SCIENCE FICTION : Dark World | කෘෂ්ණ ලෝකය


අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම

ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි!

August 16, 2068, Space.com / AFP / Reuters - ලෝකයේ විශාලම ආලෝක දුරේක්ෂය වන කැනේරි දූපත්වල පිහිටි ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂයෙන් අභ්‍යවකාශය නිරීක්ෂනය කරන තාරකා විද්‍යාඥයින්, පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් අභ්‍යවකාශයේ සිදුවූ දැවැන්ත පිපුරුමක් නිරීක්ෂනය කර තිබෙනවා.

කුමන හේතුවක් නිසා මේ පිපුරුම සිදුවූවදැයි පැහැදිලි කිරීමට තාරකා විද්‍යාඥයින් අසමත්වී ඇති අතර එය ඉතාමත් අත්භූත හා සසම්භාවී පිපිරීමක් බවයි ඔවුන් පවසන්නේ.

පෘථිවියට සමාන ග්‍රහලෝක ඇති තාරකා තිබෙන සෙෆියස් නම් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපුරුම තාරකා විද්‍යාඥයින්ගේ දැඩි කුතුහලයට හේතුවී තිබෙනවා. සෙෆියස් තාරකා මණ්ඩලය පෘථිවියට ආලෝක වර්ශ 50ක් ඈතින් තිබෙන නිසා මේ පිපුරුම මීට වර්ශ 50කට පෙර, එනම් 2018 වර්ශයේ සිදුවී තිබෙනවා.

මෙවැනි පිපිරුම් සුපර්නෝවා නම් තාරකා පිපුරුමක් හෝ කුඩ ක්ෂුද්‍ර කළු කුහරයක් පිපිරීයාමෙන් සිදුවිය හැකි බවට අනුමාන කෙරෙනවා. එහෙත් සමහර තාරකා විද්‍යාඥයින් මේ පිපිරුම ස්වභාවික එකක් නොව, කෘත්‍රිම එකක් බවට මත පලකරනවා.


පෘථිවියට සමාන ජීවය පැවතිය හැකි බවට අනුමාන කෙරෙන ග්‍රහලෝක තිබෙන සෙෆියස් තාරකා මණ්ඩලයේ සිදුවූ මේ පිපිරීම අතිශයින්ම දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක ක්‍රියාකාරිත්වයක් නිසා සිදුවිය හැකි බවයි ඔවුන් පවසන්නේ.


"සමහර විට මේ දියුණු පිටසක්වලයින් ග්‍රහලෝකයක් විනාශකල හැකි බෝම්බයක් අත්හදා බැලුවා වෙන්න පුලුවන්.....සමහර විට ඔවුන් සිදුකල භ්යානක  පර්යේෂණයකදී මොකක් හරි ලොකු වැරදීමක් සිදුවී විශාල අණතුරක් සිද්දවුනාද දන්නේ නෑ...." 



වසර පනහකට පෙර;  ජූනි16, 2018 අවසානය ඇරඹුමකි (ආදර කතාවක් නොවේ)

තේජන සිය දුරකථනයේ තිරය දෙස බලාගෙන සිටියේ කරකියා ගත හැකි දෙයක් නැතුව. ඊයේ රාත්‍රියේ සිය පවුලේ ඥාති මිතුරෙකුවූ ජනිත් යහළුවන් වෙනුවෙන් පවත්වපු සාදයේ කැබරේ නැටුම් අවස්ථාවේ ඔහු අඩ නිරුවත් තරුණියක් හා යෙදුනු රංගනයේ වීඩියෝ ක්ලිපයක් මුහුණු පොතට වැටුනේ  කොහොමදැයි සිතා ගන්නට ඔහුට බැරිවුනා. ඔහු ඒ සාදයට ගියේ ජනිත්ගේ පෙරැත්තය නිසාමයි. තේජන සමග එකට ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර පාසැලට ගිය ජනිත් ලන්ඩන් ඕලෙවල් විභාගයෙන් පසු බ්‍රිතාන්‍යයට ගියේ එහි උපාධිය කරමින් සිටි සිය සොයුරිය සමග එක්වීමටයි. 

වසර කිහිපයකට පසුව ලංකාවට පැමිණි ජනිත්ගේ නිවසේ පැවති නිළ උපන්දින සාදයටද සහභාගීවුනු තේජනට මේ සාදයට යන්නට එතරම් උනන්දුවක් තිබුනේ නෑ. යාලුවන්ට කරටි කැඩෙන්නට බොන්න දෙන්න ප්ලෑන් කරපු මේ පාටිය මග අරින්න තේජනට ඕනෑ වුනත් ජනිත්ගේ පෙරත්තය ඊට හරස් වුනා. ඊටත් වඩා ජනිත්ගේ අක්කාගේ පෙරැත්තය ඔහුව වඩාත් පෙළඹවූවා.

"අනේ තේජන ඔයත් යන්න මෙයා එක්ක.....මේ පාටිය ගැන තාත්තා දන්නෙත් නෑ, මට යන්නත් බෑනේ කොල්ලො බොන පාටිවලට.....මෙයා මොකක් හරි පිස්සුවක් නටයිද දන්නේ නෑ....ඔයත් යන්නකො..."

කොහොම වුනත් සාදය කැබරේ සාදයක් බව තේජන දැන ගත්තේ එහි ගියාට පසුවයි. කැබරේ නැටුම් පටන් ගන්නා විටම සාදයෙන් පිටවීමට උත්සහ කලත් ජනිත් ඔහුව නැවැත්වුවා.

"මොකක්ද බං? කොහෙද යන්නේ? ඉඳපන්..., උඹ හරියට ඩ්‍රින්ක් එකක් වත් ගත්තේ නෑ නේද? ඩ්‍රින්ක් එකක් අරගෙන, ඩාන්ස් එකක් බලලා රිලැක්ස් කරලා පලයන් බන්.... කෙල්ලෙක් හිටියා කියලා ඔච්චර බය වෙන්න එපා.....this is twenty first century මචන්....have some fun with us"

ඊට කලින් හමුවූ කතාබස් වලදී ජනිත් කියපු තවත් කතාවකුත් තේජනගේ හිතේ හොල්මන් කලා. ජනිත් කියන්නේ ඇත්තක්ද? උමායා වෙනස්වෙන්න හදනවද? ඔහුගේ හිතට මහා වදයක් දැනුනා...

"මචන් ඔය කැම්පස් ලව් එච්චර සීරියස් ගන්න එපා.......යූ.කේ වල නම් කොල්ලො කෙල්ලෝ ඉස්සෙල්ලා කරන්නේ සෙක්ස්, ඊට පස්සේ තමයි ඒවා ලව් වෙන්නේ......... යුනිවසිටි කාලේ කොල්ලෝ කෙල්ලෝ මැක්සා සෙක්ස් එන්ජොයි කරනවා......අවුරුදු 25 පැන්නට පස්සේ තමයි සීරියස් එකක් පටන් ගන්නේ..උමායා කරන්නේ සොෆ්ට්වෙයා ඉන්ජිනියරිං නේද?....කවුද දන්නේ උඹ ඔය මැරීගෙන ලව් කරාට, එයා සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් වෙලා ලොකු පඩියකට ජොබක් සෙට් කරගත්තට  පස්සෙ උඹ වගේ ඩිසයිනර් කෙනෙක් හොඳ මදිවෙලා සොෆ්ට්වෙයාර් ප්‍රොෆෙෂනල් කෙනෙක් බැඳ ගනීද කියලා....?"

උමායා ගැන දැඩි විශ්වාසයක් තිබුණත් මෑතක සිට ඇයගේ හැසිරීම ඔහුටද ප්‍රශ්ණයක් වුනා. ප්‍රශ්ණයට මුල්වුනේ ඔස්ටේලියාවේ ඉඳන් ට්‍රාන්සර් ස්ටුඩන්ට් කෙනෙක් විධිය SLIIT එකට ආපු ලකිත් මලළසේකර. ධනවත් පවුලක එකෙකු වූ ලකිත් ආ දවසේ ඉඳන්ම උමායාට දැල එලන්න ගත්තා. තාත්තාගේ සොරෙන්ටෝ ජීප් එකෙන් කැම්පස් එන ලකිත්, උමායාගේ යෙහෙලියන් ඒකේ පටවාගෙන එහෙ මෙහෙ අරගෙන යමින් ට්‍රීට් දෙන්න පටන් ගත්තේ උමායාවත් ඇද ගන්නා අදහසින්.

උමායාගේ 22වැනි උපන්දිනයට දිනකට පසු තේජනට නුවර යන්නට සිදුවුනේ ෆෝටෝග්‍රැෆි ඇසයිමන්ට් එකකට නුවර ඇම්බැක්කේ දේවාලයේත් සතර මහා දේවාලවලත් ෆෝටෝ ගන්න සිද්දවුනු නිසා. ඇසයින්මන්ට් ගෲප් එකේ අනිත් උන් “ලෝන්ග්.... හොලිඩේ මචන්....ගෙවල්වලින් ට්‍රිප් යන්න කතා කරනවා" කියමින් දිග සති අන්තයක නුවර යන්න අදිමදි කල නිසා තනියම යන්න තේජනට සිද්දවුනා. සති අන්තයේ ලෙක්චර්ස් නොතිබුණත් ඇසයින්මන්ට් එකකට coding කරන්න යාලුවො එක්ක කොම්පියුටර් ලැබ් එකට යන බව උමායා තේජනට කියල තිබුණා.

නුවර ඉන්න අතරේ ලකිත් උමායාට දුන්න සප්‍රයිස් බර්ත්ඩේ පාටි එක ගැන තේජන දැන ගත්තේ මුහුණු පොතේ ෆොටෝවලින්. ෆේස් බුක් එකෙන් දැන ගන්නකන් ඒ ගැන කියන්නවත් උමායා කරදර නොවීම ඔහුට දැඩි වේදනාවක් ගෙන දුන්නා.

දුරකථන ඇමතුමක් දී "ඔයා coding කලේ අරූ එක්ක පිට්සා හට් එකේද?" උමායාගෙන් තරහින් ඇසූ තේජනට;

"මොකක්ද තේජන ඔයාට වෙලා තියෙන්නේ? ඔයාට ඔච්චරම මාව ශුවර් නැද්ද?........ lab එකේ වැඩ ඉවර වෙලා යාලුවෝ එක්ක ගෙදර යන්න හදනකොටයි ඕක වුනේ. හොලිඩේ හින්දා ෂටල් බස් නෑනෙ.... ලිෆ්ට් එකක් දෙන්නම් කියපු නිසයි අපි ජීප් එකට නැග්ගේ....එයාගෙ ප්ලෑන් මම දන්නේ නෑනෙ......එක පාරටම ජීප් එක Pizza Hut එකක් ලඟ නවත්තලා සර්ප්‍රයිස් බර්ත්ඩේ ට්‍රීට් එකක් කිව්වම මම රණ්ඩුවෙලා බෑ කියන්නද? තනියම හිටියා නම් බෑ කියනවා..... මම තෑන්ක්යූ කියලා පිට්සා කෑල්ලක් කෑවා...එච්චයි.....එයා මට පිට්සා කවන්න ආවේ නෑ......"

~ / ~

"තේජන! මොකෝ බන් එකපාරමට සයිලන්ට් වුනේ.......is your chick worrying you now? තේජනගේ සිතුවිලි දාමය බිඳදමමින් ජනිත් ඇසුවා.

"උමායා එහෙම කෙල්ලෙක් නෙමෙයි බන්.......අනික මං ගැන එයාගේ පේරන්ට්ස්ලත් දන්නවා......."

"උඹගේ ඉතිහාසේ ගැනත් දන්නවද?....දන්නේ නැතිනම් දැම්මම කියලා තියපන්......නැත්නම් පස්සේ ඕවා ආරංචිවුනාම කේස් පිට කේස්...."

“දන්නවා බන්.....මගේ ස්ටෝරිය SLIIT එකේ හැමෝම දන්නවා, ස්ටැෆර්ඩ් එකේ උනුයි, ලයිසියම් උනුයි ඉන්නවාගෙ.....මං ගිය ගමන් උන් පැතිරෙව්වා....දැන් ඒක පරණ කතාවක්........උමායා දැනගෙන තමයි සෙට්වුනේ........මගෙන් පොරොන්දුවක් ගත්තා ආයෙ ඒ ලයිෆ් එකට යන්නේ නෑ කියලා....එච්චරයි....."

ස්ටැෆර්ඩ් එකේ ඉන්දැද්දී උසස්පෙල පන්තියේ පලවෙනි වසරේ පලමු වාරයේ නිවාඩු දෙන දවසේ යාලුවෝ එක්ක ගල්කිස්සේ පොඩි හෝටලයක ඉඳගෙන ගන්ජා උරලා පොලීසියට අහුවීම නිසා තේජන හා ඔහුගේ මිතුරන් කිහිපදෙනා පාසැලෙන් නෙරපා දැමුනා. එම හෝටලය ගණිකා මඩමක් බව තේජන දැන ගත්තේ පොලීසියේදී. 

ඔහුගේ මව හා පියා වෙන්ව ජීවත්වුනා. මව යලිත් විවාහවූ අතර පියා ඩුබායි රටේ රැකියාවකට පිටත්වුනා. තේජන පාසැල් ගියේ දෙහිවල සිය මිත්තනියගේ නිවසේ සිටයි. අම්මගේත් තාත්තගේත් වෙන්වීම තේජන දරාගත්තේ යාලුවන් එක්ක හැකිතාක් පිස්සු නැටීමෙන්. දඩබ්බර හැසිරීම, යාලුවන් සමග සීමාව ඉක්මවා විනෝදවීම හා පාසැල් වැඩ නිතරම අතපසු කිරීම නිසා ඔහුට සෑම සතියකම පාසැලේ විනය භාර ගුරුවරයා ලබාදුන් දඬුවම් රඳවාගැනීම් (detention) විඳින්නට සිදුවුනා.

පොලීසියේ සිට අම්මා තාත්තාට කතාකොට සිද්දිය පැවසූ අතර දැඩි ලෙස කෝපවුනු ඔහුගේ පියා ඔහුව තමන් සේවය කල ඩුබායි රටට ගෙන යන්නට උත්සහ කලත් මවගේ මැදිහත්වීම නිසා පාසැලෙන් අස්කරාට පස්සේ Multimedia ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න SLIIT එකට යන්න අවස්ථාව ලැබුනා. ඒකේ අවසන SLIIT කැම්පස් එකේ BSc in Interactive Media  උපාධි පාඨමාලාවට බැඳෙන්නට ඔහුට හැකිවුනත් අතීතය සඟවාගන්න ඔහුට බැරි වුනා.

ඒත් උමායාගේ ආදරය ලැබුනට පස්සේ තමන්ටත් ජීවිතයක් තියෙන බව තේජනට දැනෙන්නට වුනා. හොඳ අනාගතයක් හදාගන්න, උමායා එක්ක එකතුවෙන ලෝකයක් ගැන හිතන්න ඔහු පටන් ගත්තා. ලකිත් මලළසේකර ඒ හීනය විනාශ කරන්නට හදන බවත්, උමායා දැන දැනම ඒ දැලේ පැටලෙන බවටත් ඔහුට හිතෙන්නට වුනා.

“ඉස්සර නම් කොල්ලෙක් නෝට් එකක් ඉල්ලුවත් මට කියනවා, කොල්ලෙක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වත් මගෙන් අහලයි ඇක්සෙප්ට් කරන්නේ…..දැන් ලකිතයා සෙවල පෙර පෙර පස්සෙන් එන හින්දා  මගේ කබල් වෑන් එකට වඩා උගේ සොරෙන්ටෝ එක හොඳයි කියලා හිතෙනව ඇති එයාට….. ජනිත් කියන එක ඇත්ත……. එයාට ඌත් එක්ක පිට්සා කන්න හොඳනම් මට ටිකක් බීලා ෆන් එකක් ගත්තම මොකද? මම මොකටද මෙච්චර එයාට මාව හොඳ නැතිවේගන යනවානම් මම මොකටද බලෙන් එල්ලිලා ඉන්න හදන්නේ?....”

කැබරේ පාටියේදී බීමතින් නටන්නට ඔහු පෙළඹවූයේ උමායාගේ වෙනස්වීමේ වේදනාව බව දැන සිටියේ ඔහුම පමණයි.

හදිස්සියේම දුරකථනය නාද වෙන්නට ගත් නිසා තේජන ගැස්සුනා.

"Suresh calling….." තිරයේ දිස්වුනා.

"හලෝ?"

"හලෝ තේජන! මොකක්ද හු*** උඹ කරගත්තේ?.....අපිත් චාටර් බන් උඹලගෙ පො*** වැඩ නිසා..... උඹ දැක්කද FB එකේ Insta එකේ යන කොමෙන්ට්ස්?...... .උඹල වගේ පිස්සු හු*** හින්දා අපිටත් ලෙක්චර් හෝල් එකට යන්ඩ වෙන්නේ හූ පාර කාගෙන…...උඹට නම් හෙන ගැහුවත් කමක් නෑ...... උමායා කොහොමද බන් දැන් කැම්පස් එන්නේ?....ආයි උමායා ඉන්න පැත්තකටවත් යන්න එපා...සෙරප්පු පාර තමයි තොට කන්ඩ වෙන්නේ.......ඒකිට මල පැනලා…... මල කියන්නේ මලේ හොඳම එක......තමුන්ගේ කොල්ලා කැබරෙ එකක වල් ගෑණියෙක්ව බදාගෙන නටන හැටි FB, Insta වැටුනම කෙල්ලෙක් කොහොම පාරේ බැහැල යන්නද ඕයි??...."

සුරේෂ් ඇමතුම විසන්ධිකලා

පණිවුඩයක් ලැබුණු බවට සටහන් වුනු නිසා දුරකථනයේ වට්ස් ඇප්  එක විවෘත කල තේජන, ඔහු හා උමායා පමණක් ඉන්න "Umayaa & Thejana 4 Ever" චැට් ගෲප් එකෙන් පණිවුඩය ලැබුණු බව දැක්කා.



Three months later……. 

වටින් ගොඩින් ඇඳිරි වැටෙද්දී පින්න හා මීදුමෙන් ට්‍රයිපොඩයේ රඳවා තිබූ සිය වටිනා කැමරාවත්, ඊටත් වඩා වටින මිලිමීටර් 600 ටෙලිෆොටෝ ලෙන්සයත් ආරක්ෂාකරගන්නට තේජන එය පොලිතීන් කොලයකින් ආවරණය කලා. ෂාහීන් ෆැල්කන් නම් උකුසු විශේෂය ඡායාරූපයට ගැනීම සඳහා ඔහු නකල්ස් වලට ආවේ අද පාන්දර. මීට අවුරුද්දකට විතර කලින් සීගිරියේදී ෂාහීන් ෆැල්කන්ලා ඡායාරූපයට නගාගන්නට ආසාවෙන් හිටියත් එය අතහැර දමන්නට වුනා. කැම්පස් සෙට් එකක් එක්ක ආපු ට්‍රිප් එකේ උමායාත් හිටපු නිසා ෂාහීන් ෆැල්කන්ලා ෆෝටෝ ගන්නවාට වඩා උමායාව යි එයාගේ යාලුවන්වයි ෆෝටෝ ගන්න සිද්ධ වුනා. 

එතරම් අපහසුවක් නැතුව ෂාහීන්ලා බලාගන්න පුලුවන් තැනක් විධියට, සීගිරිය පක්ෂී ලෝලීන් අතර ප්‍රකට වුනත්, උමායා එක්ක ගිය හොඳම ට්‍රිප් එකේ මතකයන් යලිත් අවදිකරගන්නට ඔහු අකමැති වුනා. ලැබුණු පලමුවෙනි නිවාඩුවේම නකල්ස් එන්න තීරණය වුනේ නකල්ස් රක්ෂිතයේ ඉකෝ ලංකා කෑම්පින් සයිට් එකට ටිකක් ඈතින් තියෙන කඳුගැටයක ෂාහීන් ෆැල්කන්ලා ඉන්න බවට ලක්දසුන් සංචාරක ෆෝරම් එකේ පලවෙලා තිබුණු ලිපියක් නිසායි. ෂාහීන් ෆැල්කන් උකුසු විශේෂය ලෝකයේ වේගවත්ම පක්ෂීන් ලෙස සැලකෙන පෙරිග්‍රීන් ෆැල්කන් උකුස්සන්ට ලඟින්ම නෑකම් කියනවා. ඉතා වේගවත් පියාසැරිය නිසා ඡායාරූප ගැනීම ඉතාමත් අපහසු ෂාහීන් ෆැල්කන් ජීවත් වුනේ මුහුදු මට්ටමේ සිට මීටර් 1200කට වඩා උස ප්‍රදේශවල කඳු ආශ්‍රිතවයි.

ෂාහීන් උකුස්සන් ගැන ලැබුනු ඔත්තුව වගේම ලඟ ගමක තරුණයෙකු වුනු පියතිස්සව තේජනගේ ට්‍රැකර්  විධියට සම්බන්ධකලෙත් ලක්දසුන් එකේ යාලුවෙක්. තනිවම ආපු තේජනව කඳවුරු භූමියට රැගෙන ගිහින් කූඩාරම අටවලා සියල්ල සූදානම් කල පියතිස්ස ආපහු යන්න සැරසුනේ අනපේක්ෂිත විධියට සිය බිරිඳ හා කුඩා දරුවා දැඩි වෛරස් උණකට ගොදුරුවීම නිසා. ඉස්සෙල්ලා කතාවෙලා තිබුණේ පියතිස්ස රෑටත් තේජනගේ තනියට ඉන්නවා කියලයි. පාන්දරට ඒ පැත්තේ ගැවසෙනවා කියලා කියන විශාල ගෝනුන් බලාගන්නත්, රෑට ගස් මුදුන්වල ගැවසෙන දුර්ලභ උණහපුලුවන් බලාගන්නත් තේජනට ලොකු ආසාවක් තිබුණා. ගෝනුන් කොහොම වුනත් රෑට ගස් මුදුන්වල ඉන්න උණහපුළුවෝ බලාගන්න නම් හොඳ ට්‍රැකර්  කෙනෙක් ඉන්නම ඕනෑ. සාමාන්‍ය අයට නොපෙනෙන ගොඩක් සත්තු හොඳ ට්‍රැකර් කෙනෙක්ගේ පලපුරුදු ඇස්වලට හසුවෙනවා.

"සර් බයවෙන්න එපා.....අර පේන්නේ ඉකෝ ලංකා කෑම්ප් එක,.මෙතන ඉඳන් හරියටම කිලෝමීටර් එකයි.........ෂාහීන්ලා ඉන්නේ අර කන්දේ බෑවුමේ. මේ වෙලාවට නෑ.....හවස පහ හය වෙනකොට දකින්න පුලුවන්.....ආයෙත් උදේ හය හත වෙනකන් දකින්න පුලුවන්.... ...හදිස්සියක් වුනොත් ටෝච් එක අරගෙන ඉකෝ කෑම්ප් එකට  යන්න......මේ දවස්වල කට්ටියක් ඉන්න නිසා රෑ එලිවෙනකන් ගිණිමැලේ පත්තු වෙනවා. එහෙ ඉන්න ට්‍රැකර් මගේ නෑයෙක් වෙන අයියා කෙනෙක්. මම සර් ගැන බලන්න කිව්ව...මේ පැත්තේ දිවියෝ නෑ.......ඒ නිසා රෑට බයක් නෑ....ඒත් රෑ ඇවිදින්න යන්න එපා......රෑට මීදුම හරිම ඝණයි.....අතරමං වෙන්න පුලුවන්.....ලොකු හදිස්සියකදි විතරක් ඉකෝ කෑම්ප් එකට යන්න.........මම හෙට උදෙන්ම එනවා.....රෑට පැටියවයි එයාවයි තනිම තියන්න බයයි....අමාරු වුනොත් කවුරුත් නෑනෙ...."

විස්තර කියා, සියල්ල සූදානම් කල පියතිස්ස තේජනගෙන් සමුගෙන ගියේ හවස තුනට විතර. ලොකු තර්මොස් ෆ්ලාස්ක් එකක උණු කෝපි, රෑ කෑමට නූඩ්ල්ස් එක්කම කාන්සියට හප හපා ඉන්න බැදපු මංඤ්ඤොක්කා ලොකු පාර්සලයකුත්  පියතිස්සගෙන් ලැබුණා. දවල් කෑම වේල පියතිස්සගේ ගෙදරින්. එයාගේ තරුණ බිරිඳ හොඳටම උණ තියාගෙනත් අමාරුවෙන් උයලා තිබුණා. බොහොම රසට ගමේ ක්‍රමයට උයලා තිබුණු නිසා බත් මහ ගොඩක් කාපු තේජනට නිදිමතක් දැනුනත්, තංගප්පුව තේවතු යාය අසල වූ ජයතිස්සගේ කුඩා නිවසේ සිට පයින් යන්න වුනු නිසා ඒ ගතිය ඇරිලා ගියා.

පියතිස්ස කියපු විධියටම ෂාහීන් ෆැල්කන්ලා හවස පහ විතර වෙනකොට කඳුගැටයේ තනාගෙන තිබූ කූඩුවලින් එලියට ඇවිල්ලා ගොදුරු සොයා පියඹන්න වුනා. තනිවම හිටපු නිසාත් බොහොම නිස්කළංක පරිසරය නිසාත් හොඳ ෆොටෝ සෑහෙන ප්‍රමාණයක් ගන්න තේජනට පුලුවන් වුනා. 

"රුපියල් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ගත්ත ටෙලිෆොටෝ ලෙන්ස් එකෙන් හරියටම වැඩ ගන්න ලැබුණේ අද තමයි...." තේජනට හිතුනා. ලෙන්ස් එක ගන්න ලෑස්ති වෙනකොට බොරුවට සල්ලි නාස්තිකරන්න යනවා කියලා උමායා තේජනගේ හිත වෙනස් කරන්න ලොකු උත්සහයක් ගත්තා.

"තාත්තා අමාරුවෙන් එවපු සල්ලිනෙ....අපරාදෙ, බැංකුවෙ දාන්නකො..." ඇය පෙරැත්ත කලා. දැන් එයා නෑ, තියෙන්නේ ලෙන්ස් එක විතරයි. එක දිගටම පැයක් විතර කැමරාව එල්ලකරගෙන වේගෙන් පියාඹන ෂාහීන්ලාව ෆෝකස් කරන්න මහන්සිවුන නිසාත් පැය තුනක් විතර කැලේ මැද්දෙන් ඇවිදගෙන ආපු නිසත් තෙහෙට්ටුවක් දැනුනා. රෑට එන ගෝනුන්ගේ low light ඡායාරූප ගන්න හිතාගෙන කැමරාව ට්‍රයිපොඩ් එකේම තියෙන්නට හැරි තේජන, කැමරාව වහපු පොලිතීන් කොලේ හුළඟෙ යන්නෙ නැතිවෙන්න ගල් කැට කිහිපයක් බරට තිබ්බා. ස්ලීපින් බෑග් එක දිග ඇරලා ඒක උඩින් ඇලවුනේ ටිකක් ඇහැ පියාගන්න. තවම සීතල නැති නිසා ස්ලීපින් බෑග් එක ඇතුලට බැහැගන්න උනන්දුවක් ඇතිවුනේ නෑ.

තෙහෙට්ටු වැඩි නිසාම නිදිමත නොතිබුණත් තේජන දෑස් පියාගෙන කල්පණා ලෝකයක ගිලුනා. කැබරේ නැටුමෙන් පස්සේ ජීවිතය උඩු යටිකුරු වුන හැටි තේජනට මෙනෙහි වුනා. කැබරේ වීඩියෝව මුලු කැම්පස් එකේම පැතිරිලා, ඒක නොදැකපු කෙනෙක් සොයාගන්න බැරිවුන නිසා ලෙක්චර්ස් යන්න බැරි තැනටම වැඩ සිද්දවෙලා තිබුණා. හැමෝම තේජන, උමායාට කරපු අවනම්බුව ගැන කතාකරන්න පටන් ගත්තා. 

"මහ වල් යකෙක්....ඕකා ඉස්කෝලෙ යන කාලෙත් බඩු පොට් එකක ඉඳලා පොලීසියට අහුවෙලයි ඉස්කෝලෙන් අස් කලේ...."

උමායා පමණක් නොව ඔහුගේ යහලු යෙහෙලියන් බොහෝ දෙනෙක් ඔහුව පිලිකුල් කරන බව තේජනට දැනුනා. ඔහුගේ හොඳම සගයාවූ සුරේෂ් පවා ඔහුව මගහැරියා. ඔවුන් තමන්ව ලාදුරු රෝගියෙක් මෙන් සැලකීම තේජනට දරාගත නොහැකි වේදනාවක් වුනා. 

සතියක් විතර දේශන වලට යන්නේ නැතුව ගෙදරට වෙලා හිටපු තේජන මෙට්‍රොපොලිටන් කැම්පස් එකට ට්‍රාන්සර් එකක් ගන්න හැදුවත් එය ප්‍රතික්ෂේප වුනා. දැඩි සිත් තැවුලට පත් ඔහුට පිහිටක් වුනේ මල්ටිමීඩියා උපාධි පාඨමාළාවේ සම්බන්ධීකරණ නිළධාරිණිය ලෙස කටයුතු කල ආචාර්යවරියක්.

"ඔයා ගිහිල්ලා කැම්පස් කවුන්සලර්ට කතා කරන්න.....ඔයාගේ මානසික තත්වය කියන්න....එයාගෙන් රෙකමෙන්ඩේශන් එකක් ආවොත් රෙජිස්ට්‍රර් ඔෆිස් එකෙන් ඔයාගෙ ට්‍රාන්සර් රික්වෙස්ට් එක පිලිගනී..."

ඇයගේ මග පෙන්වීම අනුව විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය උපදේශකවරයා හමුවී සියල්ල පවසා සිටි තේජනගේ ඉල්ලීම සාධාරණ බවත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේපකල හොත් ඔහුගේ අධ්‍යාපනය කඩාපප්පල්වී අනාගතය අඳුරු වියහැකි බවටත් කල රෙකමදාරුව නිසා ලේඛකාධීකාර්යාලය තේජනට  SLIIT මෙට්‍රොපොලිටන් කැම්පස් එකට මාරුවක් හදා දුන්නා.

යහලුවන් සියල්ලම මගහැරීම නිසා ඔවුන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වීමට ඔහු ඒවන විටත් තීරණය කර තිබුණා. සිය ෆෙස්බුක් ගිණුමේ හා ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඡායාරූප හා වීඩියෝ සියල්ලම මකා දැමූ තේජන ඒවා ක්‍රියාවිරහිත කලා. සිය දුරකථනයේ මෙමරි කාඩ්පත හා සිම් කාඩ් එක වීසිකොට දැමූ ඔහු, දුරකථනය factory reset කොට එහි තිබූ දත්ත සියල්ලමද මකා දැම්මේ දෙපාරක් හිතන්නේ නැතුව. එයින් නොනැවතුනු ඔහු, අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය ගොණු පමණක් බැකප් කරගෙන සිය ලැප්ටොප් යන්ත්‍රය හා ග්‍රැෆික් ඩිසයින් වැඩ සඳහා භාවිතා කල ඩෙස්ක්ටොප් යන්ත්‍රයේද Windows 10 මෙහෙයුම් පද්ධතිය අලුතින්ම ස්ථාපනය කලා. 

උමායා එක්කම පරණ ජීවිතයේ මතක සියල්ලම අකා-මකා උපාධියේ ඉතුරු අවුරුදු එකහමාර කෙසේ හෝ අවසන් කරගෙන ජීවිතය ගොඩදාගැනීමට ඔහු අධිෂ්ඨාන කරගත්තා.

ඒ අතර; 

"තේජන ලඟ මගේ ෆෝටෝ ගොඩක් තියෙනවා......මාත් එක්ක තරහට ෆොටෝෂොප් කරයිද දන්නේ නෑ….." කියමින් උමායා මැසිවිලි නගන බව කනින් කොණින් ආරංචිවූ නිසා සියල්ලම මකා දැමීමට පෙර ඇය සිටින සියලුම ඡායාරූප මෙමරි කාඩ් පතකට පිටපත් කරපු තේජන එය ඇය වෙත යැව්වේ කුඩා සමුගැනීමේ හසුන්පතක් පතක් සමගයි.

"සුරේෂ්...මචන් මම උඹෙන් ඉල්ලන අන්තිම උදව්ව...මේ මෙමරි චිප් එකයි, මේ කාඩ් එකයි උමායට දීපන්.....?"

"අනේ මේ....උඹට ඕනෑනම් දීපන්.....මට ඔය කේස් වලට පැටලෙන්න බෑ....ඕවාවල මොනවා තියෙනවද දන්නේ නෑ.....මට ලෙඩ දාගන්න බෑ........."

සුසුමක් හෙලූ තේජන.. "ඒකත් එහෙමද? ඒ තරමට මාව එපාවෙලා උඹලට??…..මට එයා ලඟට යන්න බැරි බව උඹ දන්නවානේ……….මේ චිප් එකේ තියෙන්නේ මගෙ ලඟ තිබුණ එයාගෙ ෆෝටෝ ඔක්කොම.....මගෙ ලඟ කිසිම කොපියක් නෑ...මේක මගේ ගුඩ් බයි කාඩ් එක....උඹට ඕනෙ නම් කියවපන්...ඉඳා...." 

කාඩ්පත කවරයෙන් ඉවතට ගෙන සුරේෂ්ගේ මුහුණට දිගුකල තේජන සුරේෂ්ට එය කියවන්නට ඉඩ දුන්නා. පෙරපාසැල් වියේ සිටම ස්ටැෆර්ඩ් පාසැලේ ඉගෙන ගත් තේජනට සිංහලට වඩා බොහොම ලස්සනට ඉංග්‍රීසි බස හසුරුවන්නට හැකිවුනු නිසා එය ඉංග්‍රීසියෙන් ලියා තිබුණා.


හදිසියේම ඇහැරුනු තේජන අත් ඔරලෝසුවේ වෙලාව බැලුවා. පාන්දර 1.35 එහි සටහන්වී තිබුණා. ස්ලීපින් බෑගයෙන් එලියේ නිදාගත් නිසා සීතලට ඇඟ ගල්වී තිබුණා. අමාරුවෙන් තර්මෝස් ෆ්ලාස්ක් එක ඇරගත් තේජන කෝපි කෝප්පයක් වත්කර ගත්තා. මීදුම හා ශීතල නිසා උණු කෝපි කෝප්පයෙන් වාෂ්ප එන්ජිමකින් මෙන් දුම්දානවා. 

බඩගිණ්නක් දැනුනත් හීතල වුනු නූඩ්ල්ස් කන්න හිත් දුන්නේ නෑ. ඒ වෙනුවට මඤ්ඤොක්කා පෙති අහුරක් කටේ දාගත්තා. අවට පරිසරය පුරා මීදුම ලාවට පැතිර තිබුණා. "පාන්දර වෙනකොට නම් මීදුම වැඩිවෙයි." ඔහු හිතුවා.

කූඩාරමෙන් එලියට පැමිණ වටපිට නැරඹූ ඔහුට ඈතින් ඉකෝ ලංකා කඳවුරේ ගිණි මැළය පෙනුනා. රැහැයියන්ගේ ඝෝෂාව වගේම ඈතින් ඇහෙන අමුතු කුරුල්ලෙකුගේ හඬත් කොළඹ ජීවත්වුනු ඔහුට නුහුරු නුපුරුදු අත්දැකීමක් වුනා.  හාත්පස ඝණ අඳුර මකන්නට පුර අටවක හඳෙන් පැතුරුණු එලිය සමත්වුනා. 

"ගෝන්නු එනකොට පාන්දර හතර විතර වෙයි..එලාම් එක තියන්න ඕනෑ.........නැතිනම් ඇහැරෙන එකක් නෑ...." සිතූ තේජන සිය දුරකථනය රැගෙන පාන්දර 3.45ට සකස් කලා. 

තිරයේ දිස්වුනු "No Service" නිවේදනය ඔහුට අනාරක්ෂිත හැඟීමක් ගෙන දුන්නත් පැය භාගයක ගමණකින් ඉකෝ ලංකා කෑම්ප් එකට යන්නට හැකිවීම  එම හැඟීම තුනී කලා.

"දිවියෝ නෑ කිව්වනෙ......මේ පැත්තේ වලස්සුත් නෑ.........මොකටද බය වෙන්නේ? යක්කු එනවා කියලයැ...." ඔහුට හිතුනා. යකුන් ගැන මතක්වන විට කලකට පෙර පැවරුමක් සඳහා අතරින් පතර කියැවූ "Village folk tales of Ceylon" නම් පොතක තිබූ ජනප්‍රවාදයක් මතක් වුනා. එච් පාකර් නම් වාරිමාර්ග ඉන්ජිනේරුවා විසින් 1914දී සම්පාදනය කල මෙම පුරාණ ලාංකික ජනකතා එකතුවේ දුම්බර මිටියාවතේ වාමනයින්ගේ ලෝකයක් ගැන ජනප්‍රවාදයක්  විස්තර කර තිබුණා.

දුම්බර මිටියාවතේ නකල්ස් කඳුවැටියේ යම් යම් කඳුවල ඇති කුඩා ගුහාතුලින් සඳ ඇති කාලයට එලියට එන අඩි 4ක් හෝ 5ක් උසැති මිටි මානවරූපී සතුන් පිරිසක් ගැන විස්තරයක් තිබුණා. "පිශාචයින්" ලෙස ගැමියන් හැඳින්වූ මොවුන්, කඳුකර ඝණ කැලෑවල සැඟවී දිවි ගෙවන යම් ආකාරයක අර්ධමානව ගෝත්‍රයක් විය හැකි බවට එකල ලක්දිව පර්යේෂණ සිදුකල යුරෝපීය වියතුන් මතපල කොට තිබුණා.

ගැමියන් පැවසූ අන්දමට මේ පිශාචයින්ගෙන් ගැමියන්ට අණතුරක් වූයේ කලාතුරකින්. සඳ ඇති රාත්‍රීවල එලියට පැමිණෙන ඔවුන් කැලෑවේ පැලෑටි එකතු කිරීම හා යාග පැවැත්වීම සිදුකරන බව ජනකතාවල සඳහන් වුනා. මිනිසුන්ට අණතුරක් නොකලත් ඔවුන් සතුව බලගතු මන්ත්‍ර ඇති බවයි ගැමියන් විශ්වාස කලේ. යමෙක් ඔවුන්ට නොදැනෙන්නට ලං වුවහොත් ඒ පුද්ගලයාව ටික වේලාවකට ගල් කිරීමේ මන්ත්‍ර ඔවුන් ලඟ තිබුණා. ඒ මන්ත්‍රයට හසුවන්නන් පැයක් පමණ යනතෙක් අතපය වාරු නැතිව වැටී සිටිනවා. වාමනයින් දැක බිය පත්වූ සමහරුන් සුව කිරීමට තොවිල් නටා කුකුල් බිලි ලබාදීමටද සිදුවන බව ජනප්‍රවාද වල තිබුණා.

ඔවුන් ජීවත්වුනේ පොලොව යට බවත්, කුඩා ගුහා තුලින් විහිදෙන දෝනා වලින් ඔවුන්ගේ ලෝකයට යා හැකි බවත් පැවසුනා. මිනිසුන් දුටුවිට වහා දිවගොස් තමන් එලියට පැමිණි කුඩා ගුහාවට රිංගා ගන්නා කලු වාමනයින් නැවත කලකට දකින්නට ලැබෙන්නේ නෑ. එමෙන්ම ඔවුන් පසුපස හඹා ගොස් එම දෝනාවලට රිංගූ කිසිවෙකුට යලි ආපසු එන්නට ලැබෙන්නේ නැති බවත් පැවසෙනවා. තමන්ගේ ලෝකයට එන කිසිදු මිනිසෙකුට ඒ ලෝකයේ රහස් දැනගෙන මෙලොවට යලි එන්නට වාමනයින් ඉඩ නොදෙන බවයි පැවසුනේ. 

රන්, මිණී මුතු මැණික් වැනි වටිනා දෑ දසත විසිරී ඇති වාමන ලෝකයට පිවිස යලි ආපසු එන්නට වරම් ලැබූ අයද කලාතුරකින් සිටියත් ඔවුන් ජීවිත කාලයම සිහිමද ගතියෙන් පෙලෙන බවයි ගැමි ප්‍රවාදවල සඳහන් වුනේ. වාමන ලෝකයේ දුටු බිහිසුණු දසුන් ඔවුන්ව සදහටම සිහි විකල් කරවන බව ගැමියන්ගේ විශ්වාසය වුනා.

එහි තිබූ තවත් අපූරු විස්තරයක් වූයේ වාමන ලෝකයට රිංගා, කලකට පසුව පැමිණෙන සමහරුන් ඒ ලෝකයේදී අඩුවෙන් වයසට යන බවට වූ විස්තරයයි. වාමන ලෝකයේ මාස ගණනාවක් ඇවිදිමින් සිට ආපසු පැමිණෙන්නට වරම් ලැබූ බවට කියූ පුද්ගලයෙක් ගැන තොරතුරක් ඕලන්ද ජාතික පර්යේෂකයෙකු වාර්තාකොට තිබූ බව කියන එච් පාකර්, ඒ පුද්ගලයාගේ ඥාතීන්ට අනුව ඔහු අතුරු දහන්වී පෝය දොලහකින් (අවුරුද්දකින්) ආපසු පැමිණි බවත්, පැමිණීමෙන් පසු සිහිමද ගතියෙන් පෙලුණු ඔහු, මිනී කන බිහිසුනු අමනුෂ්‍යයින් වෙසෙන, මහා අඳුරු ලෝකයක අතරමංව පාර සොයාගත නොහැකිව ඇවිදිමින් සිටි බවත්, ඔහුව අල්ලාගත් වාමනයින් මාස කිහිපයක් කිහිපයක් ඔහුව සිරකරගෙන සිටි බවත් පවසා තිබෙනවා. වාමන ලෝකයේ මාස කිහිපයක් ගතකොට ආපසු පැමිණීමේදී, ඔහුගේ ඥාතීන් ඔහු මිය ගොස් ඇතැයි සිතා, ඔහු සිහිකොට අවුරුද්දේ දානයද දී අවසන්ව තිබුණා.

වමානයින් ගැන වැඩිදුර තොරතුරු සොයන්නට තේජන සිතා ගත්තත්, අධ්‍යයන කටයුතු නිසාත්, ඊට ටික කලකට පසු උමායා හා හාදවීම නිසාත් ඒ වෙනුවෙන් කාලය යොදවන්න බැරිවුනා.


කෘෂ්ණ ලෝකයේ රැඳවියා

වටපිට බැලූ තේජන හිස අතගෑවා. හිස බිමවැදුනු තැන තඩිස්සිවී තිබූ අතර හිසේ තද හිසේ කැක්කුමක් දැනුනා. තවමත් කන් අගුල් වැටී තිබුණා. අඳුරට හුරුවූ දෑස් කරකැවූ ඔහු තමන් ගැඹුරු වලක් මෙන් තැනක සිටින බව වටහා ගත්තා. ඔහුගේ කැමරාව, දුරකථනය හා අත් ඔරලෝසුවද අතුරුදහන් වී තිබුණා. ඔහු සිටි වල අඩි දහයක් පමණ ගැඹුරු වූ අතර හරි හතරැස් ස්වභාවක් ගත්තා. කවුරු හරි කපපු වලක්. ඔහුට දැඩි ශීතලක් දැනුනා. උඩ බැලූ ඔහුට දැඩි අඳුරක් පෙනුනා. "තවම රෑද?..."

"මං වගේ මෝඩයෙක්..." කන්දේ තුබූ කුඩා ගුහාවක් වැනි සිදුරෙන් ඇතුලට බඩගාන්න සිතුනේ කරුමයට විය යුතු බව ඔහුට සිතුනා. ඔහු අපහසුවෙන් නැගිට්ටා.

ඔහු වෙත යෂ්ඨියක් වැනි යමක් දිගුකල වාමනයා ඔහුට මතක්වුනා. එය පොලු කෑල්ලක් මෙන් පෙනුනත් යම් ආයුධයක් විය යුතු බව ඔහුට සිතුනා. "මොකක් හරි අමුතු තාක්ෂණ අවියක් වෙන්න ඕනෑ...."

බොහොම දියුණු තාක්ෂණයක් වගේ....ඒ කියන්නේ මේ වාමනයින් තාක්ෂණික ශිෂ්ඨාචාරයක් තියෙන ජීවීන් පිරිසක්ද?....පිට සක්වලයින්ද?" තේජනට බියක් දැනුනා. වාමනයා යෂ්ඨිය ඔහු වෙත දිගුකොට තත්පරයක් යන්නටත් පෙර කන්බෙර පුපුරණ තරමට තියුණු හඬක් ඇසුනු බවත් මොහොතකින් ඔහුගේ මස්පිඩු අප්‍රාණිකවී ඇඟ පණනැතිවූ හැටිත් ඔහුට මතක් වුනා.

ගෝනුන් ඡායාරූප කරන්නට අවදිවී කැමරාවේ ටෙලිෆොටෝ ලෙන්සයන් බැලූ ඔහුට ඈත කන්ද පාමුල තුල ගැවසෙන වාමනයින් දකින්නට ලැබුණා. එතකොට පාන්දර හතරට විතර ඇති. වාමනයින් හතර දෙනෙකු සිටි අතර ඔවුන් අත යම් යම් දෑ තිබුණා. ඔවුන් අත්භූත හැසිරීම් පෙන්වමින් සිටියා. ඒවා යම් යාගයක් සිදුකරන විට පෙන්වන හැසිරීම් වලට වඩා ඉතා සූක්ෂමව අවට නිරීක්ෂණය කරන හැසිරීම් බව තේජනට වැටහුනා. ඔවුන් අත තිබූ රිදී පැහැති පෙට්ටි දෑතින් ඔසවා අහසේ ඒ මේ අත කරකවනවා මෙන් පෙනුනා. ඔවුන් ඒ පෙට්ටි ඉහලට ඔසවාගෙන වටේට කැරකුනේ අහසේ යම් දෙවියෙකු යදිනවා මෙන් වුවත්, ඔවුන් ඒ පෙට්ටි අහසේ සෑම දිශාවකටම යොමු කරනවා මෙන් තේජනට පෙනුනා.

"මුන් මේ කරන්නේ යාගයක් නම් නෙමෙයි..." තේජනට හිතුනා.

"දෙයියෝ වඳිනවද? අහස නිරීක්ෂණය කරනවද? මොනවටද? අහසේ යන ගුවන් යානා නිරීක්ෂණය කරනවද? නැතිනම් තරු නිරීක්ෂණය කරනවද?" තේජනගේ සිතේ දහසක් පැන ගොනුවුනා.

වසර සියයකට පෙර පාකර් ගේ පොතේ උපුටා දක්වා තිබූ ගැමි කතාවල, ඔවුන් පාන්දරට දෙවියන් යදින්නට යාග කරන බව පවසා තිබුණේ එතරම් ඈත කාළයේ ජීවත් වූ නූගත් ගැමි ජනයාට මොවුන්ගේ මේ හැසිරීම විස්තර කරන්නට අවබෝධයක් නොතුබුණු නිසා වෙන්නට ඇති.

අත්භූත වාමනයින්ගේ හැසිරීම නිරීක්ෂණය කරමින් සිටි තේජනට ෆෝටෝ ගන්න මතක් වුනේ පැය කාළකට විතර පස්සෙයි. කඳුගැටය පාමුල සිටි ඔවුන් කිලෝමීටරයක් පමණ ඈතින් සිටියත් අධිබල ලෙන්සය ඔවුන්ගේ පැහැදිලි දසුනක් ලබා දුන්නා. කැමරාවේ photo + video පහසුකම ක්‍රියාත්මක කල ඔහු ඡායාරූප ගන්නා අතරේම වීඩියෝ දසුන්ද සටහන් කර ගත්තා.

විනාඩියක් ගතවන විටම එක් වාමනයෙකු නැවතී කෙලින්ම දසුන්ගේ කැමරාව දෙස බැලුවා. ඔහු සෘජුවම තමා දෙස බලාසිටින බව අධිබල ලෙන්සය තුලින් දුටු තේජනට බියක් දැනුනා.

මීටර් 1000ක් පමණ ඈතින් අඳුරු කූඩාරමක් තුල සිටින තමාව කොහොම දැක්කා දැයි ඔහුට සිතාගන්නට බැරිවුනා.

"කොහොමද මුන් දැක්කේ? ශටර් එක ක්ලික් වෙන සද්දේ ඇහුනද? වෙන්න බෑ.........අහ් ෂිට්...... ලෝ ලයිට් ෆෝකස් ලේසර් එක....උන් ඒක දකින්න ඇති....."

අඩ අඳුරේ ඡායාරූප ගැනීමේදී ස්වයංක්‍රීය නාභිගත කිරීමේ පද්ධතියට උපකාර වෙන්නට කැමරාවේ ලෙන්සය අසල ඇති බල්බයකින් නිකුත්වෙන රතු ලේසර් කිරණය ඔවුන් දකින්නට ඇතැයි ඔහුට සිතුනා.

"ෂිහ්.....ඒක ඕෆ් කරන්න අමතක වුනානෙ..."

මොහොතකින් අනෙක් වාමනයින්ද නැවතී ඔහු සිටි දෙස බලා සිටි අතර තත්පර කිහිපයකින් පසු ඔහුන් ආපසු හැරී ගස් අතරින් විහිදී ගොස් අතුරුදහන් වුනා. තවත් විනාඩි කිහිපයකින් පසු ඔවුන් කඳු ගැටයේ තිබූ කුඩා ගුහාවක් වැනි විවරයකට රිංගන අයුරු තේජනට පෙනුනා.

පැයක් පමණ වේලා සිදුවූයේ කුමක්දැයි කල්පණාකරමින් සිටි තේජන පාන්දර පහට විතර කඳු ගැටය පැත්තට ඇවිදගෙන ගියේ ඇවිලෙමින් තිබූ කුතුහලය තවත් දරාගන්නට නොහැකිවූ තැනයි.

වාමනයින් ඇතුලුවූ කුඩා සිදුරෙන් අපහසුවෙන් ඇතුලට ගිය තේජනට එම ගුහාව කෙමෙන් කෙමෙන් විශාල වෙන බව පෙනුනා. මුලින් බඩගාගෙන ගිය ඔහුට මීටර් 200ක් පමණ ඇතුලට යනවිට සිට ගැනීමට තරම් එය විශාල වුනා. දුරකථනයේ විදුලි පන්දම දල්වාගත් තේජන දිගටම ඇවිදගෙන ගියේ වාමනයින්ගේ වාසස්ථානය ලඟම ඇතැයි සිතමින්. තවත් මීටර් 300ක් පමණ ඇතුලට ගිය තේජනට එක්වරම දැඩි ශීතල දැනුනා. වටපිට බැලූ ඔහුට ගුහාව තවත් විශාල වී ඇති බව පෙනුනා. ශීතල කෙතරම්ද යත් ඔහුගේ හුස්ම හුමාලය මෙන් පිටවන හැටි ටෝච් එලියෙන් පෙනුනා.

"දැන් ඇති ආපහු යං" ඔහුගේ සිත බල කලත්, කුතුහලය ඊට වඩා දැඩිවුනා. වසර සියගණනකට පසු ජනප්‍රවාදයේ තැන් තැන්වල පමණක් සටහන්ව තිබූ අපූර්ව මානව ගෝත්‍රයක වතගොත සොයාගත් පලමුවැන්නා වීමේ ආශාව, අනවශ්‍ය අවදානමක් නොගැනීමේ හැඟීම යටපත් කලා. තවත් ඉදිරියට ගිය ඔහුට ගුහා කටක් පෙනෙන්නට වුනා.

"මේකනම් නියමයි! කන්ද යටින් අනෙක් පැත්තටම විහිදෙන ගුහාවක් වගේ...."

ගුහා කටින් එලියට ආ ඔහු ඝණ අඳුරින් වැසුනු පෙදෙසකට පය තැබුවා.

"හොඳටම කරුවලයිනෙ.....වෙලාව කීයද?" තමන්ගෙන්ම අසමින් ඔරලෝසුව බැලූ ඔහුට එහි 5.45 දිස්ව ඇති බව පෙනුනා.

"පහයි හතලිස් පහයි....දැන් එලිය වැටිලා තියෙන්න එපෑ...ඇයි මේ කරුවල? වහින්නවත්ද?" කියමින් අහස බැලූ ඔහු තිගැස්සුනා. ඉතා පැහැදිලි අහසේ තාරකා දීප්තිමත්ව දැල්වෙමින් තිබුණා. ඒත් ඔහු තිගැස්සුනේ අහසේ තරු දැකලා නෙමෙයි. දීප්තිමත්ව පායා තිබූ චන්දයන් දෙදෙනා ඔහුගේ සියොළඟ දහදියෙන් තෙත් කලා.

"දෙයියනේ හඳවල් දෙකක්? එකක් ලොකුයි අනෙක පොඩියි.....මේ කොහෙද මේ? මං හීනයක් දකිනවද?"

දැඩි ශීතල ඉක්මණින් දහදිය නිවා දැම්මා. වටපිට බැලූ ඔහුට ගල්කුළු, වලගොඩැලි වලින් ගහන, නිසරු බිමක් පෙනුනා. ඈතින් ගස් වදුලු වැනි අඳුරු සෙවනැලි දිස්වුනා.

"මේ අපේ ලෝකෙ නෙමෙයිද? වාමනයෝ එන්නේ වෙන ලෝකෙකින්ද? ඒත් ගුහාව ඇතුලෙන් කොහොමද වෙන ලෝකෙකට යන්නේ? පොලොව යට වත්ද? එත් පොලොව යටනම් කොහොමද හඳවල්, තරු පේන්නේ?" තේජනගේ සිත වියවුල් වුනා. ආපසු හැරුනු ඔහුට ගුහා කට දිස්වුනා. 

"ආපහු ගුහාව ඇතුලට ගියොත් මෙතනින් පැන ගන්න පුලුවන්...මොන අපායක්ද දන්නේ නෑ මේක..." ඔහුට සිතුනා. වාමන ලෝකය, අපේ ලෝකයට වඩා බොහෝ වෙනස්, අඳුරු, බියකරු ලෝකයක් බවට පුරාවෘත්ත වල සඳහන්ව ඇති දෑ බොහෝ නිවැරදි බව තේජනට සිතුනා.

ඒ සමගම ඔහුට කරේ එල්ලාගෙන සිටි කැමරාව දිස්වුනා. "ටිකක් ඇවිදලා ෆොටෝ ටිකක් අරගෙන ගියානම් හොඳ නැද්ද?" ඔහුගේ කුතුහලය යලිත් ඇවිස්සුනා.

කැමරාව අතටගෙන ක්‍රියාත්මක කල විට එහි බැටරිය බොහෝ දුර්වලවී ඇති බව පෙනුනා. "සීතලට බැට්‍රිය වීක් වෙලා වගේ..." කැමරාවේ ටෙලිෆොටෝ ලෙන්සයෙන් අවට බැලූ ඔහුට ඈතින් අවට විසිර තිබූ කලු පැහැති වස්තූන් ස්වභාවික ඒවා නොවන බවට සැකයක් ඇතිවුනා.

"මේවා ස්වභාවිකව හැඩතල නෙමෙයි වගේනෙ... ලෙන්සය තවදුරටත් සූම් කිරීමට උත්සහ කිරීමේදී බැටරිය වියැකී යාමෙන් ක්‍රියා විරහිත වුනා. 

"ෂිහ්...ලඟට ගිහිල්ලා ෆෝන් කැමරාවෙන් වත් ගන්න බලන්න ඕනෑ..."

හැකිතාක් ඉක්මණින් ඈතින් පෙනුනු කලු පැහැති සුන්බුන් විසිරී ගිය පෙදෙස වෙත තේජන ගමන් කලේ කරුවලේම කරගන්න දෙයක් කරගෙන, මේ ලෝකෙට එලිය වැටෙන්න ඉස්සෙල්ලා පැන ගන්නා අදහසින්. හැකිතාක් වේගයෙන් ඇවිද ගිය ඔහු එක්වරම නැවතුනේ තමන් පල්ලමක් ලඟ සිටින බව දැකීමෙන්. කැමරා ලෙන්සයෙන් බලද්දී  ඔහු එලියට පැමිණි ගුහාව තිබූ පෙදෙස සානුවක් මෙන් උස්බිමක් වූ බව පැහැදිලිවී තිබුණේ නෑ. ඔහුට ඈතින් පෙනුනේ සානුවේ පාමුල ඇති නිම්නයට එහා ඇති දසුන්. ඔහු ඒ සානුවේ අද්දරට පැමිණ සිටියා. ආපසු බැලූ ඔහුට ඈතින් ගුහා කට දිස්වුනා. ගුහාව ඇති දිසාව සිතේ සටහන් කරගත් ඔහු යලිත් පහලින් පෙනුනු නිම්නය දෙස බැලුවා. පෙනෙන්නට තිබූ දෙය නෙත් අදහා නොහැකි තරම් අපූර්ව වූවා මෙන්ම වාමන ලෝකයේ බියකරු බව මොනවට දක්වා සිටියා.



සානුවේ හරි මැදට වෙන්නට කඩාවැටුනු මහා දැවැන්ත යානාවක් පෙනෙන්නට තිබුණා. කීලාකාර හැඩයක් ගත් එය පැත්තකට ඇලවී තිබූ අතර ඉදිරිපස කොටස පොලොවේ ගිලීගොස් ඇති සැටියක් පෙනුනා. යානාවේ පිටුපසින් සැතපුම් ගණනක් ඈතට විහිදෙන වියලීගිය විශාල ගංගාවක් මෙන් පෙනෙන ගැඹුරු සෑරුමක් නිසා එය කඩා වැටෙන මොහොතේ බොහෝ ඈතින් පොලොවේ වැදී ගතික ශක්තිය නිසා බිම දිගේ ඇදීගොස් දැන් තිබෙන තැන නතරවූ බව තේජනට වැටහුනා. ටොන් ලක්ෂ ගණනක් බර යැයි අනුමාන කල හැකි එය පොලොව මත ඇදී යනවිට යෝධ ඩෝසරයකින් පස් හූරා ඇළක් කපනවා මෙන් පොලොව හෑරීගොස් තිබුණා.

තමන් සිටින තැන සිට ඒ යානාවට කිලෝමීටර් 5ක් පමණ ඇතැයි තේජන අනුමාන කලා. සානුවේ සිට නිම්නය වෙත බැස්ම එතරම් තීව්‍ර නොවූ නිසා ඉක්මණින් ඒ දුර යාහැකි බව ඔහු සිතුවා. සිය ජංගම දුරකථනයෙන් ඡායාරූප කිහිපයක් ගත් ඔහු ගමන අරඹන්නට පෙර යලිත් ගුහා දොරටුව දෙස බැලුවේ එය තිබෙන දිසාව හිතේ ධාරණය කරගැනීම, මේ ලෝකයෙන් ගැලවී යා හැකි එකම මගවූ නිසයි. හැකිතාක් ඉක්මණින් යානාව වෙත ගොස් ආපසු පැමිණ ගුහා කටින් පිටව යෑමට අදහස් කල තේජන, යලිත් දිනක හොඳින් සූදානම් වී ආපසු පැමිණෙන්නට ඒවන විටත් තීරණය කරගෙන සිටියා.

නිම්නය පාමුල සිට යානාවට කිලෝමීටර්  පහක් පමණ ඇතැයි කල අනුමානය කොතරම් වැරදිදැයි තේජනට සිතුනා. යානාව අසලට එනවිට පැය එකහමාරකටත් අධික කාලයක් ගතවී තිබුණ අතර ගමන ඉතා වෙහෙසකර වූ නිසා යානය පාමුලට පැමිණෙන විට ඔහුට සිටගෙන සිටින්නට පවා නොහැකි තරමට හතිවැටී තිබුණා. යානය අසල හිඳගෙන වටපිට අවට බැලූ ඔහුට එහි විශාලත්වය සිතාගන්නට නොහැකි වුනා. දික් අතට එක් කෙලවරක සිට අනෙක් කෙලවරට මීටර් 2000ක් වත් ඇතැයි සිතුනා. එමෙන්ම මදක් පැත්තකට ඇලවී තිබූ එහි උස තට්ටු පහක-හයක ගොඩනැගිල්ලක් තරම් වුනා.

අඩුම ගණනේ වසර සියයකට පෙර මෙය කඩා වැටෙන්නට ඇතැයි තේජනට සිතුනා. යෝධ යානාව පතිතවී තිබූ නිම්නය මහා දැවැන්ත තාක්ෂණික යුද්ධයක සුන්බුන් වලින් පිරී තිබුණා. බැලූ බැලූ අත මේ යානාවෙන් ගැලවී වීසිවී ගියායැයි සිතිය හැකි කැබලි විසිරී තිබුණා. සමහර ඒවා ටොන් සියගණන් බර යකඩ කුට්ටි  මෙන් පෙනුනා. ඒ වගේම කඩා වැටුනු හා විනාශවුනු වෙනත් යුධ යන්ත්‍ර යයි සිතිය හැකි දෑද අතර මගදී හමුවුනත් ඒවා ගැන සොයන්නට කල්ගත නොකල තේජන සිය ඉලක්කය වෙත ගමන් කලා.

"මේක ටොන් ලක්ෂ ගණනක් නෙමෙයි මිලියනයක් වත් බර වෙන්න ඇති....කොහොම මේ වගේ එකක් හැදුවද? පොලොවේ හදලා උඩට නග්ගන්න බෑ...බර වැඩියි....මේ වගේ විශාල යානා හදන්න වෙන්නේ  ග්‍රහලෝකයේ කක්ශයේ....ඒ කියන්නේ අභ්‍යකාශයේ යෝධ යානා හදන්න පුලුවන් සුපිරි බුද්ධිමත් ශිෂ්ඨාචාරයක් මේ ග්‍රහලෝකයේ තිබිලා තියෙනවා..."

"මේවා හැදුවේ වාමනයින්ද?.....වෙන්න බෑ........උන් ලඟ දියුණු උපකරණ තිබුණාට මේවා හැදුවේ වාමනයින් වෙන්න බෑ.........උන්ගේ හැසිරීම බොහොම නොදියුණුයි. ටොන් මිලියන ගණක් බර අභ්‍යවකාශ යානා හදන්න පුලුවන් ඥාණ ශක්තියක්, දියුණුවක් තියෙන ගෝත්‍රයක් ගල් ගුහා අස්සේ රිංග රිංග, රෑට කැලේ නටන්නේවත්, මිනිස්සු දැක්කම පැනලා යන්නේවත් නෑනෙ. සමහරවිට වාමනයින් මේ දියුණු ශිෂ්ඨාචාරය හදපු ජීවීන්ගේ වහලුන් විධියට තියාගෙන හිටිය ගෝත්‍රයක්ද දන්නේ නෑ....සමහර විට ඔවුන් මේ ලෝකයේ ස්වදේෂිකයින් වෙන්න ඇති...... දියුණු පිටසක්වලයින් මේ ලෝකය ආක්‍රමණය කලාද දන්නේ නෑ..."

"එතකොට මේ යුද්ධය කවුරුන් අතරද? මේක අධිතාක්ෂණික, ගුවන් හා අභ්‍යවකාෂ යුද්ධයක් බව පැහැදිලියිනේ......එතකොට කා අතරද යුද්ධය වුනේ?.... වෙනත් දියුණු ශිෂ්ඨාචාර දෙකක් තමන් අතර යුද්ධයේදී එක පිලක් මේ ග්‍රහලෝකය කඳවුරක් විධියට යොදාගත්තාද දන්නේ නෑ....ඒ නිසා මේ ග්‍රහලෝකයටත් දරුණු විපාක විඳින්න සිද්ද වෙන්න ඇති...."

දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකන්/බ්‍රිතාන්‍ය හමුදා වගේම ඔවුන්ට සතුරු ජපන් හමුදාත්, පැසිෆික් සාගරයේ නොදියුණු වනචාරී ගෝත්‍ර ජීවත් වුනු දූපත් වල කඳවුරු අටවාගෙන ඔවුනුත් යුද්ධයට ඈඳාගත් බව තේජනට සිහිපත් වුනා. ඒ කඳවුරු නිසා සමහර ගෝත්‍රික දූපත් ගුවන් ප්‍රහාරවලින් මහත් ව්‍යසනයකට ගොදුරු වුනා. මැරුණු ස්වදේශිකයින් ප්‍රමාණය ගැන තවමත් කවුරුවත් හොයලා බලලාවත් නෑ. ලංකාවටත් බෝම්බ වැටුනා. ඇමරිකානුවන් අල්ලාගෙන සිටි, සාමකාමී ස්වදේශිකයින් ජීවත්වුනු හවායි දුපත්වල පර්ල් වරාය මුලුමනින්ම විනාශවුනා. 

“එහෙම දෙයක් වාමන ලෝකයෙත් සිද්ධවෙන්න ඇති............."

මොහොතක් කල්පණා ලෝකයේ ගිලී සිටි තේජනට එක්වරම සද්දයක් ඇසුන නිසා ගැස්සී වටපිට බැලුවා. ඔහු පිටුපසින් වාමනයින් සයදෙනෙකු සිටි අතර දෙදෙනෙක් ඔවුන්ගේ යෂ්ඨි දිගුකරගෙන සිටියා. ගේකුඩා රවුම් මුහුණු තිබූ ඔවුන්ගේ නාසය මුහුණට වඩා කුඩා වූ අතර මුඛය හෝ නාස් පුඩු පෙනෙන්නට තිබුනේ නෑ. සඳවල් දෙකේ එලියෙන් ඔවුන්ගේ කාළවර්ණ සිරුරු දිලිසුනා. කළුවට දිලිසෙන්නේ ඔවුන්ගේ සැබෑ සම නොව යම් ඇඟලුමක්දැයි ඔහුට සැක සිතුනා. ඔවුන් ඇඟටම ඇළුනු ලේටෙක්ස් වැනි ඇදෙන සුලු දෑකින් තැනූ ඇඟැළුමක් දමාගෙන සිටිනවාදැයි තේජනට සිතුනා. ඒ තරමටම ඔවුන්ගේ ඇඟවල් තෙල්පාටින් දිලිසුනා. ඔවුන් නිහඬව බලා සිටියා. ඔවුන් සමග සිටි අනෙකා වාමනයින්ට වඩා අඩි එකහමාරක් පමණ උසින් වැඩිවූ අතර හිසේ සිට පාදාන්තය දක්වා වැසෙන ලෝගුවක් වැනි ගොහෝසු යමක් පොරවාගෙන සිටියා. බැලූ බැල්මට ඔහු මිනිසෙකු විය යුතු බවයි තේජනට සිතුනේ.

එක්වරම තේජනගේ කණ් අඩි පුපුරණ්නාක් මෙන් වේදනාවක් ගෙනදුන් අතර කකුල් පණ නැතිවේගන ගියා.


අන්ධෙරාවේ ඒජන්තයා

සතියක් අතුරුදහන්වී සිටීම නිසා තේජන ගැන රටම දැනගත්තා. ඔහු කූඩාරමෙන් අතුරුදහන්වී ඇතිබව දහවල ඔහු සොයා පැමිණි පියතිස්ස පොලීසියට වාර්තාකොට තිබුණා. වාමන ලෝකයට ඇතුලුවූ ගුහාකටෙන්ම එලියට හා ඔහු මැදියම් රැයේම ඔහු සමග ආ වාමනයින්ගේ උපකාරයෙන් ඝණ කැලෑවට ඇතුලුවුනා.  ඒ ඔහුගේම උවමනාවට. සතියක් තිස්සේ කැලයේ අතරමන් වී සිටි බව බළධාරීන්ට පවසන්නට ඔහුට ඕනෑ වුනා. නකල්ස් කැලය පීරමින් ඔහුව සොයමින් සිටි සෙවුම් කණ්ඩායම් ආසන්නයටම පැමිණෙන තෙක් ඔහුගේ ආරක්ෂාවට රැඳීසිටි වාමනයින් සීරුවෙන් පසුබැස ගියා. වැඩි ගුරුත්වයක් ඇති ලෝකයක ජීවත්වීම නිසාත්, නුහුරු, අමිහිරි ආහාර වැළඳීම නිසාත් ඔහු බොහෝ වෙහෙසට පත්ව සිටියා. ප්‍රශ්ණකිරීම් වලදී සිදුවූ දෙය හා ඔහු දුටු විස්මිත ලෝකය ගැන කිසිවක් හෙලි නොකිරීමට තේජන පරිස්සම් වුනා. ගෝනුන් ඡායාරූප ගන්නට පාන්දර ඒ පැත්තට යාමේදී මීදුම නිසා පාර වැරදී අතරමන් වූ බව ඔහු පවසා සිටියා. නීති ප්‍රකාරව ඔහුට අධිකරණයට ඉදිරිපත් කරන්නට පොලීසියට සිදුවූ අතර රක්ෂිත වනයක අනවසරයෙන් ඇවිදින්නට යාම හා එමගින් අයුතු කළබළයක් ඇති කිරීම ගැන දැඩි ලෙස අවවාද කල විනිසුරුවරයා ඔහුව නිදහස් කලේ යලිත් මෙලෙස වගකීම් රහිතව ක්‍රියාකල හොත් සිරගත කරන බවට තර්ජනය කරමින්.

සිද්ධියෙන් සතියකට පමණ පසු ඔහු අධ්‍යයනය කලයුතු විෂයකට මෙට්‍රොපොලිටන් පීඨයේ ආචාර්යවරුන් නොමැති නිසා ඔහුට දේශන කිහිපයකට සහභාගිවීමට මාලබේ කැම්පස් එකට යන්නට සිදුවුනා. ඔහු දුටු අය 

"අර මෝඩයා ආයෙත් පිස්සු වැඩක් කරලා..", 

"ගන්ජා ගහලා ඉන්ඩ ඇත්තේ බන්....ඌ ගන්ජා කාරයානේ..." 

ආදී අවමන් කතා හා උසුළු විසුළු කරනවා ඇසුනත් තේජනට ඒවා ගණන් ගන්නට ඉස්පාසුවක් තිබුනේ නෑ. 

කලින් ඔහුව ප්‍රතික්ෂේපකල යහලුවන් දුටුතැන ඔවුන්ව උවමනාවෙන්ම මග හරින්නට කටයුතු කල තේජන, වරක් තමන් අසලට පැමිණ කතාකරන්නට මෙන් කැරකෙමින් සිටි සුරේෂ් ලඟට එනවිටම නැගිට යන්නට ගියා. එදිනම දවල් ලන්ච් බ්‍රේක් එකේදී කැෆටේරියා එකේ කෙල්ලන් රොත්තක් සමග සිටින උමායා දුටුවා. ඇය සිටින තැන ලකිතයාද සෙම පෙරමින් සිටිනවා දුටු තේජනට සිනහ පහලවුනා. "තාම හරිගියෙ නැද්ද දන්නේ නෑ......"

ඔහුගේ අවඥා සිනහව දුටු ඇය ඔහු දෙසම බලා සිටින බවත්, ඇයගේ යෙහෙලියන් රොත්ත ඇය දෙසත් ඔහු දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටිනු දුටු තේජන බලවත් නොරුස්නා මුහුණක් මවාගෙන ඔවුන් කිසිවෙකුත් මායිම් නොකර යන්නට ගියා. සැබැවින්ම ඔහුට උමායා ගැන දැන ගැනීමට පවා උනන්දුවක් තිබුණේ නෑ. ඊට වඩා වැදගත් අරමුණක් ඉටුකරගැනීමේ උවමනාව ඔහු පෙලන්නට වුනා. 

පස්වරුවේ පුස්තකාලයේ රෙෆරන්ස් වැඩ සඳහා වෙන්කොට තිබූ පරිගණකයක් ඉදිරිපිට අසුන්ගත් තේජන ටෝර් නම් බ්‍රව්සරය පිලිබඳව තොරතුරු සොයන්නට වුනා. අන්තර්ජාලයේ ගූගල් වැනි සෙවුම් යන්ත්‍ර වලින් සැඟවී ඇති ඩාක් වෙබ් නම් කොටසේ සැරිසැරීම සඳහා නිමවා ඇති ටෝර් බ්‍රව්සරය ක්‍රියාත්මක කරවන ආකාරය පිලිබඳව සොයා බැලීම තේජනට උවමනා වුනා. ඩාක් වෙබ් කොටස විවිධ ජාවාරම් කරුවන් , මත් ද්‍රව්‍ය වෙළඳුන්, සොරා ගත් මෘදුකාංග විකුණන්නන්, ලිංගික සේවා හා ළමා අපචාර වීඩියෝ සපයන්නන් මෙන්ම රහස් දත්ත විකුණන්නන්ගෙ පාරාදීසයක් ලෙස ප්‍රසිද්ධයි. 

සාමාන්‍ය දත්ත ගබඩාවලින් සොයා ගත නොහැකි විශේෂ දත්ත වගයක් ඉතා ඉක්මණින් සොයාගන්නට තේජනට අවශ්‍ය වුනා. නාසා ආයතනයේ "ස්කයි සර්වේ" නම් ව්‍යාපෘතියෙන් වසරක් පාසා එකතුකරන රාත්‍රී අහසේ ඡායාරූප ඔහු වහා සොයාගත යුතුවුනා. ලංකාව ඉහලින් රාත්‍රී අහසේ තාරකා මණ්ඩලවල පිහිටීම් හා පසුගිය වසර දහයක පමණ කාළය තුලදී වෙනස්වීම් සිදුවී ඇතිදැයි සෙවීම ඉතා වැදගත් බව ඔවුන් ඔහුට අවධාරණය කලා. සොරකම් කල නාසා ඡායාරූප අන්තර්ජාලයේ අඳුරු පෙදෙසින් මිලදීගන්නට හැකිදැයි සොයන්නට ඔහු පෙළඹුනේ තර්ජනයක් හෝ බලහත්කාර කමක් නිසා නොවේ. එය කලයුතුයැයි ඔහුට අවබෝධ කරන්නට ඔවුන් සමත්වුනා.

"සල්ලි ගැන ප්‍රශ්ණයක් නෑ......" ඔහු පැවසූවා. "ඕනෑ ගාන කියන්න. අපි දෙන්නම්...."

"එහෙම බෑ....මේවා ගන්න බිට් කොයින් කියලා සල්ලි ජාතියක් ඕනෑ. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනෑ. ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවලා බිට් කොයින් අරගෙන, මේ තොරතුරු සපයන්නන්ට ඒවායින් ගෙවන්න ඕනෑ."

"ඔයාට ක්‍රෙඩිට් කාඩ් කියන දේ තියෙනවාද? " ඇය ඇසුවා. ඇයගේ දෑස් තියුණුවූවා. පෘථිවියට වඩා අඩු එලියකින් හිරු දැල්වෙන, කෙටි දිවාකාලයක් හා ඉතා දිගු රාත්‍රීකාළයක් ඇති ලෝකයක ජීවිතයට පරිණාමයවී සිටි ඇයගේ කනීණිකාව ඇඳුරේ ඇවිදින බැළළියකගේ මෙන් ඉතා විශාලව පිහිටා තිබුණා.  මෘදු එහෙත් ගැඹුරු කටහඬක් තිබූ ඇයට කෝපවූ විට කන් අඩි පැලෙන්නට කැගැසීමේ හැකියාවද තිබුණා. සටන්කාමී පෙනුමක් තිබූ ඇගේ ලා-රෝස පැහැයට බර කුඩුහම කෝපවූ විට රත්පැහැ ගැන්වුනු නිසා ඇයට රෞද්‍ර පෙණුමක් ලැබුණා.  දින කිහිපයක් ඇයගේ කෝපයේ ඉලක්කය වී සිටි නිසා ඔහුට දැන් ඒවා පුරුදුවෙලා.

“තියෙනවා ඒත් එකෙ සල්ලි නෑ...."

"මේක විකුණගන්න......" ඇය, සිය සොයුරා දෙස බලමින් විශාල සුදු මැණික් ගලක් තේජන අත තැබුවා.

"මේක දියමන්තියක් නේද?"

"ඔව්.."

"අපෝ එපා එපා......"

"ඇයි??" ඔවුන් දෙදෙනාම එකවර ඇසුවා.

"මං වගේ පොඩි කොල්ලෙක්, මෙච්චර වටින දියමන්තියක් විකුණන්න ගියොත් අනිවාර්යයෙන් පොලීසියෙන් අල්ලන් යනවා........"

ඇය ඔහු දෙස බැලුවා.

“පොලිස් කියන්නේ ඔවුන්ගේ මහජන ආරක්ෂක සේවාවට.” ඔහු ඇයට පැහැදිලි කලා.

"පොඩි රත්තරන් කෑලි නැද්ද?....පොඩි පොඩි කෑලි.........ඒවා සැකයක් ඇති කරන්නේ නැතුව උගස් බඩු ගන්න තැන්වල තියලා මට සල්ලි ටිකක් හදාගන්න පුලුවන්........"

"පුලුවන්......හොයලා දෙන්නම්......කොච්චර ඕනැද?"

"ග්‍රෑම් 200ක් විතර විතර තිබ්බොත් ඇති...." තේජන අනුමානයට කිව්වා. ටික කාලයකට ඉස්සෙල්ලා උමායාට අතේ බඳින්න බ්‍රේස්ලට් එකක් තෑග්ගක් විධියට හදන්න රත්තරන්වල ගණන් සෙවූ නිසා, යම් අදහසක් ඔහු තුල තිබුණා. ඒත් බ්‍රේස්ලට් වැඩේ කරගන්න හම්බුවුනේ නෑ. උමායාගේ උපන්දිනයට කලින් සල්ලි හොයාගන්න බැරිවුනා.

"ග්‍රෑම් 200ක් කියන්නේ රත්තරන් කොච්චරක් විතරද?" ඔහු විමසුවා.

“ඔයා අපිව පාවලා දුන්නොත්, නැතිනම් හැංගෙන්න හැදුවොත්, මම ඔයාව හොයාගෙන එනවා...." 

ඇය සිහින් දිගු කිනිස්සක් වැනි යමක් ඔහුගේ ගෙලෙහි තබමින් තර්ජනය කලා. වීදුරු වැනි විනිවිද පෙනෙන ස්ඵටික වර්ගයකින් තනා තිබූ එහි තලය කොතරම් තියුණුද, කොතරම් ශක්තිමත්ද යන්න මෙක් ප්‍රහාරයේදී ඔහු අත්දුටුවා. එමෙන්ම ඇයගේ බිහිසුණු සටන් හැකියාවද සියැසින්ම දුටු නිසා ඇය කරන්නේ විහිලුවක් නොවන බව ඔහු දන්නවා. ඇයටත් වඩා බිහිසුණු ලෙස සටන්කල ඇගේ සොයුරා හොඳින් වැඩුනු මිනිසුන් දෙතුන් දෙනෙකුගේ ජවයෙන් පහදුන් දුන් ආකාරය මෙක් නම් අර්ධ-ජීව යන්ත්‍ර එල්ලකල ප්‍රහාරයේදී පණබයේ ගැහෙමින් සිටි තේජන දුටුවා. අයියා නගෝ එකතුවී මෙක් යන්ත්‍ර සතරක් එල්ල කල ප්‍රහාරය අවසන් කලේ ඒවා සහමුලින්ම විනාශ කරමින්. 

තේජනට වැටහුනු ආකාරයට මෙක් ලෙසින් හඳුන්වන්නේ වාමනයින් හා යන්ත්‍ර බද්ධකොට කෘත්‍රිමව නිර්මාණය කරන ලද දෙපයින් ඇවිදින සටන් යන්ත්‍ර වලට. ඒවා එවන්නේ කවුදැයි ඇසූ විට; 

"ඊලඟට හම්බුවෙන මෙකා ගෙන් අහන්න..." 

යනුවෙන් නොරුස්නා ලෙස පිලිතුරු දුන් ඇය යම් කුඩක් ඒවා මත ඉස ගිණි තැබුවා. සහමුලින්ම විනාශ නොකලහොත් එම අබලන් යන්ත්‍රවල මතකයන් වල ඇති තොරතුරු උකහා ගන්නට ඊලඟට එන මෙක් යන්ත්‍රවලට හැකි බව ඔහුට ඇහුනා. කොහොම වුනත් පසු දිනක මෙක් යන්ත්‍ර ගැන තමන් දන්නා සියලු විස්තර තේජනට පවසා සිටින්නට ඇය ක්‍රියාකලා. 

“පරිස්සම් වෙන්න. මෙක් යන්ත්‍රයකට අහුවුනොත් ඔයා වගේ සටන් පුහුණුව නොලැබූ කෙනෙක්ට මරණය නියතයි....” සිෆ් අණතුරු ඇඟවූවා.

මොහොතකට සිතුවිල්ලේ ගිළුනු තේජනට තම පරිගණකයට මදක් ඈතින් ඇති පරිගණකය වෙත යමෙක් පැමිණි බව දැනුනා. 

ගණනකට නොගත් ඔහු යලිත් ටෝර් බ්‍රව්සරය ගැන කියවද්දී ඉතා හුරුපුරුදු විලවුන් සුවඳක් දැනෙන්නට වුනා. හිස හරවා බැලූ ඔහුට ඊලඟ පරිගණකය ක්‍රියත්මක කරවන උමායා දකින්නට ලැබුණා. ඔහු බලන බව දැනුනාක් මෙන් ඇය ඔහු දෙස බැලුවා. එතකොටම ඇය අසලට පැමිණි ලකිත් ඇයගේ කැරකෙන අසුන සෙල්ලමට මෙන් සෙලවූවා. වහා නැගීසිටි තේජන ගිණි විහිදෙන දෑස් වලින් ඔහු දෙස මොහොතක් බැලුවා. 

ලකිත්ගේ හොම්බට දෙකක් අනින්නට සිතුනද ඒ සිතුවිල්ල මැඩපවත්වා ගත් තේජන කෝපයෙන් යන්නට හැරෙද්දී; "විකාරද ලකිත්?...ආවනම් ඔයාගෙ වැඩක් කරගන්න පස්සෙන් ඇවිත් වද නොදී..." උමායා කියනු ඇසුනා.

"බොරු බයිලා......තව ටිකකින් ජීප් කට්ටෙ නැගලා යයි අපූරුවට...." තේජනට හයියෙන්  කියවුනා. ඒ අසල සිටි කිහිප දෙනෙකු ඔහුගේ කතාව ඇසී සිනාසෙනු ඔහු දුටුවා. පුස්ථකාල සේවිකාවක් දබර ඇඟිල්ල දෙතොල් මත තබාගෙන තර්ජනාත්මකව බලද්දී තේජන ඉක්මණින් පිටවුනා.

~ / ~


තේජන ඔරලෝසුව දෙස බැලුවා. පාන්දර 2.35 එහි සටහන් වී තිබුණා. 

කැම්පස් එකෙන් පිටවී මරදානට පැමිණි ඔහු අවට තිබූ සියලුම උකස් බඩු කඩවලට ගොස් ඔහු සතුව තිබූ රන් කැබැලි ටික ටික උකස් තබා රුපියල් ලක්ෂ 5ක් පමණ සොයා ගත්තා. ඒ මුදල් මරදානේ කොමර්ෂල් බැංකු ශාඛාවේ සිය ගිණුමේ තැම්පත් කල තේජන පිටකොටුවට ගොස් එහි සියලුම හරස් වීදිවල ඇවිදිමින් රන් කැබලි උකස් කලා. පසුදින ඉන්ටර්සිටි බසයක නැගී මාතර ගිය ඔහු එහි උකස් කඩ දහයකට පමණ තවත් රන් කැබලි උකස් කොට තවත් ලක්ෂ 6ක් පමණ සොයා ගත්තා. කොමර්ෂල් බැංකුවේ ලක්ෂ 5කුත්, සම්පත් බැංකුවේ ලක්ෂ 5කුත් ඉතිරිය ලංකා බැංකුවේත් තැම්පත් කලා. බැංකුවලින් නිකුත් කල ඩෙබිට් කාඩ් පත් හරහා ගෙවීමෙන් මේ රුපියල් ලක්ෂ දහසයට, ඩොලර් 10,000ක මිළදී ගැනීම් සිදුකල හැකි බව ගූගල් විනිමය අනුපාත කැල්කියුලේටරය පෙන්වා දුන්නා. කොහොම වුනත්, ගූගල් "ඩොලර් ටු බිට්කොයින්" අනුපාත කැල්කියුලේටරයට අනුව මේ ඩොලර් දසදහසම වියදම් කලත් ඔහුට මිළදීගත හැකි වෙන්නේ බිට්කොයින් 1.64ක් පමණක් බව දුටු තේජනට හීල්ලුනා. 

"දෙයියනේ බිට් කොයින් එකක් ඩොලර් හයදාහක් වෙනවද?"

ඔහුගේ අලුත් දුරකථනයට පණිවිඩයක් ලැබී වයිබ්‍රෙට් වෙන බව දුටු තේජන එය ක්‍රියාත්මක කලා. පණිවුඩය එවා ඇත්තේ වාමන ලෝකයේ ඔහු දමා ආ දුරකථනයෙන් බව දැක විශ්මයට පත්වූනු තේජන එය කියෙව්වා.

“Thejana, this message is from Andheraa….Thousand Meks and many Thidiya attack-shuttles stormed Ravin. Base destroyed. Lot of Andhera and Vamana fighters died. Daar wounded. Cannot use stargate near Ravin. You have to come through Kurat stargate. We withdrew to a camp near Kurat. Hope you remember the directions to Kurat. Please hurry, The great war is coming soon…  Siff…”

[තේජන, මේ පණිවුඩය අන්ධෙරාවෙන්…..මෙක් යන්ත්‍ර දහසක් හා තිදියන්ගේ ප්‍රහාරක-ෂටල් යානා රැවින්  වලට පහර දුන්නා. රැවින් කඳවුර විනාශයි. බොහෝ දෙනෙක් මියගියා. ඩාර් තුවාලවුනා. රැවින් අසල තාරකා දොරටුව පාවිච්චි කරන්න එපා. කුරැට් තාරකා දොරටුවෙන් එන්න. ඒ ලඟ කඳවුරකට අපි පසු බැස්සා. කුරැට් තාරකා දොරටුවට යන පාර මතක ඇතැයි හිතනවා. මහා යුද්ධය ලඟම එනවා..ඉක්මණින් එන්න... සිෆ්...]

“දෙයියනේ!!......ඒත් කොහොමද මේ පණිවුඩය එව්වේ? කොහොමද නොම්බරේ දන්නේ?” 

ඔහු දැන් භාවිතා කරන්නේ මාස කිහිපයකට පෙර උමායා සමග විරසකයේදී ගලවා වීසිකල සිම් පතෙහි නොම්බරය බව ඔහුට මතක් වුනා. ඇයත් සමග විරසක්වීමෙන් පසු ලබාගත් අලුත් නොම්බරය ෆෝන් එකක් එක්කම අන්ධෙරාවේදී නැතිවීම නිසා, ඔහුගේ පරණ නොම්බරය ඇක්ටිව් කරගෙන අලුත් සිම් පතක් ගත්තා. ඒ නොම්බරය ඔහුගේ ගූගල් ගිණුම හරහා දුරකථනය ක්‍රියාත්මක කල තැනැත්තා ලබාගන්නට  ඇතැයි තේජනට සිතුනා. තුසිත අංකල්ට හා තාත්තාට යැවූ ඊමේල් පණිවුඩ වලත් අලුත් දුරකථන අංකය සටහන් කොට තිබුණ නිසා මේ පණිවුඩය එවන්නට දැන් පාවිච්චි කරන අංකය තහවුරු කරගන්න පුලුවන් වෙන්න ඇති.

ලංකාව තුල රහසේ ජීවත් වෙන අන්ධෙරාවන් අතලොස්සක් සිටින බවත්, ඔවුන් ඔත්තු ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහුට දැන ගන්නට ලැබී තිබුණා. සමහර විට, මතු ප්‍රයෝජනය තකා ඔහුගේ දුරකථනය මේ ඔත්තුකරුවෙක් අතට පත් කරන්නට ඩාර් සමත්වෙන්න ඇති. පණිවුඩය එවන්නට ඇත්තේ ඒ විධියට. නැතිනම් තාරකා දොරටු හරහා  ගමන් කරන ගුවන්විදුලි තරංග විකෘතිවන බව ඔවුන් වරක කියා සිටි බව තේජනට මතකයි.

නකල්ස් කඳුවැටියේ ඇති ගුහාවෙන් අන්ධෙරා නම් වාමන ලෝකයට ඇති තාරකා දොරටුව විවර වෙන්නේ ඔවුන් රැවින් නමින් හඳුන්වන පෙදෙසකට. කඩා වැටී තිබුණු මහා අභ්‍යවකාශ යානාව අසලදී ඔවුන්ගේ අත්ඩංගුවට පත් තේජන සියලු විස්තර දැන ගත්තේ රැවින් කඳවුරේදී. තේජන යම් ආකාරයක සතුරෙකු හෝ ඔත්තුකරුවෙකු විය යුතුයයි සිතූ රැවින් කඳවුරේ අණදෙන නිළධාරී ඩාර් හා ඔහුගේ රණකාමී සොයුරිය සිෆ් දින කිහිපයක් ඔහුව නිරාහාරව තබමින් ප්‍රශ්ණ කලා. පසුව ඔහු එවැන්නෙක් නොවන බව අවබෝධ වූ නිසා ඔවුන් ඔහුව ආපසු ඇරලවන්නට සූදානම් වුනා. එහෙත් ආපහු යනවාට වඩා, ඔහු රැවින් නිම්නයේ දුටු කඩා වැටුනු යානය ගැනත්, දැවැන්ත යුද්ධයක සළකුණුත් ගැන නිතර විමසන්නට වූ නිසා සිෆ් ඔහු සමග දොඩමලු වුනා. ඩාර් එතරම් කැමත්තක් නොපෙන්වූවත්, ඔහු වැනි තරුණ කොල්ලෙකුගෙන් උදව් ලබාගැනීමට සිෆ් කල යෝජනාව රැවින් කඳවුරේ අනෙක් අන්ධෙරාවන් පිලිගත්තේ ඔවුන්ගේ අනාගතය එතරම්ම අණතුරේ තිබූ නිසා වෙන්න ඇති.

වාමනයින් අන්ධෙරාවේ ස්වදේෂිකයින් වන අතර ඔවුන්ද ඈත අතීතයේදී, එනම් වසර ලක්ෂයකට පමණ පෙර ලංකාවට විවර වුනු තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණි ලාංකික පැරණි මානවයින්. සිෆ්, ඩාර් හා ඔවුන්ගේ පාත්‍රවර්ගයා අන්ධෙරාවට පැමිණ ඇත්තේ මීට වසර දස දහසකට පෙර පමණ පෙර ලංකාවෙන් හා උතුරු ඉන්දියාවේ හිමාල කඳු වැටියේ ඇති තවත් තාරකා දොරටු වලින්.  වසර දසදහසකට පෙර ඉතා දියුණු ජනාවාස තිබූ ලංකාව හා ඉන්දියානු කළාපයේ ඇතිවූ මහා යුද්ධයකින් ගැලවීම සඳහා ඔවුන්, ඔවුන්ගේ පුරාවෘත්තවල තිබූ තොරතුරු ඔස්සේ ලංකාවේ හා ඉන්දියාවේ තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණි බවයි ඇය පැවසූයේ. එහෙත් එම යුද්ධය ඔවුන් සොයාද පැමිණියා. අවසන් යුද්ධය වසර සියයකට පෙර අවසන්වූ බව පැවසූ සිෆ් ඊට පෙර තුන්වතාවක්ම මහා ආක්‍රමණවලට අන්ධෙරාව ගොදුරුවූ බව කියා සිටියා. 

කඩාවැටී තිබූ මහා යානාව ආක්‍රමණිකයින්ගේ ප්‍රධාන තාරකා නෞකාවලින් එකක් බව පැවසූ සිෆ් එය විනාශ කිරීමට අන්ධෙරාවන් හා වාමනයින් එක්ව සිදුකල වික්‍රමාන්විත ක්‍රියාන්විතයක් විස්තර කලා. ආක්‍රමණිකයින්ගේ කුඩා යානා කිහිපයක් සොරකරම් කරගත් කණ්ඩායමක් අහසේ සිට පහරදෙමින් සිටි තාරකා නෞකාවට ඇතුලුවී එය අබලන් කොට කඩාවැටෙන්නට සැලැස්වූ බව ඇය කියාසිටියා. ප්‍රධාන තාරකා නෞකාව අහිමිවූ නිසා ආක්‍රමණිකයින් ඔවුන්ගේ ඉතිරි නෞකා දෙකටද ඒ ඉරණම අත්වේ යයි බියෙන් යුද්ධය අතහැර පලා ගිය බවයි ඇය පැවසූයේ. ඇය කියූ අන්දමට ඒ ක්‍රියාන්විතයට නායකත්වය දී ඇත්තේ ඇයගේ හා ඩාර්ගේ සීයා ඇතුලු පිරිසක් හා ඔවුන්ගේ හිතවත් වාමන හා අන්ධෙරාවන් කණ්ඩායමක්. නෞකාව අත්පත් කරගැනීමේ සටනේදී බොහෝ දෙනා මිය ගිය අතර ඉතිරි අය නෞකාව ග්‍රහලෝකයේ වදින්නට සලස්වමින් මියගියා.

කොහොම වුනත් අන්ධෙරා ග්‍රහලෝකයේ බොහෝ තැන් ආක්‍රමණිකයින්ගේ ග්‍රහණයේ තිබුණා. තාරකා නෞකා පිටව යනවිට අන්ධෙරාවේ සිටි ඔවුන් විශාල බලකොටු තනාගෙන සිටි අතර ඒවාට පහරදීම ඉතා දුෂ්කර වුනා. ඔවුන්ගේ සුපිරි තාක්ෂණය භාවිතා කොට අල්ලාගත් වාමනයින් පණපිටින්ම යන්ත්‍ර හා බද්ධකොට ඇවිදින ප්‍රහාරක යන්ත්‍ර නිමවාගන්නට සමත්වුනා. පිරිස් බලයෙන් ඉතා සුලුවූ ආක්‍රමණිකයින් ප්‍රහාර සඳහා යොදාගත්තේ මෙක් ලෙස හඳුන්වන මේ ජීව-යාන්ත්‍රික සෙබලුන්. ඔවුන් නිරන්තරයෙන්ම මෙක් ප්‍රහාර එල්ල කල අතර ඒ සඳහා අන්ධෙරාවේ ඈත පෙදෙස්වල සිටින වාමන ජනාවාස පිටින් අල්ලාගෙන කඳවුරුවල කොටුකරගෙන සිටියා.

වසර ලක්ෂයකට පෙර පැමිණි වාමනයින් තරමටම මේ ලෝකයේ පරිසරයට අනුව පරිණාමය නොවූ නූතන හෝමෝ සැපියන් මානවයින් වූ අන්ධෙරාවන්ට මිනිස් ගති ලක්ෂණ හා හැඩ හුරුකම් තිබුණා. අඳුරු, ශීතල ලෝකයකට හැඩගැසී තිබෙන නිසා ඔවුන්ගේ සම ලාපැහැති වන අතර දෑස්වල කණීනිකා විශාලයි. ශීතල නිසා නාස් පුඩු කුඩා වී ඇති අතර පෘථිවියට වඩා ගුරුත්වබලය වැඩි නිසා ඔවුන්ගේ ඇටසැකිල්ල ඉතා ශක්තිමත්ව හා ඝණව පරිණාමය වී තිබුණා. අන්ධෙරාවන්ට පෘථිවි මානවයින් හා එක්ව දරුවන් බිහිකල හැකි බව, තේජන ඇසූ පැනයකට සිෆ් අහක බලාගෙන පිලිතුරු දුන්නා. කෙලින්ම දෑස් දෙස බලාගෙන කතාකරන, ඉක්මණින් කෝපවන, දැඩි ගතිපැවතුම් ඇති ශක්තිමත් පෞරුෂයක් තිබූ ඇය, ලැජ්ජාවට පත්වූවා යැයි තේජනට හැඟුනු එකම අවස්ථාව එයයි. 

~ / ~


ටෝර් බ්‍රව්සරය හරහා නාසා ආයතනයෙන් පන්නාගත් විවිධ තාක්ෂණික සැලසුම් හා නිර්මාණ, මෘදුකාංග හා වෙනත් දෑ විකුණනන්නන් පිලිබඳව සොයා බැලූ තේජන දින කිහිපයක් වෙහෙසී StarBoyBB8 නැමැත්තෙක් පිලිබඳව තොරතුරු හෙලිකරගත්තා. StarBoyBB8 සමග සාර්ථකව ගණුදෙනු කොට තමන්ට ඇවැසි දෑ ලබාගත් කිහිප දෙනෙකුගේ රෙකමදාරුවන් හමුවූ නිසා ඔහුගේ සහය ලබාගන්නට තීරණය කලා. මේ වනවිට තේජන දින කිහිපයක්ම නිවසෙන් පිටවී තිබුනේ නෑ. දේශණ ගණනාවක් අතහැරුනත්, අන්ධෙරාවන්ට අත්වෙන්නට යන බිහිසුණු ඉරණම වෙනස් කිරීමට කලහැකි සියලු කැප කිරීම් කරන්නට ඔහු තීරණය කොට තිබුණා. සමහර විට එය මරණයෙන් කෙලවර වන්නට පුලුවන්. එහෙත් අන්ධෙරාවේ වැසියන් වසර සිය ගණනක සිට දිනපතා විඳින දුක් ගැහැට, මුහුණ දෙන බිහිසුණු ප්‍රහාර ගැන සලකන විට තමන් මේ කරන කැපවීම සුලු දෙයක් බව ඔහුට වැටහී තිබුණා. 

අන්ධෙරාවට එන ආක්‍රමණිකයින් ඈත තාරකාවකට අයත් ග්‍රහ මණ්ඩලයක ජීවත්වෙන අතිශය දියුණු කාබණික ජීවී විශේෂයක් වන අතර මානවයින් හා අන්ධෙරාවන් මෙන්ම මානවරූපීන් පිරිසක්. එහෙත් ඔවුන්ගේ පරිණාමය හා දියුණුව පෘථිවියේ ජීව පරිණාමයට බොහෝ සෙයින් වෙනස් වුනා. අන්ධෙරාවන් මේ පිටසක්වලයින් හැඳින්වූයේ තිදියා යන නමින්. තිදී යනු අන්ධෙරාවේ ජීවත්වෙන, විටෙක ලක්ෂ ගණනින් බෝවී මහා විනාශයක් කරන පතංගයින් මෙන් පෙනෙන කෘමි වර්ගයක්. තිදියන්ගේ ශාරීරික ව්‍යුහය අධ්‍යයනය කොට ලියා තිබූ සටහන් රැසක් තිබූ අතර බොහෝ උගත් තැනැත්තෙකු ලෙස රැවින් කඳවුරේ ප්‍රසිද්ධියක් ඉසුලූ හාෂ් නම් වයස්ගත අන්ධෙරාවා ඒවායින් කිහිපයක් ඔහුට පෙන්වා සිටියා. 

විශාල ඇස් ඇති දෙපයින් ඇවිදින කෘමියෙකු ගේ හැඩරුව ඇති ඔවුන්ට මොළ දෙකක් තිබෙන බවත්, එකකින් ශරීරය පාලනය කරන අතර අනෙක චින්තන හැකියාව හා උසස් මානසික හැකියාවන් ලබාදෙන අවයවය බව හාෂ් විස්තර කලා. තිදියන්ගේ දෑත් හා දෙපාවල සන්ධි දෙක බැගින් තිබූ අතර ශාරීරිකව දුර්වල නිසා ඔවුන් යානාවලින් පිටතට පැමිණෙන විට ආරක්ෂිත යාන්ත්‍රික ඇඳුමක් ඇඟලා ගන්නවා. මේ යාන්ත්‍රික ඇඳුම මගින් ඔවුනට වේගයෙන් දිවීමේ හා පැනීමේ හැකියාව හා විවිධ සංවේදන හැකියාවන් ලබාදෙන බවත්, එයට සවිකොට ඇති විවිධ ආයුධ මගින් විනාශකාරී ප්‍රහාරයන් එල්ලකල හැකි බවත්  කියාදුන්නා.

තිදියන්ගේ ග්‍රහ මණ්ඩයට ආසන්න තවත් ග්‍රහමණ්ඩයක සිටින එවැනිම දියුණු පිටසක්වලයින් පිරිසක් සමග තිදියන් වසර දහස් ගණනක සිට බල අරගලයක නිරතවෙන බවත්, මීට වසර 10,000කට පෙර ඔවුන් අතර දරුණු යුද්ධයක් පෘථිවිය අයත් සෞරග්‍රහමණ්ඩළයේ සිදුවූ බවත් ඔවුන්ගේ දරුණු ආයුධ වලින් වූ විනාශය නිසා පෘථිවියට දරුණු ශීත කාලයක් උදාවූ බවත්, එයින් ගැලැවීමට එකල පෘථිවි මානවයින් ටික දෙනෙක් තාරකා දොරටු හරහා අන්ධෙරාවට පැමිණ ඔවුන්ගේ ගෝත්‍රය ආරම්භකල බවත් හාෂ් කියා සිටියා. එකල අන්ධෙරාවේ ස්වදේශිකයින් බවට පත්ව සිටි වාමනයින් හා විටින් විට ගැටුම් ඇතිවූවත් පසුව සාමයෙන් ජීවත්වීමට දෙපිරිස එකඟ වූ බවත් වසර අට දහසකට පමණ පෙර ඇතිකරගත් ඒ සාමය තවමත් දෙපිරිස අතර පවතින බවත් ඔහු කියා සිටියා.

"Agents of Andheraa" නමින් ෆේක් ෆේස්බුක් ප්‍රොෆයිලයක් තනාගත් තේජන, VPN ආරක්ෂණ පද්ධතියක් හරහා කැනඩාවේ සිට සම්බන්ධවෙන ආකාරයට StarBoyBB8ගේ ෆේස්බුක් පිටුවේ ඉන්බොක්ස් සටහනක් තැබුවා. පැය කිහිපයකට පසු StarBoyBB8ගෙන් මැසෙන්ජර් පණිවුඩයක් ලැබුනා


Fuck off කියා විසන්ධිවුනත්, පැය කිහිපයකට පසුව බීබී8ගෙන් යලිත් පණිවුඩයක් ලැබුණා. තේජනත් එය බලාපොරොත්තුවෙනුයි සිටියේ. ඔහු සොයන සකයි සර්වේ ඡායාරූප එතරම් දුර්ලභ හෝ වාණිජ වටිනාකමක් නොමැති, පර්යේෂකයින් අතලොස්සකට පමණක් වැදගත් වන දෙයක් නිසා බිට් කොයින් එකක්, එනම් ඩොලර් 6000ක ලංසුව ඔහු පිලිගනු ඇතැයි තේජන අනුමාන කලා. සමහරවිට තව හොයලා බැලුවානම් මීටත් අඩු ගණනකට මේ ඡායාරූප සපයන්නෙක් සොයා ගන්න තිබුණා. ඒත් කාළය ඊට හරස් වුනා. 

“OK….. deal…..this is a 255 gigabyte archive. I will send you the link to the folder once you send me the payment. You have 48 hours to download it. 

[හරි, ගණුදෙනුවට කැමතියි. මේක ගිගාබයිට් 255ක ගොණුවක්. මට සල්ලි එවන්න. මම ෆෝල්ඩර් එකේ ලින්ක් එක එවන්නම්. පැය 48ක් ඇතුලත බාගන්න.]

No….can't do that….I will tell you how this can work. I will send you 10% of the payment and you give me the link for the first 10% of the archive. Once I am happy with it I will send you another 10% and send me the link for the next 10% of the archive. That way we both get what we want. 

[නෑ...එහෙම බෑ....මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා..... මම මුලු ගාණෙන් 10%ක් එවන්නම්. මට ගොණුවේ පලවෙනි 10%ට ලින්ක් එක එවන්න. ඊට පස්සේ තව 10%. මේ ක්‍රමයට අපි දෙන්නටම වැඩේ වෙනවා.]

You are a real prick…. But OK…. that should work. Send me 10% and I will send you the link to the first 25.5GB. 

[තමුසෙ නම් මහා ඇණයක් ඕයි...හරි හරි...මට 10% එවනවා. මම පලවෙනි ගිගාබයිට් 25.5ට ලින්ක් එක එවන්නම්]



බරාරා සමග රහස් හමුව

ගිගාබයිට 255ක ගොණුව සම්පූර්ණයෙන්ම බාගැනීමට තේජනට දින දෙකක් ගියා. එහි කාලානුක්‍රමණිකව වසර 10ක ස්කයි සර්වේ ව්‍යාපෘතියේ ඡායාරූප 10,625ක් තිබුනා. RAW Photo ආකෘතියෙන් තිබූ අධි-විබේධන (high resolution) ඡායාරූප ඇමරිකාවේ ජාතික සාගර පර්යේෂණ ආයතනයේ (NOAA) පර්යේෂණ නෞකාවල හා වෙනත් රටවලට අයත් පර්යේෂණ නෞකාවල සවිකොට තිබූ දුරේක්ෂවලින් ගන්නාලද ඡායාරූපයි. වසරකට කිහිපවතාවක් ඉන්දියානු සාගරයේ යාත්‍රාකරන මේ නෞකා ලබාගත් ඡායාරූප නාසා ආයතනයට යවනු ලැබුවා. බෙංගාල බොක්කේ සිට ඇන්ටාක්ටිකාව දක්වාත්, මැඩගස්කරයේ සිට අග්නිදිග ආසියාව දක්වාත් අහස් කුසේ ඡායාරූප මෙහි තිබෙන බව, එම ඡායාරූප සමග තිබූ විස්තර ඇතුලත් සූචි පත්‍රයේ තිබුණා.

ඔහුගේ ඊලඟ ඉලක්කය වුනේ මේ ඡායාරූප අන්ධෙරාවට ගෙනයාමයි. අන්ධෙරාවන් අතර බොහෝ උගතුත් හා තාක්ෂණවේදීන් සිටි අතර, තේජන ගෙනෙන ඡායාරූප රෙසීනා නම් තාරකා ශාස්ත්‍රඥවරිය වෙත ලබාදිය යුතු බවයි ඩාර් කියා සිටියේ.

ඔවුන් සතුව ආක්‍රමණිකයින්ගෙන් අල්ලාගත් පරිගණක වැනි යන්ත්‍ර තිබූ අතර ඒවා ඉතා සූක්ෂමව සිය භාවිතයට ගැනීමට ශූර අන්ධෙරාවන් සමත්වී තිබුණා. එහෙත් ඒ පරිගණකවලට මේ පෘථිවි පරිගණක ඡායාරූප ගොණු කියවීමට හැකිදැයි යන ගැටලුව නිසා ලැප්ටොප් යන්ත්‍රයද ගෙනයාමට තේජනට සැලසුම් කලා. රැවින් කඳවුරේ යම් ආකාරයක විදුලි බලය තිබුණත්, එය වෙනස් තාක්ෂණයක විදුලි ධාරාවක් සපයන බව තේජන තේරුම් ගත්තේ ඔහුගේ කැමරාවේ බැටරිය චාර්ජ් කිරීමට උත්සහ කිරීමේදී. ඩාර් හා සිෆ් ගේ ප්‍රශ්ණකිරීම් වලදී ඔහුගේ නිර්දෝශීභාවය ඔප්පු කිරීමට කැමරාව ක්‍රියාත්මක කරවාගෙන එහි ඡායාරූප පෙන්වීමට උත්සහ කලත් එය හරිගියේ නෑ. 

මේ නිසා ලැප්ටොප් එක සඳහා අමතර බැටරි 10ක් මිළදීගෙන ඒවා හොඳින් ආරෝපණය කරගෙන යාමට ඔහු සැළසුම් කලා. රත්තරන් උකස්කොට ලබාගත් ඉතුරු සල්ලි ටිකෙන් මේවා අරගත්තා. මේ බැටරි දහයෙන් දින තුන හතරක් අපහසුවකින් තොරව එය ක්‍රියාත්මක කල පුලුවන් වෙයි. ඒ අතර අන්ධෙරා තාක්ෂණවේදීන්ට අන්ධෙරා විදුලියෙන් එය ක්‍රියාත්මක කරගත හැකි විධියක්ද සොයාගන්නට හැකිවෙනු ඇතැයි. තේජන බලාපොරොත්තු වුනා. තේජන ඔහුගේ පැරණි ලැප්ටොප් යන්ත්‍රය හා චාජරයද අසුරා ගත්තේ ඔවුන්ට උපකාරයක් විධියට. එය යොදාගෙන අත්හදා බැලීම් කිරීමට අන්ධෙරාවන්ට හැකිවෙන නිසා මොකක් හෝ විසඳුමක් සොයාගන්නට ඔවුන්ට පුලුවන් වෙනවා.

සියල්ල සූදානම් කරගත්තත් ඔහුගේ සිතට වදදුන් ගැටලුවක් තිබුණා. ඒ කුරැට් තාරකා දොරටුව සොයා ගැනීමයි. ඔවුන් කියූ ආකාරයට එය තිබුණේ සීගිරියේ පිදුරංගල ගලේ යම් තැනක බව වැටහුනා. එහෙත් ඔවුන් ලබාදුන් තොරතුරු, මග සලකුණු සිතියම් හා ගූගල් ස්ට්‍රීට් විවි ඡායාරූප හා ගලපාගැනීම අපහසු වුනා. එමෙන්ම දිනකට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන තැනක් නිසාත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රැකවලුන් එහි මුරට සිටින නිසාත්, හරියටම තැන නොදැන ගල්ගුහා තුලට රිංගන්නට යාම සියලු සැළසුම් කනපිට හැරවිය හැකි කරදරක වැටීමේ මාර්ගයක් බව ඔහුට සිතුනා.

"මොකද කරන්නේ? කාගෙන්ද අහන්නේ? " 

ගූගල් සිතියම් මෙන්ම තකහනියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට අලෙවි සැලට ගොස් මිලදීගත් සීගිරියේ අඟලේ සිතියම්ද පරික්ෂාකලත් තේජනට පිදුරංගල ගලේ තිබෙන කුඩා ගල්ගුහා හා දෝනා විශාල ප්‍රමාණයකින් කොයි එක නිවැරදි තාරකා දොරටු පිවිසුමදැයි සිතාගන්නට නොහැකිවුනා. පාන්දර දෙක තුන වනතෙක් කල්පණාකරමින් සිටි තේජනට නොදැනීම පරිගණකය ඉදිරිපිට අසුන මතම නින්ද ගියා. ඇහැරුනේ උදේ පහමාරට පාරේ යන චූන් පාන් අංකල්ගේ නළා හඬට.


රැවින් ප්‍රහාරය ගැන පණිවුඩය එවූ ඔහුගේ පරණ දුරකථනයට ඇමතුම් ගණනාවක් ගත්තද එය ක්‍රියාවිරහිත කොට තිබුණා. හදිසියක් නිසා තමන්ව අමතන ලෙස පණිවුඩ පිට පණිවුඩ තැබූවද එයට ප්‍රතිචාර ලැබුණෙත් නෑ.

"ශිහ් මගෙ ෆෝන් එක තියෙන අයව කන්ටැක්ට් කරගන්න පුලුවන් නම් හෝඩුවාවක් ගන්න තිබුණා....."

මුහුණකට සෝදාගෙන පැමිණි තේජනට ටිකක් එලියට බැහැලා ඇවිදින්න හිතුනා. දවස් තුනක් එක දිගට ගේ අස්සේම ඉඳලා ඔහුට එපා වෙලා. ඊට කලින් ජීමේල් එකවුන්ට් එකට ලොග්වුනේ අලුත් මේල් තියෙනවාදැයි බලන්න. ඔහු අතුරුදහන් වීම නිසා අම්මාත් තාත්තාත් ආයෙත් කළබල වෙලා තිබුණා. අම්මාටත් වඩා වාතයක් වුනේ අම්මාගේ දෙවැනි සැමියාවූ තුසිත අංකල්. 

එයා නිතරම ඊමේල් එවන්නයි කෝල් කරන්නයි පටන් අරගෙන. "අම්මව ස්ට්‍රෙස් කරන්න එපා පුතා...එයා ඩයබෙටික්...ප්‍රෙෂරුත් තියෙනවා..." අංකල් කිව්වා. තේජනට ඔහු එක්කවත්, අම්මා එක්කවත් තරහක් තිබුණේ නෑ. ඔහු අම්මාට ඉතා හොඳින් සළකන බවත්, ඇයව සතුටින් තියන්නට වෙහෙසෙන බවත් තේජන දැන සිටියා. ආඩම්බර කුකුල් කේන්තිකාරයෙකු වූ, තරහ ගියවිට අම්මාට පවා අතපය වනන්නට පසුබට නොවූ තාත්තාට වඩා තුසිත අංකල් අම්මාට ඇත්තටම ගැලපෙන බව ඔහුට සිතුනා. 

තුසිත අංකල්ගෙන් ඊමේල් එකක් තියෙනවා නම් කෙටි උත්තරයක් තියලා එලියට බහින්නයි තේජනට හිතුනේ. නැතිනම් මිනිහා කෝල් කරනවා, සමහර වෙලාවට කෝල් කරන්නෙත් නෑ, ගේ ඉස්සරහට ඇවිල්ලා එලියට එනකන් හෝන් කරනවා. තාත්තා කියන විධිය මම දැන් කාටවත් විස්වාසකරන්න බැරි, හිතාගන්න බැරිතරමේ ලෙඩදාගන්නා තක්කඩියෙක් බවට පත්වෙලා. කතාව ඇත්ත ඉතින්. අවුරුදු 16දී ගන්ජා බීලා පොලීසියට අහුවුනා. කැබරේ නටලා කෙල්ලවත් නැති කරගෙන මුලු කැම්පස් එකේම ජෝකර් වුනා, සතියක් නැතිවෙලා හිටියා, දැන් කාට හරි කිව්වොත් "මගේ මේ වෑයම අන්ධෙරා කියන ග්‍රහලෝකය පිටසක්වල ආක්‍රමණයකින් ආරක්ෂාකර ගැනීමට උදව්වීම..." කියලා කෙලින්ම අංගොඩ වාට්ටු කරයි.

තමන්ටම සිනාසෙමින් ගූගල් ඊමේල් කියවූ තෙජනගේ අවධානය, ලැබී තිබූ එක් පණිවුඩයකට යොමුවුනා. එය ගූගල් සේවාව මගින් ස්වයංක්‍රීයව එවන ලද අවදානම් පණිවුඩයක්.

Security alert > New device signed in to thejana.jeewantha@gmail.com

Your Google Account was just signed in to from a new Android device. You're getting this email to make sure it was you.

ෆෝන් එක නැතිවුනාට පස්සේ පාවිච්චියට ගත්ත පැත්තකට දාලා තිබුණු පරණ ෆෝන් එක ගූගල් ඩිවයිසස් ලයිස්තුවට එකතුකරලා තිබුණේ නෑ. එතකොටම ඔහුට අන්ධෙරාවෙදි නැතිවෙලා ලංකාවෙදි ආයෙත් මතුවුන ඔහුගේ Vivo7 ෆෝන් එක ගූගල් "Find My Device" සේවාව යටතේ ලියාපදිංචිකල බව මතක්වුනා. ඉක්මණින් ගූගල් මයි ඩිවයිසස් සේවාවට ලොග් වුනු තේජන, ෆයින්ඩ් මයි ඩිවයිස් පහසුකම ක්‍රියාත්මක කොට, ඔහුගේ දුරකථනය අවසන්වරට ක්‍රියාත්මකවූ ස්ථානයේ තොරතුරු ලබාගත්තා.

හල්දුම්මුල්ලේ තේ වතුවලින් ගහන ග්ලෙනනෝර් ප්‍රදේශයේ එය ක්‍රියාත්මකවූ බවයි ගූගල් සිතියමේ දක්වා තිබුණේ. වෙන කරන්නට දෙයක් නොමැති නිසා හැකිතාක් ඉක්මණට ග්ලෙනනෝර් බලා පිටත්වෙන්න තේජනට සිදුවුනා. ඔහු නැවතී සිටි නුගේගොඩ ඇනෙක්සියේ සිට කිලෝමීටර් 170ක දුරක් යන්නට තිබෙන නිසා ඉක්මණින්ම පිටත් වුනා. 

ඉරිදා දවසක් නිසා ට්‍රැෆික් වැඩිය නොතිබුණත් ට්‍රැෆික් රාළහාමිලාගෙන් නම් අඩුවක් වුනේ නෑ. දෙතුන් පොලක නවත්වා මෝඩ ප්‍රශ්ණවලට උත්තර දෙන්න වුනා. "තනියම යන්නේ ඇයි? කැම්පස් ලමයින්ට වාහන කොහෙන්ද? මේ වාහනේ අයිතිකාරයා කවුද?..." යනාදි ප්‍රශ්ණවලට ඉවසීමෙන් පිලිතුරු දුන් තේජන සවස පහට පමණ ග්ලෙනනෝර් වලට ලඟාවුනා. ග්ලෙනනෝර් වතුයාය හරහා දිවෙන මාවත් වල කිහිප විටක් එහා මෙහා ගමන් කරමින් ගෙලෙනනෝර් තේ ෆැක්ටරිය වෙතත්, ආපසුත් ගමන් කල තේජනට හෝඩුවාවක් සොයාගන්න අමාරු වුනා. අන්තිමට වතු කංකාණි කෙනෙක් බව පෙනෙන දෙමළ සීයා කෙනෙකු ලඟ නැවැත්වූ තේජන;

"අංකල්...මේ පැත්තේ ඉන්නවද ඉංග්‍රීසි හොඳට කතාකරන්න පුලුවන් නෝන නෝනා කෙනෙක් හරි මහත්තයෙක් හරි....?"

“නම මොකද ශර්?”

"නම හරියට දන්නේ නෑ අංකල්....හැබැයි හොඳට ඉංග්‍රීසි පුලුවන්.... මට කොළඹදි හම්බුවුනේ...."

"ෆැක්ටරියේ ඔෆිසර් නෝනට, මාත්තුරුන්ට තමයි ඉන්ග්ලිශ් පුලුවන්...."

"මේ ලඟ ඔෆිසර් කෙනෙක්ගේ ගෙයක් නැද්ද?" 

මදක් කල්පණාකල ඔහු;

"ආ...රිසර්ච් එකේ තේජා මැඩම්ගේ ගේ ලන්ග තියෙන්නේ.......මැඩම් කියයි...." 

"මැඩම් ගෙදර ඇතිද මේ වෙලාවට...?"

"අද ඉරිදනෙ ශර්, ගෙදර ඇති....ඔහොම ඉස්සරාට යන්ඩ.... එතකොට පොඩ්ඩි ගණපති කෝවිලක් තියෙනවා.... ඉට පස්සෙ අම්බුවෙන බෝක්කුව ලඟින් යටට තියෙන පාර.... වානේ ගන්ඩ බැරිවෙයි....නවතලා පයින් යන්ඩ..."

"තැන්ක්යූ අංකල්"

"අරි ශර්..."

මහලු මනුස්සයාගේ මගපෙන්වීමෙන්, තේජා නම් ඒ කාන්තාවගේ නිවස හොයාගන්න විට සවස හය පමණ වුනා. කාමර කිහිපයක නිවසක්වූ එහි ගෙවත්ත විශාලවූ අතර ඉතා අලංකාර මල් හා එළවළු වගාවෙන් යුක්ත වුනා. පොලිතීන් යොදා ඉතා පිලිවලට හදා තිබූ විශාල ග්‍රීන් හවුස් එකකුත් වත්තේ තිබුණා. නිවස ලඟදී අලුත් වැඩියා කොට තිබූ බවක් පෙනුනා. පිටුපසින් විශාල කැළයකින් වැසුනු කන්දක් දකින්නට තිබුණා. ඒ අවට වෙනත් කිසිම නිවසක් දකින්නට ලැබුණේ නෑ. 

"අනවශ්‍ය අවධානය යොමු නොවෙන බොහොම ආරක්ෂිත තැනක්...." තේජනට සිතුනා. ගේට්ටුවට සවිකොට තිබූ විදුලි සීනුව නාදකල ඔහු නොයිවසිල්ලෙන් බලා සිටියා. විනාඩි පහකට පමණ පසුව ජනෙල් තිරය මෑත් කොට යමෙක් බලන ආකාරය පෙනුනා. තවත් විනාඩි කිහිපයකින් මැදිවියේ කාන්තාවක් දොර ඇරියා.

"ඇයි? කාවද හොයන්නේ?"

"ඔය මිසිස් තේජාද?"

"ඔව්..... ඇයි හොයන්නේ?"

"මැඩම්ට කතාකරන්න පුලුවන්ද? වැදගත් දෙයක් කියන්න තියෙනවා"

"ඔයා මොනවද විකුණන්නේ?.....අපිට නම් මුකුත් එපා..."

"මැඩම් මම රෙප් කෙනෙක් නෙමෙයි…..කොළඹ ස්ලිට් කැම්පස් එකේ ළමයෙක්"

මොහොතක් කල්පණාකල ඇය .. "ටිකක් ඉන්න..." කියා දොර වසාගත්තා.

විනාඩි කිහිපයකින් සීතලට අඳින ඝණ හවුස් කෝට් එකක් ඇඟලාගත් ඇය ගේට්ටුව ලඟට ආවා.

"මොන කැම්පස් එකෙන්ද කිව්වෙ?"

"කොළඹ ස්ලිට් එකෙන්...."

"ඔව්....මොනවද මගෙන් කෙරෙන්න ඔනෑ...?"

"මැඩම් මගෙ නම තේජන......මගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා අන්ධෙරාවෙන්.... මේ තියෙන්නේ ඒ මැසේජ් එක..." තේජන ෆෝන් එක පෙන්වද්දී ඇයගේ දෑස් විශාලවී කළබල ස්වභාවයක් පෙන්වූවා.

"මැඩම් කළබල වෙන්න එපා.......මම විතරයි ආවේ....කරදරයක් කරන්න නෙමෙයි... ලොකු උදව්වක් ඉල්ලගන්න..."

"කො…..කොහොමද මෙහෙ හොයාගත්තේ?? කවුද කිව්වෙ මෙහෙ එන්න කියලා?" ඇය වටපිට බැලුවා.

"කවුරුවත් කියලා නෙමෙයි....මම හොයාගත්තා....අන්ධෙරාවෙදි නැතිවුන මගේ ෆෝන් එකෙන් මේ මැසේජ් එක ආවේ.....ඒ ෆෝන් එක නැතිවුනොත් හොයාගන්න ඕනෙ නිසා මම කලින් Google Find My Device සර්විස් එක ඇක්ටිව් කරලා තිබුණේ. ෆෝන් එක අන්තිමට ඇක්ටිව් වුනු තැන ගූගල් මැප්ස් වලින් බලා ගත්තා… මම අද උදේ කොළඹ ඉඳන්  ආවේ...ඒත් කරදයක් නම් මම යන්නම්....."

ඔහුගේ දුරකථනය අතට ගත් ඇය පණිවුඩය කියවා මොහොතක් ඔහුගේ මුහුණ දෙස බලාගෙන සිතන්නට වුනා.
"යන්න එපා....ඔහොම ඉන්න....තනියම නේද ආවේ?"

“ඔව් මැඩම්...තනියම...වාහනේ උඩ පාර අයිනේ..."

ඇය ඔහුගේ දුරකථනයද රැගෙන නිවස තුලට ගියා.

~ / ~


“හිස පවා ආවරණය වන ලෙස සැකසුණු ශීතලට අඳින ලෝගුවක් ඇඳ සිටි ඔහු  කාමරයේ ඇති විශාල වීදුරු ජනේලයෙන් එපිට බලාගෙන සිටියා. ඈතින් පෙනෙන තේ යායයට මීදුම ගලාගෙන ආවා. විශාල කාමරයක් වූ එය ඔහුගේ කන්තෝරු කාමරය බව පෙනුනා. ලොකු ලී මේසයක් විශාල පොත් රාක්ක කිහිපයක් හා පරිගණක යන්ත්‍රයක්ද එහි තිබුණා.

"බරාරා....මේ අර ළමයා..." තේජා මහත්මිය කතාකලා. හැරුනු ඔහු, හිස් වැස්ම ඉවත්කොට තේජන ළඟට ආවා. අන්ධෙරාවෙකු වූ ඔහුගෙන් වයස 50ක පමණ පෙනුමක් දිස්වුනා. ඔහුගේ සැබෑ වයස පෘථිවි අවුරුදු 70-80ක් පමණ විය යුතුයි. තේජනගේ හිසේ සිට පාදාන්තය දක්වා බැලූ ඔහු අන්ධෙරාවන්ට ආවේණිකවූ රළු හඬකින්  "ඉඳගන්න පුතා...." කියා  කාමරයේ පැත්තක තිබූ සුවපහසු සෝෆා පුටු කට්ටලයක් පෙන්වා එහි ගොස් අසුන් ගත්තා.

"එන්න තේජා...." ඔහු ඇයව ලඟින් වාඩිකරවා ගත්තා.

“මේ මගේ බිරිඳ….” ඔහු ඇයගේ සුරත අල්ලා ගනිද්දී ඇය උණුසුම් සිනාවක් පා ඔහු දෙස බැලුවා. 

"මානව කාන්තාවක් හා අන්ධෙරා පුරුෂයෙකු අතර සැබෑ ආදරය...." ඇයගේ උණුසුම් බැල්ම දුටු තේජනට සිතුනා

"අපි දැන් අවුරුදු 20ක් එකට ජීවත් වෙනවා.....අපිට දරුවෝ නෑ.......හදන්න බැරි නිසා නෙමෙයි..... දරුවා මං වගේ වුනොත් එයාට මේ ලෝකේ ජීවත් වෙන්න අමාරු වෙනවා....අන්ධෙරාවෙ නම් ගැටලුවක් නෑ.....ඒත් එහෙ යවනවා කියන්නේ මරණ වරෙත්තුව ලියනවා වගේ වැඩක්නේ...." ඔහු කියාගෙන ගියා.

"පුතා අන්ධෙරාවට ගිහින් ආපු කෙනෙක් නේ.......ඉතින් අපේ ලෝකය ගැන විස්තර ටිකක් හරි දන්නවා ඇති නේද?"

"ඔව්....මට සිෆ් ගොඩක් විස්තර කියලා දුන්නා...."

"සිෆ්....රණශූර කෙල්ලක්….....මම මෙහෙ එනකොට එයාලා අත දරුවෝ…....ඩාර් එයාගේ නියුන් සොයුරා....ඩාර්ට තුවාල වෙලා කියලා සිෆ් එවපු පණිවුඩයේ තිබුණා......."

"මගේ ෆෝන් එක එවුවේ සිෆ් ද?"

"ඔව්, සිෆ් නකල්ස්වල ඉන්න වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ බීට්ටු නිළධාරියෙක්ට ලැබෙන්න සලස්වලා...ඒ මනුස්සයා වාමනයින්ට හිතවත්…....අවුරුදු ගාණක් රහස් රැකපු මිනිහෙක්....එහෙමයි අපිට ලැබුණේ. සිෆ් පුතාට එවන්න ඕනෑ පණිවුඩයත් ලියලා එවලා තිබුනා..."

"මම උණු තේ ටිකක් හදාගෙන එන්නම්..මේ ළමයට සීතල ඇති..ඔයත් බොනවා නේද? " තේජා මහත්මිය සිය සැමියා දෙස බලමින් ඇසුවා.

"ඔව්...ගේන්න....ඉඟුරු දාලා, මීපැණි ටිකක් දාලා ගේන්න මට....මේ ළමයට කන්න මොනවා හරිත් ගේන්න.....හොඳටම මහන්සි පාටයි...."

"පුතා මස්-මාළු කනවා නේද?"

"ඔව් මැඩම්..."

“මට මැඩම් කියන්න එපා.....තේජා ඇන්ටි කියන්නකො....ඒක ලේසියිනෙ..." ඇය සිනාසී යන්නට ගියා.

~ / ~


"ඔබතුමා කුරැට් තාරකා දොරටුව තියෙන තැන හරියටම දන්නවාද?"

"තේජාට ඇන්ටි කියන නිසා මට අංකල් කියන්න.... එහෙම ලේසියි නේද?"

"ඔ...ඔව් අංකල්..." තේජන පිලිතුරු දෙද්දී ඔහු සිනාසුනා.

"ඔව් මම දන්නවා..... ඒක බොහොම පොඩි විවරයක්. හොයාගන්න අමාරුයි....ඒත් මම හරියටම කියන්නම්.....මගේ එක රාජකාරියක් වෙන්නේ ලංකාවේ තියෙන අන්ධෙරාවට යන තාරකා දොරටු ආරක්ෂිතව තියෙනවාද හොයලා බලන එක....මම දැන් අවුරුද්දකට කලින් එතනට ගිහින් බැලුවා.. විවරය විවෘතයි...හැබැයි ඇතුලේ වවුල්ලු ඉන්නවා...."

“ලංකාවේ තාරකා දොරටු කීයක් විතර තියෙනවද?"

"මම දන්න විධියට හතරයි....එකක් නකස්ල්වල, අනෙක පිදුරංගල, තව එකක් කුඩුම්බිගල තියෙනවා....අන්තිම එක බුත්තල යුදගනාවේ...ඒක දැන් ගල් කඩා වැටිලා විවරය අවහිර වෙලා..."

"අංකල් මෙහෙ ආවේ තාරකා දොරටුවල ආරක්ෂාවටද?"

"නෑ පුතා, මම අන්ධෙරාවේ සිතියන් ගෝත්‍රිකයෙක්..ඔයාගේ යාලුවෝ; සිෆ්, ඩාර් දෙන්නත් සිතියන්... සිතියන්ලා දක්ෂ රණකාමීන්, හැබැයි හරියට කේන්ති යනවා..... “

"ඒකනම් මම හොඳටම දන්නවා........තව පොඩ්ඩෙන් සිෆ් මාව මරණවා..." තේජන සිනාසෙමින් කිව්වා.

“හැබැයි ඒවගේම තමයි විශ්වාසයක් ඇති කරගත්තම. පණවුනත් දෙනවා... ඒ සිතියන්ලාගේ හැටි…”

අන්ධෙරාවේ ඉන්නේ මානව ගෝත්‍ර ගෝත්‍ර දෙකයි එකක් සිතියන් රණකාමීන්, අනෙක් අයට කියන්නේ සෙල්ටිස් ගෝත්‍රය කියලා. එයාලා බොහොම බුද්ධිමත්. සූක්ෂම වැඩවලට,විද්‍යාවට, තාක්ෂණයට  සෙල්ටිස්ලා උපන් හපන්නු. ඔයාලා වාමනයන් කියන අය නූතන මානවයින් නෙමෙයි. අවුරුදු ලක්ෂයකට විතර ඉස්සෙල්ලා අන්ධෙරාවට ආ පැරණි මානවයින්. හැබැයි ඔවුන් බුද්ධිමත්. ඒවගේම සටන්කාමීයි.

මම මෙහෙ ආවේ නකල්ස්  තාරකා දොරටුවෙන් ලංකාවට රිංග ගත්ත තිදියෙක් හොයාගෙන. ඌ ඒ දොරටුව හොයාගත්තේ අහම්බෙන්. හැබයි ඌ දොරටුව ගැන දැනගෙන ආපහු ගියානම් මේ ලෝකෙට ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා මම ඌ පස්සෙන් ඇවිල්ලා කැලෙන් ආපහු දොරටුවට යන්න ඉස්සෙල්ල පහරදුන්නා....... උන්ගේ ආරක්ෂිත යාන්ත්‍රික ඇඳුම නිසා මරන්න හරිම අමාරුයි. ඒකට සම්බන්ධකරපු සංවේදක තියෙනවා, කැපෙන ආයුධ තියෙනවා. ප්‍රධාන ආයුධය ප්‍රභල කම්පණ තරංග විදිනයක්. ඒකෙන් මීටර් 200ක් විතර දුරට ප්‍රභල කම්පණ තරංග විදින්න පුලුවන්. ඒ කම්පණ තරංගයට අහුවුනොත් කන්බෙර පැලෙනවා, මොලේ සියුම් නහර පුපුරනවා, ඇස්වල නහර පුපුරලා අන්ධවෙනවා. මට හොඳටම තුවාල වුනා. ඒත් මම තිදියාව මරලා දැම්මා. මැරන්න ඉස්සෙල්ලා පණපිටින් ඉන්දැද්දිම උගේ ඔලුවට හයිකරලා තියෙන "කිව්" ඩිවයිස් එක ගලවලා ගත්තා. "කිව්" ඩිවයිස් එකක් හැම තිදියෙකුටම තියෙනවා. තිදියා මැරෙනකොට ඒ ඩිවයිස් එක අක්‍රිය වෙනවා. ආයෙ පණගන්වන්න බෑ.

මැරෙන්න ඉස්සෙල්ලා ගලවාගත්තම අක්‍රිය වෙන්නේ නෑ. ඒක හරිම ප්‍රයෝජනවත්. තිදියන්ගේ ආයුධ, යන්ත්‍ර සියල්ලම ක්‍රියත්මක වෙන්න "කිව්" ඩිවයිස් එකකින් සිග්නල් එකක් යන්න ඕනෑ. නැතිනම් වැඩ කරන්නේ නෑ. ඒ වගේම ඉහල නිළවල තිදියන්ගේ "කිව්" ඩිවයිස් වලට ඕනෑම යන්ත්‍රයක්, ආයුධයක්, යානාවක් පණගන්වන්න පුලුවන්. පහල නිළවල තිදියන්ගේ "කිව්" ඩිවයිස් වලට තියෙන්නේ සීමිත අවසරයක්. මම මරපු තිදියා, ඔවුන්ගේ හමුදා නිළතලවලට අනුව භට ඛන්ඩ අණපති කෙනෙක්. ඒ නිසා ඒ කිව් ඩිවයිස් එක අපට බොහොම වටිනවා. මේ වගේ අමාරුවෙන් ගලවගත්ත කිව් ඩිවයිසස් වලින් තමයි අපි උන්ගේ තාක්ශණය ප්‍රයෝජනයට ගන්නේ.

මට හොඳටම තුවාලවෙලා තිබුණේ.  පාර හොයාගන්නත් බැරුව කැලේ ඉබාගාතේ ඇවිද්දා..... ගහක් යට වැටිලා නිදා ගත්තා. පහුවදා උදේ මම බොන්න වතුර හොයාගෙන ගාටනකොට තරුණ ගෑණු ළමයෙක් හමුවුනා. එයා හොඳටම බයවෙලා කෑහගලා දුවන්න හැරෙනකොටම මම පණනැතුව ඇදගෙන වැටුනා. එයා ආපහු හැරිලා මං ලඟට ආවා.

“ඒ තමයි මට තේජා හමුවුන හැටි... එයා ඒකාලේ පේරාදෙණිය කැම්පස් එකේ උද්භිද විද්‍යා පස්චාත් උපාධිය කරන පර්යේෂිකාවක්. කැලේට ඇවිල්ලා තියෙන්නේ එයා ලියමින් හිටපු පර්යේෂණ පත්‍රිකාවකට ඕනෑ රිසර්ච් වැඩකට. මම පිට ලෝකෙක ජීවියෙක් නිසා එයා හොඳටම බයවුනා. ඒත් මගේ අසරණ කම දැකලා දුක හිතුනා වෙන්න ඇති. එයාට මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න පුලුවන් කමක් තිබුණේ නෑ. තේජා මාව අමාරුවෙන් ඇවිද්දවගෙන ගිහිලා එයාගේ පොඩි කාර් එකේ දාගෙන ගෙදර ගෙනාවා. මාස ගාණක් මට තනියම බෙහෙත් කලා. එයාගෙ කරුණාව නිසා තමයි මම ජීවත් වෙන්නේ.”

“මම කිව් ඩිවයිස් එකත් අරගෙන ආපහු යනකොට තේජා හොඳටම ඇඬුවා. ආයෙ එන්නේ නැද්ද ඇහුවා. මටත් යන්න කිසිම හිතක් නෑ. ඒත් කිව් ඩිවයිස් එක කොහොම හරි අපේ අයට දෙන්න ඕනෑ නිසා මම ගියා. ගියාට මට ඉන්න හිතුනේ නෑ, එයාව මතක් වෙනවා. අපේ ලෝකෙ ඉන්න කළබලකාර, සටන්කාමී කෙල්ලන්ට වඩා කරුණාවන්ත, නිවිච්ච චරිතයක් තිබුණු, නිහඬ ජීවිතයකට ආශාකල එයාට මම ආදරේ කලා. ඒ නිසා මම ටික දවසකින් එයාව හොයාගෙන ආයෙ ආවා. ඒ අවුරුදු 20කට කලින්. එතකොට එයාට 27ක් විතර.

"මට බාරදුන්නේ අහසේ තාරකා වල පිහිටීම තියෙන ඡායාරූප හොයාගෙන එන්න....පුලුවන් තරම් ඉක්මණට ඕනේ කියලා කිව්වා...... මොකටද කියලා අංකල් දන්නවද?.....ඒවා රෙසීනා කියන තාරකා ශාස්ත්‍රඥවරියට බොහොම ඉක්මණට ඕනෑ වෙලා තියෙනවලු. අංකල් දන්නවද ඇයි කියලා..."

"ඔයා ඒවා හොයාගත්තද?"

"ඔව් නාසා එකේ ස්කයි සර්වේ කියලා අහසේ ඡායාරූප ගන්න ව්‍යාපෘතියක් තියෙනවා. ...ඒ දත්ත ගබඩාවෙන් හොරෙන් පන්නපු ඡායාරූප 10,000ක් විතර හොයා ගත්තා.... අවුරුදු දහයක විතර ෆෝටෝ තියෙනවා....." 

"හ්ම්....ඔයා දක්ෂයෙක් එහෙනම්.....සිෆ් ඔයා ගැන විශ්වාසය තියපු එක හරි.....තාරකා ඡායාරූප ගන්නේ මම දන්න විධියට තිදියන්ගේ ආක්‍රමණය කොච්චර ලඟද කියලා දැන ගන්න..... කොහොමද කියලා කියන්න මට දැනුමක් නෑ........රෙසීනායි, එයාගේ තාරකා නිරීක්ෂණ කණ්ඩායමයි තමයි හරියටම දන්නේ......"

"ඒත් ලංකාව ඉහල අහසේ ඒවා මොකටද දන්නේ නෑ....?"

"අන්ධෙරාවයි....පෘථිවියයි අතර තියෙන තාරකා දොරටු තියෙන්නේ ලංකාවෙයි, ඉන්දියාවේ හිමාලයෙයි විතරයි. හිමාලයේ ඒවා දැන් වැහිලා ගිහින්.... ඒ නිසා විශ්වයේ තවත් තැනක ඉඳන් අන්ධෙරාවට තාරකා දොරටුවක් විවර වෙනවානම්, ඒක ලෝක දෙකේම අහසේ සටහන් වෙනවයි කියලයි කියන්නේ.....පෘථිවියේ වගේ සූක්ෂමව අහස නිරීක්ෂණය කරන උපකරණ අපේ ලෝකයේ නෑනෙ.... ඒ නිසා තමයි මෙහේ ඡායාරූප හොයන්නේ.....තිදියන්ගේ යානා එන්නේ අන්ධෙරාවට ඉහල අභ්‍යවකාශයේ නිර්මාණය වෙන විශාල තාරකා දොරටුවකින්....ඒක හැදෙනකොට දැන ගන්න පුලුවන් කියලයි කියන්නේ...."



අන්ධෙරාවේ අගනුවර : ෂාටිගීර්

බරාරා කියූ පරිදි දින එකහමාරකට පසු රාත්‍රී ජාමයේ වාමනයින් පිරිසකුත් සමග අන්ධෙරා සෙබලුන් පිරිසක් එහි පැමිණියා. ඔවුන්ගේ ආරක්ෂාව සහිතව තේජනව කුරැට් අතරමැදි කඳවුරට ගියා. එහිදී ඔහුට දැන ගන්නට ලැබුනේ රැවින් ප්‍රහාරයේ වාඩුව ගන්නට තිදියන්ගේ කුරැට් බළකොටුවට මහා ප්‍රහාරයක් එල්ලකිරීම සඳහා සිෆ් ඇතුලු දහසකට අධික කණ්ඩායමක් පිටත්ව ගිය බවයි. හරිහැටි සුවය නොලබා තිබුනත්, ඩාර් සිය සොයුරිය සමග ගොස් තිබුණා. සිෆ් දැක ගැනීමේ ආශාවෙන් සිටි තේජන්ගේ බලාපොරොත්තු බොඳවුනා. ඒ වෙනුවට ඇයට කුමක් හෝ අණතුරක් වේදැයි යන බියෙන් ඔහු පෙලෙන්නට වුනා.

පසුදින රාත්‍රියේම තේජනව අන්ධෙරාවන්ගේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන ෂාටිගීර් වෙත ගෙනගියේ තිදියන්ගෙන් අල්ලාගන්නා ලද කුඩා භට ප්‍රවාහන ෂටල් යානාවකින්. පිටසක්වල තාක්ෂණයකින් නිමැවුනු එම යානයේ ගමන්කිරීම තේජන ජීවිතයේ ලැබූ අපූර්වතම අත්දැකීමක්. යානය තුල තිබූ තිදියන්ට සැකසූ අසුන් කපා ඉවත් කොට ඒ වෙනුවට මානවයින්ට ගැලපෙන යකඩ අසුන් සවිකොට ආසන පටි සකසා තිබුණා. ඒ ආසන පටි පෘථිවියේ ගුවන්යානාවල ඇති සංකීර්ණ ආසනපටි නොව කැන්වස් වැනි ඝණ රෙදිපටි වලින් තැනූ සරල අසුන්පටි. ඇතුලේ ලා නිල්පාට ආලෝකයක් තිබූ අතර එහි ප්‍රභවය කුමක්දැයි සිතාගන්නට නොහැකිවුනා. තිදියන්ගේ දෑස් නිල් ඇහැයට වඩාත් සංවේදී නිසා ඔවුන්ගේ බොහෝ නිර්මාණ නිල්පාටට හුරු පාටක් ගත්තා. යානය ඇතුලතද ගැඹුරු නිල් පැහැයක් ගත් අතර කවුළු තිබුණේ නෑ.

මානව ගුවන්යානා මෙන් නියමු කුටියේ මීටර්, පරිගණක තිර හා උපකරණ පිරි පුවරු නොතිබූ අතර යානය පියාසර කරවීමේදී ඇවසි සියලුම තොරතුරු නියමුවන් පැළඳි හෙල්මටය තුලට ප්‍රක්ෂේපණය වන බවයි තේජනට දැන ගන්නට ලැබුණේ. තිදියන්ගේ කෘමි ඔලුගෙඩි වලට සරිලන සේ නිර්මාණය කොට තිබූ නියමු හෙල්මට් අන්ධෙරා තාක්ෂණවේදීන් විසින් ඉතා අපහසුවෙන් මානව හිස්වලට ගැලපෙන ලෙස අනුවර්තනය කරගෙන තිබුණා.

එම යානා පැදවීමට ඉගෙන ගත් අන්ධෙරාවන් දෙදෙනෙකු යානය පියාසර කල අතර තිදියන්ගේ ඔත්තු බලන රොබෝ ඩ්‍රෝන් යානා වලට හසු නොවීම සඳහා යානය එක්වරම ඉහල නැග්වූ අතර විනාඩි කිහිපයකින් එය අභ්‍යවකාශය තෙක්ම ඉහල නැග්ගා. කක්ෂගතවීමෙන් පසු තේජනගේ දෑත් ශුන්‍යගුරුත්වයේ පාවෙන්නට පටන් ගත්තා. අසුන් පටියට තදවී සිටි නිසා අසුනේම රැඳී සිටියත් එය ඉතාමත් ත්‍රාසජනක අත්දැකීමක් වුනා. බැඳදමා නොතිබූ කුඩා දෑ යානය තුල ඒ-මේ අත පාවෙන්න පටන් ගත්තා.

විනාඩි පහලොවක් පමණ කක්ශයේ ගමන් කල යානය එක්වරම පහත් කරනු ලැබූ අතර විනාඩි විසිපහකින් පමණ ගමන අවසන් වුනා. ඔහු සමග ගමන් කල එක් අන්ධෙරාවෙකු පැවසූ ආකාරයට ෂාටිගීර් සිට කුරැට් වෙත ඉටෙරු 150ක් පමණ දුරක් තිබුනා. බරාරා කියාදුන් පරිදි ඉටෙරු යනු අපගේ මැනුම් ක්‍රම වලින් කිලෝමීටර් 10ක පමණ දුරක්. එනම් කුරැට් සිට ෂාටිගීර් වෙත කිලෝමීටර් 1500ක පමණ දුරක් තිබෙනවා. තිදියන්ගේ යානයේ වේගය කොතරම්ද යන්න අනුමාන කරගන්නට කෙටි ගණන් බැලීමක් කල තේජනට, එය පැයට කිලෝමීටර් 6000ක පමණ වේගයෙන් ගමන්කල බව අවබෝධවීමෙන් විස්මයට පත්වුනා. 

"දෙයියනේ! පැයට කිලෝමීටර් 6000ක්!!!" ඔහුට කියවුනා. මෙවැනි සුපිරි තාක්ෂණයක් සතු තිදියන් අතින් සමූළඝාතනය නොවී සිටින්නට හැකිවීම අන්ධෙරාවන්ගේ හා වාමනයින්ගේ නොනැසී සිටීමේ අධිෂ්ඨානය හා සටන්කාමී බව කොතරම් දැයි තේජනට සිතුනා. 

