James Webb Space Telescope: හිරු ආවරණය දිගහරිමින් සිටින ජේම්ස් වෙබ්

 


ඉහත ඡායාරූපයේ පෙනෙන්නේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයේ සංවේදී පරිගණක හා සෙන්සර් දැඩි හිරු රෂ්මියෙන් ආරක්ෂාකරන සූර්ය ආවරණයයි (Sun Shield). ජේම්ස් වෙබ් දුරේක්ෂයට ආලෝක වර්ෂ මිලියන ගණනක් ඈතින් ඇති තාරකා හා චක්‍රවාටවල ඉතා දුබල ආලෝකයේ ෆෝටෝන ග්‍රහණය කරගැනීමට එහි සෙන්සර් හා පරිගණක පද්ධති, නයිට්‍රජන් පවා මිදෙන -223°C තරම් දැඩි ශීතලකින් තිබිය යුතුයි. දුරේක්ෂය පොලොවේ සිට කිලෝමීටර් මිලියන 1.5 ඈත අභ්‍යවකාශයේ කක්ෂගතව තිබෙන නිසා මෙම ශීතල එම පරිසරයේ තිබුණත්, හිරු කිරණ වැදීමෙන්, එම උපකරණ ක්‍රම ක්‍රමයෙන් රත්වී, සෙන්ටිග්‍රේඩ් 110ක් එනම් නටන වතුරේ උෂ්ණත්වයට ලඟාවෙන බව ගණන් බලා තිබෙනවා. 

ඒ අනුව එම පද්ධති -223°C තබාගැනීම සඳහා හිරු කිරණ පරාවර්තනය කර්න්නට මෙම සූර්ය ආවර්ණය තනා තිබෙනවා. මිලිමීටර් කිහිපයක් ඝණකම (ඉතා සැහැල්ලු විය යුතු නිසා) කැප්ටන් නම් පොලිමයිඩ පටල වලින් මෙම සූර්ය ආවරණය නිපදවා ඇති අතර පටල තට්ටු පහක් තිබෙනවා. ඉතාමත් කාර්යක්ෂම ලෙස සූර්යාලෝකය පරාවර්තනය කරන නිසා මෙම සූර්ය ආවරණය මගින් සැම විටම දුරේක්ෂයේ උපකරණ හිරු එලියෙන් මුවා කරන අතර ඒ නිසාම බලාපොරොත්තුවන ශීතල රඳවා ගන්න පුලුවන් වෙනවා.

රොකට් ගමනේදී මෙම පටල සහිත සූර්ය ආවරණය සියුම්ව හකුලා තිබෙන අතර, මේ වනවිට කක්ෂය වෙත යමින් සිටින ජේම්ස් වෙබ් දුරේක්ෂය ඉතා සෙමින් මෙම සූර්ය ආවරණය දිගහරිමින් සිටිනවා.

විද්‍යාඥයන්ගේ ලොකුම බිය වන්නේ, යම් ආකාරයක පැටලීමක් නිසා, සූර්ය ආවරණය නිසිලෙස දිග නොහැරී තිබේවි යන්නයි.

Comments