SUPER COMPUTING : අනාගතය නිවැරදිව කිවහැකි සුපිරි පරිගණකය!!



ලෝකයේ වේගවත්ම සුපිරි පරිගණක දෙකම තියෙන්නේ චීනයේ. මින් එකක් පෙටා ෆ්ලොප් 93ක වේගයෙන් ගණනය කිරීම් කරන අතර අනෙක පෙටාෆ්ලොප් 33ක වේගයෙන් ගණනය කිරීම් කරයි. Petaflop එකක් යනු තත්පරයටකට ගණනය කිරීම් 1,000,000,000,000,000 කි.

ඒ අනුව මේ සුපිරි පරිගණක අධික වේගයකින් ක්‍රියාත්මක වන බව පෙනුනද, විද්‍යාඥයින් විසඳන්නට තැත් කරන සමහර ගැටලු සඳහා අවශ්‍ය පරිගණක බළය මේ සුපිරි පරිගණක වලින් පවා ලබා දෙන්නට අමාරුයි. මේ නිසාම සුපිරි පරිගණක තාක්ෂණයේ සුපිරි ඉදිරි පිම්ම වන පෙටාෆ්ලොප් 1000ක වේගයක් එනම් එක්සාෆ්ලොප් වේගයක් ලඟා කරහැකි සුපිරි පරිගණක නිර්මාණය කෙරෙමින් පවතිනවා.

මේ වනවිට සුපිරි පරිගණක නිර්මාණ තරඟයෙන් චීනයට පැරදී සිටින ඇමරිකාව එක්සාෆ්ලොප් වේගයේ පරිගණක නිර්මාණ වෑයමේ ඉදිරියෙන්ම සිටිනවා. පසුගිය මාසයේදී ඇමරිකාවේ සුපිරි පරිගණක භාවිතයේ ඉදිරියෙන්ම සිටින ඇමරිකානු බළශක්ති දෙපාර්තමේන්තුව එක්සාෆ්ලොප් සුපිරි පරිගණකයක් තැනීම සඳහා ඇමරිකන් සමාගම් 6ක් සමග ගිවිසුම් ගත වුනා. තනි සමාගමකට නිර්මාණය කල නොහැකි තරම් සංකීර්ණ එක්සාෆ්ලොප් පරිගණකය නිර්මාණය සඳහා ඇමරිකාව Advanced Micro Devices, Cray, Hewlett-Packard, IBM, Intel, Nvidia  යන සමාගම් 6 තෝරාගෙන තිබෙනවා.

එක්සාෆ්ලොප් පරිගණක වලින් ගන්නට පුලුවන් ප්‍රයෝජන මොනවාද?

ඇමරිකානු බළශක්ති දෙපාර්තමේන්තුව සිය එක්සාෆ්ලොප් පරිගණක ආධාරයෙන් වඩාත් කාර්යක්ෂම, එනිසා දැනට වඩා වාණිජමය ලෙස සාර්ථක සුළං බළ පද්ධති නිර්මාණයට බලා පොරොත්තු වෙනවා. සුළං බල ව්‍යාපෘතියක කාර්යක්ෂමතාවය වැඩිකර ගැනීමට නම් එය පිහිටුවන ප්‍රදේශයේ සියලු කාළගුණ තත්වයන් යටතේ සුළං හැමීමේ රටාවන් සහිත ගණිතමය ආකෘතියක් (mathematical model) නිර්මාණය කල යුතුවනවා. මේ සඳහා දැනට භාවිතාවන පෙටාෆ්ලොප් සුපිරි පරිගණක ප්‍රමාණවත් නොවන බවයි පැවසෙන්නේ.

එමෙන්ම ජාන ඉන්ජිනේරු විද්‍යාව ආධාරයෙන් නියඟයට හා වැඩිවන ගෝලීය උණුසුමට ඔරොත්තු දෙන ආහාර බෝග නිර්මාණය කරගැනීමට එක්සාෆ්ලොප් සුපිරි පරිගණක වැදගත් වනවාලු. බෝග පැලෑටිවල අභ්‍යන්තර සෛලවල සමාන්තරව සිදුවන දහස්ගණනක් සංකීර්ණ රසායණික ප්‍රතික්‍රියා වල සමස්ත බලපෑම පිලිබඳව ගණිතමය ආකෘති නිර්මාණය කොට ඒ අනුව ඒ ප්‍රතික්‍රියා වෙනස් කිරීමේන් බෝග නියඟයට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරගත හැකි බවත් ඒ සඳහා එක්සාෆ්ලොප් සුපිරි පරිගණක අවශ්‍ය බවත් ජෛව ඉන්ජිනේරු විද්‍යාඥයින් පවසනවා.

එමෙන්ම සමාජ ජාලා තුල තත්පරයකට ජනනය වන මිලියන ගණන් කොමෙන්ටු, චැට්, ඡායාරූප ආදියත්, නගර පුරා විහිදී ඇති දසදහස් ගණන් CCTV කැමරාවල වීඩියෝ පටත් එක්වර විශ්ලේෂණය කොට ඒවායේ ඇති සැඟවුනු රටා සොයාගත හැකි නම්, ත්‍රස්තක්‍රියා, මිනීමැරීම්, මංකොල්ල කෑම් ආදී අපරාධ සිදුවීමට කලින් ඒවා සිදුකක්ල හැකි පුද්ගලයින් ඒවාට සූදානම් වන ආකාරය සමාජ ජාල හා CCTV රූප ඇසුරින් වටහාගෙන එම අපරාධ පිලිබඳව අනාවැකි කීමට මෙම එක්සාෆ්ලොප් පරිගණකවලට පුලුවන් වනු ඇති.

එමෙන්ම කාළගුණ දත්ත අනුව සුළිකුණාටු ගමන්ගන්නා මාර්ග නිවැරදිව කලින් අනාවැකි කීම ඒවායින් විය හැකි මූල්‍යමය, දේපොල හා ජීවිත හානි පිලිබඳව නිවැරදි අනාවැකි පැවසීම, රටේ සියලුම ආර්ථික දත්ත එකවර විශ්ලේෂණය කොට රටේ ආර්ථිකයේ අනාගත හැසිරීම පිලිබඳව අනාවැකි පැවසීම ආදී දැනට සිදුකල නොහැකි අණාවැකි නිවැරදිව පැවසීමට මේ එක්සාෆ්ලොප් පරිගණකවලට හැකිවනු ඇති

ඒ අනුව මේ පරිගණකවලට අනාගතය දැකිය හැකි අපූරු හැකියාව ලැබෙනු ඇති.











__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments