On demand බස් සේවයක් ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර ඇරඹේ

On demand සේවාවන් යනු අවශ්‍යතාවය පැන නැගුනු අවස්ථාවකදී පාරිභෝගිකයෙකුට ලබාගත හැකි සේවාවන්ය. අන්තර්ජාලයේ ජනප්‍රියතාවය වැඩිවත්ම ඔන්-ඩිමාන්ඩ් සේවාවලට ඉල්ලුම ඉහල යන්නට පටන්ගෙන ඇත. ඔන් ඩිමාන්ඩ් වීඩියෝ සේවා (යූ ටියුබ් වැනි), ඔන් ඩිමාන්ඩ් චිත්‍රපට සේවා (අමෙරිකාවේ නෙට්ෆ්ලික්ස්), ඔන් ඩිමාන්ඩ් සංගීත සේවා (ඇපල් අයිටියුන්ස්) මේ අතරින් වඩාත්ම ජනප්‍රිය ඔන් ඩිමාන්ඩ් සේවාවන් වේ.

මේ ඔන් ඩිමාන්ඩ් සේවා ගොන්නට අලුතින්ම එකතුවී ඇත්තේ ඔන් ඩිමාන්ඩ් බස් රථ සේවාවයි. ෆින්ලන්තයේ අගනුවර වූ හෙල්සින්කි නුවර පොදු ප්‍රවාහණ සේවා අධිකාරිය මගින් හඳුන්වා දී ඇති මෙම සේවය මගින් තමන් කැමති ස්ථානයකට බස් රථය ගෙන්වාගෙන, තමන් කැමති ගමනාන්තයකට යා හැකිය. ටැක්සි සේවාවකට වඩා මෙහි වඩාත් විශේෂත්වය වන්නේ කැමතිනම් තවත් මගීන් කිහිපදෙනෙකු සමග තම බස් රථයේ ගමන බෙදාහදා ගත හැකිවීමයි. කැමතිනම් තමනට පමණක් බස් රථය වෙන් කරවාගෙන ගමන යා හැකිමුත් එවිට ගිවිය යුතු ගාස්තුව වැඩිවේ. එහෙත් මෙම සේවා හෙල්සින්කි නුවර ටැක්සි සේවාවට වඩා ලාබදායක බව පැවසේ.

KutsuPlus ලෙස හඳුන්වා ඇති මෙම සේවාව විශේෂ ඇප් එකක් සහිත ස්මාර්ට් ෆෝනයකින් ඇනවුම් කල හැකි අතර, ඇනවුම් කිරීමේදී ගමන් අරඹන ස්ථානය හා ගමනාන්තය ස්මාර්ට්ෆෝන් ඇප් එක මගින් තෝරාගෙන ගෙවීම කලයුතුය. ගෙවීම් කිරීමද ස්මාර්ෆෝනය හරහා සිදුකල හැකිය.

ගමන ඇනවුම් කල විට කුට්සුප්ලස් සේවයේ පරිගණක ජාලය මගින් මගියා ආසන්නයේම ඇති බස් රථයක් එම මගියා දැනට සිටින ස්ථානයට ආසන්නම බස් නැවතුම වෙත යොමු කරන අතර ඒ මොහොතේම ස්මාර්ට්ෆෝනය වෙත එවන confirmation code එකක් මගින් බස් රථය නැවතුම වෙත එන වෙලාව දැනුම් දේ. එමෙන්ම මගියා දැනට සිටින ස්ථානයේ සිට බස් නැවතුම වෙත යන මාර්ගයද සිතියමක ආධාරයෙන් පෙන්වනු ලැබේ.

බස් රථයට ගොඩවන මගියා සිය ස්මාර්ට්ෆෝනයට ලැබුණු එක රියදුරාට පෙන්වා තමන් ගමන ඇණවුම් කල මගියා බවට තහවුරු කලයුතුය.

බස් රථය නැවතුම වෙත පැමිණීමට පෙර එතැනට පැමිණ සිටීම මගියාගේ යුතුකම වන අතර ටැක්සි සේවයක් නොවන බැවින් බස් රථය ප්‍රමාද වන මගියෙකු එනතෙක් බලා නොසිටී. එමපණක් නොව ගමන ඇණවුම් කිරීමෙන් පසුව එය අවලංගු කල නොහැකි අතර ලබාගත් ගාස්තුව ආපසු ගෙවීමක්ද සිදු නොකෙරේ.

කුට්සුප්ලස් සේවාවේ මෙහෙයුම් අධ්‍යක්ශක කාරී රීසනෙන් පවසන අන්දමට මෙම සේවාව ටැක්සි සේවාවට තරඟයක් දීමට නිර්මාණය කරන ලද්දක් නොව, පෞද්ගලික මෝටර් රථවලට ඇබ්බැහිවූවන් හට පොදු ප්‍රවාහණ සේවාවන් වෙත නැඹුරුවීම සඳහා පහසු කරවන සේවාවක් ලෙස ක්‍රියාත්මක වනවා. කුට්සුප්ලස් බස් රථ තුල නොමිලේ වයිෆයි අන්තර්ජාල සේවා ලබාදෙන අතර මගීන් හට ඉතා සුවපහසුව, යම් පලදායි කටයුත්තක නියැලෙමින් සිය ගමනාන්තය කරා ලඟාවිය හැකි බව පවසනවා.

 එමෙන්ම මගීන් හට සැළසෙන තවත් වාසියක් වන්නේ තම මෝටර් රථය ගාල්කොට තැබීමේ ගාස්තු ගෙවීමට සිදු නොවීමයි. හෙල්සින්කි නුවර මෝටර් රථක් පොදු රථගාලක නවත්වා තැබීමට පැයකට ඩොලර් 5ක් වැනි අධික මුදලක් අයකරනවා. කුට්සුප්ලස් රථ ගමනක අවම ගාස්තුව ඩොලර් 4.75ක් වන අතර අමතර කිලෝමීටරයකට ශත 60 (අමෙරිකානු) ගෙවිය යුතු වනවා. මේ අනුව parking ගාස්තුවට වඩා අඩු මුදලකින් පහසුවෙන් ගමන් යාමේ හැකියාව හෙල්සින්කි වැසියන්ට ලැබී තිබෙනවා.

Comments