COLONIAL HISTORY: යටත් විජිත යුගවළදී කොළඹ ස්ථාන නාම හැදුනු හැටි


යටත් විජිත යුග ඉතිහාසය හැදෑරීමේ වැදගත් කම

කොළඹ ඓතිහාසික නගරයක් නොව, කෝට්ටේ රාජධාණිය සමයේදී වරාය නිසා ප්‍රසිද්ධ වී පෘතුග්‍රීසි හා ලන්දේසි සමයන් හිදී පහත රට කුරුඳු හා පොල් වගා අස්වැන්න අපනයනයේ කේන්ද්‍රස්ථානය වූ නගරයකි.

පෘතුග්‍රීසීන් විසින් අද කොළඹ එචිලොන් චතුරශ්‍රය ලෙස හඳුන්වන, ලංකා බැංකු මූලස්ථානය, ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණු දෙක, මහ බැංකුව මෙන්ම රජ ගෙදර (ජනාධිපති මන්දිරයද) පිහිටි පෙදෙස් වටකරගත් බළකොටුවක් තැනීය. 

ලන්දේසීන් එය වඩාත් ස්ථාවරකරමින්, විශාල කල අතර, බේරේ වැවද විශාල කලාහ. එමෙන්ම පුත්තලමට තෙක් හැමිල්ටන් ඇළ කපා, බටහිර වෙරළතීරයේ පොල් හා කුරුඳු අස්වනු කොළඹට ගෙන ඒමට විශාල පරිශ්‍රමයක් දැරුවේය. දකුණින් ගාල්ල, මාතර පසුකොට යනතෙක් පොල්, කුරුඳු ගම්මිරිස් වගා ව්‍යාප්තකරමින් කැළණි ගඟ උපයෝගීකරගෙන බස්නාහිර පලාතේ මුහුදු බඩින් ඈත පෙදෙස් හා සබරගමුවේ කුළුබඩු, මැණික්ද කොළඹට අදිමින්, රටේ සාරය VOC සමාගමට උරාගන්නට හැකි සෑම දෙයක්ම කලෝය. 

VOC සමාගම දකුණු හා නැගෙනහිර ආසියාවේ ධනය උරාගැනීම සඳහා ඕලන්ද රජුගෙන් නිළ ඒකාධිකාරිය ලබාගෙන තිබූ නිසා ඔවුන් ගෙවන බදුවලින් ඕලන්ද රජපවුලද, ලාභයෙන් දහස්ගණන් ඕලන්ද ආයෝජකයින්ද පොහොසත් විය.

මේ සියල්ලෙන්ම කොළඹ නගරය ස්ථාවරවී විශාල වෙමින් ගිය අතර, යුරෝපීය හා ආසියාතික ජාතීන් (මැලේ, දකුණු ඉන්දියානුවන්) මෙන්ම යෝනකයින් හා අරාබීන්ද කොළඹ ව්‍යාපාර කටයුතු වලින් ලාබ ලබන්නට උත්සහ කලෝය.

ඉංග්‍රීසීන් පැමිණ කන්ද උඩරට යටත් කරගෙන කෝපි හා තේ වගා ඇරඹිමෙන් හා බ්‍රිතාන්‍ය ලංකාවේ පරිපාලන කේන්ද්‍රය කොළඹ බවට පත්කර ගැනීමෙන් කොළඹ නගරය සීග්‍ර ලෙස දියුණුවීම ඇරඹුන අතර, සිංහල ව්‍යාපාරික පෙලැන්තිය හා ප්‍රභූ පෙලැන්තියේ නැග්මද එයින් ආරම්භවිය. ලංකාවේ බෞද්ධ පුනරුදය ඇරඹුනේද, මාගේ පාසැල වන ආනන්ද විද්‍යාලය, නාලන්දය, විසාකාව, මියුසියස් විද්‍යාලය මෙන්ම රටපුරා තවත් පාසැල් බිහිවුනේද මෙම ව්‍යාපාරික පෙලැන්තියේ අනුග්‍රහයෙනි. 

ද්‍රවිඩ හා යෝනක ව්‍යාපාරිකයින්ද ධනවත්වී තම තමන්ගේ ජාතින්ටද පාසැල් බිහිකරමින් තම තරුණ පරපුර උගතුන් කරන්නට වෙහෙසුනි. ජාතික වීරයින් අතර සිංහල බෞද්ධ, සිංහල කතෝලික, සිංහල ක්‍රිස්තියානි මෙන්ම ද්‍රවිඩ, මැලේ, යෝනක හා බර්ගර් ජාතිකයින් සිටින්නේද ඒ අනුවය. ඔවුන් බිහිවුනේ කොළඹ නගරය ආශ්‍රිතව බිහිවුනු දේශීය ව්‍යාපාරික පෙලැන්තියෙනි.

1505 - 1948

ඒ අනුව 1505/6දී ලොරෙන්සෝ ද අල්මේදා සැපත්වීමෙන් ආරම්භ වී 1948 පෙබරවාරි 4 වැනිදා අවසන්වූ වසර 443ක  යටත් විජිත ඉතිහාසය අප කැමති වුවත් අකමැති වුවත් මේ රටට ඉතාමත් වැදගත් පරිච්ඡේදයකි. 

අවුරුදු 440ක් යනු විශාල කාලයකි. ඇමරිකාව වැනි රටවල්වල මුළු ඉතිහාසයම මෙයට අඩුය. 1585දී ඇමරිකාවේ මුල්ම යුරෝපා කොළණිය බිහිවූ අතර අදවන විට ඇමරිකානු ජාතියේ වයස අවුරුදු 435කි. අපගේ යටත් විජිත ඉතිහාසය පමණක් ඊට වඩා දිගුවේ.

යටත් විජිත ලංකාවේ ඉතිහාසය, එනම් පෘතුග්‍රීසි ලංකාව, ලන්දේසි ලංකාවේ හා බ්‍රිතාන්‍ය ලංකා ඉතිහාසය හැදෑරීම ඉතා වැදගත් වන තවත් හේතුවක් නම් විජාතීන් ලංකාවේ බලය අල්ලාගැනීමට සිදුකල නානාප්‍රකාර මෙහෙයුම් හා එම බලය තහවුරු කරගැනීමට සිදුකල මෙහෙයුම්ද අධ්‍යයනය කිරීමට හැකිවන බැවිනි.

එසේ වෙතත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සම්පත් හා විශේෂඥ දැනුම බොහෝ සෙයින් වෙන්වන්නේ ප්‍රාග් ඓතිහාසය හා අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා ඉතිහාසය හැදෑරීම හා සංරක්ෂණය කිරීම සඳහා බව පෙනේ.

යටත් විජිත යුගයේ බිහිවූ කොළඹ නගරයේ ස්ථාන නාම.

චෙක්කු වීදිය (දැන් ශ්‍රී කදිරේසන් වීදිය)

චෙක්කු වීදියට (කොළඹ 13) ඒ නම ලැබී තිබෙන්නේ ද්‍රවිඩ වචනයක්වූ චෙක්කු හෙවත් ඇඹරීමෙන් තෙල් ලබාගැනීම යන්නෙන්. තෙල් හිඳ අලෙවි කිරීමේ ව්‍යාපාරය මෙම වීදිය ආශ්‍රිතව වසර සිය ගණනක් පුරා සිදුවී තිබෙනවා.

සිල්වර් ස්මිත් වීදිය (දැන් ශ්‍රීමත් බණ්ඩාරනායක වීදිය)

කොළඹ 12 අලුත්කඩේ ප්‍රදේශයට ඒ නම ලැබී ඇත්තේ අතීතයේදී සිල්වර් ස්මිත් හෙවත් රිදී භාණ්ඩ සාදන්නන් එම වීදියේ සිය කර්මාණ්තය සිදුකල නිසා බව කියවේ.

බංගසාල වීදිය

1505 පෘතුග්‍රීසින් පැමිණෙන විට කොළඹ වරාය අසල තිබූ කුඩා නගරයේ බඩු ගබඩා තිබූ වීදිය බංග්සල් (bangsal - ගබඩා) වීදිය හෙවත් බංගසාල වීදිය වූ බව පැවසේ. කෙසේ වෙතත් බංග්සල් යනු පෘතුග්‍රීසි වචනයක් නොව එය ඉන්දියාවෙන් පෘතුග්‍රීසීන් අහුලාගත් වචනයක් බව පැවසේ. 

තවත් මතයක් නම් බංග්සල් යනු ජාවා-මැලේ යනු වචනයක් බවයි. එහි තේරුමද ගබඩා යන්නයි.

මිලාගිරිය

බම්බලපිටියේ මිලාගිරිය ස්ථාන නාමය පෘතුග්‍රීසි ආභාශයෙන් බිහිවුනා. පෘතුග්‍රීසීන් ගොඩනැගූ Nos Señora dos Milagres (Our Lady of Miracles) නම් රෝමාණු කතෝලික දේවස්ථානය  පිහිටි ප්‍රදේශය මිලාග්‍රේස් වලින් සිංහලට අනුවර්තනයවී මිලාගිරිය නම්වුනා. 

දැන් මිලාගිරියේ ඇති ඇන්ග්ලිකන් නිකායට අයත් සුප්‍රකට ශාන්ත පාවුලු දේවස්ථානය, නො සෙනොරා දෝ මිලග්‍රේස් දේවස්ථානය පිහිටි භූමියේ ඉංග්‍රීසීන් විසින් ගොඩනගා තිබෙනවා



ග්‍රෑන්ඩ්පාස්

පෘතුග්‍රීසි පාලන සමයේ ග්‍රැන්ඩෙ පාසා (Grande Passar-great pass) ලෙසින් මෙම පෙදෙස හඳුන්වා ඇති අතර ඕලන්ද සමගේ ගෲටෙ පාස් (Groote Pas) ලෙසත් පසුව ඉංග්‍රීසීන් විසින් පහසුව සඳහා ග්‍රෑන්ඩ්පාස් ලෙසත් අනුවර්තනය කරගෙන තිබෙනවා.

පෘතුග්‍රීසි භාශාවෙන් ග්‍රැන්ඩෙ පාසා යනු great pass හෙවත් ප්‍රධාන එතරවීම ලෙස සැළකිය හැකිය. එසේ නම්කරන්නට හේතුව ග්‍රෑන්ඩ්පාස් හි නාගලගම් වීදිය කෙලවර වන කැළණි ගං ඉවුරේ, ගඟ හරහා පෑලියගොඩ දෙසට එතර වන ප්‍රධාන තොටුපොල පිහිටා තිබීම නිසාය. මෙම තොටුපල පැරණි වික්ටෝරියා පාලමට මදක් ඈතින් තිබූ බවට අනුමාන කරනවා.

පැස්බෙටල් වීදිය

දැන් මට්ටක්කුළිය-මුට්වාල් ප්‍රදේශයේ ශ්‍රී වික්‍රම මාවත එකල පැස්බෙටල් මාවත (Pasbetal Street) ලෙස හැඳුන්වුනා. ශ්‍රී වික්‍රම මාවතද කැළණි ගංඟ අසලටම යන අතර එම ස්ථානයේදී පෘතුග්‍රීසි සමයේදී තවත් තොටුපොලක් පිහිටා තිබුණා. අනෙක් පසින් පිහිටි වත්තල ප්‍රදේශයට බෝට්ටු සේවයක් තිබූ අතර වත්තල දෙසට එතර වන ස්ථානය හෙවත් පාස් වත්තල Pas Wattala යන්නෙහි පෘතුග්‍රීසි උච්චාරණය ලෙස පාස්බීටල් ලෙස නම් වුනු බව දක්වනවා. පැස්බෙටල් යන්නෙහි තවත් අර්ථකතනයක් වන්නේ බෝට්ටුවෙන් එතර වන ස්ථානය, Pass Boat  හෙවත් පැස්බීටල් වුනු බවයි.

වුල්ෆෙන්ඩාල් (ආදුරුප්පු වීදිය)

ඕලන්ද යුගයේ කොළඹ කොටුවට එපිටින්  කොළඹ වරාය හොඳින් පෙනෙන උස් භූමියක පෘතෘග්‍රීසි නාවිකයින් විසින් ඉදිකරන ලද කුඩා දේවස්ථානයක් වූ අතර ඒ අවට වගුරු බිමෙහි විශාල සිවලුන් රංචු සිටි නිසා, ඔවුන් වෘකයින් ලෙස වරදවා වටහාගත් පෘතුගීසීන් එම පෙදෙස ඇගුවා ඩෙල් ලෝබෝ (água del lobo - වෘකයින්ගේ වගුරුබිම) ලෙස නම්කලා. 

පෘතුග්‍රීසීන් පලවා හැර ලංකාව අල්ලාගත් ලන්දේසීන් එම තේරුමම දෙන වුෆෙන්ඩාල් (wolfendaal) ලෙස එම පෙදෙස නම්කලා. එවක ලංකාව ලන්දේසීන්ගේ Dutch East India Company (VOC) සමාගම මගින් පාලනය කල අතර පෘතුග්‍රීසීන්ගේ කුඩා දේවස්ථානය පිහිටි වුෆෙන්ඩාල් කන්දේ අලංකාර ඕලන්ද රෙපරමාදු දේවස්ථානයක් ඉදිකිරීම 1749 අරඹා 1758දී අවසන් වුනා.

මාලිගාකන්ද හා මාලිගාවත්ත

1587දී සීතාවක රාජසිංහ නරේන්ද්‍රයාණෝ (පලමු රාජසිංහ) කොළඹ පෘතුග්‍රීසි බළකොටුව වටකොට පහරදුනි. මාස නවයක් පුරා කාළතුවක්කු 150කින් හා ඇතුන් 120කින්ද සපිරි 60,000 දහසක සේනාවක් බළකොටුව වටලාගෙන සිටියද පෘතුග්‍රීසීන් යටත් කරගැනීම අපහසුවිය.

සීතාවක රාජසිංහ රජුගේ තාවකාලික වාසස්ථානය වූයේ කොළඹ කොටුවට මදක් ඈතින් වූ උස්බිමකි. රජුගේ වාසභූමිය බවට පත්වූ මේ කඳුගැටය පිහිටි පෙදස මාලිගාකන්ද විය. මාලිගාකන්දේ පිහිටි තාවකාලික රජමාලිගාව වටා පෙදෙස මාලිගාවත්ත නම් විය.

හල්ෆ්ස්ඩෝර්ප්

1655 ඔක්තෝම්බරයේදී ලන්දේසීන්ගේ (ඕලන්දක්කාරයින්) නැගෙනහිර ඉන්දියා වෙළඳ සමාගම හෙවත් VOC (Vereenigde Oost-Indische Compagnie) සමාගමේ කුලීහේවායින් 11,000ක් දෙවැනි රාජසිංහ රජුගේ 16,000ක හේවා බළඇණියක් සමග පෘතුග්‍රීසීන්ගේ කොළඹ කොටුව යලිත් වටකර ගත්තෝය. ලන්දේසි බළඇණියේ නායකයා ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට් වූ අතර ඔහු නිරීක්ෂණ චාරිකාවක් සඳහා බළකොටුවේ බටහිර පෙදෙසේ සිටිද්දී පෘතුගීසි වෙඩික්කරුවෙකු තැබූ වෙඩිල්ලක් පපුවේ වැදී එතනම මිය ගියේය. ජෙනරාල් හල්ෆ්ට්ගේ නිවස්නය හා අණදෙන මූලස්ථානය තිබූ කුඩා කඳුගැටය ඔහු සිහිවීම සඳහා ලන්දේසීන් විසින් හල්ෆ්ට්ස්-ඩෝර්ප් හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය යන නමින් හඳුන්වන්නට පටන්ගත්තේය.

ජින්තුපිටිය

ජින්තුපිටිය පෙදෙස වුල්ෆෙන්ඩාල් පල්ලියේ සිට සිට කිලෝමීටර් භාගයක් පමණ ඈතින් පිහිටි ස්ථානයකි. ගූගල් සිතියම් අනුව වුල්ෆෙන්ඩාල් පල්ලිය පිහිටි පෙදෙස පවා අයත්වන්නේ ජින්තුපිටියටයි.

ජින්තුපිටිය පෙදෙසට ඒ නම ලැබී ඇති අන්දමද රසවත් කතාවකි. ජින්තුපිටිය පෙදෙස අත්පත්කරගෙන සිටි පෘතුග්‍රීසීන් එහි තිබී පුරාතන පර්සියානු අධිරාජ්‍යයේ ක්‍රිස්තියානි නිකායක්වූ නෙස්ටෝරියානු නිකායේ සළකුණු සහිත කුරුසියක් සොයාගෙන තිබෙනවා. එනිසා ඔවුන් එම ස්ථානයේ සැන් තොමේ හෙවත් සාන්ත තෝමස් ශාන්තුවරයා වෙනුවෙන් කුඩා පල්ලියක් ගොඩනගා තිබෙනවා.

සැන් තෝමේ පල්ලිය පිහිටි එලිමහන් පෙදෙස එකල එහි විසූ සිංහලයන් විසින් සැන්තොමේ පිටිය ලෙස හඳුන්වා තිබෙනවා. පෘතුග්‍රීසීන් පන්නාදමා කොළඹ අල්ලාගත් ලන්දේසීන් සිය රෙපරමාදු ක්‍රිස්තියානි ආගමට නොගැලපෙන මේ පල්ලිය බිඳදමා එම පල්ලිය අවට පෙදෙස කනත්තක් බවට හරවා තිබෙන අතර එම කනත්තේ රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයින් නොවන, එනම් විශ්වාස නොකරන්නන් (non believers) සඳහා වෙන්කොට තිබෙනවා. විශ්වාස නොකරන්නන් ලන්දේසි බසින් ජෙන්තියෝ ලෙස හඳුන්වන අතර ජෙන්තියෝ වලලා ඇති පිටිය ජෙන්තියෝ පිටිය හෙවත් පසුකලෙක ජින්තුපිටිය බවට පත්වූ බව විශ්වාස කෙරෙනවා.

අලුත්මාවත

කොළඹ වරායේ ජැටිය අසල සිට කැළණි ගඟ මෝය දක්වා දිවෙන පාර අලුත්මාවත ලෙස හඳුන්වනවා. මේ අලුත්මාවතට නම ලැබුනේ ඕලන්ද ආණ්ඩුකාර පෙට්‍රස් වූයිස්ට්  විසින් අලුතින්ම ගල් අතුරා සකසන ලද අලුත්ම පාරක්වූ නිසා බවයි පැවසෙන්නේ. ඕලන්ද යටත්විජිතයක්වූ ලංකාවට පත්කර එවන ලද 20 වැනි ආණ්ඩුකාරවරයා වූ  පෙට්‍රස් වූයිස්ට් කෲර පාලකයෙකු වූවා. 

ඔහු අතින් බොරු චෝදනා එල්ලවී මරණයට පත්වූයේ ස්වදේශිකයින් පමණක් නොවේ. ඕලන්ද VOC පාලනයේ නිළධාරීන් හා ලංකාවේ පදිංචියට පැමිණ සිටි ඕලන්ද ජනපදිකයින්ද මොහුගේ ද්වේෂයට බඳුන්වී මැරුම්කෑවා. වසර 3ක කුරිරු පාලනයකින් පසු පෙට්‍රස් වූයිස්ට් VOC සමාගමේ මූලස්ථානය වූ ඉන්දුනීසියාවේ බැටාවියාවට ආපසු කැඳවූ අතර එහිදී නඩු විභාගයකින් පසුව හිසගසා මරණයට පත්කොට තිබෙනවා.

විස්ට්වයික් පාර

අලුත් මාවතට සමාන්තරව දිවෙන විස්ට්වයික් පාර, ආන්ඩුකාර වූයිස්ට්ගේ මෝදර පිහිටි නිවෙස වෙත යන මාවතයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

රාස්සමූණ කන්ද (දැන් විස්ට්වයික් ක්‍රීඩාංගණය ) 

නූතනයේ විස්ට්වයික් ක්‍රීඩාංගණය බවට පත්ව ඇති රාස්සමූණ කන්ද  පිහිටි ස්ථානය, 1726 සිට 1729 දක්වා ඕලන්ද (ලන්දේසි ) ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල පෙට්‍රස් වූයිස්ට් සිය මන්දිරය සාදාගත් ස්ථානය ලෙස සැලකෙනවා.

කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 6ක් පමණ ඈතින් මෝදර ප්‍රදේශයේ මෙය පිහිටා තිබෙන අතර එම පෙදසට වූයිස්ට් වයික් - වූයිස්ට්ගේ ගම යන්නෙන් බිඳුනු විස්ට්වයික් යන්න භාවිතා කරනවා.

එම ස්ථානය එකල කරත්තවලට පවා යන්නට නොහැකි අසුපිටින් පමණක් යාහැකි ස්ථානයක් වූ අතර එතැනට ලඟාවීමට පෙට්‍රස් වූයිස්ට් ඕලන්ද VOC සමාගමේ වියදමින් ගල් අතුරා අලුත්ම පාරක්ද තැනෙව්වා. අලුතෙන් සෑදූ නිසා මෙම මාවත අදටත් අලුත්මාවත ලෙස හඳුන්වනවා. 

තම නිවසේ සිට පවා කොළඹ වරායේ නාවික කටයුතු නිරික්ෂණය කල හැකි ස්ථානයක් තමා තෝරාගත් බව, ඔහු ඒ සඳහා සිදුකල වියදම් සාධාරණීකරණය කිරීමට එවක VOC සමාගමේ මූලස්ථානයවූ ඉන්දුනීසියාවේ බැටාවියා (දැන් ජකාර්තා) නුවරට වාර්තා කලා. ඕලන්දයේ ඉතා ධනවත් හා බළවත් පවුලකින් සිය විවාහය කරගෙන සිටි පෙට්‍රස් වූයිස්ට් හට තරුණ වයසේදීම ලංකාවේ ආණ්ඩුකාරතැන ලැබුනේද ඇයගේ පවුල් පසුබිම නිසාමයි.

ඉතාමත් කෲර පාලකයෙකුවූ වූයිස්ට් සිය වසර තුනක පාලනකාලයෙන් පසු බැටාවියාවට කැඳවා මරණ දඬුවම දී තිබෙනවා.

තනතුරෙන් පහකිරීමෙ පසු ඔහුගේ නිවසට යාබදව ස්ථානයක මිනී ඇටකටු රාශියක් රහසේ වලදමා තිබියදී හමුවූ අතර ඒවා කාගේද, කෙසේ ඔවුන්ගේ මරණය සිදුවූයේද යන්න අභිරහසක්. 

මේ පිලිබඳව 1847දී පමණ ගවේෂණයක් සිදුකල ලංකා-බර්ගර් ජාතික John Leonard Kalenberg van Dort එම පෙදෙසට ගොස් ජරාවාස වූ එම නිවෙස පරික්ශාකර තිබෙන අතර එම පෙදෙසේ ජනයා අඳුර වැටුන පසු වූයිස්ට්ගේ නිවස ඇති පෙදෙසට යන්නට පවා බිය බවත්, එම නිවස ඇති කන්දේ මිනීකන රාක්ෂයෙක් සිටින බවටත් දැඩි ලෙස විශ්වාසකොට තිබෙනවා.

මෙහි සත්‍යය කෙසේ වෙතත් දැන් අනුමාන කෙරෙන්නේ පෙට්‍රස් වූයිස්ට් සිය කෘර පාලනයට අමතරව තවත් බිහිසුණු රහසක් සඟවාගෙන සිටි බවයි. එනම් ඔහු මිනීමස් කෑමට රහසින් ඇබ්බැහිවූ පුදගලයෙක් බවයි. ඔහුට මැලේ ජාතික (සමහරවිට වූයිස්ට් ඉන්දුනීසියාවෙන් එනවිට ගෙන ආ ඉන්දුනීසියානු ජාතිකයෙකු විය හැකියි ) කෝකියෙකු සිට ඇති අතර ඔහු සිය ස්වාමියා වෙනුවෙන් රාත්‍රියේ අවට ගම්මානවලට රිංගා මිනිසුන් මරාගෙන විත් මිනීමස් පිස දුන් බවට සැකයක් තිබෙනවා.

වූයිස්ට් එහි පදිංචියට ආ සමයේ සිටම රාත්‍රියේ ගමන් බිමන් යන ගම්වැසියන් අතුරුදහන් වීමද සිදුවී තිබෙනවා. එමන්ම වූයිස්ට්ගේ මන්දිරය අසලින් වලදමා තිබී හමුවූ ඇටකටු එලෙස අතුරුදහන්වූ පුද්ගලයන්ගේ විය හැකි බවට වාර්තා තිබෙනවා.

බ්ලූමැන්ඩල්

බ්ලූමැන්ඩල් (Bloumendhal) ලෙස අද හඳුන්වන, සුගතදාස ක්‍රීඩාංණයෙන් උතුරට ඇති ප්‍රදේශය ලන්දේසි යුගයේදී මල්ගස්වලින් ගහණ, නිතරම මල් පිපී ඇති පෙදසක්වූවා. මල් පිපී ඇති නිම්නය හෙවත් බ්ලූමන්ඩාල් (bloemendal) ලෙස ලන්දේසීන් මෙය හඳුන්වන ලද අතර එම නම අදත් භාවිතා වෙනවා. 

පෙටා හෙවත් පිටකොටුව

පෘතුග්‍රීසීන් තනා ලන්දේසීන් ව්‍යාප්ත කල කොළඹ බළකොටුව තුලවූ ඇතුලු නගරය, කොටුව හෙවත් ෆෝට් ලෙස හඳුන්වන අතර කොටුවෙන් එපිට පෙදෙස පිටකොටුව ලෙස ව්‍යවහාර වෙනවා. ගාළු කොටුව මෙන් කොළඹ කොටුවේ කොටුබැම්ම දකින්නට නොමැත්තේ කොළඹ නගරය පුළුල් කිරීමේදී බ්‍රිතාන්‍යයන් එම කොටුබැමි ගලවා එම ගල් වෙනත් ඉදිකිරීම් වලට යොදාගත් නිසායි.

සිංහලෙන් පිටකොටුව යන්න කොටුවෙන් එපිට නගරය හැඳින්වීමට භාවිතා කලත්, ඉංග්‍රීසීන් භාවිතාකල පෙටා යන්න "පිටකොටුව" යන වචනය ඉංග්‍රීසියෙන් උච්චාරණය කිරීමේදී බිඳී හා පදයක් ලෙස සළකන්නේ නෑ.

පෙටා යන යෙදුම ද්‍රවිඩ හා දකුණු ඉන්දියානු භාශාවල පිඩායි හෙවත් බළකොටුවෙන් පිටත නගරය හැඳින්වීමට යොදන වචනයෙන් බිඳී ආ බවත්, පෙටා යන යෙදුම බ්‍රිතාන්‍ය යටත් විජිතයක්වූ ඉන්දියාවේ විවිධ නගරවල තිබූ බළකොටුවලින් පිටත නගරය හැඳින්වීමට බොහෝ සෙයින් යොදාගෙන තිබෙන බවත් පැවසෙනවා.

උදාහරණයක් ලෙස ඔක්ෆර්ඩ් ශබ්දකෝෂය හා මෙරියම්-වෙබ්ස්ටර් ශබ්දකෝෂය Pettah යන වචනය අර්ථදක්වන්නේ "ඉන්දියාවේ හා ලංකාවේ බළකොටුවකින් පිටත නගරය" හඳුන්වන්නට පැරණි කාළයේ යොදාගත් ඉංග්‍රීසි වචනයක් ලෙසයි.

කයිමන් දොරටුව

අද කොටුවෙන් පිටකොටුවට යාමට ගතවන්නේ මිනිත්තු කිහිපයක් වුනත් පෘතුග්‍රීසි හා ලන්දේසී පාලන කාලයේ කොටුවට ඇතුලුවීම හා පිටවීම විශාල දොරටු මගින් පාලනය වුනා. කොටුවට ඇතුලුවන එක් දොරටුවක් 4වැනි හරස්වීදියේ තිබූ අතර එය කයිමන් දොරටුව ලෙස හැඳින්වුනා. ඒ අසල කෙලින්වීදියට මුහුණලා ඇති කයිමන් කුළුණ මතවූ විශාල ඝණ්ඨාරය ඇඳිරි වැටෙන විට දොරටු වසා දැමීමට පෙර අණතුරු ඇඟවීම සඳහා නාදකලා.

එවක 4වැනි හරස්වීදිය යනුවෙන් පාරක් නොතිබූ අතර ඒ අසලින් සාන්ත ජෝන් නම් ඇළ මාර්ගය ගලා ගියා. සාන්ත ජෝන් ඇලෙන්, එගොඩවීමට පාලමක් තිබූ අතර එම පාලමෙන් එගොඩව කයිමන් දොරටුව හරහා කොටුව ඇතුලුවිය යුතු වුනා.

මෙම පෙදෙසට ලන්දේසීන් කයිමන් යන නම තැබුවේ කිඹුළන් සිටින පෙදෙස ලෙස හැඳින්වීමට. සාන්ත ජෝන් ඇල දෙපස එළවළු හා මස්-මාළු කඩ බහුලව තිබූ අතර එම කඩවලින් ඉවත දමන එළවළු හා මස්-මාළු කොටස් සාන්ත ජෝන් ඇලට විසිකිරීම සිදුවූ අතර ඒවා කා දමමින් සාන්ත ජෝන් ඇලෙහි කිඹුලන් සද්දන්තවූ බවයි ඉතිහාස වාර්තා පවසන්නේ.

කොම්පඤ්ඤවීදිය හා ස්ලේව් අයිලන්ඩ්

අද කොම්පඤ්ඤවීදිය ලෙස සිංහලෙනුත් ස්ලේව් අයිලන්ඩ් ලෙස ඉංග්‍රීසියෙනුත් හැඳින්වෙන්නේ කොම්පඤ්ඤ වීදිය දුම්රිය පොල, ග්ලෙනී වීදිය, නව තොටුපොල පාර හා මිව්ස් වීදියද ඇතුලත් එකම පෙදෙසක් වුනත්, අතීතයේදී එසේ නොවූ බව පැවසෙනවා.

කොම්පඤ්ඤ වීදිය දුම්රියපොල පිහිටි පෙදෙස එනමින් හඳුන්වා ඇති අතර ඒ නමෙහි උප්පත්ති කතා දෙකක් තිබෙනවා. එකක් එම පෙදෙසේ ලන්දේසීන්ගේ (ඕලන්ද) ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයක් හෙවත් ලස්කිරිඤ්ඤ කොම්පැණියක් (lascarin compagnie) තිබූ නිසා කොම්පැණි වීදිය, කොම්පඤ්ඤ වීදිය ලෙස සිංහලට අනුවර්තනය වීම එක් පුරාවෘතයක් වෙනවා. 

මෙම ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයේ බැරැක්ක අද මැලේ වීදිය හා කුමාරන් රත්නම් පාර අතර පෙදෙසේ, එනම් දැන් ආරක්ෂක සේවා විද්‍යාලය තිබෙන භූමියේ තිබුණු බවට වාර්තා තියෙනවා. මෙම ස්ථානයේ ඉංග්‍රීසීන් විසින් 1860දී ලංකා රයිෆල් රෙජිමේන්තු බැරැක්ක හා මූලස්ථානය ස්ථාපනය කර තිබෙනවා.

අනෙකට අනුව දුම්රිය පොලට මදක් ඉදිරියෙන් දැන් ජෝන් කීල්ස් වෝටර්-ෆ්‍රන්ට් සංකීර්ණයේ පිවිසුම් දොරටුව හා අනෙක් පසින් ග්ලෙනී වීදියට මායිම්වූ භූමියේ එකල තිබූ කලම්බෝ අයිස් කොම්පැණි අසල තිබුණු වීදිය අයිස් කොම්පැණි වීදිය හෙවත් කොම්පඤ්ඤ වීදිය වූ බව පැවසෙනවා. පසුකලක සිලෝන් කෝල්ඩ් ස්ටෝස් හෙවත් එලිෆන්ට් හවුස් බවට පත්වුනේ 1866දී ඇරඹුන සිලෝන් අයිස් කොම්පැණියයි.
 

දැන් කොම්පඤ්ඤ වීදියට ස්ලේව් අයිලන්ඩ් හෙවත් වහල් දූව ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වුවද ලන්දේසි සමයේ ස්ලේව් අයිලන්ඩ් ලෙස හැඳින්වූයේ ගාලු මුවොදොර අසල බේරේ වැව අසල ඇති එචිලොන් චතුරශ්‍රය පෙදෙස බව පැවසෙනවා. එකල බේරේ වැව ඉතා විශාල වූ අතර ඩාලි පාරේ සාන්ත ජෝසප් විද්‍යාලය, ඉබ්බන්වල හන්දිය, මැකලම් වීදිය වැනි පෙදෙස් වැසීයන තරමටම බේරේ වැව විශාල වුනා.

දැන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානයද පිහිටි එචිලොන් චතුරශ්‍රය එකල බේරේ වැවට නෙරා ගිය අර්ධද්වීපයක් හෝ වඩදිය වේලාවන් හිදී ජලයෙන් වටවෙන දූපතක් වූ බවට බ්‍රිතාන්‍ය සමයේ ලංකාව ගැන ලියූ රචකයින් පවසනවා (James Selkirk, .Alan Walters, R.L Brohier et al)

එකල කෆිර් ලෙස හැඳින්වූ නීග්‍රෝ වහල් ජනයා මෙම පෙදෙසේ රාත්‍රියට කොටුකර තැබූ බවත් ලන්දේසි භාශාවෙන් එම පෙදෙසට කෆීර්ස් වෙල්ඩ් හෙවත් කෆීර්වරුන් සිටින පෙදෙස ලෙස හඳුන්වා තිබෙනවා.

කිව් පාර හා කිව් පැසේජ් (කොළඹ 02)

යුනියන් පෙදෙසේ කොමර්ෂල් බැංකුව වටරවුම අසලින් ආරම්භ වී (කුමාරන් රත්නම් පාරේ ආරම්භයද එම වටරවුම වේ) වටයක් ගසා නැවතත් ආරක්ෂක විද්‍යාලය අසලින් කුමාරන් රත්නම් පාරට එකතුවන කිව් පාරට (හා කිව් පැසේජ් හරස් පාරට) බ්‍රිතාන්‍ය සමයේදී එම නම තබා ඇත්තේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ඇරඹීට පෙර “කිව් ගාඩන්ස්” නමින් ලංකාවේ පලමු උද්භිද උද්‍යානය එම පෙදෙස ආශ්‍රිතව තිබූ නිසාය.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ පලමු උද්භිද උද්‍යානයට කිව් ගාඩන්ස් ලෙස නම් තබා ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අගනුවර වූ ලන්ඩනයේ සුප්‍රකට කිව් ගාඩන්ස් රාජකීය උද්භිද උද්‍යානයට ගෞවරයක් ලෙසයි.

1843දී කොළඹ කිව් ගාඩන්ස් උද්‍යානයෙන් ගෙන ආ පැල රෝපණය කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නිළවශයෙන් ස්ථාපනය කර තිබෙනවා.

බගතලේ පාර

බගතලේ පාරට නම ලැබුණු හැටිද අපූරුය. බගතලේ පාර හා ඒපෙදෙසට නම ලැබුනේ බ්‍රිතාන්‍ය යුගයේදීය. එකල කොළඹ යනු විසල් නගරයක් නොව කොටුව හා පිටකොටුවෙන් එපිට ග්‍රාමීය පෙදෙසකි. එහි කුරුඳුවතු බහුල විය. (උදා: කොළඹ කුරුඳුවත්ත ). චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් බ්‍රිතාන්‍යයෙන් මෙරට සිවිල් සේවාවට අනුයුක්තවූ ධනවත් බ්‍රිතාන්‍ය ප්‍රභූවරයෙකු වූ අතර ඔහු ගාලුපාරේ සිට (එකල ගාලු පාර කුඩා කරත්ත පාරක් විය ) රාජකීය/තර්ස්ටන් විද්‍යාල දක්වා පැතුරුණු විශාල කුරුඳු වත්තක් මිළදීගෙන එහි මන්දිරයක් ඉදිකලේය. ඒ මන්දිරයට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ් "බගතලේ" යන නම තැබුවේලු. බගතලේ යනු පැරණි ප්‍රංශ ගෘහස්ථ ක්‍රීඩාවකි.

1800 ගණන්වල බ්‍රිතාන්‍ය ප්‍රභූන් අතරද ප්‍රචලිතව තිබූ මේ ක්‍රීඩාවට චාල්ස් එඩ්වර්ඩ් ලයාර්ඩ්ගේ තිබූ දැඩි ලොල්බව නිසා සිය නිවස එනමින් හඳුන්වන්නට ඇතැයි සිතිය හැකිය. ඔහුගේ බගතලේ මන්දිරයට ගාලුපාරේ සිට යන මාවත් බගතලේ පාර ලෙස හඳුන්වන්නට පටන්ගත්තේලු.

ඇල්ෆ්‍රඩ් පෙදෙස / ඇල්ෆ්‍රඩ් හවුස් 

බගතලේ මන්දිරය පසුකලෙක යටත් විජිත ලංකාවේ ප්‍රමුඛතම සිංහල කෝටිපතියා හා විශිෂ්ඨ සමාජ සේවකයෙකුවූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සතුවිය. විශාල තේවතු, පොල් හා කුරුඳු වතු මෙන්ම කර්මාණ්තශාලා හා යටත් විජිත ලංකාවේ බැංකුවල කොටස් හිමියෙකු වූ චාල්ස් හෙන්රි ද සොයිසා කොළඹ "ද සොයිසා" මාතෲ නිවාසය ආරම්භකිරීමට එම භූමිය හා තමන් සතු නිවස පරිත්‍යාග කල අතර, වේල්ස් කුමාර හා වේල්ස් කුමරි විද්‍යාල ආරම්භ කිරීමටද පුරෝගාමී විය. එමෙන්ම රිජ්වේ ආර්යා ළමා රෝහල හා වෙනත් රෝහල් ගණනාවක් ආරම්භ කිරීමට ධනය හා ඉඩකඩම් පරිත්‍යාග කල දානපතියෙකි.

එකල ලංකාවේ ධනවත්ම ලාංකික ප්‍රභූවරයා මෙන්ම දැඩිලෙස බ්‍රිතාන්‍ය කිරුළට පක්ෂපාතවූ චාල්ස් හෙන්රි ද සොයිසා බ්‍රිතාන්‍ය රජපවුල සමග කිට්ටු සබඳතාවයක් පැවැත්වූවා. මේ සබඳකම් නිසාම ලංකාවට පාතැබූ පලමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන වික්ටෝරියා රැජිණගේ පුත් එඩින්බරෝ හි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමරු සඳහා රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීමේ වරම දිනාගත්තා.

මේ සඳහා ඔහු බගතලේ මන්දිරය අති විශාල වියදමක් දරා සම්පූර්ණයෙන් නවීකරණය කල අතර නවීකරණය කොට එය "ඇල්ෆ්‍රෙඩ් හවුස්" යනුවෙන් ඇල්ෆ්‍රඩ් කුමරාට ගෞරව පිණිස නම් කලා. එමෙන්ම එම මන්දිරය පිහිටි කුරුඳු වගාව ඉවත්කොට අක්කර එකසිය විස්සක මනරම් උද්‍යානයක්ද සකස් කොට එය ඇල්ෆ්‍රඩ් ගාඩන්ස් ලෙස නම් කලා.

අද බගතලේ පාරට යාබද ඇල්ෆ්‍රඩ් පෙදෙස, ඇල්ෆ්‍රඩ් හවුස් ගාඩන්ස්, ඇල්ෆ්‍රඩ් ඇවනිව් යන පාරවල් හා පෙදෙස් පුරා මේ සුවිසල් උද්‍යානය පැතිර තිබුණා. දැන් ඉතිරිව ඇත්තේ ඒ පාරවල් හා පෙදෙස් නාම විතරයි.

චාල්ස් පෙදෙස / චාල්ස් වටරවුම / චාල්ස් ඇවනියු

ඇල්ෆ්‍රඩ්/බගතලේ මන්දිරය ආශ්‍රිත කොළඹ 3ට අයත් මේ සියලු පෙදෙස් චාල්ස් හෙන්රිද සොයිසාට අයත්ව තිබූ අතර ඔහුගේ ඇවෑමෙන් මේ සුවිසල් ඉඩකඩම් බෙදාහදාගත් ඔහුගේ දරුමුණුපුරන් සිය පරිත්‍යාගශීලී ඥාතියා සිහිවීම පිණිස තමන්ට අයත්වූ කොටස්වලට චාල්ස් නම යොදා තිබෙනවා. 


අලුත්කඩේ

බ්‍රිතාන්‍ය පාලනයේ මුල් අවධියේදී ඕලන්ද කොටුව - එනම් දැන් කොටුව පෙදෙස - පරිපාලනමය මධ්‍යස්ථානය වූ අතර පිටකොටුව, විශේෂයෙන්ම කොටුවෙන් නැගෙනහිරට එනම් මෝදර (මුට්වාල්) හා ආශ්‍රිත ප්‍රදේශ වේගයෙන් වර්ධනය වන කොළඹ වරාය ආශ්‍රිතව ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින්ගේ හා ප්‍රභූන්ගේ නිවාස තිබූ පෙදෙසක් විය. උදාහරණයක් ලෙස ලන්දේසි ආණ්ඩුකාරවරයෙකු වූ පෙට්‍රස් වූයිස්ට් ගේ නිවස තිබූ පෙදෙස මෝදර ප්‍රදේශයේ විස්ට්වයික් ප්‍රදේශයයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකලට විස්ට්වයික් ලෙස ජනවහරට එක්වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය කාලය වනවිට මෙම පෙදෙස ප්‍රභූ හා ධනවත් ව්‍යාපාරික පැලැන්තිය ජීවත්වූ පෙදෙසක් නිසා මෙහි තිබූ කඩපිල් හා වෙළඳපොලවල් එම පෙදෙසින් ඉවත් කොට හල්ට්ස්ඩ්‍රෝෆ් කඳුගැටය පාමුළ පෙදෙසකට ගෙනගොස් තිබෙනවා. 

අලුතින් කඩ දැමූ ප්‍රදේශය නිසා එම පෙදෙස අලුත්කඩේ ලෙස හඳුන්වන්නට ගත්තා.

මරදාන

සුදුපැහැති, කිසිවක් නොවැවෙන වැලිකතරක් වැනි මරදන් වැල්ල ලෙස ආදී කාලයේ හැඳින්වූ වැලිවලින් ගහන පෙදෙසක් නිසා මරදාන වූ බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් පෘතෘග්‍රීසි-ලන්දේසි සමයේ මරදානේ ඉතාමත් සරු කුරුඳුවගාවක් තිබුණු බවට වාර්තා වෙනවා.

1800 මුල් භාගයේ මෙරට සිටි ජෝන් ඩේවිගේ වාර්තාවලට අනුව, සුදුපැහැති තිරිවාණා වැල්ල ඇති පෙදෙස්වල කුරුඳු සරුවට වැඩෙනවා. එවැනි සුදුපාට, නිසරු මරදන් වැල්ලක් තිබූ මරදානේ පසුවට කුරුඳු වැවී තිබුණා යන්න සැබැවින්ම විය හැකි සිද්ධියක් බව ජෝන් ඩේවීගේ මෙම වාර්තාවෙන් තහවුරු වෙනවා. 

ඉබ්බන්වල

ලන්දේසි යුගයේ හා ඉංග්‍රීසීන්ගේ පාලනයේ මුල් කාළයේදී බේරේ වැව දැනට වඩා විශාල වූ අතර එය නූතන හයිඩ් පිටිය, වොක්ෂෝල් වීදිය, ඩාලි පාර ආදී මාවත් ආසන්නයට පැමිණ තිබුණා. එමෙන්ම මෙම පෙදෙස් ජනගහණයෙන් ඉතා අඩු කැළෑබද පෙදෙස් වුනා. 

ඉබ්බන්වලට ඒ නම ලැබුණේ එම පෙදෙසේ බේරේ වැව ඉවුරේ සිය ගණන් ඉබ්බන් අව්ව තපින්නට එක් රොක්වූ නිසා බව පැවසෙනවා.

කොළඹ ජාතික රෝහල 1864

ඉබ්බන්වල හන්දිය (හයිඩ් පිටිය, කොළඹ 2) සිට ජාතික රෝහලට කිලෝමීටරයකත් අඩු අතර, එම පෙදෙසේ ජාතික රෝහල පිහිටුවීමට බ්‍රිතාන්‍ය පාලකයින් තීරණය කලේ, ඉතා අඩු ජනගහණයක් ඇති, කුරුඳු වගාලක අක්කර 32ක භූමියකයි. බැවින්. ජාතික රෝහල සඳහා අක්කර 32ක කුරුඳු වගාකල ඉඩමක් ලබාදීමට හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා තීරණය කලා. 1864දී වාට්ටු 21ක් සමග ජාතික රෝහල විවෘත වුනා.

අද ජාතික රෝහලේ එක් මායිමක් වෝඩ් ආණ්ඩුකාරයා සිහිවන්නට වෝඩ් පෙදෙස වන අතර කින්සි පෙදෙස හා කින්සි පාර ජාතික රෝහලේ දියුණුවට විශාල මෙහෙයක් ඉටුකල වෛද්‍ය සර් විලියම් කින්සි සිහිවීමට නම්කර තිබෙනවා.

කොළඹ වෛද්‍ය විද්‍යාලය 1870 පිහිටවුනු අතර ඒ සඳහා කින්සි පාරට මුහුණලා, ද සොයිසා මාතෘ නිවාසයට යාබදව ඇති අක්කර තුනහමාරක ඉඩම 1875දී සැම්සන් ද ආබෲ රාජපක්ෂ මුදලිතුමා කොළඹ වෛද්‍ය විද්‍යාලයට දායාදකලා.

සුදුවැල්ල

ඉබ්බන්වල සිට ඩාලි පාර, මැකලම් පාර අවසන්වන තෙක්ම මරදාන දෙසට ඇත්තේ සුදුවැල්ල ප්‍රදේශයයි. සාන්ත ජෝසප් විද්‍යාලය හා නෙළුම් කුළුණද අයත් වන්නේ සුදුවැල්ලටයි. ප්‍රදේශයට සුදුවැල්ල ලෙස නම් ලැබුණේ සුදු පැහැති තිරිවාණා වැල්ලෙන් වැසී තිබීම නිසා බවයි පැවසෙන්නේ. මරදානේ මරදන් වැල්ල, බටහිර පැත්තට එනම් බේරේ වැවට ආසන්න වනවිට සුදුවැල්ල ලෙසින් හැඳින්වූ බව පෙනේ.

කිරුළපනේ

මෙම පෙදෙස විශාල වෙල්යායක් බවත්, එම වෙල්යායේ කෙලවර කෝට්ටේ රජවාසලේ කොත පෙනුනු බවත් පැවසෙනවා. රජමාලිගාව පෙනෙන තැන හෙවත් කිරුළ පෙනෙන තැන කිරුළපනේ ලෙස හඳුන්වන්නට පටන් ගත් බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ. 

නූතන කිරුළපනේ සිට කෝට්ටේ අළකේෂ්වර (අලගක්කෝනාර) රජුගේ මාළිගාව පිහිටි තැන ලෙස සැලකෙන ස්ථානය ගූගල් සිතියම් වලට අනුව අහස් දුර කිලෝමීටර් 3.7ක් පමණය. ඒ අනුව මෙම ජනප්‍රවාදය සැබෑවීමට ඉඩක් ඇත.

කුරුඳුවත්ත

1864දී කොළඹ ජාතික රෝහල පිහිටවූ භූමිය කුරුඳු වත්තක් වූ අතර එයින් දකුණු දෙසට බොරැල්ල, තිඹිරිගස්යාය, අනෙක් පසින් රීඩ් මාවත, රාජකීය හා තර්ස්ටන් විද්‍යාලද පිහිටි පෙදෙස කුරුඳුවත්ත ලෙස හැඳින්වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාව, SSC ක්‍රීඩා පිටිය මෙන්ම විහාරමහා දේවී උද්‍යානය හා නිදහස් චතුරශ්‍රය අයත්වන්නේත් කුරුඳුවත්ත පෙදෙසටයි.

අදවන විට ධනවත්, බලවතුන්ගේ නිවහන් ඇති කොළඹ කුරුඳුවත්ත එකල සැබැවින්ම කුරුඳු වවා තිබූ, කුරුඳු නොමැති තැන්වල විශාල කැලෑ රොදවල් තිබූ භූමි ප්‍රදේශයක් වුනා. එමර්සන් ටෙනට්, ජෝන් ඩෙවී, ගයිගර් ආදී රචකයින් ගණනාවක් කුරුඳුවත්තේ කුරුඳු වගා පිලිබඳව සිය පොත්වල සටහන් කොට තිබෙනවා.

කොල්ලුපිටිය

1664දී උඩුනුවර අඹන්වෙල අප්පුහාමි, සත්කෝරලේ මන්න අප්පුහාමි හා අටකලන්කෝරලේ සුන්දර අප්පුහාමි, දෙවැනි රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් ගැසූ අතර එය අසාර්ථකවිය. රාජ විරෝධී කුමණ්ත්‍රණ කිරීමට දඬුවම් ලෙස මන්න අප්පුහාමි හා සුන්දර අප්පුහාමි මරා දැමුණු අතර බළසම්පන්න පවුල් පසුබිමක් මෙන්ම උපතින්ම කෛරාටිකයෙකු වූ අඹන්වෙල අප්පුහාමිව ලන්දේසින් අල්ලාගෙන සිටි පහත රටට පලවා හැරියේය.

කෙටි කළකදීම උඩරට රාජධාණියේ තොරතුරු හා සමහරවිට  ඔත්තුකරුවන් සපයාදීම වෙනුවෙන් ලන්දේසීන් (ඕලන්දයින්) අඹන්වෙල අප්පුහාමි (අඹන්වෙල රාළ ) වෙත කොළඹට ආසන්නයේ සමුද්‍රාසන්න පෙදෙසකින් විශාල ඉඩමක් ලබා දුන්නේය. 

ඉඩමේ පොල් වගාකරමින්, ලන්දේසින්ගේ අනුග්‍රහයෙන් අවට ඉඩම්ද අල්ලාගනිමින් අති සාර්ථකව වගා ව්‍යාපාරය කරගෙන ගිය අඹන්වෙල අප්පුහාමි සිය නමද ලන්දේසි කරගනිමින් වෑන් රයි-කොෆ් නමින් පෙනී සිටින්නට වුනා.

අවට සිටි දුගී ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් හෝ ඉතා අඩුමිලට ලබාගනිමින් පලාතම අයිතිකරගනිමින් සිටියත් ඔහුගේ ක්‍රියාකලාපයට එරෙහි වන්නට හයියක් නොමැතිවූ ගම්වාසීන් ඔහුගේ ඉඩම කොල්ලකෑ පිටිය - කොල්ලන් පිටිය ලෙසින් හඳුන්වන්නට වුන අතර එය පසුකලෙක කොල්ලුපිටිය ලෙස අනුවර්තනය වුනා.

කොල්ලුපිටියේ සාන්ත මයිකල් පල්ලිය හා විද්‍යාලය පිහිටා තිබෙන්නේ මෙම ඉඩමේ කොටසක බව පැවසෙන අතර නූතන කොල්ලුපිටිය හන්දියට හා ලිබර්ටි වටරවුම පෙනෙන දුරින් තිබේ. අදටත් සාන්ත මයිකල් දේවස්ථානය හා ශාන්ත මයිකල් විද්‍යාලය තිබෙන ඉඩම පොල්වත්ත ලෙස හඳුන්වන අතර ශාන්ත මයිකල් විද්‍යාලයේ ලිපිනය වන්නේද, "පොල්වත්ත, කොළඹ 03" යන්නයි.

බම්බලපිටිය

බම්බලපිටියට ඒ නම ලැබුණු හැටි ගැන කතා දෙකක් තියෙනවා. එකකට අනුව පෘතුග්‍රීසි-ලන්දේසි යුගවලදී  කැලෑබද පෙදෙස් වුනු ඒ පැත්තේ විශාල ජම්බෝල කැලෑවක් තිබිලා තියෙනවා. පොල් වගා කරන්න කැලෑ එලි කරද්දී මේ ජම්බෝල කැලෑව හමුවෙන්නට ඇති. ජම්බෝලවලට ලංකාවේ සමහර ගැමියන් බම්බලොසි කියලත් කියනවා. බම්බලොසි වැවුනු බම්බලොසී පිටිය පස්සේ බම්බලපිටිය වෙන්නට ඉඩ තියෙනවා.

තවත් කතාවකට අනුව මේ පැත්තේ මුහුදු වෙරළේ විශාල ලෙස බොම්බිලි කරවල වේලීම සිදුවෙලා තියෙනවා. ඒවගේම ඉන්දියානුවන් බොම්බිලිවලට බම්මලෝ කියලා කියනවා. සමහරවිට මේ පැත්තේ බොම්බිලිකරවල වේලීම ඉන්දියානුවන් කරන්න ඇති. ඒ කාලේ කොළඹ විශාල වශයෙන් දෙමළ - මළයාළි - චෙට්ටියාර් මිනිස්සු හිටපු නිසා මේ කරවලවලට ඒ කාලේ බම්මලෝ කියලා භාවිතා කරන්න ඇති. බම්මලෝ වේලන බම්මලෝ පිටිය පස්සේ බම්බලපිටිය බවට පත්වුනාද දන්නේ නෑ. එහෙම නැතිනම් බොම්බිලි වේලන බොම්බිලිපිටිය පස්සේ බම්බලපිටිය වුනාද දන්නේ නෑ.

ඉදිරියේදී යටත්-විජිත යුගයේ ඉතිහාසය පිලිබඳව පලකරන්නට අදහස් කරන ලිපි

1] යටත්විජිත ආණ්ඩුකාරවරුන් හා ප්‍රභූවරුන් වෙනුවෙන් නම්කල කොළඹ නගරයේ මාර්ග හා ස්ථාන නාම






Comments

  1. හොඳ ලිපියක්

    ReplyDelete
  2. මම කොම්පඤ්ඤ විදිය පැත්තේ හිටියා . මේකේ තියන් ඒවා ඒවා ගොඩක් හරි.

    ReplyDelete

Post a comment