CARS : ජීප් පිස්සන්ට පමණයි! - ලෝකේ පලමුවැනි SUV එක

SUV ස්පෝට්ස් යුටිලිටි වෙහිකල් කියන වාහන මාදිලිය නිර්මාණය වෙන්නේ ඇමරිකාවේ. ලංකාවේ අපි මේවාට කියන්නෙත් ජීප් කියලා. එහෙම වෙන්න හේතු විදියට හමුදාවේ, පොලීසියේ තිබුණු ජීප් රථ වලට සමාන හැඩ හුරුකමක් මේවාට තියෙන නිසාත් වෙන්දේසි වලින් ගත්ත හමුදා/පොලිස් ජීප් හොඳට හදලා ඈත ගමන් යන්න පුලුවන් විධියට හදාගන්න අපේ ඇත්තෝ බොහොම දක්ෂ වුනු නිසාත් කියලා හිතන්න පුලුවන්.




ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල් මාදිලියේ ඉතිහාසය තරමක් සංකීර්ණයි. එහෙම වෙන්න හේතුව SUV එකක් කියන්නේ මොන විධියේ වාහනයකටද කියන එක ගැන එකඟතාවයක් නැතිවීම. සමහර විචාරකයින්ට අනුව දිග වීල් බේස් එකක් සහිත,  4x4 ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තියෙන, 6 දෙනෙකුට විතර යන්න පුලුවන්, ස්ටේෂන් වැගන් ආකාරයෙන් පසුපස බූට් එක (ඩිකිය)  බඩු ගෙනියන්න පුලුවන් විධියට ආවරණය කරලා හදලා තියෙන වාහන SUV වෙනවා. 

ඒ ආකාරයෙන් SUV අර්ථ දැක්වූවොත් 1935දී හඳුන්වලා දුන්න Chevrolet Carryall Suburban වාහනය ඇමරිකාවෙත්, 1938දී රුසියාවේ නිර්මාණය කල GAZ-61 වාහනයත් ලෝකෙ පැරණිම SUV විධියට හඳුන්වලා දෙන්න පුලුවන්.

Chevrolet Carryall Suburban (1935, USA)

රුසියන් GAZ 61  (1938, 4×4)
1946දී විලිස් ජීප් සමාගම (ජීප් සන්නාමයේ නිර්මාතෲ) හඳුන්වලාදීපු විලිස් Jeep Station Wagon මාදිලිය 1946 ඉඳන් 1981 වෙනතෙක්ම ලෝකයේ රටවල් ගණනාවක නිෂ්පාදනය වුනු බොහෝම ජනප්‍රිය SUV එකක්.

Willis Jeep Station Wagon (1946)
SUV කියන වාහන මාදිලියට දෙන්න පුලුවන් තවත් අර්ථදැක්වීමක් වෙන්නේ;

"දිග වීල් බේස් එකක් සහිත,  4x4 ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තියෙන, 6 දෙනෙකුට විතර යන්න පුලුවන්, ස්ටේෂන් වැගන් ආකාරයෙන් පසුපස බූට් එක (ඩිකිය)  බඩු ගෙනියන්න පුලුවන් විධියට ආවරණය කරලා හදලා තියෙන, සැලූන් කාර් රථයක් වගේ සුවපහසුවෙන් මගීන් ගෙන යන්න පුලුවන්; එහෙත් කැලෑබද පෙදෙස් වල, රළු පාරවල්වල, 4 x 4 වාහන වලට විතරක් යන්න පුලුවන් පැතිවලත් අපහසුවකින් තොරව යන්න පුලුවන් වාහන මාදිලියක්"

කෙටියන් කියනවා නම් කාර් එකක තියෙන සැප ගන්න ගමන් ඕෆ් රෝඩ් වාහනයකින් ගන්න පුලුවන් ත්‍රිල් එක ගන්න පුලුවන් වාහනයක් තමයි SUV කියලා හඳුන්වන්නේ.  මේ අර්ථ දැක්වීමට අනුව ලෝකෙ පලමුවෙනි SUV එක විධියට ගන්න පුලුවන් වෙන්නේ 1962දී හඳුන්වාදීපු ජීප් වැගනියර් වාහනය බවයි ලෝකයේ පිලිගැනීම.

