ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු සැලැස්මක්...


ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු සැලැස්මක්...

F-15 Eagle ප්‍රහාරක ජෙට් යානා ආධාරයෙන් කුඩා චන්ද්‍රිකා උඩුගුවන යැවීමේ අමෙරිකානු සැලැස්මක් පිලිබඳ තොරතුරු අමෙරිකානු යුධ තාක්ශණ සංවර්ධන ආයතනය වන ඩාර්පා (Defense Advanced Research Projects Agency - DARPA) ආයතනය මගින් හෙලිදරව්කොට ඇත. Airborne Launch Assist Space Access (ALASA) යන නාමයෙන් හඳුන්වන මෙම වැඩසටහන මගින් ඉතා ඉක්මණින්, අඩු මිලකට කුඩා චන්ද්‍රිකා උගඩුවන යැවීමේ අත්හදාබැලීම් මේවන විටත් ආරම්භවී තිබේ. රොකට්ටු ආධාරයෙන් චන්ද්‍රිකා උඩුගුවන යැවීමේදී කිලෝග්‍රෑමයක බරක් කක්ශගත කිරීමට ඩොලර් 66,000ක (රුපියල් 8,700,000) පමණ බරපැනක් දැරිය යුතුවේ.

F-15 යානයකට ගුවන්ගතවූ පසු සිරස් අතට ඉහල නැගීමේ සුවිශේෂ හැකියාවක් ඇති අතර චන්ද්‍රිකා ගුවන්ගත කිරීම සඳහා මෙය ප්‍රයෝජනයට ගැනීමට පර්යේෂකයින් බලාපොරොත්තුවේ.සියලු අවිආයුධ ඉවත්කල F-15 යානයක බඳහි චන්ද්‍රිකාව සහිත තවත් කුඩා රොකට්ටුවක් අන්තර්ගත කරනලද පද්ධතියක් මේ සඳහා නිර්මාණය කොට ඇත. මේ අනුව F-15 ජෙට් යානය, චන්ද්‍රිකා ගුවන්ගත කරන රොකට්ටුවක පලමුවන අදියර ලෙස ක්‍රියාත්මක වේ. කිලෝමීටර් කිහිපයක් ඉහල අහසට පියාසර කරන යානය චන්ද්‍රිකාව සහිත කුඩා රොකට්ටුව දියත්කොට නැවත ගොඩ බසිනු ලැබේ.

2016 මුල් කාර්තුවේදී මෙහි ප්‍රථම චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ අත්හදා බැලීම සිදුකිරීම සැලසුම් කොට ඇත. ව්‍යාපෘතියේ අවසාන ඉලක්කය වන්නේ කිලෝග්‍රෑම් 45ක් පමණ බරැති කුඩා චන්ද්‍රිකාවක්, පැය 24ක දැනුම්දීමකින්, ඩොලර් මිලියනයකට අඩු පිරිවැයකින් අභ්‍යවකාශ ගත කිරීමයි.

දැනට මෙවැනි කුඩා චන්ද්‍රිකා ගුවන්ගත කරන්නේ, විශාල චන්ද්‍රිකා ගුවන්ගත කරන රොකට්ටුතුව අන්තර්ගත කිරීමෙනි. මෙහිදී චන්ද්‍රිකාව අවශ්‍ය වේලාවට ගුවන්ගත කරීම අපහසු වන්නේ ඉඳහිට සිදුකරන විශාල චන්ද්‍රිකාවක් ගුවන්ගත කිරීමේ අවස්ථාවක් එළඹෙන තෙක් බලාසිටීමට සිදුවන බැවිනි. එමෙන්ම එවැනි අවස්ථාවක් උදාකරගැනීම සඳහා වසර කිහිපයක සැලසුම් සකස් කිරීමට සිදුවේ. ඉතා ඉක්මණින් කුඩා චන්ද්‍රිකාවක් ගුවන්ගත කරගැනීමේ අවස්ථා දැන් ඇති රොකට් තාක්ශණය අනුව ඉතා විරලය.



Comments