X-37B අමෙරිකන් ගුවන් හමුදාවේ රහසිගත අභ්‍යවකාශ ශටලය

යාවත්කාලීන කිරීම : දින 469 අභය්‍යවකාශයේ ගතකල X - 37B යානයේ දෙවැනි මෙහෙයුම අවසන්කොට 2012 ජූනි 18 දින කැළිෆෝනියාවේ වැන්ඩන්බර්ග් ගුවන්හමුදා කඳවුරට ගොඩබැස්සවූ බව "විද්‍යා ගවේශණ" වෙත වාර්තාවෙනවා. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව සිදුවූ මෙම මෙහෙයුමෙන් අණතුරුව, යානයේ පරිගණක නියමුවන් එය ශටල්යානය ගොඩබස්වන ආකාරයට් වැන්ඩන්බර්ග් කඳවුරේ ගුවන්පථයකට බැස්සවූ බව X - 37B ව්‍යාපෘති කළමණාකරු ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල් ටොම් මැකින්ටයර් මාධ්‍යවලට ප්‍රකාශකලා.

 ~ / ~

පසුගිය වසරේ (2010) අප්‍රියෙල් 22වැනි දින ෆ්ලොරිඩාවේ (අමෙරිකා එක්සත් ජනපදය) කැනවරල් තුඩුවෙන් ඇට්ලස් 5 වර්ගයට අයත් රොකට්ටුවක් ගුවන් ගතවිය. උඩුගුවනට චන්ද්‍රිකා හා වෙනත් උපකරණ ගෙනයාම සඳහා නිතරම ඇට්ලස් රොකට්ටු ගුවන් ගතකරන නිසා එම රොකට්ටුවේ ගුවන් ගතවීම ගැන කැනවරල් තුඩුව අවට ජනතාව එතරම් තැකීමක් කලේ නෑ. විනාඩි සතරක දහන කාලයකින් පසු රොකට්ටුවේ පලමු අදියරේ (1st stage) ඉන්ධන අවසන් වුනු අතර එය වෙන්වී ඉවත්වද්දී දෙවන අදියරේ රොකට් එන්ජින් දැල්වී ඇට්ලස් 5 රොකට්ටුවේ payload කොටස (රොකට්ටුවක චන්ද්‍රිකාව ගබඩාකර තිබෙන කොටස) තවත් ඉහලට රැගෙන ගියා. 

X-37 උඩුගුවනට ගෙන ගිය ඇට්ලස් 5 රොකට්ටුව

කැනවරල් තුඩුව අවට වැසියන් තවත් එක් රොකට් ගමනක් ලෙස මේ ගුවන්ගත කිරීම අමතක කොට දමද්දී කැනවරල් තුඩුවේ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානය තුල අමෙරිකානු ගුවන්හමුදාව රහසිගත මෙහෙයුමක නිරතවෙමින් සිටියා. එයට හේතුව  මීට විනාඩි කිහිපයකට කලින් දියත් කල ඇට්ලස් රොකට්ටුව තුල ගබඩාකොට තිබුණේ සාමාන්‍ය කාළගුණ චන්ද්‍රිකාවක් හෝ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට ඉහලට ගෙන යන තවත් එක් කොටසක් නොවේ, ඒ වෙනුවට අමෙරිකානු ගුවන් හමුදාව දශක ගණනාවක් තිස්සේ සැළසුම් කරමින් නිර්මාණය කරමින් සිටි අභ්‍යවකාශ ශටලය මේ ඇට්ලස් රොකට්ටුවේ පේ-ලෝඩ් (payload) කොටස තුල සැඟවී උඩුගුවනට යමින් තිබුණු නිසයි.තවත් විනාඩි කිහිපයකදී ඇට්ලස් රොකට්ටුවේ ඉහලම අදියර පෘථිවි කක්ශයට ඇතුලු වුනු අතර පේ-ලෝඩ් කොටසේ දොරටු විවරවී එය තුල සැඟවී තිබුණු කුඩා ශටල් යානය සාර්ථකව කක්ශගත කෙරුණා.



අඩි 29ක් දිග, ඩෙල්ටා හැඩැති අත්තටු වලින් යුතුවුනු මේ යානය X-37B Orbital Test Vehicle ලෙස නම් කොට තිබෙනවා. පෙනුමෙන් නාසා අභ්‍යවකාශ ශටලයේ කුඩා අනුරුවක් මෙන් දිස්වෙන මේ යානය අමෙරිකන් ගුවන් හමුදාවත් එහි තාක්ශණික කොන්ත්‍රාත් සමාගම වුනු සුප්‍රකට බෝයිං ගුවන් යානා සමාගමේත් දශක 3ක පමණ වෑයමක ප්‍රතිපලයකි.

අමෙරිකානු ආරක්ශක දෙපාර්තමේන්තුව වසර 50ක පමණ කාලයක සිට තමන්ගේ අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාවයෙන් පෙලුනත් අභ්‍යවකාශ ගවේශණ සඳහා වෙන් කෙරුනු මුදල්වලින් අතිවිශාල ප්‍රමාණයක් නාසා ආයතනයට හා එහි ශටල් ව්‍යාපෘතියට වෙන්වුනු නිසා අමෙරිකානු ආරක්ශක අමාත්‍යාංශයට සිදුවුනේ නාසා අභ්‍යවකාශ ගමන්වලින් තම අවශ්‍යතා සපුරාගැනීමටයි. එහෙත් නුදුරු අනාගතයේදීම නාසා අභ්‍යවකාශ ශටල් ව්‍යාපෘතිය විශ්‍රාම ගැන්වෙන නිසා තමන්ගේම ශටල් යානයක් අත්හදා බැලීමේ අවකාශය හා ප්‍රතිපාදන අමෙරිකානු ගුවන්හමුදාවට ලැබුනා.




සැබැවින්ම X-37 ව්‍යාපෘතිය මුලින් යුධමය ව්‍යාපෘතියක් වුනේ නෑ. X යන නාමයෙන් හැඳින්වෙන්නේ නාසා ආයතනයේ X-Plane ව්‍යාපෘතියට අයත් අතිශය පර්යේශණ මට්ටමේ තිබෙන අධිවේගී ගුවන්යානා කාණ්ඩයකටයි. මේ ගුවන්යානා විවිධ අති නවීන ගුවන් හා අභ්‍යවකාශ තාක්ශණ අතහදාබැලීමටත් වැඩිදියුණු කිරීමටත් යොදාගැනුනා. ශටල් යානයට ආදේශකයක් ලෙස අභ්‍යවකාශ ගතකොට නැවත ගුවන්යානයක් මෙන් පොලවට ගොඩබැසීමේ තාකශණ 1970 දශකයේ නිර්මාණය ලෙරුණු ස්පේශ් ශටල් තාක්ශණයෙන් ඔබ්බට ගෙනයාමේ වෑයමක් ලෙසයි 1999දී නාසා ආයතනය බෝයිං සමාගම සමග එක්ව X-37 ව‍යාපෘතිය ආරම්භකලේ. 2004 වසරේදී අමෙරිකානු ගුවන් හමුදාවට අනුයුක්ත කරනතෙක්ම නාසා ව්‍යාපෘතියක් ලෙස පියවරන් පියවර ඉදිරියට ගිය X-37 ව්‍යාපෘතිය නව තාක්ශණයන් රැසක් බිහිකොට තිබෙනවා.
  

මුලුමනින්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවෙන X-37 යානය බිහිකල තාක්ශණයන් අතර පෘථියට ආපසු ඒමේදී (re-entry from orbit) අභ්‍යවකාශ යානයක් ලක්වෙන ෆැරන්හයිට් අංශක 3000ක උශ්ණතවයට ඔරොත්තු දිය හැකි එහෙත් ඉතා සැහැල්ලු ප්ලාස්ටික් වැනි වර්ගයක් මේ පර්යේශණ ඔස්සේ බිහිවී තිබෙනවා. නාසා අභ්‍යවකාශ ශටලය මේ උශ්ණත්වයට ඔහොත්තුදීමට භාවිතාකරන්නේ විශේෂිත මැටිවර්ගයකින් නිමැවුනු සෙරමික් ටයිල් විශේෂයක්. බරින් වැඩි මේ සෙරැමික් ටයිල් ශටලයේ පෘශ්ඨය මත රැඳවුනේ ගම් වර්ගයකින් ඇලවීමෙන්. මේ නිසා මේවා නිතරම ගැලවී යන අතර 2001 වසරේ කොලොම්බියා ශටලය අභ්‍යවකාශ ගමනක් නිමකොට ආපසු පොලව බලා එනවිට විනාශවී ගියේ මේ සෙරැමික් ටයිල් පදාසයක් ගැලවීගොස් යානය අධික ලෙස රත්වීම නිසයි.


අමෙරිකානු ගුවන් හමුදාව මේ X-37B යානයේ හැකියාවන් ගැන වැඩිපුර යමක් නොකීමට වගබලාගන්නා අතර ඔවුන්ගේ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට X-37B ශටලයේ හැකියාවන් වේගයෙන් වැඩිදියුණු කොට ඉතා ඉක්මණින් මිනිසුන් රැගෙන අභ්‍යවකාශයට යාහැකි වඩා විශාල ශටලයක් නිර්මාණය කරන බව පමණක් පවසනවා.


X-37 යානය ගැනට දැනට ලැබී ඇති තාක්ශණික තොරතුරු


  • දිග මීටර් 8.9
  • පලල (අත්තටු දෙකෙලවරට ) මීටර් 4.5
  • උස මීටර් 2.9
  • ඉන්ධන පිරැවූ විට බර මෙට්‍රික් ටොන් 4.5
  • පේ ලෝඩ් කොටසේ විශාලත්වය මීටර් 2.1 X මීටර් 1.2
  • කක්ශයේදී බලය ලබාගන්නේ ගැලියම් ආසනයිඩ් සූර්‍ය්කෝශ හා ලිතියම්-අයන බැටරි පද්ධතියක් මගිනි
  • කක්ශයේදී පෘථිවිය වටා ගමන්කරන වේගය පැයට කිලෝමීටර් 28,200 
  • අභ‍යවකාශයේ රැඳීසිටිය හැකි කාලය උපරිම දින 270කි 
  • කක්ශගතවන උස පොලොවේ සිටි කිලෝමීටර් 160ක උසකිනි

Comments

  1. වැදගත් විස්තරයක්.. කොච්චර ආස වුණත් ඉංග්‍රිසියෙන් තියෙනකොට මේ වගේ විස්තර කියවන්න හිතෙන්නෙ නෑ.. ගොඩක් වෙලාවට රූපයි හෙඩිනුයි විතරනේ බලන්නේ.. මෙවැනි විෂයයන් ගැන මේ විදියට සිංහලෙන් දාන එක හරිම වටිනවා.. දිගටම ලියන්න..

    ReplyDelete

Post a Comment