Jeep Wagoneer
1960 ගණන් වෙනකොට ඇමරිකාවේ වගේම කැනඩාව, ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව, බ්‍රසීලය වගේ අතිවිශාල භූමි ප්‍රදේශයන් ඇති රටවල ජනප්‍රිය වෙලා තිබුණු  4x4 වාහන ශක්තිමත්, ඕනෑ තැනක යන්න පුලුවන් වාහන වුනත්, ඒවායේ සුවපහසුව බොහෝම අඩුවෙන් තිබුණේ. ඒවා හදලා තිබුණේ ඈත පලාත්වල ජීවත් වෙන, රළු ජීවිත ගතකරන, දුෂ්කර රැකියා කරන අයගේ එදිනෙදා ජීවිතයට වාහනයකින් ලැබෙන්න ඕනෙ ප්‍රයෝජන ලබාදෙන, බොහොම විශ්වාස වන්තව ක්‍රියාත්මක වෙන වාහන විධියට. මේ වගේ අය සුව පහසුව ගැන එතරම් උනන්දුවුන අය නෙමෙයි.

විලිස් ජීප් සන්නාමයේ මුල් අයිතිකාර සමාගම වූ Willys-Overland Motors සමාගම, මේ රළු ජීවිතවලට නිර්මාණය කරලා තියෙන වාහන වල ඇති ආරක්ෂාව, විශ්වාසවන්ත භාවය හා ක්‍රියා හැකියාවන් ඒ විධියටම තියෙන, ඒත් නගරයේ රැකියාවන් කරන, සුවපහසුව ගමන් බිමන් යන්න කැමති අයට සුදුසු වාහනයක් හැදුවොත් තම ආදායම වැඩිකරන ගන්න පුලුවන් කියලා කල්පනා කරලා තමයි වැගනියර් මාදිලිය හඳුන්වලා දුන්නේ.

වාහනය මාකට් එකට හඳුන්වලා දුන්නේ උදේ හවස වැඩට යන්න වගේම දරුපවුලත් එක්ක නිවාඩුවකට යනකොට ගෙනියන බෝට්ටුව, කෑම්පින් යන්න ඕනෑ කූඩාරම් බඩු කට්ටල, බාබකිව් කට්ටල වගේ දේවල් අරගෙන කාර් එකකට යන්න බැරි සුන්දර එහෙත් දුෂ්කර ඈත පලාත්වල ඇවිදින්න යන්න හොඳම වාහනයක් විධියට.


ජීප් වැගනියර් වාහනය නිර්මාණය කරන්න විලිස් සමාගම, 1960 ගණන්වල දක්ෂ කාර්මික නිර්මාණකරුවෙකු (industrial designer) ලෙස නමක් දිනාගෙන සිටි බෲක් ස්ටීවන්ස් බඳවා ගත්තා. ඔහු නිර්මාණය කරපු වැගනියර් මාදිලියේ පලමු වාහනය 1962 අවුරුද්දේ අලෙවි වුනා. සුව පහසු ඉඩක් ඇති, බොහොම සිත්ගන්නා සුලු අප්-හෝස්ට්‍රි හා ඇතුලත නිර්මාණයක් සමග එලි දැක්වුනු වැගනියර් වාහනයේ එකල සුවපහසු සිඩෑන් කාර්වල තිබූ සියලුම පහසුකම් තිබුණා. ඒවගේම වාහනේ පිටත නිර්මාණයත් බොහොම සිත්ගන්නා සුලු විධියට කරන්න බෲක් ස්ටීවන්ස් සමත්වුනා.




නගරයේ එදිනෙදා ධාවනය සුදුසු වෙන සිත්ගන්නා සුළු බාහිර නිමාවත්, සුවපහසු නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත අභ්‍යන්තර නිමාවත්, ශක්තිමත් වානේ බඳ, බඩු ගෙනියන හුඩ් රැක්, අමතර ලාම්පු, බලසම්පන්න එන්ජිම හා 4 x 4 ට්‍රාන්ස්මිෂන් එක නිසා ජීප් වැගනියර් මාදිලිය outdoor lifestyle එකට කැමති, නගරයේ ජීවත්වෙමින් රැකියා කරන, නිවාඩුවට ඈත පලාත්වල ඇවිදින්න, සංචාරය කරන්න යන පුද්ගලයින් අතර ඉතාමත් ජනප්‍රිය වුනා. ඒ අනුව නූතන ලක්ෂරි SUV වාහන වල පූර්ව ප්‍රාප්තිකයා විධියට ජීප් වැගනියර් වාහනය හඳුනාගන්න පුලුවන්. 

විද්‍යා ගවේෂණගේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය - මිෂන් ඉන් ඇෆ්ඝනිස්ථාන්




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments