කයිවාරුකාරයින්ගේ කට වසන ජපන් මැශිම හා තවත් විද්‍යා ප්‍රවෘත්ති - 2

තැන නොතැන නොබලා තොරතෝංචියක් නැතුව ඔහේ කියවන අය සමාජයේ බහුලයි. විශේෂයෙන්ම පුස්තකාල, අධ්‍යාපන ආයතන වගේ තැන්වලදී මේ අය බොහෝ දෙනෙකුට කරදරයක් වෙනවා. එහෙම අයගේ කටවල් වහන්න පුලුවන් සරල තාක්ශණයකින් යුතු යන්ත්‍රයක් ජපානයේ සුකුබා ඔකැනොමිසු විශ්වවිද්‍යාලයේ පර්යේශකයින් පිරිසක් නිපදවලා තියෙනවා. Speech Jammer ලෙස මෙය නම්කොට තිබෙනවා.

මේ යන්ත්‍රය ක්‍රියාකරන්නේ බොහොම සරල ආකාරයට. රථවාහනවල වේගය දුරසිට මනින රේඩාර් ගන් උපකරණයක් මෙන් දිස්වන මෙය, අනවශ්‍ය ආකාරයට කතාබස් කරමින් සිටිනා දෙදෙනෙකු වෙත එල්ල කලවිට එහි ඇති ඩිජිටල් පටිගතකිරීමේ යන්ත්‍රයක් මගින් ඔවුන්ගේ දෙබස් පටිගත කරගෙන තත්පර 2/3 විරාමයක් ඇතුලත නැවතත් ප්‍රතිවාදනය කරනවා.

මෙම පර්යේශකයින් විසින් සිදුකරන ලද ක්ශේස්ත්‍ර පරීක්ශණවලට අනුව, තමන් මොහොතකට පෙර කියූ දෙය නැවතත් තමන්ටම ඇසෙන්නට ගත්විට 99.9% පුද්ගලයින් කතාව නවත්වනවා. හැබැයි ඉතින් අපේ රටේ දේශපලකයෝ නම් අයිතිවෙන්න අර 0.1% ප්‍රතිශතයට වෙන්න ඕනෙ. මොකද මොනවා කෙරුවත් ඒ අය කයිවාරු නවත්වන්නේ නෑනෙ.....


වොට් ට්‍රිලියන 500ක් බලසම්පන්න ලේසර් කිරණය


කැලිෆෝනියාවේ පිහිටි අමෙරිකානු ජාතික ජ්වලන පර්යේශණාගාරය (National Ignition Facility - Lawrence Livermore National Laboratory, California) මගින් ලොව බලසම්පන්නම ලේසර් කිරණය නිපදවා තිබෙනවා. ලේසර් කිරන 192 එක්කොට, එකවර විදීම මගින් මෙම වොට් ට්‍රිලියන 500 ලේසර් කිරණය නිපදවා තිබෙනවා. ඔවුන්ගේ අරමුණ මෙවැනි බලසම්පන්න ලේසර් කිරණයක් මගින් න්‍යශ්ඨික විලයන දාම ප්‍රතික්‍රියාවක් (nuclear fusion chain reaction) ඇරඹීමේ පහසු මගක් සොයා ගැනීමයි. 

සූර්යයා තුල ශක්තිය නිපැදවෙන්නේ හයිඩ්‍රජන් හීලියම් බවට පරිවර්තනය කරන න්‍යශ්ඨික විලයනය මගින්. න්‍යශ්ඨික විඛන්ඩනයට (nuclear fission) වඩා ලාබදායි හා ආරක්ශා සහිත න්‍යස්ඨික බලාගාර න්‍යශ්ඨික විලයනය මගින් නිපදවිය හැකි බව විද්‍යාඥයින් පවසනවා. එහෙත් න්‍යශ්ඨික විඛන්ඩන දාම ප්‍රතික්‍රියාවක් මෙන් නොව විලයන දාම ප්‍රතික්‍රියාව ඇරඹීම ඉතා අපහසුයි. එවැනි විලයන ප්‍රතික්‍රියා සිදුවන්නේ ඉතා අධික උශ්ණත්වයන් යටතේදීයි. 

