POLITICS : යහපාලකයිනි! ප්‍රායෝගික දේශපාලනය ඉගෙන ගන්න Game of Thrones බලන්න
























අතිශයින්ම ජනාදරයට පාත්‍රව ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් රූපවාහිණී වෘතාන්තයේ සත්වන කාණ්ඩය (Season 7) පසුගිය ජූලි 16 වැනිදා ප්‍රේක්ෂක හමුවන පැමිණියා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් නරඹන සෑම කෙනෙකුගේම අපේක්ෂාව වන්නේ යකඩ සිංහාසනයේ සිංහාසනාරූඪ වන්නට වාසනාව ලබන්නේ කවුරුන්ද යන්න දැනගැනීමටයි. එපමණක් නොව කෙතරම් බලසම්පන්නයෙකු වුවද ඕනෑම මොහොතක කුරිරු මරණයකට ගොදුරුවිය හැකි, මිතුරන් වෙසින් එන සතරන් සැම තැනම දිස්වන, රුදුරු ප්‍රචන්ඩත්වයෙන් පිරි මේ මනහ්කල්පිත රාජධානි සතම (Seven Kingdoms) එක්සේසත් කොට නයිට් වෝකර් අමනුෂ්‍ය බලය බිඳ දමන්නේ කවුද? රජකම හෝ බළය කෙසේ වෙතත් සීසන් එක අවසන් වනතෙක්, ආයුෂ හා අතපය රැක ගන්නට කීදෙනෙකුට හැකිවේද?

ඇමරිකානු ලේඛක ජෝර්ජ් ආර් ආර් මාටින් විසින් රචිත "A song of fire and ice" නම් නවකතා මාලාවේ අනුවර්තනයක් ලෙස ඩේව්ඩ් බෙනිඕෆ් හා ඩී.බී වෙයිස් විසින් රූපවාහිණී කතාමාලාවක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙයට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෙස නම් තබා ඇත්තේ කොටස් සතකින් යුතු පොත් සතක් ලෙස ප්‍රකාශවුනු සොන්ග් ඔෆ් ෆයර් ඇන්ඩ් අයිස් නවකතා මාලාවේ පලමු පොතවූ "අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්" පොත ඇසුරිනුයි.

විවිධ රාෂ්ඨපාලන ඔවදන්, උපායමාර්ග හා ක්‍රියාදාමයන්ගෙන් පිරී ඇති ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවස්තුවේ මූලික හරය වන්නේ බලය ලබාගැනීමටත් රැක ගැනීමටත් "හොඳවීම හා ගෞරවාන්විතව හැසීරීම" පමණක් කිසිසේත් නොසෑහෙන බවයි. ශූරලෙස අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීම, සතුරන් ලවා වෙනත් සතුරන් වැනසීම, වගේම රජෙකු වුවත්, රටේ වෙනත් බළගතු පුද්ගලයින් හා පවුල් සමග අනවශ්‍ය ආරවුල්වල පැටලීමට නොයාම හා එසේ කිරීමේ ආදීනවද ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවස්තුව පුරාවටම පෙන්වාදී තිබෙනවා. එමෙන්ම සීමා රහිතව දුෂ්ඨවීම, කළගුණ අමතකවීම මෙන්ම අනවශ්‍ය ලෙස කළගුණ සළකන්නට යෑමද එකසේ අගුණ වනවා. 

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාවලින් පෙන්වා දෙන තවත් වැදගත් පාඩමක් නම් බලය ලබාගැනීමටත්, පවත්වාගෙන යාමටත් චරපුරුෂයින්ගේ හා ඔත්තු සේවාවල වැදගත් කමයි. තමන්ගේ සතුරන් පිලිබඳව පමණක් නොව තමන්ගේ ලඟම හිතවතුන් පිලිබඳවද හොඳින් ඇසගසාගෙන විමසිල්ලෙන් සිටින චරපුරුෂ සේවාවක් බලය අපේක්ෂාකරන මෙන්ම බලය ඇති පුද්ගලයින්ගේද ආරක්ෂාව සඳහාම වනවා. එමෙන්ම දේශපාලන හා යුධමය සන්ධානවල වැදගත් කම මෙන්ම එවැනි සන්ධාන හා එකඟතාවල ඇති අවිනිෂ්චිත භාවයද පෙන්වා දෙනවා.


