Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 3 August 2016

ශ්‍රි ලංකාවේ ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ | Invasive alien species of Sri Lanka


ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ ගණනාවක් හඳුනාගත හැකිවනවා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක, ලංකාව තුල, ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්තවන ආගන්තුක ශාක වර්ග 20ක් හා සත්ව වර්ග 7ක් පිලිබඳ තොරතුරු විස්තර කොට තිබෙනවා.

විද්‍යා ගවේෂණ අඩවියේ අප සැමවිටම ලංකාවේ ස්වභාව සෞන්දර්යය රැකගැනීමටත්, ජෛව විවිධත්වය ආරක්ශා කරගැනීමටත් කැපවෙන අතර මේ ලිපියෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ සියල්ලම ඔබට හඳුන්වා දෙන්නට උත්සහ කරන්නේ මෙවැනි ශාක හා සතුන් දුටුවිට ඒවා හඳුනාගෙන ඉවත් කිරීමට හෝ පරිසර අමාත්‍යාංශයේ බළධාරීන් දැනුවත් කිරීමට ඔබට හැකියාව ලැබෙන නිසයි.

ශ්‍රි ලංකාවේ ආගන්තුක ආක්‍රමණශීලී ශාක විශේෂ

1] අග මුල නැති වැල් - Golden Dodder/Field Dodder (Cuscuta campestris)


අග මුල නැති වැල් - ඡායාරූපය : http://biodiversityofsrilanka.blogspot.com





Golden Dodder/Field Dodder ලෙස ඉංග්‍රීසියෙන්ද, අග මුල නැති වැල් ලෙස සිංහලෙන්ද හඳුන්වන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Cuscuta campestris යන්නයි. උතුරු ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශ නිජභූමිය කරගත් මෙය පත්‍ර නොමැති, විශාල ලෙස පැතිරෙන පරපෝෂිත ශාකයක් වනවා. වියළිකළාපයේ පහත්බිම් වල විශාල ලෙස පැතිර තිබෙන මෙම පැළෑටිය ආක්‍රමණික ආගන්තුක ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම පැලෑටියේ ඇට චීනයෙන් සහල් ආනයනය කරද්දී ලංකාවට පැමිනෙන්නට ඇතැයි මතයක් පලවනවා.

අවුල්වී පැටලුණු ලා කහ පැහැති නූල් ගොන්නක් මෙන් ශාක මත විසිරී පවතින මෙය පූර්ණ පරපෝෂී ශාකයකි.  මුල වෙනත් ශාකයක ළපටි කඳට සවිවීම මගින් ශාකය පෝෂණය ලබයි. යම් හෙයකින් ධාරක ශාකය මියගිය හොත් බොහෝ විට අගමුල නැති වැලද මියයෑම සිදුවේ.

2] හවරි නුග - Hard alstonia/ Milk wood (Alstonia macrophylla)

හවරි නුග - ඡායාරූපය : http://biodiversityofsrilanka.blogspot.com
අගනිදිග ආසියාවේ ඉන්දූනීසියාව, මැලේසියාව, වියට්නාමය හා තායිලන්තය නිජබිම කරගත් හවරි නුග ආයූර්වේද ඖෂධ ශාකයක් ලෙසද භාවිතා වනවා. විශාල පත්‍ර සහිත, උකු කිරි ගසක් වන මෙය මීටර් 30ක් පමණ උසට වැඩෙන, ශක්තිමත් කඳකින් යුතු අතර  ඉතා ඉක්මණින් වැඩෙන නිසාත්, කඳ දැව සඳහා භාවිතා කල හැකි නිසාත් කලක් කැලෑ වැවීම සඳහා ලංකාවේ වගාකලද දැන් තෙත්කලාපයේ ආක්‍රමණික ශාකයක් ලෙස වර්ග කොට තිබෙනවා.

 3] ඉපිල් ඉපිල්/Ipil Ipil/ Wild Tamarind/Coffee bush (Leucaena leucocephala)



දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් ඉපිල් ඉපිල් ශාකය ඉතා වෙගයෙන් වැඩෙන නිසා කලක් ලංකාවේ දර ලබාගැනීමට, සෙවන ලබාගැනීමට මෙන්ම වනවගාව සඳහා මෙන්ම කොම්පෝස්ට් සඳහා ජෛව ද්‍රව්‍ය ලබාගැනීම සඳහාද රජය මගින් ප්‍රචලිත කලා. එහෙත් මෙම ශාකය දැන් ආක්‍රමණශීලී ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනව. විශාල වශයෙන් ඇතිවන කුඩා ඇට  අවට පරිසරය පුරා පැතිරෙමින් විශාල ප්‍රදේශයක වේගයෙන් පැතිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසාම International Union for the Conservation of Nature (ICUN) ආයතනය වැඩිම වේගයකින් පැතිරෙන ආක්‍රමණශීලී ශාක 100 අතරට ඉපිල් ඉපිල් ඇතුලත් කොට තිබෙනවා.

4] කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා -  Koster's curse (Clidemia hirta)


මධ්‍යම ඇමරිකාව හා දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා ශාකය, යම් කලකදී අලංකාරයට සිටුවිය හැකි පැලෑටියක් ලෙස ලංකාවට ගෙන එන්නට ඇතැයි සිතිය හැකි අතර තෙත් කලාපයේ ඉතා වේගයෙන් වැඩෙමින් ආවේණික ශාකවලට වැවීමට ඇති ඉඩකඩ අසුරාදමයි. හිරු එළිය හා පසෙහි සාරවත් බව අනුව අඩි 3 සිට අඩි 16 දක්වා විශාලව වැඩෙන මෙම ශාකය වැඩිවශයෙන්ම ව්‍යාප්තවන්නේ එහි ගෙඩි ආහාරයට ගන්නා කුරුල්ලන් මගිනි. ඝණ පඳුරු ලෙස පැතිරෙන නිසා ආවේනික ශාකවල පැවැත්මට දැඩිලෙස බාධාකරයි. ශ්‍රී ලංකාව, හවායි, ඔස්ට්‍රේලියාව හා ෆීජී දූපත්වල මෙම ශාකය ආක්‍රමණකාරී ශාකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, දැන හෝ නොදැන මෙම පැලෑටියක් හෝ ජනන ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවට ගෙන එන්නෙකු ඔස්ට්‍රේලියානු ඩොලර් 60,000ක දඩයකට යටත්වනු ඇත.


5] පාතීනියම් වල් පැළෑටිය - Paathenium Weed / Carrot Grass (Parthenium hystrophorous)


‘ඔබ දැන් සිටින්නේ පාතීනියම් වල් පැළෑටිය බහුලව ඇති ප්‍රදේශයකයි. මේ ප්‍රදේශයෙන් පස් වැලි සහ පැලෑටි ගෙනයාමෙන් වළකින්න’ වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වීමෙන් අනතුරුව වවුනියාව නගරය හා ඒ අවට මෙවැනි දැන්වීම් පුවරු දක්නට ලැබෙයි. ඉහත කී දැන්වීම් පුවරු සවිකරනු ලැබුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි. ඒ ‘පාතීනියම් හිස්ටෙරොෆොරස්ට්’ නමැති ආක්‍රමණික විනාශකාරී වල් පැළෑටියෙන් වන අති විශාල විනාශකාරී බව නොදන්නා ජනතාවට පහසුවෙන් ග්‍රහණය කරවීම උදෙසාය. ශාක ආරක්ෂක පනත යටතේ පාතීනියම් වැවීමට ඉඩ හැරීම ළඟ තබා ගැනීම වරදක් වන අතර එසේ වරදක් වන අයෙකුට මාස 06 කට නොඅඩු සිර දඬුවමක් හෝ රුපියල් දහසකට නොඅඩු දඩ මුදලක් නියම කිරීමට නීතිමය හැකියාව තිබේ.

පාතීනියම් නමැති ආක්‍රමණික ශාකය ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ලංකාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පැතිරයාමට පටන් ගත් බව සොයාගෙන තිබේ. එම හමුදා වවුනියාවේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානවල මුලින්ම මේ වල් පැළෑටිය දක්නට ලැබුණු අතර පසුව මේවා වෙනත් ස්ථාන දක්වා පැතිරයාම සිදුවිය. ඇතමුන් පවසන්නේ එම හමුදා මේවායේ කොල ගංජා මෙන් බීමට ගත් බවයි. එහෙත් මෙහි කොතරම් සත්‍යතාවයක් ඇත්දැයි නොදනියි.

සරුවට වැවුණු පාතීනියම් ගසක් අඩි පහක් හයක් උස වන අතර අතු රිකිලි විහිදා ලියලා වැඩෙයි. වියළි පරිසරය තුළ ඉතා හොඳින් වැඩෙන මේ වල් ශාකය සුදු පැහැති අලංකාර වූ මලින් යුක්තය. කැරට් පැළයක පත්‍ර මෙන් මෙහි පත්‍ර පිහිටා තිබේ. මල් මගින් බීජ හටගැනීම සිදුවන අතර එක් ගසකින් බීජ 25,000 ක් 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පාතීනියම් පත්‍ර තරමක බූව සහිතය. මෙම ශාක කොටස් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් සමේ රෝග (dermatitis) හා ස්වසන රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින බව සොයාගෙන ඇති අතර ගවයන් එළුවන් වැනි සතුන් මේ ශාක කොටස් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ කිරි නිෂ්පාදන අඩුවීම හා විවිධ රෝග තත්ව ඇතිවන බව සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙම පැලෑටියේ අඩංගු "පාතෙනින්" නම් විෂ රාසයණිකයක් මෙම ආබාධ ඇතිකිරීමට මුල්වෙයි.

6] යෝධ නිදිකුම්බා - Giant Mimosa (Mimosa pigra)


ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලේඛනයේ හයවැනි තැන හිමි වන්නේ යෝධ නිදිකුම්බා ශාකයටයි. එය ශාක දහයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලැයිස්‌තුවේද නම සඳහන් දැඩි ආක්‍රමණකාරී ශාකයකි. 1980 දී මෙම ශාකය අප රටට පැමිණි බවට හඳුනාගෙන ඇත.

යෝධ නිදිකුම්බා වල් පැළෑටිය රට අභ්‍යන්තරයේ ජලාශ්‍රිත ප්‍රදේශ, වගුරුබිම් සහ ප්‍රධාන වශයෙන් මඩ (කුඹුරු) ඉඩම් ඉතාමත් ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින්  දිගින් දිගටම පැතිර යමින් පවතී. 1997 වකවානුව වන විට කුඩා ප්‍රදේශයක්‌ වසා පැතිර තිබූ මෙම ශාකය අද වන විට මහවැලි ගඟ ඔස්‌සේ බොහෝ දුරට පැතිරී ඇති බව පෙනේනට තිබේ.

මධ්‍යම ඇමරිකානු කලාපය නිජබිම කරගත් මෙම යෝධ නිදිකුම්බා පඳුරු විශේෂය සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 750-2250 අතර වර්ෂාපතනයෙන්ද, සෙන්ටිග්‍රේඩ් අංශක 20-30 උෂ්ණත්වයෙන්ද යුත් ඝර්ම කලාපීය ප්‍රදේශ තුළ ඉතාම ආක්‍රමණශීලීව පැතිර යමින් ශීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කරයි. දැනටමත් ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, මෙක්‌සිකෝව, වියට්‌නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තෙත්බිම් ආශ්‍රිතව මෙම ශාකය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එම රටවල ගොවීන්ට මෙන්ම රජයන්ටද මෙය මහත් හිසරදයක්‌ වී ඇත.

එයට ප්‍රධානතම හේතුව වන්නේ අනෙකුත් වල්පැළෑටි මර්දනය කිරීමට යොදා ගන්නා සාමාන්‍ය ක්‍රම මගින් මෙය මර්දනය කිරීමට නොහැකි වීමයි. කටු සහිත ශාකයක්‌ බැවින් ඒ අතර ගැවසීමටද නොහැකිය. ඒ සමගම අක්‌කර දහස්‌ ගණනාවක්‌ වූ මෙවැනි ව්‍යසනකාරී ශාක සහිත කැළෑ ඉඩම් සඳහා එම රටවල් ගුවන් යානා යොදා වල්නාශක ඉසීමද අසාර්ථක වී ඇත. ඒ නිදිකුම්බා කුලයේ ශාකයක්‌ බැවින් වල්නාශක ඉසින විට මෙය පත්‍ර හකුළුවා ගන්නා නිසාය. එබැවින් තායිලන්තය, පිලිපීනය වැනි රටවල් මෙම ශාකය මර්දනය කිරීම අතහැර දමා ඇති බවද වාර්තා වේ. කුඹුරු ඉඩම් වසා පැතිරීම, කටු සහිත මෙම ශාකයේ පීඩාව මෙන්ම අස්‌වනු පාලු කිරීම මෙහි අනිසි බලපෑම් අතර ප්‍රධාන වේ. 

7] කටු පතොක් - Prickly Pear (Opuntia dillenii)



මෙක්සිකෝව, මධ්‍යම ඇමරිකාව හා කැරිබියන් දූපත් ආශ්‍රිත ප්‍රදේශ නිජබිම කරගත් කටු පතොක් ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවක ආක්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන ඇත.   ශුෂ්ක කලාපයේ වැලි සහිත පොලොවේ වැවෙන මෙම ශාකය ලංකාවේ බූන්දල සිට හම්බන්තොට හරහා යාල වනෝද්‍යානය දක්වා ප්‍රදේශවල පැතිර පවති. ඝණව ගාල් ලෙස වැවෙන නිසා මිනිසුන්ට හා සතුන්ට කටුපතොක් ගාල් ඇති ප්‍රදේශවල ගමන්කල නොහැකිය. කහපාට මලකින් හටගන්නා ගෙඩිය මිහිරි රසයෙන් යුතුය. රිළවුන් (Toque Macaque - Macaca sinica) මෙම ගෙඩි ප්‍රිය කරන අතර ව්‍යාප්තිය වැඩිවශයෙන් වන්නේ රිළවුන් හරහාය.

8] යූලෙක්ස් - Common Gorse (Ulex europaeus)  



බටහිර හා දකුණු යුරෝපය නිජබිම කරගත් යූලෙක්ස් යුරෝපීයයන් පදිංචියට ගිය ලංකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව වගේ රටවල පැතිරුනා. යූලෙක්ස් වැඩිවශයෙන්ම දකුණු යුරෝපීය කාළගුණයට සමාන කාළගුණයක් තියෙන නුවර එලිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ වැවෙන අතර දැන් ආක්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන තියෙනවා. කහ පාට මලක් පිපෙන මේ ආක්‍රමණිකයා ශීඝ්‍රයෙන් පැතිරෙමින් ආවේණික ශාකවලට ඇති ඉඩකඩ අහුරනවා. ජනප්‍රවාදයේ විධියට යූලෙක්ස් ලංකාවට ගේන්නේ තෝමස් ෆා කියන ඉංගී්‍රසි ජාතිකයා. අද හෝර්ටන් තැන්නේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය බවට පත්වෙලා තියෙන ඔහුගේ "Thomas Farr Inn " බංගලාවේ මල් වැටට හිටවන්න ගෙනාපු යූලෙක්ස්දැන් තැන්න පුරාම පැතිරිලා.

9] කහ කරාබු - Creeping Ox-eye (Sphagneticola trilobata)



















කහ කරාබු කියලා හඳුන්වන වේගයෙන් පැතිරෙන මෙම පැලෑටිය ඝර්මකලාපීය මධ්‍යම අමෙරිකාව නිජබිමවූ පැලෑටියක්. ලංකාවට ආවේ කොහොමද කියලා තහවුරුවෙලා නැතත් මෙම පැලෑටියේ ලස්සන පොඩි කහ මල් නිසා බිම් ආවරණ පැලෑටියක් විධියට ගේන්න ඇති කියලා හිතන්න පුලුවන්.

බිම වසාගෙන සෙන්ටිමීටර් 30ක් (අඩියක් පමණ ) උසට වැඩෙන කහ කරාබු පැලෑටිය එය වැවෙන ප්‍රදේශයේ ඝණ බිස්සක් මෙන් වැවෙන අතර වඳ කිරීම අපහසු වන අතර ආවේණික ශාක වලට අවශ්‍ය හිරු එලිය හා පෝෂණය උදුරා ගන්නවා.

10] Orange Cestrum (Cestrum aurantiacum)


ඔරේන්ජ් සෙස්ට්‍රම් ලෙස හඳුන්වන මෙම ශාකය සිංහලෙන් පිච්ච බටු ලෙස හඳුන්වයි. දකුණු ඇමරිකාවට ආවේණික මෙම ශාකය 1800 ගණන්වල උද්භිද උද්‍යානයකින් ව්‍යාප්තවන්නට ඇතැයි අනුමාන කෙරේ.

අඩි 4ක් 5ක් පමණ ඉහලට නැගෙන මෙම ශාඛය තැඹිලි පැහැ මල්වලින් දෙහි/දොඩම් වැනි සිට්‍රස් සුවඳක් හමයි. රාත්‍රියට මෙම සුවඳ වඩාත් දැඩිවේ.

වේගයෙන් පැතිරෙන මෙම ශාඛය ලිංගික හා අලිංගික යන ක්‍රම දෙක මගින්ම බෝවන නිසා පැතිරීම වේගවත්ය. ආවේණික ශාඛවලට ඇති ඉඩකඩ, පෝෂණය හා ආලෝකය උදුරාගන්නා නිසා ආක්‍රමණික ශාඛයක් ලෙස හඳුනාගෙන ඇත.

මෙම විශේෂය ශී‍්‍ර ලංකාවේ කඳුකර ප‍්‍රදේශයේ පැතිර ඇති අතර හක්ගල දැඩි ස්වභාව රක්‍ෂිතයේ දකුණු කොටස තුල විශාල බිම් ප‍්‍රදේශ පුරා පැතිර ඇති අතර සමහර විට වන අභ්‍යන්තරයටද ව්‍යාප්තව ඇත. 1993 දී විජේසුන්දර සහ සමරසිංහ විසින් කරන ලද අධ්‍යයනයකට අනුව කඳුකර ප‍්‍රදේශයේ වනාන්තරයේ ශාක මියයන කොටස් පිච්ච බටු ශාකය මගින් ආක‍්‍රමණය කරන බව නිරීක්‍ෂණය කර ඇත. එමනිසා මෙම ශාකය ආක‍්‍රමණික විභවයක් ඇති ශාකයක් ලෙස හඳුන්වනු ලැබ ඇත 


11] කළපු අන්දර Mesquite (Prosopis juliflora)



කලපු අන්දර ගස මීටර් 3 -12 උස ගසක් වන නමුත් සමහරවිට පැතිර වැඩෙන අතු සහිත පඳුරකි. කඳ කාෂ්ඨීයය, ශාඛා සිලින්ඩරාකාරය, කොල පැහැතිය, බොහෝ දුරට රවුම්ය, කටු සහිතය. පත‍්‍ර සිනිඳු හෝ මදක් බූව සහිත හෝ පති‍්‍රකා මත කෙඳි සහිතය. 

කොල-සුදු පැහැයක් ගන්නා පුෂ්පිකා මෝරන විට ලා කහ පැහැයට හැරේ. ශාකයේ හැඩය සහ විලාසය නිසා සමහරවිට කලපු අන්දර,  කිහිරිය ලෙස වරදවා හඳුනා ගනී. 

සිය නිජබිම් වන මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ සිට මෙම විශේෂය 1880දී රාජකීය උද්භිද උද්‍යානය මගින් ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත. එනමුත් 1950 දශකයේදී මෙම ශාකය සෙවන ගසක් ලෙස සහ පස වැඩි දියුණු කිරීමේ අරමුණෙන් හම්බන්තොට ප‍්‍රදේශයට හඳුන්වා දෙන තුරු එය ආක‍්‍රමණික ශාකයක් ලෙස හඳුනාගෙන නොතිබුනි.

ලවණ පස වැඩිදියුණු කිරීම සඳහා බුන්දල ජාතික උද්‍යානයට හඳුන්වා දී ඇති කලපු අන්දර වර්තමානයේදී ආක‍්‍රමණික ශාකයක් බවට පත්වී දේශීය ශාක සහ සත්ත්ව විශේෂයන්ට බලවත් තර්ජනයක් එල්ලකර ඇත දැන් බූන්දල රම්සා තෙත්බිම් ප‍්‍රදේශයේ වෙරළබඩව මෙම ශාකය විශාල ලෙස පැතිරී ඇත.

කලපු අන්දරවල බීජ, ශාකය ආහාරයට ගන්නා එළුවන්, ගවයින්, අලින් සහ අනෙකුත් ශාක භක්‍ෂක වන සතුන්ගේ ජීරණ මාර්ගය හරහා ගමන්කළ පසු ඒවා මගින් පුනර්ජනනය සිදුවේ. ඒවා දිය පහරවල් දිගේ ව්‍යාප්ත වන අතර වැසි සමයේදී පිටාර ප‍්‍රදේශ තුලද පැතිරී ඉන් පසු එම ස්ථාන වලින් පාර්ශවිකව ව්‍යාප්ත වේ.

කලපු අන්දරවල ඇති නියගයට සහ පසේ ලවණතාවයට ඔරොත්තු දීමේ හැකියාව නිසා එය පහසුවෙන් අනෙකුත් ශාක පරයමින් වැඩේ. කලපු අන්දරවල කටු සහිත පඳුරු විලාසය නිසා ඒවා ඉක්මනින්ම සතුන් ගමන් කරන මාවත් වසා සමස්ථ ප‍්‍රදේශයම ගමන් කළ නොහැකි තත්ත්වයකට පත් කරයි. 

බූන්දල වෙරළබඩ ප‍්‍රදේශයේ මෙම ශාකයේ සීඝ‍්‍ර පැතිරීම නිසා වෙරළබඩ කුරුල්ලන්ගේ පෝෂක ප‍්‍රදේශ සීමාවී ඇත.


දේශීය ශාකවල ඉඩ අහුරමින් එම වාසස්ථාන අත්පත්කර ගන්නා මෙම විශේෂය ඉතා වේගවත් ආක‍්‍රමණිකයෙකි. වමාරා කන හීලෑ සහ වන සතුන් සඳහා තෘණ බිම් සහ වාසස්ථාන අහිමි වීමද දේශීය විශේෂයන්ට ඇතිවී තිබෙන බලපෑම්වලට ඇතුලත්ය. කලපු අන්දර ශාකයේ කරල් ආහාර ගැනීම නිසා සහ ශාකයේ තියුණු ශක්තිමත් කටු ඇනීම නිසා ශාකභක්‍ෂක සතුන් රෝගාතුර වීම සහ මියයෑම සිදුවී ඇත.

12] සැල්වීනියා Giant salvinia (Salvinia molesta)

















යනු නිදහසේ පාවෙන ජලජ පර්ණාංගයකි. එය ජලය මට්ටමෙන් පහල පිහිටි තිරස් රෛසෝමයක් සහ පත‍්‍ර වර්ග දෙකකින් (ජලයේ පාවෙන සහ ගිලී ඇති) යුක්තය.

සැල්වීනියා ගිණිකොනදිග බ‍්‍රසීලය සහ උතුරු ආජෙන්ටිනාව නිජබිම කොටගත් ශාකයකි. එය 1939දී ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ අධ්‍යාපනික ද්‍රව්‍යයක් ලෙසය. එය එතැනින් මිදී ස්වාභාවික පරිසරයට යෑමෙන් වාරිමාර්ග පද්ධතීන්ට සහ ජල විදුලි නිපදවීමට තර්ජනයක් වී ඇත


සැල්වීනියා වලට සිදුකළ හැක්කේ අලිංගික ප‍්‍රචාරණයක් පමණකි. ශාකය වර්ධක ප‍්‍රචාරණය මගින් ව්‍යාප්ත වන අතර අතර දුර පතර කොටස් වීම නිසා මෙන් ඇතිවන වර්ධක ප‍්‍රචාරකයන් ජල ප‍්‍රවාහයන් සමග පැතිර යයි.

පලසක් මෙන් ඝණව පැතිරීමේ ඇති හැකියාව නිසා ජලයේ ආලෝකය සහ ඔක්සිජන් මට්ටම් අඩු කරයි. මෙම ශාකය රොන්මඩ විශාල ප‍්‍රමාණයක් එකතුකරන අතරම ඉහල උත්ස්වේදන මට්ටම නිසා සිදුවන අධික ජල හානිය නිසා සැල්වීනියා වලට තෙත්බිම් පරිසර පද්ධතීන් වෙනස් කිරීමේ හැකියාව ඇති අතර එමගින් තෙත්බිම් වාසස්ථාන නැතිවී අවසානයේදී ඒවා ගෙඩබිම් වාසස්ථාන වීමේ අභියෝගයක්ද ඇතිකරයි.


විවෘත, ගලාබසින සහ/හෝ ජල විදුලිය උත්පාදනය කරන ජලාශ ධීවර කටයුතු සහ බෝට්ටු ප‍්‍රවාහනයන් ඇති උසස් ජල තත්ත්වයක් ඇති ජලාශ ආශ‍්‍රයෙන් සිදුකරන සමාජ ආර්ථික කටයුතු වලට සැල්වීනියා ආක‍්‍රමණය නිසා විශාල තර්ජනයක් එල්ල වී ඇත.

13] ජපන් ජබර Water Hyacinth (Eichhornia crassipes)




ජපන් ජබර මෙම විශේෂය නිදහසේ පාවෙන ජලජ ශාකයකි. ශාක දේහයේ තන්තුමය මුල්ද කොටස්වලින් නව ශාක බිහිකරන ධාවකයන්ද වර්ධනය වෙයි. දිග නටුවක් මත වැඩෙන පුෂ්ප ලා නිල් පැහැයක් ගනී.

ජපන් ජබර ශාකය දේශීය දිය හබරල ශාකය සමග වරදවා ගතහැකි නමුත් මහත්ව ඉදිමුනු ස්වභාවයක් ඇති පත‍්‍ර නටුව නිසා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය. නිජබිම වන්නේ බ‍්‍රසීලය සහ අනෙකුත් දකුණු ඇමෙරිකානු රටවල්ය. 

එය නිවර්තන අපි‍්‍රකානු සහ ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියානු රටවලට හඳුන්වා දී ඇති අතර එම රටවල ස්වභාවීකරණය වී ඇත. මෙම ශාඛය විසිතුරු පැළෑටියක් ලෙස හොංකොං හි සිට ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1905 වසරේදීය. මෙම විශේෂය නොසැලකිල්ල නිසා හෝ චේතනාන්විතව දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට හඳුන්වා දී ඇත

ජපන් ජබර ජල ප‍්‍රවාහන මාර්ග සහ ජල බැස්ම අවහිර කිරීමත්, එම නිසා සිදුවන ජලගැලීම් ඇතිවීම, එදිනෙදා භාවිතයට සහ විනෝදාත්මක කාර්යයන් සඳහා අවශය වන ජලයේ තත්ත්වයට හානිවීම සහ ජල විදුලි උත්පාදනයේදී බාධා ඇතිකිරීම වැනි බලපෑම් ජපන් ජබර නිසා සිදුවේ.

වසර පුරා වැවෙන මෙම වල් පැළෑටිය ඝන, විශාල, නිදහසේ පාවෙන ඒකජාතීය දූපත් හෝ පලස් ලෙස සකස්වන නිසා අනෙකුත් ජලජ විශේෂයන්ට ආලෝකය, පෝෂක සහ ඔක්සිජන් සඳහා තරග කිරීමට සිදුවේ. ශාකය නිසා ජලයේ උෂ්ණත්වය, PH අගය සහ ඔක්සිජන් ප‍්‍රමාණය අඩු කරන. මෙලෙස ඔක්සිජන් අඩුවීම නිසා බොහෝවිට මත්ස්‍යයින් මියයෑම සහ අපද්‍රව්‍යයන් විනාශ කිරීමට ජලයේ ඇති හැකියාව අඩුවීම සිදුවන නිසා දූෂිත ගඳගසන තත්ත්වයක් ඇතිවේ. 


ජපන් ජබර ශාකය ඇතිකරන ඝන ආවරණය නිසා හිරුඑළිය දේශීය ශාක වලට නොලැබීම නිසා දියකාවුන් වැනි සතුන් ආහාරයට ගන්නා එවැනි ජලජ ශාකවලට හානි සිදුවේ.

14] ගිණි තණ, රට තණ, මානා Guinea grass (Panicum maximum)





















නිවර්තන අපි‍්‍රකාව නිජබිම කොටගත් ගිණි තෘණ සත්ත්ව ආහාරයක් ලෙස 1820 දී හඳුන්වා දී ඇත. මෙම ශාකය දිවයින පුරා පැතිරී ඇත. විසිරී ඇති වනාන්තර සහ ලඳුබිම් වැනි බොහෝ පාරිසරික කලාප, පරිසර පද්ධතීන් සහ වාසස්ථාන වල ගිණි තෘණ ස්වාභාවීකෘත වී ඇත.

මෙහි ප‍්‍රභේදයන් දෙකක් දක්නට ලැබේ. ගිණි - “A” ලෙස හඳුන්වන ගොරෝසු, පළල් පත‍්‍ර සහිත, බූව සහිත, කඳක් ඇතිබව පෙනෙන හැඩිදැඩි, මීටර් තුනක් පමණ උසට වැඩෙන වර්ගය සහ ගිණි - “B”ලෙස හඳුන්වන සියුම්, පටු පත‍්‍ර සහිත, මීටර් 1-2 දක්වා උසට වැඩෙන කුඩා කඳක් සහිත වැඩි පත‍්‍ර ප‍්‍රමාණයක් ඇති වර්ගය යනුවෙනි. 

ස්වාභාවිකවම මෙම ශාකය දැන් පහත රට සහ කදුකරයේ පාර සහ දුම්රිය මාර්ග අද්දර, ස්වාභාවික වනාන්තර, වගා බිම්, ස්වාභාවික තෘණ බිම් සහ ලඳුබිම් සිසාරා ස්වාභාවිකව ව්‍යාප්ත වී ඇත.  ගිණි තෘණ ධාන්‍ය සහ උක් වගාවන්ගේ රෝග හා පලිබෝධ වාහකයෙකු ලෙස කි‍්‍රයාකරන බව වාර්තා වී ඇත. මෙම ශාකය වෙනත් ශාක සහ වගාවන්ට අහිතකර ලෙස බලපායි ස්වාභාවික පරිසර පද්ධතීන්ගේ දේශීය ශාක වර්ධනයට හිරිහැරයක් වී ඇත. 

15] ගල් ගොරකා Pitch-apple (Clusia rosea)



















ගල් ගොරකා පොළොවෙහි මෙන්ම අපිශාකයක් ලෙස වැඩෙන සුමුදු පොත්තක් සහිත ගසක් හෝ පඳුරකි. ගොරකා සහ දවට ශාකය රූපීයව සමාන මුත් මල සහ ඵලයේ හැඩයෙන් වෙන්කර හදුනාගත හැක. නිවර්තන ඇමෙරිකාව නිජබිම කොට ගත් ශාකයක් වන අතර බටහිර ඉන්දියානු කොදෙව් දූපත් වල සිට ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1866 දී උද්භිද උද්‍යාන හරහාය . නකල්ස් කඳු ප‍්‍රදේශයේ ගිනි ආරක්‍ෂක වැටි ලෙස මෙම ශාකය ශී‍්‍ර ලංකා රජය මගින් සිටුවා ඇත.


ගල් ගොරකා දැන් උන්නතාංශ මීටර් 600-1300 අතර වූ අර්ධ කඳුකර ප‍්‍රදේශයේ ස්ථාපිත වී ඇත. මෙම ශාක විශේෂයෙන්ම හන්තාන, හැටන් සහ නාවලපිටිය ප‍්‍රදේශයේ ගල්කඳු අද්දර, වනාන්තර අද්දර සහ ජල මාර්ග ඉවුරු වල බහුලව දක්නට ලැබේ. ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරයේ ගිරිමුදුන් වල සහ ගල් පර්වත වල ඝන ලැහැබ් සාදමින් සීඝ‍්‍රයෙන් පැතිර යයි.

ගල් ගොරකා කෙලින්ම කිසිදු දේශීය ශාකයකට හෝ සත්ව ගණයකට තර්ජනයක් නැත. එනමුත් අපිශාකයක් ලෙස දේශීය ශාකවල කඳන් සහ අතු මත වැඩෙන මෙම ශාකය සීඝ‍්‍රයෙන් වැඩෙමින් දේශීය ශාක වර්ධනය මැඩ පවත්වයිග එම නිසා ගල් ගොරකා ශාකයේ ව්‍යාප්තිය ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඉතිරිව ඇති දේශීය වනාන්තර වලට ප‍්‍රබල තර්ජනයක් එල්ලකර ඇත. 

16] ගඳපාන / බාලොලියා, Lantana, Wild sage (Lantana camara)





ගඳපාන යනු කෙලින් හෝ තරමක් එතෙමින් වැඩෙන මීටර් 4ක් පමණ උසකට වර්ධනය විය හැකි ඉක්මනින් වැඩෙන පඳුරකි. තද කොල පැහැති පත‍්‍ර රළුය සියුම් බූව සහිතය, කරපති‍්‍රක දාරයකි, අතින් පොඩිකළ විට සැර සුවඳක් ඇත. පොකුරක පුෂ්ප 20-40ක් පමණ ඇත. වර්ණය සුදු, කී‍්‍රම්, කහ, තැඹිලි, දම් හෝ රතු වශයෙන් විවිධ වේ.


දකුණු ඇමරිකාව නිජබිම කොටගත් මෙම ශාකය 1826දී පමණ රාජකීය උද්භිද උද්‍යානය හරහා ශී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් බවට විශ්වාස කෙරේ. එනමුත් නියමිත ලිඛිත වාර්තා නොමැති නිසා ගඳපාන ශී‍්‍ර ලංකාවට හඳුන්වාදීමේ ඉතිහාසය සනාථ කර නොමැත.

ශී‍්‍ර ලංකාව පුරා පැතිර ඇති ආක‍්‍රමණික විශේෂයක් වන අතර විශේෂයෙන්ම විවෘත ඉඩ සහිත ස්වාභාවික පරිසර පද්ධතීන් ආක‍්‍රමණය කර ඇත. පාර අද්දර සහ පුරන්ව ගිය ඉඩම්වල මෙම විශේෂය ඝනව වැඞී ඇත. දිවයිනේ අලි ඇතුන්ගේ ප‍්‍රමුඛ අභයභූමියක් වන උඩවලව ජාතික උද්‍යානය ආක‍්‍රමණය කර ඇති මෙම ශාකය අලින්ගේ ආහාර සඳහා පවතින ඉඩ ප‍්‍රමාණය සැළකිය යුතු පරිදි අඩු කිරීමට හේතු වී ඇත. මෙම ශාකය වන වගා භූමි ආක‍්‍රමණය කර ඇති අතර ස්වභාවික වනාන්රතවල දේශීය ශාකවල ස්වාභාවික පුනර්වර්ධනයට බාධා කරමින් එම වනාන්තර වල තත්ත්වය පහත හෙලා ඇත.

17] වල් අනෝදා / වෙල් ආත්තා,  Pond apple / Corkwood, Annona glabra
















වල් අනෝදා යනු වාණිජ වශයෙන් වගාකරන චෙරිමෝ, කටු අනෝදා, වැලි අනෝදා, සීනි අනෝදා ආදී විවිධ විශේෂයන්ට සම්බන්ධ වනගත විශේෂයකි. 


සාමාන්‍යයෙන් මීටර් 3-6 දක්වා උසකට වැඩෙන, එනමුත් මී. 15 දක්වා උසකට වැඞීමේ හැකියාව ඇති වැඩෙන විට ඝන ගොමුවක් ලෙස සකස්වෙන ශාකයකි.

වල් අනෝදා ශාක විශේෂයේ නිජබිම වන්නේ මධ්‍යම ඇමෙරිකාව වන අතර එය බටහිර අපි‍්‍රකාවේ ස්වභාවිකව ව්‍යාප්ත වී ඇති අතර, තායිලන්තය, වියට්නාමය, ශී‍්‍ර ලංකාව, මලයාන් අර්ධද්වීපය සහ චීනයේ දේශානුකුලකෘත වී ඇත. එය වියට්නාමයේ සහ ශී‍්‍ර ලංකාවේ ආක‍්‍රණික ශාක විශේෂයක් ලෙස සැලකේ. මෙම ශාකය ඕස්ටේ‍්‍රලියාවේ සහ ශාන්තිකර කලාපීය දූපත් වල බරපතල වල් පැළෑටියක් ලෙස සැලකේ.

18] පතන් පාලූ / සුද්දා, Austroeupatorium, (Austroeupatorium inulifolium)

















පතන් පාලූ යනු පැතිරෙමින් සහ අතුපතර ඝනව පැටලෙමින් වැඩෙන බහු වාර්ෂික ශාකයකි.දක්නට ලැබෙන්නේ උන්නතාංශ මීටර් 1000ට ඉහල කඳුකර සහ පහල කඳුකර ප‍්‍රදේශයේය.

නිජබිම දකුණු ඇමෙරිකාව වන අතර එය පැනමාව, කොලොම්බියාව, වෙනුසියුලාව, ඉක්වදෝරය, පීරූ, බොලීවියාව, බ‍්‍රසීලය සහ උරුගුවේ සිට ආජන්ටිනාව දක්වා රටවල දක්නට ඇත.  

ශී‍්‍ර ලංකාවේ තෘණබිම්වල, තෘණ-වනාන්තර සංක‍්‍රමණ කලාප තුල සහ මෑතකදී කඳුකර ප‍්‍රදේශයේ නොයිඳුල් කඳුකර වනාන්තර තුල පතන් පාලූ ශාකය ස්ථාපිත වී ඇත. පතන් පාලූ නකල්ස් වනාන්තර ප‍්‍රදේශය විශාල වශයෙන් ආක‍්‍රමණය කරයි. 

ප‍්‍රධාන මර්ධන ක‍්‍රමය වන්නේ ආක‍්‍රමණය කර ඇති ප‍්‍රදේශ වලින් ශාක අතින් ගලවා දැමීමය. බීජ සුළගින් ව්‍යාප්ත වන නිසා මල් හටගැනීමට පෙර ශාක කපා දැමීමද මර්ධනය සඳහා ගත හැකි වැදගත් පියවරකි 

19] දියපර, Shrubby Dillenia (Dillenia suffruticosa)



































දියපර ශාකයේ නිජබිම අග්නිදිග ආසියාවේ මැලේ අර්ධද්වීපය, සිංගප්පූරුව, සුමාත‍්‍රා සහ බෝනියෝ යන රටවල් ලෙස සැලකේ. එය බෘනායි රටේ ජාතික පුෂ්පයයි. 1882 දී, දියපර ශාකය විසිතුරු ශාකයක් ලෙස බෝනියෝ හි සිට ශී‍්‍ර ලංකා රාජකීය උද්භිද උද්‍යානයට හඳුන්වා දී ඇත. 

ශී‍්‍ර ලංකාවේ දියපර ශාකය පහතරට තෙත් කලාපයේ ස්ථාපිත වී ඇත. විශේෂයෙන්ම කළුතර, ගාල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක්ක වල දක්නට ලැබේ. මෙය වගුරු බිම් වල, වනාන්තර මායිම් වල, විවෘත ලඳුකැලෑ වල, සහ පාර අද්දර සාමාන්‍යයෙන් දක්නට ලැබේ. මෙම ශාක විශේෂය කන්නෙළිය වන රක්‍ෂිතයේ බහුලව දක්නට ඇත. ඵල ආහාරයට ගන්නා කුරුල්ලන් මගින් දියපර  ශාකයේ බීජ ප‍්‍රචාරණය සිදුවේ.

ශ්‍රි ලංකාවේ ආගන්තුක ආක්‍රමණශීලී සත්ව විශේෂ















1] දේදුණු ට‍්‍රවුට් Rainbow trout (Oncorhynchus mykiss)




ශී‍්‍ර ලංකාවේ දේදුනු ට‍්‍රවුට් මත්ස්‍යයා ඔහුගේ දිගු, තරමක් සංකුචිත සිරුර සහ දත් සහිත හනුව නිසා අනෙකුත්ම ත්ස්‍යයින් ගෙන් වෙන් කොට හඳුනා ගත හැකිය. ඔහුගේ පෘෂ්ඨීය වර්ණය අළු පැහැ වන අතර දෙපස රිදී පැහැතිය. ලා රෝස පැහැති ඉරි ශරීරයේ දෙපස පිහිටා ඇත. හිස සහ වරල ඇතුළු සම්පූර්ණ ශරීරයම තිත් සහිතය.සෙ. මී. 45-60 දක්වා වන නමුත් උපරිම වශයෙන් සෙ.මී. 120 දක්වා වැඞීමේ හැකියාව ඇත.

ශී‍්‍ර ලංකාවේ දේදුනු ට‍්‍රවුට් මත්ස්‍යයා ඔහුගේ දිගු, තරමක් සංකුචිත සිරුර සහ දත් සහිත හනුව නිසා අනෙකුත්ම ත්ස්‍යයින් ගෙන් වෙන් කොට හඳුනා ගත හැකිය. ඔහුගේ පෘෂ්ඨීය වර්ණය අළු පැහැ වන අතර දෙපස රිදී පැහැතිය. ලා රෝස පැහැති ඉරි ශරීරයේ දෙපස පිහිටා ඇත. හිස සහ වරල ඇතුළු සම්පූර්ණ ශරීරයම තිත් සහිතය.සෙ. මී. 45-60 (අඩි 1.5 - 2.0) දක්වා වන නමුත් උපරිම වශයෙන් සෙ.මී. 120 දක්වා වැඞීමේ හැකියාව ඇත.


1889 දී ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි ඇළ ෙදාළ වලට දේදුනු ට‍්‍රවුට් හඳුන්වා දී ඇත්තේ විනෝදයට මසුන් බිලීබෑමේ කී‍්‍රඩාව සඳහාය (Trout Fishing). යටත් විජිත පාලකයින් පිටව යාමෙන් පසු විනෝදයට මසුන් මැරීමේ ක්‍රීඩාව අභාවයට ගිය අතර නුවරඑළියේ පිහිටි මසුන් බෝකරන මධ්‍යස්ථානයකින් ඔවුන් මුදාහැර ඇත. මෙම මධ්‍යස්ථානය දැනට කි‍්‍රයාත්මක නොවේ.


දේදුණු ට‍්‍රවුට් ගේ ජන්මභූමිය වන්නේ නැගෙනහිර සයිබීරියාවේ උතුරු ශාන්තිකර වෙරළ තීරය සහ එක්සත්
ජනපදයේ සහ කැනඩාවේ වයඹදිග ශාන්තිකර වෙරළයි. ශී‍්‍ර ලංකාවේ මොවුන් ස්ථායී වී ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1700-2000 අතර වූ කඳුකර ප‍්‍රදේශයේ ඇළ දොළ කිහිපයක පමණකි. උදාහරණ ලෙස හෝටන් තැන්න සහ පට්ටිපොල පිහිටි බෙලිහුල් ඔය සහ අග‍්‍රා ඔය දැක්විය හැකිය. 

2] පුල්ලි මගුරා / රට මගුරා, Marble cat fish (Clarias batrachus)


සාමාන්‍යයෙන් සෙ.මී. 26 පමණ දිග වන නමුත් සෙ.මී. 47 ක් දක්වා දිගට වැඞීමේ හැකියාව ඇත. රූපීය වශයෙන් රට මගුරා ඒකදේශික මගුරු මත්ස්‍ය විශේෂයට සමානය.

මෙම මත්ස්‍යයා නිවර්තන මින් මැදුරු වලින් අහම්බෙන් ස්වාභාවික වාසස්ථාන වලට හඳුන්වා දී ඇති බවට අදහස් කෙරේ. රට මගුරා මත්ස්‍යයාගේ නිජබිම ඉන්දුනීසියාවේ ජාවා දූපත්ය මොවුන් ජපානය, ගුවාම්, සුලාවේසි - ඉන්දුනීසියාව, පැපුවා නිව්ගිනියාව, සහ තායිවානය යන ආසියානු රටවල සහ එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හි විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇත. ශී‍්‍ර ලංකාවේ බස්නාහිර සහ වයඹ පලාත් වල ඇළ දොළවල ස්ථායී වී ඇත

ශී‍්‍ර ලංකාවේ හෝ වෙනත් ප‍්‍රදේශයක දේශීය විශේෂයන් කෙරෙහි ඇතිවන බලපෑම් වාර්තා වී නැත. එනමුත් පාරිසරික සමානකම් නිසා රට මගුරා ට දේශීය මගුරු වර්ගයන් සමග තරගකාරිත්වයක් ඇතිවිය හැකිය.

3] ටැංකි සුද්දා, Tank cleaner (Pterygoplichthys )


සුරතල් මසුන් බෝකරන ස්ථානවලින් හෝ මින් මැදුරු වලින් මෙම මත්ස්‍යයා අහම්බෙන් මුදාහැර ඇත. පළමු බාහිර ගහණය 1992 දී නිරීක්‍ෂණය කරන ලද්දේ බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියේ දීය.

ඔවුන් පැළෑටි සහිත මඩ පිරුණු පතුල සහිත ස්ථානවල ජීවත්වේ. ශී‍්‍ර ලංකාවේ වයඹ සහ බටහිර පලාත් වල මිරිදිය ජලාශ සහ ගංමෝය වල දක්නට ලැබේ. මොවුන් නැගෙනහිර පලාතේද නිරීක්‍ෂණය කර ඇත. බෙල්ලන්විල - අත්තිඩිය, නැදිමාල, බොල්ගොඩ (බස්නාහිර පලාත), පොල්ගොල්ල අවට මහනුවර ප‍්‍රදේශය (මධ්‍යම පලාත), මාවිල් ආරු, රඹකැන්ඔය, මහඔය (නැගෙනහිර පලාත) සහ මින්නේරිය වැව (උතුරු මැද පලාත) යන ස්ථාන වලින් මෙම මත්ස්‍යයින් වාර්තා වී ඇත

දේශීය විශේෂයන්ට සෘජු බලපෑම සම්බන්ධයෙන් වාර්තා නොමැත. එනමුත් ආහාර සහ ඉඩ සඳහා දේශීය විශේෂයන් සමග තරග කරනවා විය හැකිය.

4] මන්නයා, Clown knife fish / Knife fish (Chitala ornata)



සෙ.මී. 100ක් තරම් දිගට වැඩුනු මත්ස්‍යයෙක් කිලෝ 5ක් පමණ බරය. ලංකාවේ විවිධ වර්ණ රූපීය ලක්‍ෂණ සහිත මසුන් වාර්තා වී ඇත.

මෙම මත්ස්‍යයා මින් මැදුරු වල සිට අහම්බෙන් ස්වාභාවික වාසස්ථාන වලට හඳුන්වා දී ඇත. 1992 ජූනි මාසයේදී ඇතිවූ දරුණු ගංවතුරෙන් පසු මෙම මත්ස්‍යයා කොළඹ අවට ජලාශ වලින් වාර්තා විය. දියවන්නා ඔයෙන් පළමුවෙන්ම වාර්තා වී ඇත. මොවුන්ගේ නිජබිම් කලාපය වන්නේ නිවර්තන ආසියාවේ ඉන්දුචීනයයි.

ශී‍්‍ර ලංකාව තුල විශේෂයෙන්ම ශී‍්‍ර ජයවර්ධන පුර දියවන්නා ඔය, බණ්ඩාරගම බොල්ගොඩ ජලාශය, සහ දොඩංගොඩ මතුගම ප‍්‍රදේශයේ විශාල ගංගා, ජලාශ සහ වගුරු බිම් මෙම මත්ස්‍යයාගේ වාසභූමි වී ඇත. මන්නයා දේශීය විශේෂයන්ගේ ගහනය අඩු කිරීම කෙරෙහි සම්බන්ධ බව අධ්‍යයනයන් මගින් පෙන්වාදී ඇත.

5] රතු කන් ඉබ්බා / ටැංකි ඉබ්බා, Red-eared Slider / Pond Slider (Trachemys scripta)


හිස දෙපස පිහිටා ඇති කහ-රතු පුල්ලි නිසා හඳුනාගත හැකි ටැංකි ඉබ්බා මධ්‍යම ප‍්‍රමාණයේ මිරිදිය ඉබ්බෙකි. සාමාන්‍යයෙන් පැතලි අණ්ඩාකාර උඩුකබොල ඔලිව්/කලූ වර්ණයෙන් යුත් උඩුකබොලේ කහ පැහැති ඉරි හෝ තිත් ඇත.වැඩුනු ඉබ්බාගේ උඩු කබොලේ දිග සෙ.මී. 12.5 සිට 30.0 අතර වේ.

90 දශකයේ මුල් භාගයේදී ටැංකි ඉබ්බන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවට ආනයනය කර ඇත. සුරතල් සතුන් වශයෙන් සිටි මොවුන්ගෙන් සමහරක් පලාගොස් හෝ අයිතිකරුවන් විසින් චේතනාන්විතව ස්වාභාවික පරිසරයට මුදාහැර ඇත.

ශී‍්‍ර ලංකාව තුල දේශීය ජලජ සතුන්ට සිදුවන බලපෑම තවමත් අධ්‍යයනය කර නැත. එනමුත් මොවුන් ලෝකයේ ඉතා නරක ආක‍්‍රමණික විශේෂයන් 100 අතරට ලේඛන ගත වී ඇත.

6] ඇපල් ගොළුබෙල්ලා / දිය ගොළු බෙල්ලා, Apple snail (Pomacea spp.)

ගෝලාකාර කවචයක් ඇති මධ්‍යම ප‍්‍රමාණයේ ගොළුබෙල්ලෙකි. කවචයේ වර්ණය සාමාන්‍යයෙන් දුඹුරු හෝ රන්වන් දුඹුරු හෝ කහ පැහැයක් ගනී. ශරීරයේ වර්ණය කහ හෝ කහපැහැයට හුරු සුදු පැහැයක් ගනී.

බොහෝවිට 1970 දශකයේ අවසන් භාගයේදී මින් මැදුරු කර්මාන්තය සඳහා ශී‍්‍ර ලංකාවට ඇපල් ගොළුබෙල්ලා හඳුන්වා දී ඇත. ඇපල් ගොළුබෙල්ලා ගේ නිජබිම දකුණු ඇමෙරිකාවේ ඇමසෝන් ද්‍රෝණියයි. හඳුන්වා දුන් ගහනයන් ඉන්දියාවේ සිට ගිනිකොනදිග එක්සත් ජනපදය දක්වා දක්නට ලැබේ. ඇපල් ගොළුබෙල්ලාගේ ස්ථායී ගහනයන් 1980 දශකයේ මුල භාගයේදී මුලින්ම නිරීක්‍ෂණය කරන ලද්දේ කොළඹ සහ ගාල්ල ජලාශ වලය.දැන් මොවුන් කළුතර, මහනුවර, රත්නපුර, ගම්පහ, මාතර සහ ගාල්ල ප‍්‍රදේශ වලින් වාර්තා වී ඇත.

දේශීය විශේෂයන්ට සහ ස්වාභාවික වාසස්ථාන වලට ඇතිවන බලපෑම් හොඳින් වාර්තා වී නැත. එනමුත් ඉන්දියාවෙන් ලැබෙන වාර්තාවකට අනුව ඇපල් ගොළුබෙල්ලා විශාල ශාක වලට අමතරව සත්ත්ව මලකුණුද, සජීවී පණුවන් සහ වෙනත් ගොළුබෙලි විශේෂයන් ගේ බිත්තරද ආහාරයට ගනී . එම නිසා මොවුන්ගෙන් ජලජ ශාක වලට මෙන්ම දේශීය ගොළුබෙල්ලන්ටද ඍජු බලපෑමක් ඇතිවිය හැකිය. එමෙන්ම මොවුන් දේශීය කසලශෝධක සතුන් වන කකුළුවන්, ඉස්සන් සහ මත්ස්‍යයින්ට ආහාර සඳහා තරගකරුවෙකු විය හැකිය.

6] යෝධ අපි‍්‍රකානු ගොළුබෙල්ලා / කළුතර ගොළු බෙල්ලා, Giant African Snail (Lissachatina fulica)


පළල මෙන් දෙගුණයක් දිග කවචයක් ඇත. දුඹුරු වර්ණයෙන් සාමාන්‍යයෙන් දක්නට හැකි අතර කවචය ලා කහ පැහැති ඉරි සහිතය. නමුත් මෙම වර්ණය පාරිසරික සාධක සහ ආහාරය අනුව වෙනස් වේ. ලා කෝපි පාට කවචයන්ද බහුලව දක්නට ඇත.මෙම විශේෂයේ වැඩුනු සතුන්ගේ කවචය සෙ.මී. 20ක් පමණ දිගකින් යුක්ත විය හැකි වන අතර සාමාන්‍ය දිග සෙ.මී. 5-10ක් අතර වේ. 

මෙම විශේෂය ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1900 දශකයේදීය. මෙම විශේෂය චේතනාන්විතව හඳුන්වා දී නැති නමුත් බි‍්‍රතාන්‍ය වැවිලිකරුවෙකුගේ නොසැලකිල්ල නිසා මෙරටට පැමිණි බව දැනට ලබාගත හැකි වාර්තා වලින් පෙනීගොස් ඇත.

මෙම විශේෂය නැගෙනහිර අපි‍්‍රකාවේ වෙරළබඩ කලාපය නිජබිම් කොට ඇති බව පෙනී යන අතර ඔවුන් විශාල වශයෙන් වනාන්තර අද්දර දක්නට ඇත. ශී‍්‍ර ලංකාවේ මොවුන් දිවයින පුරාම ව්‍යාප්ත වී ඇත. ඔවුන් ප‍්‍රධාන වශයෙන් කෘෂිකාර්මික සම උද්‍යාන බෝග බිම්වල දක්නට ලැබෙන අතර පහතරට වැසි වනාන්තර තුලට ව්‍යාප්ත වී තිබිය හැකි.
__________________________________________________________________________

Creative Commons License  
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .  
POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  
CONTACT    : terence.arachchi@gmail.com . 
GOOGLE +   : About Me  .  
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...