කාසල්රී ජලාශයේ නිසල ජල තලය මත, සීතල මීදුම ඝන බ්ලැන්කට්ටුවක් සේ එතී තිබුණි. ඉවුරු දිගේ නැගී සිටි උස යුකැලිප්ටස් සහ පයින් ගස් සුළඟට සෙලවෙන සරසර ශබ්දය පවා ඝණ මීදුමෙන් යටපත් වී ගියාක් මෙන් දැඩි නිසළ බවකි.
ඈත ඈත මන්දාකිණියක අධි-තාක්ෂණික ශිෂ්ඨාචාරයක් නිමැවූ තරු පද්ධති අතරින් දිවෙන අධි-අවකාශ මාර්ගවලින් ආලෝක වර්ෂ ගණනාවකින් දුරස් වූ නිහැඬියාව බිඳ දැමුවේ තෙත්බර වාතය පුරා කම්පනය වෙමින් පැතිරුණු අස්වාභාවික, රිද්මයානුකූල ඝෝෂාවකිනි.
ජලය මත, මතුපිටටම ඇණ ගසා ඇති සේ සිටගෙන, මාරාන්තික සටනක පැටලුණු මානවයින් දෙදෙනෙකුගේ ද්වන්ධ සටන කිසිවෙකුගේ ඇස ගැටුනේ නැත.
වම් පස සිටියේ ජෙඩායි නයිට්වරයෙකි. තෙතමනයෙන් බර වූ ඔහුගේ ඉරියව්ව ස්ථාවර විය, සමබර විය. සටන් ශිල්පයේ කෙළපැණි ඔහු, ප්‍රතිවාදියාගේ සෑම ඉරියවක්කම අධ්‍යයනය කරමින්, සටනට බටව සිටියා.
ඔහුගේ දෑතේ දීප්තිමත් නිල් ප්ලාස්මා කඩුවක් අළු පැහැ මීදුම කපාගෙන දිව ගියේය. කඩුවෙන් නැගුණු සීතල, විද්‍යුත් ආලෝකය මීදුම මත වැටී, අඳුරු ජලයේ තියුණු ලෙස පරාවර්තනය විය.
ඔහුට මුහුණලා සිටියේ සිත් රණශූරයෙකි. ඉරී ගිය තද රතු සහ කළු පැහැ සන්නාහයකින් වැසුණු ඔහුගේ තද රතු ලයිට්සේබරය ජෙඩායිවරයාගේ නිල් කඩුව හා ගැටුණේ අඩ අඳුරු මීදුම මත ක්ෂණික කුරුසයක් මවමිනි. ප්ලස්මා තල දෙක ගැටුණු තැනින්, දීප්තිමත් සුදු පැහැ ගිණි පුළුඟක් පැන පුපුරා ගියේය. ඒ ස්පර්ශයත් සමග වාෂ්ප වූ ජල බිඳිති, සීතල කඳුකර වාතයට හිස් හඬ නගමින් වාෂ්ප දුම් රොටු ලෙස නැගුණි.
සෑම පහරක්ම ජල තලය මත කේන්ද්‍රීය රැළි යවමින්, ජලයේ දිස්වූ ඔවුන්ගේ කැඩපත් ප්‍රතිබිම්බ විකෘති කළේය. ශ්‍රී ලංකාවේ ඝන මීදුම් කඳුකරයෙන් වට වූ, රණශූරයන් දෙදෙනා තම කඩු එකිනෙකට තද කරගෙන සිටියහ.
දෙදෙනාම දක්ෂයින්ය. දෙදෙනාගේම අරමුණ අනෙකා මරා දැමීමයි.
ඈත චක්‍රවාටයක ඇරඹුණු ඔවුන්ගේ සටන දැන් ලක් පොලොවමත මත අවසන් වනු ඇත්තේ එකෙකුගේ ප්ලස්මා තලය අනෙකාගේ ලය පසාරුකරගෙන යාමෙනි.

Comments
Post a Comment