දඬුමොණර/විමාන තාක්ෂණය නූතන යුධ ගුවන්යානා තාක්ෂණයට අනුව කියවමු..


දඬුමොණර යානය ගැන, පැරණි වේදග්‍රන්ථවල සඳහන්වෙන විමාන නැමති පියාසර යානා ගැන විශාල උනන්දුවක් තිබෙන බව අන්තර්ජාලයේ සැරිසරන විට පෙනීයනවා. මේ පිලිබඳව බ්ලොග් අඩවි ගණනාවක විවිධ විස්තර සහිත ලිපි පලවෙලා තියෙනවා. මෙයින් සමහර ලිපිවල විමාන යානා ගැනත් ඒවායේ අඩංගුකර තිබුණායයි කියැවෙන තාක්ශණය ගැනත් බොහොම විස්තරාත්මකව පලකරලා තිබුණා. 

මම මේ ලිපියෙන් උත්සහ කරන්නේ විමාන නැමති පියාසර යානාවල තිබුණා යයි කියවෙන තාක්ශණයන්, නූතන යුධ ගුවන්යානාවල, විශේෂයෙන්ම 4වැනි, 5වැනි පරම්පරාවල ගුවන්යානා වල දැනටමත් තිබෙන තාක්ශණය හා 6වැනි පරම්පරාවේ යානාවල තිබේ යැයි උපකල්පණය කෙරෙන තාක්ශණrdය හා සමපාත කොට සමානාතා තිබේදැයි සොයා බැලීමයි.

විමාන තාක්ශණ විස්තර උපුටාගත්තේ උදිත සේනාරත්න සොයුරාගේ "උදිතගේ විද්‍යුත් සෙල්ලිපිය"  අඩවියෙනි..

 Vimana Technology -1
මාන්ත්‍රික - මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
3rd, 4th & 5th Generation Military Aircraft Technology


මාන්ත්‍රික ක්‍රම යනුවෙන් සඳහන් වෙන, විමානය ගින්නෙන් හා අවිආයුධ වලින් විමානය ආරක්ශාකර ගැනීමේ තාක්ශණයට අනුරූපව, ගුවන්යානය සතුරු ප්‍රහාරවලින් ආරක්ශාකරගැනීමේ ක්‍රමෝපායන් හා තාක්ශණයන් නූතන යුධ ගුවන්යානා වලට ලැබුණේ 3වැනි පරම්පරාවේ සිටයි.

මාන්ත්‍රික නම් විමාන තාක්ශණයට සමාන කලහැකි නූතන යුධ ගුවන්යානා තාක්ශණ පහත ආකාරයෙන් දැක්විය හැකිය.

1] Electronic Countermeasure (ECM) තාක්ශණය - ඉලෙක්ට්‍රොනික් කවුන්ටර්මෙෂර් තාක්ශණය සැකෙවින් විස්තර කරනවානම්, යම් ගුවන්යානයක් සතුරු යානාවල රේඩාර්, සෝනාර්, අධෝරක්තකිරණ සංවේදක හෝ ලේසර් කිරණ මගින් ඉලක්ක කරගැනීම වලක්වාලන, එසේත් නැතිනම් එවැනි සතුරු උපක්‍රම උවමනාවෙන්ම නොමග යැවිය හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ පද්ධතියකි. මෙවැනි පද්ධතියක් සවිකල යුධ ගුවන්යානයකට සතුරු මිසයිල හා සතුරු ගුවන්යානාවලට ඉලක්ක කරගැනීම අපහසුය.

2] Anti heat-seeker flare - ෆ්ලෙයාර් යනු අධික උශ්ණත්වයකින් හා දීප්තියකින් දැල්වෙන මල් වෙඩිල්ලක් වැනි ආරක්ශක උපක්‍රමයකටයි. මෙම උපක්‍රමය යොදාගන්නේ යානයක් තාප සංවේදක මිසයිලයක (heat-seeker missile) ඉලක්කයක් වූ විටයි. තාප සංවේදක මිසයිලය යානයේ ජෙට් එන්ජිමේ උණුසුම ඉලක්කය ලෙස ගෙන සිටින නිසා එන්ජිමට වඩා සියගුණයක උශ්ණත්වයෙන් දැවෙන ෆ්ලෙයාර් නිදහස් කිරීමෙන් මිසලයේ තාප සංවේදකය අන්දමන්ද කොට ඉලක්කය වරද්දවනවා.

තාප සංවේදක මිසයිල ප්‍රහාරයකින් ආරක්ශාවීමට ෆ්ලෙයාර් නිදහස් කරන F-15 ස්ට්‍රයික් ඊගල් යානයක්
3] RADAR stealth -  රේඩාර්වලින් සැඟව ගමන්කල හැකි රේඩාර් ස්ටෙල්ත් තාක්ශණය. මේ පිලිබඳව එතරම් දුරට විග්‍රහකල යුතු නැතැයි සිතමි. 5වැනි පරම්පරාවේ F-22 හා B-2 බෝම්බ හෙලන යානාව දැනට සේවයේ යොදවා ඇති  ස්ටෙල්ත් යානාවේ.


4] Visual stealth (optical steath) - යානාව අහසේ වර්ණයට ගැලපෙන ලෙස වර්ණ ගැන්වීමේ සිට දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන ක්ලෝකින් හෙවත් යානය සම්පූර්ණයෙන්ම පියවි ඇසට නොපෙනී යැවිය හැකි තාක්ශණයන් විශුවල් ස්ටෙල්ත් ගණයට අයත් වෙනවා.

5] Infra-red stealth - යානයක් සම්පූර්ණයෙන්ම සතුරාගෙන් සැඟවී ගමන්කිරීමට නම් එය රේඩාර් හා ආලෝක තරංග වලින් පමණක් නොව, අධෝරක්ත කිරණ වලින්ද සැඟවිය යුතුවනවා. යානයක අධෝරක්ත කිරණ නිකුත්කරන ප්‍රධානය ස්ථානය එහි ජෙට් එන්ජිමයි. මෙබැවින් දැනට දියුණු කොට ඇති තාක්ශණය අනුව එන්ජිමේ අධික තාපය පිටතට නොපෙනෙන්නට එන්ජිම වටා තාපභාදක දැමීමත්, එන්ජිමෙන් පිටවන අධි සම්පීඩිත, අධික ලෙස රත්වූ වාතය, සිසිල් කොට පිට කිරීමත් සිදුවෙනවා. 4වැනි පරම්පරාවේ සමහර ගුවන්යානා හා 5වැනි පරම්පරාවේ සියලුම ගුවන්යානාවල යම් ආකරයක අධෝරක්ත ස්ටෙල්ත් තාක්ශණය අඩංගු වනවා.

6] Anti missile flying techniques - මිසයිල හා තුවක්කු ප්‍රහාරවලින් ආරක්ශාවීමට හා ඒවා මගහැර යානය පියාසර කරවීමට සෑම යුධ ගුවන්නියමුවෙකුම විශේෂයෙන් පුහුණු කරවනවා.


Vimana Technology -2
තාන්ත්‍රික - විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා.

3rd, 4th & 5th Generation Military Aircraft Technology

යුධගුවන් යානා බලගැන්වීම (Propulsion) සඳහා දැනට භාවිතාවන්නේ ජෙට් තාක්ශණයයි. මෙම තාක්ශණයේ වැඩි දියුණු කිරීම් වන Pulse Detonation Engine (PDE), ScramJet (Supersonic Ramjet) වැනි තාක්ශණ දැන් බිහිවෙමින් පවතිනවා. 

6th & 7th Generation Military Aircraft

6/7වැනි පරම්පරාවේ ගුවන්යානා බලගැන්වෙතැයි පැවසෙන පල්ස් ඩෙටොනේෂන් හා ස්ක්‍රැම් ජෙට් තාක්ශණ මගින් ගුවන් යානයක් මක් 5කට වඩා වේගයෙන් ප්‍රචාලනය කල හැකි බව පැවසෙනවා.(ජෙට් තාක්ශණයේ උපරිම වේගය මක් 3.5කට සීමාවී තිබෙනවා )


Vimana Technology -3
ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.
ක්‍රිතක යන නමින් විමාන තාක්ශණයේ හඳුන්වන විමාන නිර්මාණය කිරීමේ තාක්ශණය අද හඳුන්වන්නේ Aeronautical Engineering Technology හෙවත් ගගනවිද්‍යා ඉන්ජිනේරු තාක්ශණය ලෙසින්.

එපමනක් නොව, නූතන යුධගුවන්යානයක් තැනීම සඳහා ගගනවිද්‍යා තාක්ශණය පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ. ගගනවිද්‍යාවට අමතරව තවත් සිය ගණනක් තාක්ශණයන් නූතන ජෙට්යානයක කැටිවෙනවා. සැබැවින්ම ගත්කල 4වැනි හෝ 5වැනි පරම්පරාවේ යුධ ගුවන්යානයක් විශ්වකර්ම නිර්මාණයක් ලෙස ගන්නට පුලුවන් වන්නේ ඒවාවල අඩංගුකොට තිබෙන තාක්ශණය එතරම්ම සංකීර්ණ නිසයි.

නූතන ජෙට්යානයක් තැනීමට අවශ්‍යවන ගගනවිද්‍යා තාක්ශණයන්
  • Aerodaynamical engineering
  • Propultion technology
  • Avionics
  • Weapons Technology / Pyrotechnics (පුපුරණ ද්‍රව්‍ය තාක්ශණය)
ජෙට්යානයක් නිර්මාණය කිරීමට ගගනවිද්‍යාවට අමතරව අවශ්‍ය සබැඳි තාක්ශණයන්  (මෙම ලයිස්තුව අසම්පූර්ණ බව සළකන්න)

  • Materials technology - metallurgy (ලෝහ විද්‍යාව), carbon fibre technology, nano technology, metal-alloy technology (මිශ්‍රලෝහ නිර්මාණ තාක්ශණය), 
  • Electronic engineering / computer engineering / mircoprocessor technology
  • Software technology / Artificial Intelligence
  • Robotics 
  • Advanced optics, opto-electronics
  • Chemical engineering/fuel technology, 
  • Radar technology
  • Laser
  • Hydrolics & Pneumatics 
  • CAD / CAM technology

Vimana Technology -3
අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.

Weather forecasting


විමානවේදයේ "අන්තරාල" ක්‍රමවේදයට නූතන ලෝකයේ ව්‍යවහාරය වන්නේ වෙදර් ෆෝකාස්ටින් හෙවත් කාළගුණ අනාවැකි පැවසීම කියලයි. මේ අනාවකි සඳහා කාළගුණ චන්ද්‍රිකා, කාළගුණ මධ්‍යස්ථාන, කාළගුණ බැලූන හා විශේෂිත කාළගුණ දත්ත එකතුකිරීමේ ගුවන්යානා මගින් ලැබෙන දත්ත ප්‍රයෝජනයට ගන්නවා. මීට අමතරව සෑම ගුවන්යානයකම ඇති රේඩාර් යන්ත්‍රය කාළගුණ  රේඩාර් යන්ත්‍රයක් ලෙසටද ක්‍රියාකල හැකි ආකාරයට නිපදවා තිබෙනවා.

4th & 5th Generation Military Aircraft Technology - ALL WEATHER JETS

මීට අමතරව 4වැනි හා 5වැනි පරම්පරාවේ යානා බොහොමයක් සියලු කාළගුණ තත්වයන් යටතේ මෙහෙයුම් කළහැකි, අයහත් කාළගුණතත්වයන්ට මුහුණදෙමින් සාර්ථකව මෙහෙයුම් කලහැකි All Weather Mission Capability හැකියාව ඇති යානා ලෙස නිර්මාණය කොට තිබෙනවා.

සුක්හොයි SU-30 : බහුකාර්ය, සියලු කාළගුණ තත්වයන් යටතේ පියාසර කලහැකි ප්‍රහාරක යානය.

Vimana Technology -4
ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.

නූතන විද්‍යාවට අනුව අප වායුගෝලය කොටස් වශයෙන් වෙන්කොට ඇති ආකාරය

විමානවේදයේ පෘථිවි වායුගෝලය කොටස් අටකට බෙදූ බව පැවසේ. නූතන බටහිර විද්‍යාවෙන් වායුගෝලය ස්ථර 5කට බෙදා ඇති අතර මෙම ස්ථර අතර ඇති අන්තර්-ස්ථර කිහිපයක්ද හඳුනාගෙන ඇත.

වායුගෝලයේ ප්‍රධාන ස්ථර ට්‍රෝපෝගෝලය, ස්ට්‍රැටෝගෝලය, මෙසෝගෝලය, තර්මෝගෝලය හා එක්සෝගෝලය ලෙස හැඳින්වේ. මෙසෝගෝලය, තර්මෝගෝලය හා එක්සෝගෝලය පොදුවේ අයනගෝලය ලෙස හඳුන්වයි.

ගූඪ තාක්ශණය යනු දඬුමොණරය සතුරන්ගෙන් සැඟවීම සඳහා අභ්‍යවකාශය අද්දරට ගෙනයාමේ තාක්ශණයක්ද?

අභ්‍යවකාශයේ ආරම්භය වන කිලෝමීටර් 100ක උසකට සාමාන්‍ය ගුවන්යානාවලට යා නොහැක. පර්යේෂණ මට්ටමේ ඇති රොකට් බලයෙන් ක්‍රියාත්මක වන ගුවන්යානා කිහිපයකට පමණක් මේ හපන්කම කල හැකිය.

විමානික තාක්ශණයේ වායුගෝලයේ අටවෙනි ස්ථරයේ ඇති අඳුරු කිරණ ප්‍රබේධයක් ගැන විස්තරයක් ඇත. මෙය නූතන විද්‍යාවෙන් විස්තර කරනවා නම්, එය හිරුගේ අඳුරු කිරණයක් නොව, වායුගෝලයේ කිලෝමීටර් 100ක් උස පසුකලවිට අහසේ නිල්පැහැය නැතිවී දිවා රෑ වෙනසක් නොමැතිව අහස කළු වීමේ විද්‍යාත්මක සංසිද්ධියයි.

කිලෝමීටර් 100ක් උස පසුවන විට අහස මේසේ කළු වන්නේ අහසේ නිල් පැහැය ඇතිකරීමට අවශ්‍ය තරමට වායුගෝළයේ ඝණත්වයක් නොමැති නිසාය. (අහසේ නිල් පැහැයට හේතුව  විස්තර සහිතව දැනගන්න නාසා ආයතනයේ මේ වෙබ් පිටුව කියවන්න)

වායුව අවශෝෂණය කරගෙන ක්‍රියාත්මක වෙන ජෙට් යාන වලට මෙතරම් උසකින් පියාසර කල නොහැක්කේද එන්ජිමේ දහන ක්‍රියාවලිය අවශ්‍ය ඔක්සිජන් හා අවශ්‍ය ලෙස තෙරුපුම නිපදවීමට වායු පීඩනය නොමැති නිසාය.

එහෙත්, රාවණා මහ රජුගේ දඬුමොණරයට හා අනෙකුත් විමාන වලට මේ හැකියාව තිබෙන්නට ඇත. සතුරන් ලුහුබැඳගෙන එනවිට ඔවුන්ගෙන් යානය සැඟවීම සඳහා ආරක්ශක උපක්‍රමයක් ලෙස අභ්‍යවකාශයට ගෙනයන්නට ඇතැයි අනුමාන කල හැකිය.


Vimana Technology -5
විශ්ව ක්‍රියා දර්පන - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
Hologram Technology

විශ්වක්‍රියා දර්පණයේ ක්‍රියාකාරිත්වය කිසිදු අපහසුවකින් තොරව නූතන හොලෝග්‍රෑම් තාක්ශණය නම් ත්‍රිමාණ දෘශ්‍යමායාවක් නිර්මාණය කලහැකි තාක්ශණය ලෙස හඳුනාගත හැක.

දැනට හොලොග්‍රෑම් තාක්ශණය බටහිර රටවල විද්‍යා ප්‍රදර්ශණවල, විද්‍යා හා තාක්ශණ කෞතුකාගාරවල නරඹන්නන් මවිතයට පත් කරන ප්‍රදර්ශණාකෘති ආකාරයට තබා ඇත. ඉතා නුදුරු අනාගතයේදීම හොලොග්‍රෑම් තාක්ශණය දැනට අප භාවිතා කරන LCD හා LED තිරවලට ආදේශකයක් ලෙස ත්‍රිමාණ, අධිවිභේදන සජීවී රූප දැක්විය හැකි දෘශ්‍ය තල (display) ලෙස වෙලඳපොලට ඉදිරිපත් වෙනු ඇතැයි සැළකේ.

ත්‍රිමාණ හොලොග්‍රෑම් මායාවන් යුධ ගුවන්යානා හෝ වෙනත් යුධ කටයුතු සඳහා ප්‍රයෝගකාරි උපක්‍රමයක් ලෙස යොදාගෙන ඇති බවක් වාර්තා නොවේ.

එහෙත් හොලොග්‍රෑම් දෘෂ්‍ය මායාවක් සතුරා රැවටීමේ ප්‍රයෝග තාක්ශණයක් ලෙස භාවිතාකල හැකි ආකාරය පෙන්වාදුන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් කලකට පෙර එලි දැක්විනි. 1990 වසරේ තිරගත වුනු ආනල්ඩ් ශ්වසනෙගර් රඟන "Total Recall" එකල ඉතා ජනප්‍රිය චිත්‍රපටයකි.

Total Recall Hologram Creator

ආනල්ඩ් ශ්වසනෙගර්, තමා හඹා එන අවිගත් සෙබලුන් රවටන්නට යොදාගන්නා, තමාගේම සජීවී ත්‍රිමාණ හොලෝග්‍රෑමයක් වෙනත් ස්ථානයකට ප්‍රක්ශේපණය කොට මවා පෙන්විය හැකි අතේ බඳින හොලෝග්‍රෑම් ප්‍රොජෙක්ටරය.

දඬුමොණරයේ  Hologram Technology තිබුණාද?

තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණයක් සැබෑවටම දඬුමොණරයට හෝ පුරාණ විමානවලට තිබුණානම් එය පෞරාණික හොලොග්‍රෑම් තාක්ශණයක අදට ඉතිරිව ඇති සාක්ශි ලෙස ගතහැකිය. 


Vimana Technology -6
අදෘශ්‍ය - යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
RADAR stealth, Visual Stealth & Infrared Stealth

කලිනුත් විස්තර කරන ලද රේඩාර්, දෘශ්‍ය ආලෝක හා අධෝරක්ත කිරණ සංවේදක වලින් යානය සැඟවීමේ තාක්ශණය. මෙයින් රේඩාර් ස්ටෙල්ත් තාක්ශණය බොහෝ සෙයින් දියුණු තාක්ශණයක් වන අතර දෘශ්‍ය හා අධෝරක්ත ස්ටෙල්ත් තාක්ශණයන්ද වේගයෙන් දියුණු වෙමින් තිබෙනවා.


Vimana Technology -6
පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
විමාන ග්‍රන්ථවල පරෝක්ශ තාක්ශණයේ ක්‍රියාකාරිත්වය ඉහත ලෙස විස්තර කලත්, පරෝක්ශ තාක්ශණයේ අවසන් ඉලක්කය එනම් "ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය" අපට කිසිදු ගැටළුවකින් තොරව 4වැනි හා 5වැනි පරම්පරාවල ගුවන්යානා තාක්ශණය හා සමපාත කරන්නට පුලුවන්.


Avionics of a modern jet fighter

එවියොනික්ස් යන පොදු නාමයෙන් හඳුන්වන්නේ නූතන ජෙට් ප්‍රහාරක යානයක පරිගණක, ඉලෙක්ට්‍රොනික උපකරණ, රේඩාර් හා අවි ආයුධ පාලනය කරන ඉලෙක්ට්‍රොනික උපාංග පද්ධතියටයි. සතුරු යානයක මෙම avionics පාලන පද්ධතිය නොමග යැවීම/ව්‍යාකූල කිරීම සඳහා 4වැනි හා 5වැනි පරම්පරාවේ ජෙට් යානා සතු තාක්ශණයක් වන Electronic Counter Measures (ECM) තාක්ශණය මෙම ලිපියේ ඉහල තැනක විස්තර කර තිබෙනවා.

දඬුමොණරයේ Electronic Counter Measurs (ECM) තාක්ශණයන් තිබුණාද?

විමාන විස්තරයේ සඳහන් පරෝක්ශ තාක්ශණය ඉතා පැහැදිලිවම සතුරු විමාන වල පාලන පද්ධතිය එනම් සතුරු විමානයේ avionics පද්ධතිය අඩපණ කිරීමේ තාක්ශණයක්. නූතන ගුවන්යානා මේ සඳහා භාවිතා කරන්නේ සතුරාගේ එවියොනික්ස් පද්ධතිය ව්‍යාකූල කල හැකි ප්‍රභල ඉලෙක්ට්‍රොනික සංඥා ඒ වෙත මුදාහරින ECM තාක්ශණයයි. සමහරවිට දඬුමොණරයේ හා විමානවලත් නූතන ECM තාක්ශණයට සමාන තාක්ශණයක් තිබෙන්නට ඇති.


Vimana Technology 7

අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.

4වැනි හා 5වැනි පරම්පරාවේ යුධ ගුවන් යානා සතුව ඇති Beyond Visual Range (BVR) Air Combat  තාක්ශණය.

Active Electronically Steered Arrays (AESA) තාක්ශණයෙන් බිහිකොට ඇති රේඩාර් යන්ත්‍ර සවිකරන ලද යුධ ගුවන්යානා බියෝන්ඩ් විශුවල් රේන්ජ් හෙවත් ඇසට නොපෙනෙන මානයේ ඇති ඉලක්ක හඳුනාගැනීමේ හැකියාව ලබා තිබෙනවා.

එනම්, ඇසට නොපෙනෙන ඉලක්ක රේඩාර් තිරය මත දර්ශණය කරගෙන ඒවාට පහරදීමේ හැකියාව 4වැනි පරම්පරාවේ ‍යානා (MiG 29, MiG 31, Sukhoi Su 35, Eurofighter Typhoon, Dassault Rafale, F-15 Eagle, F-16 Fighting Falcon, F/A-18 Super Hornet) වලට තිබෙනවා.

මෙවැනි ගුවන්යානා වල ප්‍රහාරක අවි ලෙස සවිකොට ඇති Fire & Forget වර්ගයේ BVR හැකියාව ඇති ගුවන් යානා නාශක මිසයිල ආධාරයෙන් ගුවන් නියමුවාට ඇසට නොපෙන ඈත ක්සිතිජයෙන් එහා තිබෙන සතුරු යානයකට පවා පහරදී විනාශ කිරීමේ හැකියාව තිබෙනවා.


Vimana Technology 8

සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.

4th Generation variable-sweep wing (swing-wing) fighters

පියාපත් හකුළුවාගෙන පියාසර කිරීමේ තාක්ශණය 3වැනි පරම්පරාවේ යානා අතරින් බිහිවී 4වැනි පරම්පරාවේ යානා කිහිපයක් මගින් ප්‍රචලිත කල ගගනවිද්‍යා තාක්ශණයක්. විමානිකයේ දැක්වෙන අන්දමට විමානයක් එහි පියාපත් අණතුරුවලින් වලක්වා ගැනීම සඳහා හකුළුවනවා.

එහෙත් නූතන යුධ ගුවන්යානා පියාපත් හකුළුවා ගන්නේ එහි වේගය වැඩිකිරීමේදී දිගහැරුණු පියාපත්වලින් ඇතිවන සුළං බාධනය (wind resistence) අවම කර ගැනීමට.

රූපයේ දැක්වෙන්නේ ප්‍රංශයේ නිශ්පාදිත ඩැසෝ මිරාජ් ජී මාදිලියේ ගුවන්යානා දෙකක්. මින් එක් යානයක් සිය පියාපත් විහිදුවාගෙන පියාසර කරන ආකාරයත් අනෙක් යානාව පියාපත් හකුළුවාගෙන පියාසර කරන ආකාරයත් ඔබට පෙනෙනවා ඇත.

Vimana Technology 9
ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.
Air to Surface missile/bomb

විස්තරයේ ආකාරයට ප්‍රලය යනු ගුවනේ සිට එල්ල කරන මිසයිලයක් හෝ බෝම්බයක් විය යුතුයි.

NATO GBU-43/B Massive Ordnance Air Blast bomb

2003දී නිපදවන ලද, ටොන් 10ක් බර මේ බෝම්බය දැනට ලොව ඇති, අතිශයින්ම බිහිසුනු සාම්ප්‍රදායික බෝම්බය (න්‍යශ්ඨික නොවන ) ලෙස පිලිගැනෙනවා. පොලොවට වැටීමට පෙර පුපුරා යනලෙස (air blast) සකස් කොට ඇති මෙම බෝම්බය පිපුරුණ ස්ථානයේ සිට සැතපුමක අරයක් ඇති ප්‍රදේශයක මිනිසුන් මෙහි කම්පණ තරංගයෙන් මිය යන බව පැවසෙනවා.


Vimana Technology 10
විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක්  ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.
ස්ථබ්ධක - මෙහිදී 'අපස්මාර ධූම' නම් විෂ දුමක් ප්‍රතිවාදී විමාන වෙතට යොමු කර එහි ගමන් කරන්නන්ව සිහිනැති කිරීම සිදු කරනවා. යානයේ උතුරු දෙසින් පිහිටි නාලයක් හරහා මේ දුම යවන අතර එය සතුරු යානය දෙසට ප්‍රක්ෂේපනය කරන්නේ 'ස්ථම්භන යන්ත්‍ර' නම් යන්ත්‍රයක් මගින්.

Chemical Warfare

මෙහි විමුඛ හා ස්ථබ්ධක ලෙස විස්තර කෙරෙන්නේ නූතන රසායනික අවි භාවිතයෙන් සතුරා මෙල්ල කිරීම බව පැහැදිලිය. මෙම රසායනික විශ ද්‍රව්‍ය වලින් ආරක්ශාවීම සඳහා යුධ ගුවන් නියමුවන් ආරක්ශිත ඇඳුම් කට්ටල පිලියෙල කොට ඇත.

F22 වැනි 5 පරම්පරාවේ ප්‍රහාරක යානා නියමුවන් වෙනුවෙන් සකසා ඇති ඇඳුම ඔවුන්ව රසායනික ප්‍රහාරවලින් ආරක්ශා කරයි.


Vimana Technology 11
සර්වතෝමුඛ - සතුරු විමානයන් රැසක් එකවර පැමිණෙන විටදී තම විමානය වේගයෙන් භ්‍රමණය කරමින් සෑම දිශාවකටම එකවර මුහුණලෑමේ ක්‍රමය මෙසේ හැඳින්වේ. මෙය සිදු කිරීමට විමානය මුදුනේ තිබූ යතුරක් භාවිතා කළ බව සඳහන් වෙනවා.

Dog-fighting techniques of moden fighter pilots


ගුවන් නියමුවන් සතුරු යානා සමග ගුවනේ සිදුකරන සටන් "ඩෝග් ෆයිට්ස්" ලෙස හැඳින්වේ. ගුවන් සටන්වලදී එකිනෙකා ලුහුබැඳ යමින් ප්‍රහාර එල්ලකරගන්නා අවස්ථාවේදී අහස් කුස, ගුවන්යානා අතර බලු පොරයක් මෙන් දිස්වන බැවින් මෙම යෙදුම භාවිතාකරන බව පැවසේ. මෙහිදී සතුරු ප්‍රහාරවලින් ගැලවීම සඳහා යානාවේ නියමුවා යානය ඒ මේ අත කරකවමින්, වෙට්ටු දමමින් වේගයෙන්  පියාසර කරයි. විමාන විස්තරවල "සර්වතෝමුඛ" ලෙස විස්තර කරන්නේ විමාන අතර ඈත අතීතයේදී සිදුවූ ගුවන් සටන් වලදී විමාන නියමුවන් ඒවා පියාසර කරනලද මෙම dog fighting පියාසර විලාශය විය යුතුය.


Vimana Technology 12

පාරශබ්ද ග්‍රාහක - විමානය තුල තිබිලා තියෙනවා වෙනත් විමාන වල සිදුවන කතාබහට සවන් දියහැකි උපකරණයක්. මෙය නිර්මාණය කර තිබෙන්නේ පැරණි ඉලෙක්ට්‍රොනික් විද්‍යාව අනුව. අතීතයේදී ඉලෙක්ට්‍රොනික් විද්‍යාව හඳුන්වා තියෙන්නේ 'සෞදාමිණී කලා' යන නමින්. මේ යන්ත්‍රය ක්‍රියා කරවීමටත් ආචාර්යවරයෙකු ඉගෙනගත යුතුයි.
 මෙය සරල රේඩියෝ තාක්ශණයකි. වෙනත් යානා අතර සිදුවන පණිවුඩ හුවමාරුවලට සවන්දීම සඳහා විශේෂිත උපකරණ රැගත් ඔත්තු බලන ගුවන්යානා වර්ග සෑම ගුවන් හමුදාවක්ම සතුය.

යුධ මෙහෙයුම් වලදී යුධ ගුවන් නියමුවන් කඳවුරෙන් ගුවන් ගතවූ මොහොතේ සිට මෙහෙයුම අවසන්ව යලිත් ගොඩ බසිනාතෙක් සිය රේඩියෝ යන්ත්‍ර භාවිතා නොකරමින් "radio silence" නම් උපායමාර්ගය අනුගමනය කරන්නේ සතුරාට තම රේඩියෝ පණිවිඩ වලට සවන්දීම ඔස්සේ තමන්ව හඳුනාගැනීමට ඇති අවස්ථාව අහිමිකිරීමටයි.


Vimana Technology 13
රූපාකර්ෂන - මේකත් අධිතාක්ෂණික උපකරණයක්. වෙනත් යානා තුල සිදුවන දේවල් රූපවාහිනී තිරයක් මතට ගෙන දර්ශනය කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබිලා තියෙනවා. අතීතයේදි මෙහෙම නිර්මාණ කොහොම කලාද කියලා මට නම් හිතාගන්නත් අමාරුයි.

ක්‍රියාග්‍රහණ - විමානය ගුවනේ තිබෙන විටදී පොළොවේ සිදුවෙන දේවල් නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය මෙසේ හැඳින්වෙනවා. මෙය කර තිබෙන්නේ මෙහෙමයි. මුලින්ම යානය පතුලේ පිහිටි යතුරක් භාවිතා කර සුදු පැහැති තිරයක් දර්ශනය වීමට සලස්වනවා. ඉන්පසුව යානයේ ඊශාන කොටසේදී විශේෂ අම්ල වර්ග තුනක් විද්‍යුත් ආරෝපණයකට ලක්කර හිරු එලිය සමග මිශ්‍ර කර 'ත්‍රී ශීර්ෂ' නම් දර්පනයට සම්බන්ධ නාලයක් හරහා යවා ඉහත කී තිරය දර්පනයක් බවට පත් කරනවා. එවිට එම දර්පනය මත පොළොවේ සිදුවන දේවල් දර්ශනය වුණාලු.

Gun camera, Thermal Camera (Infrared), Night vision

පහත ඡායාරූප වචනවලට වඩා හොඳින් මේ තාක්ශණය විස්තර කරනු ඇත.



 Vimana Technology 14

දික්ප්‍රදර්ශන - විමානය ඉදිරියේ පිහිටි යතුරක් මගින් 'දිශාම්පති යන්ත්‍ර' නම් යන්ත්‍රය ක්‍රියාත්මක කර සතුරු යානා පැමිණෙන දිශාව කල්තියා දැනගැනීමේ ක්‍රමය මෙසේ හැඳින්වේ.

මෙය රේඩාර් තාක්ශණය මිස අන් කවරක්ද?











Comments

  1. wedagath lipiyak pattama wedagath ban elaz

    ReplyDelete
  2. අවංකවම මාර වැදගත් තොරතුරු සමූහයක්. ඔබ මනා ලෙස පුරාණ සහ නූතන තාක්ෂණය ගලපා තිබෙනවා..

    ReplyDelete
  3. ඒ උඔ පස්ටයි නේ බන්... මෙච්චර සුපිරියට ලියපු විස්තරයක් මම දැක්කෙ නෑ වෙන කිසිම සයිට් එකක... ගැලපෙන පින්තූරත් එක්ක... සිරා හොදේ...

    ReplyDelete
  4. පුදුම වෙන්න ඕනේ අද වගේ තාක්ෂණයක් නෑ කියලා හිතුපු දවස්වල මෙහෙම දේවල් ගැන හිතපු එක.ඇත්තටම තිබුනත් නැතත්

    ReplyDelete
  5. විශාල මහන්සියක් ගෙන උඩුගන්වා ඇති වැදගත් ලිපියකි. ස්තුතියි

    ReplyDelete
  6. කියල වැඩක නෑ නියම පොස්ට් එකක් ඈ

    ReplyDelete
  7. මේ පිළිබඳව මං දැක්ක හොඳම ලිපිය...

    ReplyDelete
  8. ඉතාමත් තර්කාණුකූල ලිපියක්.මම දැකල තියෙන මේ මාතෘකාව කතාකරන අනිත් වෙබ් අඩවි වගේ නොවී සමබරව අතීතය වර්තමානය ගලපල ලිපිය ලියල තියෙනව.

    දැන් ඉතින් අපි බලන් හිටිය ඇති කියල තමයි හිතෙන්නෙ. හැමදාම කට ඇරගෙන බලන් ඉන්නෙ නැතුව අපේම දෙයක් හදන්න කාලෙ හරි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ රටේ දක්ෂ කට්ටිය කොච්චර ප්‍රයෝජනවත් නව නිර්මාණ හැදුවත් ඒවට වැඩි සැලකිල්ලක් යොමු වෙන්නෙ නෑති එකයි.
    මොන නව නිර්මාණෙ හැදුවත් කවුරුත් වගේ කරන්නෙ ඒකට උත්සවයක්,තරඟයක් තියල සම්මානයක් දීල ඒක අමතක කරල දාන එකයි.මෙහෙම නිර්මාණ ඉතාම අඩු ප්‍රමාණයක් තමයි "ක්‍රියාකාරීව ලංකාවෙ ප්‍රයෝජනයට,සංවර්ධනයට යොදාගෙන තියෙන්නෙ."

    දුක තමා ඉතින්, අපිවත් මේ රටාවෙ වෙනසක් ඇති කරමු !

    ReplyDelete
  9. බොහොම ප්‍රයෝජනවත් ලිපියක් . ඉතාමත් වටිනවා . ස්තූතියි.

    ReplyDelete

Post a Comment