මෙම වොට් ට්‍රිලියන 500 ලේසර් කිරණය මගින් සූර්යයා තුල පවතින අධික උශ්ණත්වය නිර්මාණය කිරීමට විද්‍යාඥයින් බලපොරොත්තු වනවා.


ලේසර් කිරණයක් හරහා අකුණු ප්‍රහාරයක් යැවිය හැකි තාක්ශණයක් අමෙරිකන් යුධ හමුදාව බිහිකරයි.

හමුදා පර්යේශකයින් කාරයකට එල්ලකල අකුණු ප්‍රහාරයක්
අකුණක් යනු අධික වෝල්ටීයතාවයක් වලාකුලක් හා පොලොවේ යම් ස්ථානයක් අතර ගමන් කිරීමයි. අකුණක් ගමන් කරන මාර්ගය පිලිබඳ අනාවැකි පලකිරීමට නොහැකිවන්නේ එය වායුගෝලය අවම ප්‍රතිරෝධය ඇති මාර්ගයකින් පොලොව කරා පැමිණෙන බැවිනි.

අමෙරිකානු හමුදා පර්යේශකයින් කෘත්‍රිම අකුණු ප්‍රහාරයක් නිශ්චිත මාර්ගයක් ඔස්සේ ඉලක්කයක් වෙත යැවිය හැකි තාක්ශණයක් දැන් නිපදවා ඇත. මෙහිදී සිදුවන්නේ ඉලක්කය වෙත ලේසර් කිරණයක් එල්ල කොට අවම ප්‍රතිරෝධය ඇති මාර්ගයක් අකුණේ ඉලෙක්ට්‍රෝනවලට ගමන් කිරීම සඳහා නිර්මාණය කරදීමයි. මෙම තාක්ශණයේ ආරම්භක යෙදැවීමක් ලෙස බෝම්බ හා පුපුරා නොගිය ශෙල්වෙඩි නිශ්ක්‍රිය කිරීම සිදුකල හැකි බව යුද හමුදාව පවසයි.

ජොගින් යනවිට තනිය එන ඩ්‍රෝන හිතවතා


ව්‍යායම සඳහා එලිමහනේ ඇවිදින, දුවන පුද්ගලයින්ගේ තනිය නැති කරන්නටත්, ඔවුන් උනන්දු කරවන්නටත් හැකි ඩ්‍රෝන හෙලිකොප්ටරයක් ඔස්ට්‍රේලියාවේ Royal Melbourn Institute of Technology විශ්වවිද්‍යාලය මගින් නිපදවා තිබෙනවා. ඩ්‍රෝන යානාවේ කැමරාවලට ඔබ හැඳ සිටිනා කමිසයේ වර්ණය මතක තබාගත හැකි අතර එය අහසේ සිටිමින් ඔබගේ ඇඳුම පරිලෝකනය (scan) කරමින් ඔබ පසුපස එනවා.

එමෙන්ම ඔබට මදක් ඉදිරියෙන් යම් වේගයකින් පියාසර කරමින් එම වේගයට ලඟාවීම සඳහා ඔබව උනන්දුකිරීමටද මෙම ඩ්‍රෝනය ප්‍රෝගෑම් කල හැකියි.

ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා මෙවැනි ඩ්‍රෝන යොදාගත හැකිදැයි සොයා බැලීම මෙම පරීක්ශණවල අරමුණ බව RMIT විශ්වවිද්‍යාලයේ පර්යේශණ කණ්ඩායම පවසනවා.


මහන්සි නොබලා ගොවිතැන් කරන රොබෝ ගොවියා


අපවැනි දියුණුවෙමින් පවතින් රටවල් වල මෙන් නොව අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ගොවිතැන අතිශයින්ම යාන්ත්‍රීකරණය වූ, නවතම විද්‍යාත්මක සොයාගැනීම් මත පදනම් වූ ව්‍යාපාරයක්. එම රටවල ගොවියෙකුට හා ඔහුගේ පවුලේ කිහිපදෙනාට අක්කර දහස්ගණනක වගාබිමක් අස්වැද්දීමේ හැකියාව ලැබී ඇත්තේ මේ නිසායි.

