Related Posts Plugin for WordPress, Blogger...

Monday, 26 June 2017

POLITICS : 88/89 ආයෙත් ඒවිද? - විද්‍යා ගවේෂණගේ අතීතක්‍රමණය හා විග්‍රහය

අන්තිමට ලියපු ලිපි 4ම පොලිටික්ස්. මේක පොලිටික්ස් ෆෝරම් එකක් කරගන්න හදන උත්සහයක් නම් නෙමෙයි. ඒත් කාලීන මාතෘකාවක් නිසා ලිව්වා. විවේචනත් එල්ලවුනා. වෛරයෙන්, ක්‍රෝධයෙන් ලියා තිබෙන බවටත් කියැවුනා. කොහොම වුනත් මේක කාලෙකට ලියන අන්තිම පොලිටික්ස් එක.

මෙහි ලියා ඇති ඕනෑම කරුණක් සංවාදයට හා විවේචනයට විවෘතයි!

88/89 ආයෙත් ඒවිද?

අජිත් පැරකුම්, ඉකොනොමැට්ටා හා ප්‍රේමලාල් (සුදු කුකුළා) මෙවැනි යෝජනාවක් පලකොට තිබුණා. සහෘදයන්ගේ අදහස වෙන්නේ 88/89 කැරැල්ලේ ආගමනයත් ඒවක කැකෑරෙමින් තිබූ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයෙන් අතර විශාල සම්බන්ධයක් වගේම, දැන් සයිටම් ප්‍රශ්ණය ඒහා සමානම කැරැල්ලක ආරම්භක වෙඩි මුරයදෝ කියන විචිකිච්ඡාව.

මේ ලියන්නේ මගේ අදහස. 

87 ජූලි සාම ගිවිසුම ගහනකොට මම සාමාන්‍ය පෙල විභාගෙට ලෑස්ති වෙමින් හිටියා. 88 ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිවරණෙන් දිනනකොට මම උසස්පෙල පලමු අවුරුද්දෙ. 88/89 කැරැල්ලේ දේශපාලන වාතාවරණය වගේම ආර්ථික හා සාමාජීය මෙන්ම ආරක්ෂක වාතාවරණය මට මතක විදියට මෙහෙමයි.

1983 - 1987

උතුරු යුද්ධෙ නිළ වශයෙන් පටන් ගත්තේ 83දි. ඊට කලින් ගොඩක් සිදුවීම් වුනත් වැඩේ නියමෙට ආරම්භවුනේ 83 හමුදා භටයින් 13 දෙනාගෙ බිම්බෝම්බ මරණය හා එයින් ඇතිවුනු දෙමළ සංහාරය.මේ අහිංසක දෙමළ සංහාරය ලංකාවට දැඩි ජාත්‍යන්තර බලපෑම් එල්ලවුනු, දෙමළ මිනිස්සු ගැන ලෝකෙම අණුකම්පාව ඇතිවුනු, දෙමළ ඩයස්පෝරාව යුරෝපෙට, ඇමරිකාවට පැන ගන්න හේතුවුනු ප්‍රධාන සිදුවීම වුන අතර යුරෝපයේ බොහෝ රටවල් ද්‍රවිඩ සන්නද්ධ අරගලයට ඉන්දියාව මෙන් කෙලින්ම සහයෝගය නොදුන්නත් ද්‍රවිඩ සටන් කාමීන්ට හා ඔවුන්ගේ පවුල්වලට එම රටවල ආරක්ෂා සහිතව සිටීමට ඉඩදීම, අරමුදල් රැස්කිරීමට ඉඩදීම හා එම අරමුදල් අවි-ආයුධ මිලට ගැනීමට යොදවනවිට නොදැක්කා මෙන් අහක බලාගෙන සිටීමේ ප්‍රතිපත්තිය හරහා නිළ නොවන සහයක් දුන්නා.

ඒ වගේම මේ වෙනවිට රටකරවූ ජේ ආර් ජයවර්ධනගේ යූ ඇන් පී ආණ්ඩුව ඉන්දියාවට වහකදුරු වෙලා තිබුණා. ඉන්දිරා ගාන්ධි පෞද්ගලිකවම ජේ ආර්ට වෛරකරන්නට, පාඩමක් උගන්වන්නට සිතාගත් සිදුවීමක්ද ජේ ආර්ගේ මෝඩ කයිවාරුව නිසා සිදුවුනා. යම් ජාත්‍යන්තර හමුවකදී (දිනවකවානු හෝ පසුබිම මතක නෑ) ජේ ආර් ඉන්දිරා ගාන්ධි එළදෙනක (හෝලි කව්) ලෙස ඇඟෙන ආකාරයේ උපහාසාත්මක කතාවක් කල බැව කියවෙනවා.

ඉන් තදින් කිපුණු ඉන්දිරා හා ඕනෑම ඉන්දියන් ආණ්ඩුවක් ඇත්තටම මෙහෙයවන ඉන්දියානු රාජ්‍ය සේවයේ ඉහලම තලයේ නිළධාරීන් ලංකාවට පාඩමක් උගන්වන්න දෙමල බෙදුම්වාදීන්ට තමිල්නාඩුවේ රැකවරණ, පුහුණුව හා කඳවුරු බැඳගන්නටත්, අවි ආයුධ සපයාගන්නටත් ඉඩ දුන්නා. ඉන්දියානු රෝ ඔත්තුසේවය මේ වැඩේට කෙලින්ම හවුල් වුනා.

එකල ඇමරිකානු විරෝධී ඉන්දියාව හිටියේ සෝවියට් හිතවාදී කඳවුරේ. ඉන්දියන් සාගරය ඉන්දියාවේ පොකුණකි, එහි ඇති ලංකාව ඉන්දියාවේ සින්නක්කර වැයික්කියකි යන යන බිග් බ්‍රදර් අධිපතිවාදී මානසිකත්වයක සිටි ඉන්දියාව, 1977තේ ජේ ආර් ලංකාව අංශක 180ක් ආපසු හරවා ඇමරිකන් හා බටහිරට ආවඩන, ඉන්දියාවේ දේශපාලන නියාමන වලට ප්‍රතිවිරුද්ධ රටක් බවට පත්වීමත් ඉවසුවේ නෑ. ඒ නිසා ලංකාව හොම්බෙන් යවන්න හොඳම තුරුම්පුව ලෙස ඔවුන් භාවිතා කලේ දෙමල බෙදුම් වාදීන් සන්නද්ධ කිරීමයි.

1987 වනවිට ඉන්දියාවේ බලපෑමෙන් වඩමාරච්චි මෙහෙයුම අතරමග නතර කරන්නට හමුදාවට සිදුවුනා. ලංකා හමුදාව අහිංසක දෙමළ ජනතාව මරා දමනවා, ඔවුන්ට හිංසා කරනවා, කන්ඩ බොන්ඩ දෙන්නේ නෑ යන තර්කය මත වරක් බෝට්ටුවලින් ආධාර බලෙන් එවූ අතර එය අසාර්ථකවූ විට ඉන්දියන් ගුවන් හමුදා ප්‍රවාහණ යානා බලෙන් ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කොට සහනාධාර ගුවනින් දැම්මා.

ඉන්දියාව දැඩි බලහත්කාර කමක් පෙන්වමින් ජාත්‍යන්තර නීතිරීති හිතාමතා උල්ලංඝණය කරත් ජේ ආර් හිතාගෙන හිටපු විධියට එයා මුට්ටි අල්ලපු ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා යුරෝපය ජේ ආර්ගේ පිහිටට ආවේ නැතුවා පමණ නොව ඇල් මැරුණු ප්‍රකාශ නිකුත්කොට අහක බලා ගත්තා. 

