ARE U SERIOUS ? නාසා ඩ්‍රෝන් රේස් එක : Human Pilot vs. AI Pilot

සාමාන්‍යයෙන් නාසා ආයතනය කරන්නේ බොහෝම බරපතල වැඩ. අභ්‍යවකාෂ යානා නිර්මාණය, චන්ද්‍රිකා නිර්මාණය, ග්‍රහලෝක ගවේෂන චාරිකා සැලසුම් කිරීම වගේ බොහොම සීරියස් වැඩ කරන නාසා ආයතනය ලඟදී ඩ්‍රෝන් රේස් එකක් පැවැත්වූවා. මේ ඩ්‍රෝන් රේස් එකේ ඩ්‍රෝන පදවපු පයිලට්ලා දෙන්නාගෙන් එක් අයෙක් ලෝකයේ දක්ෂම ඩ්‍රෝන් රෙසින් චැම්පියන් කෙනෙක් වෙන කෙන් ලූ. අනෙකා නාසා ආයතනය නිර්මාණය කරපු කෘත්‍රිම බුද්ධි පයිලට් කෙනෙක්.

හැමදෑම සීරියස් වැඩ කරන නාසා ආයතනය මේ ඩ්‍රෝන් රේස් එකත් බොහොම සීරියස් රීසර්ච් ප්‍රොජෙක්ට් එකක්, නැතිනම් පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක අංගයක් කියලයි කියන්නේ. ඔවුන් කියන විධියට මේ ඩ්‍රෝන් රේස් එකේ AI පයිලට් අවුරුදු දෙකක පර්යේෂණ ව්‍යාපෘතියක ප්‍රථිපලයක්. නාසා ආයතනය ඩ්‍රෝන් පයිලට්ලා නිර්මාණය කරන්නේ ඇත්තටම පෘථිවියේ රේස් යන්න නෙමෙයි. ඔවුන්ගේ අරමුණ නුදුරු අනාගතයේදීම අඟහරු ලෝකයට ඩ්‍රෝන් යානාවක් යවලා එය අඟහරු පොලවට ආසන්නයේ පියාසර කරවමින් මෙතෙක් ලබාගත නොහැකිව තිබූ ගුවන් ඡායාරූප හා වීඩියෝ ඡායාරූප ලබාගන්න.

රේස් එක පවත්වපු පියාසර පථය


ඒ විධියට අඟහරු ලෝකයේ පියාසර කරවන ඩ්‍රෝන් එකක් පෘථිවියේ ඉන්න ඩ්‍රෝන් පයිලට් කෙනෙකුට පියාසර කරන්න බෑ. පෘථිවියේ ඉඳන් අඟහරු වෙත යන රේඩියෝ සංඥා ආසන්නම අවස්ථාවේත් විනාඩි 4ක් ගතවෙලයි අඟහරු වෙත යන්නේ. ඒ කියන්නේ පෘථිවියේ ඉන්න ඩ්‍රෝන් නියමුවා විධානයක් යවලා විනාඩි 4කින් තමයි යානය එය ක්‍රියාත්මක කරන්නේ.

ඒ නිසා බොහොම ස්වාධීනව හා ඉතා නිවැරදිව භාදක මගහරවාගෙන පියාසර කල හැකි කෘත්‍රිම බුද්ධි ඩ්‍රෝන් පයිලට් මෘදුකාංගයක් නාසා ආයතනයේ ඉදිරි අඟහරු ගවේෂණ කටයුතු සඳහා වැදගත් වෙනවා. අවුරුදු දෙකක් මහන්සිවෙලා හදපු AI ඩ්‍රෝන් පයිලට්, ලෝකේ හොඳම  මිනිස් ඩ්‍රෝන් පයිලට් කෙනෙක් එක්ක අධිවේගී ඩ්‍රෝන් රේස් එකකට යොමු කරන්න නාසා ඩ්‍රෝන් AI කණ්ඩායම කටයුතු කලේ ඔවුන්ගේ නිර්මාණය සැබෑ ලෝකයේ කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා හොයලා බලන්න.

නාසා ඩ්‍රෝන් පයිලට් බොහෝම හොඳින්, වේගය හා ආරක්ෂාව යන අන්ත දෙකම කළමණාකරණය කරගෙන රේස් එක නිම කලත් අවසාන ප්‍රථිපලය බැලුවාම නම් මිනිස් නියමුවා ජය අරගෙන. නාසා AI ටීම් එක කියන්නේ එයාලගේ ඩ්‍රෝන් පයිලට් තවමත් "work in progress" ප්‍රොජෙක්ට් එකක් කියලයි.










__________________________________________________________________________


Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments