SOCIAL : ලිංගිකත්වයේ අලුත්ම මානය Digisexual Intimacy

Humans රූපවාහිනී විද්‍යාප්‍රබන්ධ කතාමාලාවේ කතානායිකාව වන Anita නම් කෘතිම බුද්ධි රොබෝවරිය. නිවසේ මෙහෙකාරියක් මෙන් සේවයකරන ඇය ගෙහිමියාට අවශ්‍ය විටක ක්‍රියාත්මක කරගත හැකි Adult Mode ක්‍රියාකාරිත්වයකින්ද යුතුයි.
මිනිසුන් හා මානවරූපී රොබෝවරුන් අතර ඇතිවන සෘංගාරාත්මක සබඳතා පිලිබඳව ලියවුනු ප්‍රබන්ධ විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ එමට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම සෘංගාරාත්මක චිත්‍රකතා  (erotic comics)  මෙම ප්‍රබන්ධ වර්ගය කරලියට ගෙන එන්නට සෑහෙන දායකත්වයක් දැරුවා.

ඉතාලි ජාතික පෝලෝ සෙපෙරි විසින් නිර්මාණය කරන ලද අතිශය සෘංගාරාත්මක ඩෲනා (Druuna: Paolo Serpieri) චිත්‍රකතා මාලාවේ සමහර ප්‍රබන්ධ යන්ත්‍ර හා මානව-යාන්ත්‍රික දෙමුහුනුන් සමග ලිංගික ක්‍රියාවල නිරතවන නිරතවීම පාදක කොට ලියා තිබෙනවා.  මහා විනාශයකට පසු බිහිවුනු අපූර්ව ලෝකයක (post-apocalyptic future) සැරිසරන අතිශය රූමත් යුවතියක වන ඩෲනා මුහුන පාන විවිධ විවිධාකාර අකරතැබ්බ පාදක කොට නිමැවී ඇති මේ සෘංගාරාත්මක චිත්‍රකතා ඉතාමත් සරාගීවන අතර සෑම කථාංගයකම ප්‍රධාන අරමුණ කෙසේ හෝ ඩෲනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් යම් ලිංගික ක්‍රියාවකට යොමු කිරීමයි. ඒ නිසා සෙපෙරිගේ ඩෲනා කථාමාලා soft-core porn ලෙසද විචාරකයින් හඳුන්වනවා.

ඇපල්සීඩ් කතාමාලාවේ මානවරූපි
බයෝඩ්‍රොයිඩ්
රොබෝ සෙබළිය හිටෝමී.
එමෙන්ම ජපන් චිත්‍රකතා සම්ප්‍රදාය වන මැන්ගා සම්ප්‍රදායට අනුව ජපන් ජාතික මසමූනේ ෂිරෝ (Masamune Shirow) විසින් ලියන ලද ඇපල්සීඩ් චිත්‍රකතා මාලාවද විශේෂයි. 

සයිබර්පන්ක් (cyberpunk) හා මෙඛා (mecha) යන චිත්‍රකතා ප්‍රබේධ දෙක මිශ්‍රකොට ලියන ලද ඇපල්සීඩ් ප්‍රබන්ධ මාලාවට පාදක වන්නේ මහා විනාශයකට පසු පෘථිවියේ බිහිවන ඔලිම්පස් නම් නගරයක්. 

මේ නගරවාසීන්ගෙන් විශාල පිරිසක් කෘත්‍රිම බුද්ධි යන්ත්‍ර මගින් සිය කාය ශක්තිය හා හැකියාවන් වැඩිකරගෙන තිබෙනවා. මීට අමතරව බයෝඩ්‍රොයිඩ්ස් ලෙස හඳුන්වන මිනිස් රුවම ඇති රොබෝ ජනගහණයක්ද මෙහි වාසය කරනවා. 

ඇපල්සීඩ් කතාමාලාවේ යම් යම් කතාංගවල රෝබෝ / දෙමුහුන් මිනිස්-රොබෝ ඇන්ඩ්‍රොයිඩයින් සමග ඇතිවන සෘංගාරාත්මක සබඳතා දකින්නට තිබෙනවා. 

මෙහි ප්‍රධාන චරිතකයට පණපොවන හිටෝමී, රූමත් මානවරූපී රොබෝවරියක් වන ඇය ඔලිම්පස් නගරය ආරක්ෂාකරන E.S.A.W.T නම් පොලිස් කොමාන්ඩෝ ඒකකයේ සෙබළියක්. ඇයට පෙම්වතෙකු සිටින අතර යොෂිට්සුනේ නම් ඔහු මිනිස් තරුණයෙක්.

චිත්‍රකතා හා කාටූන් රූපවාහිණී කතාමාලා (විශේෂයෙන් ජපන් ඇනිමේ කාටූන්) අතර සිරවී සිටි මිනිස් / රොබෝ සෘංගාරත්මක සබඳතා හා ලිංගික සබඳතා ප්‍රධාන ධාරාවේ රූපවාහිණී කතාමාලාවලට ඇතුලුවුනේ මෑතකදී පටන්.  2011දී ආරම්භවුනු බ්‍රිතාන්‍ය රූපවාහිණී විද්‍යාප්‍රබන්ධ කතාමාලාවක් වන බ්ලැක් මිරර් මාලාවේ දෙවන කාර්තුවේ (Season 2) එක් කථාංගයක්වූ "Be Right Back" මිනිස් හා මානවරූපී රොබෝවරයෙකු අතර ලිංගික සබඳතා තිරයට ගෙන ආවා.

මාතා (හේලි ඇට්වෙල්) හා ඈෂ් (ඩොම්නල් ග්ලීසන්) තවමත් විවාහ නොවූ, එහෙත් එක්ව ජීවත්වන යුවලක්. දිනක් ඈෂ් රිය අණතුරකින් මිය යන අතර ඔහුගේ අවමගුලෙන් පසු මාතා තමන් ඈෂ් අතින් ගැබිණියක වී ඇති බව දැන ගන්නවා. සිය පෙම්වතා නැති සොවින් තැවෙන ඇයගේ පිහිටට එන්නේ කෘත්‍රිම බුද්ධි මානව රූපී රොබෝවන් බිහිකරන සමාගමක්. ඔවුන් ඈෂ් හා හැම අතින්ම සමාන රොබෝවෙක් ඇය වෙත එවන අතර ඈෂ් මුලු ජීවිතකාලය පුරාම අන්තර්ජාලයේ හා සමාජජාලවල තබන ලද සටහන්, ඡායාරූප හා වීඩියෝ ආධාරයෙන් ඔහුගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් ඒ අයුරින්ම පෙන්වනවා.
මාතා හා ඈෂ්ගේ රුවගත් ඇන්ඩ්‍රොයිඩයා - Be right back : බ්ලැක් මිරර්
සෑම ආකරයෙකින්ම පිරිමි මානවයෙකුගේ වෙස් ගන්නා ඈෂ්ගේ අනුරූ ඇන්ඩ්‍රොයිඩයා සිය පෙම්වතාම යයි සිතාගන්නා මාතා ඔහු සමග ලිංගිකව එක්වනවා. විවිධාකාර හැලහැප්පිලි සිදුවූවත් ඈෂ් ඇන්ඩ්‍රොයිඩයා හා මාතා එක්ව ඈෂ්ට දාව මාතාට උපන් දියණිය හදාවඩාගන්නා ආකාරය කතාමාලාවේ අවසානයේ පෙන්වනවා.

Westworld දැන් දෙවන කාර්තුවේ පසුවන මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවන් හා මිනිසුන් අතර ලිංගික ක්‍රියා හා වෙනත් සබඳතා වටා ගෙතී ඇති කතාමාලාවක්. කතාමාලාවේ මූලික හරය ලිංගිකත්වය නොවන අතර කෘත්‍රිම බුද්ධි රොබෝවන් සවිඥාණය ලබාගැනීම හා සිය නිර්මාතෲවරුන් හා පාලකයින් වන මිනිසුන්ට එරෙහිව නැගීසිටීමේ වෑයමක් දක්වනවා.

කෙසේවෙතත් වෙස්ට්වර්ල්ඩ් නමින් හැඳින්වෙන්නේ 1800 ගණන්වල ඇමරිකානු නගරයක් අනුරුවකට තැනූ කෘත්‍රිම නගරයක්. එහි වැසියන් ලෙස හැසිරෙන මානව රූපී, කෘත්‍රිම බුද්ධි රොබෝවන්. මේ නගරයට පිවිසෙන පුද්ගලයින්ට සිය සිතැඟි පරිදි එම රොබෝ වැසියන් අපයෝජනයට, කෲර වධහිංසා පැමිණවීමට හෝ මරා දැමීමට, කාන්තාවන් දූෂණය කිරීමට ඉඩ ඇති අතර තමන්ගේ සිත තුල ඇති ඔනෑම කාමුක හෝ වෙනත් විකෘති ආශාවක් තෘප්තිමක් කරගැනීමට ඉඩ ඇති ස්ථානයක්.

Digisexual Intimacy

චිත්‍රකතාවල, කාටූන්වල හා රූපවාහිණී කතාමාලාවල දැක්වෙන මානවරූපී රොබෝවන් හා මානවයින් අතර ලිංගික සබඳතා සැබෑ ලෝකයටත් දැන් කාන්දුවෙන්න පටන් අරන්. වේගයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, මිනිසුන් සමග සාමාන්‍ය කතාබහක් පවත්වාගෙන යා හැකි ඇපල් සිරී, ඇමසන් ඇලෙක්සා, මයික්‍රෝසොෆ්ට් කෝටානා වැනි කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දැන් තුන්වන ලෝකයේ වැසියන්ගේත් සාක්කුවල.

මේ දැවැන්ත කෘත්‍රිම බුද්ධි විප්ලවයේ ඊලඟ පිම්ම ලෙස මිනිසුන් හා සෘංගාරාත්මක හා ලිංගික සබඳතා පවත්වාගෙන යා හැකි රොබෝ සහකාරියන් හා සහකරුවන්. දැනටමත් රූමත් කාන්තාවන් මෙන් දිස්වෙන, කතාබහ කල හැකි, අසන පැනවලට පිලිතුරු දියහැකි මෙන්ම පුරුෂයෙකුට ලිංගික සංසර්ගය සිදුකිරීම සඳහා කාන්තා ලිංගික අවයව ඇති රොබෝවන් වෙළඳපොලට ඇවිත්. මේ සමහර රොබෝ ලිංගික සහකාරියන් යම් යම් ස්පර්ෂයන් හඳුනාගෙන ඒවාටද ප්‍රතිචාර දක්වන බව නිෂ්පාදකයින් පවසනවා.

රොබෝ ලිංගික සහකාරියන් නිෂ්පාදනය කරන Abyss Creations සමාගමේ ප්‍රධාන විධායක ඔවුන්ගේ එක් නිෂ්පාදනයක් වන RealDolls රොබෝවෙකු සමග.




























Pleasure-bots ලෙස විද්‍යාර්ථීන් හඳුන්වන මේ රොබෝ ලිංගික සහකරුවන්/සහකාරිය නිෂ්පාදන කර්මාණ්තය ඉතා ඉක්මණින් ඩොලර් බිලියන ගණනක කර්මාණ්තයක් වනු ඇතැයි පැවසෙනවා. එමෙන්ම ඉතා නුදුරේදීම ඉතාමත් තාත්වික ලෙස මානවරූපී හැසිරීම් පෙන්වීමේ හැකියාවන් ලබාගන්නා මේ ප්ලෙෂර් බොට් සෙක්ස් රොබෝවන් සිය සහකරුවන් / සහකාරියන් ලෙස තෝරා ගැනීමට බොහෝ පුද්ගලයින් පෙළබිය හැකි බවත් ඒ අනුව මානව සබඳතා දැඩි ලෙස පලුදුවිය හැකි බවටත් විචාරකයින් හා පර්යේෂකයින් බිය පලකරනවා.


තම තමාට කැමති ආකාරයකට, කැමති රුවකින්, පෞරුෂත්වයකින් හා හැසිරීම රටාවකින් සෙක්ස් බොට් කෙනෙකු නිර්මාණය කරගැනීමට හැකිවන නිසාත්, මිනිස් සහකරුවන්/සහකාරියන් අකමැති ඕනෑම ලිංගික හැසිරීමක් සිදුකිරීමට හෝ ආශාවක් තෘප්තිමත් කිරීමට ඇති හැකියාවත්, මිනිස් පෙම්වතුන්/පෙම්වතියන් බලාපොරොත්තුවන වෙනත් සමාජ හා පෞද්ගලික අවශ්‍යතා නොමැති නිසාත් ජනගහණයෙන් විශාල ප්‍රතිශතයක් මිනිස් පෙම්වතුන්ට පෙම්වතියන්ට වඩා රොබෝවරුන්ට ප්‍රිය වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

Digisexual Intimacy - මිනිස් සහකරුවන්ට/සහකාරියන්ට වඩා ඩිජිටල් මානවරූපී යන්ත්‍රයක් සමග ලිංගිකව හැසිරීමට කැමතිවීම, එවැනි යන්ත්‍ර නිසා ලිංගික ආශාවන් ජනතවීම ඩිජිසෙක්ෂුවල් ඉන්ටිමසි ලෙස හඳුන්වන අතර හෙටේරෝ සෙක්ෂුවල් (විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය), හෝමෝසෙක්ෂුවල් (සමරිසි ආකර්ෂණය) ආදී ලිංගික ආකර්ෂණ ප්‍රබේධ අතරට ඉතා නොදුරේදීම ඩිජිසෙක්ෂුවල් ආකර්ෂණයද එකතුවනු ඇතැයි සමාජ විද්‍යාඥයින් අනාවැකි පලකරනවා. 

බ්‍රිතාන්‍යයේ කාන්තාවන් අතර මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකදී, සිය රුචි අරුචිකම් හෙලිකල කාන්තාවන් අතරින් 30%ක් රොබෝ සහකරුවෙකු සමග ලිංගිකව හැසිරීමට කැමැත්ත දක්වා තිබෙනවා. දැනටමත් දකුණු කොරියාවේ, ජපානයේ හා ස්පාඤ්ඤයේ සෙක්ස් ඩෝල් රොබෝවරියන් පමණක් සිටින ගණිකා නිවාස ඇතිවී තිබෙනවා. නුදුරේදීම බ්‍රිතාන්‍යයේද එවැනි ගණිකා නිවාසයක් ඇරඹීමේ සූදානමක් තිබෙන බවයි වාර්තාවන්නේ. 

නුදුරු අනාගතයේදී වෙනත් බොහෝ රැකියාවන් මෙන්ම ලෝකයේ පැරණිම රැකියාවද රොබෝවරුන් උදුරාගනු ඇති. ආරක්ෂාව, සිතැඟි ලෙස ආශාවන් තෘප්තිමත් කරගැනීම මෙන්ම මුදලට කාන්තාවක් හා එක්වීමේදී ඇතිවන මානසික වද්‍යතාව (guilt) සිත්පිත් නැති යන්ත්‍රයක් සමග එක්වීමේදී ඇති නොවීමද මෙයට හේතුව වන්නට පුලුවන්.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments