ඉරානයේ සයිබර් හැකර්ලා CIA ඩ්‍රෝන යානාවක් ගොඩබස්වාගත් කතාව ඇත්තක්ද? [ Did Iran cyberjack a CIA stealth drone?]

ඉරාන රූපවාහිනී චැනලයක් විකාශය කල සයිබර් මෙහෙයුමකින් අල්ලාගත්තා යයි කියන RQ-170 සෙන්ටිනල් යානයේ ඡායාරූප
සී.අයි.ඒ ඔත්තු සේවයේ RQ-170 සෙන්ටිනල් යානාව පිලිබඳ තොරතුරු මුලින්ම හෙලිවන්නේ 2009දී ඇෆ්ඝනිස්ථානයේ කන්දහාර් ගුවන් කඳවුරකින් ලැබුණු ඡායාරූප කිහිපයකින්. අමුතුම ආකාරයේ, මෙතෙක් නොදැන සිටි මාදිලියක ඩ්‍රෝන යානාවක් ගුවන් ගතවෙන ආකාරයත්, ගොඩ බස්වන ආකාරයත් මෙම ඡායාරූප වල සටහන්වී තිබුණා. අන්තර්ජාලයේ හුවමාරු වුනු මෙම අමුතු ඩ්‍රෝන යානාව ඡායාරූපවල දිස්වෙන ස්වභාවය අනුව, යුධ විශ්ලේෂකයින් විසින් එය "Beast of Kandahar" හෙවත් කන්දහාර්හි අමුතු සත්වයා ලෙස හැඳින්වූයේ ඒ පිලිබඳ කිසිම තොරතුරක් අමෙරිකානු ආරක්ශක අංශ මගින් නොලැබුණු නිසයි.
RQ-170 යානය ගැන ලොවට මුලින්ම තොරතුරු හෙලිකල සුප්‍රකට "Beast of Kandahar" ඡායාරූප පෙලින් එකකි මේ.
වැඩිකලක් යන්නට මත්තෙන් මෙම අත්භූත යානා සී.අයි.ඒ සංවිධානය සතු නවීනතම ස්ටෙල්ත් ඩ්‍රෝන යානයක් බවත් එය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරානයේ ඔත්තුසෙවීමේ කටයුතු සඳහා කන්දහාර්හි අමෙරිකානු ගුවන් කඳවුරකින් ගුවන් ගතවන බවත් බටහිර ප්‍රවෘත්ති ආයතන මගින් හෙලිකර ගත්තා.

2011 දෙසැම්බර් 4

ඉරාන රජය අමෙරිකානු RQ-170 ඩ්‍රෝන යානාවක් සයිබර් හැකර් මෙහෙයුමකින් නොමග යවා ඉරානයේ ඊසානදිග ඉරානයේ කශ්මාර් ප්‍රදේශයට ගොඩබස්වාගත් බව ප්‍රකාශකලා. එම යානයේ යයි සැලකිය හැකි ඡායාරූප ඉරාන මාධ්‍යවලින් දින කිහිපයකට පසු විකාශය කලා. අමෙරිකාව කියා සිටියේ මෙම ඩ්‍රෝන යානාව කාර්මික දෝශයක් නිසා කඩාවැටුනු එකක් බවයි.

දෙසැම්බර් 12 වැනිදා අමෙරිකාව නිළවශයෙන් එම ඩ්‍රෝනයානාවේ කොටස් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීමක් කලා. මෙම ඉල්ලීම අවඥාවෙන් ඉවත දැමූ ඉරානය කියා සිටියේ, මෙම යානය තම රටතුල නීති විරෝධීව ඔත්තු බැලූ බව අමෙරිකානුවන් හට අමතක වී ඇති බවයි.

2011 දෙසැම්බර් 15

අමෙරිකාවේ ප්‍රකට වෙබ් සඟරාවක් වුනු "Christian Science Monitor" සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවුනු, ආරක්ශක හේතුන් මත නම සඳන් කිරීම හෝ ඡායාරූප ගැනීම ප්‍රතික්ශේප කල, යානය ගොඩබස්වාගැනීමේ මෙහෙයුමේ ඉරාන ඉන්ජිනේරුවෙකු ලෙස කටයුතු කලා යැයි පැවසූ පුද්ගලයෙකු, ඩ්‍රෝන යානාව ගොඩබස්වාගත් සයිබර් මෙහෙයුම විස්තර කලා, ඔහු පැවසූ විස්තරය අනුව ඉරානයේ සයිබර් යුධ විශේෂඥයින්, "කන්දහාර් සත්වයා" රවටාගෙන ඉරානයට ගොඩබස්වා ගත්තේ මෙසේයි...........

පියවර 1] ඩ්‍රෝන යානාව ඉරාන අහසේ ඇති බව හඳුනාගත් පසු රැකසිට පහර දීමේ ඉලෙක්ට්‍රොනික මෙහෙයුමක් (electronic ambush) මගින් යානාව හා එහි මෙහෙයුම් කරුවන් අතර ඇති රේඩියෝ සබඳතා බිඳ දැමීම. එවිට යානය, එහි සි.අයි.ඒ මෙහෙයුම් කරුවන්ගේ පාලනයෙන් මිදී යනවා. මෙසේ දුරස්ථව යානය මෙහෙයවන පාලකයින්ගේ පාලන සංඥා නොලැබී ගිය වහාම, ඩ්‍රෝන යානාවේ පරිගණකය එය ස්වයංක්‍රීය නියමු පාලනයට (auto pilot) නතු කරගන්නවා.
ඉරාන ඉන්ජිනේරුවා පවසන අන්දමට, RQ-170 ඩ්‍රෝන යානයේ ස්වයංක්‍රීය නියමු වැඩසටහන යානය නැවතත් එය ගුවන් ගත කල ගුවන්තොටුපොලට යාමට මග සොයාගන්නේ Military GPS නැමති බටහිර යුධහමුදා හා ඔත්තුසේවා වලට පමණක් ලබාගත හැකි විශේෂ GPS චන්ද්‍රිකා පද්ධතියකින්. මෙය සාමාන්‍ය මහජනතාවගේ භාවිතයට ඇති Civillian GPS සේවාවට වඩා ඉතා නිවැරදිව ස්ථනගතකිරීමේ හැකියාවක් ඇති සේවාවක්.
පියවර 2] මීලඟට ඉරානයේ සයිබර් විශේෂඥයින් මිලිටරි සේවාවෙන් යානයේ ඇන්ටෙනා වෙත ලැබෙන සංකූලගතකරන ලද (encrypted) Military GPS සංඥාව අවුල් කොට දමනවා. එසේ මිලිටරි සංඥාව අවුල්කොට දමන්නේ යානයේ ස්වයංක්‍රීය නියමු වැඩසටහන සිවිලියන් සේවාව භාවිතා කොට මග සොයා ගැනීමට උත්සහ කිරීමට පෙළඹවීමටයි.

පියවර 3] මිලිටරි සංඥාවද අවුල්සහගත වීමෙන් අසරණවන යානාවේ ස්වයංක්‍රීය නියමු වැඩසටහන මග සොයාගෙන යාමේ අවසාන උත්සහය ලෙස සිවිලියන් GPS සේවාවේ සංඥා ලබාගැනීමට පෙළඹෙනවා.

පියවර 4] සිවිලියන් GPS සේවාව සංකූලගත නොකරනලද සේවාවක් වන අතර, ඉරාන සයිබර් විශේෂඥයින් යානාවේ පරිගණකවලට වැරදි GPS ඛන්ඩාංක ලබාදීමේ spoofing attack මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා. මෙම මෙහෙයුම මගින් යානයේ ස්වයංක්‍රීය නියමුවාට යානය ඇෆ්ඝනිස්ථානයේ කන්දහාර් ගුවන් ගුවන් කඳවුර අසලට පැමිණි බවට ඇඟවෙන ඛන්ඩාංක ලබාදුන් බව පැවසෙනවා.

ඒ අනුව ඔවුන් යානයේ ස්වයංක්‍රීය නියමු වැඩසටහන රවටා ඉරානයේ ගුවන් පථයකට ගොඩබස්වාගත් බව පවසනවා.

ක්‍රිස්ටියන් සයන්ස් මොනිටර් හි පලවුනු, ඉරාන ඉන්ජිනේරුවාගේ විස්තරයට බටහිර යුධ විශ්ෂඥයින් විවිධ අදහස් හා ප්‍රතිචාර දක්වා තිබෙනවා. මෙම අදහස් වල සම්පිණ්ඩනයක් පහත දැක්වෙනවා

(සැ.යු : මෙම යුධ විශේෂඥයින් හා විශ්ලේෂකයින් බටහිර ජාතිකයින් වුවද ඔවුන් සියලු දෙනා ඇමරිකන් ජාතිකයින් හෝ ඇමරිකන් හිතවාදින් මෙන්ම ඉරාන විරෝධීන්ද නොවන බව සැළකිය යුතුයි. ඔවුන් මෙම අදහස් පලකරන්නේ, ඔවුනට ලැබී ඇති තොරතුරු හා අමෙරිකානු යුධ තාක්ශණය පිලිබඳව ඔවුන් තුල ඇති දැනුම පදනම් කරගෙනයි.)

1වැනි අදහස] සිවිලියන් GPS නොමග යැවීමේ spoofing attack සිදුකිරීම ඉතා පහසුය. ඒ සඳහා අවශ්‍ය තාක්ශණය හා දැනුම ඉතා පහසුවෙන් සොයාගත හැකිය. ඒ අනුව ඉරාන ඉන්ජිනේරුවා සිදුකරන මෙම spoofing attack on civillian GPS ප්‍රකාශය නිවැරදිය. එය සිදුකල හැකි දෙයකි.

2වැනි අදහස] ඉරාන ජාතිකයින් මෙම යානය ඉරාන අහසේ ඇති බව හඳුනාගත්තේ කෙසේද? එය පහසුවෙන් සිදුකල නොහැකි බව යුධ විශේෂඥයින් බහුතරයකගේ අදහසයි. ඔවුන් එසේ පවසන්නේ මේ කරුණු පදනම් කරගෙනයි.
a) මෙම යානය අඩි 40,000ක් (මීටර් 12,000 - කිලෝමීටර් 12ක්) ඉහලින් පියාසර කරන ඉතා කුඩා යානාවකි. එය පියවි ඇසින් දැකීම කිසිසේත් සිදුකල නොහැක.

b) මෙම යානාව ඉතා පැහැදිලිවම ස්ටෙල්ත් තාක්ශණයෙන් නිමැවුනු, රේඩාර් වලින් සැඟවී පියාසර කල හැකි යානාවකි. ඉතා ඉහලින් පියාසර කරන, ස්ටෙල්ත් තාක්ශණයෙන් නිමැවුනු, කුඩා යානාවක් නිවැරදිව හඳුනාගත හැකි තරමේ දියුණු රේඩාර් තාක්ශණයක් ඉරාන යුධ යන්ත්‍රයට නොමැත. ඔවුන්ගේ රේඩාර් නවීන මිනුම් අනුව යල් පැන ගිය ඒවාවේ. එපමණක් නොව මෙතරම් කුඩා ස්ටෙල්ත් යානාවක් හඳුනාගැනීම, දියුණු රේඩාර් තාක්ශණ ඇති රුසියාවට හා චීනයට පවා අපහසුය. 

එසේනම් ඉරානය මෙම යානාවේ ගමන්මග ඉතා නිවැරදිව සොයාගත්තේ කෙසේද යන්න විශාල ගැටලුවකි.
3වැනි අදහස] ඉරානය මෙම යානය තිබෙනා ස්ථානය කෙසේහෝ හඳුනාගත්තේයයි උපකල්පණය කලහොත්, ඊලඟ ඇතිවෙන ගැටලුව නම්, යානාව හා මෙහෙයුම් මධ්‍යස්ථානය අතර සබඳතාව බිඳදැම්මේ කෙසේද යන්නයි. 
a) ඩ්‍රෝන යානා පාලනය වන්නේ අභ්‍යවකාශයේ ඇති අමෙරිකානු යුධමය සන්නිවේදන චන්ද්‍රිකා (military communications satelite) මගිනි. මේවායින් එවනු ලබන විද්යුත් සංඥා සංකූලගත කරනලද සංඥා (encrypted signals) ගණයට අයත්ය. මෙම සංඥා අවුල්කරන ලද්දේ කෙසේදැයි යන්න ගැටලුවකි.

එසේම;

b) යුධ ගුවන් යානාවල මෙවැනි ඉලෙක්ට්‍රොනික පහරදීම් වලින් (electronic attacks) ආරක්ශාවීම සඳහා Electronic Countermeasures - ECM නම් තාක්ශණයක් අඩංගු කොට ඇත. මෙම තාක්ශණය මගින් සතුරා විසින් යානය වෙත එල්ල කරන නොමග යැවීමේ හෝ සංවේදක හා පරිගණක ව්‍යාකූල කිරීමේ ඉලෙක්ට්‍රොනික සංඥා වලින් ආරක්ශාකරයි. 1970 ගණන් වල සිට දියුණුවෙමින් ඇති මෙම ECM තාක්ශණය ඉරාන සයිබර් හැකර්ලා බිඳ දැම්මේ කෙසේද? 

c)  මෙවැනි නවීන ECM ආරක්ශාව ඇති යානා නොමග යැවීමේ තාක්ශණය චීනය හා රුසියාවට ඇත්තේ අඩුමට්ට්මමකින් බව පොදු පිලිගැනීමයි. ඉරාන ජාතිකයින් සිදුකරන ප්‍රකාශ සැබෑනම් ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික යුධමය හැකියාව (electronic warfare capabilities) රුසියාව හා චීනය තරම්ම හෝ ඊටත් වඩා දියුණු තලයක තිබිය යුතුය.
4වැනි අදහස] ඉරානය ප්‍රකාශකරන පරිදිම කෙසේ හෝ යානය හා එහි පාලකයින් අතර සබඳතාවය බිඳදැමුවා යයි උපකල්පණය කලහොත්....
a)  එසේ යානය මෙහෙයුම් මධ්‍යස්ථාන පාලනයෙන් මිදුනු විට එහි ස්වයංක්‍රීය නියමු වැඩසටහන මිලිටරි GPS පද්ධතිය හා සම්බන්ධවන බව ඉරාන සයිබර් හැකර්ලා නිශ්චිතවම දැන ගත්තේ කෙසේද? 

අමෙරිකාවේ අතිශය රහසිගත බෝයිං ස්කන්ක්-වර්ක්ස් (Boeing Skunk-Works) නම් ගගනවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ නිර්මාණය කල කලු-ගුවන්යානා ව්‍යාපෘති (black-aircraft projects) නමින් හඳුන්වන වැඩසටහනක නිර්මාණයක්වූ RQ-170 යානය මෙලෙස මිලිටරි GPS පද්ධතිය උපයෝගීකරගන්නා බව ඔවුන් නිශ්චිතව දන්නේ කෙසේද යන ගැටලුව පැන නගී.

b)  නවීන ඩ්‍රෝන යානයක් පාලනයෙන් මිදුන විට, එය මග සොයාගැනීම සඳහා අවසානයට සිටි ස්ථානයේ සිට ගුවන් කඳවුර බලා යානයට මග සොයාගත හැකි ගුවන් මං සැළසුම් (flight plan) එම යානා ගුවන්ගත කිරීමට පෙර එවායේ පරිගණයට ලබාදෙයි. මෙය navigation from last known location නමින් හඳුන්වයි. මෙවැනි උපක්‍රම අඩංගුකොට ඇත්තේ චන්ද්‍රිකා සංනීවේදන ගැටලුවකින් යානය පාලනයෙන් මිදුනහොත්/ චන්ද්‍රිකාවල යම් ගැටලු සහගත තත්වයකින් යානයට GPS සංඥා නොලැබී ගියහොත්/ කාර්මික දෝෂයක් නිසා ඇන්ටෙනා ක්‍රියා විරහිත වුවහොත් එයට අපහසුවකින් තොරව ගුවන්ගත වූ ධාවන පථයට ලඟාවීම සඳහාය. මේ සඳහා මිලිටරි හෝ සිවිලියන් GPS පද්ධතිවල ආධාරයක් අවශ්‍ය නැත.
ගුවන්යානා, මහා මාර්ගවල යන වාහන මෙන් තැන තැන හිතූමනාපයට පියාසර නොකරන බවත්, සෑම ගුවන් ගමනක්ම, කලින් සැලසුම් කොට, නිශ්චිත පියාසර මග සැලැස්මක් (flight plan) සහිතව ගුවන්ගත වන බවත්, එම සැලසුම මෙහෙයුම පුරාවටම ක්‍රියාත්මක වන බවත් සැළකිය යුතුය. 
ඒ අනුව ඉරාන හැකර්ලාගේ මිලිටරි GPS ප්‍රකාශය පිලිගැනීමට තරම් සාධක නොමැතිබව බහුතර මතයයි.
5වැනි අදහස]  ඉරානයේ මිලිටරි GPS මගින් යානය මග සොයාගන්නට පෙළඹවූවා යන ප්‍රකාශයද නිවැරදි බවට උපකල්පණය කලහොත්.........
a) ඇමරිකාව හා සෝවියට් රුසියාව අතර ශීත යුද්ධය (cold war) පැවති කාලයේ නිර්මාණය කල මිලිටරි පද්ධතිය ඉතා සංකීර්ණ සංකූලතා ක්‍රම මගින් ආරක්ශාකරන පද්ධතියකි. මෙයින් ලැබෙන ඉලෙක්ට්‍රොනික සංඥා ග්‍රහනය කරගැනීමට විශේෂ military GPS receiver යන්ත්‍ර අවශ්‍ය වන අතර ඒවා නේටෝ සංවිධානයේ රටවල්වලට සීමාවේ.

b)  සෝවියට් රුසියාව සමග කෙරෙන යුද්ධයකදී භාවිතයට ගැනීමට නිර්මාණය කරන ලද මෙවැනි GPS පද්ධතියක සංඥා අවුල් කිරීමට ඉරාන හැකර්ලාට තාක්ශණය තිබේද?
6වැනි අදහස] උපකළ්පණ 1,2 හා 3 සත්‍යයයි ගතහොත්, තවත් ඉතා සරල එහෙත් වැදගත් ගැටලුවක් මතුවෙන බව යුධ විශේෂඥයින් පවසනවා.
a) මෙවැනි යානා පාලනය වන්නේ චන්ද්‍රිකාවලින් ලැබෙන ගුවන්විදුලි සංඥා මගින් බැවින් ඒවායේ ඇන්ටෙනා ස්ථානගත කොට ඇත්තේ අභ්‍යවකාශයෙන් ලැබෙනා සංඥා ග්‍රහනය කරගැනීම සඳහා යානයේ උඩ කොටසේ වන අතර ඒවා උඩු අතට සංවේදගත කොට ඇත.

b) උඩින් එන සංඥා වලට සංවේදී ඇන්ටෙනා ඇති, කිලෝ මීටර් 12ක් ඉහලින් පියාඹන යානයකට පොලොවේ සිය සයිබර් ඇටෑක් සංඥා යවන්නේ කෙසේදැයි බටහිර යුධ විශ්ලේෂකයින් ප්‍රශ්ණකොට සිටී. මේ සඳහා විශේෂයෙන් නිර්මාණයකල, electronic warefare තාක්ශණය ඇති ගුවන්යානා යොදාගත යුතුය. එවැනි නවීන යුධ යානා ඉරානය සතුව ඇත්දැයි නොදන්නා අතර, එවැනි යානා භාවිතකල බවක් ඉරානයෙන් ප්‍රකාශවන්නේ නැත.

අවම ගැටලු ඇති නිගමනය 
a)  RQ-170 යානයක් ඉරානය සතු බව සැබෑය

b)  එය ඉරානය සතුවූයේ සයිබර් ප්‍රහාරකින් නොව, හදිසි කාර්මික දෝශයකින් එන්ජිම ක්‍රියාවිරහිත වීමෙනි.

c)  සැහැල්ලු, මෙවැනි හැඩයේ යානාවල එන්ජින් බලය ගිලිහුනු විට ඒවා ගසක නටුවකින් ගිලිහුනු කොලයක් ආකාරයට (leaf like free-fall) කරකැවෙමින් (X අක්ශය වටා බ්‍රමණය වෙමින්) බිම වැටෙන බව ගුවන් යානා ඉන්ජිනේරුවන් ප්‍රකාශකරනවා

d)  යානයේ උඩු කොටසට හානියක් නැතත්, යට කොටසට හානි වී ඇත්තේ එවැනි කඩාවැටීමකින් බව ඔවුන් පවසනවා

e)  ඉරානය ප්‍රසිද්ධ කල ඡායාරූපවල යානයේ යටි පැත්ත ආවරණයකර ඇති බව ඔබට පෙනෙනවා ඇති. නිරීක්ශකයින් පවසන්නේ යට කොටස ආවරණය කොට ඇත්තේ කඩා වැටීමෙන් ඇති වූ විනාශ වසන් කිරීම සඳහායි.

f)  යානයේ යට කොටස මාධ්‍යවලට නිරාවරනය කලහොත් හැකර් මෙහෙයුමකින් එය ගොඩබස්සවාගත් බවට කෙරෙන ප්‍රකාශයේ සැබෑව හෙලිවන බව ඔවුන් පවසනවා.
 ~ // ~

සටහන : මෙහි දක්වා ඇති තොරතුරු, උපකල්පන හා නිගමන මාගේ පෞද්ගලික අදහස් නොව මේ පිලිබඳව ගවේෂණය කොට තොරතුරු වාර්තාකල විදෙස් මාධ්‍යවලින් උකහාගෙන සම්පිණ්ඩනය කරන කරන ලද තොරතුරුවේ.

මේ පිලිබඳව ඔබ සතුව නවතම තොරතුරු ඇත්නම් කොමෙන්ටුවල සටහන් කරන්න, එම තොරතුරද ලබාගෙන ලිපිය යාවත්කාලීන කිරීමට පුලුවන.








Comments

  1. ඉතාමත් වැදගත් ලිපියක්.... ස්තුතියි....

    ReplyDelete
  2. 12km සිට ඇදවැටෙන යානයක මෙහෙම කොටසක් හරි ඉතිරිවෙනවා කියන්නේ පුදුමයි

    ReplyDelete
  3. යානාවෙ රිසීවර් එක උඩ අතට හයි කරල තිබ්බනම් පොළවෙ ඉඳන් නෙමෙයි ඉරාණෙ ගුවන්ගතකරල තියෙන චන්ද්‍රිකාවකින් RQ-170 හැක් කරාද දන්නෑ.

    ඒ වගේම හොඳ ලිපියක්
    මේ වගේ බ්ලොග් දැන් හදිස්සියෙන් අහුවෙන්නෙ.දැන් හැම බ්ලොග් එකකම වගේ තියෙන්නෙ වල්පල්, කිසිම වැදගැම්මකට නැති ලිපි.

    ReplyDelete
  4. kotasak neveyi ne. sampurnayenma ithuruyi ne.

    ReplyDelete
  5. මම නම් තිනන්නේ ඉරානය මායා ශිෂ්ටාචාරයේ එන ක්‍රම ශිල්ප නවීන කොට පවිචිකරන්වා කියලා මම හරිද දන්නේ නැ?
    ඒ වුනාට ඇමරිකාව හිතනවට වඩා ශක්තියක් ඉරානයට තියෙනවා.

    ReplyDelete
  6. ඇත්තටම හුගාක් වැදගත් ලිපියක් , නොදන්න දේවල් හුගක් දැනගත්තා ......

    ReplyDelete
  7. ඉරානය හරි, ඇමරිකාව ලැජ්ජාව වහගන්න බොරු කියනව කියලයි මම නං හිතන්නේ. කොහොමත් බොරු කීම සම්බන්ධව ඇමරිකාවට ලොකු ඉතිහාසයක් තියෙනවනේ .

    ReplyDelete
  8. මෙක කඩා වැ‍ටුන එකක් නෙමේ කියලා මගෙ ලංකාවේ යාලුවෙක් ඉරානයෙදි ඔක බලන්න ගිහින් මට කිව්වා, ඔක දැන් ටෙහෙරන් නගරයේ මහජන ප්‍රදර්ශනයටත් තියලා....ඩ්‍රොන් එකේ තාක්ෂනය ඉරානය නොමිලේ චිනයටයි රුසියාවටයි දිලා කියලා ප්‍රදර්ෂන කුටියේ හිටිය ඉරන නිලධාරියෙක් කිව්වාලු,

    ReplyDelete
  9. military communications satelite eken yna encrypted eke frequency eka haraha e kiyanne wenama satelite ekak haraha oya kiyana satelite eka hck karanwa main cntrl brd ekata e kiyanne cia ekata fack attack ekak dena gaman ekn godak ida thiynawa signle frequency eka hoya ganna ita passe itn,auto pilot wenawaan ara kiwa vidiyata,karanna thiyanne ship eke system eka hck karana eka thama GPS system eka aul karana eka,aniwaren okata cia eka athule sup ekak thiyannama one ehema nattan e rate wena sambandatha thiyanna one,monawa unath hackersla set eka oya wade kara kiynawanan,patta wada karayo tikak,mkda owa nikan api use karana sql injection wath,keylogers walinwath ,pihshing wath,cookie use karalwath newene,pissu hadeawa hithnakotath :D

    ReplyDelete
  10. Military GPS පද්ධතිය ගැන නම් මගේ ඇති දැනුම අල්පයකි..නමුත් civillian GPS සේවාවනම් අනන්තවත් හැක්කල හැකිබව මා අත්දැකීමෙන් දනිමි.... මෙයින් මා හැකර් වරයෙකු කියා වරදවා වටහාගන්න එපා...නමුත් මාසතුව Garmin 62s හා TOM Tom වර්ගයේ GPS0 කිහිපයක්ම තිබෙන අතර අපරට තුල වනාන්තර චාරිකාවකදී වරක් විදේෂීය මිතුරෙකුගේ විහිලුවකට මාගේ Garmin 62s යන්ත්‍රය හසුවුනි..ඔහු පසුව ඒ පිලිබද මාහට පැවසු අතර ඔනෑම අවස්තාවක එය සිදුකල හැකියි යන්න ඔහුගේ මතයයි! නමුත් civillian GPS සේවාවද යම්තාක් දුරත encrypt කර දත්ත සම්ප්‍රේෂනය කරන බව මා දනිමි... මේ විස්තරය ඔබට යම්තාක් දුරත උපකාරීවේයැයි සිතා පලකලෙමි ඉස්තූතියි

    ReplyDelete
  11. තවද Military GPS සේවාව තුල Frequency Cord නම් වූ ඇනලොග් අරක්ෂන ක්‍රමයකුත් අන්තර්ගත වනවා... මෙය අපගේ යුදහමුදාවත් සිය වච්ක ගුවන්විදුලි සම්ප්‍රෙෂනයේ දී භාවිතාකරන අරක්ෂක ක්‍රියාමර්ගය.. උද: අපිසිතමු අම්කිසි පනිවිඩයක් X ස්ථානයේ සිට Y නම් ස්ථානයට රහසිගතව ස්ම්ප්‍රේෂනයකරීමත අවෂ්යනම් ඒසදහා එක ගුවන්විදුලි චැනලක් නොව (Frequency Group) සංක්‍යාත 50 පමන යොදා ගන්නවා... එම සංක්‍යාත යම්කිසි රටාවකට X හා Y ස්තානයන්හී හුවමාරුවෙනව උදා: රිවොල්වරයකින් වෙඩිතැබුවිට ඊලග පතුරොම ඇති සිදුර ස්වකීයව මාරුවීම වැනිය එවිට මෙම තරංගය යමෙකු ග්‍රහනය කලද ඔහුට ලැබෙනුයේ තේරුමක් නැති අවැදගථ් දථ්ථයකි...මෙම ඇනලොග් ක්‍රමය Decord කලහැකිනම් UAV පමනක් නොවෙයි මුලු ලොකයෙම යුදමය රහස් දැනගතහැකිවෙනවා..

    ReplyDelete

Post a Comment