BUSINESS : ඉස්සර ගොඩක් ජනප්‍රියවුනු, දැන් පේන්නවත් නැති ජපන් වෙළඳනාම


ජපන් බඩු ලංකාවේ ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමත් සමගයි. ආර්ථිකය විවෘතවී ආනයන සීමා අහෝසිකර පසු ජපානයේ ලෝක ප්‍රකට සන්නාම ලංකාවේ වෙළඳපොල ආක්‍රමණය කලා. ටොයෝටා, නිසාන්, මිට්සුබිෂි, සෝනි, ටොෂීබා, හිතාචී වගේ ලොව ජයගත් වාහන හා ඉලෙක්ට්‍රොණික භාණ්ඩ සන්නාම උසස් තත්වයේ දේවල් හිමිකර ගන්න කැමති අයගේ පලමු තේරීම වුනා. 

1980ව මුල් භාගයේ ලංකාවේ කාන්තාවන්ට මැද පෙරදිග ගෘහසේවයේ රැකියා දොරටු විවරවීමත් ජපන් සන්නාම ලංකාවේ ජනප්‍රිය වෙන්න තව හේතුවක් වුනා. විදෙස් ශ්‍රමිකයින් ලංකාවට එනකොට ඒ රටවලින් මිළදීගත් හෝ ලංකාවේ තීරුබදු වෙළඳසැල්වලින් මිළදීගත් ජපන් ටී.වී, ටූ-ඉන් වන් - ත්‍රී ඉන් වන් කැසට් රේඩියෝ වගේ ඒවා ගම්මානවල නිවෙස් වලටත් යන්න පටන් ගත්තා. මේ ජපන් සන්නාම ලංකාවට ආනයනය කල දේශීය ඒජන්තයින් වන යුනිවෝකර්ස් (නැෂනල් හා පැනසොනික්), සීඩ්ල්ස් (සෝනි ) වගේ සමාගම් ගුවන්විදුලිය හා පුවත්පත් හරහා මේ සන්නාම දැඩි ලෙස ප්‍රවර්ධනය කලා. 

මේ කාලයේම වගේ තවත් ඉලෙක්ට්‍රොණික භාණ්ඩ අලෙවිකරුවන් පිරිසක් වේගයෙන් නැගී ආවා. ඔවුන්ද නිරන්තරයෙන්ම ජපන් සන්නාම සහිත ඉලෙක්ට්‍රොණික භාණ්ඩ විකිණූ සිය සාප්පු ප්‍රවර්ධනය කලා. නෙතිකුමාර පවුලට අයත් යුනියන් පෙදෙසේ සලාකා ට්‍රේඩ් සෙන්ටර්, මංගල ට්‍රේඩ් සෙන්ටර් වගේ සාප්පු ගුවන්විදුලියේ තොරතෝංචියක් නැතුව දැන්වීම් පලකලා.

කොහොම වුනත් දැන් නම් ජපන් සන්නාමවලට කණකොකා හඬලා. ටොයෝටා, නිසාන්, සෝනි, කැනන් වගේ සන්නාම කිහිපයක් හැරෙන්නට කලක් ලෝක ප්‍රකටවූත්, දැවැන්ත සමාගම් බවට පත්ව තිබූ ජපන් සන්නාම දැන් දකින්නටත් නෑ. සමහර සන්නාමවල අයිතිය ජපානයෙන් ගිලිහිලා ඇමරිකන්, චීන හා වෙනත් රටවල සමාගම් වලට ගිහින්.  කාර්මික ලෝකයතුල 1970 සිට 1990 දශකයේ මැදභාගය වනතෙක්ම බැබලුනු ජපන් තාරකා දැන් මිලිනවෙලා තියෙන්නේ ජපානයේ ආර්තික පසුබෑම හා ඒ සමගාමීව කොරියානු, තායිවාන හා චීන සන්නාමවල උද්ගමනයත් සමගයි.

කලක් ඉලෙක්ට්‍රොණික තාක්ෂණයේ කිරුළු පැලඳ සිටි, එහෙත් දැන් ඒ කිරුළු අහිමිවී සිටින ජපන් සන්නාම කිහිපයක ඉතිහාසයත්, ඒවාවල දැන් තත්වයත් හොයා බලන්නයි මේ ලිපියේ වෑයම.

Sanyo

1947දී ටොෂියෝ අයූ විසින් ආරම්භකරන ලද සැන්යෝ සමාගමේ මුල්ම නිෂ්පාදනය බයිසිකල් ලාම්පු වූවා. ටොෂියෝගේ මස්සිනා වූයේ සුප්‍රකට මට්සුෂිටා (පැනසොනික්) සමාගම ආරම්භකල කොනොසුකේ මට්සුෂිටායි. සැන්යෝ යනු ජපන් භාශාවෙන් සාගර තුනක් යන්නයි. මේ නම සමාගමේ සන්නාමය ලෙස තෝරාගන්නට හේතුව සමාගමේ ප්‍රාරම්භක ටොෂියෝගේ දිගුකාලීන සැළැස්මවූ අත්ලාන්තික්, පැසිෆික් හා ඉන්දියානු සාගර වලින් වටවූ මුළු ලෝකයේම සිය නිෂ්පාදන අලෙවිකිරීමේ දැක්මයි. 1970 වන විට ටොෂියෝගේ මේ දැක්ම සාක්ෂාත් කරගැනීමට සැන්යෝ සමාගම සමත්වූ අතර ඒ වනවිට ඉලෙක්ට්‍රොණික හා විදුලි ගෘහ උපකරණ වෙළඳපොලේ ප්‍රභල තරඟකරුවෙකු බවට පත්ව සිටියා.

කෙසේවෙතත් 1990ව දශකයේදී ජපානයේ ඇතිවූ දැඩි ආර්ථික අවපාතය මෙන්ම ඩොලරයට සාපේෂව ජපන් යෙන් අගය දැඩි ලෙස වැඩිවීමත් නිසා අපනයන දුර්වල වන්නට පටන් ගත්තා. එමෙන්ම කොරියානු ගෝල්ස්ටාර් (දැන් එල්.ජී) හා සැම්සුන්ග් සමාගම් අඩු මිලට ඉහල තත්වයේ ඉලෙක්ට්‍රොණික උපකරණ එලිදැක්වීම හේතුවෙන් මිළ අධික සැන්යෝ වැනි ජපන් සන්නාම පසු බසින්නට වන්නට පටන්ගත්තා. 2009දී සැන්යෝ සමාගම පැනසොනික් සමාගම (මට්සුෂිටා) මගින් මිළදි ගත්තා.

JVC

දැන් අභාවයට ගිහින් වගේ පෙනන තවත් සුපිරි ජපන් සන්නාමයක් තමයි JVC. 1927දී වයිනල් තැටි ධාවක (record players) නිෂ්පාදනයෙන් ඇරඹුනු JVC සමාගම වඩාත්ම ජනප්‍රිය වුනේ වීඩියෝ කැමරා හා වීඩියෝ කැසට් රෙකොඩර් සඳහායි. ඔවුන්ගේ වෘත්තීය මට්ටමයේ වීඩියෝ කැමරා හා වීඩියෝ සංස්කරණ උපකරණ ලොව පුරාම ජනප්‍රිය වුනා. 

1953 දී පැනසොනික් සමාගම JVC සමාගම මිළදී ගත් අතර එතැන් පටන් වීඩියෝ තාක්ෂණය දියුණු කිරීම හා ඩිජිටල් සංයුක්ත තැටි තාක්ෂණය දියුණු කිරීමට JVC සමාගම කැපවුනා. අදවන විට JVC සමාගම  ජපානයේ කෙන්වුඩ් සමාගම හා බද්ධව JVC-Kenwood ලෙස වෙළඳපොලට එක්වී සිටියත් එදා තරම් ජනප්‍රියත්වයක් නෑ.





Technics

JVC වගේ මට්සුෂිටා සමාගමට අයිතිය තිබුණු තවත් ලෝක ප්‍රකට සන්නාමයක් ටෙක්නික්ස්. මේ සන්නාමය වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙලා තිබුනේ ඉතාමත් ඉහල තත්වයේ HiFi ස්ටීරියෝ උපකරණ වලට. මට්සුෂිටා සමාගම සිය ගෘහ උපකරණ සන්නාම වන නැෂනල් හා පැනසොනික් උපකරණවලට වඩා වැඩි මිලකට, ඉහලම තත්වයේ සංගීතමය නිෂ්පාදන ඉදිරිපත් කරන්නට ටෙක්නික්ස් සන්නාමය නිර්මාණය කලේ 1965දී. Amplifiers, Receivers, FM Tuners, Tape decks, CD players, Speakers ආදී සංගීත ලෝලීන් හා වෘත්තියමය සංගීත නිෂ්පාදකයින් වෙනුවෙන් නිර්මාණය වුනු ටෙක්නික්ස් බඩු මිලෙන් වැඩිවුනත් තත්වයෙන් ඉතාම උසස් වුනා. 

ලංකාව වගේ රටවල නම් ටෙක්නික්ස් භාණ්ඩ මිළදී ගන්නට පුලුවන් තැනක් නෑ. ටෙක්නික්ස් වෙබ් අඩ්වියට අනුව නම් යුරෝපයේ, කැනඩාවේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්නික්ස් සන්නාමයෙන් ඉදිරිපත් කරන ඉතා ඉහල තත්වයේ ඉලෙක්ට්‍රොණික උපකරණ මිළදීගන්නට පුලුවන්.


