Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 5 June 2014

Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - අපේ රටට ආවේණික කුරුල්ලන් 23දෙනා පිලිබඳ සවිස්තර සටහන


ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි.  මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ විස්තර සිංහල බසින් ඉදිරිපත් කරන වෙබ් අඩවියක් නොහැකි වීම අඩුපාඩුවක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය සම්පාදනය කිරීමේ අරමුණ වූයේ මෙම අඩුව පුරවා සිංහල බසින් අන්තර්ජාලය පරිශීලනය කරන, ලංකාවේ කුරුළු සම්පත පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලංකාවට ආවේණික පක්ෂි වර්ග 23හිම විස්තර සරල සිංහල බසින්  ඉදිරිපත් කරමින්, එය අන්තර්ජාලයේ නැණ ගබඩාවට එක් කිරීමයි.

මෙම ලිපිය සම්පාදනය කිරීමේදී Bird-life International පර්යේෂණ ආයතනයයේ දත්ත ගබඩාව ඉමහත් ලෙස දායක විය. Bird-life International සංරක්ශණ ආයතනය රටවල් 100ක් පුරා ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ශණ හා පර්යේෂණ ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අංශය තුලින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික හවුල්කරුවා වේ.

මීට අමතරව මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සම්පාදනය කරන ලද, "ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ - අත් පොත" ඉමහත් රුකුළක් විය. කුරුල්ලන් නිරීක්ශණය [bird watching] විනෝදාංශයක් ලෙස ගැනීමට කැමත්තක් ඔබට ඇත්නම්, මෙම පොත ඔබ පරිශීලණය කල යුතුය. එම පොත් කොළඹ විශ්වවිද්‍යාලයේ Field Ornithology Group of Sri Lanka කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම ලංකා කුරුළු සංගමයේ වෙබ් අඩවියෙන්ද Arkive.org වෙබ් අඩවියෙන්ද ඉතා වැදගත් තොරතුරු හා ඡායාරූප උකහා ගෙන ඇත. මීට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවකින් ඡායාරූප "hot link" ආකාරයට මෙහි ඇතුලත් කොට ඇත. එම ඡායාරූපවල ප්‍රතිරූපණ අයිතිය (copy right) ඒවායේ අයිතිකරුවන් සතුය.

අද්විතීය පක්ෂි විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම විද්වතා ජාත්‍යන්තර සම්මානයට යලිත් පාත්‍රවෙයි!

ලංකාවේ කුරුල්ලන් ගැන කතාකරන විට මහාචාර්ය සරත් කොටගම මහතා අමතක කල නොහැක. ලංකාවේ, මෙන්ම ලෝකයම පිලිගත් කුරුළු විශේෂඥයෙකු ලෙස මේ හෙල විද්වතා ඉදිරියෙන්ම සිටී. මා ආචාර්ය කොටගම පිලිබඳව දැනගත්තේ කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා අවධියේදීය. විද්‍යාලයේ දෙසුමකට පැමිණි එතුමාගේ චාම්, සුහදශීලී සරල ගතිපැවතුම් ගැන මට එදා ඇතිවූ ගෞරවය අදත් එලෙසම පවතී.

මහාචාර්ය සරත් කොටගම මහතා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනයේ පෙරගමන්කරුවා වන අතර එහි මූලස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ස්ථාපනය කොට ඇත.  පක්ෂි විද්‍යාවට හා සංරක්ශණය වෙනුවෙන් සිදුකරන ලද මහා කාර්යභාරය අගැයිම සඳහා මේ වසරේදී මහාචාර්ය සරත් කොටගම මහතා ජාත්‍යන්තර කුරුළු  සංරක්ශණ ආයතනයේ ලෝක විධායක කවුන්සිලයේ [Global Council] සාමාජිකයෙකු ලෙස පත්වී ඇති අතර, Bird-life Internationalහි ආසියානු කලාපීය සංවිධානය වන Bird-life Asia Council හි සභාපතිවරයා ලෙසද තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.

ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.

අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ.  මූලාශ්‍රය

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - සපිරි සටහන

මෙම සටහන සකස්කොට ඇත්තේ අපට ආවේණික කුරුල්ලන්ගේ දුර්ලභත්වය අනුව අවරෝහණ පිලිවලටය. ඉතාම දුර්ලභ, රතු ලැයිස්තුවේ Endangered (EN) ලෙස දැක්වෙන කුරුල්ලන් පලමුවෙන්ද, රතු ලැයිස්තුවේ ලෙස Vulnerable (VU) දැක්වෙන කුරුල්ලන් දෙවනුවද, Near Threatened (NT) ලෙස හඳුනාගෙන ඇති කුරුල්ලන් තෙවනුවද, වඳවීමේ තර්ජනයක් දැනට නොමැති සුලභ Least Concern (LC) කුරුල්ලන් සිවුවැනිවද දක්වා ඇත.

(1) ශ්‍රී ලංකා අරංගයා - Sri Lanka Whistling Thrush  
Myophonus blighi







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි.

ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ.

මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්‍රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.

ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා



ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල



























(2) Serendib Scops Owl : ශ්‍රී ලංකා පඬු කන් බස්සා
Otus thilohoffmanni







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය.

ශ්‍රී ලංකා පඬු කන් බස්සා සෙ. මී. 17 ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වේ. ප්‍රධාන ශරීර වර්ණය පඬු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැ තිත් ශරීරය පුරා විසිරී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කිහිපයකින් වාර්තා වී ඇත. වර්ෂා වනාන්තරවල යටි රෝපණයේ ජීවත්වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාර වේ.

සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ශිතය, කිතුල්ගල, මොරපිටිය-රුනකන්ද වනප්‍රදේශය, එරත්න-ගිලීමලේ රක්ශිත ප්‍රදේශව පැතිරී ඇත. පඬු කන් බස්සන් ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු කොට ඇත. ශ්‍රී ලංකා පඬු කන් බස්සා ප්‍රධාන තර්ජනය තෙත් කලාපීය වනාන්තර විනාශ වීම වන අතර තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදකලාව වෙමින් පැවතීම ද මෙම පක්ෂි විශේෂයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

පඬු කන් බස්සා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




(


(3) Red Faced Malkoha : වත රතු මල්කොහා
phaenicophaeus pyrrhocephalus







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)


පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය.

උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි.

සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වතරතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. පහතරට තෙත්කලාපීය ඝණ වනාන්තරවල දැකිය හැකි මේ පක්ෂියා වනයේ යටිවියනේ සැරිසැරීමට ප්‍රියකරයි. වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ යාල, ලාහුගල, උඩවලව, ගල්ඔය වැනි වනෝද්‍යාන ආශ්‍රිතවයි.
වත රතු මල්කොහා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

























(
(4) Green-billed Coucal : ශ්‍රී ලංකා බට ඇටිකුකුළා 
Centropus chlororhynchus







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)



නිරිතදිග තෙත්කලාපය වාසභූමිය කරගත් බට ඇටිකුකුළා දැන් විරල ගණයේ පක්ෂියෙකු බවට පත්ව ඇත. සිංහරාජ-මෝර්නින් සයිඩ්, හඳපාන් ඇල්ල, නාකියාදෙනිය, කන්නෙලිය, දෙදියවල රක්ශිත වන භූමිවලදී හමුවී ඇත. සෙන්ටිමීටර් 43ක් පමණ දිගින් යුතු මොහු කලු පැහැති හිසකින් හා පෙඳයකින් යුතුය.

දුඹුරට හුරු රතු පැහැයෙන් යුතු අත්තටු යුගලක් ඇත. සාමාන්‍ය ඇටිකුකුලාට (Greater Caucal) සමාන පෙනුමකින් යුතු බට ඇටි කුකුලාගේ අත්තටුවල දුඹුරු-රතු වර්ණය, සාමාන්‍ය ඇටිකුකුලාගේ අත්තටුවල වර්ණයට වඩා තද පැහැයක් ගනී. එමෙන්ම සාමාන්‍ය ඇටිකුකුලාට වඩා ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 5ක් පමණ කුඩාය.

මෙම පක්ෂීන් 3500-4000ත් අතර ප්‍රමාණයක් වනගතව සැරිසරන බවට අනුමාන කෙරේ. තෙත්කලාපයේ අනවසර කැලෑ කැපීම් මෙම කුරුල්ලාගේ පැවැත්ම අණතුරේ හෙලා ඇත. මීටර් 750ට වඩා උසින් අඩු ඝණ කැලෑවල යටිවනයේ වාසය ප්‍රිය කරයි. ජනවාරියේ සිට ජූලි මස දක්වා බිත්තර දමන මොවුන් කුඩා සතුන් ආහාරයට ගනී.

බට ඇටිකුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 


o
(

(5) Sri Lanka Wood Pegion : ශ්‍රී ලංකා මයිල පරෙවියා (මයිලගොයා)
Columba torringtoniae








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)

මධ්‍යම කඳුකරයේ සදාහරිත තෙත් වනාන්තර වාස භූමිය කරගත් මයිලගොයා ශ්‍රී ලංකාවට ආවේණිකය. පරෙවි ගණයට අයත් මොහු සෙන්ටිමීටර් 36ක් පමණ දිගින් යුතු අඳුරු පැහැතිය. හිස පිටුපස කළු-සුදු ඉරි සහිත ප්‍රදේශයක් ඇත.

දැනට මෙම පක්ෂි ගහණය 2000-3000ක් අතර ප්‍රමාණයක් ඇතැයි ගණන් බලා ඇත. මධ්‍යම කඳුකරයේ පවා මෙම පක්ෂින් දැකීම දැන් දැන් විරල බව වාර්තාවේ.

මීටර් 900ට ඉහල කඳුකර වනාන්තර ප්‍රිය කරයි. උස් ගස් මුදුන්වල කූඩු සාදන මොවුන් ජනවාරි-මාර්තු කාලයේ සුදු පැහැති තනි බිජුවක් දමයි.

හෝර්ටන් තැන්න, පට්ටිපොල, අඹේවෙල, හක්ගල, කඳපොල, සීතාඑලිය, සිංහරාජ, නමුණුකුළ, ශ්‍රී පාද රක්ශිතය ආදී කඳුකර ප්‍රදේශවලදී පර්යේෂකයින් හට දැකගැනීමට හැකිවී ඇත.


මයිල පරෙවියා (මයිලගොයා) දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(6) Sri Lanka Blue Magpie : කැහිබෙල්ලා
Urocissa ornata








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)

සෙ.මි. 43 පමණ වන මෙම කුරුල්ලා ආවේණික කුරුල්ලෙකි. දිලෙන තැඹිලි - රතු පැහැති හොට, පියකරු නිල් ගතද, රතු - දුඹුරු පැහැති හිස සහ දිගු වලිගය කැහිබෙල්ලාට අලංකාරය ගෙන දෙයි. මෙම කුරුල්ලා මිනිසුන්ට එතරම් බියක් නොදක්වන අතර කුතුහලයකින් යුතුව ලඟට පැමිණේ.

දියපාරක් අසල හෝ කැළෑවේ එළිමහන් තැනක මීටර 5 - 7 පමණ උසැති කුඩා ගසක කරුවක කූඩුව තනන්නේ කෝටු වලිනි. තරමින් මි.මී 3 -5 අතර ප්‍රමාණයේ යුත් දුඹුරු පැහ පුල්ලි සහිත සුදුවන් බිත්තර 3 - 5 ක් දමයි.

අඩි 7000 (මීටර් 2100) දක්වා ඉහළ කඳුකරයේ සිට අඩි 500 දක්වා පහළ වූ තෙත් කලාපීය වනාන්තරවලද  දැකිය හැකිය.වනාන්තර විනාශය හා කපුටන් වනාන්තරවලට පැමිණීම කැහිබෙල්ලාට ඇති ප්‍රධානතම තර්ජනය වේ.

සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර, නකල්ස් වනාන්තර ප්‍රදේශය් කැහිබෙල්ලාගේ ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. මීට අමතරව හෝර්ටන් තැන්න, පට්ටිපොල, අඹේවෙල, හක්ගල, කඳපොල, සීතාඑලිය, සිංහරාජ, නමුණුකුළ, ශ්‍රී පාද රක්ශිතය ආදී කඳුකර ප්‍රදේශවලදී පර්යේෂකයින් හට දැකගැනීමට හැකිවී ඇත. ගණනින් 10,000ක පමණ පක්ෂි ප්‍රමාණයක් ඇතැයි විශේෂඥයින් ඇස්තමේන්තු කොට ඇත.

කැහිබෙල්ලා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(7) White-faced Starling : වත සුදු සැරිකාවා / හිස සුදු සැරිකාවා
Sturnus albofrontatus








IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)


සැළලිහිණි කුළයට නෑකම් කියන සැරිකාවුන් ඉංග්‍රීසි බසින් ස්ටාර්ලිං ලෙස හඳුන්වයි. සෙ.මී 22ක් පමණ දිගු කුඩා පක්ෂියෙකු වන වත සුදු සැරිකාවා ගේ සිරුරේ ඉහල කොටස දිලිසෙන කොළ පැහැයකට හුරු තද අළු පැහැයකින් යුතුවන අතර පහත පෙදෙස් සුදට හුරුය.

හිස සුදු පැහැති නිසා "මුහුණ සුදු" හෙවත් "වත සුදු"  යන විශේෂණය ලබාදී ඇත.

 පහතරට නිරිත දිග තෙත්කලාපීය වනාන්තරවල වාසය කරයි. වනාන්තරයේ ඉහල ස්ථරය ප්‍රිය කරන වත සුදු සැරිකාවා කුඩා ගෙඩිවර්ග මෙන්ම සතුන්ද ආහාරයට ගනී.

ගහණය 3000ක් පමණ ප්‍රමාණයක් බවට ඇස්තමේන්තු කොට ඇත. ප්‍රධාන වශයෙන්ම සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර, නකල්ස් වනාන්තර ප්‍රදේශය, ශ්‍රී පාද අඩවිය ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. නුවර එලිය ප්‍රදේශයෙන්ද වාර්තාවී ඇත.


වත සුදු සැරිකාවා / හිස සුදු සැරිකාවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 










(8) Ashy-headed Laughing thrush : හිස කළු උප-දෙමලිච්චා
Garrulax cinereifrons









IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)



දෙමලිච්චා නාමයෙන් හැඳින්වුවද, තිරාසිකයින් (thrush) වර්ගයක් වන හිස කළු උප දෙමලිච්චා සෙන්ටිමීටර් 23ක් පමණ දිගු සිහින් සිරුරක් ඇත්තෙකි. මළබැඳුනු යකඩවලින් දිස්වෙන දුඹුරට හුරු රතුවර්ණයකින් යුතුවන අතර හිස කළු හෝ තද අළු පැහැතිය. පෙඳය දිගටිය. සමාන්‍ය දෙමලිච්චන් මෙන්  ඝෝෂාකාරී නාද රටාවක් ඇත.

ඊසාන දිග තෙත්කළාපීය වර්ෂා වනාන්තරවල පැතිරී ඇත. ගහණය වැඩුනු සතුන් 2000-3000ත් අතර ප්‍රමාණයක් බවට ඇස්තමේන්තු කොට ඇත. කුඩා පළතුරු හා කුඩා සතුන් ආහාරයට ගන්නා සර්ව භක්ශකයෙකි. ඝණ වනාන්තර වල මෙන්ම දැව සඳහා විශාල ගස් කපාදැමූ ප්‍රදේශවලින්ද පර්යේෂකයින්හට මොවුන් හමු වී තිබේ. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා අභි ජනනය සිදුකරයි. තෙත්කලාපීය වනාන්තර විනාශය මොවුන්ගේ ගහණය අඩුවීමට ප්‍රධාන හේතුවයි.

ප්‍රධාන වශයෙන්ම සිංහරාජය, කන්නෙලිය-නාකියාදෙනිය-දෙදියගල රක්ශිත වනාන්තර,  ප්‍රධාන වාසභූමි බවට හඳුනාගෙන ඇත. නුවර එලිය ප්‍රදේශයෙන්ද වාර්තාවී ඇත.

හිස කළු උප-දෙමලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 



 



(9) Chestnut-backed Owlet : පිට තඹල උප බස්සා \ පිට තඹල වන බස්සා
Glaucidium castanonotum

I




IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



තෙත් කලාපීය ඝණ වනාන්තර වල මෙන්ම වියලිකලාපීය වනානතරවලද දැකිය හැකි මේ බස්සා, රබර් වතුවලද දකින්නට ලැබී ඇත. පක්ශි විද්‍යාඥයින් පවසන අන්දමට මෙම බස්සන් කිතුල්ගල වනයේදී එතරම් අපහසුවකින් තොරව දැකගත හැකිය.
සාමාන්‍යයෙන් කුලෑටි හැසීරීමක් පෙන්වන තඹල බස්සා විශාල ගස් මුදුන්වල ලැගීමට කැමැත්තක් දක්වයි. කෘමිසතුන් ප්‍රධාන ආහාරය වුවත් වෙනත් කුඩා සතුන්ද කෑමට ප්‍රියවේ. මාර්තු හා මැයි අතර අභිජනනය සිදුකරයි.

10,000 සිට 20,000 දක්වා වැඩිහිටි සත්ව ගහණයක් ඇති බව ඇස්තමේන්තු කොට් ඇත. වන විනාශය මෙම සත්ව ගහණය අඩුවීමට ප්‍රධානම හේතුවයි.

ගසක බෙනයක වරකට බිත්තර දෙකක් දමනු ලැබේ. මොහු දිවා කල සැරිසරන බස්සෙකු වන අතර නාදය බොහෝ ඈතට ඇසෙන නාදයකි.තරංගාකාර ආකාරයට [undulating] පියාසැරියේ යෙදෙයි. මෙම බස්සා පිලිබඳව මුලින්ම නිරීක්ශණ සටහන් කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත පිලිබඳ බොහෝ පරීක්ශණ නිරීක්ශණ සිදුකල ඔස්ට්‍රේලියානු ජාතික කර්නල් විලියම් ලෙග් (1841-1918) විසිනි. ඔහු විසින් 1878දී රචිත "A history of the birds of Ceylon" ග්‍රන්ථයේ මෙම බස්සා පිලිබඳ සටහන් තබා ඇත.

පිට තඹල උප බස්සා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 





























(10) Spot-winged Thrush : තිත් පිය තිරාසිකයා / පුල්ලි වල් අවිච්චියා
Zoothera spiloptera









IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



සටහන : මෙම රූ සටහනේ කුරුළු වර්ග දෙකක් දැක්වෙයි. මින් වම් පසින් සිටින්නේ තිත් පිය තිරාසිකයාය. දකුණු පස සිටින්නේ කායුරු තිරාසිකයාය (අංක 16)

"ත්‍රෂ්" යනු පැරණි ඉංග්‍රීසියේ එන පදයකි. එහි තේරුම "ජන ගී ගයන කාන්තාව" යන්නයි. ත්‍රෂ් කුරුල්ලන්ද ගී ගැයීමට හපන් බැවින් එනමින් හඳුන්වනවා විය හැකිය. ත්‍රෂ් වර්ගයේ කුරුල්ලන්ට තිරාසික යන සිංහල යෙදුම භාවිතා කෙරේ.

තිරාසික හෙවත් ත්‍රෂ් (thrush) පවුලට අයත් තිත් පිය තිරාසිකයාගේ ප්‍රධානම හඳුනාගැනීමේ ලක්ශණය වන්නේ අත්තටු දෙපස ඇති සුදු තිත් පෙලයි. උඩු කය දුඹුරු පැහැ වන අතර යටි පෙදෙස සුදු පැහැයෙන් දිස්වෙන අතර ලැම හා උදර පෙදෙසේ කළු තිත් වැටී තිබේ.

මයිනෙකුට වඩා මදක් විශාලය. නිතර වැසි වසින, මීටර් 1500කට වඩා උසින් අඩු තෙත් වර්ෂා වනාන්තරවල දැකිය හැකිය. මේ අතරින් සිංහරාජය හා කිතුල්ගල වනය ප්‍රධානය. වියලි කලාපයේ දුලභ වන අතර ගංගා අසබඩ වනාන්තරවල පමණක් අතරින් පතර දක්නට ලැබෙයි.

බොහෝ තිරාසිකයින් මෙන්ම තිත් පිය තිරාසිකයාද ආහාර ගැනීම සඳහා පොලොවේ වැටී ඇති කොල අවුස්සමින් කෘමිසතුන් හා පනුවන් සොයා යයි. පොලොවට අඩි 4-8 පමණ ඉහලින් කුඩා ගසක අතුබෙදී යන දෙබලක කූඩු තනන මොහු මාර්තු-අප්‍රේල් හා අගෝස්තු-නොවැම්බර් මාසවල බිත්තර දෙකක් දමයි.


තිත් පිය තිරාසිකයා / පුල්ලි වල් අවිච්චියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




























(11) Dull Blue Fly Catcher / Dusky Blue Fly Catcher : ශ්‍රී ලංකා අනු-මැසිමාරා / නිල් මාරාවා
Eumyias sordidus







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)



සටහන : මෙම රූ සටහනේ කුරුළු වර්ග තුනක් දැක්වේ. මින් මැද සිටින්නේ සිටින්නේ අනු මැසිමාරාය. අනෙක් දෙදෙනාද වෙනස් මැසිමාරාවුන් වර්ග දෙකකි.

ප්‍රමාණයෙන් ගේ-කුරුල්ලෙකුට සමාන අනු මැසිමාරාට එම නම ලැබී ඇත්තේ මැස්සන්ගේ මාරයා හෙවත් මැස්සන් අල්ලන්නා යන අර්ථය ලබාදීමටය. මධ්‍යම කඳුකර වනාන්තරවල මීටර් 600කට ඉහල ප්‍රදේශය වාස භූමිය කරගත් අනු මැසිමාරාවා ඝණව වැඩුනු වන පෙදෙස් ප්‍රිය කරයි.

අඳුරු නිල් පැහැයක් ගන්නා මොහුගේ ලය හා යටි ප්‍රදේශය උඩුකයට වඩා වරණයෙන් ලා පැහැතිය. ගස්වල පහතින් ඇති අතුපතර අතර සිටිමින් පියාසර කරන මැස්සන් හා වෙනත් කෘමිසතුන් අල්ලාගෙන කයි.

වියලි කොල, පෙඳ-පාසි ආදියෙන් පොලොවට මීටර් දෙකක් පමණ ඉහලින් කූඩු තනන මොවුන් මාර්තු-මැයි හා අගෝස්තු-සැප්තැම්බර් බිත්තර දෙකක් දමයි.

 අනු-මැසිමාරා / නිල් මාරාවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(12) Yellow-eared Bulbul : කහකන් කොණ්ඩයා / කහ කොණ්ඩයා
Pycnonotus penicillatus







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


බුල්බුල් යන පදය පැරණි පර්සියානු වචනයකි. එහි තේරුම ගී ගයන කුරුල්ලා යන්නයි. එය ඉංග්‍රීසි භාශාවට එක්වූයේ 18වැනි ශතවර්ෂයේ කවියන් වන බයිරන්, මුවර් වැන්නවුන් එම පදය සිය කාව්‍යයන් සඳහා යොදාගැනීමත් සමගය. එනම් බුල්බුල් යනු ගී ගයන කුරුල්ලා යන්නයි.

බුල්බුල් ලෙස හැඳින්වෙන පක්ෂි වර්ගයට ශ්‍රී ලාංකික පක්ශි විද්‍යාඥයින් "කොණ්ඩයින්" යන නාමය ලබාදී ඇත. මෙයට හේතුව බුල්බුල් වර්ගයේ පක්ෂීන් බොහෝ දෙනෙකුගේ හිසෙහි යම් ආකාරයක කොණ්ඩයක් වැනි පිහාටු සැකැස්මක් දැකගත හැකි බැවිනි.

හිසෙහි කළු-සුදු රටාවන් හා, ඇස් දෙපසින් විහිදෙන, කන් මෙන් පෙනෙන කහ පැහැති පිහාටු රොදවල් හඳුනාගැනීමේ ලක්ශණ වේ. ලැම හා යටි ප්‍රදේශය දීප්තිමත් කහපැහැයක් ගන්නා අතර පියාපත් හා උඩුකොටස දුර්වර්ණ කහපැහැයක් ගනී.

කඳුකර තෙත් වනාන්තර වල ජීවත්වන කහකන් කොණ්ඩයා මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට ඉහල කඳුකර වනාන්තර ප්‍රිය කරයි. නිතරම ජෝඩු වශයෙන් සැරිසරතත් ආහාර බහුල ස්ථානවල රංචු දැකිය හැකිය. කඩිසර කුරුල්ලෙකු වන කහකන් කොණ්ඩයා කෘමිසතුන් හා කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනී.

ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනය සිදුවන අතර අගෝස්තු-ඔක්තෝම්බර් කාලයේදීද බිත්තර දැමීම සිදුකරයි. පොලවට මීටර් 3-5 පමණ ඉහලින් කුඩා ගසක කූඩු තනන මොහු වරකට බිත්තර දෙකක් පමණ දමයි.

කහකන් කොණ්ඩයා / කහ කොණ්ඩයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




























(13) Bush Warbler : වනරැවියා
Bradypterus palliseri







IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


රැවියන් ඉංග්‍රීසියෙන් "වාබ්ලර්" ලෙස හඳුන්වයි. වාබ්ලර් යෙදුම "ගී ගයන්නා" යන තේරුම දෙයි. ශ්‍රී ලංකා වනරැවියා අයත් වන්නේ "old world warblers" හෙවත් "පැරණි ලොව වනරැවියන්" කාණ්ඩයටයි.

මධ්‍යම කඳුකරයේ මීටර් 1200කට ඉහල ප්‍රදේශ නිජබිම කරගත් වනරැවියා ඝණව වැඩුනු කැලෑවල යටිවනයේ [under growth] ජීවත්වේ. බොහෝ විට දියපාරවල් අසල ගැවසෙනු දැකිය හැකිය.

සෙන්ටිමීටර් 14ක් පමණ වන කුඩා පක්ෂියෙකු වන මොහු දුඹුරු-අළු මිශ්‍ර පැහැයක් ගනී. උඩු ප්‍රදේශයට වඩා යටු ප්‍රදේශය ලා පැහැතිය. යටි වනයේ පඳුරු අතර ගැවසෙන බැවින් නිරීක්ශණය අපහසුය. කෘමිසතුන් ප්‍රධාන ආහාරයයි.

පෙබරවාරියේ සිට මාර්තු දක්වා අභිජනනය සිදුකරන අතර වරකට බිත්තර දෙකක් දමයි. යටිවනයේ පඳුරු අතර කූඩුව සාදාගනී.

මෙම රැවියන් විශාල ප්‍රමාණයක් හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙයි. එබැවින් දැකගැනීමට අපහසු වනරැවියා දැකැගැනීමට කැමතිනම් හොඳම ප්‍රදේශය හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයයි.

වනරැවියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 








(14) Orange Billed Babbler : රතු දෙමලිච්චා

Turdoides rufescens






IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)






බැබ්ලර් හෙවත් දෙමලිච්චන් වර්ගයක් වන රතු දෙමලිච්චා නිරිතදිග තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට හෝර්ටන් තැන්න දක්වා ප්‍රදේශයක පැතිරී සිටියි. ප්‍රමාණයෙන් සාමාන්‍ය දෙමලිච්චෙකුට සමානවන රතු දෙමලිච්චා, රංචු වශයෙන් හැසිරෙනු දකින්නට පුලුවන. දුඹුරට හුරු රතුපැහැ පිහාටුවලින් හා තද තැඹිලි පැහැ හොට හා පාද නිසා අලංකාර කුරුල්ලෙකි.

සර්ව භක්ශකයෙකු වන රතු දෙමලිච්චා කැලෑවේ ඉහල ගස් මුදුන්වල සිට පොලව දක්වා සියලුම ස්ථරවල ආහාර සොයමින් හැසිරෙයි. සාමාන්‍ය දෙමලිච්චන් මෙන්ම රතු දෙමලිච්චන් රංචුද ඉතා ඝෝෂාකාරී ලෙස කෑගසමින් හැසිරෙයි. මෙම පක්ෂීන්ට යෙදෙන බැබ්ලර් යන පොදු නාමයෙහි තේරුමද තොරතෝංචියක් නොමැතිව කෑගසන්නා යන්නයි.
රතු දෙමලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

කර්නල් විලියම් ලෙග් 1878දී රචිත "A history of the birds of Ceylon" ග්‍රන්ථයේ රතු දෙමලිච්චා මාර්තු හා මැයි අතර බිත්තර දමන බවත්, එම බිත්තර තද කොළට හුරු නිල් පැහැයක් ගන්නා අතර බිත්තර දෙකක් හෝ තුනක් දමන බවත් සටහන් කොට ඇත. රතු දෙමලිච්චන්ගේ කූඩු හා අභිජනන ක්‍රියාවලිය පිලිබඳව එතරම් තොරතුරු සටහන්වී නොමැත. පක්ශි විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට රතු දෙමලිච්චා සිය කූඩු ඉතා සුපරික්ශාකාරීව, සිය කූඩු කිසිවෙකුටත් නෙත නොගැටෙන ස්ථානවල ඉතා රහසිගතව තනීම මෙයට හේතුවයි.

කිතුල්ගල හා සිංහරාජ වනය රතු දෙමලිච්චන් දැකගත හැකි වනාන්තර පෙදෙස් දෙකකි.
















(15) White-throated Flowerpecker / Legge's Flowerpecker : ශ්‍රී ලංකා පිළිලිච්චා
Dicaeum vincens









IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)

1987 වසරේ නිකුත්කරන ලද රුපියල් 1.00ක් වටිනා තැපැල් මුද්දරයේ සටහන්ව ඇති ශ්‍රී ලංකා පිළිලිච්චා, හඳුන්වාදී ඇත්තේ "ලෙග්ස් ෆ්ලවර්-පෙකර්" ලෙසටය. එහෙත් ආචාර්ය කොටගම හා අතුල විජයසිංහ සම්පාදනය කල "ශ්‍රී ලංකා කුරුල්ලෝ - අත්පොත" ග්‍රන්ථයේ මෙම කුරුල්ලාට ලබාදී ඇති ඉංග්‍රීසි නාමය "වයිට් ත්‍රෝටඩ් ෆ්ලවර්-පෙකර්" යන්නයි.

සෙන්ටිමීටර් 10ක් පමණ දිගැති පිළිලිච්චා කුඩා පක්ෂියෙකි. නිරිත දිග තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට මධ්‍යම කඳුකරය දක්වා පැතිර සිටින මොහු ඝණව වැඩුණු වනාන්තරවල මෙන්ම හොඳින් ගස් වැවී ඇති ගෙවතු වලද දැකිය හැකිය. 

මහත, කෙටි හොටක් ඇති පිළිලිච්චාගේ උඩු කොටස කළුපැහැ වන අතර බෙල්ල සුදු පැහැතිය. සිරුරේ යටි කොටස කහ පැහැතිය. ගැහැණු සතාගේ උඩු කොටස කොළ මිශ්‍ර දුඹුරු පැහැයක් ගනී.


පිළිලිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 
හොර ගස්වල කූඩු සෑදීමට ප්‍රිය කරන පිළිලිච්චා හැඹිලියක් මෙන් එල්ලෙන කූඩුවක් තනා බිත්තර දෙකක් දමන අතර ප්‍රධාන අභිජනන කාලය ජනවාරි සිට අගෝස්තු දක්වාය. මෙම කූඩුවේ ඇතුළුවීමේ දොරටුව, කූඩුව ගසේ එල්ලෙන කෝටුකැබැල්ල අසලින් තිබේ. දං ගෙඩි හා එවැනි කුඩා පළතුරු මෙන්ම කෘමිසතුන් හා කුඩා මකුළුවන්ද ආහාරයට ගනී.

තනිව හෝ ජෝඩු වශයෙන් සැරිසරන පිළිලිච්චා ගස් මුදුන්වල සිටීමට කැමත්තක් දක්වයි.
























































(16) Sri Lanka Scaly Thrush : කායුරු (කොරල) තිරාසිකයා / පෙති ගෝමර වල් අවිච්චියා
Zoothera imbricata





IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)


තිරාසික හෙවත් ත්‍රෂ් පවුලට අයත්වන කායුරු (කොරල ) තිරාසිකයාට එම නම ලැබී ඇත්තේ සිරුරේ උඩ කොටසේ ඇති කොරල මෙන් පෙනෙන පුල්ලි රටා හේතුවෙනි. ගැහැණු පිරිමි දෙපක්ෂයම එක හැඩරුව ඇති මේ කුරුල්ලා නිරිත දිග තෙත් කලාපීය වනාන්තරවල දැකිය හැකිය. මීටර් 400-2200ක් පමණ උසක් දක්වා පැතිරී ඇත. මේ තිරාසිකයා, අනෙකුත් තිරාසිකයින් මෙන්ම මියුරු නාදයෙන් හඬනගයි.
කායුරු තිරාසිකයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

සිංහරාජය හා කිතුල්ගල වනය ප්‍රධානය. වියලි කලාපයේ දුලභ වන අතර ගංගා අසබඩ වනාන්තරවල පමණක් අතරින් පතර දක්නට ලැබෙයි.

බොහෝ තිරාසිකයින් මෙන්ම කායුරු තිරාසිකයාද ආහාර ගැනීම සඳහා පොලොවේ වැටී ඇති කොල අවුස්සමින් කෘමිසතුන් හා පනුවන් සොයා යයි. පොලොවට අඩි 4-8 පමණ ඉහලින් කුඩා ගසක අතුබෙදී යන දෙබලක කූඩු තනන මොහු මාර්තු-අප්‍රේල් හා අගෝස්තු-නොවැම්බර් මාසවල බිත්තර දෙකක් දමයි.

සෙන්ටිමීටර් 24ක් පමණ වන මේ පක්ෂියා, ඉතා සුපරික්ශාකාරී සත්වයෙකු වන අතර හැසිරීම, රහසින් ක්‍රියා කරන්නෙකු (secretive) මෙන්ය. පොලොවේ කෑම සොයා නොයනවිට ඝණ අතුරුපතර තුල සැඟවී සිටීමට ප්‍රියකරයි. 































(17) Sri Lanka Myna : ශ්‍රි ලංකා මයිනා / සැළලිහිණියා
Gracula ptilogenys





IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් ඇති පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Near Threatened (NT)




අප කුඩාකල කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලදී පවා නිතර දැකගන්නට ලැබුණු, මයිනා හෙවත් සැළලිහිණියා අද වඳවීයාමේ තර්ජන සම්භාවිතාවය ඉහල සතෙකු ලෙස IUCN සංවිධානය ලයිස්තුගත කොට තිබීම සැබවින්ම ඛේදජනකය.

ප්‍රමානයෙන් සෙ.මී. 23 කි. තද කළුවන් දුඹුරු වලිගයකි. හොට, කකුල් , සහ ඇස් වටා කහ පාටය. හිස පෙදෙස කළුපාටට හුරුය. පියාසර කරන විට සුදුපාට පැල්ලමක් දක්නට ලැබේ. යුවල ලෙසින් හෝ කුඩා කණ්ඩායම් ලෙසින් ඇවිදිමින් ආහාර සොයා යාම සිරිත් වේ. 

සුරතල් සතෙකු ලෙස ඇතිකල හැකිය. සමහර කුරුල්ලන් මිනිස් වදන් සහ ගීත හොදින් අනුයති. අභිජනන  සමය මර්තු සිට සැප්තැම්බර් දක්වා විහිදේ. වැසුනු කුඩුවකි.ගසක බෙනයක් තුල කුඩුව සාදයි ගසක කුරුල්ලෙකු කොට්ටෝරු වෙකු තැනු කුහරයක් මේ සඳහා යොදාගනි. කෙදි වලින් බෙනය තුල කුඩුවක් තනා ගනි. තරමින් මි.මි.29-21 වු ලා නිල්පාට බිත්තර 3=4 දමයි .


මයිනා / සැළලිහිණියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 




(18) Sri Lanka Spurfowl : හබන් කුකුළා
Galloperdix bicalcarata








IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)




හබන් කුකුළා බිම්වාසී කුරුල්ලෙකි. එහෙත් යම් ප‍්‍රමාණයක් පියෑඹීමට පුළුවන. ගස් මත ලැගුම් ගනී. රාති‍්‍රයෙහි දී ලැගීම සඳහා තෝරා ගන්නේ ගසක අත්තකි.පිරිමි සතුන් රතු දුඹුරුවන් උඩු කයකින් යුක්තය. යටි කය කළු සහ සුදු පාටින් යුක්තය. පාදයේ ඇඟිලි හතරට අමතරව පොර කටුවක් පවතී. මෙය පක්ෂියාගේ ආරක්ෂාවට ඉතා ප‍්‍රයෝජනවත්ය. ගැහැණු සතාගේ වර්ණය දුඹුරු මුසු කළු පාටකි.

විශාල වුවද, ඉතා කුළෑටි, රහසින් හැසිරෙන සත්වයෙකු බැවින් දැකීම අපහසුය.

හබන් කුකුළන් යුගල වශයෙන් දිවි ගෙවයි. ගැහැණු සතා හා පිරිමි සතා එක් වූ විට ජීවිත කාලය පුරාම එක්ව ජීවත්වන බව විශ්වාස කරයි. පැටවුන් ලොකු මහත් වන තුරු රංචුව වශයෙන් දිවි ගෙවයි. අනෙක් කුකුළන් මෙන් හබන් කුකුළා ද අලුයම නාද නගයි.
හබන් කුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

එහෙත් මොහුට හඬ විසිකිරීමට හැකියාවක් ඇති බව මහාචාර්ය සරත් කොටගම විසින් රචනා කරන ලද කෘතියක සඳහන් වෙයි. නාදය කොතනින් ඇසෙනවාද කියා නිශ්චිතව තේරුම් ගැනීමට නොහැකිවීම හඬ විසිකිරීමේ ලක්ෂණයයි. ජීවියාගේ ආරක්ෂාවටත් මෙය ඉතා ප‍්‍රයෝජනවත් වේ. කිරිල්ලියගේ බිත්තර දැමීම ඔක්තෝබර් සිට අප‍්‍රියෙල් දක්වා කාලය තුළ සිදු වේ. ඇතැම් විට ජුලි සැප්තැම්බර් දක්වා ද පවතී. ගසක පාමුල, පොළොව මත කැදැල්ල සාදයි. එහි බිත්තර දෙකේ සිට පහක් දකවා ප්‍රමාණයක් දමයි.










(

(19) Sri Lanka Hanging Parrot / Ceylon Lorikeet ගිරා මලිත්තා
Loriculus beryllinus








IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)



ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්‍ෂියෙකි. කඳුකර කලාපය ආශ්‍රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. 

මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ.

 හිස මත ක්‍රිම්සන් රතු පැහැ වර්නයත් කෙටි චතුරස්‍රාකාර වල්ගයත් නිසා ඉතාම පහසුවෙන් හදුනා ගැනීමට හැක . පිරිමි සතුන් වර්ණවත් වන අතර ගැහැනු සතුන් ගේ වර්ණ සාපෙක්ෂව ඊට අඩුය . පැටවුන්ද ඊට සම ආකාරයක් ගනී . කැදැලි තනන්නේ ගස් වල ඇති බෙන වලය . ආහාර ගන්නා විට හෝ නිදහසේ සිටිනා විට දෙපා වලින් ගස් අතු මත සැරිසරයි . මෙය ඔවුන් හට ආවේණික විශේෂිත ලක්ෂණයකි . වෙනත් කිසිම ගිරා පවුලේ සාමජිකයන් එලස නොසිටි
  
වේගයෙන් පියෑඹීමට අපූරු හැකියාවක් ඇති මෙම පක්ෂියාගේ නාදය තියුණුය. රංචු වශයෙන් බහුලව දැකිය නොහැකි, තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් නිසංසල තුරු මුදුන් වල දැකිය හැකි, රතු පැහැති හිස මුදුනකින් හා කුඩා වලිග කොටසකින් යුතු මෙම අලංකාර පක්ෂියාගේ වක් වූ හොටය රතු පැහැතිය. 


ගිරා මලිත්තා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 
ඉදුණු පළතුරු, මල්පැණි හා කුඩා ධාන්‍ය වර්ග ආහාරයට ගනී. හොදින් වැඩුණු කුරුල්ලෙකු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගින් යුතු වේ. කුරුල්ලා හා කිරිල්ලිය පෙනුමෙන් එක සමාන වුවත් කිරිල්ලියට වඩා කුරුල්ලා වර්ණවත් බැවින් වැඩිය. බොහෝ විට තුරු මුදුනක පිහිටි ගස් බෙනයක් බිත්තර දැමීම සදහා තෝරා ගනු ලබයි. වරෙකට බිත්තර 2-3 ප්‍රමාණයක් දමනු ලබනු බවද සැළකේ. 



(20) Emerald-collared Parakeet / Layard's parakeet අළු ගිරවා
Psittacula calthropae


IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)

කඳුකරයේ මීටර් 1700 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්‍රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී. මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. ලිංගික ද්විරූපතාවක් සහිතය. ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය. මාල ගිරවා සහ රෝස ගිරවා ගේ ශරීරයන්ට සමාන ශරීරයක් හිමිය .ගැහැණු සතා පිරිමි සතාට වඩා තද පාටය.ගෙල වටා කළු පැහැති පටියක් දක්නට ලැබේ .ගිරවියගේ හොට කළු පැහැතිය. පිරිමි සතාගේ හොට රතු පැහැතිය.පක්ෂියෙකු 30 cm පමණ දිගින් යුතුය .ප්‍රධාන වශයෙන් පලතුරු සහ මල් පැණි ආහාරය ලෙස ගනී .
නිරන්තරව නාද කරමින් හැසිරේ.ජෝඩු වශයෙන් හෝ කුඩා සමුහ වශයෙන් ජිවත් වීමට කැමතිය. ජනවාරි සිට මැයි, ජුලි සිට සැප්තැම්බර් අතර කුඩු තනයි. අදුරු සුදු පැහැ බිත්තර 2-3 වරකට දමයි. රිටිගල වනයේ හා වස්ගමුව ජාතික වනෝද්‍යානයේ බහුලව දැකිය හැකිය. අනෙකුත් ගිරවුන් වර්ග මෙන් නොව, අළු ගිරවාගෙන් වී වගාවට වන හානිය අවමය.

අළු ගිරවා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org



(21) Sri Lanka White-eye / Ceylon Hill White-eye : සිතැසියා / මල් කුරුල්ලා
Zosterops ceylonensis


IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)



සිතැසියා කඳුකර ප්‍රදේශවල දැකිය හැකි සුළබම කුරුල්ලා ලෙස සැළකිය හැකිය. කඳුකර ප්‍රදේශවල රංචුපිටින් සැරිසරන සිතැසියා, කඩිසරව ඔබ මොබ පියාසර කරමින්, අහර සොයායන අයුරු දැකගත හැකිය. කුඩා ගෙඩිවර්ග, මල්පැණි, කෘමිසතුන් හා දළඹුවන් ආහාරයට ගන්නා සිතැසියා අපට ඉතා ප්‍රයෝජනවත් කුරුල්ලෙකු වන්නේ හානිකර කෘමීන් හා දළඹුවන් විශාල ප්‍රමාණයක් මොවුන් විසින් දිනපතා කාදමන නිසාය. එබැවින් කඳුකරයේ වගාවන් ආරක්ශාව සඳහා සිතැසියාගෙන් විශාල මෙහෙයක් සිදුවේ.

හෝර්ටන් තැන්නේ නිතර දැකිය හැකි සිතැසියා, එහි වැවෙන "මහ රත්මල්" මලෙහි පැණිබීමට ඉමහත් ආශාවක් දක්වයි.හිස සහ ශරිරයේ පිට පැත්ත අඳුරු කොළ පාටයි. පියපත් අදුරු දුඹුරු පාටයි. උදරය සුදුපැහැ සහ පෙදයෙ යටි උදරය පෙදෙස කහපැහැයක් ගනි. 

කුරුල්ලගෙත් කිරිල්ලියගෙත් ඇසවටා සුදු රවුමකි. කුඩුව අතුගොමුවක පහතට එල්ලෙන ලෙස තනා ලානිල් පැහැබිත්තර 2 ක් දමයි.
සිතැසියා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org






(22) Ceylon Scimitar Babbler : දෑකැති දෙමළිච්චා / ශ්‍රී ලංකා දෑ-දෙමළිච්චා
Pomatorhinus melanurus



IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)


සිමිටාර් බැබ්ලර් යනුවෙන් හැඳින්වෙන මෙම කුරුල්ලන් දෙමළිච්චන් වර්ගයකි. කලක් ඉන්දියානු සිමිටාර් බැබ්ලර් කුරුලුවර්ගයේ උප කුලයක් ලෙස ලංකා සිමිටාර් බැබ්ලර් හෙවත් දෑ දෙමළිච්චා වර්ග කොට තිබුණි. 

එහෙත් මෑතකදී කුරුල්ලන් වර්ගීකරණ ක්‍රමවේදයේ සිදුවූ වෙනස්කම් වලට අනුරූපව ලංකා දෑ දෙමළිච්චා ශ්‍රී ලංකාවට ආවේණික, වෙනත් රටක දකින්නට නොමැති කුරුළුවර්ගයක් ලෙස ලොව කුරුළු විද්‍යාඥයින් විසින් පිලිගෙන ඇත.
කෘමිසතුන්, මකුළුවන් මෙන්ම කුඩා ගෙඩිවර්ග හා මල්පැණි ආහාරයට ගන්නා දෑ දෙමළිච්චා කුඩා කණ්ඩායම් ලෙස හැසිරෙයි. වනයේ යටිවගාවේ වැඩිපුරම ගැවසෙන දෑ දෙමළිච්චා පඳුරක් මත කූඩු තනා වරකට බිත්තර 2-5 අතර ප්‍රමාණයක් දමයි. යාපනය අර්ධද්වීපයේ හැරුණු කොට මුලු දිවයින පුරාම පැතිර සිටියි.

ශ්‍රී ලංකා දෑ දෙමළිච්චා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org























(23) Sri Lanka Junglefowl: වළි කුකුළා
Gallus lafayetii



IUCN රතු ලැයිස්තුවට අනුව තර්ජනයට බඳුන්වීමේ සම්භාවිතාවයක් නොමැති නිතර්ජිත පක්ශියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Least Concern (LC)

වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්‍ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්‍ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්‍ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්‍ෂානාරී කුළෑටි පක්‍ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ.

කඳුකර වනාන්තර වල නිල්ලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නිල්ලු මෙන් වසර කිහිපයකට වතාවකි.

වළිකුකුළා ප්‍රධාන වශ‍යෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.

වළිකුකුළා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org























Related Posts Plugin for WordPress, Blogger...