ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධිය ගැන ඔබ දැන ගත යුතු දේවල් 10ක්



1. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර ගැන මුලින්ම කල්පිත ඉදිරිපත් කලේ පැරණි ග්‍රීකයන්ය. ඔවුන්ගේ පුරාවෘතවල එන  හෙෆීස්ටස්ගේ රන්මුවා යාන්ත්‍රික සේනාව (golden mechanical army of Hephaestus) මින් එක් අවස්ථාවකි.

2. පරිගණකයක් සැබෑවටම කෘත්‍රිම බුද්ධියෙන් යුතුනම් එය හා කතාබස් කරන වෙනත් මිනිසෙකුට තමා කතාබස් කරන්නේ යන්ත්‍රයක් සමග බව අවබෝධ නොවනු ඇතැයි 1950දී ශ්‍රේෂ්ඨ පරිගණක විද්‍යාඥ ඇලන් ටියුරිං ප්‍රකාශකලේය. මේ සඳහා "Turing Test" නම් පරීක්ෂණයක්ද ඔහු විසින් සැකසුවේය.

3. ස්වභාවිකව කතාකරන භාශාවක් තේරුම් ගැනීම සාර්ථක කෘත්‍රිම බුද්ධියක ලක්ෂණයකි.

4. ඔබගේ ජංගම දුරකථනයේ එන ඇපල් සිරී - ගූගල් වොයිස් - මයික්‍රොසොෆ්ට් කෝර්ටානා යනු ඇප් හරහා දිවෙන කෘත්‍රිම බුද්ධි වැඩසටහන්ය. ෆෝනය තුල ඇති ඇප් එක අන්තර්ජාලය ඔස්සේ ප්‍රධාන කෘත්‍රිම බුද්ධි වැඩසටහන හා සම්බන්ධවීමෙන් ඔබට සාක්කුවේ ගෙනයන කෘත්‍රිම බුද්ධිය සහයකයෙකු ලැබේ.

5. ලංකාවේ විද්‍යාප්‍රබන්ධ ලෝලීන් වැඩිදෙනෙකු (ලේඛකයාද ඇතුලුව) මුලින්ම හඳුනාගත් කෘත්‍රිම බුද්ධි යන්ත්‍රය වන්නේ ආතර් සී ක්ලාක්ගේ 2001 ප්‍රබන්ධයේ එන HAL පරිගණකයයි.

6. කෘත්‍රිම බුද්ධි පර්යේෂණ සඳහා ධනවත් රටවල් කෝටි ප්‍රකෝටි ගණනින් ආයෝජන කරමින් සිටී. මෙය ඊලඟ කර්මික විප්ලවයට මග පාදන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි.

7. මහාචාර්ය ස්ටීවන් හෝකින්, ටෙස්ලා සමාගමේ ඊලෝන් මස්ක් මෙන්ම මයික්‍රෝසොෆ්ට් සමාගමේ බිල් ගේට්ස්ද කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර සමාජ ව්‍යසනයන්ට මගපාදන බවට දැනටමත් අණතුරු අඟවා ඇත.

8. කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර හා රොබෝවන් නිසා නුදුරු අනාගතයේදීම ලක්ෂ ගණනකට රැකියා අහිමිවන බවට අණතුරු ඇඟවී තිබෙනවා. රියැදුරු, කම්කරු, ලිපිකරු වැනි සරළ රැකියා පමණක් නොව වෘත්තිකයින්ටද රැකියා අහිමි වන බවට අනාවැකි ඇත.

9. මානවරූපී කාන්තා රුවැති රොබෝවන් නිවසේ අත් උදව්වට මෙන්ම ගණිකා නිවාසවල මිනිස් ගණිකාවන් වෙනුවට සේවයට එන දිනය එතරම් ඈතක නොවේ. මිනිසුන් රොබෝවන් කසාද බඳින දිනයකුත් එනු ඇතැයි විද්‍යා ප්‍රබන්ධවල කියැවේ. විශ්වාසවන්ත, කිසිදා හැරනොයන රොබෝ සහකරුවෙකු / සහකාරියක තෝරා ගන්නට බොහෝ දෙන පෙළඹෙනු ඇතැයි සිතිය හැකිය.

10. "Electronic persons act" හෙවත් ඉලෙක්ට්‍රොණික පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පනත, යනුවෙන් රොබෝවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා පනතක් යුරෝපා පාර්ලිමේන්තුවේ කෙටුම්පත් වෙමින් තිබේ. කෘත්‍රිම සිතුවිලි ඇති යන්ත්‍ර බිහිවූ දාක, ඒවා ආරක්ෂා කිරීමට, මිනිසුන් අතින් ඒවාට අනවශ්‍ය අපයෝජන සිදුවීම වැලැක්වීමත් මේ පනතේ අරමුණ ලෙස දැක්වේ. තවත් අරමුණක් නම් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මිනිසුන්ට එදිරිව නැගී සිටීමට ඇති ඉඩකඩ අවම කිරීමයි.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments