරුණියන්ගේ කන් ඇසීම අඩුවීමට වෝක්මන් හෙඩ්ෆෝන් භාවිතයෙන් උස් හඬින් සංගීතයට සවන්දීම හේතු වුනා. ඒ වගේම සමාජයෙන් ඈත්ව හුදෙකලා වීමට වෝක්මන් උපකාරී වීමත් සමාජ සම්බන්ධතා වලට එතරම් හොඳ නැති බව පර්යේෂකයින්ගේ මතය වුනා.

කාත් එක්ක වත් කතාකරන්නේ නැතුව මුලු දවසම වෝක්මන් එකෙන් සිංදු අහන තරුණ පරපුරක් ඒ කාලේ බිහිවෙමින් තිබුණා. අද ස්මාර්ට්ෆෝන්, අයිපොඩ් හා අයි පෑඩ් වගේම අන්තර්ජාලයේ සමාජ ජාල, එදා වෝක්මන් එක නවත්තපු තැනින් පටන්ගෙන තරුණ තරුණියන්ව තමන්ගේ කාමරවලට කොටු කරන්නට හේතුවෙලා.

ලොව පැරණිම වඩු කර්මාන්තයේ නටබුන් ජර්මනියෙන් හමුවේ.. වසර 7000කට පෙර යකඩ ආයුධ නොතිබූ නව ශිලා යුගයේ වඩුවන් දැව කපන්නට යොදාගෙන ඇත්තේ ගින්දර!!


ජර්මානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉකුත් දිනයක ජර්මනියේ ලීප්සිග් නුවරට යාබද පුරාවිද්‍යා කැණීම් බිමක කැණීම් කටයුතු සිදුකරමින් සිටියහ. මඳින් මඳ පොළොව ඇතුළතට කැණීම් සිදුකළ විද්‍යාඥයන් පිරිසද මවිතයට පත් කරමින් මෙතෙක් ලොව හෙළි නොවූ අපූරු පුරාවිද්‍යා සාධකයක් මතුකර ගැනීමට ඔවුහු සමත් වූහ.

එම පුරාවිද්‍යාඥයන් පිරිස සොයා ගත් එම නවමු සොයාගැනීම වූයේ මෙයට වසර 7,000කට පෙර මිනිසා දැවයෙන් ඉදිකරන ලද ළිං සතරකි. මිනිසා වඩුවැඩ කිරීම් ආරම්භය මෑත කාලයේ යැයි බොහෝ දෙනකු නිගමනය කළ මතවාද ප්‍රතික්ෂේප කරමින් මෙම ඉපැරැණි දැව ළිං සතර මතු කරගත් පර්යේෂක පිරිස පවසන්නේ මෙම ළිං ක්‍රිස්තු පූර්ව 5,600ත් 4,900ත් අතර කාලය තුළ සකස් කළ ඒවා බවයි. කලින් පැවති මතය වූයේ දැව නිර්මාණ සිදුකිරීම සඳහා ඒවා නිසි පරිදි කැපීමට යකඩ කියත් වැනි සංකීර්ණ ආයුධ අවශ්‍ය බැවින්, එම ආයුධ සකසාගත හැකි කාළය වනතෙක් දැව කපා සකස්කොට භාවිතාකල වඩු කර්මාන්තයක් නොතිබූ බවයි.

ජර්මානු ජාතික විලී ටෙගල් හා ආචාර්ය ඩීට්රිච් හේකල්බර්ග් යන පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නවමු සොයාගැනීම සිදුකළ අතර ඔවුහු පවසන්නේ ප්‍රථම මධ්‍යම යුරෝපීය කෘෂි ශිෂ්ටාචාරයට අයත් මිනිසුන් විසින් මෙම දැව ළිං සතර නිර්මාණය කරන්නට ඇති බවයි. වර්තමානයේ ළිං සෑදීම සඳහා එනම් ළිඳේ බැම්ම බැඳීම සඳහා යොදා ගන්නේ සිමෙන්ති බදාමයයි. එහෙත් මෙයට වසර 7,000කට පෙර වඩුවන් විසින් එවන් ළිං බැමි අලංකාරවත් ලෙස දැවයෙන් නිම කර ඇති බව මෙමඟින් තහවුරු වී තිබේ.

ජර්මනියේ ලීප්සිග් ප්‍රදේශයේ දිය පිරි වගුරු භූමි භාගයක් ඇතුළත මෙම කැණීම් කටයුතු සිදුකළ පර්යේෂකයන්ට ඕක් ලීයෙන් නිම කරන ලද මෙම දැව ළිං හමුවී තිබේ. නව ශිලා යුගයට අයත් යැයි සැලැකෙන පැරැණි ඕක් ලීයෙන් නිම කරන ලද මෙම ළිං හතර වසර 7,000ක් සුරක්ෂිතව පැවැතීමට හේතුව එම ප්‍රදේශයේ පැවැති ගොහොරු පරිසර වටපිටාව බව පර්යේෂකයෝ පවසති.

ගොහොරු පරිසරයේ යට විනාශ නොවී සුරක්‍ෂිතව පැවැති දැව ළිං බැමි සතරට අමතරව, දැවයෙන් නිම කරන ලද රූප නිර්මාණ, ගස්වල පොතුවලින් තැනූ බඳුන් සහ දැවයෙන් නිර්මාණය කරන ලද විවිධ නිර්මාණ කිහිපයක්ද ඔවුහු සොයා ගත්හ. විද්‍යාඥයන් පවසන්නේ ගොහොරු බිමේ උඩින් ජලය සහ මඩ තැන්පත්වී පැවැතීම නිසා මෙම වසර 7,000කට පෙර ඉදිකරන ලද දැව ළිංවලට වාතාශ්‍රය නොයෑම හේතුවෙන් ඒවා විනාශ වී නොමැති බවයි.

දැව කාලනිර්ණ විද්‍යාව හරහා මෙම දැව ළිං නිර්මාණය කළ කාලවකවානුව නිශ්චිත ලෙස හඳුනාගත් විද්‍යාඥයෝ එම ගස් කැපූ කාල වකවානුව, ගස් වර්ගය ආදී තවත් බොහෝ දැව පර්යේෂණයත් හරහා සොයා ගත්හ. ඒ අනුව මෙම පැරැණි ඕක් ගස් ඉතා විශාල යෝධ ගස් ලෙස පිහිටා තිබූ බවත් නව ශිලා යුගයේ මුල් කාලයේදී එවකට විසූ වඩුවන් විසින් ශිලාමය වෑයන් භාවිත කරමින් ඒවා පෙරළා දැව කොටස් වෙන්කර ඇති බවත් හෙළි කරගෙන තිබේ.

පෙරළා ගත් සුවිසල් වෘක්ෂයන්හි කඳන් පැළීමට ගල් මෙවලම් භාවිත කළ ලක්ෂණද විද්‍යාඥයන් සොයාගත්හ. කැබලි ලෙස සකස් කරගත් එම ලෑලි ගෙන සමචතුරස්‍ර හැඩයට තබා ගින්දරෙන් පුච්චා අවශ්‍ය පමණට කැබලි කරගැනීමට ඔවුහු සමත්වී තිබේ. විද්‍යාඥයන් පවසන්නේ අද පවතින වෑල්ඩින් ක්‍රමයට හා සමාන දැව පෑස්සුම් ක්‍රමයක් මෙයට වසර 7,000කට පෙර නව ශිලා යුගයේ වඩුවන් සතුව පැවැති බවයි.

ඉතා සූක්ෂ්ම ලෙස ළිදක වටප්‍රමාණයට සරිලන පරිදි දැවමය ළිං බැමි නිමැවීමට තරම් දියුණු තාක්‍ෂණයක් එවකට පැවැතීමෙන් එසමයෙහි මානවයා කෙරෙහි පැවැති වඩුවැඩ ශිල්පීයභාවයද මැනවින් පසක් වේ. මෙම දැවමය ළිං හතර වසර 7,000ක් පමණ ඉපැරැණි වඩු නිර්මාණ බවට කාල නිර්ණය සිදුකර ගැනීමත් සමඟ පුරාවිද්‍යාඥ විලී ටෙගල් මහතා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ මෙබන්දකි.

"නව ශිලා යුගයේ විප්ලවය කියන්නේ මිනිස් වර්ගයාගේ ඉතිහාසයේ සිදුවූ පෙරළියයි. (neolithic revolution) එතෙක් මිනිසා එක් තැනක වාසය නොකොට දඩයම් ක්‍රමය සිදුකරමින් විවිධ තැන්වලට සංක්‍රමණය වුණා. නමුත් ඔවුන් නව ශිලා යුගයට ආ පසුව එක් තැනක වාසයට සීමා වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට මිනිසුන් එක් වීමයි. කෘෂිකර්මය සඳහා ජලය අවශ්‍ය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නව ශිලා යුගයේ මානවයා අති විශිෂ්ට තාක්ෂණික අංග නිරූපණය කරමින් දැවමය ළිං සාදන්න පටන් ගත්තා. දැවයට දැවයක් ඇලවීමේ ඇතැම් ක්‍රමවේදයන් සඳහා අදට වඩා එදා වඩුවන් සතුව දියුණු තාක්ෂණයක් පැවැතුනා කියලා මේ පර්යේෂණයෙන් අපි තහවුරු කරගත්තා."

Sources;
http://www.mawbima.lk/95-65293-news-detail.html
http://www.dailymail.co.uk/sciencetech/article-2255383/The-carpenters-7-000-year-old-German-water-wells-reveal-earliest-known-use-wood-construction.html

සයිමන්ට විස්සයි, නිව්ටන්ට විසි එකයි [ස්මාර්ට් ෆෝන් පරපුරේ මී මුත්තන් දෙදෙනෙකුගේ කතාව]

ලොව මුල්ම ස්මාර්ට් ෆෝන ලෙස සැළැකෙන ‘‘අයි බී එම් සයිමන්‘‘ පසුගියදා තම 20 වැනි උපන්දිනය සැමරීය. එමෙන්ම ලොව මුල්ම මැසේජ් පෑඩ් එක ලෙස සැලකෙන ඇපල් නිව්ටන් වෙළඳපොලට නිකුත්ව දැන් වසර 21කි.
Apple Newton Message Pad - 1993 (Image Credit - Wiki Media Commons)
IBM Simon Cellular Smartphone - 1994 (Image Credit - Wiki Media Commons)
අයි.බී.එම් සයිමන්

සයිමන් ඇමරිකාවේ අයිබීඑම් සමාගමේ නිශ්පාදනයකි.ජංගම දුරකථනයක් හා සාක්කු පරිගණකයක දෙමුහුමක් ලෙස නිර්මානය කෙරුණු එය වර්තමානයේ නැතුවම බැරි උපාංගයක් බවට පත්ව ඇති ස්මාර්ට් ෆෝනයන් වල පළමු උත්සාහයයි.

ගඩොල් භාගයක් තරමේ වන ‘‘සයිමන්‘‘ ග්‍රෑම් 500 ක් පමණ බරැතිය. සංවේදී LCD තිරයකින් හා එම තිරය මත ඇඳීීමට ලබාදී තිබුණු විශේෂ පෑනකින් (Stylus) එය සමන්විතය. අයි.බී.එම් සමාගම නිර්මාණය කොට ජපානයේ මිට්සුබිෂි ඉලෙක්ට්‍රික් සමාගම මගින් නිශ්පාදනය කරන ලද සයිමන් සෙලියුලර් ස්මාර්ට් ෆෝනය එලිදැක්වුනේ 1994 අගෝස්තු මසදීය.

දුරකථන ඇමතුම් ගැනීම,ෆැක්ස් පත් යැවීම මෙන්ම සංවේදී තිරය මත පෑනෙන් එක එක දේ ඇඳ හෝ ලියා හෝ විද්‍යුත් ලිපියක් ලෙස පරිගණකයක් වෙත යැවීමේ හැකියාවද එයට ඇත. මීට අමතරව වැනි මෘදුකාංග (ඇප්ස්) මෙහි අඩංගු විය. මීට අමතරව address book, calendar, appointment scheduler, calculator, world time clock, electronic note pad  වැනි මෘදුකාංග (ඇප්ස්) මෙහි අඩංගු විය.

මතක ධාරිතාවය මෙගාබයිට් 1ක් වූ සයිමන් ස්මාර්ට්ෆෝනය AMPS තාක්ශණයේ සෙලියුලර් ජාල සමග සම්බන්ධවිය හැකි ලෙස නිර්මාණය කොට තිබුණි. AMPS ඇනලොග් සෙලියුලර් තාක්ශණයක් වන අතර එකල ශ්‍රී ලංකාවේ "මොබිටෙල්" ජාලය AMPS තාක්ශණයෙන් ක්‍රියාත්මක විය.

සයිමන් අයිබීඑම් සමාගම සිතූ පරිදි ජනපි‍්‍රය නොවුනි.එහි විශාලත්වයත්, සංකීර්ණ භාවයත් සාමාන්‍ය ජංගම දුරකථනයක් භාවිතා කිරීමට පුරුදුව සිටි පරිශීලකයෝ එයට ආකර්ෂණය වීම වැළැක්වූ හේතු විය

.
අමෙරිකානු සෙලියුලර් සමාගමක් වන බෙල් සවුත් සමාගම අයි.බී.එම් සයිමන් ස්මාර්ට් ෆෝනය පිලිබඳව පලකල වෙළඳ දැන්වීම්

ඇතැමුන් සයිමන් මිලදී ගත්තද පසුව හෙළිවූයේ දුරකථන ඇමතුමක යෙදිය හැකිව සිටින්නට හැක්කේ පැයක පමණ කාලයක් පමණක් බවය.එම කාලය ගතවී අවසානය වන විට බැටරිය බින්දුවටම බසී. මෙවන් කරුණු නිසා සයිමන් අසාර්ථක ව්‍යාපෘතියක් වුනි.ඩොලර් 899 කට මිල කර වෙළඳපොළට නිකුත් කෙරුණද මාස කිහිපයක ඇවෑමෙන් මිල ඩොලර් 599 ක් දක්වා පහත බැස්සේය.මෙනිසා තවත් මාස කිහිපයක් බලා සිට සයිමන් සදහටම වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමට අයිබීඑම් සමාගම කටයුතු කළේය

ඇපල් නිව්ටන්

මුලුමනින්ම පරිගණක නිර්මාණය කිරීමෙ සමාගමක් ලෙස තිබූ ඇපල් සමාගම මුල්වරට පාරිභෝගික ඉලෙක්ට්‍රොණික භාණ්ඩ (consumer electronics) නිර්මාණයක් ලෙස ඉදිරිපත් කලේ මැසේජ් පෑඩ් එකයි.

ඇපල් සමාගම මගින් නිර්මාණය කල මෙය නිශ්පාදනය කලේ ජපානයේ ෂාප් සමාගමයි. මුල්වරට තිරයේ ලියන අත් අකුරු හඳුනාගෙන ඒවා පරිගණක අකුරු බවට පරිවර්තනය කල හැකි තාක්ශණයක් (hand writing recognition technology) ප්‍රායෝගිකව හඳුන්වා දුන්නේ නිව්ටන් මැසේජ් පෑඩ් එක මගිනි. අයි.බී.එම් සයිමන් තිරයේද ස්ටයිලස් එකක් ආධාරයෙන් රූප ඇඳිය හැකිව තිබුණු නමුත් අකුරු හඳුනාගැනීමේ හැකියාව එයට නොතිබුණි. එකල එතරම් නොමේරූ තාක්ශණයක් ව තිබුණු අත් අකුරු හඳුනාගැනීමේ තාක්ශණය නිසිපරිදි ක්‍රියාත්මක නොවීම නිව්ටන් මැසේජ් පෑඩ් එකේ අසාර්ථකත්වයට බොහෝසේ දායකවූ බව විචාරකයින්ගේ පිලිගැනීමයි.
ඇපල් සමාගම නිව්ටන් මැසේජ් පෑඩය පිලිබඳව පලකල වෙළඳ දැන්වීම්
මීට අමතරව LCD සංවේදී තිරය මත ජනනය වන on screen keyboard මගින් සයිලස් එක හරහා අකුරු ලිවීමේ හැකියාවද තිබුණි. මෙය අද සියලු ස්මාර්ට් ෆෝන් වල එන on screen keyboard එකට සැම අතින්ම සමාන විය.සෙලියුලර් ජාල හා සම්බන්ධවීමේ හැකියාවක් නොතිබූ බැවින් ස්මාර්ට් ෆෝනයක් ලෙස ගත නොහැකි වුවද, අද අප භාවිතා කරන අයිෆෝන් හා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන වල ඇති  බොහෝ තාක්ශණයන්ගේ තිඹිරිගෙය වන්නේ ඇපල් නිව්ටන් මැසේජ් පෑඩයයි.