ඇමරිකන් GPS වෙනුවට ඉන්දියාවෙන් IRNSS

 

ඉන්දියාව විසින් GPS පද්ධතියට විකල්පයක් ලෙස IRNSS (Indian Regional Navigation Satellite System) නම් වූ දේශීයව නිෂ්පාදනය කළ නව ස්ථානීය පිහිටුම් සොයා ගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කර තිබේ. චන්ද්‍රිකා 7ක් සහ භූමියේ පිහිටි මධ්‍යස්ථාන දෙකකින් සමන්විත වන නව පද්ධතියෙන් ඉන්දියාව ආශ්‍රිත කලාපය සම්පූර්ණයෙන්ම ආවරණය කළ හැකි බව ඉන්දියානු අභ්‍යවකාශ ආයතනය ප්‍රකාශ කර තිබේ.
සේවාව සිවිල් ජනතාව සඳහා සාමාන්‍ය සේවාවක්ද, යුධමය භාවිතයන් සඳහා රහස්‍යමය "මිලිටරි සේවාවක්ද" සපයනු ඇත. බැංගලෝරයේ පිහිටි ඉන්දියානු අභ්‍යවකාශ ආයතනයේ ISRO Deep Space Network මධ්‍යස්ථානයේ මෙම චන්ද්‍රිකා පද්ධතියේ මෙහෙයුම් කේන්ද්‍රය ස්ථාපනය කොට තිබේ. ඉන්දියානු අර්ධද්වීපය පුරා පැතිරුණු පාලන මධ්‍යස්ථාන 21ක් මගින් මෙම චන්ද්‍රිකාවල කක්ශයන් ගණනය කරමින් ඒවා එම කක්ශයන්වල රඳවාගැනීම සඳහා අවශ්‍ය ගණනය නිරීක්ශණය හා ගණනය කිරීම් (tracking and orbit calculation) සිදුකරයි.

මෙම සේවාව මගින් ඉන්දියානු භූමි ප්‍රදේශය තුල මීටර් 10කට අඩු නිරවද්‍යතාවයකින් (absolute position accuracy of better than 10 meters) යුතුව ස්ථානගත කිරීම් සිදුකල හැකි අතර, ඉන්දියානු අර්ධද්වීපය අවට කිලෝමීටර් 1500 කලාපය තුල මීටර් 20ක නිරවද්‍යතාවයකින් යුතුවද ස්ථානගත කිරීම් සිදුකල හැක.

මෙම සේවාව ගොඩ නැගීම සඳහා අවශ්‍ය චන්ද්‍රිකා, පාලන මධ්‍යස්ථාන, අධිතාක්ශණික උපකරණ යනාදී සියල්ලම මෙන්ම චන්ද්‍රිකා උඩුගුවනට යවන රොකට්ටුද පූර්ණ වශයෙන් ඉන්දියාවේ නිර්මාණය කොට නිශ්පාදනය කිරීමට තීරණය කොට ඇත.

 මේ වන විට පද්ධතියට අවශ්‍ය චන්ද්‍රිකා 7න් 3ක් කක්ෂගත කර ඇති අතර 2015 වන විට ඉතිරි සියළු යටිතල පහසුකම්ද සම්පූර්ණ කිරීමෙන් පසුව IRNSS පද්ධතිය පූර්ණ ක්‍රියාකාරිත්වයට පත් වේ. ඇමරිකාව හමුදා විසින් පාලනය කරනු ලබන GPS පද්ධතියේ තොරතුරු හා නිරවද්‍යතාවය ඇමරිකාවට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම නිසා ඉන්දියාව මෙන්ම රුසියාව චීනය හා යුරෝපා සංගමයද GPSපද්ධතියට විකල්ප වෙනත් පද්ධති කිහිපයක් ස්ථාපිත කර ඇත.

Comments