NEW POSTS

Recent Posts Widget

ARCHIVE

Show more

HUMAN HISTORY | COLONIAL HISTORY : අවුරුදු 362කට පෙර, දෙවන රාජසිංහ රජු මරා දැමීමට සැළසුම්කල 1664 නිලඹේ කැරැල්ල


මේ 2026 නොවැම්බරයයි. අදින් වසර 362කට පෙර 1664 දෙසැම්බර් 21 වන දින සිදුවූ නිලඹේ කැරැල්ල,
මහනුවර දෙවන රාජසිංහ රජගේ දීර්ඝ පාලන සමයේ සිදුවූ ඉතාමත් තීරණාත්මක අභ්‍යන්තර දේශපාලන අර්බුදයක් නිරූපණය කරනවා. 

දරුණු ආර්ථික දුෂ්කරතා, ඒකාධිපති පාලනය, දළදා පෙරහැර අවලංගුකර සිදුකල කෝපගැන්වීම් සහ අහසේ දර්ශනය වූ  විශාල වල්ගාතරුවකින් කියාපෑ අශුබ නිමිති එකතු වීම නිසා ඇතිවූ මෙම තත්ත්වය හේතුවෙන්, ප්‍රාදේශීය දිසාවේවරුන් සහ යම් බෞද්ධ භික්ෂූන් එකතුවී ප්‍රචණ්ඩකාරී ලෙස රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණයක් සිදුකලා.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වුණේ දෙවන රාජසිංහ රජු  ඝාතනය කර,  රජුගේ පසළොස් හැවිරිදි පුත් මහා අස්ථාන කුමාරයාව රජකමට පත්කිරීමයි. 

මෙම ලිපිය මගින් එම කැරැල්ලට හේතු වූ කරුණු, නායකත්වය, හමුදා මෙහෙයුම්, කැරැල්ල අසාර්ථක වීම සහ එහි ප්‍රතිඵල පිළිබඳ කාලානුක්‍රමික හා විශ්ලේෂණාත්මක සමාලෝචනයක් ඉදිරිපත් කරනවා.

කැරැල්ල සඳහා පදනම වූ ව්‍යුහාත්මක හේතු සහ පසුබිම

නිලඹේ කැරැල්ල හදිසියේම මතුවූ තනි සිදුවීමක් නෙවෙයි. එය ගොවීන්ගේ සිට උසස් ප්‍රාදේශීය නිලධාරීන් (දිසාවේවරුන්) දක්වා වූ මහනුවර සමාජයේ විවිධ ස්ථරයන් දෙවන රාජසිංහ රජුගේ පාලනය කෙරෙහි කළකිරීමට පත්කළ රජුගේ වියවුල් සහගත පරිපාලනයේ මෙන්ම දැඩි ලෙස කෝප ගන්නා, වග-විභාගයකින් තොරව තීරණ ගන්නා, දැඩිව පලි ගන්නා පෞරුෂත්වයට සමාජයේ සියලු ස්ථරවලින් එල්ලවූ විරෝධාය පුපුරායාමක් ලෙස සලකන්න පුලුවන්.

විදෙස් වෙළඳාම් තහනම් කිරීමෙන් ඇතිවූ දැඩි ආර්ථික පරිහානිය

දෙවන රාජසිංහ රජ ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගම (VOC) සමඟ තිබූ සියලුම වෙළඳ කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ වගේම විදේශීය භාණ්ඩ හුවමාරුව පුත්තලම සහ කොට්ඨියාරම් කියන උප නගරවල වරායන්ට පමණක් සීමා කළා. ලන්දේසීන් (එනම් ඕලන්ද ආක්‍රමණිකයින්)  වාණිජ වශයෙන් අසාර්ථක කිරීමට යයි සිතා, දුරදිග නොබලා, කරුණු හරිහැටි විභාග නොකර ලබාදුන් නියෝගය නිසා උඩරට රාජධානියේ  රදළයින්ට පමණක් නොව බොහෝ සමාන්‍ය ජනතාවට පවා ආදායම්, ව්‍යාපාරික අවස්ථා හා පලදාව විකිණීමේ අවස්ථා අහිමි වී ගොස් රාජසිංහ රජුගේ යටත්වැසියන් විශාල පීරිසක් දුගීබවට ඇදවැටුනා.

1659 මැයි මාසයේදී ලන්දේසි හමුදාව කල්පිටියේ පිහිටි පැරණි පෘතුගීසි පල්ලිය තුළ හමුදා කඳවුරක් පිහිටුවා, පුත්තලමට යන වෙළඳ මාර්ගයේ බලය තමුන් සතු කරගැනීමත් සමඟ මෙම ආර්ථික අර්බුදය ඉතා දරුණු ලෙස උග්‍ර වුනේ පුත්තලමෙන් ලැබුණු ව්‍යාපාරික අවස්ථාද අහිමිවීමෙන්.

විදේශීය භාණ්ඩ හුවමාරුව සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අහිමි වීම නිසා ජනතාව කොයිතරම් අසරණ වුණාද කියනවා නම්, මුළු රාජධානිය පුරාම  දරුවෙකු හදාවඩා ගැනීමට නොහැකි නිසා අලුත උපන් බිළිඳුන් මරාදැමීම පවා ඉතා බහුල ලෙස සිදුවීමට පටන් ගත්තා.

නිරන්තර සැකය නිසා තර්ජනයක් බවට සැක සියල්ලන් බලයෙන් පහකිරීම හෝ මරාදැමීම (political purge)

වෂ ශරීරගත කර ඝාතනය කිරීමට දැරූ ව්‍යාර්ථ උත්සාහයකින් පසුව, දෙවන රාජසිංහ රජු දැඩි සැකයකට සහ භීතියකට ගොදුරු විය. සිය රාජකීය බලය සුරක්ෂිත කරගැනීම සඳහා, රජු විසින් තමන්ගේ රාජකීය සැකයට භාජනය වූ, ධනය, බලපෑම හෝ ජනප්‍රියතාව හිමි ඕනෑම ප්‍රභූවරයෙකු, නායකයෙකු හෝ ප්‍රජාවකගෙන් අයෙකු ඝාතනය කරමින් හෝ ඉවත් කරමින් ක්‍රමානුකූල දේශපාලන ශෝධනයක් ආරම්භ කළේය. 

මේ හේතුවෙන් කුමන්ත්‍රණකරුවන් රජතුමාට එරෙහිව බරපතල ලෙස රාජ්‍ය පාලනය නිසි ලෙස නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කළ අතර, රජුගේ සාධාරණීකානය කල නොහැකි කෲරත්වය රාජධානියේ ප්‍රජාවගේ ජීවිතවලට දිගින් දිගටම තර්ජනයක් වූ බවටද කුමණ්ත්‍රණකරුවන් චෝදනා කලා. 

නායකත්වය සහ ප්‍රධාන කැරලිකරුවන්

මහජන අප්‍රසාදය තමන්ගේ වාසියට යොදා ගැනීමට උත්සාහ කළ පළාත් පාලකයන්, හමුදා සේනාධිපතිවරුන් සහ බලවත් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත සංකීර්ණ ජාලයක් විසින් මෙම කැරැල්ල සංවිධානය කලා.

කුමන්ත්‍රණයේ මහ මොළකරු ලෙස මූලාශ්‍ර දක්වන්නේ අඹන්වෙල රාළ නැමති ප්‍රභූවරයයි. (ඔහුව අබන්වෙල රාළ ලෙසද වාර්තා වී ඇත). ඔහු ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් (දිසාවේවරුන්) සමග සාකච්ඡා කොට, රජුගේ පාලනය අවසන් කිරීමේ කැරැල්ල වෙනුවෙන් සන්ධානයක් සාර්ථකව ගොඩනැගුවේය. ඊට සම්බන්ධ වූ ප්‍රධාන සම-කුමන්ත්‍රණකරුවන් වූයේ:

  1. ඒදණ්ඩුවාවේ රාළ : සතර කෝරළයේ දිසාව (ආණ්ඩුකාර).
  2. හීනාගම අප්පුහාමි : උඩපළාතේ දිසාව (ආණ්ඩුකාර).
  3. රන්කොත්දිවෙල රාළ : ඌවේ දිසාව (ආණ්ඩුකාර).

සිරි නිවාස තෙර : මෙම කුමන්ත්‍රණයට ආගමික අනුමැතිය ලබා දුන් උසස් බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙකි.

මෙම කල්ලියේ මූලික අරමුණ වූයේ දෙවන රාජසිංහ රජු ඝාතනය කිරීම සහ එවකට 15 වියැති පමණ වූ ඔහුගේ පුත් මහා අස්ථාන කුමරුන්ව (පසුව දෙවන විමලධර්මසූරිය ලෙස රජ වූ) වහාම රජ කරවීමයි.

තවද, විදේශීය තනාපතිවරුන් බලහත්කාරයෙන් නිවාස අඩස්සියේ තබාගැනීමේ රජතුමාගේ ප්‍රතිපත්තිය නිසා රාජ්‍යතාන්ත්‍රික සබඳතා විනාශ වූ අතර ජාත්‍යන්තර වෙළඳාම ද අඩපණවී රාජධානියේ වැසියන් අන්ත දුගී බවට වැටීමටද රජු කෙලින්ම වගකිවයුතු බවට ඔවුන් චෝදනා කලා.

බෞද්ධයා ප්‍රකෝපකිරීම සහ වල්ගාතරුවේ අසුභ නිමිත්ත

ප්‍රසිද්ධ කැරැල්ල සඳහා ආසන්නතම හේතුව ඇතිවුණේ 1664 අවුරුද්දේදී, දෙවන රාජසිංහ රජතුමා වාර්ෂික දළදා පෙරහැර මංගල්‍යය අවලංගු කිරීමට පෙර නොවූ විරූ පියවරක් ගැනීමත් සමගයි. රාජධානියේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික උත්සවය තහනම් කිරීම නිසා සංඝයා විරසකවූ අතර බෞද්ධයින් දැඩිලෙස කළකිරුණා.

රජු මෙවැනි දරුණු තීරණයක් ගැනීමට හේතු කිහිපයක් තිබෙන බව ඓතිහාසික මූලාශ්‍ර පවසනවා. (1) පෙරහැරට පැමිණෙන මුවාවෙන් සතුරන්ට කැරැල්ලක් සංවිධානය කිරීමට මහනුවරට එක් රැස්වීමට අවස්ථාව ලැබීම. (2) පෙරහැර නරඹන හෝ චාරිත්‍ර සිදුකරන අවස්ථාවේ ඝාතනයකට පහසුවේ යයි යන සැකය. (3) නිතරම අසනීපයෙන් පෙලෙන නිසා පෙරහැර චාරිත්‍රවලට මහනුවට යාමට තිබූ අකමැත්ත.

මේ කාලයේ රාත්‍රී අහසේ දීප්තිමත් ධූමකේතුවක් දර්ශනය වීම අනාගතයේ සිදුවන විනාශයක අද්භූත සලකුණක් ලෙස ජනයා තේරුම් ගත් අතර රජුට විරුද්ධ රදළයින් මෙය දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා තමන්ට දෙවියන්ගෙන් ලැබුණු නියෝගයක් ලෙස තේරුම් ගත්තා. රාත්‍රී අහසේ බැබලෙන අවසානාවේ සංකේතයක් ලෙස සැලකූ ධූමකේතුව, කැරැල්ලට පන්නරය දුන් බව විචාරකයින්ගේ මතයයි.

රොබට් නොක්ස්

කැරැල්ල හටගන්නා අවස්ථාවේදී රොබට් නොක්ස් ඇතුළු ඉංග්‍රීසි සිරකරුවන් කණ්ඩායමක් නිලඹේ රාජකීය සංකීර්ණයේ රැඳී සිටියා. දෙවන රාජසිංහ රජතුමා විසින් රොබට් නොක්ස් ඇතුළු මේ සිරකරුවන්ව නිලඹේට කැඳවාගෙන ඇවිත් තිබුණේ කුමකටදැයි පැහැදිලි නැතත් සමහරවිට ඔවුන්ට නිදහස ලබාදීමට හෝ පිටුවහල් කිරීමේ තීරණයට විය හැකියි.

කෙසේ වෙතත්, නොක්ස් මෙම කුමණ්ත්‍රණයේ ක්‍රියාන්විතය දෑසින්ම දැක ඒ පිලිබඳව සිය "An Historical Relation of Ceylon"  පොතේ සවිස්තරව සටහන් කර තිබෙනවා.

නිලඹේ මාලිගාවට එල්ල වූ රාත්‍රී ප්‍රහාරය

කැරැල්ලේ හමුදාමය ක්‍රියාමාර්ගය ආරම්භ වුණේ 1664 දෙසැම්බර් 21 වනදා රාත්‍රියේ, සෙන්කඩගල (මහනුවර) රාජධානියට කිලෝමීටර 22.5 ක් පමණ දකුණින් පිහිටි නිලඹේ රාජකීය මාලිගයේදීයි.

අන්ධකාරයේ මුවාවෙන්, සන්නද්ධ කුමන්ත්‍රණකරුවන් 200 දෙනෙකු නිලඹේ මාලිගයේ රාජකීය මුරකරුවන්ට නොසිතූ මොහොතක ප්‍රහාරයක් එල්ල කළා. ප්‍රථම ප්‍රහාරයෙන්ම රාජකීය මුරකරුවන්ගෙන් බහුතරයක් ඝාතනය වූවත්, කුඩා පිරිසක් මාලිගාව ඇතුළට පසුබැස රජතුමාගේ ආරක්ෂාව තර කිරීමට සමත් වුණා.

කැරලිකරුවන් මාලිගාව වටලමින්, දෙවන රාජසිංහ රජතුමාව සහ ඔහුගේ ඉතිරි වූ හිතවාදීන්ව ඇතුළු පවුරකට කොටු කළා. සංඛ්‍යාත්මකව වැඩි බලයක් තිබුණත්, රජු සිටින ස්ථානයට කඩා වැදී ඔහු මරා දැමීමට කුමන්ත්‍රණකරුවන් පසුබට වුණා. 

වයස්ගත වූවත් සටන් අත්දැකීම් බහුල එමෙන්ම නිර්භීත දෙවන රාජසිංහ රජතුමා, තම කඩුව අතට ගෙන පුද්ගලිකවම තම ස්ථානය ආරක්ෂා කරගත්තා. රජතුමාගේ රාජකීය බලයේ සාම්ප්‍රදායික ගම්භීරත්වයත් නිසාදෝ රජු වටකොටගෙන සිටි ආරක්ෂක වළල්ලට පහර දීමට මැලි වූ කැරලිකාර බලඇණිය රජතුමාගේ පෞරුෂයට බියෙන් පසුබා සිටිය බවයි නොක්ස් පවසන්නේ.

ඇත් කණ්ඩායමක් පෙරටුකරගෙන සිදුකල සූක්ෂ්ම පලායාමේ උපක්‍රමය

රාත්‍රී ප්‍රහාරයෙන් බේරීමට රජුට හා ආරක්ෂකයින්ට හැකිවුණා. පසුදින උදෑසන, දෙවන රාජසිංහ රජතුමා පෞද්ගලිකවම උපක්‍රමශීලී පලායාමක් සංවිධානය කළා. රොබර්ට් නොක්ස් ගේ සටහන් වලට අනුව එය මෙසේ සිදුවුනා.

පලායාමට මාර්ගයක් හෙලිකර ගැනීම: රජු තමන්ට ඉතිරිව සිටි විශ්වාසවන්ත සෙබළුන්ව කෙළින්ම රාජකීය ඇතුන්ගෙන් සැදුම්ලත් පෙරමුණට පිටුපසින් ගොනුකළා.

කැලෑව බිඳගෙන ඉදිරියට යාම: නිළඹේ මාලිගය වටා තිබූ ඝන කැලෑව මැදින් ඇතුන්ව මෙහෙයවමින්, කැලෑව හරහා පලායාමට මාර්ගයක් සාදාගත්තා.

ගලඋඩට පසුබැසීම: ඇතුන් හා අතලොස්සක් ආරක්ශකයින් හා හිතේසිවන්තයින් සමග දෙවන රාජසිංහ රජතුමා මාලිගා භූමියෙන් සාර්ථකව ඉවත් වී, හඟුරන්කෙත ආසන්නයේ පිහිටි ගලඋඩ ප්‍රදේශයේ තිබෙන කඳුකර බලකොටුව වෙත කිලෝමීටර 24 ක් පසු බැස්සා.

අගනුවර අත්පත් කර ගැනීම සහ නිල වශයෙන් තනතුරෙන් පහ කිරීම

රජු පලාගිය බව අවබෝධකර ගත් කැරළිකරුවන්, මාළිගය කොල්ලකා සෙන්කඩගලපුර වෙත ගමන් කලා. ඒ වන විට මහා අස්ථාන කුමරු අගබිසව සමඟ එහි සිට තිබෙනවා.

කැරලිකාර නායකත්වය විසින් රාජසිංහ II රජුගේ නීතිවිරෝධී පාලනය, දුර්පාලනය සහ කෲරත්වය යන කරුණු පදනම් කරගෙන උන්වහන්සේව රජකමින් පහ කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර  තරුණ කුමරුවාව උඩරට රාජධානියේ නව පාලකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

තීරණාත්මක සංධිස්ථානය: කුමරුගේ පලායාම (1664 දෙසැම්බර් 25)

මහා අස්ථාන කුමරු තම පියාගේ සිංහාසනය පැහැර ගැනීමට හෝ කැරලිකාර නායකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ.

1664 දෙසැම්බර් 25 වන දින — එනම් රජුව අල්ලා ගැනීම සඳහා හඟුරන්කෙත ගලෞඩ බළකොටුවට හමුදා මෙහෙයුමක් දියත් කිරීමට කැරලිකාර නායකයන් විසින් නියම කර තිබූ දිනයේදීම මහා අස්ථාන කුමරු, රජුගේ රජුගේ  ප්‍රියතම නැගණියද සමඟ සෙන්කඩගල පිහිටි කැරලිකාර කඳවුරෙන් රහසේම පලා ගියා. ඔවුන් කෙලින්ම රජු හා එක්වීමට කෙලින්ම රජුගේ බළකොටුවට ගොස් තිබුණා.

කැරැල්ල බිඳවැටීම සහ රාජකීය දඬුවම්වලට ඇති බිය ඉස්මතුවීම

මහා අස්ථාන කුමරුගේ නොසිතූ පලායාම නිසා කැරැල්ලේ දේශපාලන නීත්‍යානුකූලභාවය නැති වී ගිය අතර, කැරලිකරුවන්ගේ පේළි අතර ක්ෂණික බිඳවැටීමක් ඇති වුණා.

රාජකීය පළිගැනීමට බියෙන්, සිය ගණනක් වූ කැරලිකාර අනුගාමිකයන් තම ආයුධ අතහැර කොතරම් ඉක්මනින් අගනුවරින් පලා ගියාද යත්, කොල්ලකෑ මුදල්, ආභරණ, ආයුධ හා සන්නාහ රජ මළුව පුරා විසිරී තිබෙනු දකින්නට ලැබුණා.

මේ අතර කැරළි නායකයින් අතර අභ්‍යන්තර වියවුල් හා චෝදනා කරගැනීම් හටගත්තා.

ඒ සමගම රජුට පක්ෂපාත ප්‍රති කැරැල්ලක් හටගත් අතර, රජුගේ නාමයෙන් සෙන්කඩගල මාළිගාව තමන් සතුකර ගත් බව රජුට පක්ෂපාත ප්‍රභූන් නිවේදනය කලා.

රජු බලය නැවත පිහිටුවීම සහ දඬුවම් දීම

උඩරට රාජධානිය පුරා තම පූර්ණ බලය නැවත පිහිටුවූ රාජසිංහ ඓඓ රජු, මෙම රාජද්‍රෝහීත්වයට සම්බන්ධ සියලු කන්ඩායම්වලට එරෙහිව දැඩි දඬුවම් පැමිණෙව්වා:

ප්‍රධාන කැරලිකාර නායකයන් දරුණු ශාරීරික වධහිංසාවලට ලක් කර, පසුව මරා දමා ඔවුන්ගේ පාරම්පරික වතුපිටි සහ දේපළ සම්පූර්ණයෙන්ම රාජසන්තක කරනු ලැබුවා.

කුමන්ත්‍රණකරුවන්ට ආගමික සහයෝගය හෝ අනුබලය දුන් බවට සැක කෙරුණු උසස් හිමිවරුන්ව ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගඟට දමනු ලැබුවා.

Comments