දෙමළ ත්‍රස්තයින්ට ගහන්නට අවිආයුධ, පතරොම්, යුධ ටැංකි හා සන්නද්ධ රථ හා ගුවන්යානා වල දැඩි හිඟයක් තිබුණද ඒවා සපයන්නට ඇමරිකාව ඇතුලු කිසිදු බටහිර රටක් කැමති නොවූවා පමණක් නොව, ඇමරිකාවෙන්ම අරගෙන තිබූ ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් වලට ඕනෑ අමතර කොටස් ලංකාවට විකුණන්නටද ඇමරිකාව අදිමදි කලේ ඉන්දියාව කෝප වේය යන සැකයෙන්. අන්තිමට ඒ අමතර කොටස් වැඩි මිළකට සිංගප්පූරුවේ තැරැව්කාර සමාගමක් හරහා ලබාගන්නට ගුවන් හමුදාවට සිදුවුනා.

මේ කාලේ වෙනකොට ලංකාවේ උදව්වට ආවේ එදත් අදත් අපට හිතවත් පකිස්ථානය හා චීනයයි. ලංකා හමුදාවන්ට පුහුණුව පකිස්ථානයේ දෙන්නට එවක පකිස්ථානු ජනාධිපති සියා උල් හක් තීරණය කල අතර චීනයෙන් සුප්‍රකට T-56 රයිෆලයේ සිට කුඩා ප්‍රවාහණ ගුවන්යානා (හාබින් ‍Y-12 වයිට් බර්ඩ්) දක්වා අවිආයුධ ලැබුණා. මම දන්නා විධියට මේ කාළයේ බටහිර රටකින් අපට ලැබුණු ප්‍රධාන යුධමය ආධාරය නම් 1983දී ජේ ආර් පුත් රවී ජයවධනගේ මැදිහත්වීමෙන් විශේෂ කාර්ය බළකාය (STF) පිහිටුවා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට SAS කොමාණ්ඩෝ බළකායේ විශ්‍රාමික නිළධාරීන් ලංකාවට ගෙන්වා ලබාදුන් ත්‍රස්ත මර්ධන කොමාන්ඩෝ පුහුණුවයි.

ඒවගේම ආපාතෙයිඩ් නම්  වර්ණබේධ වාදී ප්‍රතිපත්තිය නිසා ජාත්‍යන්තර පරයෙකුව සිටි දකුණු අප්‍රිකාව හා තවත් ජාත්‍යන්තරව කොන්වූ රාජ්‍යයක්වූ ඊශ්‍රායලය ද ලංකාවට උදව්කලේ ලංකාවට ඇති ආදරයක් නිසා නොව ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳව එක්සත් ජාතීන්ගේ රැස්වීම් වල කරන චන්ද විමසීම්වලදී ලංකාව අඩුම ගණනේ චන්දය දීමෙන් වැලකී සිටීමකින් වැනි සහයක් ලබා ගැණීමේ ආත්මාර්ථයෙන්.

1987 වනවිට වඩමරච්චි මෙහෙයුම බලෙන් නවතා, ගුවනින් පරිප්පු දමා ඉන්දියාව ලංකාව තුල සිය හෙජමනිය තහවුරු කරගෙන සිටි අතර ඒවන විට ජාත්‍යන්තර සහයක් නොමැති අසරණ බවකට පත්ව සිටි ලංකාවට දැඩි ජාත්‍යන්තර සහයක් දෙන්නට චීනයට නොහැකි වුනේ එදා චීනය අද චීනය මෙන් දැවැන්ත කාර්මික රාජ්‍යයක් නොවූ නිසාත්, ආර්ථික ගොඩදාගන්නා ඉලක්ක මිස විදෙස් රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම් වලට චීනයේ එතරම් නැඹුරුවක් තිබුණේ නැතිවීම යන හේතූන් මතයි.  පරමාණු, ජලකර දැවැන්ත සාම්ප්‍රදායික හමුදාවලින් සන්නද්ධවුවත් අද මෙන් දේශපාලන බලය මෙන්ම ආර්ථික බලය ප්‍රක්ෂේපණය කිරීමේ  හැකියාවක් එකල චීනයට තිබුණේ නෑ.

කෙසේවෙතත් ඉන්දියාව හා චීනය අතර ටිබෙටය හා දළයිලාමාට රැකවරණය දීම සම්බන්ධයෙන් ඇතිව තිබූ දේශපාලන ආරෝව නිසාත් බණ්ඩාරනායක පාලන යුග තුලින් චීනය හා ලංකාව අතර උණුසුම් දේශපාලන, ආර්ථික (උදා: රබර්-සහල් ගිවිසුම) හා සංස්කෘතික බැඳීමක් ඇතිව තිබුණ බැවිනුත්, ඉන්දියාවේ ගැහැටවලට බඳුන්වෙමින් සිටි ලංකාවට චීනය හැකි පමණ උදව්කලා.


1982 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ රෝහණ විජේවීර ඇතුලු ජවිපෙ 13නේ පොලිටිබියුරෝව 1986 වනවිට විශ්වවිද්‍යාලවල අනෙක් සියලු ශිෂ්‍යව්‍යාපාර දැඩි ලෙස මර්ධනය කොට සිය බලය පතුරාගෙන සිටියා. ඒ කාලයේ විශ්වවිද්‍යාල යනු රටේ ජනාධිපතිවරයාට පවා පය ගැසිය නොහැකි තනිකරම ජවිපෙ කඳවුරු යයි කීම වරදක් නොවේ.

1986දී දයා පතිරණ ඝාතනය කල ජවිපෙ/ අන්තරේ 1987 වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ක්‍රියාකාරීන් මරාදැමීම ඇරඹුවා. 1987 දෙසැම්බරයේදී එක්සත් ජාතික පක්ෂයේ එවක සභාපතිවූ හර්ෂ අබේවර්ධන මහතා  වැල්ලවත්තේදී ජවිපෙ ඝාතකයෙකුගේ වෙඩි පහරට ලක්වුනා. 

එක්සත් ජාතික පක්ෂයේ ග්‍රාමීය යාන්ත්‍රණය මුලුමණින්ම විනාශ කර දැමීම සඳහා ජවිපෙ කුරිරු ඝාතන හා බියවැද්දීමේ ව්‍යාපාරයක් එක්සත් ජාතික පාක්ෂික දේශපාලඥයින් හා ක්‍රියාකාරීන් වෙත එල්ල කරා. සිය ගණනක් එක්සත් ජාතික පාක්ෂික දේශපාලඥයින් හා හිතවතුන්, සමහරවිට පවුල් පිටින්, මරාදැමූ ජවිපෙ ඔවුන්ගේ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීම පවා තහනම් කලා. සමහර අවස්ථාවල මළ සිරුර පෙට්ටික හෝ නොදා මැස්සක තබා දණහිසෙන් පහලට සිටින සේ එල්ලාගෙන ගොස් වළදමන ලෙස ජවිපෙ මියගිය එජාප සාමාජිකයින්ගේ පවුල්වලට අණකොට සිටියා. එම අණ නොපිලි පැදීම ජීවත්වන්නවුන්ට දරුණු ප්‍රතිපල ගෙන ආවා.

එජාප පක්ෂ ක්‍රියාකාරිත්වය වැනසීමට ජවිපෙ ගත් තවත් ක්‍රියාමාර්ගයක් වූයේ එජාපයේ මන්ත්‍රී තනතුරුවලින්, පක්ෂ තනතුරුවලින් හා ක්‍රියාකාරී කටයුතුවලින් සම්පූණයෙන්ම ඉවත්වී, ඒ බවට දැන්වීමක් දිවයින පත්තරේ පලකරණ ලෙස කල නියෝගයයි. එලෙස ඉවත් නොවන්නන් දින වකවානු ලබාදී මරාදමන්නට ජවිපෙ පියවර ගත්තා.

උපාලි විජේවර්ධන ජීවතුන් අතර සිටියදී ජේ ආර් හා ප්‍රේමදාස සමග ඇතිවූ ආරෝව පිරිමසාගෙන ආණ්ඩුවට ගැසීමේ  මාර්ගයක් ලෙස දිවයින ආරම්භ කල අතර, එකල එය ජනප්‍රියම විකල්ප පුවත් පතවූවා. ජවිපෙ මගින්  ලේක් හවුස් ප්‍රකාශ විකිණීම, කියවීම හෝ ලඟතබා ගැනීම මරණ දඬුවම ලැබිය හැකි වරදක් ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු බයක් නැතුව කියවිය හැකි, ලඟ තබාගත හැකි එකම පුවත්පත වූයේ ජවිපෙ සන්නද්ධ අරගලයට සහය දුන් දිවයින පුවත්පත පමණයි. 

1987 - ඉන්දු ලංකා සාම ගිවිසුම හා ඉන්දියන් සාම සාධක හමුදා පැමිණීම.

ඉන්දිරාගෙන් පසු ඉන්දියාවේ අගමැතිවූ රාජීව් ගාන්ධි, ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි ප්‍රතිපත්තියම අනුගමනය කොට ගුවනින් පරිප්පු දමා, යුධ මෙහෙයුම් බලෙන් නවත්වා ලංකාව දඬු අඬුවකට හසුකරගෙන සිටියා. මෙයින් ගැළවීමේ එකම උපාය ලෙස ජේ ආර් ජයවර්ධන මහතා තෝරා ගත්තේ පාර්ලිමේන්තුව පවා දැනුවත් නොකොට ඉන්දියාවේ රාජීව් ගාන්ධි සමග ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කිරීමයි.

එපාජ ආණ්ඩුවේ අගමැති වූ රණසිංහ ප්‍රේමදාස හා වෙනත් අය දැඩි ලෙස විරුද්ධවුවත් 5/6 පාර්ලිමේන්තු බලයක් හෙබවූ ජේ ආර්  ලංකාව මත ඉන්දියාවේ පීඩනයෙන් බලෙන් පැටවූ පලාත් සභා ඇතුලත් ගිවිසුම ක්‍රියාත්මක කලා.ගිවිසුමේ එක් කොන්දේසියක් වූයේ දෙමළ සටන් කාමීන් නිරායුධ කිරීමට ලංකාව කැමතිනම් ඉන්දියන් සාම සාධක හමුදාවක් එවීමයි.

ඒවන විට පිරිස් බලයෙන්, වෙඩි බලයෙන් මෙන්ම ආත්ම අභිමානයෙන්ද පිරිහී හෙම්බත්ව සිටි ලංකා ත්‍රිවිධ හමුදාවට යම් ඉස්පාසුවක් ලබාදීමටත්, ඒ වනවිට ඉතා ම්ලේඡ්ච ස්වභාවයකට හැරෙමින් තිබූ ජවිපෙ සන්නද්ධ ත්‍රස්තවාදය මර්ධනය කිරීමට දකුණට හමුදාව යෙදවීමේ දැඩි අවශ්‍යතාවයක් තිබූ නිසාත් ජේ ආර් ඉන්දීය සාමසාධක හමුදාවට ආරාධනා කලා.

ජ.වි.පෙ සන්නද්ධ අරගලයේ නිළ යුක්ති සාධනය (justification) වූ  1987  සාම ගිවිසුම් විරෝධය හා ඉන්දියන් ආක්‍රමණික හමුදා විරෝධය

මාගේ යෝජනාව වන්නේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණය ජවිපෙ / අන්තරේ / දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය දඩමීමා කරගත් තවත් එක් ප්‍රශ්ණයක් පමණක් බවයි. එහෙත් එය ජවිපෙට සිය සන්නද්ධ නැගිටීම සාධාරණීකරණය කරගැනීමට හා යුක්තියුක්ත කරගැනීමට තරම් වැදගත් ජාතික ගැටලුවක් නොවූ අතර අද මෙන් සන්නිවේදනය දියුණු නොවූ 1980ව දශකයේ කොළඹින් පිට ජනයා බොහෝ දෙනෙකු දැනුවත් නොවූ, සංවේදී නොවූ ප්‍රශ්ණයක් වුනා.

මුලුමහත් ජනතාව සංවේදීවූ, සිංහලයින් වැඩි දෙනෙකු කෙලින්ම විරුද්ධවූ හා විරෝධය එලිපිට නොපෙන්වූවත් අකමැති වූ ජන විඥාණයට දැඩි ලෙස සංවේදීවූ උත්කෝපකයක් වූයේ 1987 ජූලියේදී ඉන්දියාවේ දැඩි පීඩනය හා ජාත්‍යන්තර අසරණභාවය තුල ජේ ආර් ජයවර්ධන ජනාධිපති රජීව් ගාන්ධි සමග අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුමයි.

1987 ජූලි ගිවිසුමෙන් පසු රට අස්ථාවර කොට රජයේ පාලන කඩාබිඳ දමමින් අරාජික ස්වභාවයක් ඇති කිරීමට ජවිපෙ ක්‍රියාකලා. මේ අරාජිකත්ව මෙහෙයුමට වක්‍රව සහයදී ජවිපෙ කරමතින් ශ්‍රීලනීප ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුර කල්ලිය ක්‍රියාකලා. වයස්ගතව, ශාරීරිකව දුර්වලව සිටි සිරිමා බණ්ඩාරණායක මැතිණිය නායකයා වුවද පක්ෂයේ බලය ඒවන විට අනුර කල්ලිය අල්ලාගෙන සිටි අතර චන්ද්‍රිකා විජය හා එක්ව මහජන පක්ෂය පිහිටුවාගෙන සාමගිවිසුමට පක්ෂ ස්ථාවරයක් ගෙන සිටියා.
පැහැදිලි කිරීම : මා මෙහිදී ශ්‍රීලනිප අනුර කල්ලිය යනුවෙන් භාවිතා කරන්නේ මුලුමහත් ශ්‍රීලනිපයම හා එහි සාමාජිකත්වයේ සහය අනුරට නොතිබූ නිසාත් අනුරගේ නායකත්ව හැකියාව පිලිබඳ විශ්වාසයක් පැරණි ශ්‍රිලනිප සාමාජිකයින්ට නොතිබුණු බව පැහැදිලි නිසාත් යන කරුණු දෙක මුල්කරගෙනය.
අගමැතිවරුන් දෙදෙනෙකුගේ පුතෙකු වුවද දේශපාලන අඳබාලයෙකු හා බලයට කෙටි මං සොයන, මහන්සිවී දේශපාලනය කිරීමට අකමැති අමු කම්මැලියෙකුවූ අනුර බණ්ඩාරණායක සිතාගෙන සිටියේ ජවිපෙට වක්‍රව සහයදී රට අරාජික කොට එමගින් හා ජවිපෙ දරුණු ඝාතන රැල්ලෙන් අඩපණව තිබෙන එජාප පක්ෂ යාන්ත්‍රණය  තවත් අඩපණ කොට ඊලඟට එන ජනාධිපතිවරණයෙන් මෑණියන්වූ සිරිමා ජනපතිණිය කරවා ඇයගේ රජයේ අගමැති වී මතු දිනක ඇයගේ ඇවෑමෙන් ජනපති වීමයි.

අනුර කල්ලියේ අඳබාළ උපක්‍රමය ජවිපෙද දැනසිටි බව මගේ විශ්වාසය වුවත් ජවිපෙට වඩා විශාල සංවිධාන ශක්තියක් ඇති ශ්‍රිලනිපය හරහා රට අස්ථාවර කරගැනීමට ජවිපෙ ක්‍රියා කල අතර  88 ජනාධිපතිවරණ සටන පටන් ගන්නා තෙක් ශ්‍රීලනිපයට විරුද්ධව ජවිපෙ තුවක්කු පත්තුවුනේ නෑ. ජවිපෙ තුවක්කු ශ්‍රීලනිප සාමාජිකයින්ටද පත්තු වන්නට පටන් ගත්තේ ජවිපෙ තදින් විරුද්ධවූ  1988 ජනපතිවරණයට හා මහමැතිවරණයට  තරඟ කිරීමට ශ්‍රීලනීපය තීරණය කිරීම නිසයි.

1987 සාම ගිවිසුමෙන් පසු ශ්‍රීලනිප අනුර කල්ලියේ සහයෙන් හා තුවක්කුවෙන් රට අස්ථාවර කිරීමට ජවිපෙ ගත් ප්‍රධාන ක්‍රියාන්විත කිහිපයක් පහත දැක්වෙනවා.

කෙසේ වෙතත් මේවන විට ජවිපෙ සිය ප්‍රහාර මෙන්ම ප්‍රචාරක ව්‍යාපාර සඳහාද ජවිපෙ නාමය වෙනුවට DJV හෙවත් දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය යන වෙස්මූණ භාවිතා කලා. එමෙන්ම විවිධාකාර සටන් මධ්‍යස්ථාන හා බළඇණි යනුවෙන් හඳුන්වාගත් වෙස්මුහුණුද ජවිපෙ භාවිතා කලා. උදාහරණයක් ලෙස එජාප හිතවාදී භික්ෂූන්වහන්සේ නමක්වූ කොටිකාවත්තේ සද්ධාතිස්ස තෙර මරාදැමූ ජවිපෙ එය "කුඩාපොල බළ ඇණිය" මගින් සිදුකල බව ප්‍රචාරය කලා.

තවත් ඉදිරියේදී ජවිපෙ කීර්ති විජයබාහු නම් ෆේක් ප්‍රොෆයිලයක් නිර්මාණය කොට එය තමන්ගේ නිළ ප්‍රකාශක හා අණදෙන නිළධාරී බව පෙන්වා සිටියා. නම කුමක් වුවත් මේ සියල්ල පිටුපස සිටියේ විජේවීර හා ඔහුගේ පොලිටිබියුරෝවේ සගයන් 12දෙනායි.

1987 ජූලි කළබල
1987 අගෝස්තු පාර්ලිමේන්තු ග්‍රෙනේඩ් ප්‍රහාරය 
1987 දෙසැම්බර් එජාප සභාපති ඝාතනය

1987ජූලි කළබල; සාම ගිවිසුමට, ඉන්දියන් හමුදා ගෙන ඒමට හා පලාත් සභාවලට විරුද්ධවන මුවාවෙන් ජවිපෙ හා ශ්‍රීලනිප අනුර කල්ලිය සිදුකල ඒකාබද්ධ රට අරාජික කිරීමේ මෙහෙයුමක් ලෙසයි මා හඳුනාගන්නේ. පැහදිලිවම රජයේ දේපොල ගිණිතැබීමට, තැන තැන සාහසික උද්ගෝෂණ පැවැත්වීම් වලට, භික්ෂු පෙළපාලි වලට ශ්‍රීලානිප අනුර කල්ලියේ දැඩි සහයක් ලැබුණු අතර උද්ගෝෂණවලට සහාභාගීවූ භික්ෂූන් හා සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ශ්‍රිලනිප හිතවාදීන් වුනා. රටපුරා ඇවිලී ගිය සාමගිවිසුම් විරෝධී පෙලපාලි සඳහා පාසැල් සිසුන් පවා සම්බන්ධකර ගත් අතර පාසැල්වල විනයද බොහෝ සෙයින් බිඳවැටී ඒවා ජවිපෙ ක්‍රියාකාරීන්ගේ ග්‍රහණයට හසුවුනා. 

ඒ අනුව ජවිපෙ සිය සන්නද්ධ අරගලය, විශේෂයෙන්ම එජාප සාමාජිකයින් ඝාතනය කිරීම හා රජයේ දේපොල විනාශ කිරීම, පොලිස් භටයින්ට පහරදී ආයුධ උදුරාගැනීම ආදිය සාධාරණීකරණය කරන්නට උදව්කර ගත්තේ ඔවුන්ගේ අරගලය රට පවාදී ඉන්දියන් වඳුරු හමුදාව මෙරටට ගෙන ආ එජාප ආණ්ඩුවට දඬුවම් කොට පන්නා දැමිය යුතුයයි යන තර්කයයි.

මේ පණිවුඩය රටතුලට කාන්දු කිරීමට අනුර කල්ලියද ක්‍රියාකල අතර 1970දී මෙන් ජවිපෙ කරමතින් බලය අල්ලාගෙන පසුව 1971දී මෙන් ජවිපෙ නැවතත් කුඩුකර දැමීම අනුරලාගේ සැලැස්මවූ බව නිසැකයි. කෙසේ වෙතත් 1971 කැරැල්ලෙන් පසුව ජන විඥාණයට බලවත් ලෙස අප්‍රසන්නවී තිබූ ජවිපෙ නැවතත් සුජාත කිරීමට සාම ගිවිසුම් හා ඉන්දියන් හමුදා විරෝධය හා එයට අනුර කල්ලියෙන් ලැබෙන සහයද හේතුවූවා.


1987 අගෝස්තු පාර්ලිමේන්තු ග්‍රෙනේඩ් ප්‍රහාරය ජූලි කලබලවලින් අස්තාවර කල රජයේ පාලනයේ මර්මස්ථානය වන පාර්ලිමේන්තුව බිය වැද්දීමට යොදා ගත්තා. එමෙන්ම සිය ප්‍රහාරක හැකියාවන් ගැන පොදු ජනයා විස්මිත කොට, අජෙය්‍ය ප්‍රතිරූපයක් (image of invincibility) මවා ගැනීමටත් ජවිපෙ මෙම සූක්ෂම ප්‍රහාරය යොදා ගත්තා.

"පාවා දෙන්නන්ට දඬුවම් දීම පාර්ලිමේතුවෙන් ඇරඹුනා..." යන ප්‍රචාරක පාඨය රටපුරා බිත්තිවල ලියමින්, එක් රැයින් රටපුරා පෝස්ටර් අලවමින් පාර්ලිමේන්තු ප්‍රහාරයෙන් පසු සිය සංවිධාන ශක්තිය හා විස්මිත ප්‍රහාරක හැකියාව පිලිබඳව මිථ්‍යා ප්‍රබන්ධ ජවිපෙ ඉතා හොඳින් ජනගත කල අතර ඕනෑම ප්‍රහාරයක් සිදුකොට ගැලවී යාහැකි අතිදක්ෂ, නිර්භීත කොල්ලන් පිරිසක් ලෙස සමාජය පුරාම බියමුසු ගෞරවයක් ගොඩනගා ගැනීමට පාර්ලිමේන්තු ප්‍රහාරයත් සමගම ජවිපෙට හැකිවුනා.

එජාප ආර්ථික ප්‍රතිපත්ති හරහා කිසිදු සහනයක් නොලැබ ආර්ථික හා සාමාජීය ලෙස කොන්ව සිටි, පාරම්පරික ලෙස දේශපාලනිකව  ශ්‍රීලනිප හිතවාදීන්වූ ඈත පිටිසර තරුණ කැල සිය ව්‍යාපාරයට ආකර්ෂණය කරගැනීම සඳහාත් ජවිපෙ මෙම ප්‍රහාරයේ ප්‍රචාරක වාසිය උපරිමයෙන් ලබාගත්තා.

එමෙන්ම එජාප දේශපාලනයෙන් හා මැර ක්‍රියාවලින් බැටකමින් සිටි ශ්‍රීලනිප පාක්ෂිකයින් මෙන්ම එජාප රජය සමග බද්ධ වෛරයෙන් සිටි 1980 මහා වැඩවර්ජනයෙන් රැකියා අහිමිවූවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද දැඩිලෙස කුල්මත් කිරීමට 1987 පාර්ලිමේන්තු ග්‍රෙනේඩ් ප්‍රහාරය සමත්වුනා.

1987 දෙසැම්බර් එජාප සභාපති ඝාතනය. පාර්ලිමේන්තු ප්‍රහාරයෙන් පසු එජාප රජයට හා දේශපාලන යන්ත්‍රයට තවත් මරු පහරක් එල්ල කිරීමට ජවිපෙ ප්‍රහාරකයින් සමත්වුනා. ඒ කොළඹ නගරයේ ජනාකීර්ණ පෙදෙසක්වූ වැල්ලවත්තේදී එජාප සභාපති හා ජේ ආර් ජයවර්ධනගේ දකුණු අත ලෙස හැඳින්වුනු හර්ෂ අබේවර්ධන ඝාතනයයි. මට මතක ඇති ආකාරයට ෆුට් සයිකලයක පිටුපස ලෑලි මිටියක මැද හාරා සූක්ෂම ලෙස සඟවාගෙන ආ ටී-56 රයිෆලයකින් හර්ෂ අබේවර්ධන ගමන් ගත් රථයට වෙඩිවරුසාවක් එල්ල කල ඝාතකයා නිරුපද්‍රිතව පැන ගත්තා.

අදමෙන් හොඳින් පුහුණුව ලබා හොඳින් සන්නද්ධව සිටින ප්‍රභූ ආරක්ෂක බල ඇණි වලින් තොරව මහමග ගමන්කල මිනිසුන් මරාදමමින් සිදුකල මේ ඝාතන සාධාරණීකරණය කරන්නට ජවිපෙ මෙන්ම ශ්‍රිලනිප අනුර කල්ලියද ක්‍රියාකල අතර ඒවා අහිංසක නිරායුධ මිනිසුන් මරා දැමීමක් වෙනුවට ජේ ආර්ගේ කෲර පාලනයේ නියමුවන් මරාදැමීමක් ලෙස අර්ථදැක්වුනා.

විදෙස් පුවත්වාර්තා හා පැරණි පුවත්පත් වලට අනුව හර්ෂ අබේවර්ධන ඝාතනය වනවිටත් 250කට අධික එජාප ක්‍රියාකාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මරාදමා තිබූ අතර මේ ඝාතන රැල්ලත් සමග 5/6ක පාර්ලිමේන්තු බලයක් හා අතිශය බලගතු විධායක ජනාධිපති පදවියද අතැතිව සෙලවිය නොහැකි පර්වතයක් මෙන් තිබූ එජාප රජය ඇදවැටෙන්නට පටන්ගෙන ඇති බව ශ්‍රීලනිප හා වෙනත් එජාප විරෝධීන් විශ්වාස කල අතර ඔවුන්ගේ කෘතඥතාවය ජවිපෙ වෙත ලැබෙන්නට පටන්ගත්තා.

1988 ජනපතිවරණය හා මහා මැතිවරණය

ජවිපෙ ප්‍රහාර වඩාත් වේගවත් හා දරුණු වන්නට පටන්ගත් සමය වන්නේ 1988 ජනපතිවරණ හා මහමැතිවරණ සටන හා ඊට පසුවයි. මැතිවරණ දෙකම දැඩිලෙස ප්‍රතික්ෂේපකල ජවිපෙ එයට ඉදිරිපත්වන අපේක්ෂකයින්, එම අපේක්ෂකයින්ට සහය දෙන පක්ෂ සාමාජිකයින් පමණක් නොව, මැතිවරණ යාන්ත්‍රණය මෙහෙයවන මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවට පමණක් නොව මැතිවරණ සේවාවල යෙදෙන රජයේ සේවකයින්ට මරණවරෙත්තු නිකුත්කලා.

සෑම චන්ද පොලකම චන්දය දෙන පලමු වැන්නා හා ඔහුගේ/ඇයගේ පවුලම ඝාතනය කරන බවට ජවිපෙ අණතුරු ඇඟවූ අතර මැතිවරණ රැස්වීම් පැවති ඕනෑම ප්‍රදේශයක ඔවුන්ගේ තුන්ඩුකෑලි ඇඳිරිනීතිය පනවා එය කඩකරන්නන්ට මරණ දඬුවම ලබා දුන්නා. චන්ද පොලවල රාජකාරි සඳහා වාර්තාකරන කරන රජයේ සේවකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට මෙන්ම චන්දපොලවල් ආරක්ෂාකරන පොලීසියේ හා ඔවුන්ගේ පවුල්වලටද ජවිපෙ මරණ වරෙත්තු නිකුත්කලා.

බස් ඩිපෝවල ගාල්කොට තිබූ බස් සියගණන් ගිණිතියමින්, හැකි සෑම රජයේ දේපොලක්ම ගිණිතබමින් හානිකරමින් සිටි ජවිපේ නිළනොවන ඇඳිරිනීති නිසා පොදුජනයා දැඩි භීතියටත් අපහසුතාවයටත් පත්කලා. ජවිපෙ තුන්ඩුකෑලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලවල කඩයේ ලෑල්ලක් ඇර පාන් භාගයක් විකුණු මුදලාලිලාගේ අත්පා කපා දැම්මේ, මුදලාලි කඩය තුල සිරකොට කඩය ගිණිබත් කොට දැම්මේ ඉතාමත් කුරිරුලෙසයි.

එමෙන්ම මෙතෙක් කල් එජාප ක්‍රියාකාරීන් යැයි හඳුනාගත් පුද්ගලයින්ට හා පවුල් වලට එල්ලවූ ජවිපෙ තුවක්කුව මැතිවරණ කිරීමේ වරදට ශ්‍රීලනිප සාමාජිකයින්ටද, රජයේ සේවයේ ඉහලම නිළධාරියාගේ සිට පහලම ග්‍රාම නිළධාරියා, පාසැල් ගුරුවරයා, බස් රියදුරා දක්වාම එල්ලවුනා.

උතුරුමැද, වයඹ, සබරගමුව, දකුණු හා ඌව පලාත්වල නොනවතින රැල්ලක් මෙන් පැමිණි ජවිපෙ ඝාතනවලට පාසැල් ගුරුවරුන්, ග්‍රාම නිළධාරීන්, කච්චේරි නිළධාරීන්, ග්‍රාමීය බැංකු කළමණාකරුවන්, වගා නිළධාරීන්, විදුහල්පතිවරුන්, වෛද්‍යවරුන්, බස් රියැදුරන්, කොන්දොස්තරවරුන්, වතු අධිකාරීවරුන් බිලිවෙද්දී සාමාන්‍ය ජනයාගේ ජනජීවිතය සම්පූණයෙන්ම ව්‍යාකූල වූ අතර 1988 මැතිවරණ දෙක අවසන් වන විට ජවිපෙ සන්නද්ධ අරගලයේ නියම බිහිසුණු ස්වභාවය ජන විඥාණයට කාවැදෙන්නට පටන් ගත්තා.

ජවිපෙ මේ ඝාතනවල අරමුණු දැඩි මරණ භීතියකින් ජනතාව අවනත කරගැනීමත් සෑම ගමකම, නගරයකම පැතිර ඇති රජයේ පාලන යන්ත්‍රය, රාජ්‍ය නිළධාරීන් හා දේශපාලකයින් ඝාතනය කරමින් බිඳ වට්ටවා දැමීමෙන් රජයේ නියෝග රටෙහි ක්‍රියාත්මක නොවන තත්වයක් ඇතිකිරීමයි.

ප්‍රේමදාස ජනාධිපතිවී එජාප ආණ්ඩුවක් පාර්ලිමේතුවේ අසුන්ගන්නා විට තම අරගලයට ඇති ජනතා සහය තමන්වෙතින් ගිලිහෙමින් යන බවත්, ජනතාව විජේවීරගේ නායකත්වයෙන් යුතු ජවිපෙ ආණ්ඩුවක් ගැන කිසිදු කැමැත්තක් නැති බවත් අවබෝධකරගත් ජවිපෙ දැඩිලෙස කුපිතවී ඉවක් බවක් නැතිව ඝාතන සිදුකරන්නට පටන් ගත්තේ මරබිය යොදා කෙසේ හෝ ප්‍රේමදාසට සිය ආණ්ඩුව ගෙනයන්නට නොහැකිව අඩපණ කර දැමීමේ අරමුණින්.

විජේවීර ඇතුලු 13දෙනාගේ පොලිටිබියුරෝවෙන් දිවිගලවාගත් එකම පුද්ගලයා වූ සෝමවංශ අමරසිංහ පසුකලෙක කියා සිටියේ මේ සියලු ඝාතන එක් පුද්ගලයෙකුගේ තීරණ නොව සමස්ත පොලිටිබියුරෝවේ සාමූහික තීන්දු වූ බවයි. 

1987 කාලයේ ආරක්ෂක හමුදා ආකල්ප

ඉන්දියාවේ බලපෑමෙන් නිවට ලෙස හමුදා ක්‍රියාන්විත නවත්වා දැමීම, දැඩි ජීවත හානි මැද අල්ලාගත ප්‍රදේශ අතහැර පසුබසින්නට අණලැබීම හා ඉන්දියන් හමුදාවන්ගේ උද්දච්ඡ හැසිරීම් හා අවඥාසහගත සැළකීම් නිසා ත්‍රිවිධ හමුදාවේ ඉහල සිට පහලට බොහෝ නිළධාරීන් හා සෙබලුන් සිටියේ කළකිරීමෙන්. ඈත ගම්වල දුප්පත් තරුණයින්ගෙන් සමන්විත වූ හමුදාවන් තුල ජවිපෙ පිලිබඳව 1987 ගිවිසුම කාලය වනවිට තිබුණේ සාධනීය හැඟීමක්.

ඈත දකුණේ මෙන්ම රජරට පෙදෙස්වල ගම්මාන වලින් හමුදාවට බැඳුනු  තරුණයිගේ පාසැල් මිතුරන් ජවිපෙ ක්‍රියාකාරීන් වූ අතර සමහර ජවිපෙ ක්‍රියාකාරීන් හිතාමතාම හමුදාවට බැඳුනේ හමුදා පුහුණුව ලබාගෙන අවියද රැගෙන පලාගොස් ජවිපෙ සන්නද්ධ බළඇණියට එක්වීමටයි. එහෙත් මේ අරමුණින් හමුදාවට බැඳුනු තරුණ පිරිස ඉතාමත් සුළු ප්‍රමාණයක් වූවා.

දුප්පත්කම හා කොන්වීම උරුමකරගත් ගම්මානවල තරුණ කැළ අතරින් හමුදාවට බැඳුනු තරුණයින් ජවිපෙ තරුණයින් පිලිබඳව 1987 වන විටත් "අපි වගේම එවුන්" යන හැඟීම තිබුණා. එමෙන්ම රජයේ ක්‍රියාකාරිත්වය පිලිබඳ ඔවුන්තුල තිබූ කළකිරීමත්, ජවිපෙ රජයට විරුද්ධව ක්‍රියාකිරීමත් නිසා, ජවිපෙ ක්‍රියාකාරකම් තර්ජනයක් ලෙස දකින්නට හමුදාවේ මැද සිට පහලට නිළධාරීන් හා සෙබලුන් කැමතිවූයේ නෑ.  

1988 ජනපතිවරණ සමය වනවිට මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කයේත් උතුරුමැද, වයඹ, සබරගමුව, දකුණු හා ඌව පලාත්වල ජවිපෙ ක්‍රියාකාරකම් ඉතා උග්‍රව පැවති අතර ඈත ප්‍රදේශවල තිබූ කුඩා පොලීසි පවා වසාදමා තිබුණේ ඒවා ආරක්ෂාකර ගැනීමට හැකියාවක් නොතිබූ නිසයි. ජවිපෙ කාඩර්වරුන් විසින් බෝක්කු පාලම් කඩාදමා, ගස් පෙරලා පාරවල් වසා දමා  තිබූ ඈත පිටිසර ගම්මාන සම්පූණයෙන්ම රජයේ පාලනයෙන් ගිලිහී ගොස් තිබුණා.

එමෙන්ම ජවිපෙද 1988 මැතිවරණකාලය වනතෙක්ම තමන්ට එජාප රජය පෙරලීමට හමුදාවේ බහුතරයේ සහය ලබාගත හැකිවනු ඇතැයි විශ්වාස කල බව මගේ හැඟීමයි. ජවිපෙට දැඩි ලෙස හිතවත්වූ මාගේ පාසැල් මිතුරන් 1988 මැතිවරණ කාලය වනතෙක්ම හමුදාවට කිසිදු දොසක් නොකී බව මට හොඳින් මතකයි.

මෙය වෙනස්වූයේ 1988 ජනපතිවරණය හා මහමැතිවරණය පවත්වන්නට හමුදාවෙන් ලැබූ සහයත්, හමුදා සහය ඇතිව පුරවනු ලැබූ චන්ද පෙට්ටි මගින් ජවිපෙ ක්‍රියාකරකම් ඉතා දැඩිවී, චන්ද පොලවල් පාලුවට ගොස් තිබූ ප්‍රදේශවල ප්‍රේමදාස මහතා හා එජාපය ජය ගැනීමත් සමගයි.

1988න් පසුව ජවිපෙ මෙතෙක් කල් තම හිතවතුන් ලෙස සැලකූ හමුදාවට එරෙහිව අවි එසවූවා. චන්ද පවත්වා ප්‍රේමදාස හා එජාපය දිනවන්නටත්, එජාප රජයේ ප්‍රභූන් ආරක්ෂාකිරීමටත් ක්‍රියාකල වරදට හමුදා සෙබලුන් මරාදමන්නට ජවිපෙ ඝාතකයින්ට අණ ලැබුනා. රාජකාරි වලින් නිවාඩු ලබා නිවෙස්වලට ගිය සෙබළුන් ඝාතනය වූ අතර ඝාතනය කරන්නට පැමිණි සෙබලා නිවසේ නොමැතිවිට ඔහු සිටින තැන කියන්නට අපොහොසත්වූ මව, පියා, සොයුරු සොරියන් මරාදමා, නිවසටද ගිණිතබා යන්නටද  ඝාතකයින් ක්‍රියාකලා.

මාගේ පෞද්ගලිකව දන්නා පරිදි එජාප හිතවාදී හමුදා නායකයින් ජවිපෙන් සිය පලිය ගන්නට කැකෑරෙන වෛරයෙන් සිටි, ජවිපෙ අතින් සිය පවුල් පිටින් ඝාතනයවූ හමුදා සෙබලුන් හා නිළධාරීන් ඝාතන කණ්ඩායම්, අලුගෝසු කණ්ඩායම් වලට අනුයුක්ත කොට ඔවුනට රිසි පරිදි පලිගන්නට ඉඩ ලබාදුන්නා. 

ප්‍රා, කහ බළල්ලු, කොළ කොටි මෙවැනි හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඝාතක කල්ලි හැඳින්වූ නම් වනවා. මෙයින් ඉතා කෲර ලෙස ජවිපෙ මර්ධනයට යොදාගත්තේ ප්‍රා කල්ලියයි.

රන්ජන් විජේරත්නගේ නායකත්වයෙන් ජවිපෙ මුලුමණින්ම විනාශ කිරීමේ මෙහෙයුම ඇරඹෙයි.


හමුදා සාමාජිකයින් ඝාතනය ඇරඹීමත් සමග යුධ හමුදාවේ සියලුම නිළයන් ජවිපෙ මර්ධනයට කැපවූ බව මගේ හැඟීමයි. ආරක්ෂක හමුදා මර්ධනය උග්‍රවත්ම ජවිපෙ තවත් එක් අනුවන ක්‍රියාමාර්ගයක් ගත්තා එනම්, දිනවකවානු ලබාදී හමුදාව අතහැර නිවෙස්බලා යන ලෙස ත්‍රිවිධ හමුදා සෙබලුන්ට නියෝග කිරීමත් එසේ කිරීමට අපොහොසත් වන හමුදා සාමාජිකයින්ගේ පවුල් ගැන වග නොකියන බවටත් රටපුරා පෝස්ටර් ඇලවුනා.

ජවිපෙ හිතවාදීන් සඳහන් කරන්නේ මෙය ජවිපෙ වැඩක් නොව එජාප පාලනයේ තිබූ ප්‍රා වැනි පැරාමිලිටරි කල්ලිවල වැඩක් බවයි. ඔවුන් සැලසුම් සහගතව හමුදා පවුල් මරාදමා මුලුමහත් ත්‍රිවිධ හමුදාවම ජවිපෙ මර්ධනයට පෙළඹවූ බවයි ඔවුන් කියන්නේ.  

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් ඊට පෙරද ජවිපෙ විසින් සිදුකොට පසුව විශාල ජන අප්‍රසාදයට පත්වූ ඝාතන සියල්ලම අන් පාර්ශව වෙත පටවා ඇඟබේරා ගැනීමේ ක්‍රියාමාර්ග ජවිපය ගත්බව කිවයුතුයි.

අතිශය ජනාදරයට පත්ව සිටි,සාම ගිවිසුමට හා පලාත්සභාවලට පක්ෂවූ විජය කුමාරණතුංග ඝාතනය කල ජවිපෙ එය දැඩි ජනතා විවේචනයට බඳුන්වන බව දැනුනු වහාම සිය ප්‍රචාරක ජාලය හරහා එය ප්‍රේමදාසගේ ගිණුමට බැරකරන්නට උත්සාහ කලා. ඔවුන් ගොඩනගන්නට උත්සහ කල තර්කය වූයේ ප්‍රේමදාසට විජය තර්ජනයක් වෙන්නට පටන්ගත් නිසා ඔහුව මරාදැමූ බවයි.

එකල ජනහද කම්පාකල තවත් ඝාතනයක් වූයේ ප්‍රේමකීර්තිද අල්විස්ගේ ඝාතනයයි. ජාතික රූපවාහිණියේ ජනප්‍රියම වැඩසටහනක් වූ ආයුබෝවන් වැඩසටහන රේනුකා බාළසූරිය සමග මෙහෙයවූ ප්‍රේමකීර්ති ප්‍රේමදාස හිතවාදියෙකුද වූවා. ජවිපෙ විසින් රූපවාහිණිය බැලීම, ගුවන්විදුලියට සවන්දීම, ලේක් හවුස් පත්තර කියවීම තහනම් කොට තිබූ අවධියක අතිශය ජනප්‍රිය රූපවාහිණී වැඩසටහනක් මෙහෙයවූ ප්‍රේමකීර්ති ඝාතනය කල පසු ජවිපෙ ප්‍රචාරක යන්ත්‍රය එය ප්‍රේමකීර්තිගේ සහයක නිවේදිකාව වූ රේනුකා බාළසූරියගේ නාවික හමුදා සැමියාගේ ගිණුමට බැරකලා. එයට අනුව කියවුනේ රේනුකා හා ප්‍රේමකීර්ති අතර ඇතිව තිබූ අනියම් හාදවීමකින් උරණවූ රේනුකාගේ සැමියා ඔහුව ඝාතනය කල බවයි.

88/89 ආයේ ඇතිවන්නට ඉඩක් ඇතිද?

මම හිතන්නේ "නෑ" කියන එකයි. එයට හේතු කෙටියෙන් පෙන්වන්නට කැමතියි. 1989 කැරැල්ලෙන් පසු ඊට හේතු සොයන්නට ප්‍රේමදාස ජනපති වරයා ඇතිකල කොමිසමේ සොයාගැනීම් වුනේ, කැරැල්ලට ජන සහය ලැබෙන්නට බලවත්ම හේතූන් බවට ග්‍රාමීය තරුණ කැළගේ දැඩි විරැකියාව, උසස් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු අවස්ථා හිඟවීම හා එමගින් ඇතිව ආර්ථික හා සාමාජීය කොන්වීමයි.

ප්‍රේමදාස පාලනය ගමට කර්මාණ්ත නම් ව්‍යාපෘතිය අරඹා කර්මාණ්තශාලා 1000ක් ඈත ගම්මානවල පිහිටුවා රැකියා දෙන්නට පටන් ගත්තේ මේ නිසාමයි. එමෙන්ම ඈත ගම්මානවල පහසුකම් වැඩි කරන්නට, විදුලි බලය ලබාදෙන්නට මෙන්ම ඉතා ඉක්මණින් ප්‍රවාහන කටයුතු කරන්න  මහාමාර්ග දියුණු කිරීමේ ව්‍යාපෘතියක්ද ඔහු පටන් ගත්තා.

යුද්ධයේ අවසන්වීමත් සමග මහින්ද රාජපක්ෂ රජය දැවැන්ත යටතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති යටතේ ඈත පිටිසර ප්‍රදේශවල පවා මාර්ග හා පහසුකම් සංවර්ධනය මෙන්ම විදුලිය ලබාදීමද සම්පූණ කලා.

ඒ අනුව 87-89 තරුණයින් තම සන්නද්ධ ව්‍යාපාරයට බඳවා ගන්නට අවකාශ, නූතනයේ එවැන්නකට සූදානම් වන කණ්ඩායමකට තිබේදැයි සළකා බැලිය යුතුයි.

සමාජ-ආර්ථික අවස්ථා

1988/1989 කැරැල්ලට තරුණ සහය ලැබීමට පාදකවු ගම්බද තරුණ තරුණියන් හට එකල තිබූ දැඩි රැකියා විරහිත භාවය, ඉතා විරළ අධ්‍යාපණික අවස්ථා, නූතන ලෝකය හා ගැලපීමට ඇවැසි සන්නිවේදන මෙවලම් නොමැතිවීමෙන් කොන්වීම යන ගැටලු අද ලංකාවේ බොහොම අඩුයි.

කාර්මික, තාක්ෂණික, උසස් අධ්‍යාපන අවස්ථා යමක් ඉගෙනීමට ආසා තරුණ තරුණියන්ට ඕනෑ තරම් තිබෙනවා. වෘත්තීය පුහුණු අමාත්යැංශයට අයත්  TVEC රජයේ වැනි ආයතන හරහා මෙවැනි පුහුණු අඩුමිලකට ලබාගෙන රැකියාවක් කිරීමේ හැකියාව ඕනෑම තරුණ තරුණියකට තිබෙනවා. කැමතිනම් අරාබියේ රැකියාවක යාමට ඇති හැකියාවද තිබෙනවා.

අදවන විට විරැකියාව 4.5% - 5.0% අතරවූ අඩු අගයක තිබෙනවා. අද ලංකාවේ ඇති ලොකුම ගැටලුවක් වන්නේ පුහුණු ශ්‍රමය පමණක් නොව නොපුහුණු ශ්‍රමයේ පවා ඇති හිඟකමයි. ඒ අනුව රැකියාවක් කරන්නට කැමති තරුණයාට/තරුණියට 1987ට පෙර මෙන් නොව දැන් සංචාරක, ඇඟලුම්, ඉදිකිරීම්, සංවිධානාත්මක සිල්ලර වෙළඳාම (organised retail), නිෂ්පාදන හා සේවා කර්මාණ්තවල දැඩි ඉල්ලුමක් තිබෙනවා.

උදාහරණයක් ලෙස 2020 වනවිට සංචාරක ව්‍යාපාරයට අලුතින් 300,000ක සේවක සේවිකාවන් පිරිසක් ඕනෑ වන බව ඇස්තමේන්තු කොට ඇති අතර 2020 වනවිට ඉදිකිරීම් ක්ශේෂ්ත්‍රයට 600,000ක සේවක පිරිසක් ඕනෑ බව එම ක්ශේෂ්ත්‍රවල ප්‍රවීනයන් පවසනවා. ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමය පවසන අන්දමට 2022 වනවිට 120,000ක් පමණ මෘදුකාංග නිර්මාණකරුවන් ලංකාවට ඕනෑ වෙනවා.

ඒ නිසා ගමේ තරුණ තරුණියන්ට ජවිපේ හෝ පෙසපේ එල්ලී මරාගෙන මැරෙන දේශපාලන ව්‍යාපෘතිවලට හවුල්වීමට ඇති ආර්ථික හා සමාජීය බලපෑම් ඉතා අඩුයි.

එමෙන්ම අද රැවටිලිකාල දේශපාලනයට, මිත්‍යා (මැවීම ලේසිවුවත් ) පවත්වාගෙන යාමේ හැකියාව අඩුයි. සෑම යව්වනයෙක් අතම ස්මාර්ට්ෆෝනය රැඳී ඇති අද ඕනෑම දෙයක් ඉතා ඉක්මණින් දැනගනීමේ හැකියාව තිබෙන නිසා 1987-1989කාලයේ මෙන් මිත්‍යා ප්‍රතිරූප මවාගැනීමේ හැකියාව දේශපාලකයින්ට ඉතාමත් අඩුයි.

"නුඹලාට රස්සාවල් නැත්තේ, ජීවිත සුඛෝපභෝගී නැත්තේ අහවල් පාලකයා නිසාය. උන් පන්නන්නට එන්න" යයි තරුණ තරුණියන් බිලිබා ගැනීමේ හැකියාව ඉතා අඩු බව මගේ තර්කයයි.

උසස් අධ්‍යාපන අවස්ථා

මීට පෙර රජයන් මගින්ද යෝජනාකල එහෙත් ක්‍රියාත්මක කරගන්නට නොහැකිවූ ව්‍යාපෘති දෙකක් තිබෙනවා. එකක් නම් රටේ දැඩි ගුරු හිඟය මග හැරීමට අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට 5000ක් වැනි පිරිසකට ඉඩ සැලසෙන ව්‍යාපෘතියක්. සැලසුමේ ආකාරයට පෞද්ගලික විශ්වවිද්‍යාල කිහිපයක් හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එම උපාධිය හැදෑරීමට යන බරපැන රජය මගින් ලබාදෙනවා. එකම කොන්දේසිය වන්නේ උපාධිය ලබාගැනීමෙන් පසු වසර 10ක් යනතෙක් රජයේ පාසැලක සේවය කල යුතුය යන්නයි.

අනෙක් ව්‍යාපෘතිය රජයේ විශ්වවිද්‍යාලයකට යන්නට සුදුසුකම් ලැබූ එහෙත් Z ලකුණ නිසා අවස්ථාව අහිමිවූ ඔනෑම සිසුවෙකුට රජය පිලිගත් පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කැමති උපාධියක් හැදෑරීම සඳහා පොලී රහිත ණයක් ලබාදීමයි.

මේ ව්‍යාපෘති දෙක මගින් උසස් අධ්‍යාපනයට කැමති, එහෙත් රජයේ විශ්වවිද්‍යාලයකට යා නොහැකි, එමෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගැනීමට වත්කමක් නැති යව්වනයින් විශාල පිරිසකගේ උසස් අධ්‍යාපන බලාපොරොත්තු ඉටුවනවා.

ආරක්ෂක හා බුද්ධි අංශ

1987 ජවිපෙ කැරල්ල මඩින්නට දකුණට ගෙනා පරාජිත මානසිකත්වයෙන් පීඩා විඳි හමුදාවත් අද සිටින හමුදාවත් අහසට පොලොව මෙන් බව අමුතුවෙන් කියන්නට ඕනෑ නෑ. පිරිස් බලය, වෙඩි බලය, උපකරණ, ශිල්පක්‍රම හා තාක්ෂණය යනාදී සියල්ලෙන්ම දරුණු ගරිල්ලා යුද්ධයකට සාර්ථකව මුහුණ දිය හැකි ලෙස සන්නද්ධව සිටින මේ ආරක්ෂක හමුදාවලට සැඟවී වැඩිකලක් නාගරික හෝ ගම්බදව ගරිල්ලා ව්‍යාපාරයක් වැඩිකල් ඇදගෙන යන්නට කාට හෝ හැකිදැයි යන්න විශාල ප්‍රශ්ණාර්ථයක්.











__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...