යුධ බිමේදී තුවාල ලබන සෙබළුන්ගේ දිවි රැකදෙන ෆෝම් ඉන්ජෙක්ශන් බැන්ඩේජය...

එක්සත් ජනපද යුධ හමුදා ශල්‍යවෛද්‍ය පර්යේෂණ ඒකකයට අනුව යුධ මෙහෙයුම් වලදී තුවාල ලබන සෙබළුන් මියයාමට තුඩු දෙන ප්‍රධාන හේතුව නම් අධික ලෙස රුධිරය වහනය වීමයි. මෙවැනි මරණීය තුවාල බොහෝවිට උදර කුහරය වැනි යුධ පෙරමුණේ සිටිනා ප්‍රථමාධාරකරුවනට (battlefield medics) ලේ ගැනීම නැවත්වීමට කිසිවක් කල නොහැකි ස්ථානයකට සිදුවී ඇති අතර එවැනි තුවාල කරුවන් පැයක් තුල ශල්‍ය පහසුකම් ඇති රෝහලක් හෝ ශල්‍ය පහසුකම් ඇති පෙරමුණු ගිලන්හලක් (field hospital) වෙත ගෙනයා යුතුවනවා.

මෙවැනි දරුණු තුවාලකරුවන් මිනිත්තු 60ක් තුල ශල්‍යකර්මවලට භාජනය කල යුතු අතර මෙම පැයක කාලය තුවාල ලැබූ සෙබලාගේ ජීවිතය රැකගැනීමට කොතරම් වැදගත්ද යත් එම පැය "ගෝල්ඩන් අවර්" ලෙස හඳුන්වනවා. එහෙත් ඈත යුධබිම්වල දරුණු සටන් මැද්දේ තුවාල කරුවන් යුධ බිමෙන් ඉවත් කරගැනීම ඉතා මන්දගාමීව සිදුවන්නේ ප්‍රායෝගික ගැටලු නිසාමය. එහෙත් මේ හේතුව නිසා නිරපරාදේ වටිනා ජීවත රැසක් අධික ලේ වහනය නිසාවෙන් අහිමිවනවා.

මේ ගැටලුවට පිලියමක් ලෙස යුධ බිමේදී උදර කුහරය වැනි අභ්‍යන්තර ස්ථානය සිදුවන දරුණු ලේ ගැලීම් පාළනය කොට ශල්‍ය පහසුකම් ඇති රෝහලක් වෙත ගෙනයන තෙක් සෙබලාගේ දිවි රැකගැනීම සඳහා අධිතාක්ශණික විසඳුමක් සෙවීමේ ව්‍යාපෘතියක් අමෙරිකානු ත්‍රිවිධ හමුදා වෙනුවෙන් තාක්ශණයන් නිර්මාණය කිරීම සඳහා බිහිකරන ලද Defense Advanced Research Projects Agency හෙවත් DARPA ආයතනය විසින් අරඹනු ලැබුවා.

Wound Stasis System (WSS) නම්  මෙම ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස උදර කුහරය තුල ලේ ගැලීම් පාළනය කිරීම සඳහා උදර කුහරය තුලට ද්‍රවයක් ලෙස එන්නත් කල හැකි, එසේ එන්නත් කල වහාම රිජිෆෝම් මෙන් ඝණ වෙමින් හා පරිමාවෙන් විශාල වෙමින් උදර කුහරය තුල පැතිරී තුවාලවලට තෙරපුම ලබාදෙමින් ලේ ගැලීම අවම කරන ද්‍රව-ෆෝම් වර්ගයක් නිමවා තිබෙනවා.


පොලිමර් ෆෝම් වර්ගයක් වන මෙය රසායන ද්‍රව්‍ය දෙකක් එකට එකතුවීමෙන් සෑදෙන ලෙස නිශ්පාදනය කොට තිබෙනවා. මෙම රසායන ද්‍රව්‍ය දෙකම එකට උදරකුහරය තුලට ඇතුලු කල විට මුල් පරිමාව මෙන් 30ගුණයකින් විශාලවෙමින් මෘදු ෆෝම් වරගයක් ලෙස පැතිරෙන අතර මිනිත්තු කිහිපයකදී උදරකුහරය පුරා පැතිරී එයතුල ඇති ඉන්ද්‍රියයන් වසාගන්නා අතර ඉක්මණින් ඝණවී තුවාලයට පීඩනය දෙනවා. මෙම පොලිමර් ෆෝම් වර්ගයේ විශේෂත්වය නම් එය කිසිදු ආකාරයකින් අභ්‍යන්තර අවයව වෙත ඇලී නොපැවතී රෝගියා ශල්‍යාගාරයකට ගෙනැවිත් මිනිත්තු 10කින් පමණ පහසුවෙන් ඉවත් කරගත හැකිවීමයි.

තවමත් මිනිසුන් යොදාගෙන මෙම ෆෝම් ද්‍රව්‍යය අත්හදා බලා නොමැති නමුත් විවිධ අණතුරු අභ්‍යන්තර තුවාල ඇතිවූ සතුන් යොදාගෙන කරන ලද පර්යේශණ වලදී මෙම පොලිමර් ෆෝම් ද්‍රවය මගින් අභ්‍යන්තර ලේගැලීම 6 ගුණයකින් අවම කරන්නටත්, ප්‍රතිකාර පැය 3 දක්වා පමාවුනු අභ්‍යන්තර ලේගැලීම් වලදී ජීවිතය රැකගත හැකිවීමේ සම්භාවිතාවය 8% සිට 72% දක්වා සුවිශාල ලෙස ඉහල දැමීමටද සමත්වී තිබෙනවා. ලබන වසරේදී මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂණ කිරීමට සැළසුම් කොට තිබෙන බව ඩාර්පා ආයතනය පවසනවා.

Comments