කතාමාලාවේ පලමු වාරයේම (Season 01) දිවි අහිමි කරගත් නෙඩ් ස්ටාර්ක්, අවංක බවේ, පක්ෂපාතීත්වයේ හා ගෞරවාන්විත ලෙස හැසිරීමේ ප්‍රතිමූර්තියක් වනවා. එහෙත් නුවණ මෙහෙයවා කටයුතු නොකිරීම, රාජ්‍යයේ ප්‍රධාන ඇමතියා (Kings Hand) වුවද රජමාළිගයේ සිදුවන රහසිගත කුමණ්ත්‍රන, රැජිනගේ හා ඇයගේ සොයුරාගේ අසම්මත හැසිරීම, හා ඔවුනට දාව ඉපදුනු, රජු තමන්ගේ යයි සිතන දරුවන් ආදී කිසිවක් නොදත් නෙඩ් ස්ටාර්ක්, ඔහු සේවය කල රජු අවාසනාවන්ත ලෙස මිය යාමෙන් වැඩිකලක් යන්නට පෙර කුමණ්ත්‍රණයකට හසුව කුරිරු මරණයකට ගොදුරුවූවා පමණක් නොව සිය බිරිඳ හා දරුවන් සයදෙනාටද බිහිසුණු ඉරණමක් අත්කර දෙනවා.

නෙඩ් ස්ටාර්ක්ගේ සුජාත පුත්‍ර රොබ් ස්ටාර්ක් මෙන්ම ඔහුගේ අවජාතක පුත්‍ර ජොන් ස්නෝ (සැබැවින්ම ජොන් ස්නෝ, නෙඩ් ස්ටාර්ක්ට දාව උපන්නෙක් නොව ඩෙනර්ස් ටාර්ගේරියන්ගේ සහෝදරයා, රේගාර් ටාගාර්යන්ට දාව නෙඩ් ස්ටාර්ක්ගේ නැගනිය ලියානා ස්ටාර්ක්ට ලැබුණු දරුවෙකි.) මිය යන්නේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියා නොකර හදවතට එකඟව ක්‍රියා කරන්නට යාම නිසාය. ජොන් ස්නෝ සිය අවසානය ලඟා කරගන්නේ සිය හිතේෂිවන්තයින්ගේ දැඩි විරෝධය මත  නිවැරදි යයි ඔහුට හැඟුනු තීන්දු ගැනීම නිසාය. කෙසේ වෙතත් දෛවය ජොන් ස්නෝට තවත් අවස්ථාවක් ලබාදී ඇත.


නෙඩ් ස්ටාර්ගේ දියණියක් වන ධෛර්යවන්ත, සටන්කාමී ආර්යා ස්ටාර්ක් සිය පියා හා පවුලේ සාමාජිකයින් විනාශ මුඛයට ඇදදැමූවන්ගෙන් පලිගැනීමේ චේතනාවෙන් දැවෙයි. ඇයගේ ගැලවුම්කාරයා වන්නේ ඇයගේ පියා මරාදැමූ සැන්ඩෝර් ක්ලෙගැනේය. ලාබාල වයසේ රජවූ කුරිරු ජොෆ්‍රිගේ පෞද්ගලික ආරක්ශකයා මෙන්ම ප්‍රධාන අලුගෝසුවාද වන සැන්ඩෝර් ආර්යා ස්ටාර්ක්ට ආරක්ෂාව සලසන අතර ඇයගේ මග පෙන්වන්නාද බවට පත්වෙයි. කෙසේ වෙතත් පලිගැනීමේ අරමුණින්ම දැවෙන ආර්යාට සිය උරුමයට අනුව රාජකීයත්වයක් ලබාගත හැකිද යන්න තීරණය වන්නේ ඇයට ඇයගේ වෛරයේ සීමාවන් කළමණාකරණය කරගත හැකිද යන්න මතයි.