ෂාටිගීර් සංකීර්ණය අන්ධෙරාවේ විශාල කඳුකර ප්‍රදේශයක මැදට වන්නට පිහිටා තිබුණා. කඳු හාරා ඇතුලේ විශාල ගුහා හා දෝනා සකස්කරමින් නිර්මාණය කර තිබූ මේ සංකීර්ණය  වසර දහස් ගණනක් තිස්සේම භාවිතා කරන බවත් නිරන්තරයෙන්ම විශාල වන බවත් ඔහු දැනගත්තා. දැනට ලක්ෂයකට අධික අන්ධෙරාවන් හා ලක්ෂ දෙකක් පමණ වාමනයින් මෙහි මෙහි භූගත දෝනාවල දිවි ගෙවනවා. සැබැවින්ම ෂාටිගීර් යනු අන්ධෙරාවේ අගනුවර ලෙස සැළකිය හැකි තැන.

ඡායාරූප ඇතුලත් ඔහුගේ පරිගණකය, අමතර පරිගණකය, බැටරි හා වෙනත් දෑ අන්ධෙරා තාක්ෂණවේදීන්ට ලබාදී අවශ්‍ය විස්තර සැපයීමෙන් පසු, යලිත් කැඳවීමක් ලබන තෙක් විවේක ගන්නා ලෙස ෂාටිගීර් මූලස්ථාන කඳවුරේ සිටි ජ්‍යේෂ්ඨ නිළයක් දරන අන්ධෙරාවෙකු වූ නීර්ගේ දැන්වූවා. අන්ධෙරාවන් අතර පෘථිවි පරිගණක තාක්ෂණය මෙන්ම තිදියන්ගේ පරිගණක තාක්ෂණය පිලිබඳවත් හොඳ දැනුමක් ඇති තාක්ෂණවේදීන් සිටින බව ලැප්ටොප් යන්ත්‍රය ක්‍රියාත්මක කරවන ආකාරය පෙන්වා දෙන්නට යද්දී තේජනට අවබෝධ වුනා. ඔවුන් වින්ඩෝස් 10 පද්ධතිය පිලිබඳව නොදැන සිටියත් පැරණි වින්ඩෝස් පද්ධති භාවිතය දැන සිටියා. සමහරවිට බරාරාගේ මාර්ගයෙන් හෝ වෙනත් අයගේ උපකාරයෙන් පරිගණක හා උපාංග ගෙන්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා ඇති.

අන්ධෙරා හමුදා නිලතල අනුපිලිවෙලේ ලුතිනන් ජෙනරල් නිළයට සමාන නිළයක් දැරූ නීර්ගේ කෙලින්ම අග්‍ර මණ්ඩළය හෙවත් අන්ධෙරාවේ සිවිල් හා හමුදා පරිපාළණයේ ඉහලම කවුන්සිලයට සෘජුවම රපෝර්තුකරන අන්ධෙරා තාක්ෂණ, විශ්ලෙෂණ හා ඔත්තුබැලීමේ අංශයේ ප්‍රධානියා බව තේජනට දැනගන්නට ලැබුනා. එමෙන්ම ඔහු, නෙෆරිසී රැජිනගේ ඉතාම විශ්වාසවන්ත උපදේශකයෙකු බවත් පැවසුනා.

අග්‍ර මණ්ඩලයේ ජෙනරාල් නිළයට සමාන ඉහලම හමුදා නිළයන් දරන්නන් සත් දෙනෙකුත්, ඉහලම සිවිල් නිළයන් දරන්නන් සත් දෙනෙකුත් සිටි අතර ඔවුන්ගේ නායකත්වය දැරුවේ නෙෆෙරීසී රැජින. මව් පාර්ශවයෙන් රජකමට පත්වෙන ප්‍රවේණි ක්‍රමයකට අන්ධෙරාවන්ගේ රජපෙලපත සකස්වී තිබුණා. අග්‍රමණ්ඩලයේ සාමාජිකයින් දාහතරදෙනා අතරින් සයදෙනෙකු වාමන ගෝත්‍ර නියෝජනය කරනවා. එමෙන්ම රැජිනගේ මෙන්ම රජ පවුලේ පෞද්ගලික ආරක්ෂාව හා සියලුම ආවතේව කටයුතු සිදුකරීමද වාමනයින් අතින් සිදුවන අතර ඔවුන් ඇයටත් රජ පරම්පරාවටත් දැඩිලෙස පක්ෂපාතී බවත් දැනගන්නට ලැබුණා.

“සිෆ්ට කරදයක් වුනේ නැතිනම් හොඳයි….පව් කෙල්ල.......මුලු ජීවිතේම එකම මරාන්තික සටනක්…” 

සුකුමාර, කෙළිලොල් ජීවිත ගතකරන උමායා වැනි කෙල්ලන්ට වඩා සුපිරි තාක්ෂණයක් හිමි කෲර පිටසක්වල සතුරෙකු සමග සටන් වදින්නට පිරිමින් සමග උරෙනුර ගැටී සටන් බිමට යන, එඩිතර සිෆ් හා ඇගේ සටන්කාමී යෙහෙලියන් කොතරම් වටින කෙල්ලන් දැයි ඔහුට සිතෙන්නට වුනා. අන්ධෙරාවේ ගැහැණු, පිරිමි බේධයක් නොතිබූ අතර දෙපාර්ශවයටම සමාන අයිතිවාසිකම් හා වගකීම් තිබුණා.

භූගත ගොඩනැගිල්ලෙන් එලියට පැමිණි තේජන අවට බැලුවා. අඳුර වැටී තිබූ අතර චන්ද්‍රයන් දෙදෙනා පායා තිබුණා. විශාල සඳ තවමත් ක්ෂිතජය අසලද, කුඩා සඳ වඩාත් ඉහලටද නැගී තිබුණා. කුඩා සඳ යයි හැඳින්වූවාට වඩා විශාල සඳ එය බවත්, කුඩාවට පෙනෙන්නේ ඈතින් පිහිටා ඇති නිසා බවත් අන්ධෙරාවන් කියනවා.

අවට සෑම උස් කඳුමුදුනකම අන්ධෙරා හා වාමන රැකවලුන් සිටි අතර ඔවුන් තිදියන්ගේ ඔත්තුබලන ඩ්‍රෝන හා ප්‍රහාරක ෂටල් යානා ගැන විමසිල්ලෙන් සිටියා. ප්‍රමාණයෙන් ලොකු මුර අටොලුවල විශාල යන්ත්‍ර සවිකොට තිබුණා. ඒවා තිදියන්ගේ යාන්ත්‍රික පාබල-හමුදා වලින් අල්ලාගෙන අනුවර්තනය කරගන්නා ලද කම්පණ-තරංග කාළතුවක්කු. ඒවායේ කම්පණ තරංගවලට අසුවෙන ස්වයංක්‍රීය ඩ්‍රෝන හා ප්‍රහාරක යානා විනාඩි කිහිපයකට පාලනයෙන් ගිලිහී යනබවත්, ඒ අවසරයෙන් ඒවාට ප්ලස්මා තුවක්කු වලින් වෙඩිතබා බිමහෙලිය යුතු බවත් ඔවුන් පැවසූවා. නිල්පැහැ ප්ලස්මා ගුලි විදින ප්ලස්මා කාළතුවක්කු කඩාවැටුනු තිදි ප්‍රහාරක යානාවලින් ගලවා ගුවන් ප්‍රහාරක අවි ලෙස අනුවර්තනය කරගැනීමට අන්ධෙරාවන් සමත්වී තිබෙනවා. 

කම්පණ තරංග කාළතුවක්කු හා ප්ලස්මා කාළතුවක්කු ඒකාබද්ධව යෙදෙවීමේ සැලැස්ම වසර පහලොවකට පමණ පෙර, එකල කනිෂ්ඨ රහස් ඔත්තු නිළධාරියෙකු වූ නීර්ගේ විසින් නිර්මාණය කරන ලද්දක් බවත්, එම සැලැස්ම ක්‍රියාවේ යෙදැවූ දා සිට මේ වනතෙක් ෂාටිගීර් වෙත එකදු සාර්ථක ගුවන්ප්‍රහාරයක් එල්ලකරගැනීමට තිදියන්ට නොහැකිවූ බවත් පැවසෙනවා. 

රැවින් කඳවුර විනාශවූයේ මේ ක්‍රමය ක්‍රියාවේ යෙදවීමට අපොහොසත් වීමෙන් තිදියන්ගේ ෂටල් අහසේ සිට පහරදෙමින් අන්ධෙරාවන්ගේ ප්‍රති-ප්‍රහාර අඩපණකිරීම නිසයි. අවශ්‍ය පමණට ප්ලස්මා කාළතුවක්කු සපයාගැනීමට නොහැකිවීම නිසා ඒ විනාශය සිදුවුනා. තිදි ප්‍රහාරක යානා පනහක් පමණ කුරැට් කඳවුරේ තිබෙන බවට තොරතුරු ලැබී තිබුණු අතර කුරැට් කඳවුරට බලවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ එක් අරමුණක් වන්නේ එම යානා සම්පූර්ණයෙන්ම අල්ලා ගැනීම හෝ නොහැකිනම් ඒවායේ ප්ලස්මා කාළතුවක්කු අත්පත් කරගැනීම බවයි තේජනට දැනගන්නට ලැබුණේ.

"දාහක් ගියාලු, කීදෙනෙක් ආපහු එයිද දන්නේ නෑ....." තේජනගේ දෑස් මදක් තෙත්වුනා.

"මේක ඇඳගන්න..." හාෂ්ගේ ගොරහැඩි හඬ තේජනව ඔහුගේ සිතිවිලි ස්වප්නයෙන් අවදිකලා. හාෂ් ගොරෝසු ලෝගුවක් දිගුකරගෙන සිටියා. කඩිමුඩියේ දෑස් පිසදාගත් තේජන සිටි තැනින් නැගිට ලෝගුව ගෙන ඇඟලාගෙන යලිත් ඉඳගත්තා. හාෂ් ඔහු අසලින් වාඩිවුනා.

"ඔබ කරපු සේවයට අපි ඔබට ණය ගැතියි!"

"ඒ ඡායාරූපවලින් ප්‍රයෝජනයක් තිබුණොත් හොඳයි...."

"මට ආරංචිවෙන විධියටනම් රෙසීනා බොහොම සතුටුවෙලා... ඇය කණ්ඩායමත් එක්ක ඒවා සියුම්ව අධ්‍යයනය කරනවා.......ඊට පස්සේ ඇය ඇයගේ නිගමනය කියන්නට රැස්වීමක් කැඳවයි.....ඒකට ඔබටත් ආරාධනාවක් ලැබෙයි..."

"කුරැට් ප්‍රහාරය ගැන ආරංචියක් නැද්ද?......අපේ අයට මොකද වෙලා තියෙන්නේ...?"

"සටන් දරුණුයි කියලා ආරංචියි.......වැඩි විස්තර නෑ.....දුර වැඩියිනෙ.......හැබැයි ප්‍රහාරක කණ්ඩායමේ නායකයෝ සියලුම දෙනා තිදියන්ගෙන් අල්ල ගන්න යානා වලින්  මෙහෙ එන්න ඕනෑ........කුරැට් අතරමැදි කඳවුරේ ඉතිරි සියලුම දෙනාත් ඒක අතහැරලා මෙහෙ එනවා...සටනට ගිය අනෙක් අයත් ගොඩබිම් මාර්ගවලින් මෙහෙ පැමිණෙන්න කියලා නියෝග නිකුත්වෙලා තියෙන්නේ..."

"ඇයි කුරැට් අතහැරලා දාන්නේ?"

"කඳවුර පොඩි වැඩියි....ආරක්ෂාකරන්න අමාරුයි.......රැවින් වැටුනෙත් ආරක්ෂාකරන්න අමාරු නිසා......පොඩි කඳවුරු අතහැරලා සියලුම දෙනා හොඳින් ආරක්ෂිත විශාල කඳවුරුවලට අනුයුක්ත කරන්න අග්‍ර මණ්ඩළය  තීරණයක් අරගෙන..."

හම්ම්ම්....." තේජන සුසුමක් හෙලා ඈත බලාගෙන සිටියා.

ඔහුගේ මුහුණදෙස මදවේලාවක් බලාසිටි හාෂ්..... 

"බයවෙන්න එපා සිෆ් හොඳින් ඇති......"

තේජන හාෂ් දෙස බලා බිම බලාගත්තා. 

"සිෆ් ගැන විතරක් නෙමෙයි.....හැමෝම ගැන බයයි...." තේජන කියද්දී හාෂ් සිනාසුනා.

"සිෆ් යනකොට අණක් දීලා ගියේ දවස් දෙකකට සැරයක් කුරැට් තාරකා දොරටුවට කණ්ඩායමක් යවලා ඔයා ඉන්නවද බලන්න කියලා. ඔයා එනකන් කඳවුර අතහැරලා යන්න එපා කියලා දැඩි නියෝගයක් කරා....සිෆ් මට කිව්වා ඔයා එන්න කලින් ෂාටිගීර් ඇවිල්ලා ඔයා ගේන දේවල් ගැන විස්තර නීර්ගේට කියලා ඔක්කොම ලෑස්ති කරලා තියන්න කියලා. ඔයා එයාව රවට්ටලා පැන ගන්නේ නෑ කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා..... ඇත්තම කියනවනම් මමවත් ඩාර්වත් ඒක එච්චර විශ්වාසකලේ නෑ…....ආපහු ආවත් හිස් අතින් එයි කියලයි අපි හිතුවේ...අපි නාසා එක ගැන අහලා තියෙනවා...පෘථිවි හඳටත් එයාලා මිනිස්සු යැව්වලු නේද?....එහෙම සම්පත් තියෙන තැනකින් මේ ඡායාරූප ගන්න පුලුවන් වෙයි කියලා අපි කොහොමටවත් හිතුවේ නෑ....නැතිනම් මීට කලින් අපි උත්සහ කරනවා...ඒක ගැනත් සමාව ඉල්ලන්න ඕනෑ........අපි ඔයාව අවස්තක්සේරු කලා......”

“කමක් නෑ...විශ්වාසය කියන එක ලබාගන්න පුලුවන් දෙයක් නෙමෙයිනෙ.........ඒක දිනාගන්න ඕනෑ......" 

තේජන කියද්දී හාෂ් හිසවනමින් එය අනුමත කලා.

"දැන් ඔයා අග්‍ර මණ්ඩළයේ විශ්වාසයත්, නීර්ගේ විශ්වාසයත් දිනාගෙන ඉවරයි.......නීර්ගේ ඔබට කැමතියි වගේ. ඒයා අමුතු විධියට හිතන, අපි නොතකන දේවල් ගැන ගොඩක් අවධානය යොමුකරන කෙනෙක්.........මිනිස්සු අඳුනාගැනීමට එයාට හොඳ ඉවක් තියෙනවා......හරි දක්ෂයා"

“ඒ මොකකින් වත් වැඩක් නෑනෙ සිෆ් ගිය විධියටම ආපහු ආවේ නැතිනම්...." තේජනට සිතුනා.

"ඇයි ඔයාලා පෘථිවියෙන් උදව් ඉල්ලන්නේ නැත්තේ?"

"මම කිව්වනේ අපිට පිටසක්වල ප්‍රහාර තුනක් එල්ල වුනා කියලා......පලමුවෙනි ප්‍රහාරයේදී අපි තාරකා දොරටු හරහා නියෝජිතයන් යවලා උදව් ඉල්ලුවා.........අන්තිමට වුනේ අපිට සතුරන් දෙගොල්ලක් එක්ක සටන් කරන්න........පෘථිවි මානවයින් අපේ ලෝකේ අත්පත් කරගන්න හමුදා එවන්න හැදුවා......හිමාලයේ තාරකා දොරටු විනාශ කරලා දැම්මේ ඒ නිසයි......ඒකාලේ මහා බලසම්පන්න, ඒවගේම භූමියට කෑදර රජවරු එහෙ හිටියා....හිමාලයේ තාරකා දොරටු වහලා දැම්මේ ඒ නිසයි..... පෘථිවි පාලකයින්ව අපි විශ්වාස කරන්නේ නෑ....ඒ නිසා උදව් ඉල්ලන්නේ නෑ....අපි කැමති නෑ කාටවත් යටත් වෙලා ඉන්න....."

"හිමාලෙ තාරකා දොරටු ආයේ විවරකර ගන්න බැරිද?"

"ඒවා තියෙන තැන් පවා අපි අමතක කරලා තියෙන්නේ....දැන් ඒවා තිබ්බ තැන් ගැන සටහන් තියාගෙන හිටපු අයවත් නෑ.......ඒ අය මැරිලා ගිහින් සටහන් විනාශවෙලා...."


චිටාරීන්, තිදියන් හා අන්ධෙරාවෝ

"ඉඳගන්න...." නීර්ගේ අසුනක් දක්වා සිටියා. ඔහු තේජනට පෞද්ගලික රාත්‍රී ආහාරයකට ආරාධනා කරන බව හාෂ් දැනුන් දුන්නේ දහවලේදී.

"ස්තූතියි....." ඔහුගේ කාර්යාලය හිතුවාට වඩා කුඩා බව පෙනුනා. තිදියන්ගෙන් අල්ලාගත් විවිධ උපකරණ මේස හා රාක්ක ගණනාවක තිබූ අතර සිතියම්, තිදියන්ගේ යානා හා අවිආයුධ වල හරස් කඩ සටහන් ආදියත් තිදියන්ගේ විවිධ නිළයන්ගේ රූප සටහන් බිත්තිවල අලවා තිබෙනු පෙනුනා...එලියට විරවවූ බැල්කනියක මේසයක් තබා රෑ කෑම ගන්නා තැන සකස් කොට තිබුණා.

"උණු සුප් එකක් බීලා ඉමු..... " පෞද්ගලික සේවකයා උණු සුප් බඳුන් දෙකක් ගෙනාවා.

"මොනවද මේවායේ තියෙන්නේ අපේ පෘථිවි අමුත්තාට බොන්න පුලුවන්ද මේවා??" නීර්ගේ ඇසුවා.

"බීලා බලන්නකෝ ඩායිෆූ.....රන් හතු......හරි අමාරුවෙන් හොයාගත්තේ.....මේ වියළි කාලෙනෙ...." සේවකයා නීර්ගේව තනතුරු නාමයෙන් ඇමතුවා. සේවකයින් කිසිවිටෙකත් නිළධාරීන්ව නමින් ඇමතීමක් සිදුකරන්නේ නෑ. ඒ වෙනුවට සෑමවිටම රාජකරි තනතුරෙන් ඇමතූවා. 

"රන් හතු සුප් නම් ගොඩක් රස ඇති...තේජන බොන්න...."

"ස්තූතියි...."

"තිදියන්ගේ හමුදාවල පරිපාලන සැකැස්ම අපේ වගේද?" තේජන ඇසුවා.

ඔව් හැබැයි නිළයන් බොහොම අඩුයි. ආඥාපති, භට ඛන්ඩ අණපති, පාබල හේවායින් යන විධියට නිළයන් තියෙන බව අපිට හෙලිවෙලා තියෙනවා.

ආඥාපති කෙනෙක් දැන් නෑ. හිටපු කෙනා තාරකා නෞකාවෙදි අපේ අය මැරුවා. දැන් සටන් ගෙනියන්නේ භටඛණ්ඩ අණපතිලා. එක භට ඛණ්ඩ අණපතියෙක් පාබල තිදියන් දහස් ගණනකට අණදෙනවා. ඔවුන්ගේ සටන් මෙහෙයුම් පාලනය වෙන්නේ පරිගණක මගින් . ඉස්සර සියල්ල පාලනය වුනේ ප්‍රධාන තාරකා නෞකාවෙන් . දැන් කඳවුරුවල තියෙන පොඩි පරිගණක වලින් ඒ කඳවුරේ පාබල සේනාංක වගේම මෙක් යන්ත්‍ර හා ඩ්‍රෝන් ප්‍රහාර මෙහෙයවනවා.

අණපතියාගේ සන්නාහ ඇඳුමට සවිකරලා තියෙන පරිගණකය සියලුම තොරතුරු ලබාදීලා සම්බන්ධීකරණය කරනවා. ඒත් දැන් ඔවුන්ගේ තාරකා නෞකා නැති නිසා අන්ධෙරාවේ තැන් තැන්වල තියෙන තිදි කඳවුරු අතර සම්බන්ධීකරණය අඩුයි. අපේ තාක්ෂණවේදීන් කියන විධියට ඔවුන්ගේ සටන් පරිගණකවලට ජාලගත වෙන්න අවශ්‍ය සන්නිවේදන ජාලය දැන් නෑ. 

"තිදියන් සටන් වදින්නේ කොයි විධියටද?"

"අපි දන්න විධියට ඔවුන් හැමවිටම සැලසුම් කරන්නේ පලමු ප්‍රහාරය හිතාගන්න බැරිවෙන තරමේ දරුණු ලෙස එල්ල කරන්න….හැම විටම පලමුවෙනි සටන, බිහිසුණුම සටන හා අවසන් සටන කියන සංකල්පය ඔවුන් භාවිතා කරනවා......ඒ කියන්නේ සටනක් දිග කාළයක් අල්ලාගෙන සිටීමේ හැකියාව ඔවුන්ට නෑ......එහෙම තියෙන්නත් බෑනෙ.......ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන ග්‍රහලෝකයක් ආක්‍රමණය කරනකොට ඉතා ඉක්මණින් සටන ඉවර කරන්න ඕනෑ.....නැතිනම් ආලෝක වර්ෂ ගණන් දිග සැපයුම් ජාල පවත්වාගෙන යන්න වෙනවා....තුවාලකාරයෝ බලාගන්න එක, ශල්‍යාගාර, බෙහෙත්, අමතර කොටස්, උපකරණ, සැපයුම්, ආහාරපාන, මැරන සෙබලුන්, දිග කාළයක් සටන් කරලා වෙහෙසට පත්වෙන සෙබලුන් වෙනුවට අලුත් සෙබලු....මහා විශාල සැපයුම් දාමයක් හදාගන්න වෙනවා.........ඒක කරන්න අමාරුයි.......ඔවුන් දියුණු වුනත්, අපේ විශ්ලේෂණවලට පේන විධියට එතරම්ම දියුණු ජීවීන් නෙමෙයි..........”



“චිටාරී ඊට වඩා බොහෝ දියුණුයි........ඔවුන්ගේ පාබල සෙබලුන් අර්ධ ජීවීන්.......අපි හිතන්නේ ගොවිපොලවල සතුන් ඇතිකරනවා වගේ මහා පරිමාණයෙන් පාබල සෙබලුන් බිහිකිරීමේ තාක්ෂණයක් ඔවුන්ට තියෙනවා.....කෙටි කාළයකින් හොඳින් පුහුණුවුනු සෙබලුන් මිලියන ගණනක් බිහිකිරීමේ හැකියාව ඔවුන්ට තියෙන බව පේනවා..... පෘථිවියේ ගැටෙන්නට සලස්සපු චිටාරී යානාවල විතරක් ලක්ෂ කිහිපයක පාබල සෙබලුන් ඉඳලා තියෙනවා.......ඒත් එතරම් විශාල භට පිරිසක් ගැන කිසිම තැකීමක් නැතුව ඔවුන්ව මරු කටට ඇරියා....එහෙම කරන්නේ ඒ සෙබලුන් සැබෑ චිටාරීන් නොවන නිසා.....ඔවුන් සටන් වදින්නට නිපදවූ ජීවත්වෙන යන්ත්‍ර පමණයි...."

“එහෙම වුනත්, අන්ධෙරාවන්ගේ තාක්ෂණය බලනකොට තිදියන් වසර දහස් ගණනක් ඉදිරියෙන් නේ ඉන්නේ....ඔය තරම් දියුණු තාක්ෂණයක් තියෙන තිදියන්ට තුන් පාරක් ආක්‍රමණය කරලත් මේ ලෝකේ අල්ල ගන්න බැරිවුනු එක පුදුමයි...."

"ආක්‍රමණ තුනක් කිව්වට පලවෙනි ආක්‍රමණය පෘථිවියේදී චිටාරී අතින් වුනු විනාශයට පලිගන්න කරපු එකක්. මීට අවුරුදු 12,000කට විතර කලින් තිදියන් පෘථිවියේ බලය පතුරුවගෙන හිටියා. ඒ කාලයේ දියුණු මානව ශිෂ්ඨාචාර තිබුනේ ඉන්දියානු අර්ධද්වීපය, ලංකාව ආදි ආසියානු රටවල. එහෙත් පෘථිවියේ වඩිහරියක් පෙදෙස් ජනශූන්‍ය නිසා තිදියන් හා මානවයින් අතර විශාල ගැටුම් ඇතිවුනේ නෑ. තිදියන් ජනශූන්‍ය පෙදෙස්වල ජනාවාස හදාගෙන හිටියා කියලා ජනමූලාශ්‍රවල තියෙනවා.

තිදියන්ගේ පරම හතුරන් වෙන චිටාරී තිදියන්ගේ පෘථිවි කඳවුරු වලට පහරදුන්නා...ඒත් තිදියන් ගොඩබිම් සටන්වලින් ජය ගත්තා....චිටාරී කියන්නේ තිදියන්ට වඩා දුෂ්ඨ වර්ගයක්, ඔවුන් පෘථිවිය විනාශ කරන්නට ඔවුන්ගේ තාරකා යානා ගණනාවක් පෘථිවියේ වැද්දුවා...ඒ යානා පෘථිවියේ වැදිලා ග්‍රහලෝකය සෙලවෙන තරමට බිහිසුණු පිපුරුම් ඇතිකලා, පෘථ්වියේ මහා කාළගුණ විපර්යාස ඇතිවුනා…...භුමිකම්පා, මහා සුනාමි, ගිණිකඳු පිපිරීම් වසර සියගණනක් යනතෙක් නැවතුනේ නෑ...ඊට පස්සේ. පෘථිවිය අයිස් යුගයකට ගියා....තිදියන්ට පෘථිවියේ කොලණි අහිමිවුනා. පෘථිවියේ කොලණිවල සිටි ලක්ෂ ගණන් තිදියන් ඉවත්කරගන්න ලැබුණේ නෑ. ඔවුන් සියල්ලම මැරුණා.....අපේ මුතුන් මිත්තෝ තාරකා දොරටු හරහා අන්ධෙරාවට ආවේ ඒ විනාශෙන් බේරෙන්න.

එතකොට අන්ධෙරාව චිටාරී බල ප්‍රදේශයක්, හැබැයි ශීතල, වියළි මේ ග්‍රහලෝකයේ ජනාවාස පිහිටුවන්න චිටාරී එච්චර උනන්දුවුනේ නෑ. චිටාරී කැමති උණුසුම්, වැහිබර කාළගුණයක් තියෙන ලෝකවලට. උන් උරගජීවීන් වීම නිසා ඔවුන් කැමති ඒවගේ ලෝකවලට. ඒකයි පෘථිවිය අල්ලගන්න සටන් වැදුනේ. චිටාරින්, අපේ ලෝකය වෙනත් තාරකා මණ්ඩල ආක්‍රමණය කරන්න අතරමැදි කඳවුරක් විධියට භාවිතා කරා කියලා තමයි අපි අනුමාන කරන්නේ.” 

“තිදියන් මෙහෙ ආවේ චිටාරී හොයාගෙන පෘථිවියේ කොලණිවලට කල විනාශයට  පලි ගන්න. ඔවුන් මුලු වැර යොදලා අඩු ආරක්ෂාවක් තිබුණු අන්ධෙරාවේ චිටාරී බලකොටු වලට හා අභ්‍යවකාශයේ තිබූ සැපයුම් යානා වලට පහරදුන්නා...ඒ සටනින් චිටාරී පැරදුනා....තිදියන් ඔවුන්ව සමූල ඝාතනය කරලා ගියා. ඒත් තිදියෝ යනකොට ඔවුන්ගේ ගවේශකයින් කණ්ඩායමක් මෙහි පර්යේෂණ වලට නවත්තලා ගියේ... ඔවුන් මේ ලෝකයේ අපූරු පිහිටීම ගැන දැනගත්තා... තාරකා දොරටු ගැනත් දැන ගත්තා....ඊලඟට තිදියන් මේ ලෝකය කොළණියක් කරගන්න විශාල කොළණි මෙහෙයුමක් සිද්ද කලා...එතකොට අපි මේ ලෝකයේ ස්ථාවර වෙලා ඉවරයි…”

“අවුරුදු ගණනක සටනකින් පස්සේ අපි තිදියන්ගේ කොළනි වැනසුවා......තිදියන් සටනකට වඩා කොළණි හදන්නට ආපු නිසා ඔවුන්ගේ සටන් බලය අඩුවෙන් තිබුණේ, අපේ ප්‍රහාර එන්න එන්නම දැඩි වෙනකොට ඔවුන් කොළණි යානා අරගෙන ආපහු ගියා....... 

මීට අවුරුදු සීයකට ඉස්සෙල්ලා සිද්ධවුනේ අන්තිම ආක්‍රමණය. එතකොට ඔවුන් තාරකා නෞකා තුනක ලක්ෂ ගණනක් සෙබලු එක්ක ආවේ, ඒත් අපි ඔවුන්ගේ ප්‍රධාන තාරකා නෞකාව විනාශ කරාට පස්සේ ඉතිරි නෞකා දෙක ආපහු දුර පාරෙන් ගියා....ඒ කියන්නේ තාරකා දොරටුවක් ඇරගන්න ඉස්සෙල්ලා ඔවුන් පලාගියා. ඒ ඉතිරි නෞකා දෙකත් අපි විනාශ කරයි කියලා බයට......ඒ තාරකා නෞකා ආරක්ෂාකරන්න පරිවාර නෞකා තිබුණේ නෑ...අපි වගේ නොදියුණු ජීවීන් සිටින ලෝකයක් ආක්‍රමණය කරන්න ඒවා අනවශ්‍යයි කියලා ඔවුන් හිතන්න ඇති.” 

ඒකෙන් අපට පේන්නේ තිදියන් ඔවුන්ගේ පාබල සෙබලුන් නිරපරාදේ වනසාගන්න කැමැත්තක් නැති බව. චිටාරින්ට ඔවුන්ගේ පාබල සෙබලු වටින්නේ නැතිවුනාට තිදියන්ට ඔවුන්ගේ සෙබලු වටිනවා.....ඒකෙන් තහරුවෙන් තව දේවල් තියෙනවා.....තිදියන්ට සම්පත් හිඟයක් තියෙනවා...චිටාරින්ට සාපේක්ෂව තාක්ෂණයේ විශාල අඩුපාඩු තියෙනවා..චීටාරින්ට වගේ හිතූ හිතු අවස්ථාවල තාරකා දොරටු ඇරගැනීමේ තාක්ෂණයක් තිදියන්ට නෑ.......ඒනිසා ආක්‍රමණ සැලසුම් කරන්න ඔවුන් බොහෝ කල් ගන්නවා...."

“ඔවුන්ගේ මව් ලෝකය අපේ ලෝකෙට ආලෝක වර්ෂ පනහක් විතර දුරයි කියලයි අපි හිතන්නේ. ඔවුන්ගේ කොළණි යානා ආලෝකයේ වේගයට වඩා අඩු වේගයකින් යන්න ඇති කියලා අපි හිතනවා. ඒ නිසා කොළණි යානා ආපහු යන්න අවුරුදු 70ක් විතර යන්න ඇති. ඒ කියන්නේ මීට අවුරුදු 30කට කලින් අන්ධෙරා කොළණි වැඩසටහන වුනාශ වුනා කියන පණිවුඩය තිදියන්ගේ මව් ලෝකය දැනගන්න ඇති. දැන් අපි ආක්‍රමණයක් බලාපොරොත්තුවෙන්නේ ඒකයි. මේ ආක්‍රමණය සමූළඝාතන ආක්‍රමණයක් වෙනවා කියලා අපට විශ්වාසයි...මෙවර ඔවුන් අපට සියලු වැර යොදලා පහරදෙනවා නිසැකයි...."

"ඒ කියන්නේ අන්ධෙරා ශිෂ්ඨාචාරයේ අවසානය බලාපොරොත්තුවෙන් ඉන්නේ?"

"ඇත්තෙන්ම.......මරාගෙන මැරෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ........අපි කවදාක්වත් යටත් වෙලා වහලුන් වගේ ඉන්නේ නෑ....."


~ / ~


හදිසියේම ඇසෙන්නට වූ පිපිරුම් ශබ්ද නිසා තේජන ගැස්සී ඇහැරුණා. තිදියන්ගෙන් හදිසි ප්‍රහාරයක් එල්ලවන්නට ඇතැයි සිතූ තේජන ප්‍රහාරයක්දී ඉක්මණින්ම වාර්තාකලයුතු ස්ථානයට යන්නට කාමරයෙන් එලියට පැන ගත්තා. එහෙත් එවැනි අවස්ථාවක්දී නාදවන අණතුරු ඇඟවීමේ සංඥා නාදවුනේ නෑ.

"මොකද වෙන්නේ? ප්‍රහාරයක්ද?" ඔහු පලමුවෙන්ම මුනගැසුනු අන්ධෙරාවාගෙන් ඇසුවා..

"නෑ නෑ කුරැට් ප්‍රහාරයට ගිය අය ආපහු එනවා......එයාලගෙ යානා කක්ෂයේ ඉඳන් වේගයෙන් පහත්වෙනකොට ඔය ශබ්දය ඇහෙනවා.."

"අහ්... සොනික් බූම් එක....." තමන්ටම කියාගත් තේජන ඉක්මණින් කාමරය වෙත ගොස් ඔහුට ලැබුණු අන්ධෙරා නිළ ඇඳුම ඇඳ ගත්තා.

"සිෆ් එනවා ඇති...." ඔහුගේ හද ගැහෙන්න ගත්තා.


බිහිසුණු රණශූරියකගේ ආදරය



හැකිතාක් ඉක්මණින් ගොඩබස්වන අංගනය වෙත ගිය තේජන අහස දෙස දෑස් අයා බලා සිටියා. කලින් ගොඩබැස තිබූ යානා තුනේම සිෆ් හිටියේ නෑ. තවත් යානා දොලහක් මග එන බව ගොඩබස්වන ලද යානාවක නියමුවෙක් පැවසුවා.

විශාල පිපුරුම් ශබ්ද සමගින් එකක් පසු පස එකක් යානා වේගයෙන් පැමිණ ගොඩබෑවා. අන්ධෙරා අජඨාකාශ නියමුවන් සැබෑ දක්ශයින් බව ඒ යානා ගොඩබැස්සවීමේ වේගය හා සූක්ෂ්ම බව තහවුරු කලා. නිසි පුහුණු පහසුකම් නොමැතිව, තමන්ගේ සිරුරුවලට හා සංවේදන වලට ගැලපෙන උපකරණ නොමැතිව, ක්‍රියාකාරිත්වය පවා හරිහැටි අවබෝධ කරනොගත් වසර දහස් ගණනක් ඉදිරියෙන් තිබෙන පිටසක්වල තාක්ෂණයකින් නිර්මිත මේ යානා ඔවුන් පියාසර කලේ කුඩා කාළයේ සිටම ඒවා පදවන්නට ඉගෙන ගත්තා වගේ.

අවසන් යානයේ අවසන් මගියාත් බැසගියා. එහෙත් ඒ අතර සිෆ් නොසිටියා මෙන්ම ඇය ගැන දන්නා කෙනෙකු සොයාගන්නටත් බැරිවුනා. උමායා නැතිවීමෙන් ඇතිවූ වේදනාවටත් වඩා දැඩි වේදනාවක් ඔහු සිත වෙලාගත්තා.

“….සටනට ගිය දහසක් දෙනාගෙන් තුන්සිය ගණනක් මිය ගියා. තිදි කඳවුර සහමුලින්ම විනාශයි. පැන යන්නට සමත්වූ කිහිපදෙනෙකු හැරෙන්නට සියලුම තිදියන් මරා දැම්මා. කඳවුර යලි  භාවිතයට නොහැකි පරිදි විනාශකොට දැම්මා. ඔවුන්ගේ යානා සියල්ලම අපේ අතේ....” 

ප්‍රහාරයට අණදුන් අන්ධෙරා කමාන්ඩර්වරයාගේ නිළ ප්‍රකාශය සියල්ලන් ඉදිරියේ කියවනවාත් සමගම ප්‍රීති ඝෝෂා හඬින් ෂාටිගීර් ගිගුම් දෙන්නට වුනා. රැවින් ප්‍රහාරයේ වාඩුව ගන්නට පුලුවන් වුනා වගේම සෑහෙන කාලෙකින් ලැබුනු විශාලම ජයග්‍රහණය මෙය නිසා අන්ධෙරාවන් හා වාමනයින් එකාමෙන් ජය සැමරුවා. සමරන්නට දෙයක් නොතිබුණේ තේජනට පමණයි. ඔහු ලඟ තිබූ පඩිපෙලක් මත හිඳගෙන හිස දෑතේ ඔබාගත්තා.

සිෆ්

"සිෆ්ව ආයෙත් එකම එක සැරයක් දකින්න තිබුණා නම්....." ඔහු මිමිණුවා. කොතරම් වෙලා එහෙම හිටියාදැයි ඔහුට මතක තිබුණේ නෑ. බෙල්ලෙහි ගෑවුනු සීතල යමක් දැනී පියවි සිහියට ආවා. හැරී  එදෙස බැලූ ඔහුට සිහින්, දිගැටි වීදුරු තලයක් දිස්වුනා. ඔහු එය හඳුනාගත්තා.

"සිෆ්!!!!!" ඇය ඔහු අසල සිටගෙන සිටියා.

"ඔයා ආපහු ආවා!!!" තේජනගේ දෑස් කඳුලින් තෙමුනා. 

"තේජන! මොකද මේ???" ඔහු ලඟින් ඉඳගත් ඇය විසල්වූ දෑස් වලින් ඔහු දෙස බලා සිටියා. ඇය කිසිවිටකත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදුවූ ලෙසින් ඇය විස්මිතවී සිටියා. ඇයගේ මුහුණ ලේ, දහදිය හා දූවිලි වලින් අඳුරුවී තිබුණා. ඇඟ දුහුවිලිවලින් නෑවී තිබුණා දින ගණනාවක් නොකඩවා සටන්කල ඇය බොහෝ වෙහෙසට පත්ව සිටින බව පෙනුණා.

"මම හිතුවේ........"

“ඇයි ඔච්චරම බයවුනේ?...මං මැරුණා කියලද?" විඩාව අතරින් ඇය දසන් විදහා සිනාසුනා. 

"සමාවෙන්න...." තේජන ලැජ්ජාවෙන් මුහුණ පිසදා ගත්තා. "මම ඔයාව දකින්න ආසාවෙන් හිටියේ......." ඔහුගේ ඇස් රතුවී නාසය බරවී තිබුණා.

"කවුරුහරි මම එනකන් බලාගෙන හිටියා කියලා ඇහෙන එක හරිම සතුටක්.....මට එහෙම කවුරුත් ඉඳලා නෑ...." ඇය ඔහුවෙත බරවුනා.

"ඔයා විතරයි මාව විශ්වාස කලේ.....අනෙක් අය හිතුවේ මම පැනලා යයි කියලා...එහෙම නේද?"

"ඔව්....ඒත් මම හරිනෙ...." ඔහුගේ උරහිස මත නිකට තබාගෙන සිටි ඇය මිමිනුවා.

"මම කවදාක්වත් ඔයාගෙ බලාපොරොත්තු කඩ කරන්නේ නෑ...."

"එහෙම කරන්නත් එපා.......මං ගැන කරදර වෙන කෙනෙක් එහෙම කෙරුවොත් ඒක හරිම දුකක් වෙයි..." ඇය යලිත් මිමිනුවා. 

"කොයි වෙලාවෙද ආවේ?"

"ඊයේ රෑ මැදියමේ...ඔයාට හොඳටම නින්ද ගිහින් ඉන්න ඇති, ඒකයි කම්පණ ශබ්දය ඇහෙන්න නැතුව ඇත්තේ.....අපි තිදියන්ගේ කුරැට් කඳවුරේ නායකයා අල්ලගත්තා...... ඌ ප්‍රහාරය අතරමැදදී පැනගන්න උත්සහ කරලා අපේ අයට අහුවුනා..... සාමාන්‍යයෙන් තිදි සෙනෙවියෝ තමන්ගේ පාබල සෙබලුන් තනිකරලා සටනකින් පැනලා යන්නේ නෑ....සෙබලුන්ට පැනගන්න ඉඩදීලා එයාලා මරාගෙන මැරෙන්න සටන් කරනවා....ඒකයි සම්ප්‍රදාය........එහෙම යනවානම්, ඒකට ලොකු හේතුවක් තියෙනවා....ඒ කියන්නේ රැකගත යුතු දෙයක්......උගේ පරිගණකය ගලවගන්න හදනකොට ඌ බොහොම කෝපාවිෂ්ඨවෙලා බිහිසුණු ලෙස දැඟලුවා...ඒක විනාශකරන්න හැදුවා......අපි සැක කරන්නේ ඔහුට මොකක් හරි රහස් පණිවුඩයක් ඇවිල්ලා කියලයි...ඒ පණිවුඩය පරිගණකයේ තියෙන නිසයි පණින්න හැදුවේ......අපි විශේෂ යානයකින් ඔහුව ඊයේ රෑම මෙහෙ ගෙනවා....පරිගණකය අපේ තාක්ෂණවේදීන් පරික්ශා කරනවා.... නීර්ගේ තිදියාගෙන් ප්‍රශ්ණකරනවා..."

"තිදියන්ට කතාකරන්න පුලුවන්ද?"

"බැහැ....මුඛයේ ස්වරාලයක් නෑ......සන්නිවේදනය කරන්නේ විශේෂ අවයවයකින් නිකුත්කරන අධි සංඛ්‍යාත හඬවල් වලින්. ඒවා අපිට ඇහෙන්නේ නෑ...ඒත් අපි ලඟ උපකරණ තියෙනවා. තිදියාගේ අධිසංඛ්‍යාත හඬවල් ඇහෙන ශබ්ද වලට පරිවර්තනය කරන්න. ඊට පස්සේ පුලුවන් ඒවා තේරුම් අන්න.....අපිට කියන්න ඕනෑ දේවල් තිදියන්ගේ අධිසංඛ්‍යාත භාශාවට හරවන්නත් යන්ත්‍ර තියෙනවා.

"එතකොට ඩාර්??"

"පාබල තිදියන් එක්ක ද්වන්ධ සටන්වලට ගිහිල්ලා මැහුම් කඩාගත්තා.......ලේ ගිහිල්ලා වැඩිවෙලා කලාන්තවෙලා වැටෙනකන් සටන් කලා...පස්සේ එයාගේ ගෝලයෝ ටික එයාව උස්සගෙන ගියා... දැන් කට අරින්නත් පණ නැතුව ඉන්නවා........ඩාර්ගේ හැරි එහෙම තමයි...." ඇය සිනාසුනා.

"ඊලඟ සටනට යනකොට මාවත් එක්කගෙන යන්න......."

"ඔයා සටන් කරන්න දන්නවද?"

"නෑ...ඒත් සටනට උදව් කරන්න පුලුවන්.....ප්‍රථමාධාර ගැන දන්නවා.....සී.පී.ආර්. කරන්නත් දන්නවා..."

"සී.පී.ආර්...? ඒ මොකක්ද?"

"සමාවෙන්න....සී.පී.ආර් කියන්නේ කාඩියෝ පුල්මොනරි රිසසිටේෂන්....ඒ කියන්නේ සටනකදි තුවාලවෙලා නැතිනම් කම්පණයට පත්වෙලා හදවත නැවතුන කෙනෙකුගේ පෙනහලුවලට හුලං පිඹින ගමන් හදවත යලි පණගන්වන්න තියෙන ප්‍රථමාධාර උපක්‍රමයක්....මම ඒක ඉගෙන ගෙන තියෙනවා....." 

"අහ් ඇත්තද.......කොච්චර හොඳද?...එහෙනම් මම ඔයාගැන සටන් බිම් වෛද්‍ය ඒකකයට කියන්නම්.....එයාලාට ඔයාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....”

“ඕගොල්ලන්ගේ ලෝකේ හරි දියුණුයි නේද?.......ඇයි සදාකාලික යුද්ධයක් තියෙන අපේ ලෝකෙ ඉන්න හදන්නේ? ආපහු යන්න ආසා නැද්ද?"

"නෑ....කොහොමටවත් නෑ.......ඒ ලෝකේ මට කවුරුවත් නෑ........මෙහෙ ඔයා ඉන්නවා....."

ඔහු ඇයගේ මුහුණ බැලුවා. "ඔයා ආයෙත් ආවේ මං නිසාද?"

"ඔව්......මට ඔයා ඉන්න තැනක ඉන්න ඕනෑ...."

"ඒත්....මාත් එක්ක ඉන්න හරිම අමාරුයි...මම නිතරම රංඩුකරන්නයි බලන්නේ......"

"ලංකාවේ කෙල්ලෝ එක්ක ඉන්න එක ඊට වඩා අමාරුයි....." තේජන සිනාසුනා.

"අප්පෝ එච්චර අමාරුකාරියෝද එහෙ ඉන්නේ?" ඇය හඬනගා සිනාසෙමින් ඇසුවා.

"මෙහෙ ගොඩාක් ලස්සන කෙල්ලෝ ඉන්නවා........විශේෂයෙන් රාජ මාළිගාවේ........එයාලා දිහා බලලා මට අහුවෙන්න එපා ඔන්න....." ඇය කවට ලෙස තර්ජනය කලා.

"හරි...හරි...මම ඒක මතක තියාගන්නම්...." 


තාරකා දොරටු ග්‍රහලෝකය


තේජන රසීනාගේ පර්යේෂණාගාරයේ ඔබ මොබ ඇවිද්දේ ඇය එනතෙක් මදක් රැඳෙන්න යයි ඇයගේ ප්‍රධාන පර්යේෂණ සහයිකාව වුන ඉටෙරා නම් වාමන ගෝත්‍රික කාන්තාව ඔහුට පැවසූ බැවින්. රසීනා පෙර රාත්‍රිය පුරාම ඇයගේ කණ්ඩායමද සමග තේජන රැගෙන ආ ඡායාරූප අධ්‍යයනයේ නිරතවී සිටි බව ඇය පැවසූවා. මදක් විවේක ගන්නට ගිය රසීනා ඉක්මණින් එනු ඇතැයි ඉටෙරා කියා සිටියා.

රසීනාගේ පරීක්ෂණ සහයකයින් ගණනාවක්ම වාමන ගෝත්‍රිකයින් වූ අතර අනෙක් පිරිස අන්ධෙරාවන් වූවා. වාමනයින් තාරකා ශාස්ත්‍රය හා නක්ෂස්ත්‍ර ශාස්ත්‍රයේ කෙල පැමිණියන් ලෙස අන්ධෙරාවේ විශේෂ තැනක් හිමිකරගෙන සිටිනවා. බිත්තිවල සවිකල විශාල කළුලෑලි කිහිපයක්ද තිබූ අතර ඒවා ගණිතකර්ම හා රූපසටහන් වලින් වැසී තිබුණා. එමෙන්ම විවිධ රූපසටහන්, කුඩා ආකෘති, ඇටවුම් හා පොත් දහස්ගණනක් ඇති රාක්ක එහි තිබුණා. ඉන් පොත් විශාල ප්‍රමාණයක් ඉංග්‍රීසි භාශාවෙන් ලියා තිබීම විශේෂත්වයක් වුවත් තේජනට එය පුදුමයක් වුනේ නෑ. අන්ධෙරාවන් හැකි සෑම විටම පෘථිවි මානවයින්ගෙ සැඟවී සිටින්නට උත්සහකලත් පෘථිවියේ ශාස්ත්‍රඥාණය ලබාගැනීමට බොහෝ උනන්දුවුනා. කලා. මේවා බරාරා වැනි ඔවුන්ගේ හිතේෂිවන්තයින් හරහා රහසින් හා ක්‍රමාණුකූලව ලබාගන්නා බවයි ඔහු අනුමාන කලේ.

අන්ධෙරා ග්‍රහලෝකය, සිය අක්ෂයෙන් අංශක 27ක් ඇලවී තිබෙනවා. මේ නිසා පෘථිවියට වඩා විශාල සෘතු වෙනස්කම් අන්ධෙරාවේ තිබෙනවා. දහවල ඉතා දිගු, දීර්ඝ ග්‍රීස්ම සෘතුවක් හා රාත්‍රිය ඉතා දිගු දීර්ඝ ශීතකාලයක් අන්ධෙරාවේ තිබෙනවා. එමෙන්ම අන්ධෙරාවේ උතුරු හා දකුණු ධ්‍රැව විශාල හිම තට්ටුවලින් වැසී තිබෙනවා. ගොවිතැනට ඉතාම සුදුසු සශ්‍රීකම පෙදෙස් තිබෙන්නේ ධ්‍රැව වලට පහතින් ඇති පෙදෙස්වලයි.

"තේජන!....සමාවෙන්න, ගොඩක් වෙලා ඉන්නවුනා නේද?"

සිතිවිලි ලෝකයක ගිලීසිටි තේජන අවදිවුනා.

"නෑ වැඩිවෙලාවක් නෑ...." තේජන කියද්දී රසීනා ඔහු අසලට පැමිණ දෑතින්ම ඔහුගේ දෙවුර අල්ලා ගත්තා. වයස හැටක පමණ පෘථිවි මානව කාන්තාවකගේ ස්වභාවය ගත් ඇය අඩුම ගණනේ පෘථිවි අවුරුදු අනූවක් වත් විය යුතුයි.

ඔහුගේ මුහුණ මදවේලාවක් අධ්‍යයනය කල ඇය.

"ම්ම්.... බුද්ධිමත් තරුණ පෘථිවි කොල්ලෙක්......පුතාගේ වයස කීයද?"

"විසිපහයි..... මාන්තා...." තේජාන්විත වයෝවෘද්ධ කාන්තාවක් වූ රසීනාව මාන්තා හෙවත් මෑණියන් යන ගෞරව ආමන්ත්‍රණයෙන් ඇමතුවා.

"හරිම ලාබාලයිනෙ ඔයා.......සිෆ් ඔයාගැන බොහොම පැහැදිලා...." රසීනා කියද්දි තේජන ලැජ්ජා මුසු බයාදු සිනාවක් පෑවා.

"සිෆ් වගේ කෙල්ලෙක්ගේ හිත දිනාගන්න අමාරුයි.....ඇයගේ සිත දිනාගන්න අපේ රණශූර තරුණයින් බොහෝ දෙනෙක් උත්සහ ගත්තා......ඒත් ඇය විශ්වාස කරන්නේ පෘථිවියෙන් ආපු ඔබව....."

"සිෆ් බොහොම නිර්භීත රණශූරියක්.....මම එච්චර නිර්භීත කෙනෙක් නෙමෙයි........"

"හැමෝම යුද්ධ කරන්න ඉපදිලා නෑනෙ පුතා.......සමහර අය යුද්ධෙට උපන් අය......සමහර අය ඉපදිලා ඉන්නේ වෙන දේවල් වලට......ඔබත් එහෙමයි, මාත් එහෙමයි.......අන්ධෙරාවේ පැරණි කියමනක් තියෙනවා - යුද්දෙට යන රණශූරයාගේ ජීවිතය රැඳිලා තියෙන්නේ ඔහුගේ අසිපත තනන කෙසඟ කම්මල් කාරයාගේ අතේ - කියලා...කම්මල්කාරයා නියම පදමට වානේ තලලා අසිපත හැදුවේ නැතිනම් එය සටනේදී කැඩෙනවා. රණශූරයාට මරණය නියමවෙනවා..."

"ඒක ඇත්ත ...." තේජන යලිත් දසන් පෑවා.

"මම ගෙනාපු දේවල් ප්‍රයෝජනවත්ද මාන්තා?" 

"ඔව්! බොහොම...අපි අවුරුදු විස්සක් තිහක් තිස්සේ හොයන ඡායාරූප ඔබ දවස් දෙක තුනකින් හොයාගෙන ආවා......අපි මහ රැජිණවත් දැනුවත් කලා ... ඇයත් ඉදිරියේ දිනක ඔබව මුණගැසීමට කැමැත්තෙන් ඉන්නවා......"

"ඇත්තද මාන්තා.......ඒක මට විශාල ගෞරවයක්......."

"වසර පණහකට විතර පස්සේ අපේ මහ රැජින බැහැදකින්න වරම් ලැබූ එකම පෘථිවි වැසියා.....ඔයා අන්ධෙරාවට කරපු සේවය අපට බොහොම වටිනවා......."

"අන්ධෙරාවේ තාරකා දොරටු ඇතිවෙලා තියෙන්නේ කොහොමද?" තේජන බොහෝ කාලයක් ඔහුගේ සිතට වදදෙමින් තිබූ පැණයක් ඇසුවා. ඔහු ඒ පැණය නීර්ගේ ගෙන් ඇසූවිට ඔහු කිව්වේ "ඕක හොඳටම පැහැදිලි කරන්න පුලුවන් රසීනා මාන්තාට. එයාගෙන් අහන්න.." කියලයි.

"අපි දන්න විධියට අන්ධෙරාව කියන්නේ සුවිශේෂී  ග්‍රහලෝකයක්. අන්ධෙරාවේ රතු සූර්යයා වටා කුඩා කලු කුහරයක් කක්ෂගත වෙලා තියෙනවා. ඒක තියෙන්නේ පෘථිවි මාන වලින් නම් කිලෝමීටර් බිලියන 3.5ක් ඈතින්. මේ කළු කුහරයේ බල පෑම නිසා අන්ධෙරාවේ තාරකා දොරටු නැතිනම් පෘථිවියේ ඔබේ විද්‍යාඥයින්ගේ කල්පිතයන් වල විස්තර කරන අයින්ස්ටයින්-රෝසන් දොරටු ඇතිවෙලා තියෙනවා. ඒවා පෘථිවියට විතරක් නෙමෙයි තවත් ඈත තාරකා මණ්ඩල සීයයකට විතර විවර වෙනවා. සමහර ඒවා ගුහා තුලින් නෙමෙයි, කෙලින්ම භූමියේ පිහිටලා තියෙනවා. ඒ වගේ තැනකින් ඇවිදගෙන ගියහම මතුවෙන්නේ වෙනත් ග්‍රහලෝකයකින්. ඒ අතින් අන්ධෙරාව විශ්මිතයි.

ඒ නිසායි තිදියන් අන්ධෙරාව ගැන මෙතරම් උනන්දු වෙන්නේ. අන්ධෙරාව අල්ලාගත් විට ඔවුන්ට බොහොම අඩු වෙහෙසකින් තවත් තාරකා මණ්ඩල ගණනාවකට යන්න පුලුවන්. අන්ධෙරාව වගේ ග්‍රහලෝක විශ්වයේ බොහොම හිඟයි.

අන්ධෙරා ග්‍රහමණ්ඩලය - Andheraa Solar System

අපි මේ තොරතුරු බොහොමයක් දැනගත්තේ තිදියන්ගේ පරිගණක වලට ඇතුලුවෙන විධිය අපේ තාක්ෂණවේදින් ඉගෙන ගත්තට පස්සේ. ඔවුන් අන්ධෙරාවේ කළු කුහරය ගැනයි, තාරකා දොරටු ගැනයි පර්යේෂණ මහ ගොඩක් කරලා තොරතුරු රැස් කරගෙන තියෙනවා. බොහොමයක් තොරතුරු තේරුම් ගන්න අපේ තාරකා විද්‍යා දැනුම මදි. අපිට තව අවුරුදු සීයක් වත් යයි තිදියන් අපේ ලෝකය ගැන සොයාගෙන තියෙන දේවල් සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න.

“ඇයි පෘථිවි අහසේ තාරකා පිහිටීම් තොරතුරු ඔච්චර වැදගත්?"

“"ඒකට හේතුව මේකයි..... අපි විශ්වාස කරන විධියට තිදියන්ගේ ග්‍රහලෝකය ආලෝක වර්ෂ පනහක් ඈතින් තියෙන්නේ. ඔවුන් මෙහෙ එන්නේ කෘත්‍රිම අයින්ස්ටයින් රෝසන් දොරටුවක් තනාගෙන. විශ්වයේ තැන් දෙකක් එකට හා කරන්න පුලුවන් අපූර්ව සංසිද්ධියක් වෙන අයින්ස්ටයින්-රෝසන් දොරටුවක් විවර කරගන්න අතිවිශාල බළශක්තියක් ඕනෑ වෙනවා. චිටාරින් වගේ තිදියන්ට වඩා ගොඩාක් ඉහල තාක්ෂණික දියුණුවක් තියෙන ශිෂ්ඨාචාර මේවගේ බලක්ශක්තිය නිශ්පාදනය කරගන්න තාක්ෂණයන් දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා ඔවුන්ට ඕනෑම විටක, ඕනෑම තැනක, තමන්ට කැමති තැනක් හා සම්බන්ධවෙන තාරකා දොරටු හදාගන්න පුලුවන්.

ඒත් තිදියන් එතරම් දියුණු නෑ. ඔවුන් තාරකා දොරටුවක් තනාගන්නේ සෑහෙන අමාරුවෙන්. අපි ගණනය කරලා තියෙන විධියට තිදියන්නේ සෞරග්‍රහමණ්ඩලයේ කෙලවරක අතිවිශාල තාරකා දොරටු ජනක යන්ත්‍රයක් ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. ඒක අපේ චන්ද්‍රයන් දෙදෙනාගෙන් කුඩා චන්ද්‍රයා තරම් විශාල යන්ත්‍රයක් විය යුතුයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ විශාල බලශක්තියක් යොදවලා කෘත්‍රිමව බොහොම කුඩා කලු කුහරයක් නිර්මාණය කරගෙන. ඒ කලු කුහරය යන්ත්‍රය තුල නිර්මාණය වෙන්න සෑහෙන කාලයකුත්, අතිවිශාල බලශක්තියකුත් ඕනෑ වෙනවා. ඒ කලු කුහරය එක්වරම නිර්මාණය වෙන්නේ නෑ. හෙමින් හෙමින් ඒක විශාල වෙනවා. උපරිම විශාලත්වයට පැමිණියාම විශාල තාරකා නෞකා ගමන් කරන්න පුලුවන් අයින්ස්ටයින්-රෝසන් දොරටුවක් ඇතිවෙනවා. 

දොරටුව උපරිම විශාලත්වයට එන්න කාළයක් යනවා. හැබැයි අපි දන්න විධියට උපරිම විශාලත්වයෙන් ඒ දොරටුව පවත්වාගෙන යන්න පුලුවන් පැයක් පමණ කෙටි කාළයක් විතරයි. ඒ සීමාව තිදියන්ගේ බලශක්ති ප්‍රභව බලසම්පන්න නොවීම පිලිබඳව ගැටලුවක්. ඒ කාලය තුල ඔවුන්ගේ තාරකා නෞකාවලට මෙහාට පැනගන්න පුලුවන්. ඊට පස්සේ බලශක්තිය ඉවරවෙලා කලුකුහරය නෂ්ඨවෙලා දොරටුව වැහෙනවා. ආයෙත් වසර ගණනාවක් යනවා ඔවුන්ට ඒ දොරටුව විවරකර ගන්න බලශක්තිය එක් රැස් කරගන්න.

ඒ විධියට තාරකා දොරටුවක් විවරවෙනකොට අහසේ වෙනස්කම් වෙනවා. අන්ධෙරා අහසේත් මේ වෙනස්කම් ඇතිවුනත් ඒවා නිවැරදිව හසුකරගන්න තාක්ෂණය හෝ නිරීක්ෂණ පහසුකම් නෑ. ඒවගේම ඉතා දීප්තිමත් සඳවල් දෙකක් තියෙන නිසා අන්ධෙරා අහසේ තාරකා රටා නිරීක්ෂන අපහසුයි. පෘථිවියට වගේ සඳ නැති රැයවල් අන්ධෙරාවට නෑ.

තිදියන්ගේ තාරකා දොරටුව විවරකර ගන්න ඔවුන්ගේ ජනක යන්ත්‍රය වසර කිහිපයක් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ඒ වසර කිහිපය තුල කෙමෙන් කෙමෙන් අයින්ස්ටයින්-රෝසෙන් දොරටුව විශාල වෙනවා. තාරකා නෞකා යවාගන්න පුලුවන් තරම් විශාල වෙන්න සෑහෙන කලක් යනවා. මේ කාලයේදී අහසේ තාරකා රටා සියුම්ව නිරීක්ෂණය කරහම ඒවායේ යම් යම් වෙනස්කම් පේනවා. දොරටුව සම්පූර්ණයෙන්ම විවරවුනාම අන්ධෙරාවේ අභ්‍යවකාශයේ ඉඳලා ඒ දොරටුව තුලින් බැලුවොත් ආලෝක වර්ශ පණහක් ඈතින් තියෙන තිදියන්ගේ ජනක යන්ත්‍රය ලඟ තියෙනවා වගේ බලාගන්න පුලුවන් වෙයි.

අන්ධෙරා අහසේ විතරක් නෙමෙයි, අන්ධෙරාව හා ස්ථාවර තාරකා දොරටු විවරවෙලා සදාකාලිකව අන්ධෙරාව හා සම්බන්ධවෙලා තියෙන පෘථිවි අහසේත් මේ වෙනස්කම් දකින්න පුලුවන්. අපි තාරකා රටා ඡායාරූප හෙවුවේ මේවා හඳුනා ගන්න. අපේ ගණනය කිරීම්වලට අනුව තවත් දින කිහිපයකදී තිදියන්ගේ තාරකා දොරටුව පූර්ණ බලයෙන් ක්‍රියාත්මක වෙලා විශාල යානා ගමන් කරන්න පුලුවන් තත්වෙට පත්වෙනවා.”

“ඒ කියන්නේ තව දින කිහිපයකින් දැවැන්ත තාරකා යානා අන්ධෙරාවට ඉහලින් දකින්න පුලුවන් වෙයි...?"

"ඔව්, තිදියන් මේ වාරයේ සම්පූර්ණ යුධ ශක්තිය යොදලා සමූල ඝාතන ප්‍රහාරයක් දියත්කරන බව අපට විශ්වාසයි...අපේ ශිෂ්ඨාචාරයට වැඩිම වුනොත් තව සතියක් පවතින්න පුලුවන් වෙයි..........."

"ඊට පස්සේ?"

"ඊට පස්සෙ......අපි කවුරුවත් ජීවතුන් අතර ඉන්න එකක් නෑ........." රසීනා සුසුමක් හෙලුවා.


අවසන් සටන

"ඔයාගෙ නම් ඔලුව නරක්වෙලා.............ඔයා නුවණක්කාර කොල්ලෙක්, ඒත් ඔයා හිතනවද මේක නීර්ගේවත් පිලිගනී කියලා....?" සිෆ්, තේජන ඇඳ තිබූ කටුසටහන දෙස විමසුම් දෑසින් බලමින් ඇසුවා.

"දැන් අපිට මොනවද නැති වෙන්න තියෙන්නේ සිෆ්..? ඔයාලගෙ ලෝකට තව දවස් දෙකතුනයි...."

"අපිට සැළසුම් තියෙනවා........?"

"මොනවගේ ඒවද?"

"මට කියන්න බෑ........"

"බැරිද? දන්නෙ නැද්ද?"

"දන්නවා.......කියන්න බෑ..."

"ඇයි? මම කාටහරි කියයි කියලද?.......සිෆ්....මම මෙහෙ නැවතිලා ඔයා එක්ක මරණය තෝරාගත්ත කෙනෙක්......ඒත් මාව විශ්වස නැද්ද...?"

“රජ පවුලයි, තෝරාගත්ත කණ්ඩායමකුයි රහසිගත භූගත බළකොටුවලට යවන්න ඔක්කොම ලෑස්තියි.......එයාලා ආරක්ෂාවෙලා අන්ධෙරා වර්ගයයි, වාමන වර්ගයි ඉදිරියට ගෙනියයි.....අපි නැතිවෙන්නේ නෑ.........."

"කීදෙනෙක්ද?"

"හාරදාහක් විතර...."

"මේ ග්‍රහලෝකයේ ජීවිත ලක්ෂ ගණනක්ති යෙනවා.........මම හදන්නේ ඒ අයව බේරගන්න..."

"තේජන.....අපි හැමෝටම මේකෙන් ගැලවෙන්න බෑ.........ඒත් ඔයාට පුලුවන්........."

"සිෆ්!!!!!!! ඒ විධියටද මම ගැන හිතන්නේ..........?" තේජන කෝපයෙන් කෑ ගැසුවා.

"නෑ නෑ....මම නිකන් කිව්වේ.........ඔයා මැරෙන්න අවශ්‍ය නෑ.......තරහ වෙන්න එපා...."

"කෝ මෙහෙට දෙන්න ඕක........මම යනවා නීර්ගේ හම්බුවෙන්න......."

"තේජන.......ඔයාට එයාව හම්බුවෙන්න බෑ........එයලා හැමෝම ආරක්ෂිත තැන්වල........"

"ඔයාට නීර්ගේට කිසිම පණිවුඩයක් යවා ගන්න බැරිද?"

සිෆ් හිස.දෙපැත්තට වැනුවා. ඒත් ඇගේ දෑස් ඇය කියන්නේ බොරු බව හෙලිකලා.

"ඔයා බොරුකියන්න දන්න කෙනෙකෙ නෙමෙයි සිෆ්......."

"තේජන....මම කියනදේ අහන්න.........." සිෆ් තේජනගේ දෑත් අල්ලා ගත්තා. "ඔයාගේ සැලැස්ම වැඩකරන්නෙ නෑ තේජන........ඔයා දැක්කා නේද තිදියන්ගේ කඩා වැටිච්ච තාරකා නෞකාව කොච්චර විශාලද කියලා......? පොඩි යානාවක් වැද්දුවා කියලා ඒකට මුකුත් වෙයි කියලා හිතනවද......."

"නිකන් වද්දනවා නෙමෙයිනෙ සිෆ්.......ඒකෙ ලොකු බෝම්බයක් තියෙනවා..........."

"එහෙම බෝම්බ තියෙන්නේ ඔයාලගෙ ලෝකෙ තේජන.......මෙහෙ එහෙම ඒවා නෑ........."

"අපි නීර්ගේ ගෙන් අහමු.........මම හිතනවා එයා නොකියන දෙයක් තියෙනවා කියලා...."

"ඔයා කොහොමද එහෙම කියන්නේ?"

"මෙහෙමයි සිෆ්........මේවා වටිනා යුධ යානා.......ඒවා සතුරන් අතට පත්වෙන එක නවත්වන්න උපක්‍රම තියෙන්න ඕනෑ......."

"ඒ කියන්නේ........?"

"මම අනුමාන කරන විධියට තිදියන්ගේ යානාවල ස්වයං-විනාශක (self-destruct) උපක්‍රමයක් තියෙනවා කියලා.......සතුරන් අතට පත්වෙන කොට ඒක පුපුරවලා විනාශකරලා දාන්න උපක්‍රමයක් තියෙන්නම ඕනෑ....."

"එහෙනම් ඇයි අන්තිම සටනේදී අපේ අය අල්ලාගත්ත යානය පුපුරා නොගියේ......."

"සමහරවිට ඒක ක්‍රියාත්මක කරන්න සූදානම් කරලා නොතිබෙන්න ඇති...තිදියන් කිසිම විධියකින් අන්ධෙරාවන් තාරකා යානයකට කඩා වදියි කියලා අනුමාන කරන්න නැතුව ඇති....ඒ නිසා ස්වයං-විනාශක උපක්‍රමය ක්‍රියාවිරහිත කරලා තියෙන්න ඇති...ඒත් තිදියන්ගේ එකම හතුරෝ අපි විතරද?"

“තේජන......ඔයා වෙහෙසෙනවා වැඩියි…...ඔයා ඔලුව අවුල්කරගෙන......මේක අපිට දිනන්න පුලුවන් සටනක් නෙමෙයි........." සිෆ් දුබල පරාජිත හඬකින් පැවසුවා. ඇය ඔහුගේ දෑස් දෙසම බලාගෙන සිටියා. ඔහුගේ දෙකම්මුල් දෑතින් ගත් ඇය ඔහු දෙතොල් මත ඇයගේ දෙතොල් තබා සිපගත්තා. ඔහුගේ මෙන්ම ඇයගේ දෑස්ද කඳුලින් තෙත්ව තිබුණා.

"පරදිනකන් දිනන්න උත්සහ කරමු....." 

“මම කවදාකවත් මැරෙන්න බය වුනු කෙනෙක් නෙමෙයි........ඒත් දැන් මට දුකයි....... ඒ ඔයා දාලා යන්න වෙන නිසා.....ඔයා මාත් එක්ක ඉන්නවා නේද?" තේජනගේ උර මත හිස තබාගත් සිෆ් මිමිණුවා.

"ඔෆ් සිෆ්....අන්තිම හදගැස්ම වෙනකන්ම...." ඔහු ඇය වැලඳගෙන හිස සිපගනිමින් තෙපලුවා.


~ / ~


"ඇයි අපි මේ පෘථිවියෙන් ආපු පොඩි කොල්ලෙක්ගේ විකාර සැලස්මක් වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ?" අග්‍ර මණ්ඩලයේ වයස්ගත සිවිල් නියෝජිතයෙකු හඬ නැගුවා. 

කිහිපදෙනෙකු එකවර කතාකරන්නට පටන්ගත් නිසා ගාලගෝට්ටියක් මෙන් ඇසුනා. මහ රැජිණ සුරත ඔසවා නිහඬවන්නට යයි සංඥා කිරීමෙන් කලබැගෑනිය ක්ෂණිකව නැවතුනා. අඩ කවාකාර මේසයක වටා අසුන් පනවා අග්‍රමණ්ඩලයේ සිවිල් හා යුධ නියෝජිතයින් සිටි අතර රැජිණ දෙපිරිස ඉදිරියෙන් රාජාසනයේ අසුන්ගෙන සිටියා. යුධ නියෝජිතයින් පිටුපසින් නීර්ගේ සිටි අතර ඔහු සමග තවත් ජේෂ්ඨ යුධ සෙනෙවියන්, ඔත්තුසේවා නායකයින්ද සිටියා. සිෆ්, හාෂ් හා තේජන ඊට පසුපසින් වූ අසුන්වල සිටියා. රසීනා හා සිවිල් බුද්ධි මණ්ඩලයේ ජේෂ්ඨයින්, අග්‍ර මණ්ඩළයේ සිවිල් නායකයින් පසුපසින් අසුන්ගෙන සිටියා.

ගාම්භීර හා සන්සුන් හඬින් මහ රැජිණ සභාව ඇමතුවා.

"අපි මේ රැස්වෙලා ඉන්නේ පෘථිවි වැසියාගේ සැලැස්ම ගැන කතාකරන්න විතරක් නෙමෙයි. මේ රැස්වෙලා ඉන්නේ අවසන් ප්‍රහාරයට පෙර අවසන් සැලසුම් ක්‍රියාත්මක කරන්න. මෙයින් පස්සේ කවදා අපට රැස්වෙන්නට පුලුවන් වේවිදැයි දන්නේ නෑ. අප අතරින් කීදෙනෙකු ජීවත් වේදැයි කියන්නත් බෑ..... ඒ නිසා කලබැගෑනි ඇති කර නොගෙන පෘථිවි වැසියාට ඔහුගේ සැලැස්ම විස්තර කරන්න ඉඩ දෙමු...."

මද වෙලාවක් ගතවෙන විට තේජන කටු සටහනක් ලෙස කොළ කැබැල්ලක ඇඳ තිබූ සැලැස්ම විශාල කැන්වසයක් මත ප්‍රතිරූපනය කොට එය අග්‍ර මණ්ඩලය ඉදිරියේ දිග හැරුනා. නීර්ගේ දී තිබූ අණ පරිදි ඔහුගේ සැලසුම් ශිල්පීන් එය ඉතාමත් පිලිවෙලට ඉන්ජිනේරු සැලැස්මක් මෙන් දැක්වෙන ආකාරයට ප්‍රතිරූපනය කොට තිබුණා.

 මොහොතකින් සභාවේ මහලේකම් හා තෝල්ක ලෙස කටයුතුකල වාමන ගෝත්‍රිකයා නැගී සිට..."පෘථිවි වැසියාට සිය සැලැස්ම විස්තර කරන ලෙස මහ රැජිණ අණකර සිටී...." යනුවෙන් පැවසූ අතර තේජන නැගී සිටිද්දී අසලින් අසුන්ගෙන සිටි සිෆ් ඔහුගේ සුරත මිරිකුවා. අන්ධෙරාවන් සිය මහරැජින ඇමතීමට පෙර ඇයට ආචාර කරන ආකරයට හිස නමා ආචාර කල තේජන සිය සැලැස්ම ඇඳ තිබූ විශාල කැන්වසය අසලට ගියා.

"ගෞරවණීය මහ රැජිණියනි, මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපිට තිදියන් ගෙන් අල්ලාගත් යානා නවයක් ඕනෑ වෙනවා. අටක් කක්ෂයේ රැඳී සිටිමින් එකිනෙකා හා ගුවන්විදුලි පණිවුඩ වලින් සම්බන්ධවෙමින් තිදියන්ගේ තාරකා දොරටුව විවර වන්නේ කොතැනදැයි දිවා රෑ විමසිල්ලෙන් සිටිය යුතුයි. නව වැනි යානය කක්ෂයේ යම් තැනක රඳවා තිබෙන්න ඕනෑ. ඔත්තු බලන යානා තිදියන්ගේ තාරකා දොරටුව විවර වී පලමුවැනි තාරකා නෞකාව එය තුලින් මතුවෙන විටම ඒ පණිවුඩය නව වැනි යානය, එනම් ප්‍රහාරක යානයට යැවිය යුතු වෙනවා. එසැණින් ක්‍රියාත්මක වෙන ප්‍රහාරක යානාව  තිදියන්ගේ තාරකා නෞකාව තාරකා දොරටුවෙන් පිට වී අන්ධෙරාව වටා කක්ෂගත වීමට පෙර එහි ගැටී පුපුරුවා ගත යුතුයි..."


තේජන සිය වාක්‍යය අවසන් කරනවාත් සමගම අන්ධෙරා සටන් හමුදා ප්‍රධානී සිය සුරත එසවූවා. මහ රැජිණ ඔහුට අවසර දෙමින් හිස සැලුවා.

“පෘථිවි මානවකය, මේ තාරකා යානා කොතරම් විශාලදැයි ඔබට අවබෝධයක් තිබෙනවාද?”

“ඔවු, මට පෘථිවි මාන වලින් කතාකරන්න අවසර ලැබෙනවානම්, මේ යානා මීටර් 2000ක් පමණ දිගයි, පලල්ම තැනදී මීටර් 400ක් විතර පලල්, උසම ස්ථානය මීටර් 300ක් විතර.”

"හරි, ඒ කියන්නේ විශාල කන්දක් තරම් ලොකුයි කියන එකනෙ... ඔබ හිතනවාද කුරුල්ලෙක් විශාල කන්දක හැපුනම කන්දට මොනවා හරි වෙයි කියලා?"

මොහොතක් නිහඬව සිටි තේජන... "ඔව් සෙනෙවිතුමනි, ඒ කුරුල්ලා විශාල බෝම්බයක් අරගෙන කන්දේ හැපුනොත්..."

සභාවේ සිටි කිහිප දෙනෙකු සෙමින් සිනහසෙන ආකාරය ඔහුට ඇසුනා. සිෆ්ගේ මුහුණ බැලූ ඔහුට ඇය සුරතින් මුව වසාගෙන හිනැහෙනු පෙනුනා. සිනහවට ඇගේ සුන්දර දෑස් පුංචිවී තිබුණා. සිෆ් ඔහුගේ කවට කතාවලට ආශාකලා. 

"එයා මට කැමති වෙන්න ඇත්තෙත් මම කියන විහුලු කතාවලට වෙන්ඩැති...නැතිනම් මගේ මොනවට කැමතිවෙන්නද?" 

අන්ධෙරාවන් අතර හාස්‍යය ඉතා දුලබ වුනා වසර සිය ගණනක් නොනවතින යුද්ධයකින් හෙම්බත්වුනාම හාස්‍යය, විනෝදය කියන්නේ මොකක්ද කියලා අමතක වෙන්න පුලුවන්.

"මම ඔබගේ විහිලු කතාවලට කැමතියි... ඒත් පෘථිවි මානවකයා දන්නවද ඔය කියනව වගේ විශාල බෝම්බයක් තියෙන තැනක්.....එහෙමත් නැතිනම් ඔබ හිතාගෙන ඉන්නවද ආයෙ පෘථිවියට ගිහිල්ලා එහෙම බෝම්බයක් අරගෙන එන්න?........මහ රැජිණියනි, මේ සැලැස්ම කාලය නාස්ති කිරීමක්... තිදියන්ගේ තාරකා යානයකට පොඩි හානියක්වත් කරන්න පුලුවන් ආයුධයක් අපි ලඟ නෑ....ඒකයි ඇත්ත...මේ මානවකයා දැනට අපට කරලා තියෙන උදව් වලට ඔහුට වටිනා ත්‍යාගයක් දීලා මෙහෙන් පිටමන් කරන්න ඕනෑ....ඔහු මෙහෙ මැරෙන්න අවශ්‍ය නෑ.....ඔහුට තව ගොඩක් කල් ජීවත් වෙන්න පුලුවන් ආපහු පෘථිවියට ගියොත්..."

සභාවේ සිවිල් හා යුධ නායකයි බොහෝ දෙනෙක් ඒ යෝජනාව අනුමත කල බව පෙනුනා. ඒ සමගම මහ රැජින සුරත ඔසවා සභාව නිහඬ කලා.

“සෙන්පතිතුමා, ඔබ දන්නවා සටනකදී පැනලා යන්නේ කොයිවගේ අයද, නැවතිලා සටන් කරන්නේ කොයිවගේ අයද කියලා.....මොහු මැරෙන බව දැන දැනත් කැමැත්තෙන් මෙහි නවතින්න තීරණය කල කෙනෙක්. කවුරුවත් ඔහුව බලෙන් නවතාගෙන නෑ....ඔහු හරි වුනත්, වැරදි වුනත් ඔහු උත්සහ කරන්නේ හැකි පමණින් අපිට උදව් කරන්න...ඒක ගෞරවනීයයි..."

"මට සමාවෙන්න මහ රැජිණියනි..ඔබතුමියගේ අදහස මා එක හෙලා පිලිගන්නවා....ඒත් මගේ තර්කය ...මේ සැලැස්ම ප්‍රායෝගික නොවන කාලය කා දැමීමක්...."

"ඔහුගේ සැලැස්ම නිවැරදියි කියලා ඔප්පු කරන්න ඔහුට අවස්ථාව දෙන්න....ප්‍රශ්ණ තියෙන අය ඔහුගෙන් අහන්න..." රැජිණිය විධාන කලා.

“එහෙමයි මහරාජිණියනි..........හරි...අපි නිකමට හිතමු...ඔබගේ මේ වියරු සැලැස්ම හරිගියා කියලා......එතකොට එක තාරකා යානාවක් විනාශයි.......ඔබ හිතන විධියට එන්නේ එක තාරකා යානයද? ගිය සැරේ තුනක් ආවා......මේ සැරේ එකයි...?” 

“මගේ සැලැස්ම තාරකා නෞකාව විනාශකරන එකම නෙවෙයි. මට රසීනා මාන්තා කියලා දුන් විධියට තාරකා දොරටුවක් කියන්නෙත් හරියට එක කාමරයකින් තව කාමරයකට යන දොරක් වගේ. දොර ඇරලා තියෙන කොට එක කාමරයක ඉඳලා බැලුවම අනෙකේ ඇතුල පේනවා. ඒවගේම මේ කාමරේ ඉඳන් අනෙක් කාමරයේ ඉන්න කෙනෙකුට මොකකින් හරි ගහන්නත් පුලුවන්...." තේජන කියද්දී රසීනා එය අනුමත කරමින් හිස වැනුවා.

“ඒ කියන්නේ අපිට පුලුවන්නම් තිදියන්ගේ තාරකා දොරටුව විවර වෙලා තියෙන කොට එයට ඉදිරියෙන් ඉන්න, අපිට තිදියන්ගේ සෞරග්‍රහමණ්ඩලය පේන්න ඕනෑ...ඒ වගේම තිදියන්ගේ තාරකා දොරටු ජනකය පේන්න ඕනෑ. මම යෝජනා කරන්නේ තිදියන්ගේ තාරකා නෞකාව දොරටුවෙන් එලියට එනකොටම එහි වද්දලා පුපුවරන්න. එතකොට එය පිපිරීමෙන් එන බිහිසුනු කම්පණ තරංගය තාරකා දොරටුව හරහා තිදියන්ගේ තාරකා දොරටු ජනකය වෙත යනවා.”

“මගේ බලාපොරොත්තුව මේ කම්පණ තරංගය තිදියන්ගේ තාරකා දොරටු ජනකය අස්ථාවර කරලා කරලා අක්‍රිය කරවයි කියලා. අපි වාසනාවන්ත වුනොත්, එය පාලනයයෙන් තොරව අස්ථාවර වෙලා පුපුරලා යන්න ඉඩ තියෙනවා.”

"පෘථිවි වැසියා....ඔබගේ මනඃකල්පිත සැලැස්ම සැබැවින්ම අපූරුයි...ඒත් කන්දක් වැනි විශාල මේ තාරකා යානාවක් පුපුරවන් තරම් ලොකු බෝම්බයක් අපට නැති නිසා කණාටුවෙන් කියන්න වෙන්නේ ඕක සුරංගනා කතාවක් විතරයි කියලා...."

මේ මොහොතේ ඔත්තුසේවා ප්‍රධානී නීර්ගේ අත එසවූවා. එය දුටු නෙෆරිසී රැජිණ; 

"ඔව් නීර්ගේ....?"


"මහ රැජිණියනි, මීට වසර 12කට පෙර, ඔබතුමියගේ රහස්‍ය අවසරය මත මගේ මූලිකත්වයෙන් කඩා වැටුනු තාරකා යානය පූර්ණ පරීක්ෂාවකට ලක් කරලා, අපට ලබාගන්න පුලුවන්, ඉගෙන ගන්න පුලුවන් හැම දෙයක්ම අරගන්න සැලැස්මක් හැදුවා....ඒ සැලැස්ම මේ වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක වුනා..."

“මීට අවුරුදු තුනකට විතර ඉස්සෙල්ලා, ඔය යානාවේ ප්‍රධාන එන්ජින් යන්ත්‍ර තිබෙන කොටසේ මුද්‍රා ලද කුටියක් හමුවුනා. එය විවෘත කරගන්න බැරුව සෑහෙන කලක් අපි විවිධ උත්සහයන් දැරුවා. ඒ කුටිය විවිර කරන්න, නෞකාවේ ප්‍රධානියා නැතිනම් කපිතාන්ගේ Q ඩිවයිස් එක ඕනෑ බව අපට තේරුම් ගියා. බොහොම අමාරුවෙන් අපේ තාක්ෂණවේදීන් කපිතාන්ගේ Q ඩිවයිස් එකට සමාන අනුරූපනයක් හදාගෙන ඒ කුටීරය විවර කලා.”

“ඒතුල අඩි දහයක් පමණ දිග, අඩි පහක් පමණ පලල, අඩි 4ක් පමණ උස පෙට්ටියක් වැනි යමක් තිබුණා. එහි මතුපිට, අමුතු සළකුණක් තිබුණා. එය තිදියන් භාවිතා කරන රූපාක්ෂර හෝ ඔවුන්ගේ හමුදාමය සළකුණු වලට වඩා වෙනස්. මේ පෙනෙන්නේ ඒ සළකුණ..."


“මේ සළකුණේ තේරුම හොයාගත්තේ අපේ රසීනා විද්වතිය. ඇය සොයාගත් විධියට තිදියන්ගේ භාවිතා කරන මේ සළකුණේ තේරුම "ස්වයං නිරුද්ධිය" නැතිනම් “ස්වයං විනාශය.”

“එනම්, යම් අවස්ථාවකදී තාරකා යානය සම්පූණයෙන්ම විනාශකල යුතුනම්, ඒ සඳහා භාවිතාකල හැකි අධිබල බෝම්බයක් ඒ කුටීරය තුල තිබුනා. එය ඉතාමත් ආරක්ෂිත විය යුතු නිසයි, නෞකා කපිතාන්ගේ පෞද්ගලික Q ඩිවයිසයෙන් පමණක් ඒ කුටීරය අරින්නටත්, එම බෝම්බය සක්‍රිය ක්‍රවන්නටත් හැකි ලෙස හදලා තිබුණේ. “

"මහ රැජිණියනි... පෘථිවි වැසියාගේ සැලැස්ම ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය අධිබල බෝම්බයක් අප සතුව තිබෙනවා.....මේ සැලැස්ම ප්‍රායෝගිකයි...පෘථිවි වැසියා ඉස්සෙල්ලම මේ අදහස දැනගන්න සැලැස්සුවේ මට....මෙය ප්‍රායෝගික නොවුනානම් මම කිසිවිටකත් ඔහුගේ සැලැස්ම මේ සභාවට ඉදිරිපත් කරන්නේ නෑ......කාදමන්නට කාලයක් අපට නෑ"

නීර්ගේ කතාව අවසන්කල වහාම අත්පොලසන් නාදයෙන් සභාව ගිගුම් දුන්නා.

"අවසන් සටනට සැරසෙනු....!" නෙෆරිසී මහරාජිණිය විධානය කලා.

“තේජන සිෆ් දෙස බැලුවා....ඇය සිදුවෙන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව තුෂ්නිම්භූතව සිටියා…”

"තේජන....ඔයා කොහොමද දැනගෙන හිටියේ?"

"මම කිව්වනෙ සිෆ්....මම දැනගෙන හිටියේ නෑ......අනුමාන කලා විතරයි....මගේ අනුමානය හරි...!" ඔහු ආඩම්බරයෙන් කිව්වා.




~ / ~


"පලමුනි පිපුරුම නිරීක්ෂණය වුනා....." බෝම්බය රැගත් ෂටල් යානය තිදියන්ගේ තාරකා යානයේ ගැටුන බව නිරීක්ෂණ ෂටල් යානා වාර්තා කරනවා.

"දෙවෙනි පිපිරුමක් වාර්තා වෙනවා......"

"තිදියන්ගේ තාරකා දොරටු ජනක යන්ත්‍රයද?"

"නෑ නෑ.......පේන විධියට ඒ තාරකා යානයේ ස්වයං නාශක උපක්‍රමය ක්‍රියාත්මක වෙලා....."

"තුන්වෙනි පිපුරුමක් නැද්ද?"

"නෑ......තාරකා දොරටුව තවමත් විවෘතයි..”

"දැන් තත්පර 90 පහුවෙලා.....තුන්වෙනි පිපුරුම වාර්තා වෙන්නේ නැද්ද?"

"තාරකා දොරටුව තවමත් විවෘතයි....."

"පොඩ්ඩක් ඉන්න....ෂටල් යානා වලින් පණිවුඩයක් එනවා.........පණිවුඩය පැහැදිලි නෑ.......රේඩියෝ පණිවුඩ අවහිර වෙනවා........""

"හරි!!!!......තුන්වෙනි පිපුරුම වාර්තා වෙනවා........තාරකා දොරටුව  වැසී ගියාලු......."

"තිදියන්ගේ තවත් තාරකා යානා කක්ෂයට ඇතුලු වෙලා තියෙනවද?"

"නෑ.....එකකටයි එන්න පුලුවන් වුනේ......ඒක විනාශයි......තාරකා දොරටුව වැසී ගියා......."

“පෘථිවියාගේ සැලැස්ම හරිගියා......අන්ධෙරාව ආරක්ෂිතයි!...”





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. Superb..very interesting .thank you.

    ReplyDelete
  2. Very well-crafted SF. Congrats.

    ReplyDelete
  3. නියම ප්‍ර‍බන්ධයක්, එක හුස්මට කියවන් ගියා පැය 3ක්. කලින් එකට වඩා මේක හොදයි වගේ. දිගටම ලියන්න ධෛර්‍යය හා ශක්තිය ලැබේවායි පතමි!

    ReplyDelete

Post a Comment