විශ්‍රාම යන හබල් අභ්‍යවකාශ දුරේක්ශය වෙනුවට තැනෙන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ ග්‍රැෆික් චිත්‍රයක් : අනුග්‍රහය විකිමීඩියා


නුදුරේදීම විශ්‍රාම යැවීමට නියමිත හබල් අභ්‍යවකාශ දුරේක්ශයේ අඩුව මැකීම සඳහා අමෙරිකාවේ නාසා ආයතනයත්, යුරෝපා සංගමයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියත්, කැනේඩියානු අභ්‍යවකාශ ආයතනයත් ඒකාබද්ධ වී අමෙරිකාවේදී නිර්මාණය වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශය 2014දී යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට අයත් අරියාන් 5 රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතයි. පෘථිවියට කිලෝ මීටර් 1,500,000ක් දුරින් සූර්‍යයා වටා කක්ශගත කෙරෙන ජේම්ස් වෙබ් දුරේක්ශය මෙට්‍රික් ටොන් 6ක් බරකින් යුක්ත වනවා.

රූපයේ පෙනෙන පරිදි ශ්‍රඩශ්‍රාකාර අතිශය සුමට දර්පණ 18කින් සංයුක්තවන ජේම්ස් වෙබ් දුරේක්ශයේ පරාවර්තකය හබල් දුරේක්ශයේ පරාවර්තකයට වඩා 7 ගුණයකින් විශාල වනවා. දර්පණ පරාවර්තකය විශාලවන තරමටම දුරේක්ශකයක බලයද වැඩිවන නිසා හබ්ල් දුරේක්ශයට වඩා සත් ගුණයක් ඈත අභ්‍යවකාශය වෙත එබී බැලීමට වෙබ් දුරේක්ශයෙන් ලැබෙන දර්ශණ මගින් හැකිවේයයි විද්‍යාඥයින් බලා පොරොත්තු වෙනවා.

හබල් දුරේක්ශයේ පරාවර්තකයත් වෙබ් අභ්‍යවකාශ දුරේක්ශයේ පරාවර්තකයත් සංසන්දනය කලවිට : අනුග්‍රහය විකිමීඩියා
රූපයේ පෙනෙන දර්පණ හෙවත් දුරේක්ශකයේ ප්‍රධාන පරාවර්තකය ඈත අභ්‍යවකාශයෙන් එන දුබල ආලෝකය නාභියකට පරාවර්තනය කරනවා. මෙම නාභිගතවන ස්ථානයේ ඇති දෙවන පරාවර්තකය මගින් එම නාභිගත ආලෝකය දුරේක්ශය තුල ඇති ආලෝක සංවේදක වෙත නැවත පරාවර්තනය වෙනවා. ඩිජිටල් කැමරාවක ඇති ආලෝක සංවේදක වලට සමාන (එහෙත් ඊට වඩා දස දහස්ගුණයක් සංවේදී හා බලසම්පන්න ) මේ ආලෝක සංවේදක මගින් නාභිගත වුනු ආලෝකය ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවා පෘථිවියේ විද්‍යාඥයින් වෙත එවනවා.

නාසා විද්‍යාගාරයක නිමැවෙන ජේම්ස් වෙබ් දුරේක්ශයේ ප්‍රධාන පරාවර්තකය
මෙම දර්පණ නිමැවෙන්නේ ඉතා දුර්ලභ ලෝහයක් වන බෙරිලියම් වලින්. බෙරිලියම් භාවිතා කිරීමට හේතුව එය සැහැල්ලු මෙන්ම ඉතා ශක්තිමත් ලෝහයක් බැවිනි. බෙරිලියම් වලින් තැනූ දර්පණ කොටස ඉතා හොඳින් අමැද ඉතා මටසිලුටු පෘශ්ඨයක් බවට පත්වූ පසු එය මතට තුනී රත්‍රන් ආලේපනයක් යොදනවා. රත්‍රන් ආලේපනය මගින් අධෝරක්ත කිරණ පරාවර්තනය කාර්යක්ශම කරන අතර ඒ අනුව ආලෝක වර්ශ බිලියන ගණනක් ඈතින් ඇති තාරකා වලින් එන ඉතා දුබල අධෝරක්ත ආලෝකය නාභිගත කරගන්නට පුලුවන් බවට වෙබ් දුරේක්ශ‍ය නිර්මාණය කල විද්‍යාඥයින් පවසනවා.

රත්‍රන් ආලේපනය ගැල්වූ පරාවර්තක
රත්‍රන් ආලේපය ගල්වා සැකසූ දර්පණ කොටර් ෆැරන්හයිට් -370ක (-223°C) ඉතා අවම උශ්ණත්වයකට සිසිල් කොට එහි ආලෝකය පරාවර්තනය කිරීමේ නිවැරදිභාවරය පරීක්ශා කොට බලන්නේ අභ්‍යවකාශයේදී ෆැරන්හයිට් -370ක් වැනි අධික ශීතල පරිසරයක දුරේක්ශය නිවැරදිව ක්‍රියාත්මක විය යුතු නිසයි.

"පැරාසොල්" ලෙස නම් කොට ඇති වෙබ් දුරේක්ශයේ සූර්ය ආවරණය නාසා ආයතනය තුල නිමැවෙමින් තිබෙන අයුරු.  (පැරාසොල් යනු "කුඩය" හෝ සූර්ය ආවරණය යන තේරුම දෙන වචනයකි )

ජේම්ස් වෙබ් දුරේක්ශයේ සැබෑ ප්‍රමාණයේ අනුරුවක් හා එම ව්‍යාපෘතියේ නියැලී සිටින නාසා ඉංජිනේරුවන් හා විද්‍යාඥයින්.

Comments

  1. සුපුරුදු පරිදි තවත් වැදගත් ලිපියක්... අපි ඔහේ හතර වටේට බැන බැන කාලෙ කකා ඉන්න අතරේ මිනිස්සු කොච්චර වැදගත් දේවල් කරනවද..

    ReplyDelete
  2. වැදගත් ලිපියක්

    ReplyDelete

Post a Comment