National

නැෂනල් කියන්නේ කාලයක් ලංකාවේ ජනප්‍රියම ජපන් ඉලෙක්ට්‍රොණික භාණ්ඩ සන්නාමය යයි කිව්වොත් වරදක් නෑ. ඒවගේම පලමුවෙන්ම ලෝකය ජයගත් ජපන් ඉලෙක්ට්‍රොණික හා විදුලි උපකරණ සන්නාමය වුනෙත් නැෂනල් සන්නාමයයි.   යුනිවෝකර්ස් නම් සමාගම විසින් ආනයනය කරපු නැෂනල් , ජපන් මට්සුෂිටා සමාගමේ මුල්ම සන්නාමය වුනත් පසුව පැනසොනික් සන්නාමය අතිශයින් ජනප්‍රිය වීම නිසා 1980ව දශකයේ මුල්භාගයේදීම නැෂනල් සන්නාමය යුරෝපයේ, ඇමරිකාවේ හා ඔස්ටේලියාවේ වෙළඳපොලවල් වලින් ඉවත්කර ගත්තා.  නැෂනල් නාමය 1988න් පසු භාවිතයට නොගැනුනු අතර ඒ වෙනුවට පැනසොනික් සන්නාමය ලොව පුරා භාවිතයට ගැනුනා. ලංකාවේ කලක් ජනප්‍රියම ටෙලිවිෂන්, රයිස් කුකර් හා ටූ-ඉන්-වන් හා ත්‍රී-ඉන්-වන් කැසට් රේඩියෝ සන්නාමය වුනේ නැෂනල්.

Sharp

1912දී අරම්භවුනු ෂාප් සමාගම ජපානයේ ඉලෙක්ට්‍රොණික කර්මාණ්තයේ දැවැන්ත සමාගමක් වූවා. මුලින් ලුහු කාර්මික භාණ්ඩ නිපදවූ ෂාප් සමාගම 1925දී රේඩියෝ යන්ත්‍රයක් ජපන් වෙළඬපොලට ඉදිරිපත් කරමින් ඉලෙක්ට්‍රොණික කර්මාණ්තයට පිවිසුනා. 1953 තරම් ඈතක සිට රූපවාහිණී නිෂ්පාදනය කරන්නට පටන් ගත් ශාප් සමාගම 1964දී ලොව ප්‍රථම ට්‍රාන්සිස්ටර් ඉලෙක්ට්‍රොණික කැල්කියුලේටරය නිර්මාණය කලා. 1973දි ලොව පලමු LCD තිරය සහිත කැල්කියුලේටරයක් හඳුන්වාදුන් ෂාප් සමාගම අදටත් ලොව ප්‍රමුඛ පෙලේ LCD හා LED රූපවාහිණී තිර නිෂ්පාදකයෙක්. ඒවගේම ලෝකයට පලමු වරට කැමරාවක් සහිත ජංගම දුරකථනයක් (camera phone) ඉදිරිපත් කලේත් ෂාප් සමාගමයි.

අනෙකුත් ජපන් දැවැන්තයන් මෙන්ම ෂාප් සමාගමත් ජපානයේ ආර්ථික පසුබැස්ම, අපනයනවලට අහිතකර අධි-වටිනාකම් යෙන් අගය හා කොරියානු, චීන හා තායිවාන සමාගම් වල දැඩි තරඟය නිසා කෙමෙන් කෙමෙන් පසු බසින්නට පටන් ගත්තා. වසර ගණනාවක් පාඩු ලබමින් පවත්වාගෙන ගිය ෂාප් සමාගම 2016 වසරේදී තායිවානයේ ෆොක්ස්කොන් සමාගම විසින් මිළට ගත්තා.

මීට අමතරව NEC (ඉලෙක්ට්‍රොණික උපකරණ හා පරිගණක), Seiko (අතිශයින්ම ජනප්‍රිය ජපන් අත් ඔරලෝසු ), Aiwa (ඉලෙක්ට්‍රොණික සංගීත ප්‍රතිවාදන භාණ්ඩ) , TDK (කැසට් හා වීඩියෝ ටේප්), TEAC (වෘත්තීය මට්ටමේ සංගීත පටිගතකිරීමේ හා ප්‍රතිවාදනය කිරීමේ භාණ්ඩ ), Minolta (කැමරා, වීඩියෝ කැමරා හා ඡායාපිටපත් යන්ත්‍ර) , Pioneer (ඉලෙක්ට්‍රොණික සංගීත ප්‍රතිවාදන භාණ්ඩ), Konica ( කැමරා හා සේයා පට) යන සමාගම්ද කලක් ලොව පුරා ඉහලම තත්වයේ භාණ්ඩ සඳහා නමක් දිනාගෙන සිටියත් අද දකින්නට ලැබෙන්නේ කලාතුරකින්.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments