ඔලිම්පික් උළෙල : සිවු වසරකට වරක් එන ඡායාරූපකරණයේ මෞලි මංගල්‍යය



ලොව වැඩිම කැමරා කාච ගණනක සටහන්වෙන යම් අවස්ථාවක් ඇත්නම්, ඒ සිවු වසරකට වරක් එළඹෙන ගිම්හාන ඔලිම්පික් උළෙල බවට විවාදයක් නැත. මෙවර ලන්ඩනයේ පැවැත්වෙන මෙම උළෙල ගියවර පැවැත්වූ බීජිං ඔලිම්පික් උළෙලටත් වඩා ඡායාරූප ගතවනු නො අනුමානය.

එපමණක් නොව, ඔලිම්පික් උළෙල ක්‍රීඩකයින් හට දැවැන්ත අභියෝගයක් වන්නේ කෙසේද, එලෙසින්ම වෘත්තීමය ඡායාරූප ශිල්පීන් හටද ඔලිම්පික් උළෙල ආවරණය කරමින් එහි ස්වර්ණමය අවස්ථාවන් හැකිතාක් හොඳින් සිය කැමරාවේ සටහන් කරගැනීම අභියෝගයකි.

ලොව ප්‍රකට ඡායාරූප එකතුකරන හා බෙදාහරින සමාගමක් වන "ගෙටී ඉමේජස් -Getty Images" සමාගමේ වෘත්තීමය ඡායාරූප ශිල්පියෙකු වන ස්ට්‍රීටර් ලෙකා, සිය 2012 ඔලිම්පික් ඡායාරූපකරණ මෙහෙයුම සඳහා සූදානම් වන ආකාරය පොපියුලර් සයන්ස් සඟරාවේ වාර්තාකරුවෙකු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී විස්තර කර සිටියා. අත්දැකීම් බහුල ඡායාරූප ශිල්පියෙකු වන ලෙකා  සැපයූ විස්තරයේ සංශිප්තයක් පහත දැක්වෙනවා. (ගෙටී ඉමෙජස් සමාගම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිළ ඡායාරූපකරණ ඒජන්සිය ලෙස පත්කොට ඇත.)

මෙවර ඔලිම්පික් උළෙල ආවරණය කිරීම සඳහා රැගෙන යන කැමරා

කැමරා 4ක් ගෙනියනවා. Canon 1D X දෙකක් හා Cannon 1D Mark IV දෙකකි.

මෙවැනි අවස්ථාවක් ආවරණය කරනවිට දිනකට කොතරම් ඡායාරූප ප්‍රමාණයක් ගන්නවාද?

හරියටම කියන්න අමාරුයි. ඒත් අවමය ඡායාරූප 2000ක් විතර, උපරිමය 4000ක් විතර.

මෙතරම් ඡායාරූප ප්‍රමාණයක් පුද්ගලයෙකුට තනියම ගන්න පුලුවන්ද?

නෑ. මට තනියම බෑ. අප වැනි වෘත්තීමය කැමරා ශිල්පීන් හට දුරස්ථපාලක මගින් ක්‍රියාත්මක වන කැමරා සවිකිරීම සඳහා විශේෂිත ස්ථාන ඔලිම්පික් වැනි උළෙලවල් වලදී ලබාදී තිබෙනවා.

මගේ සියලුම කැමරා දුරස්ථපාලක මගින් ක්‍රියාත්මක කල හැකියි. ඒ නිසා මට එකවර කැමරා 4කින් ක්‍රීඩා තරඟයක් ඡායාරුප ගත කිරීමට පුළුවන්.

ඔබගේ කැමරා සඳහා භාවිතා කරන්නේ මොනවගේ කාචද?

දිවාකාලයේ බාහිර, විවෘත ප්‍රදේශවල පැවැත්වෙන තරඟ ඡායාරූපකරණය සඳහා මිලිමීටර් 70-200 කාච භාවිතා කරනවා. රාත්‍රියේදී නැතිනම් ආවරණය කරනලද ක්‍රීඩාංගණයක පැවැත්වෙන තරඟ සඳහා මිලිමීටර් 400 විශාල ටෙලිෆොටෝ වර්ගයේ කාචයක් භාවිතා කරනවා.

මීට අමතරව මිලිමීටර් 16-35 වයිඩ් ඈන්ගල් කාචයකුත් (විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වන වයිඩ් ඈන්ගල් ඡායාරූප සඳහා), මිලිමීටර් 15 ෆිෂ්-අයි වර්ගයේ කාචයකුත් රැගෙන යනවා.

ස්ට්‍රීටර් ලෙකා, ඔලිම්පික් ගෙනයන කැමරා බෑගය හා ඡායාරුප ආම්පන්න (ඡායාරූපය - පොපියුලර් සයන්ස් සඟරාව )
ඔබ කොතෙක් දුරට flash භාවිතා කරනවාද?

තරඟවලදී ක්‍රීඩකයින්ගේ අවධානය බිඳෙන බැවින් flash භාවිතා කිරීම තහනම්. ඒත් ක්‍රීඩා තරඟවලින් පරිබාහිර අවස්ථා ඡායාරූපගත කරනවිට අවශ්‍යවුනොත් භාවිතාකරන්න Cannon 580 EX II වර්ගයේ ෆ්ලෑශ් ගන් එකක් ගෙනියනවා.

ඔබ භාවිතා කරන මෙමරි කාඩ් වර්ග මොනවාද?

අධිවේගී SDXC ගණයේ 16GB හා 8GB කාඩ් දුසිමක් පමණ මම ගෙනියනවා. ඊට අමතරව මම කලින් භාවිතාකරපු 4GB කාඩ් කිහිපයකුත් අරගෙන යනවා හදිස්සියකදී භාවිතා කරන්න.

ඔබ ඡායාරූප කරණයේදී භාවිතාකරන ඡායාරූප ආකෘතිය (image format) කුමක්ද?

සෑම වෘත්තීයමය කැමරා ශිල්පියෙකු මෙන්ම මමත් RAW ආකෘතියෙන් ඡායාරූප ගන්නවා.

RAW ආකෘතියෙන් ගන්නා ඡායාරුප JPG ආකෘතියෙන් ගන්නා ඡායාරූප වලට වඩා මෙගාබයිට් ප්‍රමාණයෙන් විශාලයි. මෙවැනි විශාල මෙගාබයිටවල ඡායාරූප සියගණනක් ප්‍රධාන කාර්යාලයට සම්ප්‍රේශණය කරන්නේ කෙසේද?

ඔලිම්පික් ගම්මානයේ ජනමාධ්‍යවේදීන්ට වෙන්වූ කොටසේ ගෙටී ඉමෙජස් ආයතනයට වෙන්කොට ඇති කාර්යාලයක් තිබෙනවා. උත්සවයට ආරම්භවෙන්නට පෙර අප සමාගමේ තාක්ශණික ශිල්පීන් එහි තිබෙන පරිගණක වලට අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදී තිබෙනවා. සාමාන්‍ය බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවයන් මෙන් 100ගුණයක් පමණ වේගවත් මෙම අන්තර්ජාල සබඳතා විශාල ප්‍රමාණයේ ඡායාරූප සම්ප්‍රේශණය පහසුකරනවා.

ඔලිම්පික් වැනි උළෙක් ආවරණය කරන්නට සූදානම් වන කෙනෙකු අමතක නොකොට ගෙනයා යුතු දේවල් මොනවාද?

ප්‍රධාන දේවල් 4ක් තිබෙනවා. වෙන මොනවා අමතක වුනත්, මේ සතර වර්ගයෙන් එකක් හෝ අමතක වුවහොත් ඔබගේ ඉලක්කය සපුරාගන්න බැරිවෙනවා.

1] කැමරාව හා කාච එකතුව
2] ලැප්ටොප් පරිගණකය
3] ඇති තරම් මෙමරි කාඩ්
4] ඔබගේ හැඳුනුම් පත හා උත්සව භූමියට ඇතුලුවී ඡායාරූප ගැනීමේ අවසර පත්‍රය.

ඔලිම්පික් වැනි උළෙලක් ආවරණය කිරීම සඳහා කලයුතු පෙර සූදානම ගැන සඳහනක් කරනවානම්...?

ඔලිම්පික් කියන්නේ සාමාන්‍ය ක්‍රීඩාතරඟයක් නොවෙයි. ලොව දක්ශතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඉමහත් බලාපොරොත්තු ඇතුව සහභාගීවන, ජාතින් අතර ක්‍රීඩා පිටියක සිදුවෙන යුද්ධයක් ලෙස ඔලිම්පික් හඳුන්වන්න පුලුවන්.

මෙවැනි උළෙලක් ආවරණය කරන්නට මාස ගණනාවක ඉඳලා සැළසුම් කරන්න ඕනෑ.
  • කුමන ඉසව්ව කුමන ස්ථානයක, කුමන වෙලාවට තිබෙනවාද, එම ස්ථානයට ලගාවන්නේ කෙසේද? (උදාහරණයක් ලෙස ලන්ඩන් ඔලිම්පික් තරඟ ලන්ඩන් නගරය පුරා විසිරුණු ස්ථාන ගණනාවක පැවැත්වේ. එක් ස්ථානයක සිට අනෙක් ස්ථානයට   ලගාවීම විදේශීය කැමරා ශිල්පියෙකුට පහසු නැත ) කියන එක කලින්ම සැළසුම් කරන්න ඕනෑ. නගරයේ සිතියම්, පොදු ප්‍රවාහන පද්ධතියේ කාළසටහන්, කුලී රථ ලබාගත හැකි ස්ථාන, බස් නැවතුම්, දුම්රිය ස්ථාන... මේ හැම එකක් පිලිබඳවම අධ්‍යයනය කරලා නියමිත වෙලාවට එම තැන්වලට ලඟවෙන්නේ කොහොමද කියලා ඔලිම්පික් උලෙළ පටන්ගන්න ඉස්සෙල්ලාම සැළසුම් හදලා තියාගන්න අවශ්‍යයි.
  • ක්‍රිඩා උත්සවය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ සැළැම අධ්‍යයනය කිරීමත් අනිවාර්යයි. එසේ අධ්‍යයනය කරලා ඡායරූප ගන්න, කැමරා සවිකරන්න සුදුසු ස්ථාන හඳුනාගෙන, වෙනත් ඡායාරූප ශිල්පීන්ට කලින් එම ස්ථානවල කැමරා රැඳවීම කළයුතුයි. ඔලිම්පික් වැනි උලෙළවල් වලදී හොඳම ඡායාරූප ගැනීම සඳහා ඡායාරූප ශිල්පීන් අතර තිබෙන්නේ දැවැන්ත තරඟයක්.
  • විවිධ ක්‍රීඩා ඉසව් සඳහා අවශ්‍ය උපකරණ කට්ටලය සැළසුම් කර තිබීමත් සාර්ථක ඡායාරූප ලබාගැනීමට  විශාල සාධකයක්. එලිමහනේ උදේ වරුවේ පැවැත්වෙන ක්‍රීඩා තරඟයක ඡායාරූප ගන්න කාචවලට වඩා වෙනස් කාච හා කැමරා ආලෝක සැකසුම් ගෘහස්ථ ක්‍රීඩාංගණයක කෘත්‍රිම ආලෝක තත්වයන් යටතේ ඡායාරූප ගන්නාවිට තිබිය යුතුයි. මේ සඳහා පූර්ව සැළැස්මක් අනිවාර්යයෙන්ම ඕනෑ කරනවා.
  • ඒවගේම ඉතා වැදගත් වන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව හා තරඟ සංවිධායකයින් ඡායාරූපශිල්පීන් හට නිකුත්කොට ඇති උපදෙස් මාළාව ඉතා හොඳින් කියවලා එහි උපදෙස් අකුරටම පිලිපැදීම. මේ උපදෙස් පිලිනොපදින ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප ගැනීමේ අවසරපත් අවලංගුවීමේ අවදානමක් තිබෙනවා.
උදාහරණයක් ලෙස 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල ආවරණය කරන ඡායාරූප ශිල්පීන් හට tripod රැගෙන ඒම තහනම්. තනි කකුලේ monopod වලට අවසර දී තිබෙනවා. එහෙත් ට්‍රයිපොඩ් තහනම්. මේ උපදෙස් හරියට කියවන්නේ නැතුව ට්‍රයිපොඩ් එකක් රැගෙන එන ශිල්පීන්ට ක්‍රීඩාංගණය ඇතුලටවත් යන්න ලැබෙන්නේ නෑ.






Comments

  1. නියම පෝස්ට් එකක් දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත.ස්තුතියි.

    ReplyDelete

Post a Comment