මෙලෙස කාර්මීකරණය වූ ගොවිතැන තවත් අලුත් ඉමකට ගෙනයාමට හැකි රොබෝ තාක්ශණයක් දැන් අමෙරිකාවේ කෘශිකර්ම විශේෂඥයෙකු විසින් නිපදවමින් සිටින බව වාර්තාවෙනවා.

ඔහුගේ බලාපොරොත්තුව ඉතා අඩු මිල රොබෝවරුන් සිය ගණනක් වගා බිමක වගාවට සත්කාර කිරීම සඳහා යොදා ගැනීමටයි. රොදක ආකාරයට එකිනෙකා සමග පණිවුඩ හුවමාරු කරගනිමින් ක්‍රියාත්මක වන රොබෝ තාක්ශණය (swarm robotics) ආධාරයෙන් විශාල ගොවි බිමක වුවද සෑම පැලයකටම අවධානය යොමු කරමින් හැම බිම් අඟලකින්ම උපරිම අස්වැන්නක් ලබාදීමට මෙවැනි රොබෝ සමූහයකට පුලුවන් බව ඔහු විශ්වාස කරනවා.

ඔහු විසින් නිපදවා ඇති රොබෝවාට ගොවි බිමක බීජ ඉසීම, පොහොර දැමීම, කෘමිනාශක ඉසීම වැනි කාර්යයන් කරන්නට පුලුවන්. එපමණක් නොවෙයි. බීජය සිටවූ ස්ථානය විශේෂිත රසායනිකයක් ඉස එම ස්ථානය එම රොබෝවාට හා කාණ්ඩයේ සිටිනා අනෙක් රොබෝවන්ටද හඳුනාගත හැකිවන ලෙස සළකුණු කිරීමටද මෙම රොබෝවාට පුලුවන්.

ඔහු විසින් නිපදවා ඇති රොබෝවාට ගොවි බිමක බීජ ඉසීම, පොහොර දැමීම, කෘමිනාශක ඉසීම වැනි කාර්යයන් කරන්නට පුලුවන්. එපමණක් නොවෙයි. බීජය සිටවූ ස්ථානය විශේෂිත රසායනිකයක් ඉස එම ස්ථානය එම රොබෝවාට හා කාණ්ඩයේ සිටිනා අනෙක් රොබෝවන්ටද හඳුනාගත හැකිවන ලෙස සළකුණු කිරීමටද මෙම රොබෝවාට පුලුවන්.

දවසේ පැය 24පුරාම වැඩකල හැකි මෙවැනි අඩු මිල රොබෝවන් විශාල ප්‍රමාණයක් යොදවා ගොවි බිමේ සෑම පැලකින්ම උපරිම අස්වැන්නක් ලබාගැනීමට හැකි බවත්, එමගින් ක්‍රමයෙන් අඩුවෙමින් යන ගොවි බිම් වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත් හැකි බව පැවසෙනවා.

Comments

  1. මේ පුංචි පුවත් වැඩේ නම් නියමයි... ප්‍රතිචාර ගැන හිතන්න එපා දිගටම ලියන්න අයියේ... ජය !!!

    ReplyDelete
  2. ඇත්තටම වටින ලිපියක්... දිගටම යමු..ජය...

    ReplyDelete
  3. පට්ට පට පට මාත් ආසාවෙන් කියනව... good luck

    ReplyDelete
  4. ඔබ දන්නා තරමින් ඔබේ ලිපි සියල්ලම වගේ කියවල අවසානයි දිගටම ලියන්න මවැනි හරවත් දෑ

    ReplyDelete
  5. වටිනා සටහන්පෙලක් නොවැ.
    දිගටම ලියන්න.
    ඔබට ජය !

    ReplyDelete

Post a Comment