රූමත්, බොළඳ කුමරියක්වූ ඩෙනෙර්ස් ටාගාර්යන්ගේ පියා ආර්යස් ටාගාර්යන් කලක් සත්-රාජධානිවල රජුවිය. නෙඩ් ස්ටාර්ක්ගේද උදව්වෙන් රොබර්ට් බැරතියන් ආර්යස් මරා රජකම ලබාගත් අතර ඒවන විට ඩෙනෙර්ස් උපතලබා නොතිබුණි. ඇයගේ මව, ඇයගේ පියාගේ සොයුරියද වූවාය. සටන්කාමී ගෝත්‍රික නායකයෙකු වූ ඛල් ඩ්‍රෝගෝ හා විවාහ වන ඩෙනෙර්ස් ගැබ්බර අවධියේදි සැමියා අහිමිවෙයි. සත් රාජධානිවලට ලේ උරුමකම් ඇති ඩෙනෙර්ස් ගැබ්බර බව දැනගන්නා රොබර්ට් බැරතියන් ඇයව මරාදැමීමට ඝාතකයින් යොදවන නමුත් එය වැරදී යයි. ඩෙනෙර්ස්ගේ එකම ඉලක්කය සිය සතුරන්ව විනාශකොට සිය ලේ උරුමය වූ යකඩ සිහසුන හිමි සත්-රාජධාණිවල රැජින වීමයි. උපායශීලීත්වයෙන් හා ගෞරවාන්විත හැසිරීමෙන් කැපවුනු හිතේෂින්වන්තයින් පිරිසකුත් ගොඩනගා ගන්නා ඇයට යකඩ සිහසුන ලබාගැනීමට කොතෙක් සතුරන් විනාශ කරන්නට සිදුවේද?

ගේම් ඔෆ් ත්‍රෝන්ස් අපට කියාදෙන අවසන් පාඩම වන්නේ යහපත් පාලකයින් ශක්තිමත් මිතු-සන්ධාන ඇතිකරගන්නවා මෙන්ම සතුරන්ද අඩු කරගන්නා බව සැබෑ වුවත් හැම දෙයකටම සීමාවක් තිබිය යුතු බවයි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් සත්වැනි දිගහැරුමේ පලමු එපිසෝඩයේදීම සන්සා ස්ටාර්ක් සිය අඩ-සොයුරු ජොන් ස්නෝට දුන් අවවාදය ඉතා වැදගත්ය. යහපත් කම හොඳ වුවද එය නුවනක්කාරකමට යටවිය යුතු නැත. එනම් අවශ්‍යවූ විට, සැහසිව, අනුකම්පා විරහිතව තීන්දුගත යුතු අතර ප්‍රතිපත්ති හෝ සම්ප්‍රදායන් කරේ තබාගැනීමෙන් වාසි වන්නේ සතුරාට බව දැන ගැනීම සෑම පාලකයෙකුටම වැදගත්ය. කල් පවතින ජයග්‍රහණ සකසා ගන්නේ, යහපත් මෙන්ම අවැසිවිට නම්‍යශීලීවද, අවැසිවිට බිහිසුණු හා අණුකම්පා විරහිතවද ක්‍රියාත්මක වන, උපායශීලීව හා දීර්ඝකාලීනවද සිතා බලා කටයුතු කරන පාලකයින්ය.

හත්පොලේ ගාගෙන සිටින යහපාලක රජ/යුවරජ යුවල මෙන්ම වෙන්ඩ රජ ගෝඨාද, හිටපු රජ පර්සිද මුලසිට අගටම ගේම් ඔෆ් ත්‍රෝන්ස් නැරඹිය යුතු බව අපගේ යෝජනාවයි.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments