රොකට්ටුවක් පෘථිවි කක්ශයට යැවූ පෞද්ගලික සමාගම : SpaceX

 
 FALCON 1


කෝටිපති අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වුනු, සුප්‍රකට PayPal අන්තර්ජාල ගණුදෙනු පහසුකම් සැපයිමේ සමාගමේ නිර්මාතෘ එලොන් මස්ක් විසින් 2002දී ආරම්භ කරන ලද SpaceX සමාගමේ අරමුණ ලෙස දැක්වෙන්නේ නාසා ආයතනයට වඩා ලාභදායි ලෙස උඩු ගුවනට චන්ද්‍රිකා ගෙනයා හැකි රොකට්ටුවක් නිර්මාණය කොට  ගුවන්ගත කිරීමයි. ඉතා දැවැන්ත අභියෝගයක් වුනු මෙය 2008දී ෆෝල්කන් 1 නම් රොකට්ටුවක් සාර්ථකව පෘථිවිය වටා කක්ශගත කිරීමෙනුයි. ෆෝල්කන් 1 පෞද්ගලික සමාගමක් විසින් පෞද්ගලික අරමුදල් පමණක් භාවිතයට ගෙන සම්පූර්ණයෙන්ම සිය ඉන්ජිනේරුවන් ලවා නිර්මාණය කොට පෘථිවිය වටා කක්ශගත කරනලද පලමුවන අභ්‍යවකාශ වස්තුව වනවා. ෆෝල්කන් 1 අභ්‍යවකාශ යානය කිලෝ 165ක බරකින් යුතු චන්ද්‍රිකාවක් හා සමාන (payload mass simulator) වස්තුවක් කක්ශගත කලා.


FALCON 9



SpaceX සමාගම සිය දෙවැනි ජයග්‍රණය ලැබුවේ 2010 වසරේ ජූනි 4වැනිදා ෆෝල්කන් 1ට වඩා අඩි 100ක් දිගින් වැඩි ෆෝල්කන් 9 නැමති විශාල රොකට්ටුව ගුවන්ගත කොට සාර්ථකව කක්ශගත කිරීමෙනුයි. මෙයට පහල පෘථිවි කක්ශයට කිලෝ ග්‍රෑම් 10,450ක් බරක් රැගෙනයා හැකි අතර එය නාසා ආයතනය භාවිතා කරන ඇට්ලස්, ඩෙල්ටා හා ටයිටන් රොකට්ටුවලට වඩා අඩු වියදමකින් යුතු වනවා.


FALCON HEAVY LIFT ROCKET


 ෆෝල්කන් 1 හා ෆෝල්කන් 9 රොකට් සාර්ථකව අත්හදා බලා රොකට් තාක්ශනයේ නමක් දිනාගත් ස්පේස්-එක්ස් ආයතනය 2011 අප්‍රේල් මස නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ තමන් මෙතෙක් ලැබූ අත්දැකීම් උපයෝගී කොටගෙන අභ්‍යවකාශ ශටලයට වඩා දෙගුණයක බර පරමාණයක් (එනම් ටොන් 53ක් පමණ) උඩුගුවනට ගෙනයා හැකි දැවැන්ත රොකට්ටුවක් තම සමාගම නිර්මාණය කරමින් තිබෙන බවයි. ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකර් ලෙස හැඳින්වෙන මෙය රොකට් එන්ජින් 27කින් හා බූස්ටර් රොකට් දෙකකින් සමන්විත දැවැන්ත යන්ත්‍රයක් වනවා.



ස්පේස්-එක්ස් ආයතනය පවසන අන්දමට ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුව අභ්‍යවකාශයට උපකරන හා මිනුසුන් ගෙනයාමේ ලාබදායිම ක්‍රමය වනු ඇති. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුවට කිලෝ ග්‍රෑම් 1ක බරක් උඩුගුවනට ගෙනයාමට වැයවන්නේ අමෙරිකානු ඩොලර් 2200ක් පමණ මුදලක්. නාසා  ශටල් යානයක් මගින් උඩුගුවනට කිලෝ ග්‍රෑමයක බරක් යැවීමට ඩොලර් 22,000 පමණ විශාල මුදලක් වැයවනවා.

සමාගම පවසන අන්දමට ඔවුන් ඩ්‍රැගන් නමින් හඳුවන කක්ශගත කල හැකි මොඩියුලයක් (orbiting cargo module) නිර්මාණය කොට ඇති අතර එය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බඩුබාහිරාදිය ගෙනයාමට සකස්කොට ඇත. දැනටමත් නාසා ආයතනය 2011 ජූනියෙන් පසු ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට බඩුබාහිරාදිය ගෙනයාම සඳහා ඩොලර් බිලියන 1.6ක කොන්ත්‍රාත්තුවක් ස්පේස්-එක්ස් සමාගමට ලබාදී ඇත. ඩ්‍රැගන් මොඩියුලය ගගනගාමීන් ගෙනයාම සඳහා පහසුවෙන් අනුවර්තනය කරගත හැකි අතර ඒ අනුව අනාගතයේදී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගගනගාමීන් යැවීම සඳහාද මේ රොකට්ටුව භාවිතාකල හැකිය. නාසා ආයතනයෙන් ලැබුනු ඩොලර් බිලියන 1.6 කොන්ත්‍රාත්තුවට අමතරව වෙනත් රටවල් හා අමෙරිකාවේම වෙනත් ආයතන සඳහා චන්ද්‍රිකා කක්ශගත කිරීමට ඩොලර් බිලියන් 2.5ක කොන්ත්‍රාත්තුද ස්පේස්-එක්ස් සමාගමට ලැබී ඇත.


සිරස් අතට සිටුවූ විට අඩි 227 උසින් යුතු ෆෝල්කන් හෙවි ලිෆ්ට් රොකට්ටුව ඉන්ධන  පිරවූවිට කිලෝග්‍රෑම් මිලියන 1.4ක් පමන බරින් යුතුවේ.

Comments